අකුරු මැකී නෑ

Monday, June 4, 2018

අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස

අවුරුදු චාරිත්තර ඉවර වෙනකල්වත් ඔය මහත්තැන්ලා ගෙදර ඉන්නේ නැද්ද හැබෑට?
"ඈ මහත්තයෝ. ඇහුවට තරහ ගන්න එපා. ඔය මහත්තැන්ලා එකම වතාවක්වත් අවුරුදු දවස්වල ගෙදර ඉන්නේ එහෙම නැත්ද, අවුරුදු චාරිත්තර ඉවර වෙනකල්වත්?" වැල්ලවාය පන්සලේ ලොකු හාමුදුරුවෝ අපෙන් ඇසූහ.

පුදුමය උන්නාන්සෙ එහෙම නෑහුවා නම්ය. 

ඒ අවුරුදු චාරිත්තර කෙරෙන වෙලාවට අප ඒ පන්සලේ බණ මඩුවේ නවාතැන් ගෙන හිටි තුන්වන අවුරුද්දයි. හරියට අප දහදෙනා ගෙවල්වලින් පන්නලා දමලා වගේය. එදා නම් අපි උන්වහන්සේට රිස්සක් හිතාගන්නට ඇරලා මුනිවත රැක්කෙමු. අද නම් එහෙම නොකරන්නෙමි.

ඒ නිසාම මුල පටන්ම පටන් ගන්නෙමි. අමද්‍යප තරුණ පුහුණු මුද්‍රණාලය හරහා නෙවිල්වත්, ඔහු හරහා අලුත් හිතවතුන් හත්-අට දෙනෙකුත් හඳුනාගත් මුල් අවදියයි ඒ.

අපේ නංගි සමන්ති පළමු වතාවට, තනිවම ලංකාවට ආවේ "අනේ ලොකූ, කොහේ හරි ට්‍රිප් එකක් නම් යන්නම ඕනේ." කියාගෙනය. DKR (මතකයිනේ, අජාසත්ත - 4 පෝස්ටුවේදී එයාව අඳුන්නලා දුන්නා.) අඳුනන මිතුරක් ගැනත් අප දැනගත් කිට්ටුවමය ඒ. 'ගිනිගේ' ය.  

අපේ ගෙදර බාල තුන්දෙනාම එංගලන්තයට ගියාට පස්සේ, සමන්ති නංගී පළමු වතාවට ..........
"නිමල් අයියේ, අපේ සූ ක්ලබ් එකේ යාළුවෙක් ඉන්නවා ගිනිගේ කියලා. ඌ ලංකාවේ හැම තැනම යනවා. මිනිහට කිව්වොත් අපිට සිංහරාජේ යන්න සෙට් කරගන්න පුළුවන්. යමුද?" අප ට්‍රිප් ගැන කතා කරමින් ඉඳිද්දී DKR ඇසුවේය.

අනෙක් හැමෝමත් ඒකට මනාපය දුන්හ. සමන්ති නංගී කොහේ වුණත් කමක් නැතැයි යනුවෙන් කියා තිබූ නිසා වැඩේ තවත් පහසු විණි. 

"හැබැයි සෑම්, වෙන ගෑනු ළමයි නෑ." මම කීවෙමි. 
ඒ ලංකාවේ මිනිසුන් හිතන විදිය දන්නා හින්දාය. "ඕගොල්ලන්ට ප්‍රශ්නයක් නැත්නම් මට කොහෙත්ම ප්‍රශ්නයක් නැහැ." ඇය කිව්වාය.

දීපාල් මල්ලිත්, දීපානි නංගිත් සමඟ ලංකාවෙන් යද්දී නම් ඇය නියම ගතානුගතික ශ්‍රී ලාංකේය දැරියකි. ඒත් අවුරුදු කිහිපයකදී කෝෂයෙනුත් එළියට ඇවිත් සමනලියකුත් වෙලාය. ඒ ගමනෙන් වුණු වාසිය අප කවුරු-කවුරුත් එකිනෙකා හොඳින් දැන-හඳුනා ගැනීමය. අපි විතරක්මත් නොවේ. ලොවම පරසිදු සිංහරාජයේ මාටින් අයියාත් අපි හඳුනා ගත්තෙමු.

