අකුරු මැකී නෑ

Wednesday, August 22, 2018

පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස

ගිනිකූරක් ගහනවාත්, එළියෙන් කාමරය පිරෙනවාත් එක්කමය මට හුස්ම වැටුණේ. “ඇයි, ඔයා හීනෙන් බය වුණාද?” අජිත් අයියා ඇහුවේය. ඒ ඇස් පොඩි කරමිනි. කෙතරම් බීතවී හිටියත් මට කෙළින්ම බැලුණේ ඔහුගේ මුහුණයි.

අජිත් අයියාගෙ මුහුණෙන් නම් නින්දෙන් ඇහැරුණු පාටක් පෙනුණේ නැත. එය මට වැටහුණු බවක් මොකට කියනවාද? 

මා උන්නේ ඒ තරමටම තරහෙනි. අනේ, මේක කිව්වාම හිනාවෙන්න එපා. මට ලොකුවටම, හොඳටම තරහා ගිහින් තිබුණේ මා සිපගත් එකට හෝ මා අපයෝජනය කරන්නට සැරසුණු එකට හෝ නොවේ. මගේ නින්ද කැඩූ එකටය! මාව අඩ නින්දෙන් ඇහැරවූ එකටය!!

අජිත් අයියා අත් ඔරලෝසුවට එබුණේය. “තව පැය බාගෙකින් බස් එක තියෙන්නේ. තවම රෑනේ. නිදාගන්න. උදේට යන්න පුළුවනිනේ....”

නිදාගන්නම දෙයි! මට හිතුණේ එහෙමය. දැන් මට ඕනෑ කරන්නේ හිතේ හැටියට නිදා ගන්නටය. වෙන මොනවාවත්ම නොවේ. වැඩිය හොඳ ගෙදරම ගිහින් නිදාගන්න එකය! නිහඬවම, දඩිබිඩියේම කලිසම හා කමිසය අඳින මා දිහා බලා උන් අජිත් අයියා හිටියේ බර කල්පනාවකය.

මට හොඳට මතකය. ඔරුවල-අතුරුගිරියේ සිට පාන්දරින් එන පළමු බසයටය මා නැංගේ. ඒකත් තට්ටු දෙකේ බසයකි. මා නතර වුණේ උඩ තට්ටුවේය.

බස් එකේ එතරම් සෙනඟ හිටියේ නැත. හිටි එකා-දෙන්නාත් මගේ මූණ දිහා බලන බැල්ම මට ඇල්ලුවේ නැත! ඊටත් හපන් ඔවුන්ගේ හැංගුණු හොර හිනාවය. මොකෝ, මං විගඩමෙක්ද? කෙළින්ම ඔවුන්ගෙන් එහෙම අහන තරමේ තරහකින්; මුළු ලොවත් එක්කම තරහකින් දැවෙමිනි මා උන්නේ.

 
මොකෝ, මං විගඩමෙක්ද?
දෙයියෝ සාක්කි! එතකොටය මට මතක් වුණේ. පන්සලේ නාට්ටියට ඇන්ද ඇඳුම් ගැලෙව්වාට මුහුණේ උලාගත් සායම් තවමත් එහෙමමය. 

නිදි මරගාතේ 'නිදි' මුහුණ සෝදාගත්තෙත් නැහැ නෙවැ. තෙත ලේන්සුවක්වත් නැතිව එව්වා මකා ගන්නේ කොහොමද? ඉතින් මිනිස්සු හිනා නොවී ඉඳීවිද? එතන ඉඳන් මුහුණ බිමට ඔබාගෙනය මා මහරගම තෙක්ම ආවේ.

එහෙම එද්දී වුණත් මගේ ඔළුවේ විදුලියක් කෙටුවේය. ඒ ඔහුය, ඔහුමය. මා සිප ගත්තේ අජිත් අයියාමය. 

පන්සලේදී අජිත් අයියා දැහැත් වට්ටියක්ම ළඟට කරගෙන සුවඳ ගහන බුලත් විට කිහිපයක්ම කෑවේය. තද අඳුරේ වුවද මට ඒ සුවඳ දැනුණු බව සිහි වුණේ බස් එකේදීය.

වෛතාලයෙන්ම ගෙදර ආවාම තාත්තාගෙන් හරස් ප්‍රශ්නය.

