අකුරු මැකී නෑ

Friday, August 10, 2018

අඟුල්මල් දහනය - තෙවෙනි කොටස


“ආ ඒකත් ඇත්තනේ. ඉතින් මොකද වුණේ?”අහිංසකට දැන් කතන්දරේ තේරිලා.

‘අම්මයි තාත්තයි දෙන්නම ආවා. නඩුවත් ඇහුවා. තීන්දුව හම්බ වුණේ අපේ වාසියට!’ එයාලා තීන්දුව දුන්නත් නෝනාව සනසවා ගන්න හම්බ වුණේ නෑ. එයා පළි ගගහා ඇඬුවා.’

මෙන්න එතකොටම නෝනාත් ඉතිරි හරිය කියනවා. 

“නෝනා උඹට මං පස්සේ වෙසක් කාඩ් එකක් ගෙනත් දෙන්නම් කියලා තාත්තා මට කිව්වා. ඒ වුණාට මාමේ එතකොටත් මං දන්නවා ඒ කිව්වේ බොරු බව. මාත් හිටියේ හොඳටම තරහෙන්.... ලොකාලත් එක්ක.”

“ලොකු අය පොඩි ළමයින්ව රවට්ටනවා බොරු කියලා. ඒ මොහොතේ ගැලවිල්ලට. අන්තිමට පොඩි එවුනුත් බොරු කියන්න පුරුදු වෙනවා. ඊට පස්සේ පුංචි එවුන්ටම වැරැද්ද පටවනවා, බොරු කියනවා කියලා. කාවද මේ රවට්ටන්නේ?” අහිංසක විස්සෝපයෙන් කිව්වා. “එක අතකට දෙවියනුත් රවට්ටන එකේ ඕක මොකක්ද?”

දෙවිවරු සතුන් පිටේ යද්දී....
‘දෙවියනුත් රැවටෙනව නේන්නං හලෝ. පරාණෙට පරාණයක් කියලා කුකුළෙක් දෙනවා. රූපෙට රූපයක් කියලා තහඩු රූපයක් දෙනවා. දෙවිවරු කට්ට කාගෙන මීයොන්ගේ පිටේ, හරකුන්ගෙ පිටේ, මොනරුන්ගෙ පිටේ යද්දී කපුවෝ කෝටි ගණන් වටිනා වාහනවල ෂපාන් එකේ යනවා, දෙයියන්ව විකුණලා! අන්තිමට දෙයියන්ගේ පඬුරුවලටත් වැඩේ දෙනවා. මං දෙයියෙක් නං දනී කරන දේ!’ මං කිව්වා.

අද මේ දෙන්නව ආපහු පිටත් කරන්න තියෙන නිසා මමම කතාවට බැහැලා වැඩේ ඉක්මන් කළා. ‘පහුවදා පාන්දරම නැඟිට්ට ගමන්, කටේ කුණු කෙළ පිටින්ම සුනිලුයි, මායි දිව්වේ සල් උයන ළඟට!’

“ලොකා, වෙසක් කාඩ් එක නැහැනේ?” සුනිල් මූණ ‘නාලු’ කරගෙන කිව්වා. අපි දෙන්නම අඬ-අඬා හතර අතේ හෙව්වා! නෝනාත් අපේ පස්සෙන්ම ආවා. අම්මා, තාත්තා දෙන්නත් අංගුලිමාලව හෙව්වා. ම්හු! අංගුලිමාල අතුරුදහන් වීම හිතාගන්නවත් බැරි පුදුමයක්.

උදේ රැයින් නැඟිටලා, මල් කඩලා බුදු පහන තියන්න ලෑස්ති වුණු ආච්චීත් ඒක නවත්තලා සෙවුම් බලකායට එකතු වුණා. 

තේ බොන්න දෙහිවල කඩේට යන්න හැදූ සීයාත් දැන් හෙවිල්ලේ... 

තවත් බලන්න දිහාවක් ඉතිරි වෙලා තිබ්බෙ නැහැ. කාටද ඕනේ මෙහෙම වෙසක් කාඩ් එකක් හොරකම් කරගෙන යන්න? ඊටත් අපේ වත්තට කවුරුවත් එන්නෙත් හාවා හඳ දකිනවා වගේ කලාතුරකින්.

බුදුන් වඳින්න හැදූ ආච්චී....
අපේ තාත්තට තමයි වැඩියත්ම හිතට හරි නොගියේ. ෂර්ලොක් හෝම්ස්ටත් බැරි වුණා වගේනේ, එයාටත් නොහැකි වෙච්ච එක. 

මං හිතන්නේ තාත්තා වෙනදාටත් වැඩියෙන් ත්‍රී රෝසස් බිබී හෙව්වේ ‘අබිරහස විසඳන’ උපායක් වෙන්නැති. එයා පොටක් පාදා ගන්නකල් යමු සැවැත් නුවර ගන වනාන්තරේට.

අංගුලිමාල බලාගෙන ඉන්නවා කවුද එදා කැලේට එන්නේ කියලා. දැන් ඇඟිලි 999ක් හරි. තව එකයි අඩු.

ඒ අතරේ රජතුමාගේ හේවායෝ සූදානම් වෙනවා මේ මිනීමරු ඝාතකයාව අත්අඩංගුවට අරගන්න යන්න. ඒ ආරංචිය ලැබුණා විතරයි, මන්තාණි බැමිණිය; අහිංසකගේ අම්මත් කැලේට යන්නයි ලෑස්තිය. හමුදාවක් ගියොත් නම් පුතණ්ඩියාව මරලා හරි අරන් එන බව බැමිණියට විශ්වාසයි. 

