අකුරු මැකී නෑ

Monday, July 2, 2018

දියවිනි ඉනාව - දෙවෙනි කොටස


නෙවිල් විතරක් නොවේ, අපේ හැමෝම උපරිම භක්තියෙන්ම  පන්සලේ වතාවත්වලට සහභාගී වූහ. 
පූජාවන්ට සහභාගි වීම
මේ වතාවේ අපේ ගමන පිටත්වන්නට කලින්ම මම විජිත හාමුදුරුවන් වහන්සේව දැනුම්වත් කළෙමි. "හාමුදුරුවනේ, අපේ නඩයේ ඉන්න වැඩි දෙනා එච්චර සැදැහැවත් අය නෙවෙයි. මේ මාත් එහෙමයි හාමුදුරුවනේ. විනෝදෙට බරයි. ඔබ වහන්සේලාට අපිව කරදරයක් වේවිද මන්දා."

"මහත්තයා කිසි දේකට බය වෙන්න එපා. කට්ටියව එක්කං එන්න. අපේ පන්සලට ආවාම ඒගොල්ලො නිකම්ම සංවර වෙයි! ගිහි පින්වතුන්ලා ටිකක් විනෝද වෙන්නත් එපැයි. හැබැයි පන්සලක් කියන එකත් සිහියේ තියාගෙන."  විජිත හාමුදුරුවෝ මට කීහ. 

එච්චරකුත් නොවේ. "මහත්තයලා එන්නේ අපේ ගමට. අන්ත දුෂ්කර ගමක වුණත් අපේ යුතුකම තමයි මහත්තයලට උපරිමයෙන්ම සලකන එක. මහත්තයා මට කියන්න කී දෙනෙක් එනවද කියලා. පහසුකම් නම් තියෙන විදියට තමයි පිරිමහගන්න වෙන්නේ. ඒත් අපි කෑම-බීම, තේ ටික හරිගස්සලා දෙනවා. බණ මඩුවේ නිදාගත්තාට කමක් නැහැනේ මහත්තයෝ?" කියලත් කීහ.
 
දහම් පාසල පවත්වන්නේත් බණ මඩුවේමය.
පන්සලක දේවල් අපේ පාවිච්චියට ගැනීම වාරිත්‍රයකි. චාරිත්‍ර කියන්නේ පිළිපැදිය යුතු සිරිත්ය. වාරිත්‍ර කියන්නේ අත්හළ යුතු සිරිත්වලටය. ඉස්සර නම් කිව්වේ සඟසතු  දේවල් කෑවාම ගල් පෙරේතයන් වෙන බවය. මං  හිතන්නේ ඒ  පන්සල්වල දේවල් හොරාකෑම වළක්වන්නට යෙදූ උපායක්; ගෙතූ කතාවක් වෙන්නැති කියලයි. ඇස් පනාපිටම ගල් පෙරේතයන් නොව මහාමේරුව තරම් ලොකු පෙරේතයන්වී ඉපදුනත් නොතකන තරමේ පෙරේතයන් වැජඹෙන රටකි මේ!

"එහෙම නම් බැහැ හාමුදුරුවනේ, අපි වැඩිපුරම යන්නේ කොහේ හරි කැලයක කූඩාරම් ගහගෙන ඉන්න විදියේ ගමන්. ඒ ගියත් අපි-අපිම උයාගන්නවා. ඒවා අපි කරගන්නම්. ඔබ වහන්සේලාට කරදර දෙන්න පව්!"

පෙරේතයෝ මොන වගේද?
"හරි, හරි මහත්තයලා එන්නකෝ!" එහෙම කියූ විජිත හාමුදුරුවෝ දවස් දෙකේදීම අපට කුස්සිය පැත්ත පළාතක යන්නට ඉඩ තිබ්බේ නැත. පන්සලේ දායක-දායිකාවෝ ගොන්නක් කුස්සිය බදු අරගෙන අපට ඉව්වෝය; කෑම හැදුවෝය. දවස් දෙකේදීම අපට උදේ තේ හැදුවෙත් උන්වහන්සේම බව මම හොඳාකාරවම දැක්කෙමි. එහෙම දේවල් දකිද්දී නෙවිල්ලාට සැදැහැ සිත් පහළවීම අරුමයක් නොවේ.

