අකුරු මැකී නෑ

Sunday, May 13, 2018

දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස

ඒකට කියන්නේ 'නැරඹුම් කාමය' කියලද? මොන කාමය වුණත් මොන රජාටද උහුලාගන්න පුළුවන් තමන්ගේ බිසවට 'බාසා වෙල්ලෙක්' අහවල් දේ කරද්දී. කේන්තියෙන් වෙවුල-වෙවුලා රජා බලන් හිටියා බිසව ආපහු මාලිගාවට වඩිනකල්. -එහෙමයිනේ පළමු කොටස නැවැත්තුවේ. ඔන්න එතැන ඉඳන්....

ලිබියාවේ රජු; කැන්ඩලෞස් සිය බිරිඳ අමාත්‍යවරයකු සමඟ රමණයට යවා, බලා සිටින්නේ ඔහුගේ 'නැරඹුම් කාමය' සංසිඳුවා ගැනීමටය. විලියම් එටි 1830 දී නිමැවූ කැන්වස් සිතුවමකි.
1857 වගේ ඈත කාලයකදිත් ප්‍රංශයේ ගණිකා නිවාස ඇතුළේ මෙහෙම 'යතුරු හිලෙන් එබී බලන්නෝ' ඉඳලා තියෙනවා. 
ප්‍රංශ භාෂාවෙන් 'voir' වචනයේ ඉංග්‍රීසි තේරුම 'to see' කියන එකයි. 

මට මතකයි කොළඹ විහාර මහා දේවි උද්‍යානයේත් ඔහොම 'පීපින් ටොම්'ලා හිලක් හදාගත්තු පත්තර දිග ඇරගෙන නොමිලේ 'adults only' සීන්ස් බලපු වගක්.

මේගොල්ලන් ගැන විද්‍යාත්මක විදිහට හදාරන්න පටන් ගැනුණේ 1976 න් පස්සෙයි. 

ඇල්බර්ටෝ මොරේවියා 1985 දී 'The Voyeur' නමින් නවකතාවකුත් ලිව්වා. කැමැතියි නම් ඒකෙ සිංහල පරිවර්තනයකුත් කියවන්න පුළුවනි. 
2001 දී විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය පළ කළේ, 'යතුරු සිදුරෙන් එබී බලන්නා'. පරිවර්තනය අරුණ ප්‍රේමරත්නගේ.

ඔය පීපින් ටොම්ලා ගැන ලස්සන පොතකුත් විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රයෙන් ......
ඔය මල්ලිකා බිසව වගේ, ව්‍යභිචාරයේ යෙදෙන අය ගැන ලස්සන කතාවක් තියෙනවා.
ගෑනියෙක් පිට ගිහිල්ලා; ගෙදරින් පිටතට ගිහිල්ලා නෙවෙයි, හොඳේ.... පිරිමියෙකුට අහුවුණොත් එයාගෙ හිතට නැඟෙන්නෙම 'අර තමුන්ගෙ බිරිඳට ළංවූ ආගන්තුක පිරිමියා තමන්ට වඩා වැඩකාරයෙක්ද, සැරට පහරදෙන්න පුළුවන් මිනිහෙක්ද' කියන ප්‍රශ්නෙලු. 

එහෙම හිතෙන්නේ පිරිමි නිතරම තමා හැම අතින්ම වැඩ්ඩෙක් කියලා අධිමානයකින් ඉන්න නිසාලු. එතකොට අනෙක් පැත්ත. මහත්තයාට හොර ගෑනියෙක් ඉන්නවා කියා දැනගත් පළමු මොහොතේම බිරිඳට උවමනා වෙන්නේ 'එයා මට වැඩිය ලස්සනයිද' කියලා හොයාගන්නලු.

