අකුරු මැකී නෑ

Wednesday, August 1, 2018

අඟුල්මල් දහනය - දෙවෙනි කොටස

වෙළෙඳ විරාමයකට පස්සේ පටන් ගනිද්දී පූරක තමයි ආයෙමත් වැඩ සටහන පටන් ගන්නේ. මමත් එහෙම කරමින් අහිංසකගේ පැත්තට හැරුණා! ‘ඉතින් ඉතින්, ඔයා මිනී මරන්න පටන් ගත්තා?’

“පටන් ගන්නේ නැතිව මං වෙන මොනවා කරන්නද? එහෙම නොකළා නම් මං ගුරු පූජා නොකරපු ද්‍රෝහියෙක් වෙනවා. ටිකක් හිතන්නකෝ ඒ දවස්වල මං මොන දුකක් වින්දද කියලා. 
එක පැත්තකින් බය; රාජ පුරුෂයෝ ඇවිත් මාව මරයි කියලා තිබ්බ භය.... අනෙක් පැත්තෙන් තනිකම. ඒ මදිවට බඩගින්න. ඒ සේරටමත් වඩා මට වද දුන්නේ හර්ද සාක්ෂිය. එකෙක්ද දෙන්නෙක්ද.... 
මගෙන් මැරුම් කෑව හැමෝම අහිංසක මිනිස්සු. අහිංසක සමනළයෝ වගේ. ඒ කවුරුවත් මට කිසිම වැරැද්දක් කළ අය නෙවෙයිනේ!”

අහිංසක සමනළයෝ වගේ....
කිසිම වැරැද්දක් නොකළ අහිංසක සත්තු, මිනිස්සු කොච්චරක් නම් මේ මිහිතලය මතදී දඬුවම් විඳිනවාද? මං හිතන්නේ එයින් සමහරු තමන් එහෙම දඬුවමකට පාත්‍ර වෙලා ඉන්නවා කියන එක තේරුම් අරගෙනත් නෑ. මේ සමහර දඬුවම් ඇත්තටම ‘බරපතළ එව්වා’. ඒත් අපි දන්නෙවත් නැහැ එව්වා දරුණු දඬුවම් බව. හරිම අහිංසක පාටයි. 

නිකම් හිතලා බලන්නකෝ අපි ගෙවන බදු කන්දරාව ගැන. පාපයක් නෙවෙයිද මේ අපි ගෙවන්නේ? දඬුවමක් නෙවෙයිද මේ අපි විඳින්නේ? හොයලා බලන්නකො අපි හම්බ කරන හැම රුපියලකින්ම කීයක් බදු වශයෙන් අපට වියදම් වෙනවද කියලා. ඒවාට වග කියන්න ඕනි අයට හර්ද සාක්ෂියක් නෙවෙයි හදවතක්වත් තියෙනවද හැබෑට?

මටවත් නෝනාටවත් අහිංසකට දෙන්න උත්තරයක් තිබුණෙ නෑ. චුට්ටක් බලා ඉඳලා අහිංසකම ආයෙමත් කතාව පටන් ගත්තා.

“.... මුලදී මගේ අතින් මරපු අයගේ ගණන් මතක තියා ගත්තා. පස්සෙ-පස්සේ මට එව්වා අමතක වෙන්න ගත්තා. ඒ පාර මං මරණ හැම කෙනෙක්ගෙම ඇඟිල්ලක් කපාගෙන මාලයක් වගේ .....”

“හරි, හරි මාමේ. එතකොට තමා ඔයා ඇඟිලිමාල වුණේ....” ඔන්න නෝනාගේ කට ආයෙමත් ඇරිලා.

‘මෝඩියේ, ඇඟිලිමාල නෙවෙයි, අංගුලිමාල. අංගුලිමාල.’

“හරි ලොකූ! ඒක තමයි මං දැක්ක පිංතූරේ.” නෝනා ඔජ වැඩුවා! එහෙම කොහොමද වෙන්නේ?

‘තමුසේ උපන්නේ නවසිය පනස්නවයේ, මගේ ළඟ තවම තියෙනවා තාත්තා නෝට් පොතක ලියාපු අපේ පවුලේ විස්තර ටිකක්. මෙන්න බලනවා. අපේ උපන් දිනවලුත් තාත්තා ඒකෙ ලියලා. එතකොට තමුසෙට වයස  කීයද? ආච්චී අවුරුදු හතරේ තමුසෙව පින්තූර බලන්න එක්කං යයිද පොඩාවවත් එක්ක නොයන එකේ.’ එහෙම කියලයි මං අර ලියවිල්ල ඉදිරිපත් කළේ.

