අකුරු මැකී නෑ

Saturday, July 28, 2018

පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස



දවසක් හවස මා ගෙදර එද්දී සාගරලාගේ මාමා 'එඩ්වඩ් මාපලගම' මට කතා කළේය. "රංජි, පොඩ්ඩක් ඉන්න."

මම නැවතුණෙමි.

සාගරලා හිටියේ 'විවේකාරාම විහාරස්ථානය' ළඟය. මහරගම දුම්රිය මාවතේය. පමුණුව පාරෙන් 'එක්සත් සුබ සාධක මාවතට' හැරී දිගටම යන ඔබට දැන් විවේකාරාමය පසු කර දුම්රිය මාවතෙන් මතු විය හැකිය. 

ඉස්සර නම් එහෙම බැරිය. සුබ සාධක මාවත වෙල් යාය ළඟින් ඉවරය. අනෙක් පැත්තේ පාර විවේකාරාමය අසලින් විවේකයකට නැවතිලාය. ඒ දිගු විවේකය අහවරවී පාරවල් දෙකම එකක් වුණේ වෙල් යායට උන්හිටි තැන් නැති කරමිනි. දැන් වෙලක් නැත, පස් ගොඩ කළ වෙලේ ඇත්තේ මන්දිර සමූහයකි.

වාමාංශික දේශපාලනයට.....
එඩ්වඩ් මාපලගම මහත්තයා වාමාංශික දේශපාලනයට සම්බන්ධව හිටි බව මිස වෙන කිසිවක් මට නිච්චි නැත. "නිමල්, මං දන්නා මහත්තයෙක් ඉන්නවා පත්තරේ වැඩ කරන. අපි ඔයාගේ ෆොටෝ එකක් පත්තරේ දාමු. එතකොට කවුරු කවුරු හරි ඔයාලට ලොකු උදව්වක් වුණත් කරන්න පුළුවන්! මොකද කියන්නේ?"

"අනේ මාමේ, මං තාත්තගෙන් අහලා කියන්නද?"

"හා, හා, ඒකට කමක් නෑ. එහෙම තමයි ළමයි හැදෙන්න ඕනේ. නිමල් එහෙනම් තාත්තගෙන් අහලා අපේ අක්කට පණිවිඩේ කියන්නකෝ!"

ඒ දවස්වල තාත්තා හිටියේ ඉස්පිරිතාලයේය. තාත්තා ඉස්පිරිතාලයට යන්නේ අම්මා 'කොස් ඇටය සිවිඩ්ඩෙන් පන්නනවාට' වඩා ලේසියෙන් දරු ගැබ හෑල්ලු කරගන්නට කිට්ටු වෙද්දීය. (එව්වා විස්තර එක්කම 'ගස්සලා යවමුද' පෝස්ටුවල කියලා තිබෙයි.) දවසකට එක සැරයක් හරි ගෙදරින් කෙනෙක් තාත්තා බලන්නට යන නිසා තාත්තාගේ  උත්තරය ඉක්මනින්ම ලැබිණි.

එඩ්වඩ් මාමා තවත් මහත්තයෙක් එක්ක අපේ ගෙදරට ආවේ ඊට පස්සේය. ඔහු අතේ කැමරාවකුත්ය. එයාලා එද්දී අප හිටියේ බාගෙට නිඝන්ඨයෝ වාගෙය. "ඒකට කමක් නෑ. කමිස අඳින්න ඕනේ නෑ! ඔහොම හොඳයි." අපි උඩුකයේ හෙළුව වහගන්නට හදද්දී අර මාමා කිව්වේය. ඔහු අපේ ෆොටෝ කීපයක් අරගත්තේය. විස්තර අහගත්තේය.

"වනිතා විත්ති පත්තරේ දන්නවනේ? ඉස්සරහ සුමාන දෙක-තුනේ පත්තරේ අරන් බලන්නකෝ." ෆොටෝ මාමා මට කිව්වේය. ඔහු කිව්වා හරිය. යටින් තියෙන්නේ එදා පත්තරයේ තිබුණු විස්තරයයි.   



