අකුරු මැකී නෑ

Sunday, August 26, 2018

සිඳු දකින සඳ - දෙවෙනි කොටස

ඩැඩාගේ කතාවෙන් මම ගල්බීතවී ගියෙමි. අපි එව්වාට කියන්නේ කුණුහරුප කියලානේ!


යෞවනොද්ගමනයේදී.....
මට කියවුණේ ‘උඹම කියා දියං’ කියලාය. ඇත්තටම දැනගෙන ‘කතරගං යාම’ නොදැන යනවාට වඩා හැම අතින්ම හොඳය! හුදු කුතුහලය නිසාම තවත් නොදන්නා කෙනෙකුගෙන් උපදෙස් ගැනීම හරිම විපත්තිදායකය! දැන් නම් ඇටෙන්- පොත්තෙන් පැහෙන කොටම එයාලා ඒ සේරම ඉගෙනගෙන අහවරය.

පිරිමි ළමයෙකුගේ ‘යෞවනෝද්ගමනයෙදී; ටෙස්ටෙස්ටරෝන් ලිංගික හෝමෝනය වෑහෙන සමයේදී’ ඔහුට ලිංගික හැඟීම් පහළ වෙයි. සමහර විටෙක ශිෂ්ණය ප්‍රාණවත් වෙයි. ශුක්‍ර මෝචනය කිරීමට සිතෙයි. විටෙක සිහිනයෙන්, තමා නොදැනුවත්වම ශුක්‍ර පිටවෙයි. මේවා ‘ලෙඩ’ නොවේ. ස්වාභාවික දේවල්ය. 

එහෙම නොවෙනවා නම් ඒක ලෙඩකි! විටෙක ස්වයංවින්දනයක් මඟින් හෝ ආස්වාදයක් ලබන්නට පෙළඹීමත් අමුත්තක් නොවේ. අමුත්ත ඉව-බව නැතිව, අසීමාන්තිකව ඒවාට පෙළඹීමය.

අරාබිකරයේ.......
එව්වා ගැන දැනුම්වත්ව හිඳීම වැදගත් වන්නේ එබැවිනි. අරාබිකරයේ වැඩිහිටි ගැහැනුන් පවා මේ ඇත්ත දන්නවා වාගෙය.
    
පිටස්තර පිරිමින්ට මුහුණවත් පෙන්වන්නට නොදෙන අරාබි රටවල කෙරෙන ‘සච්චරිතයක්’ ගැනය, මේ. ඒ හුඟක් රටවල තරුණ ‘හවුස් මේඩ්ස්ලාට’ රාත්තිරියට o.t. කරන්නටවී තිබේලු. ඒ, ඒ ගෙදර ඉන්නා යොවුන් වියේ පුතාලාගේ ‘කාම දාහය’ නිවන්නටය. සමහර විටෙක ‘මදන විසේ - ගෙටත් උසේ’ ඇති තාත්තලාටත් ගොදුරු වෙන්නටය. එව්වා කෙරෙන්නේ ගෙදර වැඩිහිටි කාන්තාවන්ගේ අනුමැතියට යටත්වය.

මදැයි වටේ ගියා, ඕං ආයෙම එනවා ‘සිලිලාර’ ගමනට.
  
සිලිලාරේ......
ආච්චී පාන්දරින්ම නැඟිටලා ඉව්වා. එයා අපි ලව්වා ලූණු ගෙඩියක් සුද්ද කරන තරමේ දෙයක්වත් කරවාගත් බවට නම් මතකයක් මට නෑ. ආච්චී තනියම, හරිම කඩිසරව, හරිම රසට උයපු බව විතරයි මතක.

සීයා කළේ ඉරිලා රැල් නොවිච්ච ලොකූ කෙසෙල් අත්තක්ම කපලා ගෙනත් දෙන රාජකාරිය.

ඔන්න ආච්චී කෙසෙල් අත්ත නොපිට හරවලා සීරුවට ඒකේ නාරටිය රහිනවා. ඊට පස්සේ ඕනි කරන තරමේ කෑලිවලට කපනවා. තව ඉතිරි ළිපේ ගිනි අඟුරුවලට උඩින් කෙහෙල් අතු කෑලි අල්ලලා තව් මරාගන්න එක. එහෙම හරි ගණනට තව් මරලා ගත්තම තමයි කෑමවලට කෙසෙල් කොළේ සුවඳ කාවදින්නේ.

ඉස්සර ඉතින් සිලි බෑග් නැහැනේ. තරමක පන් මල්ලක තමයි අපි කෑම ගෙනිච්චේ. ඒකෙ වටේට; ඇතුළට කෙසෙල් කොළ දාලා උණු බත් පුරවනවා. එතකොට විහිදෙන සුවඳ දැන්-දැනුත් දැනෙනවා නේද?. චුට්ටක් ඉව කරලා බලන්නකො!

“ඒයි, බත් ටිකක් වැඩියෙන් දාපල්ලා. මුහුදෙ නාලා කනකොට වැඩියෙන් බඩගිනි වෙනවනේ. කොල්ලොන්ට මදි වෙයි.” සීයා කියනවා. ඒක නොකියවුණත් ආච්චී ඒකම තමයි කරන්නේ.

හිඳෙන්න කිරට උයපු පරිප්පුයි, තෙල් දමපු තක්කාලි- ලූණු බැදුමයි, පොල් මැල්ලුමයි වෙන-වෙනම කෙසෙල් කොළවල ඔතලා කෙසෙල් පට්ටවලින්ම තමා ගැට ගහන්නෙත්. අන්තිමට එව්වාත් පන් මල්ලේ උඩට වඩම්මනවා! 

ඒක බස් එකේ අරන් යනකොට සුවඳට මිනිස්සු කෙළ ගිලිනවනේ. ඉතින් පෙරේත බැල්මක් වැටෙයි කියන බයට අපේ ආච්චී නොවරදවාම ඒ මල්ලට දෙහි බෑයකුයි, අඟුරු කෑල්ලකුයි දමනවා.
 කෙසෙල් කොළයේ එතූ.....
මේක කොටද්දී මං ආයෙමත් ගිහින් ඉන්නේ සිල්ලප්පුවත්තේ උඩ හරියේ තිබුණු ගෙදරට. 

වරිච්චි බිත්ති, මැටියෙන් කපරාරු කරලා, මකුළු දිය කරලා ගාලා! පස්සේ තමයි හුණු ගෑවේ. ඉස්තෝප්පුව වටේ කණු විතරයි, බිත්ති නැහැ. අනෙක් පැත්තෙත් අමතර පලයක් බාලා, වටේ බිත්ති නැති කොටහක්. වහලෙට පොල්ලතු හෙවිලි කරලා. 

ඒකෙන් අමතර වාසියකුත් වුණා. හිටි ගමන් වහලෙන් වැටෙන ගෝනුස්සන්ව ‘නොමිලේම’ බලාගන්න ඇහැක් වීම! පත්තෑයෝ නම් හිටි ගමන් මතුවෙලා නළියන ගමනින් ආවේ හරි කලබලෙන්, දුවන ගමන්.

ආච්චී පොල්කොළ වේලලා අරං, ඇතුල්පතක් එහෙම වියුවේ අර කුස්සිය පැත්තේ තිබ්බ පිලේ ඉඳන්. ඒක නම් අපි කාටවත් උගන්නාගන්න එයාට ඉඩක් ලැබුණේ නෑ. හැබැයි පොල් අතු වියන එක නම් සුනිල්ටයි මටයි කියලා දුන්නා. මට අදටත් පොල් අතු වියන්නත් පුළුවන්, මෝවිට දමන්නත් පුළුවන්.

කොච්චරද කියනවා නම් ලීලක්කාගේ ‘ස්වර්ණ ළමා සමාජය’ මඟින් කරපු ‘අවුරුදු උත්සවයකදී’ පොල් අතු විවීමේ තරගයකිනුත් දිනුවා, ගෑනු අයවත් පරද්දලා. 

(අජාසත්ත පෝස්ටුවලදී කිව්වා වගේ දැනුත් කියනවා- අපේ ආච්චී, ලීලක්කා වගේ අයට ‘නිවන් පුරේ රුවන් දොර’ ඇරෙන්නම ඕනේ! මාව හැඩ ගැස්සුවාට.)

පොල් අතු විවීම
ඒත් ආච්චී පන් මලු නම් වියව්වේ නැහැ. කොහේ වියන්නද? මහරගම කොහෙන්ද පන්? හැබැයි දසනායක රත්නවතී රත්නපුරේ ඉඳිද්දී නම් පන් පැදුරුත් වියාගත්තලු. විකුණන්න නෙවෙයි, ගෙදරට. ඒත් එහෙම පන් වියන එක ගැන කියපු කතාවකුත් මට තාම මතකය.

එක ගමක නැන්දම්මා කෙනෙකුයි ලේලියෙකුයි හිටියලු. දන්නවනේ, ඔය දෙන්නා නයයි, මුගටියයි වගේලු. ජන්මන්තයිලු. පැදුරු වියද්දී වුනත් දෙන්නගේ තරහ පෙන්නනවලු.

පා සතරකි කුර අටකුත් ඉඳ          වියනා
දෙබල කුරකි පෙති ගෝමර වට  දිලෙනා
සිරස උඩින් අං දළු දෙකකුත්       වියනා
මුවා රුවැති ලේලිය පෙනුමට      වියනා

“ඉතින් පුතේ ලේලි ඔය විදියට ලස්සන මුවෙක්ගෙ රටාවක් දමලා පැදුර වියද්දී නැන්දම්මාත් ඔන්න පැදුරක් පුරනවා....”

අපට තියෙන්නේ අහගෙන ඉඳිල්ල විතරය. හූමිටි තියන්නවත් ඕනෑ නැත. අපේ කන් පෙති දික්වෙලා තියෙන තරම දකිද්දී, ආච්චී ‘satisfy’ වෙන්නට ඇත.

“.... ඒකටත් තියෙනවා කවියක්! මෙහෙම-

පා සතරකි නියපොතු විස්සකි      පුරනා
වල්ගය අතර පෙති ගෝමර වට දිලෙනා
රකුසු මූණ ඒ වට රැවුලක්        තිබෙනා
මුවා කන්න දිවියෙක් නැන්දා     වියනා”

ඔහොම කතාන්දරවලින් ගෙවුණු අපේ ළමා විය දැන් දරුවන්ට අහිමිය. දැන් ආච්චිලාට මෙගා බලනවාට වඩා දේකට වෙලාවක් නැහැ වාගෙය. ඉතින් මොන පන් වියමන්ද?

.... මොන පන් වියමන්ද?
අගෝස්තු 18 වෙනිදා උදෙන් පිටත්වුණු අපි දෙකහමාර වෙද්දී හිටියේ අරුගම්බේය. 

ගමන ලෑස්ති කළෙත්, වැඩිම වැය බරක් දැරුවෙත් මිතුරු ‘වල් ප්‍රියන්ත’ය. W. A. L. Construction අධිපතිය. ප්‍රියන්තගේ නමත් ඩබ්ලිව්.ඒ.එල්. ප්‍රියන්තය. ඒ හින්දාය එයා ‘වල්’ වී තියෙන්නේ! එයාලාගේ පවුලේ සහෝදර සහෝදරියෝ සහ ඒ පවුල්වල අයගේ චාරිකාවලටත් නෙවිල්ට හා මට අඬ ගහන බව මෙයිට ඉස්සෙල්ලාත් කියා ඇත. 18, 19 දෙදින එහෙ නැවතී ඉඳලා, කුඩුම්බිගලටත් ඔකඳ දේවාලයටත් ගියෙමු.

20, 21 දවස් දෙකේ අපි හිටියේ ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ වෙහෙරගල බංගලාවේය. අපේ ‘නේවි හරිශ්චන්ද්‍ර’ හිතවතා ගෙදරින් පුරවාගෙන ආ දේවල් අතර ලොකූ කරපිංචා මල්ලක්ද විය. “නිමල් අයියට කැඳ හදන්න ගෙනාවේ!”

වෙහෙරගල බංගලාවට ගොඩවෙන විටම එරංග ඉස්සරහට ආවේ ‘මේ සැරේ නම් නිමල් මහත්තයට කොළ කැඳවලට මොකුත් වටේ නැහැ, සේරම වේලිලා’ කියාගෙනය. එරංගත්, මාධවත් දෙන්නාම පහුගිය වතාවෙත් අපට හමුවුණු අයය. එරංග බංගලාවේ සේවයේය. මාධව ‘ට්‍රැකර්’ය.

එරංගයි  මාධවයි...
ගිය වසරේ එහි සිටියදී මට ඉවසිල්ලක් නැති වුණේ, ඕසෙට වැවී තිබුණු පැණි තෝර හා ගැට තුඹ යාය දකිද්දීය. ඔවැනි කෑමවලට ළැදි සාන්ත, සරත්, හරිශ් තුන්දෙනාම එකතුවී එව්වා නෙළා දුන්හ. 

එක දවසක උදේට පැණි තෝර කැඳ හැදූ මම අනෙක් දවසේ දවල්ට ගැට තුඹ මැල්ලුම් හැදුවෙමි. මේ වතාවේ ඉඩෝරය නිසා වටපිටාවේ තිබුණේ රණවරා විතරය. සමහර අයට ඒකෙන් ‘බඩ විරේක වෙන්නට හැකි නිසා’ මං ඒ ‘risk’ එක නම් ගත්තේ නැත. දවස් තුනක් වේලුනු කරපිංචාවලින් කොහේ කැඳ හදන්නද?

“නිමල් තමයි මෙයාලව නරක් කරන්නේ. එක්කෝ මෙයාලට බයිට් හදල දෙනවා. නැත්තං රෑ තිස්සේ බීපු එව්වයේ සැර මැකෙන්න කැඳ හදල දෙනවා.” කියා ප්‍රියන්තලගේ අම්මා නෝක්කාඩු කියද්දී මම ‘පොල්කිරි කැඳ’ හැදුවෙමි. ඒ උළුහාල්, ගම්මිරිස් ඇට හා යහමින් සුදුළුෑනුත් දමලාය. හැමෝම එව්වා බොද්දී කියවුණු දෙයක් කියන්නටය මෙච්චර දුරක් ආවේ!

“මං කිරි කැඳ බීලම නැහැ!” පනහටත් කිට්ටු කෙනෙක් කිව්වේය. ඔන්න හැටි! කිරි කැඳවලත්, පොල්කිරි කැඳවලත් තියෙන වෙනසත් එයාලට කියාදෙන්න වුණේ ඊටත් පස්සේය.  
  
අපේ නඩේ කුඩුම්බිගලදී
මං ඔය වාගේ වැඩ පෙන්වන්නේ  අපේ ආච්චී ගුරු මුෂ්ටි නැතිවම ලොකු මුණුබුරාට ශිල්ප දායාද කළ හින්දාය! නරක නැහැ නේද පන් මල්ලෙන් හැරිලා ආව දුර?

බත් මල්ලට අමතරව ආච්චී තවත් බෑග් එකක් හරි ගස්සනවාය. ඒක ගනකම කඩදාසි බෑග් එකක්. සීයාගේ සරමකුයි, අපේ ජංගි දෙකකුයි, තුවායකුයි තමා සිමෙන්ති කවර කොළවලින් හදපු ඒ බෑග් එකට දාගන්නේ. සුනිලා හරි, මං හරි තමා ඒක උස්සාගෙන යන්නේ හරි ආඩම්බරෙන්. බත් මල්ල සීයාගේ අතේ. ඔහොම යනවයි කියමුකෝ......

“චෙම්බආස්සලපීඑයා.... ජලා හුකා හුකා පරියා....” 

දෙහිවල කඩේ හරියේදී අපේ සීයගේ කටෙන් ඔහොම කියවෙනවාමයි. ඒ පාර අයිනේ ඉන්න මුස්ලිම් ගැටයෙක් දෙන්නෙක් මොකක් හරි කිව්වාම. (දෙහිවල කඩේ තිබ්බෙ පමුණුව පාරෙමයි. මුස්ලිම් පල්ලිය ළඟ. දැන් එතන තියෙන්නේ ‘කොහිලකොටුව ටෙක්ස්’ ඇඳුම් කඩේ.


අරාබි ඉස්කෝලේ.....
මහරගම ඉඳලා පමුණුව පාරේ ටික දුරක් එද්දීම (දකුණු පැත්තේ) ලොකූ තාප්පයක් ඔයාලට දැකගන්න පුළුවන්. ඒකට ගමේ අය නම් කියන්නේ ‘මුස්ලිම් පල්ලිය’ හරි ‘අරාබි ඉස්කෝලේ’ හරි කියලයි. ඒ ආසන්නයේම වම් පැත්තේ අඩි පාරක තිබුණු වත්තක සේරම හිටියේ මුස්ලිම් අය. 

(මතකද ‘අජාසත්ත’ පෝස්ටුවලදී කිව්වා නොනවත්තා සර්පිනාව ගහලා මාව නටවපු ‘පවුසි මාස්ටර්’ ගැන. එයා හිටියෙත් මේ වත්තේ. මට කොණ්ඩ මෝස්‌තර කියා දුන් ‘ෆරානා’ හිටියෙත් එහෙ.)

මුලදී නම් සීයා කිව්වේ ඒ අරාබි බාසාව කියලයි. ඒත් එයා එව්වා කියනකොට අර ගැටවු හිනාවෙන විදියෙන් නම් පෙනුණේ කුණුහරුප කියන බවක්. 

පස්සෙයි දැනගත්තේ, සීයා එහෙම කියමින්, මිනිස්සු හිනස්සමින් තමයි එයාගේ ‘බිස්නස් එක’ කරගෙන ගියේ. ‘අන්ජිසාම් පැකට්’. සත පහේ පැකට් කියන එකලු ඒ! ඒක ගැන වෙනම කියන්නම්කෝ, එච්චරට තියෙනවා ඒකේ වගතුග.