එයාට විතරක් ඒ ලියවිල්ල පෙන්නලා හරියනවය? ඔයාලා විශ්වාස නොකළොත්. මෙන්න ඒ කොළේ, දෑහින්ම බලා ගන්නකො.

තාත්තාගේ නෝට් පොතෙන්....
“ඉතින්? ලොකයියට මතක නැති වුණාට මං මොනවා කරන්නද? කවුද කිව්වේ පිචර් එකක වගක්? මං පිචර් එක බලලා නෑ තමයි.” නෝනා උත්තර බැන්දා. මගේම නංගිනේ. ලේසියෙන් අතාරින්නෙ නෑ. එරමිණියා අත්තක් වගේ ඇමිණි-ඇමිණී එනවා. මං එයාව නවත්තන්න ගියෙ නෑ.

“... ලොකාට මතකද බක්කි කරත්තෙක දෙපැත්තේ ලොකූ පින්තූර දෙකක් දෙකක් ගහගෙන ලවුඩ්ස්පීකර් බැඳගෙන ආවා? චිත්‍රපටිය නොබැලුවාට මොකෝ. ඒ පින්තූරවල මේ මාමා හිටියේ? මට නම් මතකයි, මොනවද කොළ වගයකුත් බෙදුවා. අපිත් ඒ කරත්තේ පස්සෙන් දිව්වේ....”


හරිනේ. ටැපලුණේ මට. ඒ කාලේ ෆිල්ම්වලට පින්තූර කියලත් කිව්වනේ. මායි වලිගය පාගා ගත්තේ.

බලාගෙන යද්දී අපේ කාට-කාටත් හොඳ මතකයක් තියෙනවානේ. ‘අංගුලිමාල’ තමයි සිංහලට දෙබස් කැවූ 17 වෙනි චිත්‍රපටය. 1963 මැයි 3 වෙනිදා තිරගත කිරීම ඇරඹුණා කියලයි මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ‘සිංහල චිත්‍රපට ගීතාවලිය 1962-1966’ පොතේ තියෙන්නේ. 

මීට ඉස්සෙල්ලාත් මං පම්පෝරි ගහලා කියූ ‘... සෝදුපත් බැලීමාදියෙන් සහායවූ නිමල්....’ කියලත් තියෙන පොත. හොඳේ. (අනේ කියවලා බලන්න. හොඳේ.)


‘මොකද මට මතක නැත්තේ? ඒ දවස්වල එහෙම තමයි, අලුත් පිචර් එකක් ආවාම ප්‍රචාරය කරන්නේ. ලවුඩ්ස්පීකර්වලින් එකේ සින්දු දාගෙන, ලොකූ කටවුට් ගහගෙන, හෑන්ඩ් බිල්ස් බෙදා-බෙදා ගම වටේ යනවා. සමහර වෙලාවට දෙමළ බෙරත් ගගහා යන්නේ... දෙමළ ෆිල්ම්ස් දාපුවාම.’

කට ඇරගෙන එව්වා අහගෙන හිටි අහිංසකගෙ මූණේ හිනාවක්. “මං හිතාගෙන හිටියේ අන්ගුල්මාල් පෙන්නුවේ ඉන්දියාවේ විතරයි කියලා. ඒක මෙහෙත් පෙන්නලානේ. දුව දැක්කේ මගේ ෆොටෝ එකද?”

මං ඉස්සර වුණා. 
‘පෙන්නුවා විතරක් නෙවෙයි, හොඳටම මිනිස්සුන්ට අල්ලලා ගියා. සිංහලෙන් දෙබස් කවලා තිබ්බෙ. මරු! තවමත්, අවුරුදු 55ක් ගිහිල්ලත් ඒ චිත්‍රපටියේ තිබ්බ බුද්ධං සරණං ගච්චාමී සිංදුව හැම පන්සලකම වගේ දානවා, පින්කමක්  තිබුණොත් ඒක වරදින්නෙම නැහැ.’


මන්නාඩේ
“මන්නාඩේ කියපු සින්දුවද?"

‘අන්න එතැනදී නම් නොකියා බෑ හලෝ. මන්නාඩේත් කිව්වලු මට වැඩිය හොඳට මොහිදීන් බෙග් මාස්ටර්  සිංදුවේ සිංහල වර්ෂන් එක සිංග් කරලයි කියලා.’

