අකුරු මැකී නෑ

Monday, June 18, 2018

පේව්මන්ට් එකේ රජවී - පළමුවෙනි කොටස


දවසක් තාත්තා මගෙත් එක්ක නංගිල-මල්ලිලා බඩගින්නේ ඉන්න හැටි ගැන කතාවකට වැටුණා.

දුප්පත්කමට රසක් තියෙනවාද? නැත්තම් පාටක්...සුවඳක්....? හැබෑ විදියටම දුප්පත්කම රහ වින්ද අය වුණත් ඒ ප්‍රශ්නෙට දෙන්නේ එක-එක උත්තර. ඒ අපි හොඳටම දිළිඳුකම අත් විඳිමින් හිටි දවස්. කැලේ-කොළේ ගඩා-ගෙඩිවලින් විතරක් නෙවෙයි දලු-කොළවලිනුත් අපි හාමත නිවාගත්තා. එහෙම ඉන්දදී තමයි තාත්තා මට ඒ යෝජනාව ගෙනාවේ. මම ඔළුව වනලා 'හා' කිව්වා නෙවෙයි, කියවුණා. එහෙමත් නැත්තම් නොකියා බැරිවුණා. අවුරුදු දොළහේ කොල්ලෙක් මොන තරම් දුර-දිග දකීවිද කියලා හිතන්නකෝ.

"දැන් උඹට මුළු නාට්‍යයම හොඳට කට පාඩම් නේද? අනෙක හැම පාර්ට් එකක්ම රඟපාලා පෙන්නන්නත් පුළුවන්. ඉතින් උඹට පුළුවන් නම් ඕක තනියම පේව්මන්ට් එකේ ඇට් කරලා පෙන්නන්න මිනිස්සු උඹට සල්ලි දෙයි." තාත්තා කිව්වා. මට නම් ඒ කියූ දේවල මොනම තේරුමක්වත් තිබ්බෙ නෑ.

පාරේ යන-එන මිනිස්සු පදික වේදිකාවේ එක-එක විදියේ කතා පවත්වන අයට ඇහුම්කන් දෙනවලු. තෙල් බෙහෙත් ජාති, කවි පොත් විතරක් නෙවෙයි සමහර ඉංගිරිසි බෙහෙත් ජාතිත් අර වගේ කතා පවත්තන අය විකුණනවලු. තාත්තා මට තේරුම් කළා. "මොකද කියන්නේ රංජි. උඹට පුළුවන් කියලා හිතනවද?"

මං ඔළුව වනලා පුළුවන් බව කිව්වා.

ඊළඟ දවසේ හවස් වෙනකොට අම්මා මට අලුත් සූට් එකක් මැහුවා. කහපාට සැටින් රෙද්දකින්. දිග කලිසමයි, හැට්ටයක් වගේ කමිසයයි. තාත්තාම තමයි සේරම උපදෙස් දුන්නේ. මම ඒ දවස්වල ඇන්දේ කොට කලිසම. ඒකට උඩින්ම අර සැටින් දිග කලිසම ඇඳගන්න පුළුවන්. හැබැයි උඩබාගේ අඳින්න වෙන්නේ කමිසය ගලවලා. අජාසත්ත එකට හදපු විදියටම මට ඔටුන්නකුත් හැදුවා. ඒ අතරේම මං කරන්න ඕනේ දේවල් ගැනත් තාත්තා සම්පූර්ණ ටියුෂන් පන්තියක් දාලා කියා දුන්නා.

'මක්ෂිකා වෘණ මිච්චන්ති- ධන මිච්චන්ති පරාර්තිවාඃ
නීචාඃ කලහ මිච්චන්ති.......' (පද තුනයි දැන් මතක.) ඔය සොලෝවයි තවත් එකකුයි ඒ දවස්වල මට කට පාඩම් වෙලා තිබුණා. "රංජි, සූට් එක මාරු කරගෙන ඉවරවෙලා පුළුවන් තරම් වෙලා අරගෙන ලස්සණට ඒ සොලෝකයක් කියහන්. එතකොට මිනිස්සු ටික-ටික එකතුවෙන්න පටන් ගනියි......" තාත්තා කිව්වා.

