අකුරු මැකී නෑ

Friday, June 15, 2018

අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති

සසර පරාදේ - නැත පරමාදේ - පිනෙහි යෙදෙත්වා............
සසර පරාදේ නැත පරමාදේ - පිනෙහි යෙදෙත්වා  
ඕ ඕ ඕ පිනෙහි යෙදෙත්වා
.........

ලෝ වාසී වාසී වාසී - ඉර්ෂ්‍යා ක්‍රෝධ කාමාශා වී
ආ ඉන්නා ඉන්නා ඉන්නා - පාපේ ගැලිලා මුළා වී

පරණ ගීතයක්. මං බ්ලොග් එක ලියාගෙන යද්දී අකලංක ඇහුවා 'මහප්පා මොන-මොන කැටගරීස් යටතේද ලියන්න යන්නේ?' කියලා. එතකොටයි මට මතක් වුණේ මං ලියන්න යන්නේ මගේ ජීවන අත්දැකීම් ටික නේද කියලා.
කොහොමද එව්වා වර්ග කරන්නේ. දැනටමත් ඔයාලා දන්නවනේ මං කලා-රිටක් කියලා. ඔන්න මට කල්පනා වුණා ගීත කීපයක්. ඒවායින් ගත්තා සිරැසි හතරක්.

මුල් එක 'ජීවන මේ ගමන සංසාරේ'  කෑල්ල 'සැඩ සුළං' චිත්‍රපටයෙ ගීයෙන්. දෙකත් එහෙමයි. 'අවිශ්වාසයක් හිත්හි මවාගෙන විකල්ව මේ මිනිසා' ධර්මදාස වල්පොල 'දොස්තර' ෆිල්ම් එකට ගයාපු ගීතයක අවසන් අන්තරා කොටසේ තමා 'ජීවන නම් වූ මේ රඟ මඬලේ - රඟනා නළුවෙකි මොහු සිහි විකලේ' කියලා තියෙන්නේ.
පුදුමේ කියන්නේ ඒ දෙකම ලියලා තියෙන්නේ ප්‍රකට ගායකයෙක් වගේම පද රචක, සංගීතඥයෙකු වුණු ආනන්ද සමරකෝන් සූරීන්.

ආනන්ද සමරකෝන් මහත්තයා හැබෑම හපනෙක්; ගායකයෙක් වගේම පද රචකයෙක්........
'සුනිලා' මිලි මීටර් 16 න් තිරගත වූ චිත්‍රපටයක්. එයට විමලදාස පෙරේරා මහත්තයා රචනා කළැයි කියවෙන 'රස මිහිරි කතා - සිඟිති සිනා - සුදාගෙ මූණේ', මොරිස් දහනායකයි දයා සන්දනායකයි ගයපු ගීය තමා තෙවෙනියට මට පිහිට වුණේ. හතරවෙනි සිරැසිය ගත් ගීයේ වග-තුග නම් හොයා ගන්න ඇහැක් වුණේ නෑ! දන්නා භවතෙක් හරි බවලතියක් හරි ඉන්නවා නම් කියලා එවන්නකෝ, ඌන පූරණයක් විදියට.

ආ ඉන්නා ඉන්නා පාපේ ගැලිලා මුලාවී ......

පාපෙක ගැලිලා තමා මාත් ඉන්නේ. එසේ-මෙසේ පාපෙක නම් නෙවෙයි. කුරුළු කූඩුවක් කඩා ඉහිරවපු පාපෙන්. ඇත්තම කිව්වොත් මට වෙන කරන්න දෙයක් තිබ්බෙම නැහැ! ඒක ඒ දෙන්නාගෙත් ඉරණම වෙන්න ඇති.

පව කියන්නේ පසුතැවීමට කියන පර්යාය වචනයක්ද?

එතකොට මං ඉස්කෝලේ අටේ පන්තියේ. 1968. අදට අවුරුදු පනහයි.
'නොදෙන්න හිටි රන්පදක්කම' පෝස්ටුවේදී මං කිව්වනේ අපේ විද්‍යාකර විද්‍යාලය ගැන ටිකක්. මතකයිනේ. ඒක මිශ්‍ර පාසලක්, ඒ කාලේ.