අහිංසක ටිකාක් බර කල්පනාවකට වැටුණා! නිශ්ශබ්ද වුණා! ඒ පාර මොකක්ද? තවත් මරාලයක් කඩා පාත් වෙන්නයි යන්නේ කියලා ඉව කිව්වා!

“ඇයි මාමේ...?” නෝනාටත් ඒක දැනිලා වගේ ඇහුවා.

“නැහැ දුවේ, මට ටිකක් තේරුම් ගන්න අමාරුයි වගේ.... මොහිදීන් බෙග් කියන්නේ සිංහල එක්කෙනෙක්ද? ඒක නිකං.....”

ඔන්න මට මැදිහත් වෙන්නම වෙන වෙලාවක්. නෝනා වැඩි විස්තර දන්නේ නැහැනේ. මොහිදීන් බෙග් කියන්නේ මුස්ලිම් ජාතිකයෙක් බවත්, සිංහල බොදු ගීවලින් වැඩිම හරියක් ගායනා  කරලා තියෙන්නේ එයා බවත් මම කිව්වා.

බෙග් මාස්ටර්
අදටත් ඕනෙම බෞද්ධ උත්සවයක දාන්නේ බෙග් මාස්ටර්ගේ සින්දු. 

සකල දනම බොදු බැතියෙන්, මිනිසාමයි ලොව දෙවියන්, මල් සුගන්ධේ, තනිවයි උපන්නේ, පුංචි පුතේ, අමතක කරලමු, සුව දේ මට සීතල සුළඟ පවා වගේ සිංදු ඇහෙද්දී එව්වා කියන්නේ මුස්ලිම් භක්තිකයෙක්ය කියලා කාටද කල්පනා වෙන්නේ? 

තදම සිංහල ජාතිවාදියෙක් වුණත් ‘ආදරියේ රුචිරාණනියේ’ සිංදුව මුමුණන්නේ නැතිද හොඳයි? එතකොට කල්පනා වෙනවද සිංදුවේ තනුව සජාද් හුසේන්ගේ කියලා... සිංදුව ගයන්නේ මොහිදීන් බෙග්ය කියලා.

“හරි, ලොකා. ජාති- ජම්ම අදින්නේ නැතිව කියමුකෝ අපි ඔක්කොමලා ලංකාවේ කියලා. දැන් රටේ   හැමෝම වෙසක්- අවුරුදු- නත්තල්- දීපාවලී- රාමසාන් නිවාඩු ඔක්කොම අරගන්නේ... කිසිම භේදයක් නැතිව!” පොඩිකමටද නෝනාගේ කතාව? 

තිත්ත ඇත්තකුත් තියෙනවා. සේරම ජාති ආලකාරයෝ, ජාතිවාදියෝ, ආගම්කාරයෝ වෙන ආගම්වල වුණත් විශේෂ නිවාඩු දවස් නම් ඉහළින්ම පිළිගන්නවානේ. හොඳයි කවුද කැමති ශ්‍රී ලංකාවේ public holidays අඩු කරනවාට?

ඉතින් අපි කියන්න හදන සිද්ධිය වුණේ අර වගේ හැමෝම සමරන වෙසක් පෝයකට කලින් දවසක. අද තරම් තොරණ නැතත්, දන්සල් නැතත් වෙසක් අසිරිය නම් එදා යහමින් තිබුණා.

එදත් තැපැල් පියුන් මාමා ලියුම් බෙදුවා. මටත් කුලුඳුලේම කවුදෝ එවාපු වෙසක් කාඩ් එකක් හම්බ වුණා. ඒ කාලේ අද වගේ වෙසක් කාඩ් ඕසෙට තිබ්බෙ නෑ. එහෙමත් කෙනෙක් තමයි වෙසක් කාඩ් එකක් යැව්වෙත්.

තැපැල් පියුන් මාමා
වෙසක් කාඩ් තියා අපිට නම් ලියුමක් වුණත් ආවේ එහෙමත් දවසක, මාස ගණනකට වතාවක්. ආවේ ටෙලිග්‍රෑම් එකක් නම් ඉතින් ‘මළ ගෙයක්ම’ තමා. ඊටත් එව්වා ආවේ ඉන්ග්රිස්වලින්ලු. අහලා ඇති නේද “telegram...” ඉංගිරිස් ටෙලිගිරැං එකේ කතාව. අහල නෑ? 