වනිතා විත්ති පත්තරය පළ කෙරුණේ ටෛම්ස් ආයතනයෙනි. ලංකාදීපය, රසවාහිනී එහෙමත් ඒ ගොල්ලන්ගේමය. අපේ ෆොටෝ කෑල්ලත් විස්තරයත් තිබ්බේ 'දීපදූට කියන්න' විශේෂාංගයේය. ඇත්තම කියනවා නම් විස්තර ටිකාක් විතර පරස්පරය. මං එව්වා විවරණය කරනවාට වඩා සේරම මෙතැනම උපුටා දක්වන්නේ ඔයාලාටම කියවා තීන්දු ගැනීමටය.

"මගේ  නම නිමල්. වයස අවුරුදු දහතුනයි. විද්‍යාකර විද්‍යාලයේ දෙටු පෙළ ඉගෙන ගන්න මට සහෝදර සහෝදරියන් හත් දෙනෙකුත් අම්මාත් නඩත්තු කිරීමට සිද්ධ වෙලා තියෙනවා.

අපේ තාත්තා දුම්රිය දෙපාර්තමේන්තුවේ රස්සාව කරලා අමාරු ලෙඩක් හැදිල ඉස්පිරිතාලෙට වෙලා ගොඩක් කල්. වෙන ජීවත් වෙන්න මඟක් නැති හින්ද අම්මයි නංගිලා මල්ලිලායි බඩගින්නේ ඉන්නවා. ඉස්කෝලේ ගිහින් ආ වෙලාවේ ඉඳලා මම පාර අයිනට වෙලා නටල කීයක් හරි හම්බ කරනවා. මම තනියම නටන්නේ ජාතක කතා මත. හොඳට දේශනා කරන්නත් පිළිවන්. මම පාසැල් උත්සවවලටත් ගොහින් නටනවා. නැටුවේ නැත්නම් මල්ලිලා නංගිලා බඩගින්නේ.

අපේ තාත්තා නුගේගොඩ - අම්මා බදුල්ලේ. අපි දැන් ඉන්නෙ මහරගම පමුණුවෙ. අනේ දීපදූ අක්කේ මගෙ අම්මාත් තාත්තාත් නංගිලා මල්ලිලාත් රැක ගන්න මම විඳින මේ දුක බලලා පිහිටක් වන්න. දෙයියෝ මූණ බැලුව වගේ පිංවන්ත මහත්ම මහත්මියකුගේ ආධාරයක් අපට ලැබේවා.
මහරගම අසරණ නිමල්"

ඔය පත්තරය පිටින් අරන් තියාගන්න තරමෙ නුවණක් මට නොතිබුණු හැටි. මං ඒක හතර වටෙන්ම කපලා තියාගෙන හිටියේ ආසාවට. ඒකෙන් කොහොමද කාලය අනුමාන කරන්නේ? ඒත් දන්නවනේ මගේ නැණ බලේ? මං පත්තර කෑල්ල අනෙක් පිට පෙරළලා බැලුවා. 

මේ තියෙන්නේ බඩු! 

1967 සිනමා සම්මාන උළෙලක විස්තර. හොඳම නළුවා සම්මානය ගන්න 'සැනසුම කොතැනද' ප්‍රධාන නළු ගාමිණී ෆොන්සේකා ආවේ නැතිලු. හොඳම අධ්‍යක්ෂ 'දෙලොවක් අතර'ට අයිති සම්මානේ ගන්න ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයා ආවෙත් නැහැල්ලු. ඉන්නකෝ මං නුවන් නයනජිත් කුමාරගේ පොතෙන් මොකද්ද ඒ සම්මාන උළෙල, කොයි කාලේද තිබ්බෙ කියලා හොයාගන්නකල්.

ශාන්ති ලේඛා
1966 චිත්‍රපට සඳහා සම්මාන උත්සව දෙකක් පවත්වලා තියෙනවා. දෙකේදීම හොඳම නළුවා- හොඳම අධ්‍යක්ෂ සම්මාන ගිහින් තියෙන්නේ ගාමිණී හා ලෙස්ටර් මහත්වරුන්ට. 

