අකුරු මැකී නෑ

Tuesday, July 24, 2018

දියවිනි ඉනාව - සිව්වෙනි කොටස



පිල්ලුම් තුනකට පස්සේ....

දැන් මාත් දියවිනි කතාවේ පිල්ලුම් තුනක් ඇවිත් ඉවරයි. ඊළඟ පිල්ලුම පටන් ගන්න කලියෙන් රෙද්ද පාත දාලා ඉන්න එපැයි! රෙද්ද ඉස්සුවොත් නම් ඕං ඇවැතක් තමයි.

පිල්ලුම් දෙකක් තුනකින් එන කල   ඈත
මැල්ලුම් වත් සමහර විට කන්ට      නැත
සෙල්ලම් බෝය අලි ඒ  ගහ කලට   යත
තල්ලුම් තමයි තට්ටූ කළ නියම        අත

නිමලෝ! උඹ ඌව වෙල්ලස්සේ පුතෙක් විත්තිය හැබෑව. දැන් ඒ පැත්තේ උදවියගෙනුත් ගොඩ දෙනා පිල්ලුම් කතාව දන්නේ නැති බව අමතක කරන්න එපා. මං මටම කියාගත්තා. ඇයි ඇවැත? හරි! එකින් එකට ගිහින් කොටමුකෝ! ඉස්සෙල්ලාම පිල්ලුම් කතාව.

ඉස්සර දැන් තරම් පාරවල් තිබ්බෙ නෑ මයෙ අප්පා. කොච්චර දුර වුණත් ආයේ යන්ඩ ඕනැන්නේ දෙපයින්ම තමා. හෙනං. ඉතින් කටු පඳුරු, මානං-ඉලුක් කැලෑ මැද්දාවෙන් අඩි පාරවල් දිගේ තමා යනවා. ඕං ඔහොම යද්දි-යද්දී හති වැටෙනව නොව. ඒ මදිවාට දාඩිය වැක්කෙරෙනවා. 

ඔන්න එතකොට ඇඳං ඉන්න වස්තරේ ටිකාක් කැටි කරලා උස්සා ගන්නවා. දාහෙ නිවෙන්න.ආයෙම ටික දුරක් ගාටලා ආයේ වස්තරේ කැටි කර ගන්නවා...... ඔහොම යනකොට-යනකොට අම්මා.....

එතකොට තමයි හද්ද වන්නි-වනන්තරේ මැද්දෙදි වුණත් විලිබිය ඇත්තෙකුට රෙද්ද තවත් උස්සන්න බැරි ගණනට එන්නේ. ගමන පටන් ගත් තැන ඉඳලා අර සීමාවට ඇති දුරට ඌව වෙල්ලස්සේ ඇත්තෝ කිව්වේ පිල්ලුමක් කියලයි. සාමාන්‍යයෙන් හැතැප්මක විතර දුරක්! 

ඔය විස්තරේ තියෙනවා සිංහල සාහිත්‍ය විශ්ව කෝෂය පොතේ 459 පිටුවේ. කවිය ගැනත්.... (පොත ගැන වංහුං අජාසත්ත - 2 පෝස්ටුවේ ලිව්වනේ.)

මතකයි නේද? මං කිව්වා විජිත හාමුදුරුවන් වහන්සේ අතින් ඇවැතක් වෙනවද කියලා හොයාගෙන මේ පෝස්ටුව ලියන බව. හරිනේ, උන්වහන්සේ අතින් ඇවැතක් වෙනවා තමයි.

දියවින්න පන්සලේ දෙවසරක සංවර්ධනය.....
මට හිතෙන්නේ විජිත හාමුදුරුවෝ කවදාවත්, එක වේලක්වත් නියම වෙලාවට දානේ නම් වළඳන්නේ නැහැ වගේ කියලාය. ඒක තමා මගේ චෝදනාවත්. 

