කළුබෝවිල හරහා යන නුගේගොඩ-දෙහිවල පාරේ යද්දී
හරියටම ඉස්පිරිතාලයේ දකුණු කෙලවරින් වමට ඇති පාරක් පෙනෙයි. අන්න ඒ වංගුවේ ඒ දවස්වල හෝටලයක්
තිබිණි. හැරිසන් මුදලාලිගේ හෝටලය. සේතන් අයියගේ හෝටලය නොවේ!
ඒ දෙවෙනියට කියූ හෝටලය
තිබුණේ 1956 දී පෙන්නාපු 'දුප්පතාගේ දුක' පිචර් එකේය. ඒකේ කොල්ලාටයි කෙල්ලටයි ඇක්ට්
කළේ සබීතා පෙරේරාගේ තාත්තයි අම්මයි දෙන්නාය. ඔව්, ඔව්. යහපාලන ආණ්ඩුවේ
කුරුසිකර්මයට බිල්ඩිමක් දුන් එක්කෙනාගේ දෙමව්පියන් තමා!
මේ ලියන මැට්ටාට ඒ ෆිල්ම්
එක හොඳට හිතට ඇල්ලූ එකකි. ඒකෙ සින්දුත් ඒ වගේමය. කොච්චරද කියනවා නම් රේඩියෝ ඒකෙන්
අහගෙන, ලියාගෙන ඒවා පාඩමුත් කර ගත්තේය.
මොහිදීන් බෙග්ගේ 'තමන් සතු දේ දෙන්න', ජී.එස්.බී.රාණිගේ
'චන්ද්‍රා කාන්තී සාගරේ', ලතා වල්පොලගේ 'ආයි ආයි ආයි ලොව පෙරළෙනවා- පුර හඳ ලෙස මම
බබළනවා- ශ්‍රී ලංකාවේ ජාතික ජීවේ' සින්දුත් මේ හපනා එහෙම පාඩම් කරගත් එව්වාය.
සබීතා, ස්ටැන්ලි, ගර්ලි හා දුප්පතාගේ දුක දසුනක්... |
අපේ ඉස්කෝලේ; විද්‍යාකර විද්‍යාලයේ (වැඩි
විස්තර ඕනි නම් 'නොදෙන්න හිටි රන් පදක්කම' පෝස්ටුව බලන්න, තරහ නැතිව.) සාහිත්‍ය
සංගමය මාසෙකට සැරයක් තියෙනවා. මගේම කරුමෙට ඒකකුත් ඒ දවස්වලම වැටුණා! ඔයාලා
දන්නවානේ, එව්වායේ සභාපතිලා-ලේකම්ලා රැස්වීම සාර්ථක කර ගන්න විඳින දුක.
"නිමල්, අද රැස්වීමට ඔයා සිංදුවක් කියන්න ඕනේ!"
''මට කලින් කියල තිබ්බෙ නැහැනේ."
"ඒකට කමක් නැහැ බං. උඹට ඕක වැඩක්යැ. අද
සිංදුවකට නම දීලා තිබ්බ එකා ඇවිල්ලා නැහැ."
ඒක සාමාන්‍ය සිදුවීමක්. වදෙන් බේරෙන්න
බැරි වුණාම 'හා' කියලා නම දෙනවා. රැස්වීම දාට 'ඇබ්සන්ට්'වෙනවා. එහෙම පුරප්පාඩුවලට මං
ඊට කලිනුත් ව්‍යතිරේකයක් වෙලා තිබුණා.
"මීළඟට ....... පන්තියේ නිමල් දිසානායක
සිසුවාගෙන් මනහර ගීතයක්..." මගේ නම කියවුණා. මාත් නැඟිටලා වේදිකාවට ගොඩ වෙලා
ගීතය පටන් ගත්තා.
ආයි ආයි ආයි ලොව පෙරළෙනවා ගීතය මතකද? අහලා
තියෙනවාද? නැති නම් මේක කියවන එක මෙතැනින්ම නවත්තලා පොඩ්ඩකට ඒක අහලා ඉන්නකෝ!
ඉතින් ඔන්න මං සින්දුව කියනවා. ඒකේ අතරින්-පතර
තියෙනවානේ 'ආයි ආයි ආයි' කියලත්. මං ඒකත් කිව්වා.
දෙවෙනි සැරේ ඒක කියන තැන මාර සේනාව කොහොම
හොයා ගත්තද මන්දා.... කවුද කොල්ලෝ කට්ටියක් මටත් ඉස්සෙල්ලා 'ආයි ආයි ආයි' කියාපි.