 සිසිර විජේසිංහ හමුදාපති සමඟ බෙල්ලන්විල විමලරත්න හිමියන්ගේ අවමංගල්‍යයෙදි...
ඉතින් අපේ පන්තියෙත් හිටියා ඇහැට-කනට පේන විදියේ හැඩකාර ගැටිස්සියෝ කීප දෙනෙක්. රූමත්කමට නිර්මලී 'පී' තමා වැඩියම ලකුණු ගත්තේ. ඊළඟට චන්ද්‍රිකා. සරෝජිනී..... මං කියන කතාවේ එක්කෙනාට නම නැතිව 'එල්' කියලා කියන්නම්. ඒ හැමෝම වගේ වයසට වඩා වැඩුණු අයයි කියන එකයි හරි. තව එකක්. කාන්ති ලංකා (ෆිල්ම්ස්වලටත් ගියා ඒ කාලෙම) අපේ පංතියට ආවාම තමයි අනෙක් කෙල්ලොන්ගේ ගෑස් බැස්සේ!

එතකොට මං? අනේ මං ‘වෙල් බිල්ඩ්’ එක්කෙනෙක් නෙවෙයිනේ අදටත්. දන්නවද මං වැඩියම ප්‍රසිද්ධ වෙලා හිටියේ නිමල් නමින් නෙවෙයි. ‘බට්ටා’. (ඒ වගෙමයි; තව නික් names ගොඩකුත් තිබ්බා.)
අදටත් මගේ උස 5.2 කියපුවාම හිතා ගන්නකො. බරත් එහෙමයි. දැන් කිලෝ 48යි. ඉඳලා තියෙන වැඩිම ගණන කිලෝ 52යි.

අටේ පන්ති තුනක්ද කොහෙද තිබුණා. යාබද පන්තියේ තමා 'සිසිර විජේසිංහ' හිටියේ. සිසිර දික් දණ්ඩෙක්, සුදුයි, කෙට්ටුයි, උසට උසයි. මං බට්ටෙක්.

ඒ දවස්වල සිසිර ඉස්කෝලේ කැපී පෙනුණා. මොකද බෙල්ලන්විල පෙරහරේ දේව දූතයා විදියට හිටි නිසා. පස්සේ කාලෙක වුණත් සිසිර බෙල්ලන්විල පන්සලේ ප්‍රධාන දායකයා වෙලත් උන්නා. අනෙක එයාට ඒ දවස්වලත් ඉංග්‍රීසි ටිකක් හුරුයි. මට මේ ඔක්කොටම වැඩිය විශේෂ අපි දෙන්නම විනෝදෙට කළ වැඩක් නිසා. චිත්‍රකතා ඇඳීම. අද නම් තේරෙනවා අපි දෙන්නාටම ඒක බෑ! හුඟාක් අය තමන්ට බැරි-පුළුවන් දේවල් මොනවද කියලවත් දන්නේ නෑ.

මං අහන්නේ නම් නෑ රත්තරනේ...........
මතකද 'මං අහන්නෙ නම් නෑ රත්තරනේ' සින්දුව, ලක්ෂ්මන් හේවාවිතාරණ ගැයුවේ. අන්න උගතෙක්.

මේ මෑත දවසක 'ඉරිදා ලක්බිමේ රිද්ම' අතිරේකයේ තිබ්බා එයාව ඉන්ටර්විව් කළ ලිපියක්.මනුස්සයා කියලා තිබුණා කරපු පළමු ටෙලි නාටක රඟපෑමෙන්ම ඒ වැඩේ කරන්න බැහැයි කියලා තේරුම් ගත් නිසා ඒකෙන් අයින් වුණු බව.
සමහරු නම් කරන්නේ ඉල්ලගෙනම නාන එකනේ. එහෙව් අය ඉන්න රටක මෙන්න ලක්ෂ්මන් ඔයාට උත්තමාචාරයක්!

