"අයියේ, ඔයා ITN එකේ දැක්කද?"
සුනිල් අද
(2018 මැයි 21) හවස තුනහමාරට විතර කෝල් එකක් දී
මගෙන් ඇහුවේය. මා එවෙලේ හිටියේ තද නින්දකය.
සුනිල්ලා
ඉන්නේ බලන්ගොඩය. එහෙම කිව්වාට රාස්සගල- සීතගලය. ඈන්ගේ ඕනෑකමට සුනිල් ඒ තරම්
දේශ-දීපංකරයකට අභිනිෂ්ක්‍රමණය කළ බව මගේ හැඟීමයි. ඈන් වගේම සුනිලුත් ඇරියස් කවර්
කරන්න හදනවාද දන්නෙත් නැත.
ඈත සීත
පළාතක, ලොකූ කන්දක් මුදුනේ, කාත්-කවුරුවත්
නැති දිහාවක, චූටිම-චූටි ගෙයක් හදාගෙන, සාරි ඉරලා ජනෙල්වලට දාගෙන, පොල් සම්බෝලයි බතුයි කකා ඉන්නට
හිතාගෙන ඒ ජෝඩුව ඒ පැත්තට සංක්‍රමණය වුණු බවයි මගේ වැටහීම නම්. ටිකක් wrong යනවද....වැරදිද? චික්
විතරක්! මට පෙනෙන්නේම ඇදේට වගෙයිනේ!
අක්කර
දෙකහමාරක තේ වත්තක් එක්ක හැප්පුණත් ඒගොල්ලොන්ට TV බලන්නත්
ලොකු කාලයක් තියෙනවා වගේය. ඉතින් මොකක් හරි හිතට අල්ලන වැඩ සටහනක් යද්දී සුනිල්
මටත් කතා කර ඒක බලන්නට කියයි. "ලාල් අයියා අක්කර පහේදී මාලිනීව
බඳිනවානේ!"
මෙච්චර
කල් ගිහිල්ලාත් ලාල් අයියා චිත්‍රපට නළුවෙක් බව සුනිල් දන්නේ නැද්ද? මට හිතුණේ
නම් එහෙමය.
"ඒකෙ
විතරක් නෙවෙයි, දෑස නිසා එකෙත් ඉන්නවා. තව එව්වයේත්...." මම
සුනිල්ව දැනුම්වත් කළෙමි. ලාල් අයියා රවීන්ද්‍ර රන්දෙනියගේ ප්‍රියාදර බිරිය ප්‍රීති
සෙනෙවිරත්නවත් තැලි-පිළි පළන්දා පෝරුවේදී කසාද බැන්දේය. ඒත් චිත්‍රපටයකටය.
ලාල් අයියා අක්කර පහේදී කසාද බඳිනවා දැක්කද? |
ඒ ඔබගේ සම්පූර්ණ නාමයයි. මට
ලාල් අයියා. අපේ අම්මාට ලාල් පුතා. ම්...ම්....ම්. අපේ අම්මාට 'මමී' කියා කතා කරන්නේ ලාල් අයියා
විතරක් වගේය.
මට ලාල්
අයියා මුණ ගැසුණේ ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ (FPA), තරුණ
ජනගහණ කමිටුවේදීය, 1979 දී විතරය. ෆැමිලි ප්ලෑනින් එක ගැනත් තජකය ගැනත් වෙනමම
කියන්නට තරම් දේවල් කන්දකි.
ලාල්
අයියාත් තජකයේ ආරම්භක සාමාජිකයෙකි.
අපට කථන
හා නායකත්ව පුහුණු වැඩ සටහනක් පැවැත්වෙද්දී එය මෙහෙයවූයේ ලාල් අයියාය.
