අකුරු මැකී නෑ

Sunday, July 15, 2018

මගේ චූස් - මටම චූස්






"මහ කළු සිංහලයා පලා යනවෝ!" කියා ගිරි නිඝන්ඨයා මොර දුන්නේය. ඒ වළගම්බා රජතුමා පලා යනවා දුටු විටදීය. එහෙම පලා ගිය රජු ශ්‍රී ලංකාවේ හැම තැනම, හැම අස්සක-මුල්ලක තිබෙන හැම ගල් ගුහාවකම ඉඳලා තිබේ. ඕනෑම පළාතක තියෙන, ඕනෑම ගල් ගුහාවක් ගැන හොයා බලන්න. වළගම්බාත් එතනට ඈඳාගෙනය. රජ්ජුරුවොත්, ගලුත් අතර පුදුම විදියේ සම්බන්ධකමක් තිබිලා වගේය. "වළගම්බා - ගල් ගෙම්බා - ගලක් ඇතොත් - බූබම්බා" කියා කවුදෝ කටහැකරයෙක් කියනවාත් මට ඇහී තිබේ!

සල්ගලත් ඒ වාගේ ගලකි. හරියටම කියනවා නම් ආරණ්‍ය සේනාසනයකි.

අපේ සුනිල් අහිංසකයෙකි. මට වඩා සිය ගුණයක් හොඳය. ඒත් මිනිහගේ කරුමෙක මහත. පිටින් පෙනෙන්නේ එපා කරපු එකෙක් විදියටය. අපි බතික් කරන කාලයේ එව්වා සුනිල්ගේ අතේ යැව්වාම බෙන්තොට මුදලාලි නෝක්කාඩු කියයි. "අනේ ළමයෝ, එයාව එවන්න එපා. මිනිහා හිනාවෙන්නවත් දන්නෑනේ. ඔය ළමයා එන්න." නිතරම හිනාවක් මුහුණේ තියෙන මං නිකම්ම සුර දූතයෙක් වෙලාය.

එතකොට අපි දෙන්නාම පුංචිය. ජංගි අඳින කොලු පැටව්ය.

මාලිනී ෆොන්සේකා
ඒ මං නමෝ විත්තියෙන්ම වට වන්දනාවේ ගිහින් ආ අලුතය. එහෙම ගියේ නැන්සි අක්කලා එක්කය. දවස් පහක ට්‍රිප් එකක් නොවේ; දවස් පහක වට වන්දනා ගමනකි! ගියේ මායි අපේ සීයයි දෙන්නාය. අප දෙන්නාව යැව්වේ ආච්චිය. අනේ ආච්චියේ, ආයෙමත් කියමි. මතු මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්න! ආච්චි තිස්සෙම පැතුවේ එහෙමය. ම්ම්ම්... ගමනට ගාස්තුව කීයද දන්නවාද? වැඩිහිටියෙකුට රුපියල් පහළොවයි, හාල් සේරු දෙකයි, පොල් ගෙඩියයි. මට ඒකෙන් බාගයකි.

රුපියල් පහළොව කිව්වාම අද නම් හිතෙන්නේ සොච්චමක් කියලාය. ඒ ගැන පුංචි අයුරුවක් කිය යුතුය. ඒ දවස්වල (1968 දී) තිස්ස ලියනසූරිය අධ්‍යක්ෂණය කළ 'පුංචි බබා' චිත්‍රපටයේ ප්‍රධාන නිළිය වුණු මාලනී ෆොන්සේකාට ගෙවා තියෙන්නේත් 1750/= කි.
  
කවටයාමුණේ අපායෙන්....  
ඒ ගමනෙන් මගේ මතක සංචිතයේ තියෙන්නේ කවටයාමුණේ විහාරයේ අපායත්, තවත් තැනක හිටි සත පහේ කාසි ගිලින යකාත්, සිංදු දෙකකුත්, නැන්සි ආච්චිගේ ප්‍රකාශයකුත්ය. "හා, හා, නඩේ ඉක්මන් කරනවා හොඳයි, හැම තැනදීම සේරම වන්දනා ගාථා නොකිව්වට කමක් නෑ. උදේම යන පන්සලේදී පන්සිල් ගන්නවා. අපි යන-යන තැන්වලදී කියන්න ඕනේ ගාථාව කියලා මම වන්දවන්නම්. හවසට අන්තිම පන්සලට ගියාම හිතේ හැටියට වැඳගන්නවලා. ඔන්න එතැනදී පව් සමා කරලා, දෙයියන්ට පින් දෙන එකයි ඇත්තේ!"