අද මාත් එහෙම කිව්වාට එදා මෝඩයා. (අදයි කියලාත් වෙනසක් නෑ!මෝඩ, ගොන්, හරකා.) සිසිරයි, මායි දෙන්නා තරගෙට වගේ එක්සයිස් පොත්වල චිත්‍රකතා ඇන්දේ. මං ඇන්ද එව්වා තනි පාටයි. සිසිරට පාට දෙකක කාබන් පෑන් පාවිච්චි කරන තරම් හයිය තිබ්බා!

මම ඇඳපු ඒවා එකක්වත් මට මතක නෑ. සිසිර ඇන්ද එකක නම 'පිස්සු ඇටෙන්ඩන්ට්' වගේ කියලයි යාන්තමට මතක. ඉතින් සිසිරත් ඒ දවස්වල අර එක ගෑනු දරුවෙක් ගැන උනන්දුවෙන් හිටියා. මගෙත් එක්ක ඒ ගැන කිව්වත් එක්ක. අනේ , ඒ වුණාට අපේ පන්තියටම ආව කඩවසම් කොල්ලෙක් එයාව යාළු කරගත්තා. පව්! හැන්ඩි හාදයා. එයාලගේ ලව් එකට මොනවා වුණාද නම් ආරංචි වුණේ නැතත් කොල්ලා; පියසෝම හදිසි අනතුරකින් මියගියා කියලා  කාලෙකට පස්සේ ආරංචි වුණා.

ඒ ආදර කතාව ඉස්කෝලේ හැමෝම දැන හිටි රහසක්...........
ප්‍රධාන කතාව 'එල්' ගැනනේ. එයා එක්ක 'සිරි' යාළුයි කියන කාරණාව මුළු ඉස්කෝලෙම දන්නා රහසක් වෙලයි තිබ්බෙ.
ඒ වගේමයි නිර්මලීලගේ ආදර කතාවත්. නිහාල් 'ඩි' එක්ක තිබුණු ඒ සම්බන්දෙත් නැඟල ගියා.
'එල්'ට එච්චර ඉගෙනගන්න බැහැ වගෙයි මට මතක.
ඒ ළමයා ඉගෙනගන්න ඇත්තේ ලව් කරන්නනේ. ලොවෙන් එකෙක් ඒක දෙයකට වෙයි සමත කියලා කියන්නේ නිකම්මයැ?

දවසක් මං ඉස්කෝලේ ඇරිලා ගෙදර එද්දී කවුද ජෝඩුවක් අපේ ගෙදර වාඩිවෙලා ඉන්නවා. පැත්තකින් බාස් උන්නැහෙත්. බාස් උන්නැහේ තමයි ඒ හරියේ ගෙවල්වල හුණු ගාන, වහලය හදන, ගස් කපන වගේ ඕනෙම වැඩක් තිබ්බොත් කැන්දන කෙනා.

මං ගෙට ගොඩවෙනකොටම තාත්තා කතා කළා. "පොත් ටික ඇතුළෙන් තියලා වරෙන්කෝ". ඒ ටෝන් එකම එච්චර හොඳ නෑ. කවුද දන්නේ මොන ගිනි ගෙඩියක්ද කියලා.

"දරුවට කාලා ඉන්න ඇරියා නම්!" අර ගෑනු කෙනා කියනවා මං අහගෙන. ඒත් ඉතින් තාත්තා කියන්නේ නැතිව එහෙම කරන්නයැ. මං කරළියට නැංගා.
අපේ පිය රජතුමා ශ්‍රී මුඛය ඇරියා..............
ආයේ ආරළු-බූරළු නෑ. මූණේ තෙතමනේකුත් නෑ. අපේ පිය මහ රජ්ජුරුවෝ සිරි මුඛය ඇරියා.