ඕක වෙන කා ගැන ඇත්ත නොවුණත් කොසොල් රජ්ජුරුවොන්ට නම් හරියටම හරියනවා. මං මේක හොයාගත්තෙත් පර්යේෂණයක් කරලා. හැබැයි ධර්මසේන හාමුදුරුවෝත් මොන හේතුවක් නිසා හරි 'කොළේ වහලා ගහලා තියෙනවා' කියලයි මට පේන්නේ. මොන දීපන්කරේ, කොයි කාලේ, කොහොම තානාන්තර දරාගෙන වැඩ හිටියත් හාමුදුරුවරු කියන්නෙත් රහතුන් වහන්සේලා නෙවෙයිනේ. තෑගි-බෝග, පට්ටම්, පදවි, පඬුරුවලට වහවැටිලා අගතියට යනවා. සමහර විට බයටත්!

නිකංයැ බණේම තියෙන්නේ සතර අගතිය කියලා දෙයක්. ඡන්දා- දෝෂා- භයා- මෝහා. මං හිතන්නේ ධර්මසේන හාමුදුරුවෝ කොසොල් රජ්ජුරුවන්ව හෑල්ලු නොකරන්න ඇත්තේ ඡන්දයෙන්; කැමැත්තෙන් තමයි, වැඩි සර්ධාව නිසා.

මේ කතාව කියද්දී තව හාමුදුරු කෙනෙක් ගැනත් මතක් වුණා. අපේ මල්ලිකා නෑනණ්ඩිට නෑදෑයෝත් වෙනවා උන්නාන්සේ ගිහි කාලෙදී. නෙල්සන් ගල්හේන. පස්සේ බොරලැස්ගමුවේ සුනාග හිමි. උන්නාන්සේ ලියපු පළමු පොතත් මේ 'කෝසල මල්ලිකාව' ගැනනේ බොලේ. එක මතක් වුණේ මේ දැන්. ඉතින් සේරම නවත්තලා දිව්වා පොත් කාමරේට. මෙන්න ප්‍රතිඵලේ. ඒ හිමියනුත් ටිකක් අගතිගාමියි වගේ, මට නම්.

ගිහි කාලේ නෙල්සන් ගල්හේන මහත්තයා දැන් බොරලැස්ගමුවේ සුනාග හිමි විදිහට..........
ඒ ග්‍රන්ථ රත්නයන් ත්‍රිත්වය එලෙසම තිබියදී මම 'සද්ධර්මරතනාවලියේ ද්විතීය භාගය' යළි අතට ගන්නෙමි.

මල්ලිකා බිසොවුන්ගේ වස්තුවට පස්සේ, හරියටම කතන්දර 34 කට පස්සේ තියෙනවා 'කොසොල් රජ්ජුරුවන්ගේ පරාජය වත'. එතන ඉඳන් තවත් කතා දෙකකට පස්සේ මෙන්න තියෙනවා 'පසේනදී කොසොල් රජ්ජුරුවන්ගේ වත'. එතකොට අපි කියාගෙන එන කතාවත් එක්ක කතා තුනයි; එකම රජෙක් ගැන. දෙකක නිකම්ම කොසොල් රජ්ජුරුවෝ. එකක 'පසේනදී' විශේෂණයකුත්!

පසේනදී කොසොල් රජජුරුවෝ 'මගධ නැළි 16 ක සහල්වලින්' උයාපු බත් 'ඊට සරිලන මාළු-පිණි' එක්ක කෑවාලු, එක වේලකට! තුන්වෙනි කතාවේ එහෙමයි කියන්නේ. හාල් සේරු දාසයක බත්. බඩේ 'රත් නිටොල් මුලක්' බැඳගෙන හිටියාවත්ද?

