අකුරු මැකී නෑ

Sunday, June 24, 2018

දියවිනි ඉනාව - පළමුවෙනි කොටස



"දියවිනි ඇල්ලෙන් වතුර උගුරක් හරි බීපු කෙනෙක් දියවින්න දාලා යන්නේ නෑ කියලා මෙහෙ ජනප්‍රවාදයකුත් තියෙනවා." මා අන්තිමට බස් එකට නඟිද්දී විමලසේන කිව්වේය. මුළු නමම පට්ටම් එක්කම කියනවා නම් 'එච්.එන්. විමලසේන දිසානායක - දියවින්න ඓතිහාසික පුරාණ ශ්‍රී දේවගිරි රජමහා විහාරයේ දායක සභාවේ සභාපති' ඔහුය; මා කියූ විමලසේනය. විමලේ එහෙම කිව්වේ ඊයේ; 2018 ජුනි 10 වෙනිදා හවස දෙකයි කාලටය.


එතකොටත් අපේ නඩයේ අනෙක් විසි දෙදෙනාම බස් එකට නැඟලා ඉවරය. 
"අනේ නිමල් අයියේ . ආයෙත් මෙහෙට එමු!" 
"හරිම ෂෝක්. ආයේ එන්නම හිතෙනවා!" වගේ කතන්දර ගොඩක් එක-එක්කෙනාගෙන් කියවී තිබුණු නිසා මම බස් එකේ එක පඩියකට ගොඩවී මෙහෙම කිව්වෙමි. 'මේ විමලෙ මහත්තයා කියනවා දියවින්නෙන් වතුර උගුරක් බීපු කෙනෙක් දියවින්න දාලා යන්නේ නෑය කියලා. හැබැයි ඒක කියන්නේ මට නෙවෙයි වගේ. ඔයාලටයි."


මා දියවින්නෙන් පළමුවරට වතුර උගුරක් බීවේ මීට අවුරුදු 40 කට ඉස්සරය. ඒ වතාවේ වරින්-වර කොළඹ යමින්-එමින් අවුරුද්දකට කිට්ටු කාලයක් වාසනාව හෙව්වෙමි. ඒ සංදියේ විමලසේන පුංචි කොලු පැංචෙකි. මා දියවින්න ගමට ආවේ විමලේලාගේ තාත්තා; 
අරනෝලිස් මුදලාලි හොයාගෙනය.

ඒ දවස්වල මට තිබුණු සමීප සබඳතාවකි. එය දුර-දිග ගෙනයාම අප දෙන්නාටම අහිතකර බව අපි තීරණය කළෙමු. විප්‍රයෝගයේ දුඃඛස්කන්ධය විප්‍රවාසයෙන් විඳ ගන්නට මම තීරණය කළෙමි. මහරගමින් සෑහෙන දුරකට, ලෙහෙසියෙන් යෑම්-ඊම් කළ නොහැකි තැනකට යන්නට මට ඕනෑ විය.

තායි මැණික්කාරයන් ලංකාවට ගොඩ බැහැලා 'හිටු කියා ගෙවුඩ මිලදී ගන්නට පටන් ගත්තේ' ඒ කාලයේය. (ඒ විස්තර ඩිංගක් - නැණ ලැබ ගත්තෙමි 2 - පෝස්ටුවේදිත් ලීවෙමි.) 
කළු අක්කලාගේ ගෙදරදී අප කීප දෙනෙකු කළ සල්ලාපයකදී ගෙවුඩ ගැන කතාවකුත් ඈඳිණි. "මහත්තයෝ, මේ ළඟදී අපේ පින්නවල නෑයෙක්ගේ දුවෙක් දියවින්න කියලා ගමකට කැන්දන් ගියා. ඒ ගමේ සේරම දැන් හේන්-කුඹුරු වැඩ නවත්තලා ගරනවා, 
ගෙවුඩ හොය-හොයා." ධර්මේ අයියා කිව්වේය. 
මට පොටක් පෑදුනේ එහෙමය!


පස්සෙ වෙලාවක මම .........ධර්මේ අයියා හමුවී විස්තර ඇහුවෙමි. ඒ බොහෝම සීරුවෙන්ය. ධර්මේ අයියාට ඔහුගේම ධර්මතා තිබිණි. කාල වර්ණ, නැඬ පුරුෂයෙක්වූ ධර්මේ අයියා 
සූක්ෂ්ම කර්මාන්තකාරයෙකි. ඔහුගේ නමට මුලින් ඇති විශේෂණය කවුරුනුත් කිව්වේ ඔහුගේ අනභිමුඛයේදීය. ඒ ධර්මේ අයියා කුකුල් කේන්තිකාරයෙකුත්වූ බැවිනි. 