මර්වින්, ඔයාට තමයි ගොඩක් පින්! මාර්තු මාසයේ ගමන ගැන අයස්මන්ත මර්වින්ට කියා තිබේ. "නිමලෝ. මට හිතුණා අර පන්සලට ගීසර් එකක් අරන් දෙන්න." මර්වින් මට කිව්වේය. එයාට ඔහොම පින් සිතිවිලි පහළ වෙයි. "අපි ඉස්සෙල්ලාම හාමුදුරුවන්ගෙන් අහල ඉමුද? ඉන්න සේරම පොඩි හාමුදුරුවරුනේ, ලොකු හාමුදුරුවන්ට වුණත් මහා වයසක්ය? උණු වතුර ඕනෙවෙන්න සීතල පලාතකුත් නෙවෙයිනේ." ඉතින් මම ඇසුවෙමි.

"මහත්තයෝ, මං පොඩි උන්නාන්සේලාගෙනුත් ඇහුවා. උන්නාන්සෙලත් කියන්නේ අපට එහෙම දෙයක් එච්චර ප්‍රයෝජනවත් නෑ කියලයි." ඒ විජිත හාමුදුරුවන්ගේ මතයයි.

sound setup එක
සාකච්ඡාවලදී හෙළිවුණේ පන්සලේ නිතර කෙරෙන පින්කම්වලදී ශබ්දවාහිනී යන්ත්‍ර කුලියට ගන්නට ලොකු මුදලක් වැයවන බවයි. කිලෝමීටර් 20-30 ක් විතර ඒවා ප්‍රවාහනයත් ලේසි වැඩක් නෙවෙයිනේ! සවුන්ඩ් සෙට් අප් එකක් යෝජනා වුණේ එහෙමය. බෆල් හතරයි, ඇම්ප් එකයි, තව මයික් එක....ස්ටෑන්ඩ් එක.... වයර්..... හෙණ ගොඩක් ජාතිය.

පිනක් කළ යුත්තේ හැකිතාක් පිරිසක් එකතු කරගෙනය. හුඟක් අයට තනියම ලොකු දෙයක් කරගන්නටත් අමාරුය. ඒත් තවමත් අපේ උපාසකම්මලා වැඩි දෙනාට ඕනෑ කරන්නේ තව්තිසාවේ සක්‍ර දෙයියන් වහන්සෙගෙ අගමෙහෙසියම වෙන්නටය. උපාසක මහත්තුරුන්ට ඕනෑ දිවියාංගනාවන් දහස් ගණන් පිරිවරාගත් සක්‍ර දෙයියන්ගේ පට්ටම ගන්නටය. මා නම් ඒකට කියන්නේ 'ආත්මාර්ථකාමීකමෙත් හොඳ එක' කියලාය.

ශබ්ද විකාශනවලින් එදාම වැඩ ගන්නා දූලා-පුතාලා
මට නම් හිතෙන්නේ 'පින්වලට වුණත් තණ්හාව ඇතිකරගැනීම වරදක් බවයි!' එහෙම බලද්දී මර්වින්ගේ චේතනාව "....අචින්ත්‍යයි, පාරිශුද්ධයි, සුරම්‍යයි!" හැමෝම එක්ක දිව්‍ය ලෝකයට යන එක කොතරම් අගනේද?
 
මර්වින් බොතේජු
"නිමල්, පුළුවන් හැමෝටම රුපියල් සීයකින් හරි මේකට දායක වෙන්නයි කියන්න. මදි වෙන ගණන මං අතින්  දානවා." මර්වින් සූදානම් වුණේ එහෙම කරන්නටය. ඇත්තම කිව්වොත් වැයවුණු හැටදාහෙන් කොටසක් පමණි එකතුවී තිබ්බේත්. මම එකක් නම් දැනගෙන උන්නෙමි. දියවින්නට ගියාම; පන්සල දැක්කාම; විජිත හාමුදුරුවන් එක්ක කතා කළාම තව කාට-කාට හෝ ඒ වැඩේට දායක වෙන්නට ඕනෑ වෙන බවය, ඒ. මගේ අනුමානය හරියටම හරිය. 

නදී, මිෂාන් රන්දික, ගවීන්, ඉන්දිරා, පාලිත සමන් කුමාර, අපේ අම්මා වගේ ගොඩ දෙනෙක් පින් කිරියාවට සම්මාදම් වූහ. ගමන එන්නට සැරසී හිටියත් ආවේ නැති ප්‍රභාතුත් පන්දාහක් දෙන බව මට පොරොන්දුවී තිබිණි. පන්සලේ ඉඳිද්දී දුරකතනයෙන් කතා කළ ඔහු, නැවතත් ඒ කතාව ස්ථිර කළේය. ඒ සේරම ගණන් බැලුවාම ලක්ෂය පන්නලා තිබිණි.

