අකුරු මැකී නෑ

Tuesday, July 17, 2018

දියවිනි ඉනාව - තෙවෙනි කොටස




විශේෂ නිමිත්තක් ගැන මා කිව්වා ඔබට මතකද, දියවිනි ඉනාව - 2 අන්තිමට.

කුමාර් රත්නසිරි
ඒ සෝමේ මල්ලිගේ බාලම පුත්‍ර රත්නය රත්නසිරියි. මාර්තුවල අප හතර දෙනෙකු දියවින්නට ආ ගමනේදී රැය පහන් කළේ සෝමේ මල්ලිලාගේ ගෙදරය. ගේ ළඟම අපට අභයස්ථානයකුත් තිබිණි. මහ රෑ වෙනතුරු ගී සයුරක් රැල්ල නැඟුවේය. රත්නසිරිගේ හපන්කම පෙනුණේ එතනදීය. 

අද සිටින බොහෝ තරුණ-තරුණියන් ගීතයක් සහමුලින් දන්නේ නැත. මාත් එහෙමය. හැබැයි ඒ නව පරපුරේ අඳෝනා සිංදුය, මා දන්නේ නැත්තේ. මට ඒවායේ වචන මතක හිටින්නේ නැත. වයසේ වැරැද්ද වෙන්නට ඕනෑය. කරුමය අලුත් පරපුරේ වැඩි දෙනෙකුටත් ඒ 'ඩිමෙන්ෂියා' රෝගය තිබීමය. වචන මතක අයටත් තාලය බැරිය. ඒකට නම් සමාවක් දිය යුතුය. මං හිතන්නේ එව්වා ගයන උදවියටවත් දෙපාරක් එකම විදියට ගයන්න අමාරු බවය.


ඒ අතින් රත්නසිරි great ය. රසිකත්වයත් ඉහළය. හැකියාවත් ප්‍රබලය. මට හිතෙන්නේ කැම්පස් එකේදී හොඳට පොලිෂ් වෙලා කියලාය. අප ගැයූ පැරැණි රසාංගවලට නෙවිල් කොන්ගෝව ගහද්දී ඔහු අපූරුවට දර්බග් එක වැයුවේය; ගැයුමටත් හවුල් වුණේය. මේ වතාවෙත් පැදුරකට ඔහුගේ සම්මාදම ඕනෑමය කියා මම කලින්ම ඔහුට දැනුම් දුන්නෙමි. 

මොන? කට්ට කරුවලේ මොන සිංදුද? සේරම චක-බ්ලාස් විණි. අපි නිදා ගත්තෙමු! ජුනි 9 වෙනිදා රෑ ගිය කරන්ට් එක ආයේ ආවේ 10 වෙනිදා ඉර පෑව්වාටත් ගොඩාරියක් පස්සෙනේ.

අපේ මැණික් ගැරිල්ලේදීත් වුණේ සිංදු කීමට වුණු දේමය. හමුවුණේ ඉල්ලම් ගල් විතරය. යහමින් 'කහඳ ගල්' 'ඉල්ලම් කැට' තිබුණත්, ඉල්ලම සෝදා-ගරා 'නාම්බුව' බලද්දී තිබ්බෙ රබහ කෑලි විතරය. භූමියෙන් වාසනාව පෑදෙන්නත් වාසනාව ඕනෑය.

මම මේ දැන් අත්ල පිරික්සා බැලුවෙමි. ධන රේඛා තියේද කියා බලන්නට නොවේ. කැපුණු සලකුණ තියේද බලන්නටය. 

පන්සලට පහළින් තියෙන වෙල් යායේ ගොයම් කපනදා දියවින්නේ එන්නැයි, සෝමේ මල්ලිගේ සොහොයුරු ගුණසිංහ මට ලියුමක් එවා තිබිණි. එවිට අප ගැරිල්ල අත් හැරලාය. බලංගොඩට ගිහින්, බසයෙන් නවනැලියට. එතැන සිට පයින්ම; තනියම පහළට.... දියවින්නට. එව්වා නම් මා කළේ තිබුණු විසේටය.