පළමුවෙනි 'ආයි' එක විතරයි ඒ කිහිප දෙනා කිව්වේ. කවුරු හරි 'තොපිත් කියාපියව්!' කියලා අණක් දුන්නා වගෙයි. දෙවෙනි 'ආයි' එකට මුලු හෝල් එකම එකතු
වුණා. සාහිත්‍ය සංගමේ ළමයින්ට හොඳ නම් අපට නරකද කියලා බිල්ඩිමේ බිත්තියි, ඩෙස් බංකුයි සේරමත් ඒකෙ සමූහ ගායනාවට හවුල් වුණා! වහලේ උළු උඩ ගියා.
ඉස්කෝලේ ඉතිහාසේවත් එච්චර පිරිසක් එකට එකතුවෙලා පාසල්
ගීයවත් ගයලා නැතිවට මොනවද ඔට්ටු? ඒ දෝංකාරය තවමත් මගේ කර්ණ ශංඛය ඇතුළේ නාද-නින්නාද
වෙනවා!
ඔන්න. ඔන්න හැරිසන් මුදලාලිගේ හෝටලේට යනවා!
ඒ හෝටලයේ එහා කෙලවරේ මේසයක් ළඟ වාඩිවී ඉන්නා
කඩවසම් තරුණයෙක් හුඟ දවසකට දැකිය හැකි විය. ඔහු සුදුය, උසය, කටහඬ ගැඹුරුය. දකින
දවසක් ඇත්නම් ඔහු හිටියේ පොතක් එක්ක ඔට්ටු වෙමිනි. තත්පරයකට හරි අහක බලාගත්තොත් පොත
පැන යාවියැයි බයෙන් වාගේ පොතම ඇස්දෙකේ හිර කරගෙන හිටියේ හිනා වෙන්නවත් මතක නැතිවා
වගේය. ඒ නිසාමද මන්දා ඒ දික් දණ්ඩා මහ ආඩම්බරකාරයෙක් විදියටය, මට නම් පෙනුණේ.
ඊට අවුරුදු දහයකට විතර පස්සේ මට මුණගැහෙන විට
ඔහු ලොකු දුරක් ගිහින් හිටියේය. නැණ ලැබ ගත්තෙමි - 1 පෝස්ටුවෙදී කියා ඇති ශ්‍රී
ලංකා පවුල් සංවිධාන සංගමයේ, තරුණ ජනගහණ කමිටුවට ඔහුත් සම්බන්ධ වීලාය. උඩවැඩියා
වගාව හදාරන පාඨමාලාවට සිසුන් තෝරාගන්නා තේරීම් කමිටුවේ ඔහුත් උන්නේය. මම නම් දුටු
මනතින්ම ඒ කවුදැයි හඳුනා ගත්තෙමි.
මා ඔහුගේ නම දැනගත්තේ ඊටත් කලකට පසුවය
කිව්වොත්..... ටිකාක් අන්විශ්වාසබල් නේද? ඒත් ඇත්ත ඒකය. හැරල්ඩ් පීරිස්. ඒ දිනවල
අග්‍රාමාත්‍ය ආර්. ප්‍රේමදාස මහතාගේ ලේකම් තනතුරකුත් දැරුවාද කොහෙදය. හැරල්ඩ්
අයියා නැතත් ඔහුගේ බිරිය ලලනී අක්කා නම් අප සමඟ යන්තම් කතාබහ කළාය. එහෙත් ඒ
දෙන්නාම ඉක්මනින්ම තජකයේ වැඩවලට ඒම සීමා වුණෙන් පස්සේ කතා කරන්නට උන් මට ඒක
කරගන්නට බැරි විණි.
හැරල්ඩ් අයියාට බාල මයිකලුත්, බන්දුලත් නම්
මට මතක අරිට වඩා හිතවත්කම් පෙන්නූ අය විදියටයි. මයිකල් නම් මට ඇමතුවේ 'මච්චිකා වෘන....' නමින්මය.
චොක්ලට් පළහිලව්වක් මගේ ජීවිතයට ඈඳුනෙත් ඔය
කාලයේමය.
කවුදෝ කෙනෙක් ඕනාවට වඩා මා ගැන සෝදිසියෙන්
ඉන්නා බව මට දැනුණේ හයවෙනි ඉන්ද්රියයෙනි. එහෙම දේවල් අපට දැනෙනවා නේද?
ඔහු තරුණයෙකි. ඩබ්ලිව්. ඒ. සිල්වා මහත්තයාගේ
යෙදුමකින් කියනවා නම් 'නූස්, නොමිටි' හාදයෙකි. කළුත් නැත. සුදුත් නැත. පැහැපත්ය.