රත් නිටොල් කියන්නේ හෙළ ඔසු වර්ගයක්. ඒක පඳුරක් විදියටයි වැවෙන්නේ. දෙමළ භාෂාවෙන් 'අක්කිනි'.  උද්භිද විද්‍යාත්මක නාමය 'Plumbago indica l.'. මේ පින්තුරය මම උපුටාගන්නේ 'නේචර්ස් බියුටි ක්‍රියේෂන්ස් ලිමිටඩ්' එකෙන් පළ කළ 'Collection of MEDICINAL PLANTS in Sri Lanka' පොතේ 108 පිටුවෙන්. (ඉසංකා, ඔයාට ස්තුතියි අවුරුදු නවයකට විතර කලින් 'මේ පොත ලොකු මාමාට තමයි වටින්නේ' කියලා- රුපියල් හාරදහස් පන්සියක් මිල වුණු මේ පොත මට තෑගි කළාට.)

මම කියවූ පරණ 'වෙද පොතකට' අනුව නම් ඉස්සර මිනිස්සු තරහකාරයෙකුගේ මඟුල් ගෙදරක් තියෙනකොට ඒකට යනවාලු රත් නිටොල් මුලක් ඉණේ ගහගෙන. 
නිකනුත් නෙවෙයි. රෙදි කෑල්ලකිනුත් හොඳට ඔතලා. 
ඒ මොකද කියනවා නම් මේ මුල ඔතලා ඉණේ ගහගෙන ගියත් එතැන පස්සේ වණ වෙනවාලු. ඒ තරම් විසක්. හැබැයි හත්-අට දෙනෙක් කන තරම් වුණත් එක දිගට, කිසි අපාසුවක් නැතිව වළඳන්න පුළුවන්ලු. 

මේ ඉංගිරිසි පොතෙත් තියෙනවා 'it blisters the skin' කියලා. කොහොමද අපේ හෙළ ඔසු?

ඉස්සර ඈයෝ තරහකාරයෙකුගේ මඟුල් ගෙදරකට යද්දී රත් නිටොල් මුලක් ඉණේ ගහගෙන ගිහිං........
රටේ වාසනාවට 225 දෙනා වහන්සේලා ඔය කතාව දන්නේ නැත්තේ. 
දන්නවා නම් එකෙක් දෙන්නෙකුට හරි පින් සිතුවිල්ලක් පහළ වෙන්න බැරි නෑ, කොසොල් රජ්ජුරුවන්ව පරද්දන්න. 

කොහොමද රත් නිටොල් මුලක් ඉණේ ගහගෙන  දියවන්නා කැන්ටිමට ගිහින් ලෝක වාර්තාවක් තියන්න හැදුවොත් හෙම? පරම්පරා ගණනකට සෑහෙන්න රටම කන අව්අස්සේ එහෙමත් කන්න ගියෝතින් අපට අබ සරණම තමා.

කොසොල් රජතුමා නම් බඩට විතරනෙ කෑවේ. ආරලා ආවා බඩ ගෙඩියක් මහ කළ ගෙඩියක් තරමට.

එහෙම දේවල්වල 'disadwantages' තියෙනවනේ. එයින් එකක් මට මැවිලා පේනවා-පේනවා වගෙයි. මේක මට ඇඳලා පෙන්නන්න බැරි නිසා ජංජාලෙන් හොයාගත්තේ. 

පූජ්‍යයන් වහන්සේලාගේ ප්‍රධාන කටයුත්ත ගිහියන්ගේ ලෝකෝත්තර ජීවිතය සාර්ථක කරගන්න පාර පෙන්වීමය කියලයි මට හිතෙන්නේ. 
එහෙම නැතිව හැම මළ ඉලව්වකටම හොට දමන එක නෙවෙයි. 
හැබැයි හැම රටේම, හැම කාලෙම මේ හොට දැමීම එක-එක පරිමාවෙන් සිද්ද වෙලා තියෙන බවයි ඉතිහාසය කියන්නේ. අද වෙන දේවල් ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.

