අකුරු මැකී නෑ

Tuesday, June 26, 2018

පේව්මන්ට් එකේ රජ වී - දෙවෙනි කොටස


ගිය වතාවේ පෝස්ටුව නැවැත්තුවේ කවුද ඇවිත් මගේ සූට්කේස් එක ළඟින් හම්බෑග් එකක් තියලා පැත්තකට වුණු තැනින්.

කුතුහලයෙන් දැවි-දැවී මං අජාසත්ත ඉවර කළා. එතකොටම අර මනුස්සයා ඇවිත් "බොහෝම ස්තුතියි මල්ලී" කියලා හයියෙන් කියලා කතාවක් පටන් ගත්තා. පස්සෙයි මං දැනගත්තේ. 

ඒක තමයි පේව්මන්ට් එකේ සිරිත; චාරිත්‍රය. කවුරු හරි, කොතැන හරි දේශනාවක් පවත්තනවා නම් එතැන ඊළඟ දේශනය කරන්න ඕනේ කෙනා තමන්ගේ බෑග් එක වගේ ලකුණක් කාටත් පෙනෙන්න මැදින් තියනවා. ඒත් මම ඇඳුම් මාරු කරලා ඉවර වෙනකොටත් සෑහෙන දෙනෙක් එතැනින් පිටත් වෙලා. මං සූට්කේස් එක අතට ගනිද්දිම අර මනුස්සයා මගේ ළඟට ආවා. 
ඇවිත් හෙමිහිට කතා කළා. "මල්ලී හෙටත් එනවනේ. මං වේලාසන ඇවිත් මල්ලිට  මෙතන අල්ලලා තියන්නම්."

මං ඈතින් ඉන්න තාත්තා දිහා බැලුවා. තාත්තා ඔළුවෙන් සංඥාව දුන්නා. 'එන්න'.

මං අර මනුස්සයාට උත්තර නොදීම පිටත් වුණා, තාත්තා ඉස්සරහින් යද්දී මං පිටිපස්සෙන්. හැබැයි නන්නාඳුනන දෙන්නෙක් වගේ. පල්ලිය පහු කරලා බෝ ගහ පැත්තට යද්දී හමුවෙන පළමුවෙනි හෝටලේ (සියරට වගෙයි නම, මයෙ හිතේ) ඇතුළට තාත්තා ගියා. මාත්.... තාත්තා මාවත් ඒ මේසයෙන්ම වාඩි කරවාගත්තා. වැඩි කතාබහක් නැතුවම තාත්තා මටත් එක්කම තේ ගෙන්නුවා. "මහන්සිද?"

මං ඔළුව දෙපැත්තට වැනුවා.

ඔය ඔළුව වනන භාෂාව අපට පුරුදු වුණාට හුඟක් විදේශිකයන්ට බෑ. 1985 මං ඉස්සෙල්ලාම එංගලන්තයට ගියාම අපේ ඩැඩාටත් ඕක හරිම ප්‍රශ්නයක් වුණා. "කොහොමද නිමොල් 
එක-එක තේරුම් දෙන්න උඹ ඔළුව හොලවන්නේ?" එහෙදි ගොඩ දෙනෙකුට මගේ නම 'නිමොල්' වුණා. කොච්චර කිව්වත් 'නිමල්' කියලා කිව්වේ එහෙමත් කෙනෙක් විතරයි.

ඩැඩායි අම්මයි
මාත් ඔළු භාෂාව ඩැඩාට කියා දුන්නා. "ඔළුව කෙලින්ම තියාගෙන දෙපැත්තට වනන්නේ 'එපා' කියන්න. 'හා' කියන්න නම් ඔළුව උඩටයි, යටටයි වනනවා. 'කැමැතියි' කියන්න ඕනේ වුණාම නිකට ටිකක් යටට කරලා ඔළුව වමටයි දකුණටයි යාන්තම් හොලවනවා...." දිගටම ටියුෂන් දුන්නත් ඩැඩී නෙවෙයි එකක්වත් ඉගෙන ගත්තේ. ඉතින් කොහෙද තව ප්‍රභේද එයාට උගන්නන්නේ? (ඩැඩී ගැන වෙනම කියන්නම් පස්සේ.)

