අකුරු මැකී නෑ

Friday, August 17, 2018

සිඳු දකින සඳ - පළමුවෙනි කොටස

මාතුපෝසක ජාතකයේ කියැවෙන විදියට නම් මහ බෝසතාණෝ අම්මාවත්  කරේ තියාගෙන ඉම-කොන නොපෙනෙන මහ සාගරයේ පීනුවෝය. අපේ සීයා මාවත් කරේ තියාගෙන ඒ වාගේම පිහිනුවේය. ඊට පස්සේ සුනිල්වය. සුනිල්වත් කර තබාගෙනය! බෝසතාණන් පිහිනුවේ මොන සාගරයේද කියලා බණ පොත් එකකවත් නැත. වස වැරැද්දකි. 

ඒ කාලයේ සංසාර සාගරයටය වැඩි තැනක් දුන්නේ. ඒකත් එක්ක බලද්දී මහ සාගරයත් සාගරයක්ද? අද එහෙම බැරිය, සසරින් එතෙර වෙන්න කලින් මෙතෙරින් එතෙර විය යුතුය. ඒ නිසා කියමි, අපේ සීයා අපව කර තියාගෙන පිහිනුවේ ඉන්දියන් සාගරයේය!

මේ පෝස්ටුව ලියවෙන්නට තිබුණත්, ඒක මෙච්චර කලින් ලියවේයැයි හිතේ තිබ්බේ නැත. කොහෙද, අපේ මානෙල් නංගී අද (2018.8.12) උදෙන්ම ටෙලිෆෝන් කළාය.

මානෙලුයි සකුණියි  
“ලොකා, අනේ අද දීපාල්ලගේ ගෙදර යං. සකුණි ඊයේ ඉඳලා ලෑස්ති වෙනවා. ඔයාගේ චිත්‍රයකුත් ඇඳලා, කොකු සීයට පෙන්නනවා කිය-කියා බලන් ඉන්නවා. එන්න, හොඳේ. මං ඔක්කොටම කෑම උයාගෙන එන්නම්!...... අනෙක පොඩියයියලත් අද එනවනේ.”

ඒ ටිකේම ‘ඇම’ අහුරකි! එක ඇමක් නොගිල්ලත් අනෙකක් හරි ගිලින්නට හිතෙයි. 

සකුණි එකය. සකූ මානෙල්ගේ මිණිබිරියයි. මානිගේ පුතා ලලීන්ද්‍ර ශ්‍යාමන් පණ්ඩිතගේගෙ දියණියයි. දැන් චූටි කෙල්ල මොන්ටිසෝරි යයි. ඉතින් හරිම පණ්ඩිතය. ඒකිට දිසානායකකමුත්, පණ්ඩිතකමුත් දෙකම අඩු නැතිව දායාද වෙලාය. සකුණි මා එක්ක කුළුපගය. ඒ මදිවාට හුරතල්ය.

“සකූ තමයි මෙයාට හරියටම ගැලපෙන නම දමලා තියෙන්නෙ.” තිස්සෙම මගෙත් එක්ක කොකු දමාගන්නට සැරසී සිටින නෙවිල් කියයි. 

ඔයාලා මෙච්චර මා කොටන පෝස්ටු කියවලාවත්, මා නිස්කාරණේ කොකු දමාගන්න තැනක් හෙම දැක්කාද? මං වලියට බරද? නෙවිල්ගෙන් නම් ඒක අහලා වැඩක් නැත. ඒකා තවම මගේ බ්ලොගයේ එකම පෝස්ටුවක්වත් කියවා නැති බව මට සහතික හින්දාය.

දෙවෙනි ඇම කෑම උයාගෙන එන්නං කීමය. 