මේ ඒ ගමන ගිය අලුතමය.

මේ සැරේ මට ඕනේ කොහේ හරි ට්‍රිප් එකක් යන්න ..... අවුරුදු දවස්වල.
 "නිමල්, මේ සැරේ සිංහල අවුරුද්දට ගෙදර ඉන්නේ නැතිව මට කොහේ හරි යන්න ඕනේ. අපේ මල්ලිටත් එහෙමයි. යමුද ට්‍රිප් එකක්. මගේ VAN එකත් තියෙනවානේ." 'එල්' මට කීවේය.
හේතුව මා දැනගත්තේ බොහෝ කලක් ගිය පසුවය. ගෙදර අයගේ අකැමැත්ත නොතකා විවාහ වුණු සොහොයුරියක් අවුරුද්දට අයියලාට බුලත් දෙන්නට එනවාලු කියා ආරංචියක් ලැබිලාය; ඔහු කලබල වුණේ! ඔහුට ඕනෑ වුණේ නංගිලා එද්දී ගෙදරින් බැහැරව ඉන්නටය. මම 'හා' කීමි.

අප දහදෙනෙක් ට්‍රිප්වලට 'සෙට්' වුණේ එහෙමය. ඒක දිගටම පුරුද්දට ගොස් දැන් අවුරුදු තිහකටත් වැඩි කාලයක් තිස්සේ අවුරුදු දිනවලට අප ඉන්නේ කොහේ හෝ කැලයකය.

එහෙම යද්දී සමහර දිනෙක අප නැවතුණේ පන්සලකය. එවන් විටෙකය, අර ස්වාමීන්වහන්සේ මුල් ප්‍රශ්නය ඇහුවේත්. අනේ, උන්නාන්සේට පින් අත් වේවා! අප එහි නැවතී සිටියොත් නම් එතුමෝ නිකම්ම අපට පිටත්වෙන්නට නොදුන්හ. මඟදී කන්නට කැවුම්, කෙසෙල්ගෙඩි මල්ලකුත් අපට දෙති.

ඔහොම වල් වදින අපේ පුරුද්ද තවමත් එහෙමය. එකම වෙනස පුද්ගලයන් මාරුවීමය. වියපත් වෙනවිට, දරුමල්ලන් ඇති වෙනවිට, විවේකය අඩු වෙනවිට සමහරු හැළුණාහ. සමහරුන් දැන් රටේවත් නැත! හැබැයි, හැළෙනවාට වැඩි පිරිසක් එකතු වෙන්නටත් සිටියෝය. දැන් ඉතින් හැළෙන්නට ඉන්නේ මාය.

මුහුදෙන් යටවෙලා තිබිලා මේ හරිය පස්සේ කාලෙකයි මතුවෙලා තියෙන්නේ. විල්පත්තුවේ මුහුදු පොසිල තියෙන්නේ ...
එහෙම වුණත් මෙදා සැරෙත් තිහකට කිට්ටු නඩයක් විල්පත්තු යන්නට ආවෝය. එය වනෝද්‍යානයකි. අතීතයේදී විල්පත්තුවට අයත් භුමි ප්‍රදේශයෙන් 50% කටත් වැඩි කොටසක් මහ සයුරට යටවී තිබුණු බව කියැවෙයි. කුදිරමලේදී අදත් අපට මුහුදු පොසිල යහමින් දැකගත හැකිවීම ඊට හොඳම සාක්ෂියකි.

අතේ එතරම් මිල-මුදල් නොතිබුණු කාලයේ නම් අපේ කවුරුත් බැලුවේ කොහොම හරි ගමන යාගන්නටය. දැන් එහෙම බැරිය. සමහරුන්ට AC වාහන නැතිව අමාරුය. තව සමහරුන්ට අලුත් ඇඳුම් කට්ටල කිහිපයක්ම නැතිනම් හිතට හරි නැතිලු. තව අයට කැලේකදී වුවද කුකුල් මස් ඕනෑමය.
ලස්සනම දේ කියන්නේ දැන් අප සමහර ට්‍රිප් යනවිට වෙනම වාහනයක ගෙනියන තරමට ඇඳුම් බෑග්ය.