ඊළඟ ටිකට කලින් මේකත් කියලා ඉන්නම ඕනේ. අර ශ්ලෝකය තිබ්බ පොත මොකක්ද, ඒක දැන්  කොහෙද මොනවාවත්ම මං දන්නේ නැහැ. ඒ වගේමයි මුල් පද තුන ගැනත් තියෙන්නේ චායාමාත්‍ර මතකයක් විතරයි. මේකේ අක්ෂර වින්‍යාසය- පද වැරදියි නම් අනේ මට සමාවෙන්න ඕනේ. ඒ ශ්ලෝකයෙන් කියවෙන දේම ඊළඟට කවියෙනුත් තිබ්බා. කවියේත් මුල් පදය නම් මට මතකයි. 'මැස්සෝ තුවාලය කෑමට කැමති වෙති...' ඊළඟ පද තුනෙන් කියවුණේ 'ධනවත්තු තව තවත් ධනය ලැබීමටත්, නීච පුද්ගලයෝ දබර කරගැනීමටත්, උත්තමයෝ සංසිඳී සිටීමටත් කැමැත්තෝය' වගේ අදහසක්.

ඔන්න සේරම හරි! මගේ ඇඳුම් කට්ටලෙයි ඔටුන්නයි පුංචි සූට්කේස් එකකට දාගත්තා.
මහ ඉස්පිරිතාලේ ගේට්ටුව
"තාත්තා රංජිව මහ ඉස්පිරිතාලේ ගේට්ටුව ගාවට එක්කං ගිහිල්ල පැත්තකට වෙලා ඉන්න ඕනේ. ඉතිරි හරිය රංජි කරයි. ගේට්ටුව ඇරලා ලෙඩ්ඩු බලන්න ආව අය ඔක්කොම ඇතුළට ගියාම, ආයෙම ඇඳුම් මාරු කරගත්තාට පස්සේ තාත්තා රංජිව ගෙදර එක්කරන් එන්න." අපේ තාත්තා එයාගේ තාත්තාට කිව්වා.
අපේ සීයාගේ හිතේ නම් ඔය කරන්න යන වැඩේ ගැන කැමැත්තක් නැති බව පෙනුණේ අතරමඟදී මට කියපු දේවල්වලින්. 

"ඔය ළමයාව පාරේ නටවන්න.... මොන තාත්තාද පුතෙක්ව පේමන්ට් එකේ නටන්න යවන්නේ? ඕකා මට ජාතක වෙච්ච පුතෙක් නෙවෙයි. වතුර නැති තැනකට ඕකාව ගෙනිහිල්ලා, බඩ කපලා මැරෙන්න අරින්නයි වටින්නේ තිබහෙන් වතුර ඉල්ල-ඉල්ලා අඬද්දී." එදා ඉඳලා ඔය 'බඩ කපන දඬුවමේ' කතාව සිය සැරයකටත් වඩා සීයාගේ කටින්ම මම අහලා තියෙනවා. අපේ තාත්තා වෙනුවෙන්ම කියවෙනවා. හැබැයි සීයා කවදාවත්ම එයාගෙ එකම පුතණ්ඩියා ඉස්සරහදි නම් එයාට විරුද්ධකම් පෙන්නුවේ නෑ.

චණ්ඩියා වගේ ගෙදරින් ගියාට මොකද, ඇස්වාට්ටුවේදී බස් එකෙන් බහිනකොට මගේ උගුර කට වේලිලා. මහ ඉස්පිරිතාලේ ලොකු ගේට්ටුව ළඟට යද්දී කකුල් දෙකත් ගැහෙනවා වගෙයි දැනුණේ. එතකොටත් එතන, ගේට්ටුව දෙපැත්තේ දෙන්නෙක් සෙනඟ පිරිවරාගෙන දේශනා පවත්තන්න පටන් අරන්! 

අපි ඉක්මනට ඊළඟ ගේට්ටුව ළඟට ගියා. එතන එච්චර සෙනඟ හිටියේ නෑ. මරන්න ගෙනිච්ච හරකෙක් වගේ මං සූට්කේස් එක බිමින් තියලා සැටින් කලිසම දිග ඇරියා. ඇඳගත්තා.... දැන් මාව ලජ්ජාවේ ගැහෙනවා.... සත්තයි! පුළුවන්කමක් තිබුණා නම් මම ගෙදරම දුවලයි නවතින්නේ.