ධර්ම දූතයන් සසඟෙහි යෙදුණේ කාන්තාවට උඩින් වැතිරිලා... පිරිමියා ඉහළින් ඉන්න සතා තමයි කියා හිතාගෙන. ඒකෙන් මේ ඉරියව්වට නමකුත් හැදුණා...... මිෂනරි පොසිෂන් කියල......
අද බුදු සසුනේ අටෝරාශියක් නිකායවල් තියෙනවා වගේ ඒ කාලේ ඉඳලාම කිතුණු දහම අදහන-පතුරණ-පාලනය කරන අය අතරත් නොයෙක් ප්‍රභේද තිබුණා. සමහර එව්වායේ පූජකයන්ට; මිෂනාරින්ට කසාද බඳින්නත් ඉඩ තිබ්බා. 
(බටහිර රටවල ධර්මදූත මෙහෙවරේ යෙදුනු අයට කිව්වේ මිෂනාරින් කියලයි.) මෙයාලට කාන්තා පහස නැතිව බැරි වුණාට, හැමදේකම ප්‍රධානකමත් ඕනා වුණා. 

පිරිමි තමා සුපිරි. පිරිමි තමා උඩින් ඉන්නේ. රමණයේදීත්..... ඉතින් පුරුෂයා ඉහළින් ඉන්න මේ ලිංගික ඉරියව්ව නිකම්ම 'missionary position' වුණා.

ඔන්න දැන් එනවා මගේ මනෝ චිත්‍රයට!

අච්චර ලොකු හැළ බඩ ගෙඩියකුත් තියාගෙන කොසොල් රජ්ජුරුවො කොහොමද 'සසඟෙහි' යෙදුණේ? මිනිහෙකුට දරාගන්න බැරි තරම් බඩක් තියාගෙන..... 

ඉතින් මගේ පවුකාර සිතිවිලි කියනවා මල්ලිකා බිසව ඉන්න ඇත්තේ පූර්ණ අතෘප්තියෙන්. ඒ ගොල්ලෝ තෝරාගත්තෙත් 'පුරුෂයා ඉහළ' ඉරියව්ව නම් මල්ලිකා බිසොව 'චප්ප- චුරු' වෙන්නත් ඇති. ඒ නිසා 'බලු චාන්ස් එක' ආවාම ආසාවෙන් වියරු වැටුණු බල්ලෙක් වුණත් මොකෝ කියලා හිතන්නැති. 

මං එහෙම කියන්නෙත් නිකම්ම නෙවෙයි.

තරහෙන් පිපිරෙමින් බිසවගේ සුනඛ සංසර්ගය නරඹමින් හිටි කොසොල් රජතුමා.........
තරහෙන් පිපිරි-පිපිරී බිසවගේ අවකල්ක්‍රියාව බලාගෙන හිටි රජතුමා, බිසව මාලිගාවට ආව සැණෙන් ගිගිරුවා! 'හීන තැනැත්තිය, තී නසින්ට මෙබන්දක් කුමට කෙළෙහි දැ'යි කිවුය. එහෙමයි පොතේ තියෙන්නේ.

මල්ලිකා බිසවත් ලේසියෙන් අත්හැරියේ නෑ. "ඇයි අනේ, මං මොකක්ද කළේ" කියලා අහනවා, දන්නා සිවුසැට මායම් දාලා.

"වෙන මොනවද? බල්ලෙක් එක්ක නිදි වැද්දේ?"
"පිස්සුද? එහෙම දෙයක් වුණේ නෑ!" බිසව කිව්වාම රජතුමාට අසූහාරදාහට කේන්තියි.

කොසොල් රජතුමා දන්නා මගධ භාෂාවෙන් මල්ලිකා බිසවට තේරුම් කරලා දුන්නා තමන් දැක්ක දේ. "ම්ම්ම්ම්.. මට පේන්නේ මෙතන මොනවා හරි හැංගුණු දෙයක් තියෙනවා වගෙයි. ඔබතුමා යන්නකෝ නාන කොටුවට. මං මෙතන ඉඳන් බලන්නම්කෝ මොනවද පෙනෙන්නේ කියලා." මල්ලිකාව කීවා.