එහෙම ගිහින් ගොයම් කපද්දී මගේ අල්ලෙන් පදාසයක්ම කැපිණි. ඒ දවස්වල හැමදාම හවසට, රෑට, පාන්දරට කියා වෙනසක් නැතිව ගිය පියංගිරි දොළට පවා මෙදා මා පිය නැඟුවේ බොහෝම සීරුවෙනි! දෙපා හිරිවැටී ඇති බැවිනි. ආරෝග්‍යා පරමා ලාභා කියන එක නම් සහතික ඇත්තය.

පියංගිරි දොළ නිසංසලේ.....
"නිමල්, අපිට බැරිද පන්සලට හොඳ ටොයිලට් එකක් හදලා දෙන්න?" ඉන්දිරා හෝ මර්වින් හෝ ඇසූ බැව් මට මතකය. එයාලා ඒ ගැන ටිකක් සරුවට සාකච්ඡා කරලාත් තිබිණි. 

ඉන්දිරා කිව්වේ සමහර විට 'සම්පත් බැංකුවේ සුබසාධක සංගමයෙන්' ඒකට ඉල්ලීමක් කරලා බලන්නත් හැකි බවය. "මචං මට පුළුවන් වෙයි පොඩි සපෝර්ට් එකක් ගන්නත්!"

මට මචං කියන්නේ 'ඉන්නා' විතරය කියා කලිනුත් කිව්වෙමි. මා කාටවත් එහෙම නොකිව්වත් ඇය තව හුඟ දෙනාටත් එහෙම කියන පරාණකාරියකි.

අපේ ගොඩ දෙනාට දැන් 'කොමොඩ්ස්' නැති 'ටොයිලට්'වලට යාම පුරුදු නැත. එතැනත් වයසේ වැරැද්ද වගේම, ජන්මෙට වඩා ලොකු පුරුද්ද ඉස්සරහට පැනලාය. පන්සලේ පොදු කැසිකිළි දෙකම උක්කුටිකයෙන් වාඩිවීම අමතක උදවියට ඇල්ලුවේ නැත. මට පෙනුණේ ඒ ප්‍රශ්නය විජිත හාමුදුරුවෝ මැනවින් පුරෝකථනය කරගෙන තිබුණු වගයි. 

"මහත්තයෝ. ආවාස ගෙයි ඇතුළේ තියෙන්නේ එක ටොයිලට් එකයි. ඒක තමා අපි කවුරුත් පාවිච්චි කරන්නේ. නඩේ උදවියටත් ඒක පාවිච්චි කරන්නැයි කියන්න. ඒත් මහත්තයලගේ කට්ටිය වැඩි නිසා පොඩි අපහසුවක් නම් වේවි මගේ හිතේ." සෙනසුරාදා පාන්දර අප එහි ගිය කිට්ටුවම උන්වහන්සේ කීහ.


අපේ අයට පහළ වුණු හිතිවිල්ල ගැන අහිතක් හිතන්නට එපා යැයි මා විජිත හාමුදුරුවන්ගෙන් ඉල්ලන්නේ දැන්ය. අද්‍යතන විදිය නිසාවෙනි. 

2018 මැයි මාසයේ 16 වැනිදා කොළඹ පුරපතිනිය කියා තිබුණේ වැසිකිළිය පිළිසකර කරනතුරු නිල නිවසේ පදිංචියට යන්නට බැරි බවය. අවුරුදු හතරකට කලිනුත් නවීකරණය කර ඇති ඒ සුපිරි 'කක්කුස්සිය' මෙදා පාර 'රෙනවේට්' කරන්නට යන්නේ ගෙඩි රුපියල්වලින්ම ලක්ෂ 57 ක් වැනි සොච්චමක් වියදම්  කරලාය! අප ඉන්නේ එහෙව් 'බුදුන්ගේ දේශයක'ය.