හැම රාත්තිරියකම අප නවාතැන් ගත්තේ පන්සලකය. නැන්සි ආච්චිලා රැයින් නැඟිටලා උදේට උයා ඉවර වෙනවාත් එක්කම නඩේ කවුරුනුත් පිඟන් අරන් පෝලිමේ ගොස්, කෑම ගන්නට ඕනෑය. අපි උදේට කාලා ඉවර කරන්නත් කලින් දවල්ටත් උයා, ලොකු වළන්, සාස්පාන් පිටින්ම බස් එකටත් පටවලා අහකය. වට වන්දනා ගමනකදී ලංකාවෙන් බාගෙකටත් වැඩි හරියක් cover කෙරෙයි. එදා එහෙම ගියත් අද නම් මට එහෙම ගමන් අරහංය. එව්වා හොඳ රථ ගාය තියෙන උදවියටය.

නැන්සි ආච්චී අඩුම තරමින් මාස දෙකකට වතාවක්වත් ගමනක් සංවිධානය කරයි. අපි වට වන්දනාවේ ගිහින් ආ අලුතම ඇය තවත් ගමනක් ගැන කියන්නට අපේ ගෙදරට ආවාය.


"මේ සැරේ යන්නේ එක දවසක ගමනක්.  සල්ගල ආරණ්‍ය සේනාසනේට." 

නැන්සි ආච්චිත්, අපේ අම්මාත් දෙන්නාම ඒ දවස්වල අඳින්නේ දිග ගවොම්ය. ඉස්සරහින් දිගටම පලා තිබුණු ඒ පැටන් එක දැන් වැඩිය නැහැ නේද? ඒ කාලේ නම් 95% ක්ම එව්වාට පුරුදුව හිටි අයයි. 'කිමෝනා'කිව්වෙත් ඒ ගවුම්වලටද කොහෙදය. එදා නැන්සි ආච්චී ඇඳගෙන ආවෙත්, අපේ අම්මා ඇඳගෙන උන්නෙත් එව්වාය. "මොකද කියන්නේ, ලීලාත් එනවද? ගුණපාල උන්නැහේට දැන් ඔව්වායේ යන්න බැහැනේ."

අම්මා බැලුවේ තාත්තා දිහාය. තාත්තාගෙන් අහන්නට ඕනෑ එයාට මුල් තැන ලැබෙන විදියේ ප්‍රශ්න විතරෝමය. "ඔයා මොකද කියන්නේ? නැන්සි අක්කලා සල්ගල යන්න හදනවනේ...."

අම්මාගෙ ගවුමේ දැවටෙමින් හිටි මම ටිකාක් ඈත්-මෑත්වී, මාත් ඉන්නවා යැයි නොකියා කිව්වෙමි. 

ගොරකා යකා මල්ලට දෙමල්ලක් දෙන්නම් කිව්වා වාගේ උත්තරයක් තාත්තාගෙන් හම්බ වුණේය. "රංජියාවත් එක්කගෙන ඔයාත් යන්න. එක දවසනෙ." මට නිම්-හිම් නැත. සතුට කියාගන්න විදියක් තිබ්බේම නැත. 

මොනවා කරන්නද, අපේ ගෙදර දරුවන් දෙමව්පියන්ව හෝ දෙමව්පියන් දරුවන්ව හෝ බදාගන්නා; වැලඳගන්නා සිරිතක් කවදාවත් තිබුණේ නැත.
  

ආරණ්‍යවාසීව ඉන්නා හාමුදුරුවන් වහන්සේලා දවසෙන් වැඩි හරියක් කරන්නේ භාවනා කිරීමය. (ආත්මාර්ථකාමී) උන්වහන්සේලාට අවශ්‍ය බවුන් වඩා මාර්ග ඵලයකට පැමිණීමටය. පන්සල්වල ඉන්නා (පරාර්ථකාමී) උන්නාන්සෙලා ඉන්නේ ගිහියන්ව නිවන් දැක්කීමටය. 