මං ආයෙත් පේපර් කටින් එකේ 'අනෙක් පිටුව' බැලුවා. හරි. කොලමකින් බාගයක් තියෙනවා ... ශාන්ති ලේඛාටත් සම්මානයක්. එහෙම පිදිලා තියෙන්නේ 'සරසවිය සම්මාන' උළෙලේදී නෙවෙයි. 'එක්සත් ලංකා රසික සංගමයේ සම්මාන උළෙලේ'දීයි. ඒක පවත්වලා තියෙන්නේ 1968 ජනවාරි 22, ආනන්ද මහා විද්‍යාලයීය ශාලාවේදී. 

එහෙම බලද්දී 'නටන නිමල්ගේ විස්තරේ' තියෙන්න ඇත්තේ 68 පෙබරවාරි 'වනිතා විත්ති' පත්තරයක.

 
තව ඩිංගෙන් අමතක වෙනවා, අර නටන නිමල්ගේ විස්තරේ යටින් මෙහෙමත් තිබ්බනේ. "ඔයාගේ දුකට කවුරු හරි දෙයියෝ අතපෑව වගේ අතපාවි. හැබැයි ඔයාගේ දුප්පත්කම ගැන ඉස්කෝලයේ ප්‍රධානාචාර්යතුමාගෙන් ලත් සහතිකයක් ලබාගෙන අපි  ඉල්ලුවාම දෙන්න ළඟ තියාගන්න."

ඒක නම් ගන්න ඕනේ වුණේ නෑ. දෙයියොත්, දෙයියෝ වගේ අයත් 'වනිතා විත්ති' පාඨකයෝ නෙවෙයි කියලා මං දැන ගත්තා!

දෙයියොත්.........
ඒ විස්තරය පත්තරයට යැවූ මාමාත්, එඩ්වඩ් මාමාත්, තවත් කිහිප දෙනෙකුත් එකතුවී "මහරගම" නමින් පත්තරයකුත් අච්චු ගැස්වූහ. මේ බ්ලොගය කොටන්නට යද්දී මං එඩ්වඩ් මාමා ගැන හොයා බැලුවෙමි. 

"අනේ නිමල්, ඔයා ඔය අහපු දේවල් අපටවත් මතක නැතිකොට කොහෙන්ද එව්වා මතක තියෙන අය හොයන්නේ? ඔන්න එඩ්වඩ් හරි හිටියා නම්..... එයත් මැරිලා දැන් අවුරුදු හතරක් විතර..... " ඥාතියෙක් කිව්වේ එහෙමය.

හරිය. හැටත් පැන්නාට පස්සේ හුඟාක් අය deposit වෙති. එතකොට කරන්නේ තියෙන දෙයක් බලා කියාගෙන, ලැබෙන දෙයක් කාලා-බීලා, යන තැනකට වැඩක් වෙන දෙයක් කරගන්න බැලීමය. 

ඉතිහාසය වමාරන්නට හිතතොත්  හිතන්නේ මං වාගේ පිස්සෙක් විතරය. 

අර කියූ මහරගම පත්තරය ගෙයින්-ගෙට ගෙනගොස් විකුණන්නට මමත් සම්මාදම් වුණෙමි. ඒකට මට කොමිස් මුදලකුත් ලැබිණි. සමහර විට මහරගම ඉතිහාසය හොයන භවතෙක් තව තොරතුරු ගවේෂණය කරගනු ඇත.

උඩින් තිබුණු ඡායාරූපයේ අපේ අම්මා වඩාගෙන ඉන්නේ සමන්ති නංගීවයි. පේව්මන්ට් එකේ රජ වෙද්දී ඒ දවස්වල මා කිව්වේ නංගිලා-මල්ලිලා හය දෙනෙක් ගැනය. කළුබෝවිල ඉස්පිරිතාලය ළඟදී ඒක හතයි කියා වෙනස් කළ ගමන්ම 'දෙනිපිටියේ වෙද මහත්තයාට' වෙනස අහු වුණේය. ඔහු පරක්කුවක් නැතිවම මාව අල්ලා ගත්තේය. 