ඒ දවස්වල අපේ ගරන නඩයේ කවුරුනුත් 'එළි බැස්සේ' වෙල පහළ ලන්දට ගිහින්ය. අපි වැඩි හොඳට කලාපත් බෙදා වෙන් කරගෙනය හිටියේ.

අනගාරික ධර්මසේකරතුමා
"නිමල්, රටක ඉන්න මිනිස්සුන්ගේ හැදියාව බලාගන්න පුළුවන් හොඳම තැන තමයි පොදු වැසිකිළි. එව්වා පිරිසිදුව තියෙනවා නම් ඒකෙන් තේරෙන්නේ ඒ රටේ මිනිස්සු යමක්-කමක් හිතන බුද්ධිමත් මිනිස්සුය කියලයි..... පේනවානේ අපේ රටේ පොදු වැසිකිළිවල පැත්ත පලාතකින්වත් යන්න පුළුවන්ද කියලා නහය වහගන්නේ නැතිව." 

ඒ අපූරු දර්ශකය ගැන මට කිව්වේ ජී.අයි.ඩී. ධර්මසේකර මහත්තයාය. ඒ එතකොටය; අමද්‍යප තරුණ පුහුණු මුද්‍රණාලයේ කළමනාකරු ලෙස මා වැඩ කරන කාලයේය. අවුරුදු තිහකටත් එහාය. (දැනටමත් ඒ අවදිය ගැන ටිකක් 'නැණ ලැබ ගත්තෙමි.... පෝස්ටුවල කියා ඇත.) 

දැන් ධර්මසේකර මහත්තයා නැත. නැතය කිව්වේ ඔහු 'අනගාරික' වී ඉන්නා බැවිනි. නමෙන් වෙනස් වෙන්නට තිබුණත් ඒ කාලයේත් ධර්මසේකර මහතා ගෙව්වේ ඉතාමත් අපිස්, අල්පේච්ඡ, අහිගුන්ඨික ජීවිතයකි; ඒ පණ බේරා ගන්නටත් එක්කය! වෙස් වලාගෙනත් එක්කය.

 
වෙස් වලාගෙන කියද්දී මට හිතෙන්නේ මා වැනි රසිකයන් ඒ දවස්වල ගණන් ගැනුනේ 'අමු මෝඩයන්' ලෙස නොවේද කියලාය! නිකමට මතක් කරලා බලන්න, ෆිල්ම්ස්වල ටෙලි නාට්‍යවල චරිත වෙස් වලාගෙන හිටි අවස්ථා ගැන. හිච්චි එකෙකුට පවා මේ ඉන්නේ මොකාදැයි පෙනේ. නාට්‍යයේ ඉන්නා චරිතවලට නම් එහෙම හඳුනාගත හැකි පාටක් නැත.

හැබැයි ඉතාම මෑතක නම් අපූරු වෙස් වලාවක් දැකගන්නට වාසනාව ලද්දෙමි; පත්තරවලින්! හොඳට බලන්න! මේ කවුදැයි අනුමාන කළ හැකිද? නොහැකි නම් මේ පොස්ටුවේ ටිකාක් ඉස්සරහට යන්න, තරහ නැතිව.




ඒ 89 භීම සමයයි. කාලවර්ණ උස මනුස්සයෙක් ප්‍රෙස් එකට ආවේය. මා එක්ක හිනැහුණේය. මගේ මේසය ඉදිරිපිටින් තිබුණු පුටුව ඇදගෙන ඉඳගත්තේය. හොඳට හුරුපුරුදු විදියය. මට නම් ඔහු දැක-පුරුදු නැත! අර දික්පිටියා ආයෙමත් හිනැහුණේය. 

"නිමල්ට අඳුනගන්න බැරිද?" මම විපිලිසරවී උන්නෙමි. කටහඬ නම් හුරුය. මා අහස පොළොව ගැටලද්දී ඔහුම කතා කළේය. 