"එහෙනම් තව තැනකට යං!" තාත්තා කිව්වා.

ඊළඟට අපි ගියේ බෝධිය ළඟ ඉඳලා ගෑස්පහ හන්දිය පැත්තට යන පස්වෙනි හරස් වීදියට. 
දැන් නම් මන්දා, ඒ දවස්වල නම් ඒ හරියේ තිබ්බෙ තොග කඩ. පාර අයිනේ දිගටම බඩු පටවාගෙන, තල්ලු කරන් යන රෝද දෙකේ අත් කරත්ත පේළියක්ම තිබුණා. ඒවාට කියන්නේ අත් කරත්ත කියලාද? වැඩක් හම්බවෙනකල් නාටාමිලා ඒ කරත්තේම දිගාවෙලා විවේක ගනිමිනුත් හිටියා මට හොඳටම මතකයි.

අත් කරත්තයක්
තාත්තා මට පොඩි ඉඩක් පෙන්නුවා. මං එතනට ගිහින් 'රජ වෙන්න' මුල පිරුවා. රජ වුණා!
ඊට පස්සෙයි අපි ගෙදර ආවේ. 

මහරගමින් බැහැගත්තාට පස්සේ පමුණුව පාරට එක එල්ලේ පෙනෙන තැන තිබුණු 'ප්‍රනාන්දු මහත්තයාගේ' කඩෙන් අත-කට පිරෙන තරමට හාල්-තුනපහත් අරගෙනයි අපි ආවේ. 
ඇයි තාත්තාට ත්‍රී රෝසස් සිගරැට්. ඒවාත් පැකට් එකක්ම ගත්තා. ඇත්තමයි, එදා අපට 
රජ මඟුල්! මමත් හිටියේ කියාගන්න බැරි තරම් සන්තෝසයකින්.

පොසොන් පෝයට තිබ්බෙ දවස් කීපයක් නිසා තාත්තා මාව කොළඹ යැව්වේ සීයාත් එක්ක. දැන් මට තැන් දෙකක්ම පුරුදුයිනේ. සීයාට තිබ්බෙ මගේ තනියට එන එක විතරයි.

දෙවෙනි දවසේ අපි පල්ලිය ළඟට යනකොටත් අර මනුස්සයා එතැනින් පකිස් පෙට්ටියක් තියලා, ඒකට උඩින් එයාගෙ බෑග් එකත් තැන්පත් කරලා. මාව දැක්කා විතරයි මනුස්සයාට 
හරි සතුටුයි. මං හිතන්නේ එතකොට එයාට අවුරුදු තිහක්-තිස්පහක් විතර ඇති. ජාතික ඇඳුමට හුරු ඇඳුමක් ඇඳලා හිටියේ. හැබැයි ඒක  බොර දිය පොකුණෙන් හෝදලාද මන්දා, බොර පාට වෙලා. "මොකද්ද මල්ලිගේ නම? කොහෙද ඉන්නේ?" එයා ප්‍රශ්න වැලක පැටලුම් දිග ඇරියා. එයාගෙ නම සිරිපාල. එයා තමයි මට පේව්මන්ට් එක ගැන ගොඩාරියක් දේවල් කියලා දුන්නේ.

"මල්ලී, මේ රස්සාව කරනවා නම් ඕනෙවට වඩා නෝන්ජල් වෙන්න යන්නෙපා. ටිකක් ටෆ් විදියට ඉන්න ඕනේ. පේනවානේ මං....." ඇත්තම කිව්වොත් මට නම් එයාගෙ ටෆ් ගතියක් පෙනුණේ නෑ. ඒත් හිතවත් පාටක් නම් තිබුණා.