"ඒක නම් මම පිළිගන්නවා මහත්තයෝ. පන්සලේ වැඩවලට උදව් වෙන අය කාලා-බීලා ඉවර වෙනකල් මං වළඳන්නේ නැහැ තමයි. අර පෙත්සම ගහල තිබුණු වෙලාවේ ඔය කාරණාව නම් මමම ලියල ඇරියා. ඇයි මහත්තයෝ මෙහෙම පළාතක ඉඳගෙන කොහොමද වෙලාවටම වළඳන්න වෙන්නේ? ගමේ කෙනෙක්ගේ විපත්තියක්, මරණයක්, කටයුත්තක් ආරංචි වුණොත් මං යනවාමයි. එතකොටනේ ඒ මිනිස්සුත් පන්සලට එන්නේ." 

ඇවැතක් කියන්නේ සංඝයා වහන්සේ කෙනෙකු අතින් සිදුවන පුංචි වරදකටයි. ඉතින් අද දවසේ අපේ තිලෝගුරු බුදු පියාණන් වහන්සේ ජීවමානව ඉන්නවා නම් එතුමා වුණත් මේ වගේ දේවල්වලට බලපාන නීති වෙනස් කරාවි කියලයි මට හිතෙන්නේ.

2018 අලුත් අවුරුද්දට අප හිටියේ විල්පත්තුවේ බව 'අපේ කුණු.... 1-2 පෝස්ටු කියවූ ඔබ දැනටමත් දනියි. 

2017 අවුරුදු දවස්වල අප උන්නේ අම්පාර කිට්ටුවය. ඒත් තිහක් විතර පිරිසකි. නඩයේ වැඩිමහලු සැදැහැතියන්ට නොනගතයේදී පන්සලකට යන්නට උවමනා විණි. ඒ පළාත දන්නා අසංකට කතා කළ මම පන්සලක අයුරුවක් අහගෙන කට්ටියම එහි කැන්දාගෙන ගියෙමි. 

ඒ පන්සල කිසිම දියුණුවක් නැති එකකි. බණ මඩුව හැදිල්ල අවුරුදු දහයකටත් වැඩි කාලයක් තිස්සේ නැවතී තියෙන්නකි. දහම් පාසලේ ළමයින් දූවිලි ගොඩේ බිම ඉඳගෙනය, ඉගෙන ගනිමින් උන්නේ. 'අපි මෙහෙට උදව්වක් කරමුද?' යෝජනාවකි. ඒ වෙලාවේම රුපියල් තුන්-හාරදාහක් එකතු කර දුන්නෙමු. ඒත් අපේ හිතට මදිය!

2017 ජුනි 2 අම්පාරේදී.....
චූටි මාමාත් පුතා රංගත් රුපියල් විසිපන්දාහක ලන්සුවක් තැබූහ. 

ප්‍රභාත්, නදී, විජේසිරි තුන්දෙනාත් 25 ගණනේම පරිත්‍යාග කරන්නට කැමැති වූහ. එතනම ලක්ෂයකි. 

පොසොන් පෝයට කලින් ධර්ම ශාලාවේ බිමට කොන්ක්‍රීට් අතුරා දෙන බවට පොරොන්දුවකුත් හාමුදුරුවන්ට දීලාය අප ආපහු ආවේ. දන්නා-කියන අයට අපේ සත් ක්‍රියාව කියා උදව් පැතුවෙමු. ලක්ෂය මදි හින්දාය. 

හරියටම තුන් ලක්ෂ විසිදහස් හාරසිය පනහක් එකතු කර ගන්නට අපට හැකි විණි.

ආයිබොවන්ලා තරහ අවසර! මේවා කියන්නේ පම්පෝරි ගහන්නට නොවේ. හිතේ දුක තුනී කර ගන්නටය. 