"ඔයාටත් මාව අඳුනාගන්න බැරි නම් මට බයවෙන්න දෙයක් නෑ.........." එවෙලේ මට දිග කතාවක් කිව්වේ ජී.අයි.ඩී. ධර්මසේකරය. කලින් රැවුල වවාගෙන- ජාතික ඇඳුමෙන් හිටි ඔහු, මුහුණ සහමුලින්ම මුඩු කර- කෙස්ස කොටට කපා- කලිසම හා කමිසයට බැස අමුතුම කෙනෙක්වී උන්නේය. මා දැක ඇති හොඳම වෙස් වලාව ඔහුගේය. එතැනදී නම් ජයලත් මනෝරත්නත් ධර්මසේකර උන්නැහේට පරාජය වෙයි.

ජී.අයි.ඩී. ධර්මසේකර ලේඛකයා නම් මට කිසිදා අමතක නොවන්නෙකි. ඒ 'කාලය සඟරාවේ' ලේඛකයකු ලෙසිනි. 

කාලය ගැහුවේ ඩිමයි 1/4  ප්‍රමාණයෙනි. පිටුවක කොලම් තුනකි. අකුරු 10 point ය. ධර්මසේකරගේ එක වැකියක් අර කොලමකටත් වඩා දිගට දුවන ඒවාය! 

කොහොමත් 'කාලය'ට ලියූ කාගෙත් වැකි දිගය. අදහසුත් දිගම දිගය. එහි අයෝග්‍යතාව නූගත් මට තේරුණු තරමට ගෙවිඳු කුමාරතුංග මහතාට පහදා කිව්වෙමි. ඒ පොත-පත කියවන පාඨකයෙකු වශයෙනි. මාකටින් පැත්තත් බැලුවොත් ප්‍රින්ටර් වශයෙන් අපටත් සුබ බැවිනි. ඒවා පිළිගත් බවක් තබා, ඇසුණු බවක්වත් නොදැක්කෙමි. 

පොන්ත නෝනාගේ මොකක්ද එක හෝදන්නේ ඇල් වතුරෙන්ද, උණු වතුරෙන්ද එහෙමත් නැත්නම් මිරිස් වතුරෙන්ද කියා තීරණය කිරීමේ මානව හිමිකම ඇයට හිමිය. ගෙවිඳුලාටත් එහෙමමය. අප වැනි සොකඩ-හින්නිකිතර-කැම්පස් නොගිය පාඨකයන්ගේ අදහස් මොකට මායිම් කරන්නද? ප්‍රතිඵලය වුණේ දිග අදහස්- දිගම දිග වැකිවලින් ඕසෙට පළවුණු 'කාලයේ' ආයුෂ කෙටි වීමය! 

ඒ මගේ මතයයි, මා වැරැදි විය හැකිය. වැරැදියි නම් ඒකට සමාවෙන්න.

ඒත් මා 100% ක්ම වැරදි නැතැයි හිතෙන්නේ මෙවැනි තැන් දැක්කාමය. මං මේ ටික උපුටාගත්තේ 'කාලය' බ්ලොග් අඩවියෙනි.

"මා නම් ජනමාධ්‍යවේදියෙකු නො වෙයි. කලක් කාලය සඟරාව සංස්කරණය කළත් පසු කලෙක ලක්මිණ පුවත්පතේ කතුකම නිල නොවන අයුරින් කළත් මා ජනමාධ්‍යයකු වන්නේ නැහැ. කාලය සඟරාව 1987 සිට හතරවරක් විටින් විට පවත්වාගෙන යෑමට උත්සාහ කළත් එය නොහැකි වූවා. ජනතාව ආකර්ෂණය වන අයුරකින්  ලියන්න කියන්න මට බැහැ......" උපුටනය නලින් ද සිල්වා මහතාගේ 'හොරා පොලිස්' පෝස්ටුවෙනි.