මා
පළමුවරට මහාචාර්ය නන්දදාස කෝදාගොඩ, දේශකීර්ති
එඩ්වින් ආරියදාස, වෛද්‍ය ශ්‍රියානි බස්නායක වැනි මහත්ම මහත්මීන් හැබැහින්
දැකගෙන හඳුනාගන්නේ එහිදීය. ඇයි ප්‍රවීන නිවේදිකා චිත්‍රා රංජනී අබේසිරි, මහේෂ්
පැස්කුවෙල්, නන්ද පී. කළුතන්ත්‍රී...!
මට පළමුවරට මහාචාර්ය නන්දදාස කෝදාගොඩ මැතිඳුන් හමු වන්නේත් ............ |
පුහුණුව ලබන අය අතරේ
සී.ආර්. විජේවන්ත, අනුර ජිනදාස, අසෝක කපුරුගේ, මර්වින්
බොතේජු, ඩී.ඩී. පද්මසිරි, ගීතා ශ්‍රීමතී, ඉන්දිරා
හෙට්ටිහේවා, අනෝමා ද සිල්වා, ටියාරා ටියුලා ද සිල්වා, සිල්වරීන්
ද සිල්වා, ඩන්ස්ටන් හා මමද වීමු. ඔය
මට මතක අයයි. පද්මිණී අක්කාත්, ඩයසුත් සිටි බව මතක ඇතත්
ඔවුන්ගේ මුළු නම් මතක නැත. සිල්වරීන්ද මාද උඩවැඩියා පන්තියේ ඉහළම දස්කම් පෙන්නූ
දෙදෙනාය.
නවසිය හැට
ගණන්වලදීම මා කථික තරගෙකින් දිනා, රන් පදක්කමක් ලැබූ හැටි 'නොදෙන්න හිටි රන් පදක්කම' පෝස්ටුව කියෙව්වා නම් ඔබ දැනටමත් දනී.
ඒ කාලයේම
මා රස්සාවක් ලෙස පේව්මන්ට් එකේ දේශනා කරන තරමේ හපනෙකුවූ බවත් 'පේව්මන්ට් එකේ රජවී' කියවන විට
ඔයාලා දැනගනු ඇත!
හැබැයි 'කථනය
කලාවක්' බවත්, උගත යුතු තරම් ශිල්ප-ශාස්ත්‍රයක්
බවත්, නිති එය ප්‍රගුණ කළ යුතු බවත් මා දැනගත්තේ ඒ වැඩ සටහනට
පින් සිදු වන්නටය.
කතාවක්
පැවැත්විය යුතු අයුරු මෙන්ම, එය නොකළ යුතු අයුරු පිළිබඳවත් මා
උගත්තේ එයින්ම බවත් කියන්නටම ඕනෑය. ඕනෑම දේකට කලාවක් ඇත. ඒක ඉගෙන ගන්නට ඕනෑ මුළාවේ
නොවැටී වැඩ කරගෙන යන්නටය.
මා තජකයට
(Youth එකට) ගියේ 'උඩවැඩියා' වගා කරන
හැටි ඉගෙන ගන්නටය.
එදා රිවිරැස පත්තරයේ ඉතා කුඩා දැන්වීමක් පළවී තිබිණි. ඉතින් මමත්........ |
'රිවිරැස' පත්තරයේ ඉතා කුඩා දැන්වීමක් විය. ස්වයං රැකියාවක් ලෙස
උඩවැඩියා වගාව, ඇඳුම් මැසීම හා කෘත්‍රිම
මල් සෑදීම කරන්නට නොමිළේ උගන්වන බව එහි සඳහන්ව
තිබිණි. මමත් ඉල්ලුම් පත්‍රයක් දැම්මෙමි. සම්මුඛ පරීක්ෂණයකිනුත් සමත්ව පාඨමාලාව
හදාරන්නට පටන් ගත්තෙමි.
ඒවා
පැවැත්වුණේ යහපත් 'උගුලක්' හැටියටය කියා කීම ඉන්තේරුවෙන්ම
සාධාරණය. ඔවුනට; තජකයට අරමුණු දෙකක් තිබිණි.
1. තරුණ පෙළට
පවුල් සැළසුම හඳුන්වා දීම.