"මෙහාට වරෙන්, මෙහාට වරෙන් පොඩි එකෝ.... උඹ පහු ගිය ටිකේ කිව්වේ උඹට බාල එවුන් හයයි කියලා නේද? කොහොමද දැන් ඒක හත වුණේ? උඹලගේ තාත්තා දිගටම ඉස්පිරිතාලේ නේද ඉන්නෙත්....."


දැන් සමන්ති නංගී පුතුන් දෙන්නා සමඟ
අහන්නේ මොකක්දැයි මට සහසුද්දෙන්ම තේරුණේය. ඒත් ඔව්වා එවැනි වැඩිහිටියෙකුට කෙළින්ම කියන්නේ කොහොමද? "වෙද මහත්තයා, තාත්තට අමාරු වුණාම විතරයි ඉස්පිරිතාලේ නවතින්නේ." මං එහෙම කිව්වේ නැත්තං වෙන්නේ 'අපේ අම්මාගෙ චරිතය' කැළැල් වෙන එකය.

වෙද මහත්තයාට ඉඟිය තේරුණේය. කෙළමෝලෙන් අනින්නට ඕනෑ වුණේ නැත. "පොඩි එකෝ, උඹ ගෙදර ගියාම අම්මලාට කියහන් ආයේ ඉස්පිරිතාලෙන් නංගිල-මල්ලිල ගේන්න එපාය කියලා." ඒ වෙද මහත්තයාගේ හැදිච්චකමය. ඒ වතාවේ නම් මං ඔව්වා කියන්නට ගියේ නැත. වරම් ගත්තු කපුවා වගේ කුලප්පුවී පස්සේ ඒක කියාපු හැටි නම් 'ගස්සලා යවමුද' පෝස්ටුවලදී කියූකොට ආපහු කිව යුතු නැත.

තවමත් මට අමතක නොවන්නේ තාත්තාගේ දර්ශනවාදයයි. අතිපණ්ඩිත කතන්දරයි. 'වැලේ ගෙඩි වැලට බර නෑ' 'උපදින කවුරුවත් බඩගින්නේ මැරෙන්නේ නෑ'. 

අනේ ඒ දවස්වල ඔය ගොන් කතන්දරවලට විරුද්ධව මට මොකුත් කියන්න බැරි වුණු හැටි!

එයා ටෙස්ටෙස්ටරෝන් නොහොත් පුරුෂ ලිංගික හොර්මෝනය යහමින් ශ්‍රාවය වුණු කෙනෙකි. අම්මා එයාලගෙ පරම්පරාවෙ විදියටම පිරිමියෙකුට පැදුර පෑගුණත් ගැබ්බර වෙන කල්ලියේය. දරුවන් පහ හය බිහි කර තිබුණු නිසා දරු ප්‍රසූතිවලදී දොස්තරලා 'ඔපරේසන් එකක් කරමුද අම්මෙ?' කියලාත් අපේ මව් යානයෙන් අහලා තිබිණි. ම්හු! තාත්තා ඒකටත් කැමැති වුණේ නැත.

පසුකාලීනව මා වටහාගත් විදියට නම් මගේ අම්මා-තාත්තා දෙන්නාම දෙමවුපියන් වීමට සුදුසු අය නොවේ!

මට පෙනෙන විදියට නම්, අද වුණත් ඉන්නා ගොඩක් දෙමවුපියන් වැටෙන්නේ ඒ ගොඩටමය. ඒත් ඒ බව පිළිගන්නට තරම් එඩිතර නැත. කවුරු- කොහොම කිව්වත් රට - ජාතිය - ආගම බේරාගන්නට වීර දූ-පුතුන් ජනිත කරවීමේ අභිලාෂයෙන් 'රමණය' කරන්නට යන්නේ කවුද? 

එහෙම 'උත්තම පුතාලා' 'උත්තම දූලා' මා නම් දැකලා නැත! එහෙම අය ගැන අහලාවත් නැත. මට හිතෙන්නෙම දරුවන් යනු අතුරු ප්‍රතිඵලයක් බවයි! ඔහොම අසමජ්ජාති දේවල් හිතෙන එකේ වැරැද්ද මගේ අතේද-ජාතකේද මන්දා?