මට නම් අසා පුරුදු 'මාර්ග ඵලවලට සපැමිණි උත්තමයන් ඒ බව ප්‍රදර්ශනය නොකරන බව'යි. දැන් එහෙම නොවේ. මදිය නොකියන්නම ප්‍රදර්ශනකාමී (අප්‍රසිද්ධියේ තව මොන-මොන කාමීකම් තියෙනවාද යන්න වෙනම කතාවකි.) පන්සල්වල ඉන්නා උන්නාන්සෙලා විතරක් නොව ගිහියනුත් මාර්ග ඵල ලබලාය. 

(අනේ, උන්නාසේලා ඵල ලබලා විතරක් නතර වෙත්වා! ඵල නෙලලා ලෙලි අල්ලපු වතුවලටත් විසි කරන්න ගියෝතින් නම් මළ හත්තිලව්වක් වෙනවා සහතිකය.)

දැන් සුනිල්වත් සීන් එකට කැන්දාගන්නට වෙලාව හරිය.

නැන්සි ආච්චී ගියා විතරය. සුන්නා ඉස්සරහට ආවේය. "මොකක්ද තාත්තෙ? ලොකයියා වට වන්දනාවෙත් ගියේ. දැන් මේකටත් යවන්න හදන්නේ..." නහයෙන් අඬමින් කිව්වේය. ඒ දවස්වල ඔහු නහයෙන් ඇඬීමට හරිම සූරයෙකි. ඒක පටන් ගන්නෙත් සුපුරුදු පද දෙකකින් එකකිනි. 

එක්කෝ 'මොකද්ද තාත්තේ' කියලාය. නැත්තං 'ඉතින් තාත්තේ' කියාය. ඔය දෙකම තාත්තාට කොච්චර පුරුදුද කියතොත් සුනිලා 'මොකක්ද...' කියද්දීම තාත්තා ඔච්චමට "මොකඩ්ඩ ටාට්ටේ" කියා කියයි. එතැනින්ම සුනිල් කියන්නට ආ දේ ඉවරය.

එදත් සුනිල් පරාදය. කෙලින්ම විරුද්ධ වීම ජය ලබන්නට මඟක් නොවේ. ඒ සඳහා උපායශීලී විය යුතුය!

ඊළඟට සුනිල් කළේ මාත් එක්ක කණු-කුණු ගෑමය. "ඔයාට නං පව් අයියේ. එක සැරයකුත් ගියා.... මං තමා ගියේ නැත්තේ.... " දිගටම කියද්දී මගේ හිතටත් ඒ කාරණය වැදිණි. පව් නේන්නම්. අසාධාරණයි නේන්නම්. ඒත් මේ සැරේ නොගිහින් ආයේ සල්ගල යන්නයැ? සීයාගෙන් තාත්තාටත්, තාත්තාගෙන් මටත් අඩු නැතිවම උරුම වුණු ජානවල බල මහිමය මතු වුණේ එවිටය! මල් හතේ උපායක් මගේ ඉස්මුදුනටම ඇවිල්ලාය.

"හරි, ඔයාටත් ට්‍රිප් එක යන්නනේ ඕනේ. මං දන්නවා ඒකට කරන්න හොඳ වැඩක්. හැබැයි දැන්ම කියන්නේ නෑ. හරිද. මේක රහසක්. කාට හරි කිව්වොත් ඔයාටයි ගමන යන්න බැරිවෙන්නේ ඕං!"


ඒ දවස් ටිකේ සුනිල්ට මා දෙයියෙකි. දිවිය රාජයෙකුට වාගේ සැලකිලිය. "ඔන්න තමුසේ මොනවා කළත් වැඩක් වෙන්නේ නැතිවෙයි, ඇඳන් යන්න එකක් නැති වුණොත් නම්. මතක ඇතිව ඇඳුමක් හෝදලා තියාගන්නවා  කිලුටු  කරගන්නේ නැතිව." එතකොටත් සුනිල් තාත්තාගෙ foot සයිකලය පදියි. ගස් බඩ ගායි. ලවක්-දෙවක් නැතිව කැලේ-කොළේ රිංගයි. කොයි වෙලේ බැලුවත් ළඟ ගස් ගඳය. ඇඳුම්වල පැල්ලම්ය. ඒ දවස්වල අපට තිබුණේ ඇඳුම් කෑලි දෙක-තුනකි. හතරක් නම් නොවේ!

