ගිය වතාවේ නැවැත්තුවේ මේ ඡේදයෙන් නේද?
එඩ්වින් ආරියදාස මහත්තයා එතැනට විරාමයක්
තියලා ඊට පස්සේ, පුහුණුවන්නට ගිහින් හිටි අපට ප්‍රශ්නයක් ඉදිරිපත් කළේය.
"කොහොමද ඇමතිතුමා කතාව පටන් ගන්න ඇත්තේ? උත්තරේ හොයාගන්න ලේසිවෙන්න මෙන්න හිච්චි
රුකුලකුත්. එතකොටම අර අන්ධ අය සේරම එක පාරම පිබිදිලා ආවා වගේ ඇමතිතුමාගේ පැත්තට
හැරෙන්න පටන් ගත්තා."
එදා අපෙන් කාටවත්ම උත්තරය අනුමාන කරන්නට හැකි
වුණේ නැත.
"එතුමා නැඟිටලා ගිහින් මේසයට තට්ටු
කරමින් හොඳ රබන් පදයක් ගැහුවා! අර ලේකම්තුමායි මට කිව්වේ- අනේ අපේ උපාධි මොකටද- කියලයි
මට එවෙලෙ හිතුණේ කියලා. ඒ වගේ කතාවක් පටන් ගනිද්දී අමුතු යමක්, අලුත් යමක්, එතෙක්
ගලාගෙන ආවාට වඩා වෙනස් දෙයක් කරන්න පුළුවන් නම්..... සමහරවිට තමන්ගේ ශ්‍රාවකයන්ට
සමීප දෙයක් කියලා පටන් ගන්න පුළුවන් නම් හොඳයි. මුලින්ම අවධානය නතු කර ගත්තොත් අවම
වශයෙන් විනාඩි දහයක්-පහළොවක් විතරවත් ඔවුන්ව ඔබ කෙරෙහි රඳවාගන්න හැකියි.... විරිදු,
රබන් පද, ජන කවි, උපමා, ප්‍රස්තාව පිරුළු වගේ අපට හුරු- අපට සමීප යමකින් කතාව පටන්
ගන්න හැකියි නම්...... "
"පළමුව මම වැන්ද බුදුන් සිහි කරගෙන ඒ ගුණ කඳ
දෙවනුව සද්ධර්මෙ උතුම් මුදුනත් කර මෙන්න වැන්ද
තෙවනුව මහ සංඝ රත්නෙ වැඳ සුරන්ට පින් දී සොඳ
කියනව අපි නෙයිනගෙ සූදුව කවියෙන් කර ප්‍රබන්ද"
මං හිතන්නේ මේ විරිදුවේ වචන මතක නැතත්
ජැක්සන් ඇන්තනියි, අනුලා බුලත්සිංහලයි ඉන්න පින්තුරය දැක්ක ගමන් අපට මතක් වෙන්නේ 'නෙයිනගේ
සූදුව'යි. හුඟ දෙනෙක් පොටත් පටලවා ගන්නවා ඒක ඒ නමින්ම එන නාට්‍යයේ කියලත්. නෑ, නෑ,
නෑ! ඒක තිබ්බේ දයානන්ද ගුණවර්ධන සූරීන්ගේ 'මධුර ජවනිකා හෙවත් හිංගල වංසය' නාට්‍යයේ.
අපේ ඔළුවේ නිදන්ගත වෙලා තියෙන විරිදු තාලයයි,
ජනශ්‍රැතියකුයි නියමෙටම blend වුණාම කොහොමද වෙන්නේ කියන එකට ඒ හොඳම උදාහරණයක්.
ඉතින් දැන් මට ඕනෑ කරන්නේත් කතාව පටන් ගන්න
හොඳ පොටකි. මා අසලින්ම වාඩිගෙන උන්නේ තරුණ සේවා නිලධාරිතුමාය. මම එතුමාව කතාවට
අල්ලා ගත්තෙමි. මොනරාගල පැත්තේ රස්සා.... කන-බොන හැටි.... තව විස්තර..... අහගෙන
යද්දී තුරුම්පුවක් ලැබුණේය!