මම බල්ලොත් එක්ක තරහෙන් ඉන්නවා කියල ඔබට හිතේවිද? එහෙම හිතන්නත් පුළුවන් මෙච්චර දුර ඇවිල්ලත් මං බල්ලොන්ගේ හොඳ නොකිව් නිසා. 
අමුතුවෙන් කියන්න දෙයක් නැහැ 'බල්ලා තමා මිනිහෙකුට ලබාගන්න පුළුවන් විශ්වාසවන්තම සුරතලා.' 

ඔයාලටත් වෙලාවක් තියෙනවාද නියම ෆිල්ම්ස් කීපයක් බලන්න; බලු කතන්දර. හතරක නම් දෙන්නම්. හොයාගෙන බලන්න වටිනවා. බයිස්කෝප් සිංහලෙන් සයිට් එකේ තියෙනවා. (විස්තර 'සමුදුරු මූර්තිය' පෝස්ටුවෙන් බලාගන්න ඕනි නම්). බල්ලන් ගැන තරහෙන් ඉන්න කෙනෙක් වුණත් මේවා බැලුවොත් උන්ට ආදරය කරන්න පටන් ගනීවි නිසැකයෙන්ම.

Hachi-1987, Fluke-1995, Eight Below-2006, A Tale of Mary & Three Puppies-2007 තමයි මම රෙකමන්  කරන්නේ. එකකට එකක් වෙනස් කතන්දර.නමුත් ප්‍රධාන චරිතවල සුනඛයන් අපූරුවට රඟපානවා.

මේ films හතරම බල්ලන් ගැන වුණාට මසුරං!
මල්ලිකා බිසව කියාපු දේට රජතුමා කීකරු වුණා. ඔන්න දැන් රජ්ජුරුවෝ නාන ගෙයි. බිසව කවුළුව ළඟ. "ඉකේයියා.... මහ රජතුමනි, අන්තඃපුරයේ මේ තරම් බිසෝවරු ඉන්දදී ඔබතුමා මොනවාද මේ එළිච්චියෙක් එක්ක කරන ලජ්ජා නැති වැඩේ?"

"මොනවා. එළිච්චියෙක්.... මෙතැන කොයින්ද බිසවුණි එළිච්චියක්?"

 දැන් රජතුමාගේ සැර බාල වෙලා. බිසව තේරුම් ගත්තා මිනිහා නියමෙටම ලණුව ගිලලා බව. "ආං ඒක තමයි මමත් කිව්වේ.... මේකේ මොකක්දෝ පුදුමයක් තියෙනවා. මේ කවුළුවෙන් බලන ඕන කෙනෙකුට නාන කොටුවේ ඉන්න කෙනෙක්ව පෙනෙන්නේ විපරීත විදියට දෙන්නෙක් වෙලා. දැන්වත් වැටහෙනවාද ස්වාමිනී, මා නිදොස් බව." මල්ලිකා බිසව ඔජ වැඩුවා!
හොඳ වෙලාවට මල්ලිකා බිසව බල්ලෙක්ගෙ අතට ගියේ.

'පුස්තකං වනිතා රතනං - පරහස්තගතො ගතං
අන්තයේ කලහං චෛව - සවාන මෛථුන මෙවච' කියලයි කියන්නේ. ඒ කිව්වේ 'පොතත් ගැහැනියත් වෙන කෙනෙකුගේ  අතට ගියොත් ආපහු ඒමක් නැතිය. බලු මඟුලක් මෙන් අවසන් වෙන්නේ රණ්ඩුවකිනි' කියලයි. 
ශ්ලෝකය තිබ්බෙ 'සිංහල සාහිත්‍ය වංශයෙ' 498 පිටුවේ. (පොත ගැන තව උනන්දුයි නම් 'අජාසත්ත-2 කියවන්න , හොඳේ.)