දවසක් මරදානේ එල්ෆින්ස්ටන් එක ළඟදී මගේ රංගනය දුටු මුදලාලි මහත්තයෙක් ('කරුණාරත්න ......... ' ව්‍යාපාරය හිමියා) මගෙන් ඇඩ්‍රස් එක ඉල්ලාගෙන අපේ ගෙදරටම ආවේය. 

ඒ මාව දරුකමට ඉල්ලා ගන්නටය. එතනදී නම් අපේ තාත්තා ආත්මාර්ථකාමී වුණේ නැත. "පුතා කැමතියි නම් අපි මොකටද විරුද්ධ වෙන්නේ." කියා බෝලය මටම 'පාස්' කළේය.

"ඔයාට ඉඳහිට දවසක ගෙදරත් ඇවිල්ලා යන්න පුළුවන්. අපි ඔයාව අපේම පුතෙක් වගේ හදා ගන්නවා. මගේ සාප්පුවත් ඔයා ලොකු වුණාම ඔයාටයි. ඔයාට කොළඹ ලොකු ඉස්කෝලෙකට යන්නත් පුළුවන්....."

මම එයට අකැමැති වුණෙමි. නංගිලා-මල්ලිලාව දාලා එහෙමත් ගිහින් තනියම බුදු වෙන්නද?

දරුකමට හදා ගැනිල්ලත් එතැනින්ම ඉවර විණි. තමන්ගේ භුක්තියට ලියාගන්නේ නැතිව අසරණ දරුවෙකුට පිහිට වෙන්නට බැරිද? ඒ රත්තරන්  මහත්තයා මාව සින්නේටම ගන්න හැදුවා මිස උදව්වක් කරන්නට ඕනේ යයි හිතුවේ නැත.


ඒ අතින් නම් Solenosteiraa macrospira ගොලුබෙල්ලොත් මිනිස්සුන්ට වඩා හොඳය.
සාමාන්‍යයෙන් නම් අම්මලාටනේ දරුවෝ ගැන වැඩියෙන් උණුවෙන්නේ. මේගොල්ලෝ ගැන ඒකත් වෙනස්. පිරිමි ගොලුබෙල්ලො තමයි උන්ගෙ පැටවුන්ව ආරස්සා කරනවා කියන්නේ!

වඳුරු රංචුවකට සතුරු කරදරයක් ආ විටකදී ඔවුන් තමන්ගේ පැටියාම හොයමින් ලතවෙන්නේ නැත. අහුවුණු පැටියෙකු අරගෙන පලා යනවා මිස. අභයස්ථානයකට ගිය පසුවයි ඔවුන් තම දරුවන්ගේ පැටලිලි ඇරගන්නේ! අපට ලොකු අපේම දරුවා පමණි. අනෙක් දරුවන්ට මොනවා වුණාම මොකද, අපේ එකා බේරෙනවා නම්?

දැන් තවත් අසීරු වැඩකට අත ගහන්නට වෙලාවයි. මේකත් ඒ දවස්වල මා කළ අන්තිම සවුත්තු වැඩකි! ඒක කියන්නේ ආඩම්බරයෙන් නොවේ. ඇත්තම කියන නිසාවෙනි.

අපේ ඉස්කෝලේ කැන්ටිමක් තිබිණි. වචනය හරිද මන්දා, අප ඒ දවස්වල ඒකට කිව්වේ 'ටක්ෂොප්' එක කියලාය. ටක්ෂොප් එකේ වැඩ කළ කාන්තාව තෙරේසා ඇන්ටිය. 

තෙරේසා ඇන්ටිලගේ ගෙදරින්ම හදාගෙන එන, පැත්ත පලාතම සුවඳ ගහන සීනිසම්බෝලයක් මාව පිස්සු වට්ටා තිබුණේ ඒ දවස්වලය. සීනිසම්බෝලය විකිණුවේ නිකම්ම නොවේ. පාන් කාලක් දෙකට පලා ඒ මැද්දට දමලාය. මට මතක හැටියට නම් ඒකක් සත දොළහකි.