ගමන් සගයෝ ටිකක් ගමනේ
ඉස්සර දියවිනි ඇල්ලට යන පාර තිබුණේ පන්සලට තරමක් ඈතිනි. බලංගොඩ සිට දියවින්නට යන පාරත් දියවින්නෙන්ම ඉවරය. දැන් එය ගොඩාරියක් දික්වී තිබෙයි. දියවින්න වලව නිම්නයේ එක කෙළවරක තියෙනවා කියාය, මට  නම් හිතෙන්නේ.

එහෙදී මම නම් අසිරිමත් දසුනක් දුටුවෙමි, කිහිප වතාවක්ම. 

දියවින්නට එපිටින් ඇති කඳු මුදුන්වල අහස අන්ධකාරවී, අකුණු ගසමින්, මහ වැහි ඇද වැටෙයි. ඒත් මේ ගමට එක වැහි බිඳක්වත් නැත! එහෙම වෙන්නේ දියවින්න තද බෑවුමක පිහිටා තියෙන නිසාය. කඳු හරිය බලංගොඩට අයිතිය. ඒ දේශගුණය එහාටය. මේ හරිය උඩවලවේ වගේය. උඩවලව වැව් බැම්ම මත ඉඳිද්දී කෙනෙකුට දියවිනි ඇල්ල යාන්තමට දැකගන්නටත් පුළුවන්ය.

"ඉස්සර අපේ ගමේ අය දියවිනි ඇල්ල ගාවින් කන්ද උඩට යන අඩිපාර දිගේ උඩට නඟිනවා එළවලු ගෝනිත් කරේ තියාගෙන." වතාවක් සෝමේ මල්ලී මට කිව්වේය. ඒ දසක හතරකට එපිටය. "නැඟලා?" මම ඇසුවෙමි.


"එතන ඉඳලා ටික දුරයි නවනැලියට. නවනැලියෙන් බලංගොඩට කිට්ටුයි." 

ඒ දවස්වලම මටත් ඒ adventure එක විඳගන්නට ඕනෑවිණි. පතල් කෙරුවාව නවත්වා අපි දවසක් කන්ද නැංගෙමු. රඟේ තේරුණේ එවිටය. එක සීරුවට නැග්මය, හැබැයි උඩවලවටත් එහා පෙනෙයි. කොළඹ සිට තනියම දියවින්නට එද්දී දෙවතාවක් මම ඒ පාරෙන් කන්ද බැස්සෙමි. ඒක නම් ලෙහෙසිය. ඒ වතාවේ මා ආ හැටි ඇසූ සෝමේ මල්ලී අත් දෙක ඔළුවේ ගහගත්තේය.
"සුදු අයියා තනියම ඔය වනන්තරේ මැද්දෙන් ආවේ මොන හත්තිලව්වටද දෙයිහාමුදුරුවනේ? ඕකේ අලිත් ඉන්නවා, ඌරො මුවෝ නං කාරි නෑ කියමුකෝ!"

එක-එක අවදිවලදී, එක-එක තැන්වලදී, එක-එක්කෙනා විවිධ නම්වලින් මා ඇමතූහ. ගෙදරට රංජි; කට්ටියකට ලොකු අයියා, ලොකා හෝ ලොකූ, තවත් අයට බට්ටා (අනේ කුරුළු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති- පෝස්ටුවේදී ලිව්වේ.), දිසා, නිදි, නිමල් අයියා වුණු 
මම දියවින්නට සුදු අයියා වීමි. මගේ ඇති සුදක් නැත. මැණික් ගරන්නට ආ නඩයේ එක්කෙනෙක් කළු අයියාය. ඔහුට සාපේක්ෂව නම් මා සුදු බව ඇත්තය.

සෝමේ මල්ලිට පිං! ඔහු ඉස්සෙල්ලාම මට 'සුදු අයියා' නම රෙජිස්ටර් කළේය. වෙන කොහේ- කවුරු මට 'සුදු' පට්ටමක් දෙන්නද? එමෙන්ම කෙනෙකු කට පුරා සිය වතාවකටත් වඩා මට මහත්තයෝ කියා අමතද්දීත් එය නවත්වන්නැයි කිව නොහැකිව මා දැන් ලතවෙන්නෙත් දියවින්නේදීමය.  මා මහත්මයෙක් නොවේ, ඒත් මට නිමල් අයියා කියන්නැයි ස්වාමින් වහන්සේ කෙනෙකුට කියතහැකිද?