"උඹ ඇත්තම කියන්න ඕනෑ. රංජි, උඹ දන්නවනේ මගේ හැටි." දැන් නම් මම විතරක් නෙවෙයි, ඔයාලත් දන්නවා ඇතිනේ 'අජාසත්ත-5' එහෙම කියෙව්වා නම්.    
මං උඩටයි-යටටයි ඔළුව හොලවලා සීරුවෙන් හිටියා.
අපේ තාත්තත් එක්ක බොරු කියලා නම් පිරිමහන්න බෑ. දැන් තියෙනවලුනේ බොරු කියනවද කියලා හොයන්න 'ඩිටෙක්ටිව්' මැෂිමක්. ඒ දවස්වලම අපේ උන්නැහේ ඒකක් ගිලලා හිටියද දන්නෑ.

හැබැයි ඒ කාලෙත්  මං තාත්තාව අන්දලා තියෙනවා නේද කියලා මේ දැන් මතක් වෙලා මගේ 'හර්දේ රජ මාලිගේ - ප්‍රීති වේ මා හදේ' වුණා. ඉන්නකෝ ඒ පම්පෝරියත් කියලාම ඉන්නං.

ඒ වාර විභාග තියෙන දවස්. ඒ කාලෙදී සමහර වෙලාවලට ඉස්කෝලෙන් එන්න පුළුවන් කලින්ම. 'ප්රිෆෙක්ට්ස්ලා' බලන්නෙත් නෑ. දන්නවද හෙක්ටර් බෙත්මගේ? බස්නාහිර පළාත් සභා මන්ත්‍රී කෙනෙක් වෙලා, ඒකෙම සභානායකත් වෙලා, දැන් ආසන සංවිධායක ධුරයකුත් උසුලන්නේ. ඔව්, ඒ උන්නැහේත් විද්‍යාකරෙන් විද්‍යාව ඉගෙනගත් කෙනෙක්. අපිට හෙක්ටර් අයියා! ඉස්කෝලේ විද්‍යා ශිෂ්‍ය සංගමයේ සභාපති වෙලත් හිටියා. 

හෙක්ටර් බෙත්මගේ අයියාට පස්සේ ඒ තනතුර දැරුවේ දැන් බ්ලොගයක් කොටන මැට්ටෙක්.........
ඒක කිව්වේ නයෙක් එළවන්න. හෙක්ටර් අය්යාට පස්සේ ඒ තානාන්තරේ දැරුවේ දැන් බ්ලොග් එකක් කොටන මැට්ටෙක්! මං වෙන්නැති නේද?

එතුමා ගැන අලුත්ම නිව්ස් එකකුත් දැක්කා. මනුස්සයා නළුවෙකුත් වෙලා. තවත් හෙක්ටර් කෙනෙක්; හෙක්ටර් කුමාරසිරි හදන "අනෝරා" ෆිල්ම් එකේ රඟපානවාලු. අමෝරාගෙනද දන්නෙත් නෑ.
මං හිතන්නේ ඒ දවස්වල කොහොම වෙතත් 'පොලිටීෂියන්' කෙනෙක් වුණාට පස්සේ හෙක්ටර් අයියා නියමෙට රඟපෑම ප්‍රගුණ කරන්න ඇති. 

ගුඩ් ලක් අයියේ, ඔහොම ගිහින් හොඳම නළුවා සම්මානයම ලැබේවා!

එහෙම ශිෂ්‍ය නායක තහංචි නැති දවස්වල පුංචි ඉඩකදී 'කොරල සුන්දරීයි', 'දඩෝරියායි' මායි තුන්දෙනා දහයයි තිහේ 'මැටිනි ෂෝ' එකක් බැලුවා. තුං මං හන්දිය! මහරගම නැෂනල් එකේ.
කොරල සුන්දරීගේ අත්-කකුල් සේරගෙම කොරල නිසයි ඒ නම වැටුණේ.
එයාගෙ තාත්තත් මහරගමම දන්නා ප්‍රසිද්ද එක්කෙනෙක්.

