අකුරු මැකී නෑ

Wednesday, August 15, 2018

වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස

දැනට අවුරුදු තිහකට විතර එහා පැත්තේ සිට මා බලාගෙන උන්නේ පනස්පහෙන් යන්නටය. ඒ කිව්වේ පැන්ෂන් යන්නට නොවේ. යටිගම් යන්නටය. එය හිතුවාට- පැතුවාට යා හැකි ගමනක් නොවේ. ඒකට වෙලාව එන්නට ඕනෑය! පිරිහෙන්නට ඕනෑය. පිරිහෙන්නට.....? ඔව්! ආයු පිරිහෙනතුරු එලොවට ගමන් බොරුය.

වෙලාව ආවේ නැත්තේ මාර දිවිය පුත්තරයා මට බෝනස් එකක් දෙන්නට හිතූ නිසා වෙන්නට ඇත. සමහර විට මා ලවා  මෙහෙම බ්ලොග් එකක් ලියවා ගන්නට හිතුවාද දන්නෙත් නැත. මට පෙනෙන්නේ නම් පනස්පහට කලින් මට 'මල්ටිපල් මයෙලෝමා' දෙන්නට බැරි වුණු නිසා වෙන්නට ඇත. මම දැන් පනස්පහ පැන්න මල්ටිපල් මයෙලෝමා රෝගියෙක්මි.

මල්ටිපල් මයෙලෝමා කියන්නේ රුධිර පිළිකාවකි.

ළමයින්ට නොවැළඳෙන එය බහුලවම වැළඳෙන්නේ පිරිමින්ටය. අවුරුදු 50 පැන්නාමය. හැබැයි මෙය විරල රෝගයකි. එංගලන්තයේ 4000 කින් එක අයෙක් මල්ටිපල් මයෙලෝමා රෝගියෙකියි සංඛ්‍යා ලේඛන කියයි.

ඒකත් මරුය. සුලබ නොවන ලෙඩකින් පෙළෙන දුර්ලභ ලෙඩෙක් කිව්වාමත් පුංචි ආඩම්බරයක් නෙවෙයිද?

හැබැයි තවමත් මට අපේ 'මව් යානය' ආදර්ශයට ගන්නට හිතෙන්නේ නැත. එයාටත් කොලෙස්ටරෝල්, දියවැඩියාව හා තව මොන-මොනවාදෝ තිබෙයි. ඉතින් අපේ අම්මාට හරි ඉහළය. "බලන්නකෝ අනේ...." කියා කෙඳිරිගාන ගමන් ඔජ වඩා පලිප්පුත් දායි.

"තුනුරුවන්ගේ සරණින් මට අරකත් තියෙනවා... මේකත් තියෙනවා." කියයි. තුනුරුවන්ගේ සරණින් ලෙඩ හැදෙන්නේ නම් එයාට විතරක් විය යුතුය. මං කැමැති සතුටුදායක දේවල් ගැන කතා කරන්නටය. අහන්න කැමැතිත් එහෙම කතාන්දරය.

මා කිසි විටෙකත් 'මගේ ලෙඩේ' යන යෙදුමවත් පාවිච්චි කරන්නේ නැත.

ඒ දවස්වල 'සුමනදාස සමරසිංහ' මහත්තයා 'ඉරණම' පත්තරයට 'මිනිස් සිතේ හාස්කම්' මැයෙන් ලිපි පෙළක්ම ලිව්වේය. (ඒ ටික පස්සේ පොත් පෙළක් ලෙසිනුත් පළ විණි.) එයින් එකක කියා තිබුණේ, කෙනෙක් මගේ ලෙඩේ යැයි කියනවා නම් අවිඥානිකව එම අසනීපය තමාට සන්තක කර ගන්නා බවකි. ඒකත් ඇත්තනේ! මොකේ අමාරුවකටද ලෙඩක් අපේ කර ගන්නේ?

සාමාන්‍යයෙන් මයෙලෝමා රෝගීන්ගෙන් 50% ක්ම පළමු වසර 3-4 අතරතුරදී මෙලොවට සමු දෙති. එතනදිත් මාර දිවිය පුත්තරයා මට චාන්ස් එකක් දීලා වගේය. මේ යන්නේ මගේ පස්වෙනි අවුරුද්දය.