උඩුවේ ධම්මාලෝක හිමි                                                     වතුරුවිල සිරි සුජාත හිමි
ම්ම්ම්ම්ම්ම්ම්.... එහෙනම් ශ්‍රී නාග විහාරයේදී වතුරුවිල සිරි සුජාත, උඩහමුල්ලේ රේවත, උඩුවේ ධම්මාලෝක වගේ උන්නාන්සෙලා මට නිමල් අයියා කියා  කිව්වේ? ඒත් එතකොට උන්නාන්සෙලා හැමෝම උපසම්පදාවී හිටි අය නෙවෙයිනේ! ඒකද දන්නෑ.

"මහත්තයෝ, මං පන්සලට එනකොට එක රෑකට වෙඩි සද්ද හතරක් පහක්වත් ඇහෙනවාමයි. දඩයම් කරන අයගෙන් සීයට අසූවක් විතරම දැන් ඒක අතෑරලා. මිනිස්සු පන්සලකට යන්න-එන්න ගත්තාම එහෙම තමයි." 

මෙදා සැරේ විජිත හාමුදුරුවන්ගේ කතාවේදී මට මතක් වුණේ ඒ දවස්වල හැටිය. සතියකට වතාවක්වත් අපිත් මුව මස් මිලදී ගත්තෙමු. සමහර දවසක වැඩියෙන් මස් අරං තීරු කපා, මැස්සක දමා, දුම් ගස්සා වේලාගන්නත් අපට හැකි විය. එව්වාට සේරම ගුරු-හරුකම් දුන්නේ නම් 'අහිංසක සෝමේ මල්ලී'ය.

සෝමේ මල්ලී
මේ හරිය කියවද්දී නම් අපේ නඩේ දෙතුන් දෙනෙක්වත් හූල්ලනවාට සැක නැත! ඒ මහත්තුරුන්ගේ නම් ඕනා නැත. එයාලා වතාවක් මාවත් ඇදගෙන මහරගම සිට ඇහැලියගොඩට කාරයක ගිය අයයි. ඒ වල් ඌරු මස් තොගයක් තියෙන බවකට ලැබුණු ඔත්තුවක් ඔස්සේය. ගෙනා මස් ඉව්වේ මාය. අපේ ගෙදරදීය. "ඉව්වාම ටික-ටික ගෙවල්වලටත් අරන් යමු." කියලා රෝස් පානුත් අරගෙන ආහ. උන්දැලාට ගෙවල් මතක් වෙද්දී ඉතිරිව තිබ්බේ සාස්පානේ අඩියයි, රෝස් පාන් වාටියි විතරය. එව්වා පෙර වැරැදිනේ! නේද?

අද ශ්‍රී දේවගිරි රජමහ විහාරයට අංග සම්පූර්ණ ශබ්දවාහිනී යන්තර කට්ටලයක්ම දෙන්නට අප සැරසුණත්, එදා මේ ඉසව්වට විදුලිය තිබුණේ නැත. අප හිටියේ කුප්පි ලාම්පු එළියේ පිහිටෙනි.

අපේ තාත්තා ශ්‍රීමතී තිලකරත්නගේ මේ සිංදුවට ගොඩක් කැමැත්තෙන් හිටියේය.

"එක ගිනිකූරයි මුළු ගෙදරම තිබුණේ
ඒකෙන් කුප්පි ලාම්පුව දල්වා - ඔබට ලියන්නට ඉඳගත්තා."

තාත්තා පරලොව ගියේ 1976 දීය. ඒ අනුසාරයෙන් කාලය ගලපන්නේ නම් 'කුප්පි ලාම්පුව' ගැන ප්‍රේමකීර්ති ද අල්විස්ගෙන් ලියැවුණු ඒ ගීයට අඩුම තරමින් වයස අවුරුදු 42 කට වැඩිය. 

ඒ කාලයේ නම් කුප්පි ලාම්පු පෙරළීමෙන් අනතුරු සිදුවීම් නිතර වාර්තා විණි. අවුරුදු 40 කට විතර එපිට කාලයකදී අවුරුද්දක් විතරම කුප්පි ලාම්පු එළියෙන් දියවින්නේ හිටි මට 
2018.6.9 සෙනසුරාදාත් ඒ සංතෑසියම විඳින්නට සිද්ද වුණේය. මට විතරක් නොවේ;
මුළු නඩයටම. එදා රාත්‍රියේ නවයට විතර 'ගිය ලයිට් ආපහු ආවේ' 10 වෙනිදා උදේය. අනේ ඒකෙනුත් කරදරේ වැටුණේ පන්සලේ ඇත්තන්මය. එදා කුප්පි ලාම්පු තිබුණෙත් නැත.

බණ මඩුව එළිය කරන්නට ඉටිපන්දම් පත්තු කරන්නටත්, ආරස්සාවට පුංචි ගිනි මැලයක් ගහන්නටත් සිදු වුණායිනි ඒ.

"නිමල් අයියේ, මේ සැරේ තමයි එකම සින්දුවක්වත් කියන්නේ නැතිව අපි ට්‍රිප් එකක් ගියේ, නේද?" ඉන්දිරාගේ නංගී කමණී මට නොක්කාඩුවකුත් කිව්වාය. ඇත්තය! මගේ සැලසුමේ තිබුණේ පන්සලේ මායිමෙන් එපිටහට ගිහින් කමතක හෝ පැලක හෝ සිංදු පැදුර දිගාරින්නටය. ඒකට විශේෂ නිමිත්තකුත් තිබුණි.

සිනෙත්-ශ්‍රියන්ති යුවල ඉහළ  ඡායාරූපයේ වම් කෙලවරේ.... කළු ගඟ වන නිවහනේදී 


අප යන ගමන්වලදී තාල වාද්‍ය භාණ්ඩය; රබාන හෝ කොන්ගෝ ඩ්‍රම් එක හෝ වයන්නේ නෙවිල්ය. 'අකල් මරණෙකට....-2' පෝස්ටුවේදී කියවුණු උදේනි දසනායක යන ගමනකදී නම් රබාන ගහන්නේ ඔහුය. එයා යනවා නම් විතරක් අපත් එක්ක එන සිනෙත් බැද්දගේ අත රිදෙනවා කිව්වත්, අපට බැණ-බැණ හෝ නොකඩවා ඩොල්කිය වයයි. 

ඒ දෙන්නාත් ආවාම නෙවිල්ටත් මටත් ලෙහෙසි වාගෙම අමාරුත් වෙයි. ලේසිය එයාලාත්  සින්දු කියන නිසාය. අසීරුව කොච්චර සිංදු කිව්වත් ඉවර කරන්නට ඉඩ නොදෙන නිසාය! ශ්‍රියන්තිත්; සිනෙත්ගේ නෝනා මහත්තයාත් අපූරුවට ගයන්නියක් නිසා 
'පැදුර අකුලද්දීත්' සිංදු කියයි.

මදැයි! විශේෂ නිමිත්ත කියන්නට ගිහින් පීලි පැන්න වගේද? දැන් ඉතින් රසික ඔයාලා ඔක්කොම දන්නවානේ නිදිගෙ හැටි. ඒත් ඔන්න සමාව ඉල්ලනවා 'අර නිමිත්තේ කතාව' කියන්න කලින් "නයිගල ගී මිහිර" ෆොටෝ එකක් දානවට!



5 comments:

  1. ඉස්සරම කුප්පි ලාම්පු හැදුවෙ අර පොඩි බෙහෙත්/සිරප් බෝතල් වලනෙ. ඒව පෙරළීමෙන් වෙන අනතුරු වලක්වන්න ආරක්‍ෂිත කුප්පි ලාම්පුවක් ආව පහු කාලෙක පරණ බල්බ් එකකින් හදාපු. එකෙ බේස් එක ලොකු නිසා පෙරලෙන්න ඉඩ අඩුයි වගේම රෝල් වෙලා යන්නේ නැහැ. ඒ වගේම තව වැඩි දියුණු කරල ඉබේම නිවෙන කැප් එකක් තියෙන එකකුත් ආව.

    ReplyDelete
  2. ඕකට හරියන්නෙ මාමයිට් කුප්පි.

    ReplyDelete
    Replies
    1. මෙම කොමෙන්ටුව ඉහත කොමෙන්ටුවට රිප්ලයියක් බව සැලකුව මනාය.

      Delete
    2. ඉස්සර මාමයිට් බෝතලයක් හම්බ වෙන්නේ හොඳටම ලෙඩ වුනාම නේද..... එතකොට ඒවා ව්ශේෂ - සුපිරි බඩු!

      Delete