ඔන්න දැන්මම කියන්නෙමි. ආධාර කළ සේරගෙම නම් පැලැල්ල මෙතැන දිගාරින්නට මගේ කිසිම සූදානමක් නැත්තේ මගේ බ්ලොගය කියවන අයට වැදගත් වෙන්නේ සිද්දිය විතරක් නිසාය! 

යහපතක්, පිනක් කළාම සතුටක් ලැබේ! නම්බුනාම, සම්මාන, ක්‍රෙඩිට් බලාගෙන වැඩ කරන්නේ තණ්හාපතියන්ය! 2017 ජුනි දෙවෙනිදා අපි දහදෙනෙක් එහෙ ගියෙමු. 

හැබැයි අර ආධාරවලින් සත පහක්වත් වැය නොකර. ඒ ගමනේ සේරම වියදම් අපි-අපිම දරා ගත්තෙමු!

අසංක ලක්ෂ්මන්
අප ගියේ කොන්ක්‍රීට් දාන දවසේය. හොඳටම ඇම්ම තියෙන සුමිතුරු අසංක රෑ-දවල් නොබලා අප වෙනුවෙන් නියෝජිතයාවී; පඩි නැති වැඩත් කොට කළුගල්, වැලි, සිමෙන්ති, කොන්ක්‍රීට් කරන අය ආදි ඔක්කොම සූදානම් කර තිබිණි. අතෙන් වියදම් කරගෙන දිගටම අප හා ටෙලිෆෝනයෙන් සම්බන්ධ වුණෙත් අසංකමය. 

පන්සලේ හාමුදුරුවන් අපට කතා කරනවා තියා, අප කතා කරන වැඩි වෙලාවලත් උත්තර දුන්නේ නැත. අසංක කිව්වේ "පවු! ආරන්නෙක ඉඳලානේ මෙහෙට ඇවිත් තියෙන්නේ. වැඩිය සමාජ ආස්සරේට හුරු නෑ වෙන්නැති." කියලාය.

කොන්ක්‍රීට් දාන්න නැහෙද්දී.....
ඒ නුහුර හොඳටම පෙනිණි. කොච්චර කුලෑටිද,මෝරලා නැතිද කියනවා නම් දවස පුරා මැරීගෙන ගල්, වැලි, සිමෙන්ති එක්ක හැප්පුණු අයටත් දුන්නේ කිරි තේ එකක් පමණි. ඒ ලෝබකම දැක, බිස්කට් ගෙනෙන්නැයි මා අසංකට සල්ලි දුන්නත් ඒ මනුස්සයාම එව්වාත් ගෙනාවේය. ඒ පන්සලේ දායකයොත් මොට්ටද?

සතේටම ගණන් කියනවා නම් 1,98,575.00 ක් කොන්ක්‍රීට් දැමිල්ලට වැය විණි. සිමෙන්ති කොට්ට 109 ක ලොකු එකක්. ඒත් තව සල්ලි ඉතිරිය. වැලිවලට අපට වියදමක් ගියේ නැත. ගමේ උදවිය ලවා වැලි ගොඩ දම්මාගන්නට පුළුවන් බව හාමුදුරුවෝ කීහ. ඒක නම් ඉටු කර තිබිණි, අසංකවත් පස්සෙන් පැන්නවූ නිසා!

ඒ පන්සලේ උන්නාන්සේලාටවත් යන්නට පුළුවන් වැසිකිළියක් තිබුණේ නැත. මුදල් ඉතිරි නිසා වැසිකිළියක් තනන්නට අවශ්‍ය කොන්ක්‍රීට් වළලු, පෝච්චි, නල ඈ සියලු දේ විතරක් නොව, ටවල් රැක් එකක් පවා එදාම අම්පාරට ගොස් ගෙනාවෙමු. බාස්ලාට ගෙවීම් කිරීම සඳහාත් මුදල් අසංක අතට දුන්නෙමු. ඒවාට සම්පූර්ණ වැය 96,321.00 කි.