අපි දීපාල්ලාගේ ගෙදර යන්නේ කෑම උයාගෙනය. පීයාට ‘උයනු’ බැරිය. හැබැයි දරුවන් බිහි කරවීම වගේ භාරධුර වැඩ පුළුවනිය. ඇගේ රස්සාව ‘midwife’ය; එංගලන්තයේය. මේ දවස්වලත් එහෙ ගිහින්ය. ඒ වසරකට වැඩ කළ යුතු පැය ගණන කවර් කරන්නටය.

දරුවන් බිහි කරවීම
ඇයට ඩ්‍රයිවිනුත් පුළුවනිය; ‘driving mad’ කරන්නට ඊටත් වඩා අපූරුවට පුළුවනිය. ඒ ප්‍රශ්න අහලාය. අනෙක් අයට කෙසේ වෙතත් පීයා අහන ප්‍රශ්න මාව නම් පිස්සු වට්ටන එව්වාය. ඒවාට උත්තර නොදුන්නත්, මඟ ඇරියත් උන්දෑට ගණනක් නැත.

මේ මුළු සක්වලේම විතරක් නොවේ, අනන්තාපරිමාණ චක්‍රවාටයන් ගැන වුණත් පීයාට ප්‍රශ්න ඇත. මට තියෙන්නේ එක ප්‍රශ්නයකි. ඒ ප්‍රශ්නවලට ඇට්ටි හැලෙන්න දෙන්නට උත්තර දන්නවා වුණත් ඉංගිරිස් නොදන්නාකමය!

මානෙල් කොට්ටාවේ, හොරහේන පාරේ, එයාලගේ ගෙදරම පොඩි කෑම කඩයක් කරයි. උදේටයි, දවල්ටයි විතරය. ටිකක් ෆේමස්ය. 

රෙගියුලර් කස්ටමර්ලා නම් ‘ඇන්ටි, රෑටත් කඩේ අරින්නකෝ’යි ඉල්ලුවත් මානි ඒක කරන්නේ නැත. ඉරිදාටත්, නිවාඩු දවස්වලටත් කඩේ වහලාය. “මටත් නිවාඩුවක් එපැයි” මානෙල් කියයි. 

නිතරෝම කෑම අත-පත ගෑවෙන නිසා ඒ අම්මණ්ඩි කන්නේ නැතිම තරම්ය. කන්නේ කොහොමද? දවසට කිරි කහට නම් හත-අටක්වත් බොද්දී. ඒත් මා හදන සුකුරුත්තන් කෑම නම් කන්නට බඩේ ඉඩ හදා ගනී!

ඉතින් අපේ පවුලේ අයගෙ එකතුවකදී මාත් මොනවාම හරි හදනවාය. විශේෂයෙන්ම, එතකොට මානිත් බඩට මොනවා හරි දමාගන්නා නිසාය.

“මොනවද හදන්නේ?”

“ලොකා, අපි ඉස්සර සීයත් එක්ක මුහුදෙ නාන්න යද්දී ආච්චී උයලා දෙන විදියට හදමුද?” මානෙල් ඇහුවාය. ඒ විදියට නම් හරිම සරලය. බත්, පරිප්පු, පොල් මැල්ලුම්, තක්කාලි-බී ලූණු තෙල් දමලා.

සීයා, සුනිල්, ආච්චී හා මල්ලිකා 
අනේ, දිසානායක හේවාගේ චාර්ල්ස්සුත්, දසනායක රත්නවතීත් දෙන්නාම නිර්වාණ සම්පත්තියම ලබන්නට ඕනෑය. ඒ තරමටම දේවල් එයාලා අපේ වෙනුවෙන් කරලා තිබෙයි. 

ඒ අතින් බලද්දී එයාලට වෙන දරු මුණුබුරෝ හිටියේ නැති එක අපේ luck එකය. අපේ තාත්තා එයාලගේ එකා යකාය. ඒත් ඒ එකාගෙන් මුණුබුරු-මිණිබිරියෝ දහයක්ම දායාද වුණාම? ඒ ගැන සලකද්දී නම් අපේ තාත්තා නොට්ටිගේ පුතෙකි. එයා කළේ එයාගෙ තාත්තා කළ දේ නෙවෙයිනේ.