හවසට පේව්මන්ට් රස්සාවෙන් උපයන හැම සතයක්ම තාත්තාට දෙනවා මිස අතේ කීයක්වත් ඉතිරි කරගන්නා  පුරුද්දක් මට තිබුණේ නැත. උදේට ඉස්කෝලේ ගෙනියන්නට සත විසිපහක් දෙන්නැයි තාත්තාගෙන් ඉල්ලුවත් ඒක හරි ගියේ නැත. 

ඉතින් බැරිම තැන..... මම හවසට ගෙදර එද්දී සත විසිපහක් හංගා ගෙන ඇවිත්..... දැන් ප්‍රශ්න ගොඩකි. සත විසිපහ කාටවත් පෙනෙන්ට තියාගන්න බැරිය. උදේ වෙනකල් ඒක තියාගන්නට තැනකුත් නැත.

පළමු දවසේ කාසිය කලිසම් සාක්කුවේම තියෙන්නට හැරියත් උදේට නැඟිටින විට ඒක අන්තරස්දාන වෙලාය. 

දන්නවානේ? මට දිවිය ඥානය පහළ වෙන්නේ ඔහොම වෙලාවටය. දෙවෙනි දවසේ මං ගෙදර ආවේම වැසිකිළියට රිංගන්න බලාගෙනය. එහෙම රිංගා, සාක්කුවේ හංගාගෙන උන් සත විසිපහ බිත්තියේවූ කුස්තුරයක රැඳවීමි. අපේ වැසිකිළියේ බිත්ති අපිම මෝඩ ගඩොලෙන් බැඳ, කපරාරු නොකර තිබුණු නිසා කුස්තුරයක් හොයා ගැනීමට අමාරු වුණෙත් නැත. 

පසුවදා උදේ ඉස්කෝලෙට යන්න ඔන්න-මෙන්න කියා 'පළමුව කක්කුස්සියට - දෙවනුව පාසලට' කියා මං වැසිකිළියටත් රිංගා ආවෙමි. ඒ සත විසිපහ අරගන්නටය.

එදා මට රජ මඟුල්ය. සත විසිපහ ඕනෑවටත් වඩා වැඩිය! එදා හවසත් මං සුපුරුදු තැනම කාසිය රැඳෙව්වෙමි. පසුවදා උදෙත් 'පළමුව වැසිකිළියට....' 

දෙයියෝ සාක්කි. ඊයේ රෑ තියාපු සත විසිපහ මේ ටිකට කොහේ ගියාද? දවස් දෙක තුනක්ම හැංගූ සත විසිපහේ එව්වාට ඒ සන්තෑසියම වුණාට පස්සේ මගේ 'සීනිසම්බෝල පාන්' දොළදුක දුකෙන්ම හෙම්බත්ව ගියෙන් හොරකම නැවතිණි.

මට තවමත් දුක ඒ සල්ලි ගත්තේ කවුදැයි අදටත් නොදන්නා එක ගැනය! දන්නවා නම් ලජ්ජාවේ පණ යන එක වෙනම දෙයකි.

කමක් නැහැ. ඒ දුක අලුත් කරගෙන අදට නවතින්නම්, හොඳේ?   

2 comments:

  1. වැලේ ගෙඩි වැලට බර නැහැ කියා කියා පෝලිමට ළමයි හදන එක වෛද්‍ය විද්‍යාව නොදියුණු , මාතෘ සහ ළදරු මරණ සුලභ අවදියේදි හොඳ දෙයක් වෙන්න ඇති. ඒත් අදට ඒක ගැලපෙන දෙයක් නෙමෙයි. අනික දරුවන් යනු අතුරු ප්‍රතිඵලයක් කියන කතාව ඇත්තනෙ, එනිසා අනවශ්‍ය තරමට අතුරු ආබාධ වලින් බේරෙන්න නම් රබර් හෝ ඒ වගේ දෙයක පිහිට පතන්න ඕන :)

    ReplyDelete
    Replies
    1. අතිපණ්ඩිත අපේ තාත්තා අම්මාට ස්ථිර සැත්කමක් කරනවාටත් තරයේ විරුද්ධෙන් හිටියේ.

      Delete