මම එයින් වැඩ ගත්තෙමි. "කාටද තරුණයා
කියන්නේ?" සූදානමින් ගිය කතාවේ නම් තිබ්බේ ''...වීදුරුවක් වගේ දෙයකට. ඒකට
පුරවන- දමන දේ අනුව ඒකේ වටිනාකම තීරණය වෙනවා." කියලාය. ප්‍රශ්නය අසා මම සබයට
නෙත් යොමුවෙමි. ම්හු. සද්දයක් නැත. ප්‍රාණවත් පාටක් නැත! මම බෝම්බය දැම්මෙමි.
"තරුණයා කියන්නේ ගෙවුඩයකට....."
මා දිනුම්ය. හැමෝම හරි-බරි ගැහී මගේ පැත්තට...
"තරුණයා කියන්නේ ගෙවුඩයකට."මම යළි ප්‍රතිරාවය කළෙමි.
"මේ දවස්වල නම් මෙහෙ අය වැඩියත්ම කරන්නේ
මැණික් ගැරිල්ල. ඇයි ගෙවුඩවලට මිලක් ආවනේ." තරුණ සේවා නිලධාරියා දුන් ඔත්තුවෙන්
පළ නෙළාගන්නට මට උදව් වුණේ මා මැණික් ගරන්නට ගොස් ලබාගත් අත්දැකීම්ය.( මේ දිනවල එව්වා
'දියවිනි ඉනාවේ' ලියමින් සිටිමි.) "ගෙවුඩයක වටිනාකම ලැබෙන්නේ ඒකට හරියටම ඕනේ
කරන උණුසුම ලැබෙන විදියට ඒක පිච්චුවොත් විතරයි. නැති නම් ඒකේ කිසිම වටිනාකමක් නෑ.
තරුණකමත් ඒ වගේ. හරි වෙලාවට හරි තැනට යොමු කර ගත්තොත් මිලක් ගහන්න බැරි තරම්....''
වැඩ සටහන අවසානයේ මට ලකුණු වැටී තිබිණි. ඒ
වතාවෙන් පසු ........ අයියාට දිගු දෙසුම්වලට අවස්ථාවක් නොදුන් තරම්ය. මට නම් නිතරම
වැඩ සටහන් සඳහා කැඳවීම් ලැබිණි. එව්වාට මා වැඩියෙන්ම ණය ලාල් අයියාටයි.
ලාල් අයියා හිටියේ පිටකෝට්ටේය. තාත්තා විශ්‍රාමික
විදුහල්පතිවරයෙකි. ඔහු තිස්සමහාරාමයේ සේවය කරද්දී තිස්ස චෛත්‍යය ප්‍රතිසංස්කරණය
කරන්නට මුල් වුණු කෙනෙකි. අම්මාත් පෙන්ෂන් ගිය ගුරුවරියක් වූවාය. ලාල් අයියාගේ හැකියාවන්වලටත්,
සමාජ සේවා වැඩවලටත් ආභාසය ලැබෙන්නට ඇත්තේ ඔවුන්ගෙන් බවට සැක නැත. මා මෙව්වා
උලුප්පන්නේ අද ඉන්නා අයටත් යමක් ඉගෙන ගන්නටය. පාසල් අධ්‍යාපනයම ඉලක්ක කරගත්තාට
මදිය. ටියුෂන් ගියාටම මදිය. සමාජයීය කටයුතුවල යෙදීමද කළ යුතුය. ඒ අත්දැකීම් අපේ දිවිය
සරු කරයි; අපට පන්නරය දෙයි!