ඊටත් අවුරුදු හතරකට පස්සේ  මං
"අපේ පුරුද්ද තමයි එක්කෙනෙක් කතා කරලා ඉවර වුණාම ඊළඟ කෙනාව අඳුන්නලා දීලා, එයාට සභාව බාරදෙන එක. නිකම්ම කතාව නවත්තන්නේ නෑ. පෝලිමේ ඉඳලා තව අයට කතා කරන්නත් පුළුවන්. සමහරු ඉන්නවා තැන තැන නොයා එකම තැනකට පුරුදු වුණු අය. මල්ලිට සල්ලිනෙ ඕනේ. මං ඔයාව එක්කං යන්නම් හොඳ පොට් කීපෙකටම. හැබැයි මල්ලී, මාවත් අමතක කරන්නෙපා, මොකද තව එවුන් එයි මල්ලිට උදව් කරන්න. සමහරුන්ට පස්සේ එන අඟ ලොකු වෙනවනේ ඉස්සෙල්ලා එන කණට වඩා..." සිරිපාල එක සැරෙන්ම සතියකට ඇති තරම් දේවල් කියෙව්වා.

මට වැටහුණු විදියට නම් එයාට මගෙන් ඕනේ කරලා තිබුණු ලොකුම උදව්ව සෙනඟ රැස් කරවාගැනිල්ල. මගෙ මොකෝ? ඊටත් අපි යනකොට තැන වෙන්කරලා තියාගෙන 
ඉන්න එකම වුණත් කොයි තරම් වාසියක්ද. කීර්තිලතාගේ අත්දැකීම එක්ක බලද්දී 
මේක කොච්චර ෂෝක්ද?

1966 පොසොන් පෝයදා අජාසත්ත වේදිකාගත කළාට පස්සේ මට දිගටම පදික වේදිකාවේ ඒක තනියම රඟ දක්වන්න වුණා. උදේට ඉස්කෝලේ යනවා. ගෙදර ඇවිත් දවල්ට කාලා 
හවස තුන විතර වෙද්දී ආයෙම ඉස්කෝල ඇඳුමම ඇඳගෙන, සූට්කේස් එකත් අරන් පිටත් වෙනවා. ටික දවසක් යනතුරු සීයා හරි තාත්තා හරි නොවරදවාම මාත් එක්ක ආවා. ඒ දවස්වල නංගිලා, මල්ලිලා, මං කවුරු- කවුරුත් ගඩා-ගෙඩි, ගස්වල දලු, බිම්පොල් අඳුනන්නෙවත් 
නැති ගානට වැටුණා.

මම හැමදාම කීයක් හොයාගෙන එනවද කියලා මංවත් දැනගෙන හිටියේ නෑ. අතට සල්ලි ලැබෙනවා කියලා ඒවා මට ඕනෑ විදියට වියදම් කළෙත් නෑ. හැබැයි මං පත්තර කීපයක් නම් ගත්තා. ගෙදරටත් ගෙනාවා. දිනමිණ, ලංකාදීප, ජනතා, සවස, රසකතා, සුරතුර, සරසවිය, සිළුමිණ, රිවිරැස විතරක් නෙවෙයි, ඉඳහිට දකින්න ලැබුණු කවට මුත්තා, රසවාහිනි, නවයුගය, ශ්‍රී වගේ සඟරාත් මගෙන් මඟෑරුණේ නෑ. මං එව්වා ගත්තේ පිටකොටුවේ බෝධියට එහා පැත්තේ තිබ්බ පත්තර ලෑල්ලෙන්.