මත ගැටුම් ඇති වුණත් ඒ හැම එකක්ම පුද්ගලික ඒවා නොවුණු බැවින් කිසි විටෙක අප අතරවූ හොඳ හිත පලුදු වුණේ නැත. එයට හොඳම සාක්ෂිය ගෙවිඳු මහතා මගේ අවසන් බොස් වීමය. 2014 වෙද්දී මා අවසන් වරට රැකියාව කළේ 'විසිදුනු ප්‍රකාශන' එකේය. ඒ අත්දැකීම් සියල්ල අමරණීයය. වෙනම ලිවිය යුතුය.

මදැයි! දියවින්නේ 'එළි බහින' තැනින් පටන් ගෙන, නුගේගොඩ 'විසිදුනු' තෙක් ආ දුර. දැන් ආපහු හැරෙමු.

දියවින්නේ පන්සල ආදි කාලේ එකකි. ඒ කිව්වේ යඨාලතිස්ස රජ කාලයේය. ඒකට සාක්ෂියකුත් තිබේ.


"මහත්තයෝ, මගේ අදහසක් තියෙනවා මේ පරණ සංඝාවාසය ටිකක් ලොකු කරලා හදාගන්න. ඒක කරගන්න පුළුවන් කියලත් විශ්වාසයි! ඒ ප්ලෑන් එකේ හොඳ කැසිකිළි කීපෙකුත් තියෙනවා........" 

විජිත හාමුදුරුවන් වහන්සේ අපට සියල්ල නොකීහ. අහිතකින් නොවන බවත් අපි දැනගෙන සිටියෙමු. විශාකා සිටු දුව පති කුලයට යනදා ලැබුණු එක අවවාදයක් විජිත  හිමියනුත් තදින් පිළිපදිනවා සේය. ගෙයි ගිනි පිටට නොදෙනු!

උවමනාවෙන් අහගෙන ඉන්නවා නම් බොහොමයක් දෙනා කතා කරන්නට කැමැතිය. එළියට නොදෙන එව්වාත් හෙළි කරන්නට කැමැතිය. හාරා-පාරා අහන සිරිතක් නැති මට ගොඩක් විස්තර ලැබෙන්නේ හොඳින් සවන් දෙන නිසාම විය යුතුය.

ශ්‍රී දේවගිරි රජමහ විහාරයේදීත්, දියවින්නේදීත් එකතු වුණු විස්තරවල හැටියට නම් විජිත හාමදුරුවෝ කොච්චර නැහීගෙන වැඩ කළත් තවම උන්වහන්සේට තියෙන්නේ වැඩක් කරන්නට; දියවින්නට වැඩක් කරන්නට ඇති ඇම්ම පමණි. 

පන්සලේ නායකකමවත් නැත! ඒකට උන්නාන්සෙලා දෙනමක්ම වැඩ හිඳිති; වැඩක් නොකරම! ඒ ඉන්නේත් ළඟ-පාතක නොවේ.  

බල්ලා පිදුරු කන්නෙත් නෑ, කන ගොනාට දෙන්නෙත් නෑ. මං උපහැරණයක් කිව්වා විතරය. බයේ බැරිය. දැන් ඉන්නා උන්නාන්සේලා (නරේන්ද්‍රසිංහ රජ්ජුරුවන්ගේ කාලේ උන් ගණින්නාන්සේලා වගේ නොවේ.) හරි තේජස්ය. උසාවියේදී වුණත් රැස් වළල්ලම පෙන්නති; පෙන්නලා හිරෙත් යති.

දියවින්න පන්සලට අපවත් වුණු ලොකු හාමුදුරුවන් සතුව තිබුණු ලක්ෂ විසි දෙකහමාරක් ඇතත්, පන්සලේ දේකට ඒවා වියදම් කරන්නට නම් අර නායක දෙපොලේ අත්සන් නැතිව බැරිය. 