"නෙවිල් අයියට නම් මොකෝ? අපිට නම් එහෙම බෑ. හැමදාම ඔය චූටි බෑග් එකේ කොහොමද ඇඳුම් ටික ඔබාගෙන එන්නේ?" අවුරුදු තිහක් තිස්සේ එකම පුරුදු බෑගයේම ඇඳුම් ගෙනෙන නෙවිල්ගෙනුත් ඔවුහු අසති. ඒකත් ඇත්තය. ඇඳුම් මදිවාට ඒක අස්සේ බෝතලයකටත් ඉඩ තිබෙයි. කාඩ් පැක් එකකටත්...

නෙවිල්ගේ චූටි බෑගය තෙදිනක ඇඳුම්කැඩුම්, කාඩ් පැක් එකකට හා බෝතලවලටත් ඉඩ ඇති..........
එකම හොඳේ කල් යද්දී ඔහොම මොන-මොනවා වෙනස් වුණත් හිතෛෂීවන්තකම ඉතිරිවී තිබීමය. ඔය වෙනස්වීම් ගැන මගෙන් නම් කඩුලු කතන්දර-ඇනුම් කෙටුම් කියවුණත් එයාලා හැමෝම ඉවසති.

අපේ මිතුරන් ඒකටත් කතාවක් හදාගෙන තිබේ.

"ඔය කට්ටි යන හැම ගමනකටම උඹලා දෙන්නාට (ඒ කියන්නේ නෙවිල්ට හා මට) අඬ ගහන්නේ උඹලට තියෙන ආදරේට නෙවෙයි. නිමල් කොල්ලා ගියාම උයන -පිහන වැඩ ටික බලනවා. යන-එන තැන් ගැනත් මේකා දන්නවනේ. ප්‍රියන්ත ඉස්සෙල්ලාම තැන් හොයාගත්තත්, ඒ තැන්වල ඉන්න අයත් එක්ක කන්ටැක්ට් තියාගන්නෙත් මූ. ඒ මදිවට නිමලයා උන් ඉල්ලන-ඉල්ලන සින්දුත් කියනවා, බැරි වුණත්...... නෙවිලා බොන පැත්ත ඔර්ගනයිස් කරනවා. සිංදු කියද්දී කොන්ගෝ ඩ්‍රම් එක ගහන්නත් ඌ ඉන්නවනේ. හරි නම් උඹලගෙන් සල්ලි ගන්නේ නැතිව උඹලව හයර් කරන්නයි තියෙන්නේ." ඔවුහු කියති.

හැබැයි එහෙම කියන අයත් අප දෙන්නා නැතිව ගමනක් යන්නට අකැමැතිය.

ප්‍රියන්ත කායන්කර්නි ඉඩමක නිවාඩු නිකේතනයක් හදමින්  ඉන්නා නිසා.........
ඊළඟ කාරණාව මගේ කොකු ගැසීමේ කලාවය! සාන්ත-දාන්ත පෙනුමය, ආචාරශීලි වෙන්නට දන්නාකමය. හුඟක් ගමන්වලදී ඒකත් ඕනෑ වෙයි.

වතාවක් අපි පාසිකුඩා කිට්ටුව තිබෙන කායන්කර්නිවලට ගියෙමු. අපේ මිතුරු ප්‍රියන්ත එහෙන් ඉඩමක් ගෙන හෝටල් සංකීර්ණයක්ම හදයි. දහවල් දෙක විතර වෙද්දී අප එහාට ගියා පමණි. හැම දෙනාගේම ජංගම දුරකතනවලට ඇමතුම් ගලා එන්නට විය. 'සුනාමියක් එනවා. පුළුවන් ඉක්මනට ඔහෙන් එන්න!' අනතුරු ඇඟවීම් වැලකි.

දවස් හතරක්ම එහෙ ඉන්නට බලාගෙන ගිහින් වරුවෙන් එන්න?

'අපි පොලොන්නරුව හරියට ගිහින් ඉඳලා බලමු.' විකල්ප යෝජනාවක් ආවේය. 'එච්චර ඕනේ නැහැ, වැලිකන්දට යං.' තවත් එකක්. 'ඔව් අනේ. කෑමත් නරක් වෙයි. දැන් නම් බඩගිනිත් එක්ක. වැලිකන්ද හරියට ගිහින් කාලා තීරණයක් ගනිමු.' වැඩි දෙනා අන්තිම යෝජනාවට කැමැති වූහ.