2. තජක වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම සඳහා දක්ෂ නියමුවන්
පිරිසක් හඳුනා ගැනීම.
ඒ දෙවෙනි
අරමුණ සපුරා ගන්නටය අර පාඨමාලා හදාරණ 120 කින් 30 ක් විතර
තෝරාගෙන 'විශේෂ පුහුණු වැඩ සටහන්' කළේ.
ඒ මටත්
හරි-හමන් වැඩක් නැතිවෙමින් තිබුණු කාලයයි. විවෘත ආර්ථිකය නිසා බතික්වලට තිබුණු
ඉල්ලුම සීග්‍රයෙන් පල්ලම් බහින්නට ගත්තේය. එබැවින් මට වැඩි විවේකයක් ලැබෙමින්
තිබිණි. අලුත් අත්දැකීම් ලබාගන්නට මඟ බලමින් හිටි මමත් උනන්දුවෙන් පුහුණු වීමි.
ඔයාලා කීප දෙනෙක්ව තෝරාගන්නවා අපේ නායකත්ව වැඩ සටහන්වල ලෙක්චර්ස් කරන්න..... |
"අපි ඔයාලා කීප දෙනෙක්ව තෝරා ගන්නවා අපේ තරුණ වැඩ
සටහන්වලදී කතාවල් පවත්වන්න." ලාල් අයියා නිවේදනය කළේ සහභාගිවූ හැම දෙනාටම testing කතා පවත්වන්නට කියා අවසානයේදීය.
මුලින්ම
තෝරාගත් හතර දෙනා අතර මාත් විය. "ලබන සතියේ ඔය හතර දෙනයි, අපියි
යනවා ඇඹිලිපිටියෙයි, මොනරාගලයි තියෙන තරුණ වැඩ සටහන් දෙකකට. මුල් දවසේ වැඩ
සටහනේදී දෙන්නෙක්ව යොදාගන්නවා. ඊළඟ දවසේ අනෙක් දෙන්නා. තේරුණානේ? 'සී'තුයි, නිමල්තුයි
දෙන්නා 'තරුණයා හා නායකත්වය' ලෙක්චර්
එක කරන්න ඕනේ. අනෙක් දෙන්නා පවුල් සංවිධාන සංගමයයි, යූත් එකයි
අඳුන්නලා දෙන්න ඕනේ."
ලාල්
අයියාගේ කතා-බහේදී අමුතු 'තුත්' කෑල්ලක් භාවිත වෙයි. ඔහුට අනුව
නම් නිමලුත් 'නිමල්තුත්'ය. අනුරත්
'අනුරතුත්'ය.
මට තවම
මතකය. පුහුණු වැඩ සටහනේදී අපට කියා දුන් පාඩම්, උගැන්වූ
කරුණු සේරමත් ප්‍රයෝජනයට ගෙන මමත් උපරිමයෙන්ම සූදානම් වූයෙමි. මුලින්ම කෙටි
සටහනක්.... තරුණයා යනු කවරෙක්ද? ඊළඟට තරුණයා ගැන නිර්වචන... ඒ
ගැන වියත් මත. ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් මහතාගේ මතය. මහාචාර්ය නන්දදාස කෝදාගොඩ
මහතාගේ මතය. එඩ්වින් ආරියදාස මහතාගේ මතය .....
ඊළඟට
නායකත්වය. නායකයෙක් කියන්නේ කවුද. ඔහුගේ හෝ ඇයගේ විදිය....
එක්තරා
වඳුරු විශේෂයක නම් නායකත්වය ලැබෙන්නේ වලිගය හොඳටම වක්වී තිබෙන්නාටය කියාත් මගේ
සටහනේ ලියාගෙන තිබිණි. මා හිතාගෙන හිටියේ ඒකට වැඩි බරක් දාන්නටය. ඒ වඳුරු වර්ගය
ෆොරීන් නිසාය.