දඩෝරියා හෙණ උස මහතයි. නැඩ කොල්ලා.... හිටියේ බොරලැස්ගමුවේ...........
දඩෝරියා හෙණ උස මහතයි, නැඬ කොල්ලා. හිටියේ බොරලැස්ගමුවේ. මට ටිකට් ගත්තෙත් එයා.

එයාත් ඇති-පැති පවුලක. මං වගේ අතේ-සතේ නැති එකෙක් නෙවෙයි. ඔන්න ජයේ, මෙව්වා කියවනවා නම් බට්ටත් එක්ක තරහා ගන්න එපා දඩෝරියා කිව්වාට. ඔය විස්තර මදැයි, නැත්තං හරියටම ඔත්තු කිව්වොත් හරි නැහැනේ. මේක කියවන ඔයාලා එයාලවත් අඳුනා ගනියිනේ. හැබැයි ඉස්සරහදී ඒ දෙන්නව ආයෙම හම්බ වෙයි වෙන පෝස්ටුවකදී, වැඩි විස්තර එක්කම.

මොකද අපි තුන්දෙනා තමයි එකම කල්ලියක උන්නේ. අපේ කල්ලියේ ගෑනු ළමයි දෙන්නත් එක්කම නම් පස්දෙනෙක්. දෙන්නම ස්වර්ණලා. එක්කෙනෙක් 'ඒ ස්වර්ණා'. අනෙක් එක්කෙනා 'බී ස්වර්ණා'. දෙවෙනියාත් මං වගේම කොටයි. එයා 'බට්ටි'.

බට්ටයි බට්ටියි හින්දා 'කවටකමට ඔබෙයි මගෙයි නම ලියා - යහළු ළමයි විහිළු-තහළු මට කළා' වුණාට එහෙම දෙයක් නම් වුණේ නෑ!

බොරු නම් අහන්න පමුණුවේ රංජනී හෙට්ටිආරච්චිගෙන්. ඊයෙත් මං සිල්ලර කඩේට ගියාම උසට-උසේ මේන් රංජනීත් කඩේට එනවා. අපරාදේ කියන්න බෑ. 'යන්නං නිමල්' කියාගෙනයි ගියේ!
නුවන් නයනජිත් කුමාරගේ 'ශ්‍රී ලාංකේය සිනමා වංශයපොතෙන් හංදියක්...
ඉතින් මහගමසේකර මහත්තයා අධ්‍යක්ෂණය කළ එකම චිත්‍රපටය තමා 'තුංමං හන්දිය'.

ඒකේ තිබ්බා එකම සිංදුවක්. 'යන්නෙම් දක්නා සේ මා සිත් ගත්තාවූ ඒ ලාලනී'. මට මතක විදියට නම් ඒකෙ දර්ශනයට රඟපෑවෙත් විජේරත්න වරකාගොඩයි. ගැයුවෙත් එයයි කියලා නම් බුදු ෂුවර්.
ඔය සීන් එකටත් වැඩිය මගේ හිතට වැදුනේ පස්සේ 'පොඩි එකා' යහළුවෙකුට  ඒ සින්දුව රඟපාලා පෙන්නන තැන. මතකයිද?

කට්ට කළු හිච්චි එකෙක් 'හී' කියලා දත් තිස්දෙකම පෙන්නලා හිනා වෙවී අත්පොඩි තලනවා, පොල් අතු ඉරුවක් උඩ වාඩිවෙලා ඉන්න ගමන්! (ඒ මගේ ඇහේ තියෙන විදිය. වෙනස් නම් හෙම බනින්න එපා, අවුරුදු හතළිස්පහක් විතර ඉස්සරනේ.

ඉතින් ඕක කොච්චර මගේ ආහ්ලාදයට හේතු-කාරණා වුණාද කිව්වොත් මට කට පියාගෙන ඉන්න බැරි වුණා. ගෙදරදී මං ඔය සීන් එක කියන්න පටන් ගත්තා තාත්තට, හොඳට පලිප්පු දාලා හෙම. ඔන්න බොලේ, එක පාරම මට මීටර් වුණා මං ෆිල්ම් එක බැලුවේ හොරෙන් නේද කියලා.