තජකයේ පමණක් නොව FPA වැඩ සටහන්වලදිත් සම්ප්‍රදායික
පොල්තෙල් පහන් දැල්වීමක් තිබ්බොත් පහන ගෙනෙන්නේ ලාල් අයියාගෙනි. ඒකට අවශ්‍ය සියලුම
කළමනාත් ලාල් අයියා සපයයි. සපයයි කියා කිව්වාට එව්වා තියෙන්නේ ready පිටය. පහන්
තිර, පොල්තෙල්, ඉටිපන්දමක්, ගිනි පෙට්ටිය විතරක් නොවේ, පහන පිස දමන්නට අවශ්‍ය රෙදි
පාන්කඩ කෑල්ලකුත් කුඩා කාඩ්බෝඩ් පෙට්ටියක දමා තිබේ. හැබැයි එහෙම දෙද්දී ලාල් අයියා
කොන්දේසියකුත් දමයි. "ඔව්වා සේරම පාවිච්චි කළා වගේ, තව වෙලාවක ඉක්මනින් ගන්න
පුළුවන් වෙන විදියට ආපහු දාලා ගෙනෙන්නත් අමතක කරන්න එපා!"
"වැඩක් කරද්දී සේරම ප්ලෑන් කළාම ලේසියි.
පහසුයි. වරදින්නේ නෑ." තජකයේදී අපට උගන්වනු ලැබිණි. ඒ සඳහා සැපයූ උදාහරණය මට
තවම මතකය.
"දවසක් ලොකු උත්සවයක් තිබුණා. පොල්තෙල්
පහන දල්වන්න ආරාධිතයන්ට ආරාධනාත් කෙරුණා. ඒ ගොල්ලෝ ආවටත් පස්සෙයි පෙනුණේ ගිනි
පෙට්ටිය නෑ. සංවිධායකයෙක් ඈතින් හිටිය හාදයෙකුට ගිනි කූරක් ගහන හැටි පෙන්නුවා,
ගිනි පෙට්ටිය නැති බව කියන්න. අර හාදයා ටක් ගාලා එතනට ඇවිත්, සාක්කුවෙන් ලයිටරේ
ඇදලා අරන් පහන පත්තු කළා! අපි ඔක්කොම බලන් ඉඳිද්දී......" ඔය සිද්ධිය කීවේ
ආරියදාස මහතාද කොහෙදය.
ඒකෙන් ලාල් අයියාත් මේ සිරිතට හුරු වුණා
වෙන්නත් හැකිය. සමහරු දෙසන්නේ වැදි බණය. කෙරුවාව අන්තිමය. ලාල් අයියා අපට උගන්වන
දේවල් ක්‍රියාවට නංවමින් ආදර්ශයක්ද දුන්නේය.ඔහු අනුව යමින් මම හැම අත්දැකීමකින්ම
යමක් එකතු කරගන්නට වීරිය ගත්තෙමි. ගන්නෙමි!
මගේ අත් අකුරු හොඳ බව දුටු ලාල් අයියා ඔහුගේ
සේවාස්ථානයේ සමහර කටයුතු මට පවරා ගෙවීමක්ද කළේය. මේ මා ඔවුනට ඇඳ දුන් එකකි.
ලාල් අයියා ලියන්නට කම්මැළි නැත. විශේෂ වැඩක්
තිබුණත් නැතත් පාන්දරින්ම පිබිදෙන්නටත් පුරුදුව හිටියේය. එක වතාවක ජනවාරි
පළමුවැනිදා පාන්දරින් මට එහි යන්නට සිදුවිණි. කැවුම්, කිරිබත් මේසයක් මාත් එනතුරු
බලා උන්නේය. "මං අම්මලට කිව්වා නිමල්තුත් දැන් එයි කියලා. අපි තේ ටිකක් බීලම
ඉමු!" තේ බොද්දී ලාල් අයියා ප්‍රශ්නයක් අසා ප්‍රකාශයකුත් කළේය. "නිමල්ගේ
ප්‍රාර්ථනාවක් එහෙම තියෙනවද මේ අවුරුද්ද තුළ කරන්න?..... මම නම් මේ අවුරුද්දේදී
පොතක් ලියලා පළ කරන්නයි යන්නේ!". ලාල් අයියට මතකද ඒ කතාව?