අපරාදේ කියන්න බැරිය. අපේ අම්මා හොඳ ගෘහිණියකට වඩා යස ගුරුවරියකි. 

"ළමයි පොඩි කාලේ ඉඳලාම තමන්ගේ වැඩ තමුන්ම කරගන්න පුරුදු වෙන්න ඕනෑ. තමන්ගේ ඇඳුම් කිලිටි නං එව්වා හෝදාගන්න එක තමන්ගේ වැඩක්." කොහොමද ඒ පොත? මං කියන්නේ ඒ පාඩම තියෙන පොත ගැනය.

එයා කෙල්ල කාලෙත් ඔහොම සම්‍යක් ප්‍රයෝග කළ බව වාර්තා වෙයි. 

"ඔව්..... රංජි පුතා, ලීලක්කා හරී හෙර. උයන වැඩක් කරන්නෙම නෑ. දරට යන්න නං එන්නෙම නෑ. මායි, හින්නි අම්මයි, කඩේ නංගියි එකතු වෙලා දරට යනවා ඕං. ලීලක්කා ඉංගිරිසි පත්තර කෑල්ලක් අරං එක දිහා බලාගෙන 'යස් යස්' කිය-කියා ඉන්නවා. ආය අපේ අම්මලට ඉංගිරිස් තේරෙනවය? ඒකි ඔන්නොහෙ පාඩම් කරපුවාවෙ කියනවා!"

සෝමා පුංචි ඔය පට්ටන්දර දිගාරිද්දී අපේ අම්මා නෑ කිව්වේ නැත. තාත්තාත් ගොළු වී උන්නා මතකය. හරිම ඇත්ත එළි වුණේ ඊටත් කාලෙකට පස්සෙය. 

රේල්ලුවේ වැඩ බාරගෙන, අල්ලපු ගෙදර කුලියට අරං එහාට ආ දිසානායක හේවගේ ගුණපාල හැන්ඩියාට පෙනෙන්නලු රහුබැද්දේ විදානෙලාගේ ලීලාවතීගේ අර ඉංගිරිස් පාඩම තිබුණේ! අනේ ගුණපාල! හැබැයි උන්නැහේ අර මායම්වලට අහු නොවුණා නම් හෙම අද මෙව්වා කොටන්නට මාත් නැත. මං පතාගෙන ඇවිත් තිබුණේ ඩී.එච්. ගුණපාලට සහජාතව ආර්.වී. ලීලාවතීගේ කුසෙන් හෑල්ලු වෙන්නනේ!

ඉතින් සුනිලා ඒ දවස්වල පුදුම විදියට සංවර වී, diposit වී මගේ උපදෙස් පිළිපැද බොහෝම කීකෝරුව කල් යවද්දී දවස උදා වුණේය.
  

මං හීනෙනුත් දැක්කේ කලින් වට වන්දනාවේ යද්දී ලීලක්කලා, අමරක්කලා, සුමනක්කලා, අයිරාංගනීලා, මලවිසූරිය අයියලා අර සිංදු කියන හැටිය. 'සැළලිහිණි කොවුල් හඬ රැව් දෙන්නා....' 'ඕලු නෙළුම් නෙරිය රඟාලා - කිකිණි හඬන....."
ඇත්තටම පුදුමත් හිතෙයි.

මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ 'ග්‍රැමෆෝන් ගී යුගය' කෘතියට අනුව සැළලිහිණි කොවුල් ගීය 1953 වකවනුවේ එකකි. ඕලු නෙළුම් 1956 හැදුනු 'රේඛාවේ' එකකි. ඒ ගීත දෙකම හැට පැනපු එව්වාය. ඒත් තවමත් හොට බිම ඇනී නැත. අලුත් සිංදු ඉක්මනින් වයසට ගිහින් අයසට පත් වෙන්නේ ඇයි?

"අපිට ඇහැරෙයිද අයියේ?" ටොකු තුනකුත් ඇනගෙන පැදුරට වැටෙනවාත් එක්කම සුනිලා කෙඳිරුවේය. ඒ දවස්වල අප වෙලාව බලාගත්තේ කෝච්චියෙනි. රැයද දවාලද කියා වෙනසක් නැත. කැලනිවැලියේ පුංචි කෝච්චිය ඒ කාලයේ දිව්වේ අප වැන්නවුන්ට වෙලාව කියන්නටම වාගේය. රේල්ලුවේ වෙලාවල් අපට කට පාඩම්ය. ඔරලෝසුවක් පැත්ත පළාතක නොතිබුණු ඒ සමයේ කෝච්චිත් වෙලාවටම වාගේ දිව්වේය.