“මෙන්න වැන්දා, මට නිදාගන්න දෙන්න, ඊට පස්සේ ඕනේ නම් මාව මරාගෙන කන්න!” මගේ සේරම තරහ තාත්තා පිටින් යවා නිදාගත් එකය මා කළේ. මගේ කේන්තිය ගැන දන්නා නිසාමද කොහෙද කවුරුන්වත් එදා මගේ නින්දට බාධා කළේ නැත.

ඉතින් එදා සිදු වුණු සියලුම දේ අද වනතුරුම; මේ වෙනතුරුම තිබුණේ මගේ හිත පතුළේය. කාට කියන්නද? දැන් වුණත්, රහස හෙළි කළත් මගේ හිතේ කහටක් ඉතිරිය. ඒකත් කියලා දාන්නමය හිත. ‘භාව විරේකය’ සිදුවන්නේ එතකොටය.

ඉන් පසුවත් අජිත් අයියා මට කිසිම වෙනසක් පෙන්නුවේ නැත. මා කිසිවක් හෙළිදරව් නොකළ බව තාත්තාගේ හැසිරීමෙන් ඔහු වටහාගන්නට ඇත. මා තාත්තාට ඒ බව නොකිව්වේ ඇට්ටරකමටමද? එදා පාන්දර එසේ පලා ඒම ගැන විටෙක මට ඇති වුණේ කනස්සල්ලක්ද? නිකම්ම කුතුහලයක්ද? නැත්තං අලුත් අත්දැකීමක් ලැබීමේ අවස්ථාව මඟ හැරී ගිය බවට හැඟීමක්ද?

දැන් මා කියන්නට යන දෙය විශ්වාස කිරීම හෝ නොකිරීම ඔබ සතු වගකීමකි. ඇත්තම කීම මගේ වගකීමයි.
  
යළිත් ඔහු හා හුදෙකලා වීමේ ආසාවක්ද....
එදා වෙන්නට ගියේ මොකක්දැයි අජිත් අයියාගෙන්ම, ඔහුගේ මුවෙන්ම අසා ගන්නට නොතිත් ආසාවක් මට තිබිණි. ඒ මුවාවෙන් යළිත් ඔහු හා හුදෙකලා වීමේ ආසාවක්ද හිතේ කොනක තිබුණා වාගෙය. 

සිහිනෙන් ගෑ සුවඳක් ලෙස අර කළුවර උණුසුම්; හුස්මේ සංවේදනයත් මට වරින්-වර දැනෙමින්, මා උණුසුම් කරමින් තිබිණි. එදා මා කලබල නොවුණා නම් යන හිතිවිල්ලකුත් මට වද දෙමින් තිබුණු බවත් මෙතැනදී සැඟවිය යුතු නැත. මගේ හිත චංචලය; අසංවරය, ජාගරය. සමහර විටක අශික්ෂිතත් එක්කය.

ඉතින් යළිත් අජිත් අයියා හමු වීමේ නොතිත් කුතුහලාත්මක ආසාවකින් දැවුණද, එයට තරම් දහිරියක් මට ආවේ ඊට අවුරුදු දෙක තුනකට විතර පස්සේය. දහිරිය තිබ්බත් ඒ ගමන යන්නට ඉස්පාසුවක් හොයා ගැනීම පහසු වුණේ නැත. විශේෂයෙන්ම, තාත්තාට හොරෙන් එහෙම යන්නට ඉඩක් හොයා ගැනීම කොහොමත් ලේසි වුණේ නැත.

ඒ වෙද්දී අජිත් අයියා හිටියෙත්, පස්වෙනි හරස් වීදියෙන් ගිහින් ගමේම සැලූන් එකක් දමාගෙනය. මං ඔහු සොයාගෙන එහෙට ගිහිල්ලාත් වුණු දෙයක හැටි. කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බැලූ දා ඇත්තටම අමාවක දවසක් වුණේය.
  
පන්සලේ නටපු පුතා
“අනේ, මේ අර පන්සලේ පිංකම දවසේ නටපු පුතා නේද? ඇයි, අජිත් පුතා කිව්වේ නැත්ද? දැන් එයා ඉන්නේ ගොඩක් ඈත. පවුලගේ ගෙදර! තවම මෙහෙ සැලූන් එක කුලියට දෙන්න කෙනෙක් හම්බ වෙලාත් නැහැනේ ළමයෝ.” අජිත් අයියාගේ ගෙදර හිටි කවුදෝ ගෑනු කෙනෙක් කීවාය. අජිත් පිළිබඳ පරිච්ඡේදයට ‘කුණ්ඩලිය’ වැටුණේ එහෙමය.

මෙහෙම දේවල් වෙන්නේ උදාවන අවස්ථා අනුවද? එහෙමත් නැත්නම් ඉරණමේ ලියැවී තිබෙන විදියද මේ? කොහොම වුණත්, මට නම් ඒ හැමෙකක්ම රසබර අත්දැකීමකි. බාධක, අවහිර, ප්‍රශ්න සියල්ල අපේ ජීවිතය රසවත් කරන්නේ නැත්ද?

හිරිමල් සිනා රැළි පෙණ පිඬු       මිහිරිතම
ගල්පරවලම හැපි හැපි බිහි කරමි        මම
සම තැනිතලාවල මතු වෙයි       අලසකම
නිරසයි අතරමඟ අවහිර නොදුටු         බිම

එහෙම කියා තිබෙන්නේ එච්.එම්. කුඩලිගම කිවිඳුන්ය. ‘ගංගාවේ ගීතය’ පැදි පෙළෙහිය. ඒක කොච්චර නම් හැබෑවක්ද?

දැන් මගේ අතේ දසක හයකටත් වඩා පැරැණි ආරාධනා පත්‍රයක් තිබෙයි. ඒක හොඳටම දිරාපත් වෙලාය. ඒත් තවමත් කියවාගන්නට, ෆොටෝ එකක් ගන්නට තරම් සවිමත්ය. ඉතින් මට කරන්නට තිබෙන්නේ එහි පිටපතක් මෙහි බහා ලන එකය.

  
 ඒ දවස්වල අපි සෞභාග්‍යවත් පවුලක් වීමු. තාත්තාට හරක් පට්ටියක් තිබිණි. සල්ලි පොලියට දෙන එකෙනුත් තව ආදායමක් ලැබිණි. කනකර බඩුත් උගසට ගත්තේය. ඒ අතරේය රේල්ලුවේ ‘ෆයර්මෑන්’ රස්සාවත් කළේ. තාත්තාට එව්වායින් සරු නැතිනම් ලොකු පුතාගේ ඉඳුල් කට ගෑම වෙනුවෙනුත් උත්සවයක් ගනීවිද?

එතන සිට අවුරුදු දහයක් ගතවෙද්දී සේරෝම නැති භංගස්ථානවී, නැත්තටම නැතිවී ගිය හැටි කියන්නට අද තාත්තා නැත. එව්වා සහසුද්දෙන් දැන හිටියේ ආච්චිලා, සීයලා, තාත්තා හා අම්මාය. මා දන්නෙත් ඒ දිනවල කියවුණු අංකොන් විතරය. එහෙම දැනුම්වත් අයගෙන් අද ඉතිරිව ඉන්නේ අපේ අම්මාය.

අපේ අම්මා මට නම් විශ්වාසවන්ත මූලාශ්‍රයක් නොවේ. අම්මා කියන්නේ තමුන්දෑව ‘up’ කරගනිමිනි. ඒ හින්දාම මා කියන්නේ පරම්පරාවේ කතාව නොවේ. මගේ කතාවය. නිදිගේ කතාවය. එහෙම කරන්නේ මට ඇති සම්පත් භාවිතයට ගනිමිනි.

ඒකට අනුව නම් ඊළඟට තවත් අත් පත්‍රිකාවක්; hand bill එකක් මෙතනට දාන්න වෙයි. ඒක මං අච්චු ගැස්වූ එකක් නොවේ. වත්තේගෙදර සුචරිතවර්ධන ළමා සමිතිය ‘මුද්‍රණද්වාරයෙන් පැහැරවූ’ එකකි. 

ටක්කෙටම කියනවා නම් අමරදාස ඩී. ප්‍රේමසිරි අච්චු ගැස්වූ එකකි. ඒ පැත්තේ අය නම් ඔහුට කිව්වේ ‘ෂෙල්ටන්’ කියලාය. ෂෙල්ටන් අපේ ගෙදරට ආවේ ‘අජාසත්ත’ පෙන්නුවාට පස්සේය. ‘විධුර’ට ඉස්සෙල්ලාය. ඔහුත් නාට්‍යකාරයෙකි. මගේ පේව්මන්ට් රස්සාව දැනගත් පසු ෂෙල්ටනුත් එයාලගේ ගෙවල් පැත්තෙන් මට ‘නටන්නට’ ඉඩ හදා දුන්නේය. මේ එහෙම දේකට පළ කළ පත්‍රිකාවකි.