එතැනදී තමා ලාල් අයියාටත් වැරැදුණේ. ඔහු ඒ ප්‍රාර්ථනාව
ඉටු කරගත්තේ ඊට අවුරුදු ගණනාවකට පසුවය. හැබැයි අලෙවිය සඳහා නොව රාජකාරි අවශ්‍යතා
පිණිස නම් පොත් දුසිමකටත් වඩා ලිව්වේය. අලුතින්ම ඔහු පොත් එකක්-දෙකක්-නොව තුනක්ම
එකවර පළ කොට 'හැට්‍රික් එකක්' අරගත්තේය. ඒ 2017 දීය.
මගේ අකුරු විතරක් නොව කෙරුවාවත් ලාල් අයියාගේ
හිතට අල්ලා ඇති බව මා දැනගත් ප්‍රධාන සිදුවීම මට කෙදිනකවත් අමතක නොවෙයි.
මගේ පුංචිම-පුංචි ප්‍රමාද දෝෂයක් දැක්කත්
ලාල් අයියා මට පලු යන්නට බනින පුරුද්දක් තිබිණි. ඒත් අනෙක් අය අතින් ඒ වැරැද්දම
කෙරෙනවා දැක-දැකත් ඔහු කට පියාගෙන ඉඳියි. මේ මනුස්සයා මොකද මට විතරක් බනින්නේ? මට
තිබ්බේ ලොකුම විචිකිච්ඡාවකි. ඔයාලා
දැනටමත් දන්නා විදියට මං දිගටම කට පියාගෙන ඉන්නෙත් නැහැනේ. දවසක් ලාල් අයියා හොඳ
මූඩ් එකක ඉන්නා නැකතක් බලලා මම මගේ ගැටලුව ඔහුට කිව්වෙමි. "ඇයි ලාල් අයියේ
ඔයා මට විතරක් දොස් කියන්නේ? අනිත් අයට එහෙම බනින්නේ නැහැනේ."
ඔහු දුන්නේ ඉතා කෙටි උත්තරයකි. "නිමල්,
මං වැරැද්දක් පෙන්නලා දොසක් කියන්නේ ඒකෙන් හැදෙන මිනිහෙකුට විතරයි!"
"උඹයි අනුරයිනේ ලාල් අයියගේ හොඳම ගෝලයො!"
මර්වින්ලා නිතරම කීවෝය. ඇත්තය. මටත් කලින් අනුර ('මගේ දෛවය' පෝස්ටුවේදී ඔහු ඔබට
හමු විණි.) ජිනදාස ලාල් අයියාගේ ගෝලයෙක් වී උන්නේය. අපේ ඇත්තන්ගෙන් වැඩියත්ම
බුද්ධිමතාත් අනුර බව මගේ හැඟීමයි. ඒත් අනුර මා මෙන් නොඉවසන්නෙකු හෝ යමකට විරුද්ධ
වන්නෙකු හෝ ලෙහෙසියෙන් කලබල වන්නකු හෝ නොවේ.
මගේ හිතුවක්කාරකම ගැනත් ලාල් අයියාට හොඳ අවබෝධයක් තිබිණි.
"නිමල්, මං තමුසෙව හොඳට අඳුනනවා. කවුරු කොහොම
කිව්වත් තමුන් යමක් කරන්නේ තමන්ටම හිතුනොත් විතරයි. ඒකත් තමන්ටම ඕනේ වෙලාවට. අපි
කිව්වට, අපිට ඕනේ වෙලාවට නෙවෙයි! ඒකයි ඔහේගේ වැරැද්ද" ඔහු වරක් මට කිව්වේය.
හරියටම ඇත්තය. මට නම් එය මගේ දොසක් දැකීමක් නොවේ. මගේ ඍජු බව දැකීමක් ලෙසිනි, මා
එය සලකන්නේ. ඒක ඍජුකමද නැතිනම් නොදැමුණු බවද? ඒ දෙකේ තියෙන්නේ චූටිම-චූටි වෙනසක්
නේද?