ඒත් සත්‍යවාන්ගේ සාවිත්‍රී වාගේ මා මාරයාට 'මාර වංගු' දාන්නට ගිහිනුත් නැත. (අපේ අම්මාත් කෙල්ල කාලේ සාවිත්‍රී වගේ යැයි දකින අය කිව්වාලු. බලන්නකො මාව වඩාගෙන ඉඳිද්දීත් එහෙමද කියලා. එතකොටත් එයා කෙල්ල තමයි. 18 යි.)

අම්මා මාව වඩාගෙන....
සාවිත්‍රී රජ දුවකි, රූමත්කමේ හොඳම එකකි, බුද්ධිමත්කම ඊට එහාය. ඇත්තටම දැන් ඉන්න රජ-මැති-ඇමති දූලා පුතාලා සේරටම අර තුන්වෙනි එක ඇත්තෙම නැත්තේ ඇයි? නරකද කවුරු හරි විද්‍යාත්මක පර්යේෂණයක් කළොත්?

ඉතින් සාවිත්‍රීගේ අසමසම ලස්සනයි, නුවණයි නිසා එයාට ගැළපෙන කෙනෙක් හෙවිල්ල හරිම අමාරු වුණා. ඒ දැරිවිට හම්බවුණ ඉරණම්කාරයා සත්‍යවාන්. 

සත්‍යවාන්ගේ තාත්තා අන්ධයි, හිටපු රජ කෙනෙක්. සාවිත්‍රීගේ තාත්තා ඒ කසාදෙට කැමැති වුණේම නැහැ. ඒ මදිවට නාරද ඍෂිවරයා නරක අනාවැකියකුත් කියපි. "සත්‍යවාන් විවාහ වෙලා හරියටම අවුරුද්දක් පිරෙන දවසේ මියැදෙනවා!" ඉතින් සාවිත්‍රීයි සත්‍යවානුයි මහ කැලයකට ගියා, සත්‍යවාන්ගේ දෙමව්පියනුත් එක්ක.

සත්‍යවාන් කුටුම්බ සංරක්ෂණය කළේ දර කපලා. 

දෙන්නා විවාහ වෙලා හරියටම අවුරුද්ද පිරෙන දවසේ සාවිත්‍රීත් සැමියා එක්ක කැලයට ගියා. සත්‍යවාන්ට වෙනදාට නොදැනෙන මහන්සියක් දැනුණා. එයා බිරියගේ උකුල් තලාවේ සැතපුණා. එතකොට මාරයා ප්‍රාදුර්භූත වුණා. සත්‍යවාන්ගේ පණ කෙන්දත් අරං, ඒක තදින් මිටේ හිර කරගෙන යම ලෝකයට යන්න පිටත් වුණා.

සාවිත්‍රී නෙවෙයි පස්ස ගැහුවේ. එයාත් යම රජු පස්සෙන් යන්න ගත්තා. සාවිත්‍රීව ආපහු යවන්න මාරයා පුදුම විදියට දඟ කෑවා. ඒ හැම සැරේකම සාවිත්‍රී එයාගෙ නැණ බලය පෙන්වමින්, උපායශීලීව යම රජුගේ හිත දිනාගත්තා.

"මං ඔබ ගැනයි, ඔබෙ අදිටන් සහගත බව ගැනයි පැහැදුණා. එනිසා මං ඔබට එකම එක වරයක් දෙනවා. හැබැයි සත්‍යවාන්ගේ ප්‍රාණය ඉල්ලන්න බැහැ." අන්තිමේදී මාරයා කිව්වා. සාවිත්‍රී යමරජතුමාට ප්‍රණාමය පුද කළා. දෙවරක් නොහිතාම වරය ඉල්ලුවා.
  

''සත්‍යවාන්ගේ තාත්තාට එයා හිටිය රටේම සිංහාසනයේ වාඩිවී හිඳිමින්, මම පතිවත රැකගත් ළඳක් ලෙසින් පුතුන් සිය දෙනෙකුගේ මෑණියන්වී ඉන්න හැටි බලා ගැනීමේ වාසනාව උදා කර දෙන්න!" three in one. කොහොමද ටිකිරි මොළේ?

මිනිස්සුන්ට පෙනෙන්නම ඇවිත් කෙළවාගත් නිසාද දන්නේ නැහැ දැන් මාරයා 'යම' වේශයෙන් එන්නේ නැහැ. 

එන්නේ 'කුමාර' වේශයෙන්. වතාවකට 'පොෂ් වාහනවලින්...' විස්කි බෝතලේට උණු කර නිවාගත් සීතල වතුර පුරවාගෙන. කැසිනෝ ක්ලබ්වලදී, hifi තැන්වලදී වගේම මුහුදු වෙරළවල් වගේ මනස්කාන්ත තැන්වලදිත් තමයි පෙනී හිඳින්නේ.

මයෙලෝමා රෝගය සෑදුනු විට පිළිකාමය ප්ලාස්මා සෛල බෝන් මැරෝවල (ඇට මිදුළු තුළ) පිරෙයි. එවිට රතු රුධිරාණු නිපදවීම අඩාළ වෙයි. එහි ප්‍රතිඵලය වන්නේ 'රක්ත හීනතාවය- රුධිර ගලනය- ඇටකටු දිරා යාම- අස්ථි බිඳීම- වකුගඩු රෝග ඇතිවීම- සිහිසන් නොමැති වීම' වැනි තත්වයන් ඇති වීමයි! ඒ විදියට බලද්දී එය 'ලෙඩක් නොව මහ ඉස්පිරිතාලයකි.'

2017. 10. 24- අද දවල්ට කෑවේ කුරහන් තෝසේ හතරක්. කිරට උයාපු බෝල්ලු කරියකුයි, කුරිඤ්ඤං කොළ සම්බෝලෙකුයි එක්ක.

මේ මොන මරාලයක්ද? දැන් බ්ලොග් එක කුස්සියට යන්නද හදන්නේ? සමහර විට ඔබ සිතන්නට ඇත. සාධාරණය, එහෙම හිතීම හරිම සාධාරණය! 

ඇත්තෙන්ම මා මුලින්ම බ්ලොගයක් ලියන්නට හිතුවේ මට නිර්දේශිත කෑම පිළිබඳවය. ඒ නිර්දේශිත කෑම පිළිකා ලෙඩුන්ට විතරක් නොවේ, කාටත් හොඳයි කියා හිතුණු හින්දාය.

ඒත් එහෙම බ්ලොගයක් කෑම තරමටම රසවත් නොවනු ඇතැයි මට හිතුණේ වචන දහස් ගණනක් කෙටුවාටත් පස්සේය.

ඒ අතරේම ඩී.බී. කුරුප්පු  මහතා මගෙන් කළ ඉල්ලීමකුත් යළි-යළිත් මනසේ නලියන්නට විණි. මගේ ජීවිත කතාව ලිවිය යුතු යැයි හිතා, කිහිප විටක්ම එය පටන් ගෙන අත හැරලාත් හිටි මට 'නවමු සිතිවිල්ලක්' පහළ විණි.

ජීවිත කතාව කියවෙන බ්ලොගයක්! පංච තන්තරේ ආකෘතියට.... 

මට හිතෙන්නේ බ්ලොගය කියවන රසික හිතවතුන්-හිතවතියන් රැසක් තෘප්තිමත් කරන්නට එය සමත්වූ බවයි. 

අප්‍රේල් 01 වෙනිදා බ්ලොගයේ පළමු පෝස්ටුව ‘පබ්ලිෂ්’ කළේ හරියටම මාස හතරක් වෙද්දී 'හිට් කවුන්ටරය' 9,999 ක් වෙතැයි හීනෙකින්වත් හිතේ තියාගෙන නොවේ.

(ඒ ජුලි 31 වෙනිදා වන විට ‘නිදිගේ පංච තන්තරේ’ පිටු පෙරලා තිබුණු වාර ගණනයි. දැන් ඒක 11,746 කි. 