බිසව නෙවෙයි, කාර්ලොටා ලිබෙන්ස්ටයින් සිටුවරිය නම් තමුන්ගෙ සුනඛ සුරතලාට නොසෑහෙන්න සලකලා තියෙනවා. ඒ කිව්වේ 'ගුන්තර් 3' වෙනියාට ඩොලර් මිලියන 106 ක් අයිති කර දීලයි සිටුවරිය යටිගම් ගියේ!

මේ සිටුවරිය එයාගේ බලු හුරතලාට ඩොලර් මිලියන 106ක් වෙන් කරලා දීලයි..........
මල්ලිකා බිසව කොසොල් රජතුමාව 'අනාට ගොන්දලා' කාලෙකට පස්සේ කාල යාත්‍රා කරලා ගිහින් අවීචි මහා නරකාදියේ උපන්නාලු. කළ පාපය නිසා.

'පුළුලුර තළා වීණා බඳේ දැවටී - රතැඟිලි බැඳී නින්නාදයේ අනුරා
හද ස්වර තළා කම්පිත වෙවී - මට මා පවා නැති කළේ කවුරුන්දෝ'
කියා යමුනා මාලිනියගේ පද ගයමින් දිවුල්ගනේ අහනවා වගේම මිහිරට නැතත්, කොසොල් රජ්ජුරුවොත් දුකෙන් ගයන්න ඇති. ඒ විතරක් නෙවෙයි, තමන්ගේ ප්‍රියම්බිකාව මිය-පරලොව ගිහින් ඉපදුනේ කොහෙද කියලාත් බුදුපියාණන් වෙතින් අහගන්න හිතාගෙන 'දෙව්රම් වෙහෙරේ - හිමි වැඩ සිටි සමයේ' එහෙට ගියා.

සම්බුදුරජාණන් වහන්සේත් දිවැසින් දැක්කා කොසොල් රජතුමා මොකටද එන්නේ කියලා. දිවැස් නැතත් අද නම් අපටත් පෙනෙනවා ඔක්කොම රජවරු සොක්කන්ගෙ ඇස් වහන්න වලිකන හැටි. එව්වා දැන-දැනත් අපි උන්දැලාවම රජ කරවලා අපටම කෙළවා ගන්නවා. එහෙව් මොට්ට අපි ඉන්න රටකනේ සම්බුදු දහම නොනැසී පවතිනවයි කියන්නේ.
ඉතින් බුදු සාදු මහා කරුණාවෙන් අධිෂ්ඨාන කළා රජ්ජුරුවොන්ට ප්‍රධාන අරමුණ අමතක වේවා කියලා.

හත් දෙයියනේ, ඒ අධිෂ්ඨානය තවමත් අපේ ධර්මද්වීපයට බලපානවා වගෙයි නේද? එ්කනේ රට බේරාගන්න ඇවිත් පක්ෂේ බේරාගන්න ගිහින් මහා ජංජාලයක් හදාගෙන තියෙන්නේ. ඒ විපත්තිය ගැන දෙයියන්ට බුදුන්ට කියලා පලක් නෑ. අපි හැමෝම 
'කල් වැසි වසීවා - කෙත් වතු සාර වේවා - සත් සිත් නිවේවා - රජුන් දැහැමිව රජ කෙරේවා!' කියලාවත් දුර දක්නා නුවණින් යුතුව පතමු.

සිදුහත් ගෞතමයාණන් වහන්සේ ප්‍රාර්ථනා කළ විදියටම රජතුමාට අමතක වෙනවා මල්ලිකාව ඉපදුනේ කොහෙද කියලා අහගන්න. හත් දවසක්ම ඒ සංතෑසිය වෙනවා. අටවෙනි දවස වෙද්දී මල්ලිකා දේවිය 'තුසිත පුරේ' ඉපදිලා ඉවරයි. එ්ක රජතුමාට දේශනා කළා කියලත් කියන්නම ඕනෑය?