අපිට කිසිම ගමනක්-බිමනක් යන්න බෑ, තාත්තාට නොකියා. යන්න ඉස්සෙල්ලයි කියන්න ඕනෑ. ඉතින් මට තේරුණා මං 'තුං මං හන්දිය' බලන්න ගියා  කියලා තාත්තාට අහුවුණොත් මගේ හතර හංදිම කඩනවා තමයි කියලා. මාත් 'දිසානායක හේවගේ'මනේ. හීං සීරුවේ අංශක 180 ක් හැරෙව්වා.
අනේ තාත්තේ... හරිම ෂෝක් කෑල්ලක් තමයි එතැන..........
"අනේ තාත්තේ, හරිම ෂෝක්ලු එතැන, කට්ට කළු ළමයෙක්ලු අර අත්පුඩි ගහන කෑල්ලට අරන් තියෙන්නේ ...." පුදුමේ කියන්නේ මං අලුතෙන් එකතු කළ 'ලු' තාත්තට අහුවුණේ නෑ. හැබැයි ඔය ඇන්දිල්ල වුණේ මුල ඉඳලා කියාගෙන යන සිද්ධියට අවුරුදු දෙකාමාරකට විතර පස්සේ.

"කවුද සිරි..... කියන්නේ?" තාත්තා ඇහුවා. එක පාරම මට මොකුත් මතක් වුණේ නෑ. මොන සිරි....ක්ද. මං ගුල්පිට් වෙලා ඉන්න අස්සේ. "උඹ දන්නැද්ද උඹලයේ පන්තියේ ඉන්න සිරි..... කියන ළමයාව?"

අපේ තාත්තා එහෙමයි. නියමෙට හොර අල්ලන්න ප්‍රශ්න කළ යුතු හැටි දන්නවා. මනුස්සයා ඉන්න තිබුණේ සී.ජී.ආර්. එකේ නෙවෙයි, සී.අයි.ඩී. එකේ.
"දන්නවා." ඒ මං. ඔය වගේ වෙලාවක කෙටි පිළිතුරු තමා හොඳම විදිහ. අහන කෙනාටම අහගන්න දෙනවා; හිතාගන්න දෙනවා. ඔන්න මං ගුරු-මුෂ්ටි නැතිවමයි ශිල්ප දෙන්නේ, හොඳද? වැඩි විස්තර කියන්න ගියොත් තමා ඇනෙන්නේ.

"එයා ගැන උඹ දන්නා දේවල් කියහං" මොනවා කියන්නද-නොකියන්නද කියලා මට හිතාගන්නවත් බැරි වුණා. මං කට පියං ඉන්න හැදුවත් කොයින්ද ඒකට ඉඩක්? "රංජි, මං මේ හොඳින් කියන්නේ, ඒ ළමයා ගැන උඹ මොනවද දන්නේ?"

"එයා එච්චර මගේ යාළුවෙක් නෙවෙයිනේ."
කාත් එක්කද ඒ කොල්ලා යාළු වෙලා ඉන්නේ?
".....ඔව්, ඔව්. උඹ බබා. උඹට බැහැ පුතේ මේ තාත්තව තම්බන්න. කාත් එක්කද ඒ කොල්ල යාළුවෙලා ඉන්නේ?"

මම සේරම වැමෑරුවා. වැමෑරුවා කියනවාට වඩා හරි 'වමාරන්න වුණා' කිව්වමයි. පස්සෙයි දන්නේ. අර ජෝඩුව "එල්"ගේ අම්මයි, තාත්තයි. සිරි.... එල්ට ලියාපු 'ප්‍රේම පත්‍ර'යක් එයාලට අහුවෙලා. දැන් නම් ඔව්වා සිම්පල්. ඒ දවස්වල ඉතින් කැපිටල්වලත් හොඳම එක. හරියටම තහවුරු කරගන්න හොයද්දි 'බාස් උන්නැහේ' තමයි තොරතුරු මූලාශ්‍රයක් ඉන්නවා කියලා අපේ ගෙදරට ඒ දෙගුරුන් වඩම්මලා තියෙන්නේ.