දවසක් ධර්මේ අයියාගේ සයිකල් වින්කලයට කවුදෝ පාපැදියක් තල්ලු  කරගෙන ආවේය.

"මේක ඉක්මනට හදල දෙන්න පුළුවන්ද?" ධර්මේ අයියා උත්තරයක් දුන්නේ නැත. 
අර මනුස්සයා තව හයියෙන් අර ප්‍රශ්නයම ඇහුවේය. ධර්මේ අයියා උන්නේ මොකක්දෝ එකකට නප්පියටම තද වෙලාය. තවත් තරහ ගිය ධර්මේ අයියා ඉද්ද ගැහුවා වගේ නැඟිට්ටේය, සයිකලය තිබුණු තැනට ආවේය. " ඉක්මනට හදන්න..... උඹේ අම්මට......" කියා, දෑතින්ම බයිසිකලය උස්සා පොළොවේ ගැහුවේය. ඊළඟට අර මනුස්සයා දිහාට හැරුණත්, ඔහු එතැන උන්නේ නැත. ඒ වනවිටත් ඔහු හිටියේ, ඒ හතර මායිමත් පන්නලා මැරතන් ධාවනයකය.

ඊට පහුවදා ධර්මේ අයියා අර සයිකලය තිබුණා වගේ දහපූරුවක් අපූරුවට හදලා කාගේදෝ අතේ අර මනුස්සයාගේ ගෙදරටම යැව්වේය. "සල්ලි දුන්නාට ගන්න හෙම එපා!" 
දූතයාත් ධර්මේ අයියාගේ බහට පිටින් ගියේ නැත.

ලොකුකමකට කියනවා නොවේ. එහෙව් ධර්මේ අයියා මට කටපුරා මහත්තයා කියා කිව්වා මිස නමින් කතා කළේ නැත, මාත් ඔහුගේ ලොකු පුතාත් එක වයසේකොටත්.

ලොකු දුවගේ මංගල්ලය දවසේ කළු අක්කාගෙන් බෑණන්ඩිට බත් කටක්.....
"යං, යං. මහත්තයට යන්න ඕනේ නං අපායට වුණත් පාර පෙන්නන්නම්කෝ! නැද්ද කළු අක්කේ?" ඉතා කලාතුරකින් හිනාවෙන ධර්මේ අයියා මුව පුරා හිනාවී අපට කීවේය. අපය කිව්වේ කළු අක්කාටත් මටත්ය. කළු අක්කාට මා නිමල් මල්ලීය. කළු අක්කාගේ මල්ලිලාටත්, දූ-පුතුන් හතරදෙනාටත් මා නිමල් අයියාය. කළු අක්කාගේ ලොකු බෑනා; හේමලාල් ජයසිරිටත්, කළු අක්කාගේ සැමියා 'සෝමේ අයියාටත්' පමණි මා 'නිමල්' වුණේ!

"මොනවද කියන්නේ ධර්මේ අයියා. මටත් ආසයි ඔය ගමට ගිහින් බලන්න. යමු නිමල් මල්ලී."

කළු අක්කාගේ කතාව මට තවත් දහිරියකි. අපි බලංගොඩට ගිහින්, අර නෑයාගේ පින්නවල ගෙදරට ගියෙමු. එහෙන් එක්කෙනෙක් අපත් එක්ක දියවින්නට...... අනේ, අප කවුරුත් යහමින් ඇති-පැති අය නොවුනෙන් ඔය ගමන් සේරම ගියේ ලංගම බස්වලිනි!

අරනෝලිස් මුදලාලිත්, ලොකු පුතා කරුණේත් අපව සාදරයෙන් පිළිගත්හ. සංග්‍රහ කළහ. 
"මේ ගොල්ලෝ මෙහාට එනවානම්, වෙනම ඉන්නත් ඕනේ නම්.... ආං අපේ මහගෙදර තියෙනවා පන්සලට අල්ලපු වත්තේ. ඕනේ විදියකට ඉන්න එකයි ඇත්තේ. 
අපටත් ලොකු දෙයක් ඒක පාළුවෙලා යන එක වුණත් නැවතෙනවනේ කවුරු හරි ඒකේ ඉන්නවානම්." අරනෝලිස් මුදලාලි අපට කිව්වේය. අපි ඒ ප්‍රදානය බැතියෙන් පිළිගත්තෙමු.