පන්සලේ ධර්ම ශාලාවට කොන්ක්‍රීට් දැම්මාට පස්සේ......
අපටත් නොකියාම චූටි මාමා තවත් තුරුම්පුවක් ගහලාය. 

බුද්ධ ශාසන අමාත්‍යංශයේ සේවය කරන හිතවතෙකුත් ඒ ගමනට එකතු කරගෙන හිටියේ චූටි මාමාගෙ යාළුකමට කියලාය අප හිතුවේ! නැහැනේ. දුර බැහැර - දුෂ්කර පැතිවල පන්සල්වලට දෙන ආධාරයකුත් අරන් දෙන්නය. 

ඒකත් ටක්කෙටම හරි ගියේය. ලක්ෂ දෙකක් පන්සලට ලැබිණි. අසංකගේ ඕනෑකමටම වැසිකිළියේ වැඩත් නිමවිණි. එව්වා ඉවරෙටම කෙරුණු බව අද වෙනතුරුවත් හාමුදුරුවෝ නොකීහ. අපිම අහලා තහවුරු කරගන්නා තෙක් ඉවසා වැදෑරූහ.

දැන් තව රුපියල් 25,554.00 ක් ඉතිරිය. සල්ලි තියෙන්නේ චූටි මාමා ළඟය. "අනේ නිමල්. මේකෙන් මාව නිදහස් කරවලා දෙන්න ඉක්මනටම. අනුන්ගේ සල්ලිනෙ!" එයා දහ-දොළොස් වතාවක්ම කිව්වේය.

"අපි ඒ සල්ලිත් දියවින්නේ වැඩේට දාමුද?" 

විස්තර ඇතිව කියා මම යෝජනා කළෙමි. ගිනි පෙණෙල්ලෙන් බැට කාපු මිනිහා කණමැදිරි එළියටත් බයයිලුණේ. චූටි මාමාට පන්සල්වලට ආධාර කිරිල්ල එපාවෙලා වගෙය. මරදන්මඩුවේදී කෙරුණු කතාබහ අතරේ ප්‍රභාත්, නදී, සමින්ද, නෙවිල් වගේ කට්ටිය මගේ උදව්වට ආවාමත්ය 5000.00 ක් විතරක් දෙමුය කිව්වේ!

අරහෙම උන්නාන්සේලාත්, නෝංජල් දායක-දායිකාවනුත් දියවින්න පන්සලේ විජිත හාමුදුරුවන් ළඟට ටියුෂන් ගන්නට එවිය යුතුය!

ඉස්සරත් දියවින්නේ හිටින්නට ඇත්තේ විජිත හාමුදුරුවන් වාගේ යකුන්ද? 

මාර්තු මාසයේ ආ විටදී අප හතර දෙනා සෝමේ මල්ලිත් එක්කලා ඇල්ල උඩට නැංගාම සෝමේ මල්ලී ලස්සන කතාවක් කිව්වේය.


2018 මාර්තු ගමනේදී (වමේ සිට) ගවීන්, අයස්මන්ත, විජිත හිමි, සෝමේ මල්ලී සහ නෙවිල්
"ඉස්සරෝම කාලේ මෙහෙ කුඹුරු කරද්දී පුදුම සිරිතක් තිබුණාලු. අපි හිතමුකෝ ගොයම් කපන්න දෑකැති දාහතරක් ඕනෑය කියලා. කලින් දා හැන්දෑවේ මෙතනට ඇවිත් බුලත් කොළ දාහතරක් මෙතනිං තියලා යනවා. පහුවදා පාන්දර එනකොට දෑකැති දාහතරක් මෙතන. එව්වා අරන් ගොහිල්ලා ගොයම් කපලා ඉවර වුණාම හවසට ආපහු මෙතනිං ගෙනැත් තියන්න ඕනේ!"

 
"ඒ කොයි වගේ කාලේද?"