එතකොටත් බත ළිපේය. මා සිටියේ බත බාගන්නට සූදානම් වෙමිනි.

"ඔන්නොහෙ ඕක විසි කරලා යමු නිමල් අයියේ. නැත්තං ඔයාව දාලා යනවා, ඔන්න." මාලිකා දුවගෙන ඇවිත් කීවාය. මා ගිහින් හිටියේ ඔවුන්ගේ වාහනයෙහිය. අනෙක් අය පිටත් වෙද්දී මා නිසාවෙන් පමා වෙන්නටය ඔවුන්ට සිදුවී තිබුණේ.

කැකුළිලාත් එහෙමය... මං පණ්ඩිතකම් කිව්වාට, පරාණ බය නැත්තේ කාටද?
අපි පට ගා වැලිකන්ද හරියට පල්ලම් බැස්සෙමු. වෙල් යායක් මැද්දෙන් ඇලක් ගලාගෙන යන හරියකදී වාහන නවත්වා අපි දවල්ට කෑවෙමු. බඩ පිරෙන තරමට 'පරාණ බයත්' මෝරා වැඩුණා වැන්න. ආපහු කායන්කර්නි යන්නට ගොඩ දෙනා අකැමැතිය. දැන් වැඩි දෙනා කල්පනා කරන්නේ වැලිකන්ද ඉසව්වේම රෑ ගත කරන්නටය.
කැකුළිලාත් එහෙමය. පණ බය කොච්චරද?

"අනේ නිමල්, අපේ ප්‍රියන්තට කියන්න මෙහෙ පන්සලක හරි නැවතිලා යං කියලා. පොඩි ළමයිනුත් ඉන්න එකේ අද කායන්කර්නි නොයා ඉමු." ප්‍රියන්තලාගේ අම්මා මට කීවාය.

පරම්පරා ඝට්ටනය! ප්‍රියන්තලාගේ අම්මාට දූලා-පුතාලාගේ සමහර වැඩ දිරවන්නේ නැත. අම්මලා ගොඩ දෙනෙකුට තම දූ-දරුවන් තවමත් ඇඹිටිල්ලන් එවුන් ගණනටය පේන්නේ. ඉතින් ගෝරිය. ගමන් යන හුඟ වෙලාවට ප්‍රියන්තල අම්මා දරුවන්ට යමක් කියන්නට මා තෝල්කයා කර ගනියි.

"එහෙනම් අපි පන්සලක්වත් බලමුද නිමල්?" ඒ ප්‍රියන්තය. මා කියන්නටත් පෙරම ඔහුට අම්මාගේ කතාව ඇහිලාය. ඉතින් පන්සල හොයාගෙන ගියාම 'හාමුදුරුවන් එක්ක කතිකාවට' ගියෙත් මාය. අවසර ගත්තෙත් මාය.

'නිමල් ඉතින් හාමුදුරුවරුන්ට කතා කරන්න දන්නවනේ.... ඇබිත්තයා වගේ.' ඔන්න නවාතැන සරි කර ගත්තාට මට හම්බවුණු  ගරු-නම්බු. රෑට උයාගෙන කාලා නිදාගන්නට ගියාමය හැමෝටම දවල් තරු පෙනුණේ. ඒ හරිය මදුරුවන්ගේ පාරාදීසයකි. තව ඩිංගෙන් මදුරුවෝ අප උස්සාගෙනත් යනවා ෂුවර්ය. අපි හැමෝම රෑ පුරා නිඳි වැරුවෙමු.

ලොකු සාදු වැඩියාය කියූ ගෙදර දොරට ගැහුවාම, නයිටියක් පිටින් හිටි රූබර අංගනාවක්......
පහුවදා පාන්දර පිටත් වෙන්නට සැරැසී මම ලොකු හාමුදුරුවන් හොයන්නට ගියෙමි. "සාදු අර පාරේ ඉස්සරහ තියෙන ගෙදරකට වඩිනවා, මුල් පිටුව බලන්න."