ඉතින් දහ බලු කතාව ඉවර කරන්න කලින් තව එකම එක බලු කාරණාවක් කියන්නම්! මේ තරම් විද්‍යාව දියුණු වෙලත් තවම බැරි වෙලා තියෙනවා බල්ලොයි නරියොයි එකට මුහු (cross) කරන්න. මට හිතෙන්නේ ආයේ අලුතින් ඒක කරන්න ඕනි නෑ, සොබාව ධර්මයා විහින්ම 'හෝමෝ සේපියන්ලා' බිහි කරලා තියෙන නිසා෴  

10 comments:

  1. නෙල්සන් ගල්හේන මහතා මහණ වෙලා බව දැනගත්තේ ඔබෙන්.ඔහු කේ.ආරියසිංහ සර්ගේ ප්‍රගති. එකේ සිංහල ඉගැන්නූවා.

    ReplyDelete
  2. සංසාරේ!
    එහෙමයිනේ කුමාර මහත්තයෝ.

    ReplyDelete
  3. නිදි,ගුණසේන අච්චු ගැසූ සිංහල සාහිත්‍ය වංශය ලීවේ කවුද?
    //බල්ලොයි නරියොයි එකට මුහු කරන්න
    ඊට හපන් බොස් බල්ලොයි වෘකයෝයි මුහු වෙච්චම

    ReplyDelete
  4. ඩේවිඩ් කරුණාරත්න මහත්තයා.
    අජාසත්ත - දෙවෙනි පෝස්ටුවේ 'සිංහල සාහිත්‍ය විශ්ව කෝෂය' ගැන
    ලොකු විස්තරයක් තියෙනවා.

    මං හාමු කිරිලි ගැන හදාරපු කෙනෙක් කියලද හිතන්නේ?

    ReplyDelete
  5. තැන්ක්ස් බොස්.පරණ පොස්ට් හෙමීට කියවගෙන යනවා.
    //මං හාමු කිරිලි
    හැම හාමු කිරිල්ලක් ගැනම සුට්ටක් හරි දැනගන්න ඕනි

    ReplyDelete
  6. එහෙනං කොනක ඉඳන් පටන් ගන්නට මෙන්න ආරාධනා!

    ReplyDelete
  7. අපේ කාලෙ විහාර මහා දේවි උද්‍යානයේ එළිපිට ඉන්න 'පීපින් ටොම්'ලා හිටිය ... මහජන පුස්තකාලෙන් පොත් දෙකක් අරගෙන වැටෙන් පැනල එන ගමන් ඔය මධුර ජවනිකා බලාගෙන තමයි අනික් පැත්තට එන්න තියෙන්නෙ :)

    මල්ලිකා තමයි දවසකට හරි මල්ලිකා ... රජ්ජුරුවන්වත් ආණ්ඩුව එහෙනම්, ඔය කතාව කියවනකොට මතක් උනේ ලීඩා සහ හංසයාගෙ ග්‍රීක මිත්‍යා කතාව. මේ සම්බන්ධ චිත්‍ර සහ මූර්ති කිහිපයක්ම දැකල තියෙනව වැනීසියේ සහ ඇතන්ස් වලදි.

    https://en.wikipedia.org/wiki/Leda_and_the_Swan

    ReplyDelete
  8. ස්තුතියි කණ්ඩා, ලින්ක් එකටත් ගිහින් කියවලා ඉවර වෙලා උත්තර ලියන්නේ.

    ඉස්සර මිනිස්සු දැන් අයට වඩා වල්ද නැතිනම් අව්‍යාජද? දැන් ඉන්නේ බෝගස් නේද, යටින් කුණුවුණු.

    ReplyDelete
  9. දැන් ඉන්න එවුන් සහ ඉස්සර එවුන්ය කියල ඔය සම්බන්ධයෙන් වැඩි වෙනසක් නෑ... :)

    ReplyDelete
    Replies
    1. ඔයා හරි කණ්ඩා, මනුස්සකම කවදත් එකනෙ!

      Delete