ඒ සල්ලි ඔහේ පැටවු ගහද්දී විජිත හාමුදුරුවෝ වීරිය පාරමිතාව පුරමින් නැහෙති. මගේ මිත්තියාදුෂ්ටිකකමට මෙහෙම ලිව්වාට උන්නාන්සේගේ මූණටම මෙව්වා කියන්නට මට හිත් දුන්නේ නැත. ඒත් කොච්චර ගල් හිතක් වුණත් හිටි ගමන් උණුවෙන බව පෙන්නමින් විජිත හාමුදුරුවන්ම කතා කළහ.

"මට දුක අපේ ලොකු උන්නාන්සේ කෙනෙක්ම මට විරුද්ධව බුද්ධ ශාසන අමාත්‍යංසෙට පෙත්සම් ගහපුවම. ඒ දෙපොලම මගේම සංඝ පරම්පරාවෙ. ඒක හරියට තාත්තා කෙනෙක් පුතෙක් ගැන පිට කෙනෙකුට පෙත්සමක් ගහනවා වගේ දෙයක්! මගේම වාසනාවට වගේ ඒ ගැන අහලා එවපු ලියුම ආවෙත් මෙහාට. මං ඒ ලියුම ලොකු හාමුදුරුවන්ට ගෙනිහින් දෙන ගමන්ම ඇහුවා; ඔබ වහන්සේද මේක යැව්වේ කියලා. උන්නාන්සේත් ඔව් කිව්වා. ලියුමේ තිබුණේ මගේ ගැන විස්තර වාර්තාවක් එවන්න කියලයි. ඉතින් මමම පිටු දාසයක වාර්තාවක් හදලා යැව්වා."


ෆ්‍රෙඩී සිල්වා
කෙනෙක් දියුණුවේ ඉහළට යනවා//
බලා හිඳින්නට බැරි නම්

කර වටටම දාපියව් තොප්පියක්
ලෝකේ චාරේ ඒකයි දැන්
හලෝ- ලෝකේ චාරේ ඒකයි දැන්
හා ලාබයි, ලාබයි. සත පනහයි පෙත්සමක්, ලාබයි!

විද්‍යාකර විද්‍යාලයේදී අපිත් එක්ක එක පන්තියේ හිටි කාන්ති ලංකා ප්‍රධාන නිළි චරිතයට යොදා, ජෝ දේව් ආනන්ද් 1972 දී හැදූ 'සුජීවා' චිත්‍රපටයට ප්‍රේමකීර්ති ද අල්විස් ලියා- ෆ්‍රෙඩී සිල්වා ගැයූ ඒ ගීය විජිත හාමුදුරුවෝ උපදින්නත් කලින් එකකි. හාමුදුරුවනේ, එදත් එහෙමය. අදත් එහෙමය. අපේ එවුන්ගේ හැටි එහෙමමය. පෙත්සම් කාපර්ලාය.

හැබැයි එකක් නම් නිට්ටාවටම කියන්නෙමි. කවුරු මොන චෝදනාව කළත් මම නම් ඉලක්කය හරියටම ගෙන ඔබ වහන්සේට එකම එක චෝදනාවක් කරන්නෙමි. දැකපු වැරැද්ද නොකියා ඉන්නේ කොහොමද? ඒකෙන් නම් ඔබවහන්සේ නිදොස් වෙනවා බොරුය. 

මගේ චෝදනාවෙන් කියවෙන්නේ 'ඇවැතක්දැයි' හොයාගෙන  ඉතිරි කොටස කොටන්නෙමි!    

2 comments:

  1. අලුත් කලාවක් හොයා ගත්ත මං දියුණු වෙන්න ඕනෑ නම් ...
    නිකං ඉන්නෙපා ... කොහොම කොහොමහරි ... ගහපං ... ගහපං ... පෙත්සම් !!!

    ReplyDelete
    Replies
    1. එව්වාත් දැන් යල් පැනල නේද කණ්ඩා?

      Delete