එතකොටත් මුදලාලිගේ ලොකු පුතුන් තිදෙනාම; කරුණේ, සෝමේ හා ගුණසිංහ පතල් කරුමාන්තේ කෙරුමෝය. කවුරු කිව්වාදැයි මට මතක නැතත් සෝමේ මල්ලී අප එක්ක පතල් වැඩට පන්ගාර්තු කෙරිණි. අප දන්නා පතල් වැඩක් තියා මැණිකක්වත් නැති එකේ සෝමේ මල්ලී අපට හැබෑම උපදේශකයෙක් වුණේය.

පෙරහරේ ඉදිරියෙන්ම ඉන්නේ සෝමේ මල්ලී නොහොත් එච්.එන්. සෝමපාලය.
මුලින්ම අපේ පතල් කෙරුවාවට කරු හවුල්කාරයෝ දෙන්නෙකි. කළු අක්කාත් මාත්. 
වැඩට පස් දෙනෙකි. කළු අයියා, අපේ සුනිල්, නන්දසේන හා මා. හතර දෙනා කොළඹිනි. දියවින්නෙන් සෝමේ මල්ලිය. පතලක වැඩ කරන්නේ ඔත්තේ ගණනක් බවයි මගේ මතකය. මුල්ම වතාවේ සුමාන දෙකකට හරියන්නට හාල්, පොල්, පරිප්පු, කරවල, තුනපහ, සීනි-තේකොළ කරගසාගෙන අපි දියවින්නේ ගියෙමු. අපව ඇරලවන්නට කළු අක්කාත්, 
ඇයගේ සැමියා සෝමේ අයියාත්, ධර්මේ අයියාත් ආවෝය.

පිටකොටුවෙන් මධ්‍යම රාත්තිරියේ දොළහකුත් ගණනකට යන බලංගොඩ බස් එකේය අප ගියේ. උදේ පහට විතර එය බලංගොඩට යයි. දියවින්නට යන බස් එක හයටද කොහෙදය, තිබ්බේ. ඒ ගමනටත් පැය තුනක් විතර අල්ලයි. අරනෝලිස් මුදලාලිලාගේ ගෙදරින්ම 
උදේට සප්පායම් වීලා අපි පන්සල ගාව ගෙදරට පිටත් වුණෙමු. එතකොට වතු උඩින්, 
වෙල් මැදින්, දිය කඳුරු අස්සෙන්ය අපට යන්නට වුණේ.


"මහත්තයට ඔය විස්තර තවම හොඳට මතක තියෙන එකනේ පුදුමේ!" 
2018 මාර්තු මාසයේ  8 වෙනිදා විජිත නන්දරතන හාමුදුරුවෝ මගෙන් ඇසූහ. 
ඒ අපි හතරදෙනාට කැවුම්, කෙසෙල් ගෙඩි, අලුවා වාගේ දේවල්වලිනුත් කිරි තේවලිනුත් ඉස්තරම් ලෙස සංග්‍රහ කිරීමෙන් පස්සේ කෙරුණු කතාබහේදීය. අපි කිව්වේ 
අයස්මන්ත දොස්තර මහත්තයාත්, නෙවිලුත්, ගවීනුත්, මාත්ය. "මම මේ පන්සල බාර අරන් තවම අවුරුදු දෙකක්වත් නෑ. ඒ දවස්වල අපේ ලොකු හාමුදුරුවන් වහන්සේ තමයි 
මෙහෙ වැඩ ඉන්න ඇත්තේ."

මගේ ගණන් හිලවුවලට අනුව එතකොට විජිත හාමුදුරුවන් ඉන්නට ඇත්තේ නම් ගන්ධබ්බ අවදියේ වෙන්නට ඇත.

"මට හරිම සතුටුයි ඉස්සර මේ පන්සල ගැන දන්නා මහත්තයා වගේ කෙනෙක් මුණ ගැහුණට." උන්වහන්සේගේ ඒ සතුට මේ 'චේගුරා' මිත්‍යාදෘෂ්ටිකයා එක්ක දිගට කතා කරද්දී නැති වුණාදැයි විජිත හාමුදුරුවන් හෙළි කළේ නැත. "අනේ හාමුදුරුවනේ, මං එච්චර පන්සල් යන ජාතියේ උපාසකයෙක් නෙවෙයි. අවුරුද්දක් විතර අල්ලපු වත්තේ හිටියත් පන්සලට ආවේ නෑ. ගමේ මිනිස්සු වුණත් එහෙමට පන්සලට ආව වගකුත් මට මතක නෑ. හැබැයි පන්සලේ ගල්ලෙනේ පතල් රස්සාව කරන කට්ටියක් නැවතිලා හිටි බව නම් මතකයි."