"සුදු අයියේ, අපේ අත්තලගෙන් තමා මං ඔය කතාව ඇහුවේ! හැබැයි උන්දැලම කිව්වා එක දවසක් අරහෙම ගෙන්නපු දෑකැති ආපහු ගෙනිහින් තිබ්බෙ නැතිලු. ඊට පස්සේ බුලත් තිබ්බට ආයුද තිබිල නෑ." සෝමේ මල්ලිගේ ඒ කතාවට අපට හොඳටම පුදුම හිතුණේ එදා හැන්දෑවේය.

ඒ දියවින්නට පිල්ලුම් තිහ හතළිහක් එපිට බලංගොඩ  රාස්සගල, සීතගලදීය. අපේ සුනිල් ඉන්නේ එහේය. දැන් සුනිල්ට නෑයා, හිතවතා, අසල්වැසියා සේරම කමල් මහත්තයාය. අප හමුවන්නට ආ කමල් අප දියවින්නට ගොස් ආ බව කී විට හොඳටම දොඩමළු වුණේය.

සීතගල සුනිල්ලගේ ගෙදරදී......
"ඔන්නොය පහළ ඉසව්වේ ඒ කාලේ මිනිස්සුන්ට කුඹුරු හාන්න, ගොයම් කපන්න ඕනෙ කරන සේරම ආම්පන්න හම්බ වුණාලු පුදුම විදියකට. ඒ තියා හරකුත්. ඔන්න හී හාන්න හරක් බාන් හයක් ඕනෙයි කියමුකො. කලින්දා හැන්දෑවේ බුලත් කොළ හයක් ලියද්ද අයිනේ තියල එනවා. උදේ වෙද්දී හරක් බාන් හය කුඹුරට ඇවිත් ඉන්නවා. ගොයම් කපද්දී, කොළ මඩවද්දී දෑකැති, හරක් සේරම ඒ විදියට හම්බ වුණාලු. හැබැයි බැත හුළං කරල ගෝනිවලට පුරවන්න ලෑස්ති වෙනකොටම තවලම් ගොන්නු කුඹුරට එනවලු......"

 
"තවලම් ගොන්නු?"

"ඒකනේ අයියේ. අර ලැබිච්ච ආම්පන්නවලට හිලව්වට තවලම් ගොනුන්ගේ පිටේ වී පැටෙව්වම උන් යනවලු එව්වත් අරන්. ඔහේ තියෙනවා දහයියාගල කියලා එකක්. බොහෝම අමාරුවෙන් තමයි ඒකට නඟින්න තියෙන්නේ. කොල්ලා කාලේ මමත් ඒ ගලට ගිහින් තියෙනවා ඔය දහයියා බලන්න. අර ගල උඩ දහයියා කඳු ගහල තිබ්බා. කවුරු මොනවට එච්චර උඩකට දහයියා දැම්මද කියලා හිතාගන්නවත් බැහැ." 

කමල් මහත්තයා කියන විදියට ඒ 'වාසනාව' නැති කරගෙන තියෙන්නෙත් මිනිස්සුමය. "වී ටිකක් දෙන්න ලෝබකමට වතාවක් ගෝනිවල බොල් පටවල යවලා.

කමල් මහත්තයා
සෝමේ මල්ලිටත්, කමල් මහත්තයාටත් නොහිතුණු හිතිවිල්ලක් මට තිබේ. "එව්වා අමනුෂ්‍ය වැඩ නොවේ. යකුන්ගේ වැඩය!"

යකුන් කිව්වේ යක්ෂ ගෝත්‍රිකයන්ය. බුදුහාමුදුරුවන් වහන්සේගේ ලංකාගමනයකදී යකුන් දමනය කළේලු. උන්මාද චිත්‍රාව එක්කත් යක්කුන්ගේ තිබුණු පැටලිලි හුඟක් දිගය.

 හල්දුම්මුල්ලේ යකඩ උණු කළ සොබාවික උදුන්වල නෂ්ටාවශේෂ හොයාගත්තේ වැඩි දුරාතීතයකදී නොවේ. 