ඉස්සර කාටදෝ ටෙලිගිරැං එකක් ඇවිත්. ඉංගිරිස්වලින්. මෙහෙමලු තිබ්බෙ ‘ammata kela una’. ඉතින් බොහොම අමාරුවෙන් ඉංග්‍රීසි දන්නා ලොක්කෙක් හොයාගෙන ගියා ඒක කියවා ගන්න. මිනිහා දන්නා විදියට සිංග්ලිෂ්වලින් තිබ්බ පණිවිඩය  සිංහලට නැඟුවා. “අම්මට කෙළ උනා.” (ඒ කාලේ නම් ‘කැලෑ උණ’ සුලබ රෝගයක්!)

ඉතින් ආයෙමත් ටෙලිගිරෑන් එකෙන් වෙසක් කාඩ්වලට .....

වෙසක් කාඩ් එකක් ඉස්සෙල්ලාම අච්චු ගස්සල තියෙන්නේ ඩබ්ලිව්.ඊ.බැස්ටියන් මහත්තයා. වෙසක් උත්සවය නිමිති කරගෙන නමෝ විත්තියෙන් වෙසක් මුද්දරයක් නිකුත් කරලා තියෙන්නේ 1969 අවුරුද්දේ අප්‍රේල් 10 වෙනිදා.

දැන් තමයි අපි ඔව්වයේ සුල-මුල හාර අවුස්සන්නේ. අන්තර්ජාලයෙන්.... ඉස්සර ගෙදර බිත්තියේ තිබ්බ ‘ඈපා පංචාංග ලිත’ තමා සේරම දැනුම් සම්භාරය අපට ගෙනාවේ. ඇයි දවස ගණනේ කොළ කඩන කැලැන්ඩරේ. මොකෝ අපි වගේ දුප්පත්තු හැමදාම පත්තර ගෙනෙනවයැ?

මුල්ම වෙසක් මුද්දරය
ඉතින් මං හිටියේ සතුටු ගහේ කරටියටම නැඟලා, වෙසක් කාඩ් එක ආව සන්තෝසෙන්. සුනිලුත් ඒකට හවුල් වෙන්න වගේ අලුත් යෝජනාවක් ගෙනාවා. “ලොකූ, අපි සල් උයනක් හදමුද?”

‘අන්න වැඩේ. හදමු, හදමු!’ මාත් කිව්වා. තාත්තා හිටියට අටපට්ටමක්වත් හදලා දෙනවයැ? සීයත් එහෙමයි. හැබැයි බකට් ටිකක් නම් ගෙනෙයි, සල්ලි තියෙනවා නම්. ආච්චී නම් වෙසක්-පොසොන් දෙකටම මැටි පහන් ටිකක් පත්තු කරනවාමයි!

ඒක තමයි සුනිලුයි, මායි  ජීවිතේටම- ඉස්සෙල්ලාම හදපු සල් උයන! දන්නවනේ. හරි සිම්පල්. අපි දැකලා තිබ්බ සල් උයන් සේරම එක වගෙයි. තණකොළ පිඩැල්ලක් කපා ගන්නවා. පුංචියට කොටු කරපු තැනක පිඩැල්ල තියලා වටේට පොඩි සැරසිල්ලක් කාරිය කරලා බුද්ධ රූපයක් වගේ තියෙන මොනවා හරි ඒකෙම තැන්පත් කරනවා. 

සල් උයනට එළිය දුන්නේ පහන් වැටියකින් හරි ඉටිපන්දමකින්. දැන් නම් ලොකූ වැඩ එමටයි. විදුලියවත් නොතිබ්බ එදා අපේ සල් උයනට පින්තූරෙකට තිබුණෙත් අර ‘මංගල වෙසක් කාඩ්’ එක විතරමයි!

බුද්ධ රූපයක් වගේ.......
“ඒ කාඩ් එකේ හිටියේ බුදු හාමුදුරුවෝද?” මෙච්චෙල්ලා සද්ද වහගෙන අහං හිටි අහිංසක ඇහුවා.

“බුදු සාදු විතරක් නෙවෙයි මාමේ.... ඔයාත් හිටියා බුදු සාදුගේ පස්සෙන් එලවන ගමන්!”

‘එලවන ගමන්. තමුසෙට ලජ්ජාවක් කියල එකක් තියෙනවා නම් මේකට කට දාන්න එන්නෑ.... තේරුණාද?’ දිගටම නෝනාට කතා කරන්න දීලා බෑ. කතානායකතුමාට 225 වලංගු නැති වුණාට නෝනා වගේ කවුරුත් මට කීකරුයි!                                                                                                          
“මොනවද ලොකූ, අදත් ඔයා ඉන්නේ තරහින්ද එදා වෙච්ච එකට? එදා වැඩේ හින්දනේ ඔයාට අද පෝස්ට් එකකට ඒක ලියන්න හම්බ වෙන්නෙත්.” නෝනාට මට වැඩිය මොළේ! “එදත් ඔයයි, පොඩියයියයි දෙන්නම මාව එලෝ ගත්තා, පව් නේද කියලවත් ළඟට එන්න දුන්නෑ.”

ඇත්තනේ. ඒ දවස්වල අපට ලොකූ නංගිව කරදරයක් වෙලයි තිබුණේ. නෝනාට ඕනේ වුණේ අපි එක්කම ගැන්නෙන්න. ඒ මදිවට ළඟට එන්න එපා කිව්වත් අඬන්න ගන්නවා. 

එතකොට අම්මගෙන් හරි තාත්තාගෙන් හරි ස්ථාවර නියෝග. “රංජී, නංගිව අඬවන්නේ නැතිව හිටපං. දන්නවනේ මං කෝට්ටක් අරන් ආවොත්.....”

ඉතින් සුන්නයි, මායි නෝනව ෂේප් කරගෙන තියාගත්තා. එයාව ආම්බාන් කරගන්න ගමන් හරිම යුද්ධයක් කළේ සල් උයන හදාගන්න. වැඩේ කරලා අන්තිමට, අපි මහාර්ඝ රුවන් කරඬුවක් වඩම්මනවා වගේ වෙසක් කාඩ් එක තණකොළ පිඩැල්ල මැදට ගෙනාවා. ගරු සරුවෙන් ඒක තැන්පත් කළා. එතකොටම නෝනා බෑඟිරි දෙන්න තියා ගත්තා.

මහාර්ඝ රුවන් කරඬුවක් වගේ...
“මට ඕක ඕනා! මට ඕනා!!”

“දෙන්නම් උඹට හොඳවයින් දෙකක්! කට වහගන්නවා.” සුනිලුයි මායි නෝනගේ කට මිරිකුවා. මොන...? එයා මොර දෙන්න ගත්තා දිගටම.

මට මතක හැටියට නම්, ඒ පාර අපිත් අඬන්න ගත්තා. වෙසක් කාඩ් එක දෙන්න බැහැ කියලා අපි දෙන්නා අඬනවා. ඒක ඉල්ලලා නංගී අඬනවා. දෙව්ලාවයි! එතකොට තමයි අම්මා ඇවිත් නංගිව වඩාගෙන පැත්තකට එක්ක ගියේ.

“ඉතින් පව්නේ. නංගි පුංචි හින්දා තේරෙන්න නැතිව ඇති. කාඩ් එක එයාට දෙන්නයි තිබ්බෙ.” අහිංසක හරියට අහගෙන හිටියේ නැහැ වගෙයි, මෙහෙම මෝඩ කතා කියනකොට තේරෙන්නේ.

‘ඇයි මනුස්සයෝ, එහෙම දුන්නා නම් අපේ සල් උයනට මොකද වෙන්නේ? ඊටත් වෙසක් ලබන්නේ හෙටයි කියලා අපි හදපු සල් උයන දවසක්වත් තියෙන්න ඕනෙ නැද්ද? කාඩ් එක දුන්නහම සල් උයනේ ඉතිරි වෙන්නෙ මොනවද’

“ආ ඒකත් ඇත්තනේ. ඉතින් මොකද වුණේ?” අහිංසක ඇහුවා. 

ඒක කියනවා ඊළඟ කොටසෙන්, හොඳේ!

4 comments:

  1. එක හුස්මට දෙකත් කියෙව්වා

    ReplyDelete
  2. පුදුමයි ඩ්රැකී, ඔයාට විවේකයක් තිබුණා!

    ReplyDelete
  3. මාත් අහිංසක වගේ ඇඟිලි මාලයක් හදා ගන්නව දියවන්නාවට යැව්වොත් ! 225 මදි තමයි ... මදි පාඩුවට පළාත් සභා සහ නගර සභා කාපාලුවෝ ගන්න බැරිය :)

    ReplyDelete
    Replies
    1. එහෙම පුණ්‍ය කර්මයක් කරගන්න ලැබුනොතින් කණ්ඩො ඔයාට මේ ආත්මේම සක්විති සැප ලැබෙයි!

      Delete