අප පාවිච්චි කළ විදුලිය, ජලය වෙනුවෙන් ගෙවීමක් කරන බවට මා පොරොන්දු වුණු බැවින් යම් මුදලක් උන්වහන්සේටම ගෙවීම මගේ අභිප්‍රාව විය. මම 'අර පාර දිගේ' ඉදිරියටම ඇදුණෙමි. නදී, ප්‍රභාත්, මංජු, චූටි මල්ලී, නෙවිල් වැනි පිරිසක්ම මා පස්සෙන් ආවෝය. අසාගත් ලකුණු අනුව නිවස අඳුනාගත් මම එහි දොරට තට්ටු කළෙමි. දොර තිබුණේ යාන්තමට ඇරලාය. ගෙවිණි, විනාඩියක්-දෙකක්. දොර මඳක් ඇරුණි.

රූබර අංගනාවක් දොරෙන් එබුණාය. ඇගේ අංග-පුලාවත් මල් හතය. සිරියාවන්තකමත් එහෙමය. ඇය උන්නේ නයිටිය පිටිනි. මා දුටු ඇය වහා ගෙතුළට ඇදී, ආපසු ආවේ තුවායකින් දෙවුර වසාගෙනය. "ඇයි?"

"අර පන්සලේ ලොකු සාදුව හොයාගෙනයි ආවේ. කියලා යන්න." මම කීවෙමි. එහෙම කිව්වෙත් බැණුමක් අසාගන්න වේදැයි බයෙනි. "පොඩ්ඩක් ඉන්න." ඈ යළි ගෙට ඇදුණාය. තවත් විනාඩි දෙක-තුනකට පසු ගෙදර දොර එහෙම පිටින්ම විවර වුණි. එතනම දොර අයිනේ පුටුවක ලොකු හාමුදුරුවෝ වැඩ උන්හ. උන්වහන්සේගේ අතක තේ කෝප්පයකි. අනෙකේ සිගරැට්ටුවකි.

මමම කතාව පටන් ගත්තෙමි. අවසන උන්වහන්සේ කතා කළහ.

"මං හැමදාම මෙහාට වඩිනවා මහත්තයෝ, මුල් පිටුව බලන්න." හැමදාම වඩින නිසාදෝ අර අංගනාව හාමුදුරුවන් ඉස්සරහාපිටම දුහුල් නයිටියකින් සැරසී ඉන්නට මැළි නොවුණු හැටි. කරන්නට දෙයක් නැත. මම හාමුදුරුවන් අතට මුදල් දී වැඳ අවසර ගතිමි. මගේ ළඟින්ම හිටි අනෙක් අයටත් උන්වහන්සේට වඳින්නට සිදුවිණි. ආපසු එද්දී මට බැණුම් වැස්සක තෙමෙන්නට විණි. "ඔයා මොකටද ඒ ගණයාට වැන්දේ? තමුසේ වැන්දට පස්සේ අපිත් නොවැඳ ඉන්නද?" ගමන පුරා ඒක මතක් වෙන ගානේ මට බැණුම්ය!

කායන්කර්නියේ සිටියදී අපි අවුරුදු උත්සවයකුත් පැවැත්වීමු. කලබල වුණු මුත් එවර සුනාමියක්.......
එවර සුනාමියක් ආවේ නැත! කායන්කර්නි ගිහින් තෙදිනක්ම එහි උන් අපි අවුරුදු උත්සවයකුත් පැවැත්තුවෙමු.

දැන් ආපහු මරදන්මඩුවට එමි.

ශ්‍රී ලංකාවේ වනජීවී දෙපාර්තමේන්තුවට අයත් බංගලා බොහොමයක එකවර නවාතැන් ගත හැක්කේ වැඩිහිටියන් 10 ක් හා ළමයින් දෙදෙනෙකුට පමණි. අපේ වැනි තිහ-හතලිහක පිරිසක් යන්නේ නම් ඒ සඳහා යා යුත්තේ මරදන්මඩුව, පිටදෙනිය, කන්නෙලිය, හෝර්ටන් තැන්න, අම්පාරේ එක්ගල්ඔය හෝ ඉලුක්කුඹුරට විතරය. ලුණුගම්වෙහෙර වෙහෙරගලත්, හිරිකටුඔයත්, රඹුක්ඔළුව කළු ගඟ වන නිවහනත් වැඩි පිරිසකට ඉඳුම්-හිටුම් ගත හැකි තවත් තැන්ය. ඒ මා ගොස් ඇති තැන්ය.