ඒ කට්ටිය බාරව උන්නේ ලලිත්ය. කරන්නට දෙයක් නැතිකමට ඒ වගකීම බාර අරන් හිටියා මිස ලලිත්ට ඕනෑ කළ මැණිකක් නොවීය. ඒත් අප මිතුරන් බවට පත්වූ පසු නම් මිනිහාටත් දියවින්න ඒ තරම්ම පාළු කතරක් නොවුණා වගෙය. අපි මිතුරෝ වීමු. ඒත් දියවින්නෙන් ආවාට පසු ලිපි දෙක තුනක් හුවමාරු වුණා විතරය. 
මගේ මිතුරෙක් කලකට පසු ලලිත් මා මතක් කරන්නට කිව්වා යැයි කීවේය. "කොහෙදිද කමල් ඔයාට ලලිත්ව හම්බ වුණේ? කොහොමද එයා මාව අඳුනන බව දැනගත්තේ?" මං ඉවසිලි නැතිව ඇහුවා මට හොඳට මතකය.

ලලිත්
උත්තරය නම් මගේ සිත් ගත් එකක් නොවීය. " වැලිකඩ රිමාන්ඩ් එකේදී...." මට වැටහෙන්නේ දැන්ය. ලලිත් පොලිසියට බැඳෙන්නට ආසාවෙන් හිටියේය. සමහර විට ඔහු බන්ධනාගාර සේවාවට බැඳෙන්නට ඇත. මගේ හිතට වැදුනේ ඔහු රිමාන්ඩ් එකේ හිරකාරයෙක් බවය. එහෙම වුණත් මා කළ යුතුව තිබුණේ ටිකක් හොයා බැලීමය. 
මොන දුෂ්ටකමක්ද? මම කමල්ගෙන් විස්තරවත් නෑසුවෙමි. අනේ ලලිත්, දැන් සමාව ඉල්ලන්නේ නැත. ඉල්ලා පලක් නැත. ඒත් මම දැන් ඒ ගැන ගොඩක්-ගොඩාරියක් පසුතැවෙන බව නම් කියන්නෙමි!

මිනිස්සු වැඩි දෙනෙක් අතීතකාමියෝ වෙති. මොන පණ්ඩිතකම් දෙඩුවත් මේ මාත් ඒ ගොල්ලේමය. විජිත හාමුදුරුවන් වහන්සේ ගැඹුර දෙද්දී මම අතීත සයුරු ගැඹරේ කිමිදුනෙමි.

ලස්සනම හරිය ආවේ පන්සල ගාව ගෙදරට යන ගමනේ අන්තිම හරියේදීය. 
ඒ කොටස යන්නට වුණේ පුංචි-පටු නියරවල් උඩින්ය. කඳුකරයේ තරම්ම නොවුණත් දියවින්නේ කුඹුරුත් හෙල්මැලි කුඹුරු වාගෙමය. ලියැදි කුඩාය. නියරවලුත් පටුය. අපෙන් වැඩි දෙනෙක් තුන් හතර වතාවක්වත් නියරෙන් කුඹුරට නොවැටී බේරුනේ නැත. මුලින්ම කුඹුරට වැටුණේ කළු අක්කාය. ඒ සමඟම සිහින් නාදයකුත් ඇසිණි. ඊළඟට ධර්මේ අයියාය. 
දෙවෙනි වන්නට අකැමැත්තෙන් මෙනි! සද්දය අරිට වැඩිය. මෙන්න බොලේ, ඒ දෙන්නා තරගයට වාගේ වෙඩි පුපුරවමින්, වෙලට වැටෙමින් ලෙෆ්ට්-රයිට්...... මෙතැනදී මට මතක් වුණේ ළඟදී දිනෙක මා දුටු අපූරු ඡායාරූපයකි.


දැන් වුණත් දියවින්නට යන කෙනෙකුට අර පටු නියරවල් එහෙමම දැකගන්නට හැකිය. ඒත්, මගේ පපුව කඩා වැටුණේ පන්සල් වත්තට යාබදව, අප නිවැසූ අර ගෙදර ලකුණක්වත් ඉතිරි නොකොට සදහටම ගිහින් තිබුණා දුටු විටය. ඒ වත්තට පිවිසෙන කඩුල්ල ළඟ තිබුණු මී ගහ විතරක් මා දෙසට හොර බැල්මක් දැම්මේය. "මතකද එදා පුරා පසළොස්වක හඳපානේ ......
මඳ අඳුරේ.....  මං හඳ එළිය මුවා කරලා ඔයාලට......" මී ගහ කෙඳිරුවේය. 
මම දෙතොලට ඇඟිල්ල තියා නිහඬ වන්නැයි මී ගහට කිව්වෙමි.