ආච්චීට අපේ තාත්තාව ඉපදුනාය කියන්නෙත් ආච්චිලා කසාද බැඳලා අවුරුදු ගණනකට පස්සෙලු. ඒකත් රටේ තියෙන තරම් ශාන්ති කර්ම, බාර-හාර, තොවිල්-පවිල් සේරමත් කළාට පස්සෙලු. අන්තිමට කළාය කිව්වේ ‘කලස් බැඳිල්ල’ද මොකක්දලු!

“ඈ ආච්චියෙ, සීයයි ඔයයි කසාද බැන්දෙ යාළු වෙලාද?” දවසක් මං ආච්චිගෙන් ඇහුවා මතකය.

“අපෝ, අපේ කාලේ ඔය ‘ලෙව්’ කිරිලි තිබ්බෙ නැහැ ළමයෝ. අපේ ගෙදරින් කතා කරලා දුන්නේ.” ආච්චිගේ උත්තරය මට විතරක් නෙවේ, එතන හිටි සුනිල්ටත් තාම මතකය. ඒ අර ‘ලෙව්’ හින්දාය. සීයා ආච්චිව බලන්නට ගෙදරට ආ දවසේ ආච්චී ‘අනාගත සැමියාව’ බලා ගත්තේ දොරත්, උළුවස්සත් අතර හීනි තීරුවේ ඉඩ අතරින්ලු. (වෙන ආච්චිලා එක්ක නම් ඔහොම කතා ‘සුම්මා’ නේද?)

සීයා තරුණ කාලේ නම්....
සීයා තරුණ කාලේ නම් හැන්ඩියෙකි; කුකුළෙකි. (එයින් එකක් ‘නීච කුමන්ත්‍රණේ’ පෝස්ටුවේ ලියා ඇත.) වයසට යද්දී නම් ඇඳුම්-කැඩුම් ගැනවත් එච්චර උනන්දු වුණේ නැත. ඒත් හදිසියෙන් හෝ ඇට්හෝම් ගෙදරක යන්නට වුණොත් නම් ලේසියෙන් යන්නේ නැත.

එදාට අනිවාර්යයෙන්ම නාන්නේය. රැවුල කපන්නේය. සරම, කමිසය හා කෝට් එක විතරක් නෙවේ ලේන්සුවත් තිතට මැදලා තියෙන්න ඕනෑය. හුඟ දවසක කෝට් සාක්කුවේ ‘පෝන්ස්’ වැලෙන් කඩාගත් ඉත්තකුත්, රෝස පොහොට්ටුවකුත් ගහන්නත් ඕනෑය. ඒ සැරසිලි සේරම ආච්චිම කරයි. 

එහෙම එක්කෙනෙකුට (තුම්පනේ, මාතර, බදුල්ල කියලා වෙනස්ය- පෝස්ටුවෙදී කොටා ඇති විදියට) අපේ සීයා කොච්චර කොටු පැන්නත් ලොකූ ‘ගේහසිත ප්‍රේමයකින්’ බැඳී හිඳීමත් පුදුමයක් නෙවෙයි නේද?

ආච්චි දරු මුණුබුරන්ගෙන් වැඩියෙන්ම ආදරෙන් හිටියේ සුනිල් ගැනය. මං හිතන්නේ සුනිලා පුංචි කාලේ කළු නිසාත්, මං වාගේ හැමෝටම වඩාගන්න හිතෙන විදියක් තිබුන්නැති නිසාත් වෙන්න ඕනෑය.