බැලුවාම මෙව්වා හරියටම ජිග්සෝ ප්‍රෙහෙලිකාවක කෑලි වගේය. තව කෑලි හම්බවෙන්නට තිබේ. දැනට ඇත්තේ තියෙන කෑලි දිහා බලලා උපකල්පනය කරන්නටය. සොමේ මල්ලිගේත් කමල් මහත්තයාගේත් කතාවලදී කියවුණු පොදු සාධක දෙකකි. 

බුලත්වලින් ඉල්ලීම. හරක්, දෑකැති දෙන අය අදෘශ්‍යමාන අය වීම. යක්කු පෙනෙන්නට ආවේම නැතිද? නිට්ටෑවන් වගේ.

ඒ පැත්තේම නොවුණත් මා කලින් කියූ අපේ ධර්මේ අයියාත් යකෙකි. පණ පිටින්; පේන්නටම හිටි දක්ෂ වැඩකාර යකෙකි. කොච්චර දක්ෂද කියනවා නම් සේප්පු හදන පිටරට කොම්පැනියක සාක්ෂිය හින්දා හිරේ නොයා බේරුණු කෙනෙකි. 

ධර්මේ අයියාම ඒ කතාව අපට කිව්වේ දියවින්නේ පන්සලට අල්ලපු වත්තේ ගෙදරදීය. මුල හරියේදී මං කිව්වේ..... මැණික් ගරන්නට ඉස්සෙල්ලාම අප ආ ගමනේදීය.

මැණික් ගරන්නට ආ ගමනේදී....
ඉස්සර ලංකාවේ ලොකුම හොරකම 'හාර ලක්ෂෙ' මංකොල්ලයයි. 

ඒක දෙකට දමා හෝමාගම බැංකුවකින් ලක්ෂ හතරහමාරක් හොරකම් කිරීම මුලට ආවේය. කියැවුණු විදියට නම් ඒකට අහුවුණු වැඩි දෙනෙක් 'ගරු කටයුතු පමුණුවේ' ගම්වැසියන්ය. තවමත් එයාලගේ නෑදෑයන් ඉන්නා නිසා නම් කීම නම් හොඳ නැත.

"මහත්තයෝ, ගෑනු හරි මෝඩයි. ඔන්න කළු අක්කා තරහ වෙන්න එපා මං එහෙම කිව්වාට. අර සල්ලි කන්දරාව ගෙනාවේ අපේ ගෙදරට." ධර්මේ අයියා කිව්වේය. ඒ අවුරුදු තිස්පහකටත් එහා පැත්තේය. ඒ කාලේ දාහෙ, පන්සීයේ නෝට්ටු තිබ්බෙ නැත. තිබුණේ සීයේ පනහේ එව්වාය. සීයේ නෝට්ටුවලින් නම් ලක්ෂ හතරහමාරට නෝට්ටු...... මමම ගණන් හදිය යුතු නැත. ඔන්න home work එකක්. හොඳ ළමයි වගේ ගණන් හදාගෙන එන්නකෝ බලන්න. 

ඊළඟ දවසේ එද්දී.......

3 comments:

  1. පන්සල් වලට වතාවක් ගියහම ආයෙ පාරක් ගොඩ වදින්න හිතෙන්නෙ එහෙමත් එකක් තමයි :)

    ReplyDelete
    Replies
    1. එතැනදී නම් මමත් ඔයාගේ ගොඩේමයි!

      Delete
  2. දියවින්න කොහොම වෙතත් රස්සගලටනං මගේ සම්බන්ධයක් තියෙනව. අපේ එක මස්සිනා කෙනෙක් ඉන්නෙ එහේ.

    ඔය ආයුධ තියෙන කතාව කියනව ගල්පායෙ බඹරගල පැත්තෙත්. ඒ වැඩේදිත් අපේ මිනිස්සු කෙලෝගෙන.

    ReplyDelete