හීනි උඩු රැවුලකුත් මුහුණ සරසමින් තිබිණි. වැඩියත්ම මට මතක ඔහුගේ ලොකු දෙනෙත්ය.
හැමදාම ඇඳලා හිටියේ කොට කලිසමකි. එමෙන්ම හැමදාම අතේ වට්ටක්කා පළුවක හැඩයට වියූ
වේවැල් බෑගයකුත් තිබිණි. මා දුටු කිසිම වෙලාවක නම් එහි මොකවත්ම තිබුණේ නැත.
තුන් හතර දවසක්ම ඔහු ඉස්පිරිතාල ගේට්ටුව ළඟටවී
මගේ 'රජවීම' දිහා අනිමිස ලෝචන පූජාව කරනවා දුටු මා තවත් පුදුම වුණේ මගේ පසුපසින්ම
මහරගම තෙක් එනවා දැක්කාමය. ඒකත් සතියක් විතරම කෙරුණේය. එක දවසක් බසයේ මා ළඟින්ම වාඩිවුණු
ඔහු මා හා කතාවට වැටුණේය!
"මං බලාගෙන ඔයා හැමදාම හවසට එනවා. උදේට
ඉස්කෝලේ යනවද?" එතනින් පටන් ගත් කතාව දිගටම ඇදිලා ගියේය. මා ප්‍රශ්න ඇහුවේ
නැත. උත්තර දුන්නා මිස. කවදත් මා උත්තර දෙන්නේත් නැති සැහැල්ලුවක් හෝ මවා පාමිනි.
ගෙවල් කොහෙද කියා කවුරුන් හෝ විමසුවොත් මා එකවරම හිනාවෙවී කියන්නේ 'මිදුලට ආවම පේන
තැන' කියාය.
ඒ කාලයේ අපේ ගෙදර තිබෙන තැන කාටවත් කියන්නේ
කොහොමද? ගෙයක් කිව්වාට ඒක හතර වටේම වරිච්චි බිත්තිවලින් වටවුණු පෙට්ටියකි. ඒ
මදිවාට එක බිත්තියක් ගරා වැටිලාය. එය බිමටම ඇද නොවැටී බලාගෙන හිටියේ බිත්තියත්
වහලයේ බාල්කයත් ඒකට සම්බන්ධ වුණු කොහු ලණු පොටවල් කීපය කැඩෙන තුරුය. හැබැයි බිත්තිය
එහෙම එල්ලි-එල්ලී තිබීමෙනුත් එක හොඳක් සිදු වුණේය. කුප්පි ලාම්පුව නිවා දැම්මාට
පස්සෙත් අපේ ගෙතුළට තරු එළිය වැටිණි. වෙල් යායේ කරක් ගහන සිහිල් සුළං රැලිත් 'අර
කපොල්ලෙන්' අපේ ගෙදර ඇතුළටම ආවේ 'රස්නේ වැඩිද' කියා බලන්නටය.
එහෙම තැනක් තියෙන දිහාව ලින්ටන්ට කියන්නට
තරම් මා ලජ්ජා නැත්තෙක් නොවේ. ලින්ටන්. ඒ ඔහුගේ නමය.
"මං ඔයාලගේ ගෙදර ළඟට
එනකම් එන්නද?" මහරගම හන්දියේදී ඔහු මගෙන් ඇසුවේය.
පාර මගේ නෙවෙයිනේ! මං
කොහොමද කවුරුවත් පාරේ එන එක නවත්තන්නේ? ඒත් ඒ පණ්ඩිතකම් නොකියා මං දුන්නේ වෙනත්ම
ප්‍රකාශනයකි.
"අපෝ එපා. තාත්තා බලයි මේ මොකද කියලා."
"තාත්තාට කියන්න යාළුවෙක්ය කියලා."
"එහෙම කොහොමද කියන්නේ. ඔයා මගේ යාළුවෙක්
නෙවෙයිනේ!"
මා කියන්නේ ඇත්තටමය. හැබැයි බොරුවක් යැයි හැඟෙන විදියේ 'ඇක්ෂන්'
එකකිනි. ඒ අතරම මා එය තරයේම කියන බව පෙන්නමිනි.
ඉතින් ලින්ටන් කවදාවත් අපේ ගෙදරට තියා ගෙදර
හුළඟක් වදින අහලකටවත් ආවේ නැත. එහෙත් දිගටම ඉස්පිරිතාල ගේට්ටුව ළඟට.... එතනින්
නුගේගොඩට.... මහරගමට... ආවේය. සුමාන දෙකක් හෝ තුනක් ඒ 'රුවන් සක්මන' කෙරුණාට පස්සේ
දවසක ලින්ටන් තවත් පියවරක් තිබ්බේය.