ඊළඟට අජිත්ය. මිණිබිරියන් සම්බන්ධයෙනුත් එහෙම පෙනුණු නිසාය මා මේ නිගමනයට එන්නේ. ආච්චිගේ favourite කෙළිත්තිය සමන්ති නංගීත් ටිකක් කළුය. (ඒත් ලොකු වුණාම සිත්කලුය. මා වැඩියෙන්ම ප්‍රිය කරන ‘මස්සිනා’ අහිංසක ‘බිමල් මහේන්ද්‍රභායි පටෙල්’ ඒ සිත්කලුකමට වහ වැටීමේ වන්දිය තවමත් ගෙවනවාය කියා සෑම්ව අවුස්සයි!)
  
ඩ්රූ, සෑම්, බිමල් හා පවන් 
සෑම් නොහොත් සමන්ති ඒ කාලයේ බලාගෙන උන්නේ කොයි මොහොතේ අපේ ආච්චී මැරේවිදැයි කියලාය. ඒ ආච්චී මියගිය පසු ඇගේ ‘පර්ස්’ එක අයිති කර ගන්නටය. “ඔන්න ආච්චී මැරුණට පස්සේ පර්ස් එක මටයි!” සෑම්, ඔයාට ඒක මතකද?

ආච්චිලා මුලින්ම අපේ සුනිලාව හදා ගත්තෝය. පුංචි කාලේ සුනිල්ට කුරුමිණි මාන්දම හැදිලාත් හිටියාලු. ඒක සනීප කරගත්තේ ‘එළු කිරි බස්නෙත්’ දීලාලු. 

ඒක ‘බෂ්මයක්’ බව දැනගත්තේ පස්සේ කාලේකය. ඒත් අපි රණ්ඩු වෙද්දී නම් ඔය බස්නෙ කතාව නිතරෝම ඇදලා ගත්තෙමු. “අනේ පලයං බං, උඹ ඉතිං එළු කිරි බස්නෙ බීලා හැදිච්ච එකානෙ.” ඒක මගේ දිනුම් පදයක්ය. ඒ වෙලාවට සුනිල් අඬාගෙන ගිහින් ආච්චීට නඩුව කියයි. සමහර වෙලාවට ආච්චී නඩුව ‘සුපිරිම්කෝට්’ එකටත් ගෙනෙයි. එතකොට නම් මට තාත්තාගෙන් හෝ අම්මාගෙන් සබ්බුව තමාය.

එහෙව් සහෝදරයා; සුනිල් දැන් ඉන්නේ හතීකරේ බලංගොඩය. අදත් එයයි, ඈනුයි දෙන්නා කොළඹ එන බව මටත් කීවේ ටෙලිෆෝනයෙනි. ඒක මානිගේ තුන්වෙනි ඇමය.

පීලි පැනලා ආව දුර වැඩිද මන්දා? ඕං ආයෙම ‘මුහුදෙ නාන කතාවට’. අප නාන්නට ගියේ දෙහිවලටය.


මහරගම ඉඳලා දෙහිවලට ඇත්තේ කිලෝ මීටර් 9 ද කොහෙදය. ඒ දවස්වල දෙහිවලත් නුගේගොඩත් අතර 118 බස් දිව්වේය. ඒ කළුබෝවිල හරහාය. 119 මහරගම - පරණ පාර ඔස්සේය. දැන් නම් දෙහිවලට යන්නට තියෙන්නේ 119 මහරගම - දෙහිවල බස්ය. 119 මහරගම - නුගේගොඩ කියා වෙනමම බස් දුවයි.

“ඔන්න මං කියන විදියට දෙන්නා රණ්ඩු නොකර හිටියොත් මුහුදෙ නාන්න එක්කං යනවා!” ඉස්සරෝම එක දවසක් අපේ සීයා සුනිල්ටත්, මටත් පොරොන්දු වුණේය. අපිත් සීයා කියූ විදියටම උන්නෙමු.

ඒ කිව්වේ රණ්ඩු නොකර හිටියා කියලා නොවේ. සීයලාට පෙනෙන්න රණ්ඩු නොකර, හොරෙන් රණ්ඩු කළා කියන එකය. හැබැයි එදා ඉඳලා හැමදාම, දවසට තුන්-හතර වතාවක්වත් අයියයි මල්ලියි දෙන්නාම හරිම එකමුතුවෙන් එක ප්‍රශ්නයක් සීයාගෙන් ඇහුවෙමු. “කවද්ද සීයේ අපි මුහුදු යන්නේ?”

නිමක් නොවෙන අපේ ඇහිල්ල වදයක් වුණේ ආච්චීටය. “ඔහේමනේ උන්ට කිව්වේ. කිව්වා නම් එක්ක යනවා.....” ආච්චී සීයාට ගෝරනාඩු කළේ අපේ ඉස්මුදුනේ මල් පුබුදවමිනි.

“එහෙනම් එදාට බත් ටිකක් උයලා දෙනවා!” සීයා ආච්චිටත් රාජකාරියක් පැවරුවේය. වැඩේට හරියටම මුල පිරුණේ එහෙමය.

සීයයි ආච්චියි දෙන්නාම එකතුවී දවස තීරණය කරන්නට ඇත. සුනිලුයි මායි දෙන්නා අවරෝහණ ගණන් කිරීම පටන් ගත්තෙමු. තව දවස් හතයි.... හයයි... පහයි.... දවසක් ගෙවෙන්න කල්පයක් ගියා වගේ අපට දැනුණේ නැත. දැනුණේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් ගියා වගෙය.

අප මහ බෝසතාණෝ.....
“..... අප මහ බෝසතාණෝ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් දස පාරමී පෙරුම් දම් පුරා.....” ඔය වගේ දේවල් නිසා මාත් ඒ දවස්වල ගණන් බැලුවේ එහෙමය. කය මිස සිත නැති ලෝක, සිත මිස කය නැති ලෝක අපේ ආච්චී අපේ ඇස් පනාපිටම මවා පෙන්නුවේ යස අපූරුවටය. අන්තිමට ගමන යන්නේ හෙටයි කියා තියෙද්දී ආච්චී ගෙනෙන්නට ඕනෑ දේවල් සීයාට කිව්වාය. අනේ, සාදු! ඉතින් නම් වැඩේ කෙරෙන බව අපි දෙන්නාම ගනිච්චියට ගත්තෙමු.

හැම පොඩි එකාම වාගේ හිතනවා ඇත්තේ එකම විදියටය. උන්ගේ ලෝකය සීමාසහිතය. අහිංසකය. ඒ අහිංසකකම නැති කර දමන්නේ, විනාශ කර දමන්නේ වැඩිහිටියන් වන අපය; ළමුන්ගේ ළමාකම වටහා නොගන්නා අපය. අනෙක් පැත්තත් ඒ වාගේමය. සමහරුන්ට ළමයින් කවදාවත් වැඩුණු අය ලෙස නොපෙනෙයි.

1985 මා එංගලන්තයට ගොස් සිටියදී පැවත්වුණු  නඩු විභාගයක් ගැන සෝදිසියෙන් සිටියෙමි. නඩුව විභාග වුණේ අම්මෙකුට විරුද්ධවය. චෝදනාව අවුරුදු දොළහ පිරුණු දෝනියන්දෑට වෙනම යතුරක් නොදීමය. එහෙම කළ යුතුයැයි තීන්දුව ලැබිණි. අවුරුදු දොළහ පිරෙද්දී ඒරොප්පේ අම්මලා දූවරුන්ට කියා දෙන්නේ ගැබ් ගැනීම වළක්වන ඖෂධ පිළිබඳවයි. ආරක්‍ෂිත ලිංගික ඇසුරක් පැවැත්වීම ගැනයි.