'අහසෙ ලියූවත් පොළොවෙ කෙටූවත් කළ නොහැකිය නිම්
පුවත අපේ පෙම් - ඕ ඕ ඕ පුවත අපේ පෙම් 

'' යන්නෙන් ආදර ගීතේ - මුලින් ලියූ සිහින පොතේහි
සීගිරියේ ගී වැල් වාගේ - දෙදෙනාගෙම මතකෙ තියේවී
දේදුන්න ලෙස මැකී නොයේවා - ආවත් වියෝග අන්ධකාරේ ' කියලා වෙන්නැති 'සිරි......යි' 'එලුයි' ඉන්න ඇත්තේ.
සිනාවයි ඉනාවයි.................
ඒ ගීතය මෙතැනට ඇද ගත්තේ  තව හේතුවක් ඇතිව. ඒකත් ගැයෙන්නේ 'සසර පරාදේ...' තාලේටමයි. මේ දෙවැන්න ප්‍රේමකීර්ති ද අල්විස් කිංස්ලි රාජපක්ෂගේ 'සිනාවයි ඉනාවයි' චිත්‍රපටයට ලියූවක්. ගායනා කළේ 'ජෝතිමත් ජෝති'. පැරැණි ගීයක් වුණත් අලුතින් නැටවෙන සංගීතයක් එක්ක මුහු කරලා තිබ්බෙ තවත් හපනෙක්. ටී.එෆ්. ලතීෆ්.

හැබෑ ජීවිතයේදී ෆිල්ම්ස්වල වගේ වෙන්නේ කලාතුරකින්නේ. මේ ජෝඩුවටත් වියෝග අඳුර එළඹුනා. අවසන් ප්‍රතිඵලය වුණේ ඒ දෙන්නාට 'චෙරියෝ ඩාලිං' කියලාවත් කියාගන්න ඉඩක් නොලැබුණු එක.

ඉස්කෝල අවදියෙන් පස්සේ සිරි......යි, එයාගෙ මල්ලියි දෙන්නම මහරගම ත්‍රීවිල් රස්සාව කරද්දී මං නිතර දැක්කා. ඒත් කොහොමද සිරිගේ මූණ බලන්නේ අච්චර දුෂ්ටකමක් කරලාත්. මං මගෑරියා. ඒත් ඉවර වුණේ නෑ. ඉන්නකෝ තව දෙයක් තිබුණානේ මගේ පාපය; පසුතැවිල්ල සිහියට නංවන. 
 
අපේ රෝසිට උගන්නපු ගුරුතුමෙක් මාව දකින්න ඕනෙයි කියලා තිබුණා.
(අපේ රෝසි; 'නීච කුමන්ත්‍රණේදී' කිව්වේ;) මානෙල් නංගිගේ දූ සිඟිත්තට උගන්වපු බොහෝම ගුණවත්, කාරුණික සර් කෙනෙක් ගැන එයා දිගටම මට කිව්වා. මාව එතුමාටත් මුණ ගැස්සෙව්වා. 

"රෝසි තිස්සෙම කියෝනවා ලොකු මාමා ගැන. ඒකමයි මට ඕනේ වුණේ ඔයාව දකින්න." ඒ හමුවේදී ගුරුතුමා මට කිව්වා. අල්ලාප-සල්ලාපයේදී එයාලා ඉන්න ඉසව්ව කිව්වාමයි මට තරු පෙනුණේ. 

තව ඩිංගයි හාරලා-පෑරුවේ. ඒ සර් 'එල්'ගේ අයියා!

මට ලජ්ජාවේ පණ ගියා.'මූ වගේ කුරුළු කූඩු කඩා ඉහිරවන්නෙක්!' කියලා හිතන්නැති උන්නැහේ කතාව සේරම දන්නවා නම්෴

2 comments: