අකුරු මැකී නෑ

Monday, July 30, 2018

මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස

උපන් නැකතේ වැරැද්දක් නිසාද මන්දා මගේ ඉහට කඩා පාත් වෙන්නේම පුංචි-පහේ මරාලයන් නොවේ. ඒක තවත් නරක් කරන්නට මගේ තකතිරුකමත් උදව් වෙයි. මේත් එහෙම ගොන් තකතිරුකමකි.

එදා මේ කෙල්ලන් ට්‍රිබලම; ත්‍රිත්වයම; තුන් දෙනාම නැවතී උන්නේ එකම කාමරයේය! 

ඔන්න දැන්මම කිව්වා, ඇත්ත නම් තුන නම් කීයටවත් කියන්නේ නෑ, හොඳේ. ජයා, අනූ, රංජි. එහෙම කිව්වාම මදැයි. මට ඒ තුන් දෙනා විශේෂ වෙලා තිබුණාය කියනවාට වඩා ගැළපෙන්නේ එයාලා තුන් දෙනාටම මා විශේෂවී තිබුණාය කියන එකයි. (සභාවේ සිනා!)

මං දන්නවා මම එච්චර කඩවසම් හාදයෙක් නෙවෙයි. ඒත් මිත්‍රශීලියි, ප්‍රසන්නයි. ඇතුළාන්තයෙන් ගිනි ගුළියක් වුණාට පිටින් සිහිල් දිය කඳුරක්!

ඔයාලා කියාවි 'දෙබිඩ්ඩෙක්' කියලා. මගේ මොකෝ? එහෙම කියන්න, එක-එක්කෙනා දකින විදියනේ. 'බවලත්' ඇත්තෝ වැඩියෙන් කැමැතිත් ටිකක් විතර මෘදු අය එක්ක පයුරු පාසනය කරන්නයි. (ඇත්තටම?) 'තදයෝ' බවලත් ඇත්තියන්ට; ස්තිරී පරාණවලට කන් දෙන- ආදරයෙන් සලකන ගතිය අඩුයිලු. ඇත්තද කියලා මටත් කියලා දෙන්නකෝ, දන්නවා නම්. .....මෙන්න ඒකෙම අනෙක් පැත්තත්.
  
මොඩ්ල්ස්ලා වගේ අයගේ.....
අවුරුදු ගණනාවකට කලින් යුරෝපා රටක සමීක්ෂණයක් කරලා තිබුණා. පිරිමි වැඩියෙන්ම කැමැති මොන විදියේ ලියන් එක්ක sex කරන්නද කියලා. ඒකේදී හෙළි වුණා පුදුම හිතෙන කාරණාවක්. 

පිරිමි කැමැතියි අඩි 5 ක්-5 1/2 කට වඩා උස, සිහින් සිරුරක් තියෙන අංගනාවන් දකින්න. මොඩ්ල්ස්ලා වගේ අයගේ ලස්සන බලන්න. හැබැයි එයාලා කැමති ඇඟ-පත තියෙන ලලනාවන් එක්ක නිදි යහනට යන්න. වලත්ත විදියට අර්ථකථනයක්  දෙනවා නම් කියන්න වෙන්නේ 'මස් උඩ පීනන්න' කියලයි. 

(කවුද අහන්නේ මගේ ගැන? මං ගැන ඕනේ නැහැනේ මෙතනට!) ඉතින්, අර ලලනා ත්‍රිත්වය තුන් විදියක්. ට්‍රිබලෙන් එක්කෙනෙක් කෙට්ටුයි. දෙවෙනියා මධ්‍යස්ථයි. තුන්වෙනියා පිරුණු අඟ-පසඟින් යුක්තයි! එව්වා කියන්නේ දයාබර රසික-රසිකාවන්ට එයාලාව මනෝමයෙන් බලාගැනීම පහසු කරවන්නයි.