ඊට අමතරව අවේලාවල වෙලාවට කරන්න ඕනෑ වුණේ රැයින් පිබිදෙන එකය. ඒ ඉතින් ගමනක් බිමනක් යන දවසකය. එහෙම වෙලාවට පැදුරට වැටෙන අන්තිම තත්පරයේ, ඇහැරෙන්නට ඕනෑ කරන වෙලාව හිතේ තදින් ධාරණය කරගෙන- ඒ ගණනට ටොකු ටිකක් ඇන ගත්තාම හරිය. හරියටම හරිය!

ලොකු නංගී - අනිල් හා සුනිල් 
"මං තමුසෙට කිව්වනේ, තමුසෙත් එක පාරටම නැඟිටින්නේ නෑ ඔන්න. මුලින්ම නැඟිටින්නේ මං විතරයි. අම්මත් එතකොට ඇහැරෙනවා. අම්මා තේ හදනකොටයි තමුසෙත් නැඟිටින්නේ.... ඉතිරි හරිය මතකනේ... හරියට කළේ නැත්තම් තමුසෙට ගෙදර ඉන්න වෙයි!" මම දත්මිටි කමින්, තරහෙන් පිපිරෙමින් සුනිල්ට කෙඳිරුවෙමි. "දැන් චරු-චුරු  ගාන්නේ නැතිව නිදා ගනිං!"

මගේ ප්ලෑනේ මුල හරිය හරියටම හරි ගියේය!

තුනට මං නැඟිට්ටා. ඊළඟට අම්මා. තේ හැදීම.... තාත්තාට දෙන එක... ඒ අස්සේ මං බෙලෙක් කෝප්පයක් බිම දැම්මෙමි. ඒ සුනිල්ට දුන් සංඥාවයි. එතෙක් හොරට නිඳාගෙන උන් සුනිලුත් නහයෙන් අඬාගෙනම නැඟිට්ටේය. "අනේ තාත්තේ..... මාවත් එක්කං යන්න කියන්නකෝ... " දිගටම මැසිවිලිය. මා ඔහුට කියා දුන් විදියටම, හරියටම ඒක කන්දොස්කිරියාවක් වෙන තරමට දිගටම නහයෙන් ඇඬුවේය. තාත්තාට යකා නැංගේ එතකොටය!

"මොකද්ද යකෝ උදේ පාන්දරම මේ අඬෝවැඩියාව? වගතුවක් වෙයිද ඉතින්..... "

"ඉතින් තාත්තේ... මාවත් එක්ක යන්න කියන්නකෝ. ලොකා ගිය පාරත් වන්දනාවේ ගියේ.... "

"ඉටින් ටාට්ටෙ- ඉටින් ටාට්ටෙ..... හරි. රංජි, උඹ හිටපන් ගෙදර. මල්ලී අම්මත් එක්ක ගියාවේ. සල්ලි බැඳලා තියෙන්නෙ එකහමාරකට විතරනෙ..."

තාත්තා 'අවසාන තීන්දුව' ප්‍රකාශයට පත් කොට, බීඩියකුත් පත්තු කරං ලොකු බරකින් නිදහස් වෙන්නට ගියේ මට අභියාචනයකට ඉඩක් නොතියාමය! අන්තිමට මගේ චූස් මටම චූස් වුණේ එහෙමය!
  

පසුවදන:
අද වෙනතුරුත් මා සල්ගල ගිහින් නැත. යන්නට හිතුනෙත් නැත. එහෙත් මේ ඇබැද්දිය; මගේ නැණ බලේ මටම එරෙහිව පත්තු වුණු හැටි ලියන්නට යද්දී අන්තර්ජාලය හරහා සල්ගල ගියෙමි! ගියා විතරක් නොවේ... අජිතා එදිරිමාන්න Photographic Society of Sri Lanka - 2012 ජුනි කණ්ඩායමේ සල්ගල ගමනට සහභාගි වෙමින් අරගත් ඡායාරූපත් මගේ පෝස්ටුව සරසන්නට යොදා ගතිමි. අජිතා, ගොඩක් ස්තුතියි.


3 comments: