අකුරු මැකී නෑ

Friday, June 29, 2018

නැණ ලැබ ගත්තෙමි - ඔහු සෙවණේ හිඳ - තෙවෙනි කොටස


"පල් වැඩේ!"ට පස්සේ......

ඒ දවස්වල ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයෙන් කුඩා පුවත් ලිපියක් පළ කෙරෙමින් තිබිණි. "සැළසුම". ලාල් අයියාම තෝරාගත් කුඩා පුවත් කිහිපයක් ගළපා ලියන්නැයි වරක් මට දුන්නේය. ඔහුගේ සිංහල දැනුම මෙන්ම ඉංග්‍රීසි දැනුමත් ඉතා ඉහළ බව අප කාටත් රහසක් නොවිණි. හැමෝම දැන සිටි අනෙක් රහස ඔහුගෙන් 'හොඳක්' අහගැනීම අමාරු බවයි. 

මගේ ලිපි කියවා ලාල් අයියා කිව්වේ 'මං තව ටිකක් දෙන්නම්' කියා පමණි. එම ව්‍යංග්‍යයෙන් පැවසීම මට ප්‍රමාණවත්ය. ඇත්තම කියමි. පොඩ්ඩක් විතර ආඩම්බර නොහිතුණාමත් නොවේ.

'නොහිතුණාමත් නොවේ' කියා කොටද්දී ලියන්නට සිහිනෙකින්වත් හිතක නොතිබුණු කාරණාවක් කොටන්නට ඕනෑ යැයි හිතුණි. එවැනි යෙදුම් මගේ ලියවිලිවල වැඩියෙන් තිබිණි. "ඇයි නිමල් මේ?" ලාල් අයියා වරක් ඇසීය. 
"ඔයා පොසිටිව් පැත්තෙන් හිතනවා වගේම, ඒ විදියට ලියන්න. රීඩර්ස්ලා වුණත් කැමැතියි පොසිටිව් දේවල්වලට!". ඒ අදහස මසුරං වටින බව මට එවෙලේ නම් වැටහිණි. 
මං ඒක භාවිත කරනවාද කියා නම් විමසා බලන්නට වටියි.

මගේ පෝස්ටුවලට මාතෘකා යොදද්දී මං ටිකක් උපක්‍රමශීලිය. එතැනින්ම පාඨක තමුන්නාන්සේලා අල්ලා ගන්නට ඕනෑ නිසාය. ඒ අස්සේ අපේ අකලංක පුත්තරයාත් 
'මහප්පේ, දිග එව්වා නම් එපා.' කියා නහයෙන් අඬයි. ඒ ලේ අවුට් එක පැත්තෙන් හිතලාය. ඔහොම පස්-මහ බැලුම් පුම්බාලා වුණත්, මගේ හිතට හරියන එකක් හොයා ගැනීම පුංචි යුද්දයකි. මේ පෝස්ටුවේදී වුණත් වුණේ ඒකමය. 
එහෙත් එය කෙතරම් අර්ථාන්විතද කියා හිතෙන්නේ දැන්ය.

වචන තෝරන්නට නම් මා එතරම් පරෙස්සම් වන්නේ නැත. 
එහෙත් වදන් තේරීමේදී ගුණදාස අමරසේකර මහත්තයා තරම් පරෙස්සම් වෙන කෙනෙක් මා මෙතුවක් දැක නැත.


ගුණදාස අමරසේකර සූරීන්
එතුමාත් මට මුණ ගැසෙන්නේ 'ගල් පිළිමය හා බොල් පිළිමය' ඉස්-ඉස්සෙල්ලාම අච්චු ගහන විටය. ඒ ඕෆ්සෙට් යුගයට ඉස්සරය. ලෙටර් ප්‍රෙස් සමයේදීය.

අකුරු අමුණා; මුද්‍රණ භාෂාවෙන් කියනවා නම් 'කොම්පෝස් කර'- මැටර් හදා ගැනිල්ල පළමුවෙන්ම කෙරෙයි. එව්වායෙන් ගල් අච්චුවේ 'ප්‍රින්ට්ස්' අරගෙන සෝදුපත් බලයි. 
වැරැදි නිවැරැදි කර ආයෙමත් දෙවෙනි සෝදුපතට.... 
මොන තරම් ලොකු අච්චු කන්තෝරුවක වුණත් 'අකුරු කේස්' තියෙන්නේ ටිකකි. ඊයම් අකුරුත් එහෙමය. ප්රූෆ් ඇප්රූ වුණු ගමන් 
ඒවා ප්‍රින්ට් කරලා අහවර කෙරෙයි. එහෙම කෙරෙන්නේ අර ඊයම් අකුරු, නැවත අකුරු කේස්වල නියමිත තැන්වලටම දමා ගැනීමටය. ප්‍රින්ටින් බාසාවෙන් නම් 'ඩිෂ්' කර ගන්නටය. එවිට අර අකුරු නැවත 'කොම්පෝස් කරන්නට'; පාවිච්චියට ගැනීමට හැකිය. 

අපේ මැෂිමේ වරකට ප්‍රින්ට් කරන්නට පුළුවන්කම තිබුණේ ඩිමයි අටේ පිටු අටකි.

ඔහොම පසුබිමක, සම්පත් සොච්චමක් තියෙද්දී; ගල් පිළිමයේ පිටු 64 ක් අමුණා, දෙවෙනි සෝදුපතත් අනුමතවී තියෙද්දීත් ගුණදාස මහත්තයා ඒවා ප්‍රින්ට් කරවන්නට එපා යැයි මට කිව්වේය. "මහත්තයෝ, මෙව්වා ප්‍රින්ට් කළේ නැති නම්, අපිට ඉතිරි පිටු කොම්පෝස් කරන්න අකුරු නැති වෙනවා. කොම්පෝසින් කරන අයට වැඩ කරන්නත් නැති වෙනවා. එයාලට නිකම් ඉන්නයි වෙන්නේ. ඇයි මේවා ප්‍රින්ට් කරන්න බැරි?"

රහස හෙළි වුණේ එවිටය.

"නිමල්, එක පිටුවක...... මේං මෙතන මේ වචන හත-අට මගේ හිතට හරි යන්නේ නෑ. තවම එතනට ගැළපෙන වචන ටික මගේ ඔළුවට ආවේ නැහැනේ!". 
ඇත්තමයි, එහෙම වෙලාවට මගේ ඔළුවට එන වචන නම් මා තෙපලන්නේ නැත.

ප්‍රෙස් එකේ වැඩ දින දෙක-තුනක්ම අඩාලත් වුණේය. මට ඉවසාගෙන බලා හිඳින්නට විණි. හැබැයි අදටත් එතුමාගේ ඒ වෙහෙස ගැන මට ඇත්තේ අසීමිත ගෞරවයකි. 
දුකකට ඇත්තේ 'ගල් පිළිමයේ' ඒ වචන තිබුණු තැන මා සටහන් කරගෙන නොතිබීමයි.


පොතේ කවරය පිළිබඳවත් එවැනිම ගැටලුවක් මතු විණි. 
එම සුප්‍රසිද්ධ ඡායාරූපය ගත් ශිල්පියා හිටියේ ලංකාවේ නොවේ. ඒ වන විට බොල් පිළිමය පුපුරුවා හැරලාත් ඉවරය. මට මතක හැටියට නම් ඒ පිංතූරය පොතේ කවරයට යොදා ගත්තේ රුපියල් පහළොස් දාහක්ද කොහෙද ගෙවලාය. 
ඒ ගනු-දෙනු අවසන් වෙනතුරුත් පොතේ වැඩ ඇන හිටියේය.

එහෙම බලද්දී මගේ වැඩේ කොච්චර පල්ද?  
මගේ පෝස්ටු හැඩ කරන්නට බොහොමයක් ඡායාරූප මා බාගන්නේ අන්තර්ජාලයෙනි. 
වැය වන්නේ මගේ G.B.වලින් ටිකක් විතරය. 
ඡායාරූප ගත්, සැපයූ ශිල්පීන්ට මගේ හිතේ ඇති ගෞරවය මා පිටතට පෙන්වා නැත. 
පල් වැඩේ නිමල්! පමාවී වුණත් දැන් මම 
ඒ ශිල්පීන් හැම දෙනාටම ස්තුතිවන්ත වන්නෙමි!

එවිටම... මගේ පරණ පින්තූර නොමිලේම ස්කෑන් කර උදව් කරන සංජීව... ඔයාටත් ස්තුතියි. ලෝබ නැතිව අද මා පාවිච්චි කරන foto සමහරක් මා ගත් එව්වා නොවේ. 
ඒ-ඒ ගමන් යද්දී එක-එක්කෙනා ගත් ඒවාය. මෙහෙම දෙයක්; බ්ලොග් එකක වගක් හීනෙකවත් නොතිබෙද්දී කවුද ඔව්වා කාගෙ-කාගේද කියලා වග-වාසගම් ලියලා තියන්නේ. 
ඒ නිසා නම් නොකියා ඒ ෆොටෝකාරයන් හැමෝටමත් මෙතනදීම 
තුති මල් කළඹක් පිරිනමමි.

අප රජගල ගිය ගමනේදී. වමේ සිට- මීෂාන්, ගවීන්, සංජීව, අසංක, පාලිත, නෙවිල් - (හිඳගෙන) රාජිත, ජනක හා මං
හැරිලා ආ මඟ හොඳටම දුරය. මම ආපසු යන්නෙමි. ඉතින් ලාල් අයියා ....

..... ඒ අතරතුරම දිනක ඔහු මාත් නංවාගෙන මරදානේ තැනකට ගියේය. ඒ ඉසව්ව මට හොඳින් පුරුදුය. (පේව්මන්ට් එකේ රජ වී- පෝස්ටු කියෙව්වා නම් ඔබට මතක ඇති, මරදානේ කැප්ටන් මුද්‍රණාලය.) එදා අප ගියේ එය ඉදිරිපිටම තිබුණු තවත් ප්‍රෙස් එකකටය.

International Publication Bureau එකටය. 
ඔහොම මහප්ප්‍රාණවලින් නොකියා 'අයි.පී.බී.' හෝ 'ඉන්න පොඩ්ඩක් බලන්න' කිව්වා නම් 
හැම දෙනාම තැන දැනගනු ඇත. 
අයි.පී.බී. ප්‍රෙස් එක යාන්තමින් හෝ කලාවට බර- කලාබර කවුරුත් දන්නා තැනකි. 
'සැළසුම' අච්චු ගැහුණේ එහිදීය.


"ඔහේ කියපු වෙලාවටම ආවා එහෙනම්." කියාගෙන ඉස්සරහට ආවේ සෝමපාල හේවාකපුගේ මහතාය. අයි.පී.බී. සෝමේ! ඔහු ගැන එමට ලියැවී-කියැවී තිබෙයි. 
මාත් දෙකක් විතරක් මතක් කරන්නෙමි, මා දැනගෙන තියෙන විදියට. නළුකමට සපැමිණි බොනිෆස් පෙරේරාගේ නම නළුවෙකුට නොගැළපෙතියි කියා ඔහු 'රවීන්ද්‍ර රන්දෙණිය' බවට 
කුලවැද්දුවේ ඔහුය. තම විවාහ මංගල්‍යයේදී දෙවෙනි මනමාලයා වශයෙන් 
'සුනිල් ආරියරත්න' තරුණයා තෝරා ගත්තෙත් ඔහුය.

ඔහු ලාල් අයියාට කඩදාසි තීරු කිහිපයක් ගෙනැවිත් දුන්නේය. ඒ 'සැළසුම' පත්තරයට 
අකුරු අමුණා ලබාගත් ප්රූෆ්ය. ඊළඟට පාඩමක්. මට. "මෙහෙමයි මේකේ හරි-වැරැදි බලන්නේ. මෙහෙමයි එව්වා ලකුණු කරන්නේ. මට තව පොඩි වැඩක් තියෙනවා. ඒකට ගිහින් එනතුරු ඔයාට පුළුවන් මේකේ ප්රූෆ් ටික බලන්න." 
මට එහෙම කියා ලාල් අයියා පිටවුණේ හේවාකපුගේ මහතාටත් මා ගැන බලන්නට කියලාය. මම මගේ පාඩුවේ සෝදුපත් බලද්දී සෝමපාල මහතාත් එබිකම් කර බලා හිඳ 
නිසොල්මනේම පැත්තකට ගියේය. ලාල් අයියා ආවාමය ඔහුගේ සහතිකය මට ඇහුණේ.

"මචං ලාල්, ඔහෙට මරු කොල්ලෙක්නේ හම්බවෙලා තියෙන්නේ. මේකාව අපිට දීපන්කො." ලාල් අයියා ඔහුට කී දෙය නම් මට ඇහුණේ නැත.

ඒ දිනවල ලාල් අයියා 'සමස්ත ලංකා අමද්‍යප තරුණ සංවිධානය' (සලඅතසය) ට 
බැඳෙන්නැයි මට කිව්වේය. ඒ සඳහා මට අමුතුවෙන් කරන්නට දෙයක් තිබ්බේ නැත. 
අපේ තාත්තාට වුණු වින්නැහිය නිසාම මට මත්පැන්, දුම්වැටි දෙකම අරහං වී තිබිණි. 

දෙවරක් නොහිතාම මම ඒ සංවිධානයට බැඳුණෙමි. එහි මූලස්ථානය තිබුණේ 
කෝට්ටේ, ශ්‍රී නාග විහාරස්ථානයේය. තවත් විදියකට කියනවා නම් 
මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන්ගේ පන්සලේය.

සලඅතසයේ ගරු සභාපති උන්වහන්සේය. ගරු ප්‍රධාන ලේකම් ලාල් හේවාපතිරණය. එතකොට අනුර ජිනදාස එහි භාණ්ඩාගාරික ධුරය දැරුවේය. 
ඔය තුන් කට්ටුවම හිඳිද්දීත් පසිඳු 'ගණිතාචාර්යවරයෙකුගේ ගැටයකට' 
අප අසුවුණු හැටි වෙනම ලියන්නට ඕනෑ යැයි මේ දැන් මට හිතුණි. අපය කිව්වාට 
ඒකට බිලි වුණේ සෝභිත හිමියන්ය. ඒ කතාවේ center එකේ; හරි මැදම හිටියේ 
මේ ලියන මොට්ටයාය!

මාදුළුවාවේ සෝභිත හිමිපාණෝ
ඒ සංවිධානයෙන් යලට-මහට අච්චු ගැහුණු 'අමද්‍යප හඬ' කුඩා පත්තරයට ලියන්නටය 
ලාල් අයියා මට මුලින්ම පැවරුවේ. මා එහි වැඩවලට ඇදී ගියේ හෙමිහිටය, එහෙමය.

ලාල් අයියා නොවන්නට මා අමද්‍යපයට සම්බන්ධ වන්නේ නැත; 
මා මුද්‍රණ ක්ෂේත්‍රයට වැටෙන්නේ නැත. මගේ ජීවිතයේ මෑත අවුරුදු තිස්පහේ 
ගමන් මඟ ඔහු නිසා වෙනස්ම අතකට හැරුණි. ඒ  කතා - ලින්ක්ස් මහා ගොඩකි. 
ඒවා වෙන-වෙනම පෝස්ටුවලදී වරින්-වර ලියැවේවි, එතෙක් මගේ දිවි රැකුණොත්!

බලමු නේද ඊළඟ පෝස්ටුව ලියවෙන්න......

2 comments:

  1. නිමල් අයියගෙ ජිවිත කතාවෙ පුරාවට තියන වංගු බැලුවහම මගේ එක නිකංම නිකං සරල රෙඛාවක්ද මන්ද ? :-D

    ReplyDelete
    Replies
    1. එහෙම නම් වෙනේ නැහැ කණ්ඩා. අපි හැමෝගෙම ජීවිත සංකීර්ණයි. හැබැයි හොඳට විමසිල්ලෙන් බැලුවමයි පෙනෙන්නේ.

      Delete