ඉතින්, එදා අපි හිටියේ මීගමුවේ, සාමය හා සමාජයික කේන්ද්‍රයේ කාමරවල නැවතිලා. නම පොඩ්ඩක් අවුල්ද මන්දා, අවුරුදු තිහකටත් එහා කතාවක්නේ. මට මතක තියෙන විදියටයි ඔය නම කිව්වේ, හොඳේ. වැරදියි නම් හදන්නකෝ.

"ඔන්න නිමලයෝ, උඹ ජයාට කැමැති නම් ඉනිමඟ මගෙන්." මර්වින් කොයි දේටත් ඉස්සර වෙයි. කට පියාගෙන ඉන්නවත්, ටිකක් ඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවත් මිනිහාට බැරිය.

හැමෝටම කලින් යහළුවන්ගේ වැඩවලදී පෙරමුණ ගන්නට මර්වින් දෙයියෙකි. මෙතනදීත් එතුමාම ඉස්සර වුණේය! අපි සමහර වෙලාවට මර්වින්ගේ අනභිමුඛයේදී එයාට කියන්නේ 'ට්‍රයින් ටු බී ටූ ස්මාර්ට්' කියලාය. (ඔන්න බොත්තෝ, ලොකූ රහසකුත් හෙළි කළා.)

"කවුද දැන් තමුසෙට කිව්වේ මං ජයාට කැමැතියි කියලා."

"උඹ කැමති නෑ කියලත් කියලා නෑනේ තවම. ජයා තමා වැඩියෙන්ම ඉස්සරහට ඇවිත් වගේ පෙනෙන්නේ." ඒකත් ඇත්තය. එයාලාටම ඕනි මඟුලක් හිතාගන්න ඇරලා බලා ඉන්නෙමි. මගේ හැටි එහෙමය. ලණුව දිග ඇතිතාක් යන්නට හැරීම මගේ සිරිතය.


ඉන්දිරා හෙට්ටිහේවා
"මචං, කට වහගෙන ඉඳපන්කෝ, ඌට කරන දෙයක් කරගන්න ඇරලා." ඉන්දිරාත් මැදිහත් වෙයි.

අපේ සුහදත්වය කොච්චරදැයි කියතොත් සමහර වෙලාවට ඇයට අප 'මචංලා'ය. මටත් එහෙමය. මා ලෙහෙසියෙන් කාටවත් උඹ කියන්නේ නැත. කියතොත් ඒ තරහෙනි. හැබැයි ඉන්දිරාටත්, ගීතාටත් 'උඹ' කියා කියැවෙයි. ඒකෙත් හැටි. මට වඩා වැඩිමහල් අයත් මට කතා කරන්නේ නිමල් අයියා කියලාය. ඒත් ඉන්දිරා මට වඩා බාල වුණත් මචං- උඹ දෙකෙන්ම මා අමතයි.

'ජයා' තරුණ ජනගහණ කමිටුවේ වැඩවලට සම්බන්ධ වුණේ කාන්තා සංවර්ධන කොමිටියක් හරහාය. ගෙවල් හබරකඩය. තිස්සෙම ඉස්සරහට පැන්න ගමන්මය. ඒ ගතිය නම් ගණනටත් වැඩි තරම්ය. මගේ මිම්මට අනුව නම් තරමක් දරදඬුත් වාගෙය. 

ඇගේ ඇල්ම-බැල්ම මා වෙත යොමු වුණේ සිකුරා උච්චවී තිබුණු නිසා වෙන්නැතිය. ඒත් ඒ උච්චවීම බලපෑවේ මටද නැති නම් ඇයටද?

බොහෝ දෙනෙක් සිතන්නේ යුවලකගේ උස-මිටි වෙනස ලිංගික දිවියට බලපාන බවයි. එහෙත් සොබා දහම් දිනිතිය අපට වඩා ප්‍රඥාවන්තය; විචක්ෂණශීලීය; සැලසුම් සහගතය. 

අපේ උස වෙනස් වන්නේ ලිංග ප්‍රදේශයෙන් පහළටය. සාමාන්‍ය අයගේ හිස් මුදුනේ සිට ලිඟු පෙදෙස දක්වා උස එක ආසන්නයේම පවතී. ඒ කාරණාව දැනගෙන ඉන්නා කෙනෙකුට නම් ‘ඉනිමං කතාව’ හුදු විහිළුවක් විතරක්ම වෙයි!

ජයා ගැන හොඳම මතකය ඇරඹෙන්නේ රාගම දියගල කුමාර නගරයෙනි. වැඩි දෙනා දන්නා විදියට නම් 'දියගල බෝයිස් ටවුන්'ය. ඒ දවස්වල තජකයේ අප පවත්වන තෙදින නේවාසික පුහුණු වැඩ මුළු පැවැත්වුණේ එහිදීය.

දියගල බෝයිස් ටවුන්
මට මතක හැටියට නම් මුල් කාලයේ 'සිත්තර' වැනි 'මල්ටිෆැක්ස් ප්‍රකාශන' මුද්‍රණය කෙරුණේ 'කුමාර නගර' මුද්‍රණාලයේය. කිතුණු ආයතනයක් වන එහි අංග සම්පූර්ණ මුද්‍රණාලයක්, බේකරියක්, ගොවිපළක් මෙන්ම සත්ව ගොවිපළක් පවා තිබෙයි. 

වැඩ මුළු සඳහා යන අපට හැදූ සියලුම ආහාර-පාන එතැනම නිපැයූ දේවලින්, එතැනම සකස් කළ ඒවාය!

සාමාන්‍යයෙන් වැඩ මුළුවකට තිහක්-තිස්පහක් වැනි පිරිසක් සහභාගි කරවා ගැනීම තජකයේ සිරිත විණි. සිකුරාදා දහවලේ සිට ඉරිදා දහවල  දක්වාය; වැඩ මුළු පැවැත්වුණේ. 

ඒවායේදී සෙනසුරාදා රාත්‍රියේ විවිධ ප්‍රසංගයක් පැවැත්වේ. ඒ දිනවල තරුණ කටයුතු පිළිබඳ FPA අංශයේ නිලධාරියා ජෝ ලිවේරා මහතාය. ජෝත් ජෝ අබේවික්‍රම අසහාය නළුවා මෙන්ම නැතත් නළුවෙකි. දැන් සංචාරක මාර්ගෝපදේශකයෙකි. ඔහු හොඳ රසිකයෙක් වගේම හාස්‍යයට කැමැති කෙනෙකුත් විය.

ජෝ ලිවේරා
ඒ 'ජයා' අපේ වැඩ මුළුවකට සහභාගිවූ පළමු වතාවයි. විවිධ ප්‍රසංගයේදී ඇය ඉතා මනරම් කළගෙඩි නැටුමක් නැටුවාය. කිසිම සබකෝලයක් නැත! 

(කළගෙඩිය උඩ දමමින් නටද්දී ජෝ මගේ කනට කෙඳිරුවේය. "නිමල්, මං මේ පරෙස්සමෙන් බලං ඉන්නේ අර නටන නැටිල්ලට කළේ හිල් වෙලා වතුර වැක්කෙරෙන්න ගනියිද කියලා.") ජයාගේ පෙරටුගාමී ගතිය ඔන්න ඔහොමය!

දැන් දෙවෙනියාගෙ පැත්තට හැරෙමු!

ඊට ටික කලකට පසු සෞඛ්‍යදාන ව්‍යාපාරය හරහා අපට සම්බන්ධ වුණු යුවතියකි, 'අනූ'. මා දකින විට අනූගේ මුහුණ රතු වෙයි, දෙනෙත් දිලිසෙන්නට ගනියි, ස්වරය වඩාත් මෘදු වෙයි. නාඩි වැටෙන කෙනෙක් විදියට මටත් ඒ සියල්ල පෙනිණි, හැඟිනි, දැනිණි. මටත් වඩා හොඳින් තජකයේ අපේ උදවියටත් වැටහිණි. 

"අනූ හරි අහිංසක පාටයි, නේද?" අපේ නඩේ අය ඇහුවෝය.

ඔව්වාට අහුවෙයි, මං. මාව එහෙම තම්බන්නට අමාරුය. "ඒක නං ඇත්ත. ගමකින්නේ එන්නේ. ගමේකමට උපන් ගතියත් එකතුවෙලා වගේ!" මාත් එහෙම වෙලාට ගැඹුර දෙන්නේ එහෙමය.

ඇත්ත වශයෙන්මත් අනූ සිරියාවන්තය. ප්‍රසන්නය. හොරණට කිට්ටු උප නගරයකය හිටියේ. මගේ මතකය හරි නම් දෙදරු පවුලක බාලයාය. අයියා නම් නහරකාරයෙකි. (එව්වා දැනගත්තේ පස්සෙන් පහු කාලේකය!)

පුදුමය කියන්නේ ඒ අස්සට තෙවැන්නියකුත් හිටි එකය.

'රංජි'. මට ඇයගේ ගම මතක නැතත් ඇයව තජකයට කැන්දාගෙන ආවෙත් මා බව හොඳටම මතකය. රංජිට වැරදුණෙත් එතනදී වෙන්නට ඇත. බොහොමයක් වෙලාවට අප කරන්නේ අපේ රුචියට ඔබින අයව අපේ කටයුතුවලට සම්බන්ධ කර ගැනීමයි. ඈ මාවත් එවැන්නවුන්ගේ ගොඩටම දාගන්නට ඇත.

මා ඉදිරිපිටදී  කෙරුණු ඇගේ ඇඹරිල්ලත්, හුරතල් වීමත් හැමෝටම පෙනුණු එකකි. ඒක කරන්නෙත් ‘උකුල ළැම හස- මලවි කරළිය’ පමණටත් වඩා නළවමිනි. 

මර්වින් බොතේජු එතැනදිත් කට ඉස්සර කරගත්තේය. "නිමලයගේ චාන්ස් එක බං. මූට පුළුවන් මිල්ක් බෝඩ් එකටත් කිරි දෙන්න." (විහිලුවට කිව්වත් ඒක සහතික ඇත්තය! දැන් පෙනෙනවානේ, ඇත්ත 'නම්' නොකීමේ වාසිය.)

ඇත්තම කිව්වොත් නම් ඒ එක්කෙනෙක්වත්, එයාලගේ හාව-භාව ලීලාවලින්වත් මගේ හිත යාන්තමින්වත් සසල කරවන්නට සමත් වූයේ නැත!

හැබැයි එක්-එක් අනුපාතයට මම ඔවුන්ව ප්‍රිය කළෙමි. ඒ එයින් කිසිවෙකු මගේ පියඹ කරගැනීමේ චේතනාවෙන් නම් නොවේ. වැදගත් එකම දේ මා ඒ කිසිවක්, කිසි වෙනසක් නැතිවාසේ සලකාගෙන හිඳීමය. 

ඒ සියල්ල වෙනස් වුණේ මගේ අති-පණ්ඩිත ගොන්කමක් නිසාය. යහළුවන්ට සැලකීමට යාම හින්දාය.

"අයියේ, පුළුවන් නම් අපේ විජේට ගැළපෙන කෙල්ලෙක්ව බලන්නකෝ. මේ දවස්වල විජේලගේ තාත්තලා මිනිහට කෙල්ලෙක් හොයනවා!" අපේ සුනිල් මට කිව්වේය. "අයියට නම් ඕනේ තරම් කෙල්ලෝ මුණ ගැහෙනවත්නේ."

විජේ කවුද?
මෙහෙම තැන්වලදී හුඟක් දෙනා පරහිතකාමීය. එතකොටත් සුනිල් මල්ලිකාව කැන්දන් ඇවිත්ය. 

අනෙක් අයවත් තමන්ගේ ගොඩට දාගන්නට විවාහකයෝ නිතරෝම මාන බලති. සුනිල්ලා, අපේ අම්මලා, මර්වින්ලා, ගීතලා වගේම තව ගොඩක් අයත් 'කසාදයක් කරගන්නැයි' කෙළවරක් නැතිව මට කියා අන්තිමට එයාලාටම එපාවී තිබුණු කාලයයි ඒ. 

එහෙම කියූ අයම අන්තිමටම, මා එක්කම මෙහෙමත් කිව්වෝය. "මූත් එක්ක මොන ගෑනිටද ඉහ ගහගෙන ඉන්න පුළුවන්, මුගේ නීතිත් එක්ක."

ඉතින් සුනිල්ගේ කතාවත් එක්කම මගේ ඔළුවට ආවේ අනූය.

කාට වුණාම මොකද යහපතක් වෙනවා නම්. මම ප්ලෑනක් ගැහුවෙමි. 

"විජේ. තමුසෙට හරියන කෙල්ලෙක්ව මං දන්නවා. එයාට කොල්ලෙක් නැහැ මං දන්න විදියට නම්. ලබන සතියේ යූත් එකේ වර්ක් ෂොප් එකක් තියෙනවා මීගමුවේදී. එයාත් ඒකට එනවා. තමුසෙත් ඇවිල්ලා කෙල්ලව බලා ගන්නවා. තමන්ට හිතට කැපිලා ඉන්න එපැයි ඉස්සෙල්ලාම. හැබැයි පුතෝ, උඹ එනවා නම් මං කෙල්ලටත් කියනවා හොඳට උඹව බලලා එයාගෙත් හිතට වදිනවද කියලා කියන්න. දෙන්නම කැමැතියි නම් මං ඊට පස්සේ වැඩේ සෙට් කරන්නම්!"

විජේ කැමැති වුණේය. සෙනසුරාදා දහවල් මීගමුවේ අප ඉන්නා තැනට එන බවත් කිව්වේය.

දැන් මා ඊළඟ පියවර ගත යුතුය.

අපි මීගමු ගියෙමු. ඉන්දිරාලා ගැහැනු ළමුනට කාමර බෙදා දෙද්දී, මුලින් කීවාසේ අර තුන් කට්ටුවම දමා තිබුණේ එකම කාමරයකටය; කෑම ගන්නා ශාලාවට හොඳටම කිට්ටුවෙන් තිබෙන කාමරයටය. ඒ බව මා දැන්මම අවධාරණය කළ යුතුය. කෑම ශාලාවට ඉතාම සමීපයෙන් තියෙන කාමරය! 

ඕං ඔහොම සේරෝම කරුණු යෙදුණේ නුහුරට හා නපුරටය!

හැම සති අන්තයේම අපේ ස්වයං රැකියා ව්‍යාපෘතියේ පන්ති තුනක් FPA හිදී පවත්වන එක අපේ සිරිතය.(නැණ ලැබ ගත්තෙමි පෝස්ටුවල ඒ විස්තර ගොඩක් ලියා ඇත.) මොන කටයුතු තිබුණත් ඒවා අවලංගු නොකිරීමත් අපේ සිරිතය.

ඒ එක පන්තියකට උගන්වන උපදේශිකාවකට, මගේ මතකය හරි නම්- ඇඳුම් මැසීමේ පාඨමාලාවේ ගුරුතුමී; වසන්තා සේනාරත්න මහත්මියට එදාට පංතියට එන්න විදියක් තිබුණේම නැත. පන්ති අවලංගු කරන්නත් බැරිය. ඒ පන්තියේ උගන්වන්නැයි වෙන කෙනෙකුට පවරන්නත් බැරිය. අන්තිමේදී අප තීරණය කළේ, ඉදිරි සති අන්තයකදී පවත්වන්නට සැලසුම් කරගෙන තිබුණු 'බිලී බාගන්නා' වැඩ සටහනක් එදාට යොදා ගන්නටය.

ඒ වැඩ සටහන වරුවක එකකි. අපේ වැඩි පිරිසක් එදාට මීගමුවේ නිසා, මේ වැඩ සටහනේදී කාට හෝ එහි ලොකු කොටසකට කර ගහන්නත් සිද්ද වෙයි. එයා allrounder කෙනෙක් වෙන තරමට හොඳය.

අනුර ජිනදාස - ප්‍රසන්න පනංගල
අපේ හුඟ දෙනා එක්-එක් විෂයයන්ට වැඩි පුහුණුවක් ලද අයයි. ඉන්දිරා, නන්දනී හෙට්ටිආරච්චි, විජිත කිත්සිරි බණ්ඩාර වැනි අය 'පවුල් සංවිධාන සංගමය හා තජකය' හඳුන්වා දීමට යන අයයි. 

අනුරත් මර්විනුත් කොල්වින් අයියාත් 'ජනගහණ වර්ධනය' ගැන හසලයෝය. මර්සුක් සහීඩ් අයියාත් ප්‍රසන්න පනංගලත් අසෝක කපුරුගේත් වැඩියෙන් දක්ෂ 'නායකත්වය' ගැන කතා කරන්නටය. 'මානව ලිංගිකත්වය හා පවුල් සැළසුම' පිළිබඳව වැඩියෙන්ම කතා කළේ මාය. අසෝක කපුරුගේත් පසුව ඒ දේශනය කරන්නට පටන් ගත්තේ මට 'ඒඩ්ස් හා ලිංගාශ්‍රිත රෝග' පිළිබඳව කතා කරන්නට වුණු විටය.

අසෝක කපුරුගේ 
අප කරළියට ආවේ දෙවෙනි පරම්පරාව විදියටය. ලාල් අයියා, චිත්‍රා රංජනී අබේසිරි, නන්ද පී. කළුතන්ත්‍රී, මහේෂ් පැස්කුවෙල් වැනි ගොඩ දෙනෙක් අපේ අතට 'බැටන් පොල්ල' දී විමසුමෙන් හිටි කාලයයි ඒ. (මේ ලාල් අයියා ගැනය ‘නැණ ලැබ ගත්තෙමි- පෝස්ටුවල ලීවේ.)

අවසන් තීරණය වුණේ එම වැඩ සටහනට මා යැවීමටයි.

"මීගමුවේ ඉඳලා එදා උදෙන්ම නිමල් කොළඹ යනවා. එහෙ වැඩේට උදව්වට සුනීතායි ගීතයි දෙන්නත් ඉන්නවානේ. එදා උදේ වරුවේ නිමල්ට දේශනයකුත් නැති නිසා වඩාත්ම ලේසියි. ඒක ඉවර වෙලා නිමල්ට ඉක්මනට මෙහෙට එන්න පුළුවන්නේ."

කොහොම බැහැයි කියන්නද? ඒත් මගේ ඔළුව අවුල්ය. හොඳටම අවුල්ය. 

මගේ මඟුල් කතන්දර ගැන දැන්මම කාටවත් කීමත් හොඳ නැත. විජේ එනවිට මට ඇවිත් ඉන්න බැරි වුණොත්.... මා යන්නට කලින් අනූට නම් සේරම කියා යන්නට වෙයි. ඔන්න වැඩේ හරි යනවා නම් විතරක් අනෙක් අයට කියන එකයි මගේ විදිය. නැති නම් ඒවා සදා රහස් වෙච්චාවේ!

ඉතින් හිමිදිරි පාන්දරින් අවදිවී, ගමනට සූදානම්වී මම අනූලා ඉන්නා කාමරයේ  දොරට තට්ටු කළෙමි. දොර ඇරියේ ජයායි. එතකොටත් එයා උන්නේ නයිටියට උඩින් හවුස්කෝට් එක දාගත් ගමන්ය. (‘විවර කෙරුවා මනස් සලෙලුන් - උමතුවූ දෙනුවන් රැහැන් ඇද’ හෙම නෙවෙයි ඕං.)

ඉතින් එතන ඉඳන් සිද්ද වුණු අහම්බ අලකලංචි ගොන්න ඊළඟ කොටසින් කියවමු, හොඳේ!

2 comments:

  1. එදා අපේ අනුරාධපුරේ මිත්‍රයා කළ ඉවෙන්ට් එකෙන් අනුලට තෝරගන්න දීපු හුලං ගෙම්බො තුන්දෙනා ගැනත් කීවා නං අපූරුයි

    ReplyDelete
  2. අනේ, මට මතක් වෙන්නේ නැහැනේ අනුර... ටිකක් කියන්නකෝ!

    ReplyDelete