වනේ ගිජිඳාය සිටියොත්           වනසාය
වළේ පණිඳාය පැන්නොත් ඌ       කාය
අතකින් කරවලය අතකින් දඬු        බෑය  
මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑය

අහලා තියෙනවද ඒ කවිය. කැලේ අතරමං වෙච්ච මිනිහෙක් පස්සෙන් ඇතෙක් පන්නනවා. උගෙන් බේරෙන්න දුවන මිනිහා වළක් දැකලා ඒකට පනින්න යද්දියි දකින්නේ, පත නාග රාජයෙක් වළ පතුලේ දරණ ගහගෙන ඉන්න හැටි. ඇතාත් ළඟම එනවා. වෙන කරන්න දෙයකුත් නැති නිසා මිනිහා ළඟම තිබුණු වැලක එල්ලිලා වළෙන් බාගයක් දුරට බහිනවා. ඔහොම එල්ලිලා ඉන්න මනුස්සයාට පෙනෙනවා අර වැලේම වෙළිලා ඉන්න කරවලෙක්. ඒ එක්කම සරු දඬුවැල්බෑයක් ඊට එපිටින්. මරණ තුනක් පෙනි-පෙනීත් අර මනුස්ස ප්‍රාණියා දඬුවැල්බෑයේ පැණි කන්න ගත්තාලු. (ඕක දහම් ගැට කවියක්) අපේ ආච්චි තිස්සෙම කියන්න පුරුදුවෙලා හිටියා.

මටත් වුණේ ඒ වගේම ජංජාලයක්. ගෙදර දිව්වා කියලා බේරෙන්නද? 

තාත්තා, බඩගින්න, පරාජය....මගේ හිතේ හොල්මන් කළා. ඒ අස්සෙම මොකක්දෝ චණ්ඩිකමකුත්! 

සූට්කේස් එකෙන් හැට්ටය එළියට ගන්න ගමන් මං හොරැහින් වටේම බැලුවා. දැනටමත් හතර-පස් දෙනෙක් විපරමෙන් බලා ඉන්නවා. ගැලෙව්වා කමිසයත්, ඇඳගත්තා හැට්ටයත්; දාගත්තා ඔටුන්නත්. ඊට පස්සේ හොඳ හුස්මක් කාරිය අරන් පටන් ගත්තා. 'මක්ෂිකා වෘණ මිච්චන්ති....'

විනාඩියක් ගියේ නැහැ. ලෙඩ්ඩු බලන්න ඇවිත් ගේට්ටුව අරිනකල් අතන-මෙතන එකෙල-මෙකෙල වෙවී හිටිය අය විතරක් නෙවෙයි, පාරේ යමින් හිටි අයත් වටේට රොක් වුණා.

ඇත්තමයි, මට පුදුම ශක්තියක් දැනුණා. දැන් කිසිම බයක් නෑ, ලජ්ජාවක් නෑ, පැකිළීමක් නෑ! මං අජාසත්ත කතන්දරේ ටිකාක් කිව්වා. ඊළඟට බිම්බිසාර රජ්ජුරුවෝ විදියට බිසවට සතුට පළ කළා, පුත් කුමරුවෙකුට උපත ලබාදීම වෙනුවෙන්. ඊට පස්සේ බිසවත් රජතුමාට මොකක්දෝ කියනවා. දැන් කතාව කියන පොතේ ගුරාත් මම. බිම්බිසාරත් මම. බිසවත් මම. වැඩේ නැගලා යමින් තියෙද්දී.......අකුණක් වැදුණා කියන එක තමා හරිම වචනේ.

මට තියෙන්නේ එච්චර ගැඹුරු කටහඬක් නෙවෙයි. මහා බරක් තියෙන එකකුත් නෙවෙයි. ටිකක් ස්ත්‍රීමය සිහින් හඬක්. ඒ වගේද ඇගේ කටහඬ?

ඔන්න බොලේ ඇහෙනවා මුළු පලාතම දෙදරවාගෙන යන මිහිරි හඬකින් කවියක් කියවෙනවා. කවි පොත් විකුණන කාන්තාවක්. පස්සෙයි නම-ගම දැනගත්තේ. කීර්තිලතා. කළු, නූස්, නොමිටි, මැදිවියේ ස්තිරියාවක්! අනේ මතක් වෙනකොටත් ලැජ්ජයි. 
මගේ වටේට හිටි අයගෙන් ඉතිරිවුණේ දෙතුන් දෙනයි. අනෙක් ඔක්කොම කීර්තිලතා වටේට රොද බැඳගත්තා. මට තිබිච්ච හයිය කොහෙද ගියා වගේ. කටහඬ තවත් හීන් වුණා. 