නියමිත සෙනසුරාදා
හිමිදිරියෙන් පිටත්වී, උදේ නවයටත් පෙර අපි
ඇඹිලිපිටියේ වීමු. වැඩ සටහන සංවිධානය කර තිබුණේ ජාතික තරුණ සේවා සභාවේ, යෞවන සමාජයකිනි. සභාව මෙහෙයවන මූලාසනයේ හිටියේ ලාල්
අයියාය. ඒ රාජකාරිය ඔහුටම පවරා තිබ්බේ සූදානම් ශරීරේ කියලා බව අපට පෙනුණේ
ඉක්මනින්මය.
පොල්තෙල්
පහන් දල්වා, පිළිගෙන, සමාරම්භක
කතාවලින් පසු වැඩ සටහන ඇරඹිණි.
"හෙට
මාත් කරන්නේ මේ කතාවනේ. බලමු, මෙයාගෙනුත් මොකවත් අහුලා
ගන්න." මම හරි-බරි ගැහී බලා උන්නෙමි. ලාල් අයියාම කථිකයා හඳුන්වා දුන්නේය. 'සී' අයියා
ඔහුගේ සටහනත් ගෙන නැඟිට්ටේය.
දෙයියෝ
සාක්කි! අපට උගන්වා තිබ්බේ කෙටි සටහනක් ගහගෙන එන්නටය. 'මුළු
කතාවම ලියාගෙන එන්න එපා. ඒත් පුරුදු වෙනකල් ටිකක් විස්තර ඇතිව ලියාගත්තට කමක්
නැහැ.' අපට සහනයකුත් දී තිබිණි. ඒත් ෆුල්ස්කැප් කඩදාසිවල?
"සභාවෙන් අවසරයි. මම සූදානම් වෙන්නේ තරුණයා සහ තරුණ
නායකත්වය......" කථික මේසය උඩින් අර කඩදහි ගොන්න තියාගත් 'සී' අයියා
වහලයේ උළු උඩ යවාගෙන-යවාගෙන ගියේය. විනාඩියක් ගියේ නැත. ඔහු කඩදාසි ටික අතට
ගත්තේය. කියවාගෙන-කියවාගෙන ගියේය.
ඔහු
කොතරම් ආවේගශීලීවී උන්නාද කියතොත්, සටහන්
අල්ලාගෙන උන් අත් වෙවුලන තරම හැමෝම දැක ගත්හ.
දේශනයට විනාඩි 45ක් වෙන් කර තිබ්බත් විනාඩි අටෙන් කතාව ඉවරය. ඉතින් මොකේදැයි දන් වළඳන්නේ? |
"ඔව්. අපේ 'සී' සොහොයුරා
ඉතාම සාරගර්භ දේශනයක් කළා, තරුණයා හා තරුණ නායකත්වය මැයෙන්. මං කැමැතියි ඔහු
ඉදිරිපත් කළ දේශනයේ සමාලෝචනයක් ඔබ ඉදිරියේ තබන්න....." කියා පටන් ගත් ලාල්
අයියා අර දේශනයම හෙමිහිට කළේය. දේශනයට විනාඩි අටයි. සමාලෝචනයට විනාඩි
තිස් හතයි!
මරේ මරුය.
මං ඔය සේරම බලන් උන්නේ තූෂ්ණිම්භූතවය. හෙට මට මොකද වෙන්නේ?
එදා රාත්‍රියේ
අප නැවතුණේ මොනරාගල තානායමේය. හැමෝම ඇඟ-පත සෝදාගත් පසු තේ බොමින් එදා දවසේ කටයුතු
ගැන සමාලෝචනයක් කෙරිණි. එව්වා සේරම කළේ එවකටත් පරිණත ලාල්
අයියාමය. 'සී' අයියා ගැන සිනාමුසු විවේචනයක් කළ
ඔහු, ඉන්පසු මා දෙසට හැරුණේය. "දැක්කනේ. ඔන්න හොඳ පාඩමක්, නොකළ යුතු
හැටි ගැන."
මා
කිසිවක් කිව්වේ නැත. මමනේ දන්නේ මගේ සූදානමේ තරම!