මරදන්මඩුවේ 50 කට ලැගුම් ගත හැකිය. ඒ තරමට ලොකුය. හොඳින් ඉඩකඩ තිබෙයි; ලොකු කුස්සියක් හා ආම්පන්නත්! ගොඩනැඟිල්ලට එපිටින් ලස්සන විලකුත් තිබේ.

විල්පත්තුවෙත් විල් නැති නම් වෙන කොහේ තියෙන්නද....
ඒත් ඒ විලේ මීහරක් කූඩැල්ලෝත් කිඹුලෝත් නිවස්නා හින්දා අපට නාන්නට නම් බැරිය.
ඔයාලා එහෙ ගියත් නාගන්නට වෙන්නේ නාන කාමරයකට වැදිලාය. මා දන්නා තරමින් නම් විල්පත්තුවේදී ගලාගෙන යන දිය දහරාවකින් නාගන්නට කොක්මොටේ බංගලාවම වෙන් කරවාගෙන නැවතිය යුතුය! 

විල්පත්තුවේ මරදන්මඩුව බංගලාව ලොකු එකකි,  50 කට විතර සිටිය හැකි වනජීවී එකේ තැනකට තියෙන්නේ......
මෙවරත් අප බංගලාව වෙන්කරවාගත් විගසම මම චන්දනට කතා කළෙමි.

චන්දන වනජීවියේ සංචාරක මාර්ගෝපදේශකයෙකි. අප ඔහු හඳුනාගන්නේ වස්ගමුවේදීය, හරියටම කියනවා නම් වස්ගමුවේ මැදපිටිය කඳවුරට ගිය ගමනකදීය. ඊට පසු හතරමංහන්දිය කඳවුරේදීත්, ඊටත් පසු කුමන ඇදකුඹුක camp site එකේදිත් අපි ඔහු හමුවුණෙමු. ඇයි පාද යාත්‍රාවේ..... යනවිටත් චන්දන කුමන හිටි නිසා අපට ගොඩාක්-ගොඩාක් උදව් කළේය. ඒ හැම එකකටමත් වඩා චන්දන ඉතිහාසගත වෙන්නේ කුමන ඇදකුඹුක ගමනේදී කළ දෙයක් නිසාය.

හතර-පස් වතාවක්ම අපේ උන්දලා හමුවී ඇති නිසා අපේ බාබෙද්දන්ගේ තරම දැනගෙන උන් චන්දන ඇදකුඹුකට යද්දී මොනවාදෝ බෝතලයක් ඔහුගේ ගමන් මල්ලේ හංගාගෙන ආවේය. අපේ අයට බඩු මදිවෙන මොහොතකය ඔහු එය එළියට වැඩැම්මුවේ!

අපේ ඇත්තෝ එදා චන්දනව නොඉම්බා පමණි. "අම්මපා, ඔයා නම් දෙයියෙක් චන්දන."

දැන් වනජීවී ඇමතිවරයා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාය. නියෝජ්‍ය ඇමතිතුමා පාලිත තෙවරප්පෙරුම මහතාය.

"මිනිස්සු සමඟ වැඩ කරනවාට වඩා ලේසියි, සත්තුන් එක්ක වැඩ කරන එක!" පාලිත ඇමතිතුමා කියා තිබුණි. මගේ මොට්ට හිතට ඕනෑ නැති ප්‍රශ්නයකුත් ආවේ ඒ කතාව ගැන දැක්කාමය.