පිටකොටුවේ බෝධිය
ඔයාලා දන්නවද, මට අවුරුදු හතරක් වෙනකොටම පත්තර කියවන්න පුළුවන්. අපේ ආච්චි හැමදාම වගේ හිනාවෙවී කියාපු කතාවක් මේ. "උදේට ලංකාදීපේ ගෙනාවාම අපි ගෙදර වැඩ කරගන්නකල් අපි සේරටම ඇහෙන්න පත්තරේ කියවන්න දෙන්නේ රංජිට. අපි පත්තරේ ගත්තෙම කුමන්ත්‍රණ නඩුව ගැන දැනගන්න. රංජියා හාන්සි පුටුව උඩට වෙලා, මුළු ගෙදරටම ඇහෙන්න මුල පිටුවේ ඉඳලා අග පිටුවට යනකල්ම කියෝනවා. අන්තිම පිටුවේ තියෙන ටෛම්ස් අච්චු කන්තෝරුවේ අච්චු ගැහුවා කියන එකත් කියවලයි මේකා නවත්තන්නේ."


ආච්චිලා ගෙනාවේ ලංකාදීප පත්තරේ. මං හිතන්නේ එයාලා උනන්දු වුණේ '1962- ඔපරේෂන් හෝල්ඩ් පාස්ට් 'රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය' පිළිබඳ නඩු විභාගය ගැනයි. ඒ පත්තරේ ගිය 'මායාකාරී' චිත්‍රකතාව මට තවම පේනව-පේනවා වාගෙයි.

මං හිතන්නේ ඒ කියවන පුරුද්ද නිසාමයි මං සිංහල ඉගෙන ගන්න ඇත්තේ. අදටත් මට හරිම තරහක් එන්නේ පත්තරවලින් සිංහල භාෂාව වරද්දනකොට. හැබැයි එහෙම සිංහල වරද්දන අය වුණත් ඉංග්‍රීසි නම් වරද්දන්නෙ නෑ. මේ ගැන ටිකක් මං "නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්" පෝස්ටුවෙත් ලිව්වා, මතක ඇතිනේ. කොහොම වුණත් මට සිංහල ඉගෙන ගන්න උදව්-උපකාරී වුණු ඒ ලියාපු ඇත්තෝ කාට-කාටත් නිවන් සුවයම අත්වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා, මතක් වෙන වාරයක් ගානේ. මං වගේ හිච්චෙකුට කරන්න පුළුවන් එච්චරයිනෙ.

මගේ පත්තර ගෙනෙන පුරුද්දෙන් අපේ නංගිලා-මල්ලිලා සේරටමත් කියවන පුරුද්ද බෝවුණා. දැනුත් අපේ ගෙදරට ගොඩවදින බොහෝම උගතුනුත් අපි වගේ පත්තර කියවන අය නම් වෙන්න බෑ. ඒ ගොල්ලෝ පත්තර පෙරළාගෙන-පෙරළාගෙන යනවා. පත්තරේ මස් කරනවා. හැබැයි කියවන්නේ නෑ. පෙරළලා, මස් කරලා ඉවර වුණාම ආපහු පත්තරය ලස්සණට නවන පුරුද්දකුත් ඒ වැඩි දෙනෙකුට නෑ. පව්! පුංචි කාලේ ඉඳලා පුරුදු කරවන්න නැතුව ඇති.  

අපේ තාත්තාත් මං පත්තර ගෙනාවාට මොකුත් කිව්වේ නෑ. හැබැයි 'සවස' පත්තරේ නම් පුංචි එවුන්ට හොඳ මදි නේද කියලා ව්‍යංග්‍යයෙන් 'එපා' කිව්වා. තාත්තයි, සීයයි, ආච්චියි නම් ඒ පත්තර කියෙව්වෙම නැති තරම්. රේස් කොළේ අකුරක් ගානේ කියවලා ඉවර වෙද්දී එයාලට ඒකට වෙලාවක් තිබුන්නෑ වෙන්නැති.

ඉතින් මගේ රස්සාවට මුලින්ම බාධාවක් වුණේ වැස්සෙන්. ශ්‍රී ලංකාද්වීපයේ වැසියෝ වැඩි හරියක් වැස්සට නම් පුදුම බයයි, නේද? වැඩි දෙනා වැස්සට ආසා වෙලාවලුත් තියෙනවා. "වැස්සට තෙමි- තෙමි - මා යන ලස්සන - කවුළු දොරින් කවුදෝ බලනවා" කියලත් සුජාතා අත්තනායක ගයන්නේ. මට මෙතැනදී මතක් වුණු පරණ කතාවකුත් නොකියා බැහැ.