පාර දෙපැත්තේ උසට-උසේ අහසට ඇදිලා තිබුණු රූස්ස 'මාර' දැවන්තයොත් මට හිනා වෙවී හිතත් අඳුරු කළා; වටපිටාව වගේම.

ගේට්ටුවත් ඇරුණා. සෙනඟ ඉස්පිරිතාලේ ඇතුළට ගැලුවා. මං හීන් සීරුවේ රජ ඇඳුමින් ඉස්කෝලේ ඇඳුමට බැහැගත්තා. මා දිහාව බලන් හිටිය කීර්තිලතා මගේ ළඟට ආවා!

"ළමයෝ, මෙතන මගෙයි. මං තමයි හැමදාම මෙතන කවි පොත් විකුණන්නේ. ඔය ළමයා හවසට මෙහාට ආවට වැඩක් වෙන්නේ නෑ. වෙන කොහෙට හරි යනවා." පොල්ලෙන් ගැහුවා වගේ මට කියලා එයා යන්න ගියා. මං කොච්චර අසරණ වුණාද ඒ වෙලාවේ? අදත් ඒක මතක් වෙද්දී හීල්ලෙනවා. එදා අපි ගෙදර ආවේ හිස් අතින්. 

පේව්මන්ට් එකේ රජ වෙන්න ගිය මං එහෙමයි බලු වෙලා ගෙදර ආවේ!

"තාත්තට ඔය වැඩේ කරන්න බෑ." අපට වෙච්චදේ අහපු ගමන් අපේ තාත්තා කිව්වා. "....හෙට යං මාත් එක්ක."

මං හිතාගෙන හිටියේ එතැනින්ම ඒ චැප්ටර් එක ඉවරයි කියලා. පිස්සුද නිමල් කොලුවෝ.... ඒක දිගට ඇදෙන්නයි යන්නේ. මං මටම කියාගත්තා. ඒත් තාත්තාගෙන් විස්තර අහන්නයැ. එදා රෑම අජාසත්ත නාට්‍යයේ කට්ටියට තාත්තා කිව්වා අපට ගමනක් යන්න තියෙන නිසා, පහුවදා නාට්‍ය ප්‍රැක්ටිස් ඔක්කොම කැන්සල් වෙන බව.

ඊළඟ දවසේ තාත්තාගෙන් අලුත් උපදෙස් ගොඩක් ලැබුණා. අපි ගියේ පිටකොටුවට.

 
කොටුව දුම්රිය ස්ථානය

කොටුව දුම්රිය ස්ථානයට ඉදිරියෙන්, පාරෙන් අනෙක් පැත්තේ ගුණසේන සාප්පුව පැත්තට චුට්ටක් යද්දී ඔයාලට දකින්න පුළුවන්, පල්ලියක් තියෙනවා.

කලින්ම කියලා තිබ්බ විදියටම තාත්තා ඔළුවෙන් එතන පෙන්නලා ටිකක් ඈතට වුණා. මං ඉස්සර දවසේ වගේම සූට්කේස් එක බිමින් තියලා රජ කලිසමට බැස්සා. 
දෙයියනේ.... 
එතකොටත් උකුසු ඇස් සීයක් විතර මගේ ළඟ. 
ඔටුන්න දාගන්න කොට මගේ වටේට මිනිස්සු දෙතුන් සීයක් වටවෙලා බලා ඉන්නවා. 
දැන් මට සතුටුයි.

සමහර අයට සබකෝලය කියලා දෙයක් තියෙනවාලු. 
සභාවක්; පිරිසක් ඉදිරියේ නැඟී හිටින්න සමහරු බයයි. මගේ ඒ ගතියක් තිබ්බෙම නැති තරම්. හැබැයි මටත් කෝල ගතියක් දැනෙනවා, ඉදිරිපිට ශ්‍රාවකයෝ අඩුයි නම්. 
අනෙක 'ලීලක්කාගේ ස්වර්ණ ළමා සමාජය' (විස්තර බලනවා නම් 'අජාසත්ත 1 පෝස්ටුවෙන්.) රැස්වෙන වෙලාවේ ඕනේ තරම් කතා පවත්තලත් තිබ්බනේ.