සීයාට මිනිස්සු හිනාවෙනකොටයි, සීයා ඔහොම අපබ්බ්‍රංශ කියනකොටයි නම් මට එයත් එක්ක ගමන් යන්න එපා වෙනවා. ලජ්ජා නැත්ද මන්දා. ඒත් ඉතින් තාත්තා අපිව එක්ක යන එකක්යැ? හැබැයි හුඟ වෙලාවට මම නම් සීයාට කෙඳිරි ගෑවා. “කට පියාගෙන යංකො සීයේ! ලජ්ජා නැද්ද?”

 මොට්ටක්කිළියෙන්.......
“ආ චාලි නානා, කොහෙද යන්නේ අද මුනුපුරාල දෙන්නවත් එක්කං.” කියලා මොට්ටක්කිළියෙන් ඔළුවේ බාගයක් වහගෙන හිටි ගෑනු කෙනෙක් ඇහුවත් සීයා උත්තර බැන්දේ හරුපෙකින් පටන් අරන්. 

දැනුයි ඒකෙ අරුමය මට තේරෙන්නේ. අපේ සීයා මුස්ලිම් නොවුණත් එයාලට නම්  ‘නානා’ වුණා. එහෙම අයට පන්සලෙයි, පල්ලියෙයි, කෝවිලෙයි පත්තු වෙන්නේ එකම පහනයි කියලා කියා දෙන්න වෙනමම ‘project’ ඕනෑ වෙන්නේ නැහැ!

දන්නවද? ඒ දවස්වල දෙහිවල බස් නවත්තපු තැන දැන් මහපාර කියලා! 

හෝමාගම පැත්තේ ඉඳන් හයිලෙවල් පාර දිගේ එද්දී මහරගම හන්දියෙන් වමට හැරෙන්න තියෙන පාර තමයි තැන. හරියටම ජාතික තරුණ සේවා සභාව ඉස්සරහින්. 

ජාතසේ මායිමේම වගේ තිබ්බ මහරගම අම්බලම මළගං ගියාද කියලවත් මතක් වෙන්නේ මේ වගේ කොටද්දී විතරයි. ඒත් ප්‍රසිද්ධ වැසිකිළිය නම් තවම විතැන් වෙලා නෑ!

නුගේගොඩින් පටන් ගන්න නුගේගොඩ-දෙහිවල 119 බස් එක ආවම අපි තුන්දෙනා ඒකේ. බොරලැස්ගමුව, බෙල්ලන්විල තිබ්බෙ පැය ගණනාවක දුරින් වගෙයි. කොහොමද මන්දා එව්වා දැන් ළඟට-ළඟට ඇවිත් තියෙන්නේ? හරිම පුදුමයි. 

දෙහිවලට කිට්ටු වෙද්දී, කන්ද උඩදීම ඈතින්-ඈතට නිල්ම-නිල් පාටට මුහුද පේනකොට තමයි අපට ඉස්පාසු නැතිව යන්නේ.

“ළමයෝ ටිකක් ඉන්නවා, දෙන්නම. බස් එක ස්ටේසම ළඟටම ගියාමයි අපි බහින්නේ.” සීයා කියන්නේ අපිව ආයෙමත් වාඩි කරවන ගමන්.

දෙහිවල
වාඩිවෙන එක සැපක් වෙන්නේ හිටගෙන හිටින වෙලාව වැඩි වුණොත්. හිටගෙන ඉන්න එක සැපක් වෙන්නේ ඉඳගෙන ඉන්න වෙලාව දිගු වුණොත්. 

ඒකනෙ බණේ කියන්නේ ‘යම් කිසි වින්දනයක් දිගටම ලබද්දී එය තෘප්තියක් නොවෙන බව හැඟෙයිද, එසේ නම් එය සැපතක් නොවේ. සැපතක් යයි හැඟෙන මායාවක් පමණි.’ කියලා.

ඒ වගේ මේ පෝස්ට් එකත් පමණට වඩා දිගු වුණොත්..... ඔන්න මං නවත්තනවා. තව දවසක් උදා වෙන තුරු!

2 comments:

  1. මහරගම අම්බලමක් තිබුණය කියල දන්නෙත් මේක කියවපුවම .. පරණ පින්තූරයක්වත් නැද්ද හොයා ගන්න ?

    ReplyDelete
    Replies
    1. මමත් හෙව්වා, කණ්ඩා. හොයාගන්න බැරි වුණා. තැන නම් තරුණ සේවා සභාවේ ගේට්ටුවෙන් ටිකාක් හෝමාගම පැත්තට වෙන්න.

      Delete