ඉතින් ඒ ‘මුද්‍රිත සාක්ෂි’ දෙක මට ඔච්චම් කරයි; කොකම් පායි. 

‘නිමල්ලගේ ගෙදරට අවුරුදු දහයක-දොළහක කාලයකදී වෙච්ච වෙනසක්!’ සහතික ඇත්තය. බදුල්ලේදී ඉඳුල් කටගාන එකත් මහ ඉහළින් සැමරූ ‘ගුණපාලගේ’ ලොකු කොල්ලා දැන් පන්සල්වල නටයි. සමිතිවල, ඉස්කෝලවල නටයි. ගෙන්දගම් පොළොවේත් හැමදාම ‘නටයි’.

එහෙම නිතිපතා කොළඹ ගෙන්දගම් පොළොව පාගන්නට ගියත්, ඒ මරිසි පුරවරයේ හක්කලං කළත්, නානාප්‍රකාර උගුල්-අංචි අස්සෙන් රිංගුවත් ගුණපාලගේ ලොකු පුතා; නිමල් දිසානායක වෙනස් වුණේ නැත.

එතෙක්- මෙතෙක් මා මත්පැන් බිඳක් කට ගා නැත. දුම් වැටියක් උරා නැත. මා ඒ බව කියන්නේ සාඩම්බරයෙනි. 

හැබැයි අද දක්වාමත් හොඳට කන-බොන අය මගේ මිතුරන්ය. සුචරිතවත් මෙන්ම දුශ්චරිතවත් අයත් මගේ මිතුරන් අතර ඇත. ‘හිත හොඳ පපුවෝ’ වැඩියෙන්ම ඉන්නේ දෙවනු කී ගොඩේ වීමය පුදුමය! මහරගම පළමු කුඩ්ඩෝ කිහිප දෙනාමත් මා විවිධ මට්ටමින් ඇසුරු කළ අයයි. එහෙත් ඒ කිසිවෙක් කිසි විටෙක මට ඒවා පිරිනමා නැත. ‘යාලු ෆිට් එකටවත් සිප් එකක් ගන්නැයි - දුම් උගුරක් අදින්නැයි’ කියන්නේ නැත. හැබැයි ඒ මට ඇති බයකට නොවේ. කිව්වාට මා නොඅසන බව දන්නා හෙයිනි.

මහරගම පළමු කුඩ්ඩෝ.....
අපේ ඇසුරට වැටෙන අය, අපට ඇසුරට ලැබෙන අය වෙනස් අය වන්නට තිබෙන ඉඩ වැඩිය. මොන මට්ටමේ අය ඇසුරු කළත් තමා තමන් ලෙසම ඉන්නට නම් කෙනෙකුට ‘තද ගටක්’ තිබිය යුතුමය. මා හිතන්නේ මට ඒක නම් අඩු නැතිව තිබෙන බවයි! (පම්පෝරියක්, හොඳේ!) ඒ ශක්තිය නිසාමද කොහෙද මා කවදාවත් කෙනෙකුගේ දුප්පත්කම, කුලහීනකම හෝ පහත් යයි සම්මත රැකියා කිරීම ගැන තැකුවේ නැත!

එවන් මිනිහෙකි; සැබෑ මිනිසෙකි විජේ මාමා! රත්තරන් හදවතක් තිබුණු, අනුනට නොව තමන්ටම වැරැදි කරගත් මනුස්සයෙක්.... ඔහු මට එළියක් දුන්නේය.

ඒ කාලයේ පමුණුව පාරෙන් කාලකටවත් විදුලිය තිබුණේ නැත. 

මුලදි-මුලදී නම් මා රෑ බෝවී එනවිට තාත්තා හෝ සීයා හෝ මඟට ඇවිත් හිටියත් ටිකෙන්-ටික එය නැවතිණි. තාත්තා කියූ විදියට නම් ඒකේ වැරැද්දත් පැටවුණේ මගේ පිටටමය. “උඹත් දැන් හෙටානිද්දා ඉලන්දාරියෙක් වෙන්න කිට්ටු එකේ කළුවරට බය වෙලා බෑනේ. දැන් තියාම පුරුදු වුණාම හරි”.

තමන්ගේම ලෙයින් සහජාත පුතා ගැන අපේ තාත්තාට උණු වුණේ නැතත් විජේ මාමාට උණු වුණේය. විජේ මාමා කළේ හන්දියේ මුට්ට කර ගැසීමය. 