හැබැයි, මගේ නාහෙට නාහන ගති තිබ්බත් ලාල්
අයියා මා ඔහු ළඟ රැකියාවකට ගන්නටත් සිතුවේය. ඒ පිළිබඳ මගේ හැඟීමත් විමසුවේය. මමත්
කැමැත්ත පළ කළෙමි. එහෙත් වර්ල්ඩ් විව් ඉන්ටර්නැෂනල් ෆවුන්ඩේෂන් එකේ ඉහළම බලධරයා
ඔහුගේ හිතවතෙකු එතැනට පත් කළ නිසා මට "හුප්පේ"
විණි. එහෙම නොවුණා නම්? දැන් රටම හඳුනන නාරද බක්මීවැවත් ඒ කාලයේ එහි වැඩ කළේය. WIF
එකෙන් නිපදවූ ඩොකියුමන්ට්‍රියකට ඕනෑ යැයි කියූ නිසා, අපේ ගෙවල් ළඟ නැන්සි අක්කලාගේ
නිවස නාරදලාට සොයා දුන්නෙත් මේ කොටන්නාය.
රස්සාවට නොගත්තාට වර්ල්ඩ් විව් එකේ සන්නිවේදන
වැඩ සටහන්වලදී මමත් සම්පත් දායකයෙක් ලෙසින් සහභාගී වීමි. මොකක්දෝ වැඩ සටහන් පෙළකටම
ලාල් අයියාත්, ඔහුගේ දෙවැන්නාත්, මාත් සහභාගී වීමේදී නම් මා වැටුණේ උහුලාගන්නට
බැරි තරමේ අමාරුවකටය.
ඒවායේදී අප තිදෙනාටම දේශන පවත්වන්නට නියමිතවූ
බැවින් සමාරම්භයේ සිටම වේදිකාවේ වාඩිගෙන ඉන්නට අපට සිදුවී තිබිණි. අර දෙවැන්නාගේ
කතාවේදී ඔහු නිතර-නිතරම එක්තරා වචනයක් යෙදුවේය. පිට-පිටම එය පුනරුච්චාරණය කෙරෙද්දී
මම ලේන්සුව විකා ගත්තෙමි. මාවම කොනිත්තා ගත්තෙමි. මොන? කොයියම්ම විදියකින්වත් තවත්
උහුලාගෙන ඉන්නට නම් බැරිය. සිරිතට සහමුලින්ම විරුද්ධ වුණත් මම නැඟිට්ටෙමි. වහ-වහා
වේදිකාවෙන් බැස දුරකට ගියෙමි. මා ඇති පදම් හිනාවුණේ එහිදීය.
සමහර දේවල් ඇහෙද්දී මගේ හිතේ මනෝ චිත්‍ර
ඇඳෙන්නේ නිකම්මය. දවල් හීන වගේය. අනෙක් අතට මා හිනාවෙන්නට කැමැතිය, නොතැන වුණත්. අඬන්න
වුණාමත් එහෙමය. හැඟීම් හංගාගන්නේ ඇයි? එදා වුණෙත් ඒකය. අර උපාධිධාරී කථික මහතා අප
වහරන භාෂාවෙන් ඔහුගේ කතාවට වචන එකතු කර ගත්තේය. ඔහුගේ ජනප්‍රියම වචන දෙකක්
පුන-පුනා කිව්වේය. "පල් වැඩේ!"
මාත් දැන් කරන්නට යන්නේ පල් වැඩකි. මගේ මේ
පොස්ටුවත් දිගට ඇදුනු හින්දා තව එකක්වත් score කරගන්නට වෙයි. ඇඳිරි වැටෙන නිසා 'මැච්
එක' ඊළඟ දවසට තියමු, හොඳේ?
දැනට අවුරුදු 15-20 කට ඉස්සර විරිදු කියන අය බොහොම සුලභ උනත් අද නම් දකින්නම නැති තරම් :(
ReplyDeleteමට හිතෙන්නේ දැන් සේරම බිස්නස් වෙලානේ. දක්ෂ අය කැසට් මුදලාලිලාට හම්බ කරලා දෙන්න හිරවෙලා. එයාලටත් වාසියිනේ කණ්ඩා.
Delete