ගැබ් ගැනීම වළක්වන....
අපි ඕවාට නැත. ඒ ‘හැදිච්චිකම’ නිසාම වසරකදී මේ සිරි ලංකාවේ ගබ්සා කිරීම් 36,500 කට වඩා සිද්ධවෙන හැටි ‘ගස්සලා යවමුද?’ පෝස්ටුවලදී ලිව්වෙමි! ආනේ ඇත්තද?

ඇමරිකාවේ දරු උපත්වලින් 40% ක්ම අවිවාහක මව්වරුන්ට ඉපදෙන දරුවන්ලු. 

අනේ අපේ එහෙමත් නැත. ඊයේ You Tube එකේ තිබුණු අපූරු සාකච්ඡාවක් දකින්නට ලැබිණි. ශර්මි කුමාර් සමඟ පැවැත්වූ එකකි. හෙඩිම 'ඔව් මම ගණිකාවක්'ය. ඇගේ එඩිතරකමත්, නිර්භයකමත්, සත්‍යවාදීකමත් මගේ නම් හිතට ඇල්ලුවේය. (සමහර වෙලාවට දහබලු වැඩ කරන පුරුද්ද හින්දා මට හිතුණේ ලිට්මස් පරීක්ෂාවක් කරන්නටය.) 

මම මුට්ටිය දමා බැලුවෙමි. මගේ සැකය හරිය.

මම මගේ FB එකවුන්ට් එකට ශර්මි කුමාර්ගෙ ඉන්ටර්විව් එක ෂෙයාර් කළෙමි. මේ වනතුරුත් කිසිම ෆ්‍රෙන්ඩ් කෙනෙක් කිසිම ප්‍රතිචාරයක් දක්වා තිබුණේ නැත! සමහරවිට 'මම ගණිකාවක්' හෙඩිම නිසා වෙන්නට ඇත. එයාලා මට ඉස්සෙල්ලා ඒක බලලා නිසා වෙන්නත් පුළුවනිය.

යමක් දෙවෙනි වතාවට කිරීම පළමු වතාවේ කරනවාට වඩා ලෙහෙසියිනේ. අර ‘බලු වැඩේ’ දෙවෙනි වතාවටත් කරන්නෙමි. තවම ඒ සාකච්ඡාව බලලා නැත්නම් බලන්නකෝ. විද්‍යානුකූලව කියන්නේ ගැහැනු මොළය පිරිමි මොළයට සාපේක්ෂව 9% ක් කුඩා බවයි. ශර්මි ශ්‍රී ලංකාවේදී මෙච්චර ‘ගටක්’ ඇතිව කතා කරන්නේ මොළය අඩු නිසාද - නැතිනම් වැඩි නිසාද?

   https://www.youtube.com/watch?v=O3lhWMO23kw
ඉතින්, අර එංගලන්ත නඩුව ආසන්න දවසකම අපේ ඩැඩා මට අපූරු යෝජනාවක් කළේය. (ඉංගිරිසියෙන්, හොඳේ. ඩැඩා දැනගෙන හිටියේ ‘පිස්සු’ වගේ වචන දෙක තුනක් විතරය!) “නිමොල්, දැන් දීපාල් මැචුවර් වීගෙන එන්නේ. එයාට ‘හස්තෝපක්‍රමය’ ගැන කියලා දෙන්න ඕනෑ නේද?”

චිත්‍රකතා, ටෙලි නාටක වගේ එව්වා කොටස් වශයෙන් ප්‍රසිද්ධ කෙරෙද්දී නවත්තන්නේ හරියටම මෙහෙම තැන්වලදීය. ඔන්න මමත් එයාලාව අනුකරණය කරනවා. ඒකට තරහ නැහැ නේද?

2 comments:

  1. මම කාලෙකට කලියෙන් අරාබි දේසේ නුතන අම්බපාලියෝ … කියල පෝස්ට් එකක් දැම්ම ... ප්‍රතිචාර මොනවත් නෑ ... ලංකාවෙ ඒව ටැබූ මාතෘකානෙ :)

    ReplyDelete