"මක්ෂිකා...." කියාගෙන යද්දී සෙනඟ හොඳටම තෙරපි-තෙරපී, පොදි කකා, කොක්කු වගේ බෙලි දික්කරගෙන..... සොලෝකය කියලා කවියත් ගායනා කරලා මං කතාවට බැස්සා. අජාසත්ත එකේ චරිත ඔක්කොම කිසිම මහන්සියක් නැතිව මට ආරූඪ වුණා.

"කතාව මැදදී ඒක පොඩ්ඩකට නවත්තන්න ඕනේ. ඊට පස්සේ තමයි මේක කියන්න ඕනේ...." තාත්තා කියා දුන් විදියටම මං නාට්‍යයට කෙටි විරාමයක් දුන්නා. වෙළඳ දැන්වීමට. ඒකටනෙ මෙච්චර වැලි කෑවේ. 
"අම්මෙ, තාත්තේ. අයියලා...." කියනකොටම මට පෙනුණා සභාවේ එකම එක ස්ත්‍රී පුළුටක්වත් නැති බව. ඊළඟට මං කාන්තා නාම පද එකක්වත් පාවිච්චි කළේ නෑ.

".....මාමලා සේරටම කියන්නේ අපේ තාත්තා ත්‍රොම්බෝසිස් කියන ලෙඩේ හැදිලා රස්සාවක් කරන්න බැරි තත්වෙකයි ඉන්නේ. මට නංගිලා මල්ලිලා පස් දෙනෙක් ඉන්නවා. ඉතින් අපට කන්න බොන්න ඉස්කෝලේ යන්න පුළුවන් වෙන්නේ තමුන්නාන්සේලා හැකි ආකාරයකින් මට උදව්වක් කළොත් විතරයි. මම දැන් වටේට එද්දී....අතේ තියෙනවා නම්.... මට ආධාරයක් කරන්න කැමැතියි නම්..." එහෙම කියද්දී වටේ හිටි අයගෙන් සෑහෙන දෙනෙක් හැරිලා යන්න ගියා. අනෙක් අය නම් සත පහ-දහය දුන්නා.

 
ඕල්කොට් මාවතේ පල්ලිය

අතට සල්ලි පිරෙද්දී මං ඒවා සූට්කේස් එකට දැම්මා. ආයෙම වටයේ ඉතිරි කොටසට ගියා. ඊළඟට නැවතත් අජාසත්ත පටන් ගත්තා. එතකොටම වගේ කවුදෝ මගේ සූට්කේස් එක තියලා තිබ්බ තැනට ආවා. මං හොඳටම බය වුණා. ඒ මනුස්සයා මගේ දිහාට බයාදු හිනාවක් දාලා එයාගෙ අතේ තිබ්බ හම් බෑග් එකක් මගේ සූට්කේස් එක ළඟින් තියලා මිනිස් රවුමටම එකතු වුණා. මේ මොකද මේ?

අජාසත්ත ඉතිරි හරිය කරනවාට වැඩිය මගේ ඔළුවේ වැඩ කළේ ඒ ප්‍රශ්නය. ඒත් පුංචි සැනසිල්ලකුත් තිබුණා, තාත්තත් රවුමේ කොනක ඉන්නවා පෙනුණාම.

දැන් ඔයාලටත් ප්‍රශ්නයක්ද ඒ බෑග් එකේ පලහිලව්ව? පේව්මන්ට් එකේ කතා පවත්වන අය අතරේ නම් ඒක කොහෙත්ම ප්‍රශ්නයක් වෙන්නෑ. මං කියන්නම් ඒ හරියත්, අද නෙවෙයි. ඊළඟ පෝස්ටුවේදී, 'පේව්මන්ට් එකේ රජ වී- 2' න්.   


4 comments:

  1. කියවගෙන යනකොට නිදිගෙ පංච තන්තරේ ලේසියෙන් ගොඩ ගියපු පුතයෙක්ගෙ සරල කතාවක් නොවෙන බව මං දැනං උන්න .. දැන් ඒ බව ප්‍රත්‍යක්ෂ වේගෙන එනව.

    ReplyDelete
    Replies
    1. මෙච්චර ගොඩක් එක දිගට කියවන්න වෙලාව තියෙනවද අම්මෝ!

      Delete
  2. හෙන දුකයි බං . අර අද ලින්ක් එකෙන් ආවේ

    ReplyDelete
    Replies
    1. මරු! දිගටම කියවලා බලන්නකෝ අජිත්!

      Delete