ෆොටෝ එකේ වම් කෙලවරේ සිටින ලලිත් එස්. මෛත්‍රීපාල මහතාත් අනුලා ඇන්ටිත් එකට අකුරු කළ උදවියයි..... |
අපේ ගෙදර
අය පමණක් නොව අනුලා ඇන්ටිලාගේ ගෙදර අයවත් සභාවට ගෙන්වා මම ගෙදරදී පෙරහුරුවක්
කළෙමි. මට කළු ලෑල්ලක් නැති අඩුව පිරෙව්වේ අපේ ඉස්සරහ දොරයි. වැදගත් කරුණු ඒකේ
ලියා, හරබර කරුණු නිවිහැනහිල්ලේ අවධාරණය කරමින් මා කළ කතාව
ඉස්තරම් යැයි අනුලා ඇන්ටි සහතිකයකුත් දුන්නානේ.
අනුලා
ඇන්ටි ප්‍රවීන ගුවන් විදුලි නිවේදක ලලිත් එස්. මෛත්‍රීපාල මහතාත් එක්ක එක පන්තියේ
උන් හිටිවන කිවිඳියකි. (අජාසත්ත 1 පෝස්ටුවේදී මම අනුලා
ඇන්ටි ගැන ටිකක් කිව්වෙමි.) එව්වා එහෙම වුණත් ඉතින්.... ඇත්තම කිව්වොත් එදා රෑ මට
නින්ද ගියේ නම් අඩුවෙනි.
අඩුවෙන් නිඳාගත්තා මදිවාට මට හීන් දාඩියත් දාන්න ගත්තේ මොනරාගල වැඩ සටහන පවත්වන ඉස්කෝලයට ගියාමය.
අප යනවිටත් ගොඩ දෙනෙක්
ඇවිත්ය. තවත් අය එමින් සිටිති. අනේ, කාටවත්
අපහාසයක් කරනවා හෙම නොවේ. ඇත්ත ඇති හැටියෙන් කියනවා විතරය. එදා ගොඩ දෙනා ඇඳගෙන එන
ඇඳුම්වලින්ම මගේ කතාව ඔවුන්ට අල්ලන්නේ නැති වෙන බව මටම තේරිණි. වැඩි දෙනා ඇඳගෙන
ඇවිත් තිබුණේ සරොම්ය. කලිසම් ඇඳගෙන හිටියත් කමිස බොම්බයි මොටයි පාටය, එක්කෝ ලා කෙහෙල් දලු පාටය. නැත්තම් ..... ගවුනුත් එහෙමය. පිටින් බලද්දී නම් එන පොට හොඳ නැත! කෙල්ලව ගෙට ගත යුතුය!
හැබැයි, ඒ එදාය, 1979 විතරය.
අද? සිදාදියේ අයට දෙවෙනි නොවන්නට ඔවුහු අඳිති, පළඳිති, මෝස්‌තර
කරති. පිටින් නම් එහෙමය. ඇතුළෙන් කොහොමදැයි කියලා නම් මා දන්නේ නැත.
චරිත් සුදර්ශන බඩල්කුඹුරේ හාදයෙකි. අසංක ලක්ෂ්මන් බිබිල පිටකුඹුරේය. දෙන්නාම කුඹුරුවල වුණත්... |
මේ ඉන්නා චරිත් සුදර්ශන
මොනරාගල බඩල්කුඹුරේ හාදයෙකි. දෙවෙනියා අසංක ලක්ෂ්මන්ය. අසංක බිබිලේ, පිටකුඹුරේය. මොණරාගලටත් වඩා ඈත හාදයෝ දෙන්නෙකි. (මගේ
මිතුරන් වන ඔවුහු එකිනෙකා හමුවෙලාත්, හඳුනාගෙනත්
නැත.) ඒත් ඒ දෙන්නාම එදා මා මොනරාගලදී දුටු අයට වඩා ගවු ගණනාවක් ඉදිරියෙන් හිඳිති.