ප්‍රේමකීර්ති, වික්ටර් හා සුජාතා
ඉස්සර ගුවන් විදුලියේ ගීතයක් ප්‍රචාරය කරද්දී ඒක ලිව්වේ කවුද, තනුව- සංගීතය කාගේද, ගයන්නේ කවුද වගේ විස්තර සේරම කියනවා. ඔන්න 'සඳට අහස ආදරේදෝ' ගීතය යවන්න ලැහැස්ති වෙලා එක්තරා නිවේදක මහත්තයෙකුට අලුත් සිතුවිල්ලක් ඇවිත්. අහල ඇතිනේ ඒ සින්දුව. ප්‍රේමාවනද්ධ තරුණයෙක් ප්‍රේමවන්තියට කියලා 'මම ආදරෙයි' කියන වදන් ටික කියවාගන්න දාන දඟ- දාන වීරිය තමා ගීතයේ තේමාව. ඉතින් ඔන්න නිවේදකයා පටන් ගත්තාලු. 'මේ ගීතය රචනා කළේ ආමකීර්ති ද ප්රෙල්විස්. සංගීතවත් කොට ගයන්නේ රක්ටර් විත්නායක. යුග ගායනය අජාතා....." එතකොටයි මිනිහට මතක් වෙලා තියෙන්නේ ඊළඟ වචනය කිව්වොත් මොකද වෙන්නේ කියලා!

වැස්සට බයේ කවුරුවත් පේව්මන්ට් එකේ කතා අහන්න නවතින්නේ නෑ. ඉක්-ඉක්මන් කරලා ගෙදර යනවා මිස. ඔන්න එහෙව් දවසට ආයෙමත් අපිට කෝඩේ! අපේ තාත්තා හෙට ගැන හිතපු කෙනෙක් නෙවෙයි. අද ලැබෙන ඔක්කොම අදම වියදම් කරලා ඉවර කරනවා. දවස් දෙක තුනක් පිට-පිටම වහිද්දි තමා රඟේ තේරුණේ. ඉතින් වැස්සේම වුණත් රජ වෙන්න ගිය මං, හොයං ආව සොච්චමෙන් කාලා නෙවෙයි උලා කාලයි අපි එහෙම දවස් ගෙව්වේ.

"මල්ලී, හවසට විතරනෙ එන්නේ.... නරකයිද පාන්දරින් ඇවිත් ගතමනාවක් හොයා ගත්තොත්? හවසටනේ වහින්නේ..." ඔහොම වැස්ස දවසක සිරිපාල ඇහුවා. "පාන්දර?"

මහා පාන්දර කොහේද එච්චර මිනිස්සු ගැවසෙන තැනක්? මට හිතුණා. "මල්ලී එන්නකෝ. මං තැනක් පෙන්නන්නම්. මුළු හවසම මහන්සි වෙලා හම්බ කරනවාට වැඩි ගානක් හොයා ගත්තෑකි එතැනට ආවොත්... හැබැයි එළිය වැටෙනකොටම එතැන ඉන්න ඕනේ. පරක්කු වුණොත් හුළං!"

සිරිපාල අයියාගේ යෝජනාව මං තාත්තාට කිව්වා. ඒ වෙද්දී මං තනියමයි කොළඹ යන්නේ. "අපරාදෙනේ තව ලොකු එක්කෙනෙකුට බස් එකටත් වියදම් කරන්නේ. උඹ එනකොට කාට හරි හන්දියට ඇවිත් ඉන්න පුළුවන්නේ, තනියට."