එච්චර ඉක්මනට හිට් කවුන්ටරය කැරකෙන්නේ ‘හැලප කඩේ, අටම්පහුර, අඹ ගහ යට, කට්ටකාඩුව, කොළොම්පුරේ, මාතලන්, මාතලන්ගෙ සින්ඩිය, මාරයාගේ හෝරාව, වාසිතය, වියුණු තුන්සිය ගණනක් එකම තැනක, අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය, සක්ඛාය දිට්ඨි, අහසෙන් එන්න' වාගේ සින්ඩි හා බ්ලොග්ස් බොක්කෙන්ම මට අත-හිත දුන් හින්දාය!

එව්වායේ කිසිවකු මම නාඳුනන්නෙමි. එහෙත් එව්වායේ ඇත්තෝ කෝඩුකාර මා දිරි ගැන්නූහ. ඔයාලා සේරටම ස්තුතියි! හොඳේ.)

ඉතින් දැන්වත් මට කුස්සියට යන්නට අවසරද?

බිත්තරයක් කඩලා වීදුරු බෝල් එකකට දාගන්න. ඒකට සීනි තේ හැඳි කාලක්, ඊස්ට් හෝ ආප්ප සෝඩා සුඟක්, කුරක්කන් පිටි මේස හැඳි 3 ක් (හෝ වටානා පිටි හැඳි 3 ක් වුණත් අරගන්න පුළුවනි.) හා ලුණු කුඩු ටිකක්, උළුහාල් කුඩු ටිකක්, අබ කුඩු ටිකක් එකතු කරලා හොඳට මිශ්‍ර කරන්න. කැමැතියි නම් පොල් කිරිත් දාගත හැකියි. 

මම නම් හීනියට කපාපු බී. ලූනු ගෙඩියකුයි- කරපිංචා කොළ ටිකකුයිත් ඒකට දානවා. දන්නවනේ තෝසේවලට පිටි අනන පදම. කොකිස් පදමට වැඩිය උකුයි, හොඳේ. ඔය ටික වහලා, පිපෙන්න පැයක්- දෙකක් තියෙන්න අරින්න.

මං උයද්දී වුණත් තෝරාගන්නේ ෂෝට් කට්ස්. හුඟක් අය ආප්ප, තෝසේ හදද්දී එකින්-එකට තාච්චියේ තෙල් ගානවා. ඒ වෙනුවට මං අර පිටි මිශ්‍රණයටම තෙල් දාලා කලවම් කරමින් ගන්නවා. කරලා-හදලා බලලා රහ කියන්නකෝ! ඔය කිව්ව ප්‍රමාණය එක්කෙනෙකුටයි.

ඇයි මෙහෙම හදාගන්නේ?
  
අක්ෂි වෛද්‍ය විශේෂඥ අයස්මන්ත පීරිස් මහතා දකුණු කෙලවරේ... 
අපේ අයස්මන්ත මහත්තයා අක්ෂි විශේෂඥයෙක් වුණාට එකම තැන ලැගගෙන වමාරා කමින් ඉන්න කෙනෙක්  නෙවෙයි. නිතරෝම දැනුම හොයාගෙන යනවා! 

"අයියේ, ඔයාගේ ට්‍රීට්මන්ට්ස් ගන්න අතරේම වැඩක් කරන්න ඕනේ. කැන්සර් සෙල්ස්වලට ජීවත් වෙන්න නම් ග්ලුකෝස් ඕනේ. ග්ලූකෝස් නැතිවෙච්ච ගමන් එව්වාට පවතින්න බැහැ. ඔයා කිරි, පිටි, සීනි, බත් විතරක් නෙවෙයි - පිටි එළවලු ජාතිත් කන එක නවත්තන්න ඕනේ!" අයස්මන්ත මට කිව්වා.

එච්චරයැ? නෑ නෑ නෑ!!!