උදේ ඉඳන් රෑ වෙනතුරු අනුන්ගේ බර උස්සන විජේ මාමා, හැන්දෑවට තමන්ගේ බර අමතක කරගන්නට කසිප්පු බොයි. ටිකක් හෙමත් නොවේ. කරටිය කැඩෙන්නමය.

මුට්ට කර ගැසූ.....
විජේ මාමාටත් දරු කැලතක්ම හිටියේය. බිරියත් ‘හිත හොඳ අම්මණ්ඩියෙකි’. හිත හොඳ වුණාට ඒ අම්මණ්ඩිත් දරුවන් ගැන තැකීමක් කළේම නැති ගානය. 

මං එහෙම කිව්වේ ඒ ගෙදර ගැහැණු ළමයි සේරගේම ඔළුවේ රොතු පිටින් උකුණෝ නලියාපු හැටි තවමත් මතක හින්දය. එයාලාගෙ ලොකු දූ මල්ලිකාත් අපේ නාට්‍යවලට ආවාය. ඒ අවශේෂ චරිතවලටය. අපේ තාත්තා එව්වා දුන්නේ රඟපාන්නට බැරි ළමුන්ටය. රඟපාන්නට බැරි වුණත් මල්ලිකා එකම-එක සින්දුවක් හොඳටම ගයන්නට දැනගෙන උන්නාය.

‘නොකියාම එදා ඇසළ මහේ සඳ ඇති පායා...” එතකොටත් අපේ ගෙදර රේඩියෝවක් තිබුණේ නැත. මඟ තොටේ යද්දී ඇහෙන එව්වා විතරය, මා දැනගෙන උන්නේ. ඒකෙත් හොඳක් තිබිණි. සැරයක් දෙකක් ඇහෙනකොටම සිංදුව පාඩම්ය.

“දරුවෝ, ඔය ළමයා කොහොමද රෑ වෙලා කළුවරේ තනියම ගෙදර යන්නේ? මං ඕකට හොඳ බඩුවක් හදල දෙන්නම්කො!” විජේ මාමා දවසක් කිව්වේය. 

ඔහු දේශපාලන+අඥයෙක් නොවේ. ඒ හින්දා මට දුන් පොරොන්දුව ඉටු කළේය.

........හරියටම මල් බාල්දියක් වගෙය
විජේ මාමා සාදවා දුන් බෙලෙක් ලාම්පුව හරියටම කුඩා මල් බාල්දියක් වාගෙය. ඒකට භූමිතෙල් පිරවිය යුතුය. දිගු නටුවේ කටට ලොකූ පාන්කඩයක් ගැසීමෙන් පස්සේ පත්තු කරන්නට හැකිය.

“පුතේ, ඔයා රස්සාවට යනකොට මේක අරන් ඇවිත් පාර කෙලවරේ අකුලක් යටං හංගලා යන්න, ගිනි පෙට්ටියකුත් එක්ක. රෑ වෙලා යනකොට මේක පත්තු කරන් යන්න.” විජේ මාමා මට කිව්වේය.

විජේ මාමේ, ඔයාට නිවන් සැපම ලැබෙන්න ඕනේ කියලා මං විතරක් නෙවෙයි, මේක කියවන සංවේදී හදවත් තියෙන හැමෝම මාත් එක්ක ප්‍රාර්ථනා කරාවි. (ඒ හිත හොඳ මනුස්සයා විතරක් නොවේ, ඔහුගේ එකම පුතාත් තාත්තාගේ රස්සාවේම නියැළී හිඳ අකල් මරණයකට ගොදුරු වුණු බවයි ආරංචිය.)

ඉතින්, අපි දැනට පිල්ලුම් (දියවිනි ඉනාවෙදී මං පිල්ලුම් ගැන කිව්වේ.) නවයක් ආවා. දිගයි නේද? බලමු, දහයෙන්වත් නවත්තාගන්න, ලබන සැරේ!

2 comments:

  1. // මට ලොකුවටම, හොඳටම තරහා ගිහින් තිබුණේ මා සිපගත් එකට හෝ මා අපයෝජනය කරන්නට සැරසුණු එකට හෝ නොවේ. මගේ නින්ද කැඩූ එකටය! මාව අඩ නින්දෙන් ඇහැරවූ එකටය !! //

    යකඩෝ ඒක :-D

    ReplyDelete
    Replies
    1. සහතිකයි කණ්ඩො, දැනටත් මට නිඳීමත වෙලාවට නම්.... හිතේ හැටියට නිඳාගන්න නැති නං මොන මඟුලක්ද?

      Delete