ඒ දවස්වල මහරගම ඉඳන් පිටකොටුවට ලොකු කෙනෙකුට ටිකට් එක සත තිහක් හෝ පහළොවක්. මට නම් බාගේ. අර ගණන් දෙක තමා මගේ ඔළුවේ තියෙන්නේ. ඒ සත තිහ ඉතුරු කරන්න මාව තනියම කොළඹ යවපු තාත්තා දවසකට රුපියල් දෙක-තුනක රේස් දාන්න ලෝබ වුණේ නෑ. ඇත්තමයි, ඇයි තාත්තා ඒ තරම් අකරුණාවන්ත වුණේ කියලා හිතෙද්දි නම් මගේ ඇස්දෙකට තවම; මේ මොහොතේත් කඳුළු උනනවා!

තාත්තාගෙ රේස් තුණ්ඩු ලියනගේ  මාමා ළඟට අරන් ගියේ අපේ සුනිල් මල්ලී. (ලියනගේ මාමාගෙ රේස් තිප්පොළ ගැන තමයි මං අජාසත්ත -2-3 පෝස්ටුවල එහෙම ලිව්වේ.) ඉතින් සුනිලා මට රහසෙන් කියනවා තාත්තගේ රේස් තුණ්ඩු ගැන. සුනිල් තමයි එතකොට ගෙදරට බඩු-මුට්ටු ගෙනෙන්න හන්දියට යන්නේ. මස්- මාළු ගේන්න නම් මහරගම හන්දියටම යන්න එපැයි! දවසක් සුනිල් ගෙනාව මාළු වගයක් කුණුවෙලයි කියලා තාත්තා එයාව ආපහු යැව්වා මාරු කරගෙන එන්න. මතකද සුනිල්, ඔයා එදා හන්දියට ගියේ හොඳටම අඬ-අඬා.

කටුක වුණත් එව්වයේත් යමක් තිබුණා. සුනිල්ට මස්- මාළු ගන්න, කපන්න, ශුද්ධ කරන්න හොඳට පුළුවන්. මං.... අදත් අඳුනන්නේ ඉස්සොයි, කකුළුවොයි, හාල්මැස්සොයි, කාරැල්ලොයි, පියාමැස්සොයි විතරමයි. උයන්න දන්නවා වුණත් කපාගන්න දන්නේ නෑ.

ඉතින් සිරිපාල අයියගේ යෝජනාව ගැන මං තාත්තාට කිව්වාම එයා කිව්වේ දවසක් ගිහින් බලපන්කො කියලයි. මං විස්තර අහගත්තා.

"හෙට සෙනසුරාදානේ. ඔයාට ඉස්කෝලෙත් නැහැනේ. ඔන්න මං උදේ පහමාර වෙද්දී මේ බස් හෝල්ට් එකේ ඉන්නවා. මාවත් රස්තියාදු කරවන්න හෙම එපා, නෑවිත් ඉඳලා." සිරිපාල අයියා කොටුව ස්ටේසම ඉස්සරහ, මල්වත්ත පාරට හැරෙන තැන බස් නැවතුම පෙන්නලා මට කිව්වා.

ඔන්න මං නවත්තන කඩඉමකට ආවා. නවත්තන්නම්! මට කොටන්න වෙලාව තිබ්බත් ඔයාලට කියවන්නත් ඉඩක් දෙන්න ඕනනේ! ඔයාලනේ මෙතැන වැදගත්ම කට්ටිය!  



2 comments:

  1. ඒ තත්වය අනුව ඒක කරන්න වෙන්න ඇති නමුත් නිමල් අයියගෙ පැත්තෙන් ගත්තම තාත්ත කරලා තියෙන්නෙ බාල අපයෝජනයක් :(
    අනික ඒ උපයන දෙයත් රේස් දානව කියන්නෙ මහ වගකීමක් නැති කමක් නේද ?

    ReplyDelete
    Replies
    1. අපට නම් රේස්වලින් කිසිම සුගතියක් වුණේ නැහැ. මං දන්නා කාටවත්මත්!

      Delete