"කන-බොන සේරම පැය අටක් ඇතුළත කරන්න ඕනේ. අයියා දන්නවද? ඉස්සර මිනිස්සුන්ට ලෙඩ අඩු වෙන්න එක හේතුවක් තමයි දවසේ වැඩි හරියක් තිස්සේ ෆාස්ටින් කිරීම!"

දැනටමත් 'ෆාස්ටින් කිරීම' නොහොත් උපවාස කිරීම ගැන (රස කතන්දරයක් 'වස් කවි කීම' පෝස්ටුවේදී) ඔබ කියවා ඇත. ඒත් මේක ටිකාක් වෙනස්ය. 

වෙනස් වුණත් කමක් නැත. මැරෙන්නට කලින් 'ගිනියා පිග්' කෙනෙක් නොහොත් 'රසායනාගාර මීයෙක්' වෙන්නට හිත හදා ගත්තෙමි. ඒ දිගටම ප්‍රතිකාර ලබමින් ජීවිතයේ එල්ලී ඉන්නට මට ආසාවක් නොවුණු බවිනි. පේනවාද? පළමු වටයේ ට්‍රීට්මන්ට්ස් නිසා මට වුණු දේ.

2014 ඔක්තෝබර් 14 වෙනිදා ගත් ෆොටෝ කෑල්ලකි
සාමාන්‍යයෙන්; සරලව කියනවා නම් පිළිකාවක්‌ යනු අපේ සිරුරේ ක්‍රියාකාරකම් අඩපණ කරන සෛල රැසක් ඇඟේ ඇතිවීමයි. ප්‍රතිකාරවලට දෙන බෙහෙත්වලින් කෙරෙන්නේ ඒ අලුතින් ඇතිවන සෛල විනාශ කිරීමයි; ඒවා මරා දැමීමයි. 

අවාසනාව නම් ඒ සඳහා ලබාදෙන ඖෂධවලින් පිළිකා සෛල පමණක් නොව සිරුරේ අලුතින් ඇතිවන සියලුම සෛල මිය යාමයි. එහෙම වෙද්දීය රෝගියා 'හාන්චි පයිස්' වෙන්නේ!

උඩින් ඔබ දුටු ෆොටෝ කෑල්ල මා එහෙම වී හිඳිද්දී ගත් එකකි. මුලින්ම නම් මා ඊටත් වඩා බියකරුය. පිළිකාව නිසා මගේ හිත කඩා වැටුණේ ඒ දවස්වලය.

මා හිටියේ 'අපේක්ෂා' රෝහලේ වාට්ටුවකය. හරි හැටි ඇවිදගන්නට, කෑමක්-බීමක් ගන්නට, නිඳාගන්නට බැරිව හිටි මට හුස්ම ගන්නටවත් පණක් තිබුණේ නැත. ඉඳහිට පණ නැතිකම නිසාම නින්දට වැටුණත් ටිකකින්ම ඇහැරෙයි. එදාත් මට එහෙම කෙටි නින්දක් ලැබී තිබිණි.

කවුදෝ මගේ ඇඟෙන් අල්ලා සොලවමින් මා කූද්දයි. මට හීනෙන් වාගේ වුණත් හිතුණේ තව කාටදෝ කතා කරන බවයි. ඇහිපිය බරට-බරේ දැනෙද්දීත් මං ඇස් ඇරියෙමි. ඇමේසන් යෝධියක් විතර ලොකු, උස-මහත සීදේවී නර්ස් කෙනෙක් ඇඳ ළඟය. ඇහැරවන්නෙත් මාවය. කතා කරන්නෙත් මටය. ඒ සේරම හරිය. කියාපු විදිය නම් අන්තිම සවුත්තුය.


"සීයාට නිදිමත වුණාට මේ බෙහෙත් ටික බීලා ඉන්න ඕනෑ!"

මං සීයා කෙනෙක්ද? හොඳවයින් දෙකක් කියන්නට හිතුණත්, කටට කොහෙන්ද පණක්? දෙවෙනි වතාව අරිට හපන්ය. ටිකට් කැපුවාට පස්සේ සුනිල් බලෙන්ම මාව එහෙට පටවාගෙන ගියේය. "තමුසෙට තනියම ඉන්න දෙන්න බෑ අයියේ. ඕනිම නං ටික දවසක් අපේ ගෙදර ඉඳලා ඇවිත් යමු. ටිකක් පණ ගහලා ආවට පස්සේ...."