"එච්චර මිහිරි රාත්තිරියක් කොහොමද දෙයියනේ අමතක වෙන්නේ? මං තවම ඒ ගැන කටේ කෙළ බිම හළලා නෑ. එහෙම කරන්නේ හිතේ නිධන් වෙලා තියෙන ඒ රහ- ඒ සුවඳ- ඒ මිහිර අඩුවේවි කියන බයට; ලෝබකමට...... එව්වා ඔහේ තිබිච්චාවේ නේද. හොඳේ!" කොළ සේරම හළා දමා, අලුතින් දලු පුබුදන්නට සැරසෙන මී ගහ  මගේ හීන් කෙඳිරිය අහලා, හිනාවෙලා  නිහඬ වුණේ ඒකය.
 
රූස්ස මී ගහ
"මහත්තයෝ, මුලින්ම අවුරුදු දෙකකට ඉස්සෙල්ලා මං මේ පන්සල බාරගන්නකොට බොහෝම දෙනෙක් ආවා, මාව හම්බ වෙන්න. පන්සලේ ඉඩම් මැණික් ගරන්න ඉල්ලා ගන්න. මං පළමුවෙනියට කළේ අපේ ඉඩම්වල මැණික් ගරන එක නවත්තපු එක. අර හැම දෙනාටම මං කිව්වේ අපි ඉස්සෙල්ලාම පන්සල හදලා ඉවරවෙලා පස්සේ මැණික් ගරමු කියලයි." විජිත හාමුදුරුවන්ගේ හඬින් මම වර්තමානයට ආවෙමි.

තවම හදාගෙන යන පන්සල
උන්වහන්සේගේ කතාව ඇත්තය.
"හවස හයෙන් පස්සේ පන්සලට එන්න එපා කියල බෝඩ් එකක් එල්ලල තියෙද්දී ගමේ අය පන්සලට එයිද? මුලින් විජිත හාමුදුරුවෝ කරන දේවල් දිහා වපරෙට බලපු අයත් දැන් පන්සලේ දායකයෝ. මහත්තයලටම පේනවනෙ දැන් විදිය?" හැම සෙනසුරාදාවකම 
දියවින්න දේවගිරි රජමහ විහාරස්ථානයේ පැවැත්වෙන 'අශ්ඨපාන ගිලන්පස ඖෂධ පූජාව' අතරතුරේ උපාසක මහත්තයෙක් මට කිව්වේය.

හිතා-මතා නොකළත් විජිත හාමුදුරුවෝ හමුවෙන කාටත් ඉනා බේත් දෙයි. "සර්වජන වශීය" පැළඳගෙන ඉන්නවා වෙන්නටත් පුළුවනිය. තවමත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උගන්නා උන්නාන්සේ 'තෙල බෙදිල්ල' අඩු නැතිවම ප්‍රගුණ කරන්නට ඇත!

ඒකෙ අනුහස කොච්චරද කියනවා නම් මාර්තු අටවෙනිදා අප පිටත්ව එද්දී, පන්සල් වත්ත මායිමේදීම අයස්මන්ත දොස්තර මහතා කීවේ "අයියේ, අපි ආපහු මෙහෙට එමු. 
මං විසිපන්දාහක් දෙන්නම් මෙහෙ මොනව හරි කරනවා නං." කියලාය. නෙවිලුත් 
දෙවෙනි වුණේ නැත. "මාත් දෙන්නම් පන්දාහක්". 

මගෙත් එක්කලා දෙයක් කියා කෙනෙකුට බේරෙන්නට නං ලෙහෙසි නැත. 
ලොකුම පුදුමය නෙවිල්ගේ සර්ධාවය. 
සල්ලිත් දුන්නේය කියනවාට වඩා හොඳ මං බලෙන්ම කඩාගත්තාය කියන එකයි. 
ඒත් පූජාවල් උස්සාගෙන පෙරහරේ යන්න? 

මා හදන්නේ මෙවන් ඡායාරූප පෙන්නා 
නෙවිල්ව black mail කරන්නය.


නෙවිල් ඇතුළු අපේ ඈයෝ එච්චර සර්දාවන්ත වුණේ මොකද කියලා හිතද්දී නම්..... 
කමක් නෑනේ ඒ ටික ඊළඟ පෝස්ටුවේදී කෙටුවට?

3 comments:

  1. ඕං බලන්නකො ඉතිං දැන් මටත් දියවින්නට යන්න හිතෙනවනෙ :-D

    ReplyDelete
    Replies
    1. ඉතින් යමු! යහළුවන් කිහිප දෙනෙකුත් එක්කම!

      Delete