එදා සමුගෙන යන්නට කලින් ඔහු අර වට්ටක්කා
වේවැල් බෑගයෙන් ගත් කුඩා හතරැස් යමක් මට
දුන්නේය. එය බ්‍රවුන් පේපර් බෑගයක දමා තිබුණු නිසා ඒ මොකක්දැයි එක වරම මට වැටහුණේ
නැත.
මා ලින්ටන් දිහා බැලුවේ මේ මොකක්දැයි කියවෙන
විදියටය. පේව්මන්ට් එකේ රජවී - 2 පෝස්ටුවේදී කියූ විදිහටම 'ඔළු' භාෂාවෙන් ප්‍රශ්නයක්
අහමිනි.
"අපෝ එපා. තාත්තා කියලා තියෙන්නේ
නොදන්නා අයගෙන් මොකුත් ගන්න එපා කියලා."
පළමු වරට ලින්ටන්ගේ මුහුණ තරහෙන් කළු ගැහෙනවා
මා දැක්කේ එවිටය. "එපා නම් කැලේට විසි කරන්න." කියමින් ඔහු හනික ආපිට
හැරී ගියේය. "පව්." මම හිමින් සීරුවේ බෑගය විවර කර බැලුවෙමි.
'චොකෝනට්'
පැකට්ටුවකි. මම බියෙන් ඇලලී ගියෙමි.
හැම ළමයෙකුටම දෙමවුපියෝ අවවාද දෙති. ගුරුහරුකම්
කියා දෙති. අපටත් එහෙමය. මං හිතන්නේ අපට ඕනෑවටත් වඩා අවවාදය. නීති-රීතිය.
"හොඳට හැදියන් පුතේ. හතර දෙනෙක් උඹට හොඳයි කිව්වොත් හතර වරම් දෙවි
හාමුදුරුවරුත් හොඳයි කියාවි!" අර අවවාදවලින් වැඩියත්ම මගේ හිතට වැදුනේ ඒකය.
ආච්චි කියුවේ එහෙමය.
ආච්චිලාගේ ගෙදර බිත්තියේ එල්ලා තිබුණු ලොකු පින්තූරයක හතර
කොනේ වැජඹෙමින් ධෘතරාෂ්ට්‍ර, විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ හතරදෙනා අප දිහාවම බලන්
ඉඳිද්දී..... අකීකරු වෙන්නට හරිම අමාරුය.
සතර වරම් දෙවිවරු |
මා මේ බ්ලොගය ලියන්නේ සත්‍යයම පමණක් හෙළි කරමිනි.
දැන් ලජ්ජාවෙන් වුවද ඇත්තම කිව යුතුය.
චොකෝනට් පැකට්ටුව විසි කරන්නට හිත හදාගන්නේ
කොහොමද? චොක්ලට් රස ඕනෑම කෙනෙක් වසඟයට ගනී. අප සත පහක නාරං බික් ලොසිංජර ගන්නෙත්
එහෙමත් දවසය. මී බෙටි... හූනු බිජු... කොයිවාත් එහෙමය. එහෙම එකේ නිකම්ම කඩා පාත් වුණු
වාසනාව වීසි කළ හැකිද?
හැබැයි ඒ වාගෙමය, මැරුවත් මේක තාත්තාට නම් කියන්නට හොඳ නැත.
ටිකිරි මොළේට ඒ ටික නම් ටක් ගාලා තේරුණේය! එතකොටම තමා මට ගණදෙවියෝ නුවණ දුන්නේ.
හැමදාම ඒ වෙලාවට අපේ සුනිල් ඉන්නේ 'ටැයියා'
එක්කලා කයිය ගහගෙනය. ටැයියා කිව්වාට ඔහුගේ නම ස්ටැන්ලිය. ස්ටැන්ලි මගේ වයසේම වාගේ
වුණත් උස-මහතින් ලොකුය. 'ආවොත් නොයා බැරිය - 1 පෝස්ටුවේ' හිටි මල්ලිකා අක්කා මතකද?
ඒ මේ ටැයියාගේ අක්කාය. අපේ ගෙදරට යා යුත්තේ ඔවුන්ගේ ගෙදර පහු කරගෙනය. මුලින්ම මම
එහාට හැරුණෙමි.