මගේ සහෝදර-සහෝදරියන් කවුරුත් එකම උදරයෙන් ආපු උන්ය. 

එහෙම සහෝදරයන් වුණත් චූලෝදර, මහෝදර දෙන්නා මැණික් පුටුවකට තණ්හාවේ යුද කළහ. ගැමුණු, තිස්ස අයියලා මල්ලිලාත් එහෙමය. 

යුද්ද කළා විතරක්ද? සිංහලයන්ම දහස් ගණනක් මළාට පස්සේ, පැරදුණු එකා දෙමටමල් විහාරයේදී පණ බේරාගෙන පැන ගියේ හාමුදුරුවරුන් හතර දෙනෙකුගේ කර මතිනි. 

ඒ අතින් දැන් ඉන්නා සංඝයා වහන්සේලාත් පූර්වජයන් අනුගමනය කරන්නෝය. පැරදුණු එවුන් උස්සගෙන යනවා විතරක් නොවේ; වන්දනා කරනවාත් වගේය. ගණින්නාන්සේලා මෙන් 'කන්ට සූත්තරත්' දෙසා වදාරති!
  
දෙමටමල් විහාරය - ඔක්කම්පිටිය
සුනිල් විතරක් නොවේ. අනෙක් මල්ලිලා, නංගිලා හැමෝමත් මට සලකන්නේ හරිම ඉහළිනි. අවුරුදු හතක්ම පිළිකාවෙන් පෙළෙමින් උන් මල්ලිකාට; සුනිල්ගේ බිරියට ඇප-උපස්ථාන කරලා ඔහුට හොඳ පළපුරුද්දකුත් තිබිණි. "අයියව අපේ ගෙදර එක්කගෙන යන එක තමයි හොඳම දේ! සැරින්-සැරේ ඉස්පිරිතාලෙට එක්කං එන්නත් ළඟයිනේ!"

මට වෙන choice එකක් තිබුණෙත් නැත, සුනිල්ට කීකෝරු වෙනවා මිස.

එහාට ගිය ගමන් මම ඇඳට වැටුණෙමි. නින්දක් දමා පිබිදී මා නාන කාමරයට ගියේත් ගාටමිනි. මුහුණට වතුර දෝතක් ගහගෙන කණ්නාඩියට එබුණා විතරය. සත්තෙන්ම මා භ්‍රාන්ත විණි. 'කවුද යකෝ මේ අඟහරු ලොවින් ආ භූතයා?'

ඉතිරිය ඉස්සරහට.  

3 comments:

  1. පිළිකාව එක්ක අපේ පවුලේ තියෙන අමිහිරි ඉතිහාසය නිසා කියවන්න බොහොම අකමැති මාතෘකාවක් උනත් හිත හදාගෙන කියවනව !

    ReplyDelete
    Replies
    1. මොනවා කරන්නද මහත්තයෝ! අපේ පවුලේ හතරවෙනියා මාස 4 කට කලින් ගියා. ලොකු මල්ලී සුනිල්ගේ බිරිය මල්ලිකා 2013 ගියා. සමන්ති නංගිගේ මහත්තයා බිමල් මාස 5 කට කලින් ගියා. සේරම පිළිකාවෙන්....... සමන්ති, මං දෙන්නා මලහමත් මරණයට හේතුව පිළිකාව කියලා ලියවෙයි වගේ!

      ඔන්න අපේ ඉතිහාසේ!!

      Delete
    2. අපේ පවුලෙත් තුන් දෙනෙක් එක්ක විඳවල මදි හින්දද කොහෙද මගේ අල්ලපු මේසෙ වැඩ කරන කොලුවගෙ (අවුරුදු 35) Brain Tumor ඒකක් අයින් කරා. දැන් කීමෝ තෙරපි එක්ක Partial Paralysis එකට බෙහෙත් සහ Physio Therapy යනව :(

      Delete