ගරු නියෝජ්‍ය ඇමතිතුමා සත්තු එක්ක වැඩ කරන්නේ  කැලෑ භාෂාවෙන්ද?
ගරු නියෝජ්‍ය ඇමතිතුමා සත්තු එක්ක වැඩ කරන්නේ මොන භාෂාවෙන්ද? අපේ කාවන්තිස්ස රජ්ජුරුවොන්ට කපුටන්ගේ භාෂාව වැටහුණා වගේ හපන්කමක් පාලිත මහතාටත් තිබේද? එහෙමත් නැති නම් එතුමාත් වන සතුන් ඇසුරේ හැදී-වැඩුණු  jungle boy කෙනෙක්වත්ද? අපේ 225 න් වැඩි දෙනා නම් සත්තු එක්ක නෙවෙයි ඊටත් අන්ත මොක්කුන් එක්ක හෝ උපන්-හැදී-වැඩුණු එවුන් නේදැයි හිතෙන්නෙත් මෙහෙම වෙලාවටය.

සරත් මහත්තයා නම් අමාත්‍යාංශය බාල්දු කළේ නැත. 

ශ්‍රී ලංකාවේ සියලු ජාතික වනෝද්‍යාන, අභය භූමි, ස්වභාව රක්ෂිත විතරක් නොවේ; දැඩි ස්වභාව රක්ෂිතත් අයිති වන්නේ ඒ අමාත්‍යංශයටය. ඊට සාගරික ජාතික වනෝද්‍යානත්, අභය භූමි ප්‍රදේශත් අයිතිය... තවත් විදියකින් කියනවා නම් සිරිලක වර්ග සැතපුම් දෙදාස් දෙසිය විසිපහෙන් 13% ක්ම (හරි විදියට කෙරෙනවා නම්) පාලනය වන්නේ ඒ අමාත්‍යාංශයෙනි. ඇයි අලි ඇත්තු! අනෙක් සත්තු. ඔය මදෑ, හරියට කරනවා නම්.

පීලි පැන්න තැනටම ආපහු ගියොත්... මට හිතෙන්නේ චන්දන වැනි අය නිසා තව බොහෝ දෙනෙකුත් වන ජීවි දෙපාර්තමේන්තුවේ තැන්වලට යන්නට පෙළඹෙන බවයි.

(දැනටමත් අප සමග අවුරුදු ට්‍රිප් එකට සහභාගිවූ ඉන්ද්‍රානි පුංචි ඔවුන්ගේ කුලඟන සමිතියේ 50 ක් මරදන්මඩුවට එක්කගෙන යන්නට කටයුතු කරමින් සිටී. 'අනේ නිමල්, චන්දනට කියන්න එදාට අපිත් එක්ක එන්න කියලා.' එහෙම කියූ ඉන්ද්‍රානි පුංචි මටත් ඒ ගමන එන්නට බල කරයි! ඒත් චන්දන නිසාම කියලාය, මට හිතෙන්නේ.)

මලිත්තන් තියෙන්නේ විල්පත්තුවේ... කාලෙකට ඉස්සර ලංකාවත් අප්‍රිකාවට සම්බන්ධ වෙලා තියෙන්න ඇති කියන එකට...
ග්‍රීක ජාතික ප්ලිනිගේ වාර්තාවලට අනුව 'ක්ලෝඩියස් රෝම අධිරාජ්‍යයාගේ බදු එකතු කරන්නෙකුගේ නෞකාව සුළඟට අසුවී මන්නාරම් බොක්කේ කුදිරමලෙයි ප්‍රදේශයට ගසාගෙන ඇවිත් තිබේ. ඒ 'චණ්ඩමුඛසිව' රජුගේ සමයයි. රජතුමා බෙහෙවින් උරණවී රෝම නිලධාරයාත්, නැවත්, එහි තිබුණු සියලු දේත් රාජසන්තක කළේලු. නමුදු පසුව යටකී පිරිසට සමාව දීමෙන් නොනැවතී, රෝම අධිරාජ්‍යය සමඟ වෙළෙඳ ගිවිසුම්වලට පවා එළඹ තිබේ.

එපමණක්ද නොවේ. තම දූතයන් හතර දෙනෙකුද රෝමයට යැව්වේල. බලනවිට අද රජවරුත් එලෙසමය. මුලින් තහනම් කොට තීන්ත වියළෙන්නටත් කලින් තහනම ඉවත් කෙරේ.... දුරදිග බලා තීන්දු නොගන්නේ නොදත්කමට නොවේ. ලොවටම විහිළු සපයන්නටය.