හිතුවා හරිය. මේ ඉන්නේ සුනිලයි ටැයියායි දෙන්නාම.
"පොඩි රහසක් තියෙනවා. මෙහාට එනවලකෝ."
දෙන්නාම මා ළඟට ආවෝය. මා ඔවුන්ට කිව්වේ මොනවාදැයි මට මතක නැත. හැබැයි සම්පූර්ණ ඇත්තම
කියන්නට නැත. ඒ දෙන්නාටම ඕනෑ වුණ කෙහෙල්මල් ඇත්තකුත් නැත. මා කියූ පරිදිම රහස රකින
බවට ඔවුහු මට පොරොන්දු වූහ. ඉන් පසු අපි තුන්දෙනාම එකතුවී චොකෝනට් පැකට්ටුවට වැඩේ
දුන්නෙමු!
කරවල වාඩියක...... |
හිතනකොටත් නිමල් දිසානායක ගැන හිරිකිතය! එහෙම හිතෙන්නේ අදය. පැහුණු කෙනෙකුටය. අවුරුදු 13-14 කොල්ලෙකුට නොවේ.
ලින්ටන්ට එව්වා කොහෙන් ලැබෙනවාදැයි මා හෙව්වේ
නැත. ඇහුවෙත් නැත. ටැයියලාත් එහෙමය. නමුත් එදා ඉඳලා සෑහෙන දවසක් අපි තිදෙනාම
චොකෝනට් නම් කෑවෙමු.
ඒ වනවිට ලින්ටන් එන්නේ මොකාටදැයි මට
අනුමානයක් විය.
පව්! එහෙම හිතුවත් මා වැරැදිය. කවම-කවරදාවත් ලින්ටන් මට අයුතු යමක්
යෝජනා කළේවත්, කරන්නට උත්සාහ කළේවත් නැත. එකම දෙයක් හැර. ඒකටත් මා කළේ තදින් රවා
බැලීමය. ඒ නිසා ඒ අසරණයා එකෙන්ම පස්ස ගැහුවා වෙන්නටත් පුළුවන.
කවුරුන්වත් නොබලන
වෙලාවක, කාටවත්ම නොපෙනෙන්නට ඔහු තදින් මා කෙනිත්තුවේය. ඇත්තටම එය හොඳටම රිදෙයි. ඇඟිලි දෙකින් චුට්ටම-චුට්ටක්
අල්ලා කොනිත්තන විට නොරිදෙන්නේ කාටද? ඒක නම් මට කඳුළු පිරෙන කෙනිත්තිල්ලකි. ලේ
හීතල කරවන තරමට රවා නොබලා කොහොමද?
කොහොමින් හරි ලින්ටන්ට ආපහු ගමට; නුවරට යන්නට
සිදු වෙන තුරුම අවුරුද්දක් විතර ඔය රටාවටම කටයුතු වුණේය.
මගේ පදික වේදිකා රාජාභිෂේකය හැමදාම පාහේ සිදු
වුණත් එය අපේ ගෙවල් හරියට; පමුණුවට ආරංචි වුණේ සෑහෙන කාලෙකට පස්සෙය. කොළඹ සිට
මහරගමට සැතපුම් දහයකි. කිලෝ මීටර් දහසයමාරකි. එහෙම වෙලාත් ආරංචිය එන්න ගිය කලක්.
අද නම්?
දවසක් හවස මා ගෙදර එද්දී සාගරලාගේ මාමා 'එඩ්වඩ්
මාපලගම' මට කතා කළේය. "රංජි, පොඩ්ඩක් ඉන්න."
මම නැවතුණෙමි.
අදත් නවතින්නෙමි, ඊළඟ ටික කොටාගන්නට හැකි
වෙනකම්!
ඇත්තටම ඇයි ලින්ටන් එහෙම හමු වෙන්න ආවෙ අයියාගෙ රසිකයෙක් නිසා වත්ද ?
ReplyDeleteමං ලියා තියෙන ටිකට වඩා බින්දුවක්වත් ඒ ගැන දන්නේ නැහැ. එක-එක දේවල් හිතුණා පසුකාලීනව. එහෙම හිතළු ලිවීම ඒ මනුස්සයට කෙරෙන අසාධාරණයක්නේ.
Deleteහැබැයි එයා ආවේ මගේ රැඟුම් බලන්නම නෙවෙයි. සමහර දවසට ලින්ටන් එන්නේ මං පිටත් වෙන්න හදද්දී. අහේතුකවමත් මිනිස්සු යම්-යම් අයට බැඳෙනවා කියන අත්දැකීම තමා මට හිතෙන්නේ.