"කතාවක් කරනකොට මුලින්ම පටන් ගන්න ඕනේ ඉතාම සිත් ගන්න
විදියකට.
මට මතක් වෙනවා හොඳ උදාහරණයක්. එතකොට ටී. බී. තෙන්නකෝන් මහත්තයා
තමයි සමාජ සේවා ඇමතිතුමා. එතුමාට ආරාධනයක් ලැබුණා රත්මලානේ අන්ධ විද්‍යාලයෙන්. එහෙ
තියෙන විශේෂ උත්සවයකට සහාභාගී වෙලා කතාවකුත් පවත්වන්න.
-හැබැයි
එදාම එතුමාට තව රාජකාරියකටත් යන්න තිබුණා. ඉතින් තෙන්නකෝන් මහත්තයා එයාගෙ
ලේකම්තුමාට පැවරුවා අමාත්‍යාංශය නියෝජනය කරමින් අන්ධ විද්‍යාලයේ උත්සවයට යන එක.
-ඔන්න
ලේකම්තුමාට කතාවකුත් කරන්න වෙනවානේ. එයා උපාධිකාරයෙක්. පිටරටත් ගිහින් ඉගෙනගෙන
තියෙන කෙනෙක්....." මොනරාගලදී මට මතක් වුණේ අපේ පුහුණු වැඩ සටහනේදී එඩ්වින්
ආරියදාස මහත්තයාගේ දේශනයකදී කියවුණු කතාවක්. ඉතින් මෙහෙමයි ඉතිරි හරිය...
එඩ්වින් ආරියදාස මහත්තයා එතැනින් කතාවට විරාමයක් තියලා ප්‍රශ්නයක් ඇහුවා! |
එයා හොඳට සභාව දිහා බලන් හිටියා.
-කිසිම ප්‍රතිචාරයක් නැහැ.
අන්ධ අය නිසා අඩුම තරමින් එයාලා බලාගෙන ඉන්න අහ මොකද්ද කියලාවත් තේරුම් ගන්න
බැහැනේ.
- ඔන්න එයාගෙ කතාවට වෙලාව
ළංවෙද්දී ඇමතිතුමා ආවා. ඇමතිතුමා එයාට කියලයි තිබුණේ අන්ධ විද්‍යාල උත්සවයට එන්න
උපරිමයෙන් වෑයම් කරන බව.
දැන් මනුස්සයත් බලාගෙන
ඉන්නවා ඇමතිතුමා මොනවා කියාවිද, හොඳටම උදාසීන සභාව කොයි
විදියට ප්‍රතිචාර දක්වයිද කියලා. ඇමතිතුමා කතාවට නැඟිට්ටා...."
එඩ්වින්
ආරියදාස මහත්තයා එතැනට විරාමයක් තියලා ඊට පස්සේ, පුහුණුවන්නට
ගිහින් හිටි අපට ප්‍රශ්නයක් ඉදිරිපත් කළේය.
කොහොමද කතාව පටන් ගන්න ඈත්තේ? |
"කොහොමද
ඇමතිතුමා කතාව පටන් ගන්න ඇත්තේ? උත්තරේ හොයාගන්න ලේසිවෙන්න මෙන්න
හිච්චි රුකුලකුත්. එතකොටම අර අන්ධ අය සේරම එක පාරම පිබිදිලා ආවා වගේ ඇමතිතුමාගේ
පැත්තට හැරෙන්න පටන් ගත්තා."
ඔන්න
ඔයාලා හැමෝටමත් මොළේ කුලප්පු කරගන්න ඉඩක් දීලා, අදට
අතරමඟින් නවත්තනවා. බායි!
ReplyDelete++++++
ප්‍රතිචාරයට ස්තුතියි!
ReplyDeleteඇත්තටම කොහොමෙයි ඇමතිතුමා කතාව පටන් ගත්තෙ ? සීනුවක්වත් ගහලද ?
ReplyDeleteකණ්ඩා, ඔයාටම උත්තරේ ලැබෙයි, ඊළඟ කොටසින්.
Delete