අර ඉන්ද්‍රානි පුංචිලාගේ හැමෝමත් ඉන්නේ කොහේ වුණත් ගමන් යන්නටම සැදී-පැහැදීගෙනය.

විල්පත්තුව වන උද්‍යානයත් LTTE සටන් තිබුණු කාලයේ; 1985 සිටම වසා දමා තිබුණු ඉසව්වකි. එහි සමහර ගොඩනැඟිලි ගිනි තබා විනාශ කොටත් තිබිණි. වනෝද්‍යානයේ විසුවේ හමුදා භටයන් පමණි. නැවතත් විල්පත්තුව සංචාරකයන් සඳහා විවෘත කෙරුණේ 2003 වසරේදීය. ඒ වසන්ත පුෂ්පානන්ද මහතා එහි පාලකයා ලෙස පත්වුණු පසුවය.

ඉන්ද්‍රානි පුංචිගේ දරු-මුණුබුරු හැමෝමත් trip යන්නට සැදී-පැහැදීගත් ගමන්මය.......
අපට ඔහු හමුවුණේ ගල්ඔය වනෝද්‍යානයේ පාලකයා ලෙස ඔහු සේවය කරද්දීය. අනූපහේදී විතරය. අපට කුමන ගැනත්, කුඩා කැබලිත්ත ගැනත් ඔත්තු දුන්නේ ඔහුය.

අපේ තිබුණු මදාවිකමට අපි පහුවදාම කුඩා කැබලිත්ත දේවාලය දක්වා ගියෙමු. එහි පැමිණ සිටි LTTE උප නායකයෙකුත් කේඩරයන් කිහිප දෙනෙක් සමඟ අපට හමුවිණි. 
කතරගම දෙවියන් වැඩ හිඳින භූමියකදී අප වැනි හිච්චන්ට යමක් කරන්නට ඔවුන්ට හිතුණා නම් අද මෙහෙම බ්ලොගයක් ලියන්නට නිමල් කෙනෙක් නැති වෙනවා සිකුරුය.

අප යනවිට පාරට වැටී තිබුණු ගස් කීපයකුත් මඟ හරිමින්, ලඳු-පඳුරු කබල් මන්නයකින් කපා දමමින්, සමහර විටෙක පාරෙන් නොව කැලයෙන් ගිය ඒ ගමන...... 
අද නම් අප කීයටවත් නොයනු ඇත.

ඒ අතින් නම් අපේ මිතුරු ලලිත් ප්‍රියන්තට කොතෙක් පින් දුන්නත් මදිය. ඔහුම නොවන්නට වෙන කවුරු අපව ඒ දේශ-දීපංකරවල ගෙන යයිද

මෙදා සැරේ අවුරුද්දට ප්‍රියන්තලා හිටියේ ඕස්ට්‍රේලියාවේය. පවුලේ සේරෝමත් එක්කම, එහේ රැකියාව කරන වෛද්‍ය නලින්ලාගේ ගෙදර ගිහින්ය.

මෙදා සැරේ අවුරුද්දට ප්‍රියන්තලා පවුලේ ඔක්කොමලා ඔස්ට්‍රේලියාවට ගියේ  නලින්ලාව බලන්නටය.
තව විස්තර ඊළඟ පෝස්ටුවේදී කියන්නම්. තරහ නැතිව දවස් දහයක් විතර බලන් ඉන්නවා නේද, එතකල්?


3 comments:

  1. කන්නෙලියට එකපාරක් මම පවුලෙ අයව අරගෙන ගියා, බොහොම අපූරු තැන. යාල, කුමන පැත්තෙ යන්න ආසාවක් ඇති උනා.

    ReplyDelete
    Replies
    1. කන්නෙලිය ලස්සනයි තමයි. හැබැයි කණ්ඩා, ඒක අධ්‍යාපනික මධ්‍යස්ථානයක් නිසා නීති වැඩියිනේ, කොටින්ම සින්දුවක්වත් කියන්න දෙන්නේ නැහැනේ. එක සැරෙන්ම අපට එපා වුණා.

      Delete
  2. ඔව් බොන එකත් හොරාවට තමයි කරන්න වෙන්නෙ !

    ReplyDelete