පුතෙක්ව මරන්න එහෙම ඉඩ දෙන්න පුළුවන්ද අම්මෙකුට? මන්තාණිට තවමත් එයාගෙ අහිංසක, අහිංසක චූටි පුතු පැටියෙක්ම තමයි!

ජේතවනාරාමයේ වැඩ හිටිය බුදු හාමුදුරුවොත් දිවැසින් මේ සේරම අලකලංචි දුටුවා.

“හරියට එදාම බුදු හාමුදුරුවෝ මාව හොයාගෙන වැඩියේ නැති නම් ..... හිතන්නත් බයයි. එහෙනම් මගෙ අතින් මැරෙන්නේ මාව හොයාගෙන කැලේට ආව මගෙම අම්මා!” අහිංසක අත් දෙකින් ඔළුවේ කෙස්ගස් අහුරු පිටින් ඇද ගනිමින් කිව්වා. "මාව මෙලොවට ගෙනාව අම්මා!"

මාව මෙලොවට ගෙනාව අම්මා.....
මට හිතෙන්නේ බුදු සිරිතෙන් ගත යුතු හොඳම ආදර්ශය තියෙන්නේ එතන කියලයි. උන්වහන්සේ කල්-යල් බලලයි අංගුලිමාලව දමනය කරන්නට වැඩියේ. හොඳම වෙලාවේ, හොඳම තැනේදී, වඩාත්ම ඵලදායී විදියටයි යමක් කරන්න ඕනේ. (නැත්තං ඉතින් කලබලේට යහපාලනේ ගෙනාව වගේ වෙයි නේද?)

අංගුලිමාල බුදු හාමුදුරුවෝ ළඟදි දමනය වෙලා, එහි භික්ෂූ භාවයෙන් පැවිදි වුණා කියලයි බණ පොත්වල තියෙන්නේ. ඒත් රහත් වුණාට පස්සෙත් උන්නාන්සේට මිනී මරාපු පාපය දිට්ඨ ධම්ම වේදනීය විදියට පටිසන් දුන්නාලු. එතුමා පාරේ වඩින කොට බල්ලෙකුට වගේ සතෙකුට ගහන දණ්ඩක් වුණත් ඇවිත් වදින්නෙ එතුමාගෙ සිරුරෙයි කියලා බණ පොත්වල තියෙනවා!

අංගුලිමාල රහතන් වහන්සේ කෙනෙක් බවට වුණාට පස්සෙත් දඹදිව මිනිස්සු ඒ නමටත් බයෙන් හිටියාලු. ඒ හින්දාම එතුමන් පිණ්ඩපාතයේ වඩිද්දී හුඟ දවසට දානය ලැබුණෙත් නැහැල්ලු.

‘මට පොඩි පටලැවිල්ලක් තියෙනවා අහිංසක උන්නැහේ......’

ඔන්න නෝනාත් පැන්නා. “ලොකාට ඉතින් පැටලිලි නැත්තේ කවද්ද?” ඒ පන්දුවට නිදැල්ලේ යන්න ඇරලා මං පටලැවිල්ල කිව්වා.

“..... මතකද අර මූඪ ගර්භ කාන්තාව පිළිබඳ සිද්ධිය? ටිකක් ඒ ගැන කියන්නකෝ. බොහොම දෙනා අංගුලිමාල පිරිතේ අනුහස් ගැන නම් කතා කරනවා. ඒත් ඊට යටින්.....” නෝනාත් දැන් එහෙම පිටින්ම නිශ්ශබ්ද වෙලා, කන දික් කරගෙන.....

මූඪ ගර්භ කාන්තාව.....
“.... එතකොට මම රහත් වෙලා. දවසක් මම දුටුවා ගැබිණි මවක්. දරු ප්‍රසූතිය පමා වීම නිසා ඇය හොඳටම වේදනාවෙන් හිටියේ. මම අපේ තිලෝගුරු සමිඳාණන් වහන්සේට ඒ බව කිව්වා, ඇයට පිළිසරණක් වෙන්නත් හිතාගෙන. මට ඒ මාගම අසලට ගිහින් ‘මා උපන් තැන් පටන් දැනගෙන සත්වයෙකුගේ දිවි තොර නොකළ බැවින් ඒ අනුහසින් දරු උපත සිදු වන්නැයි කියා සත්‍ය ක්‍රියා කරන්න’ කියලා උන්වහන්සේ වදාළා.”

‘හරියට හරි. ඔතනට තමයි මට එන්න ඕනේ වුණේ. එතකොට අංගුලිමාල හාමුදුරුවෝ මොකද කිව්වේ? මෙන්න මෙහෙමයි ‘ගුරුළුගෝමීන්ගේ අමාවතුර- පණ්ඩිත කෝදාගොඩ ඤාණාලෝක ස්ථවිරයන් වහන්සේගෙ සංශෝධිත ග්‍රන්ථයේ ඔය ගැන කියන්නේ.

 –“වහන්සෙ, හෙ මට මුසවා වෙයි. මා විසින් බොහො සත්හු දැනැ මරන ලදහ”යි කීහු. “අංගුලිමාලය, හෙ තා ගිහිමිනිස්කලැ. ගිහිමිනිස්හු නම් සතුන් මරනු ආදි කෙරෙති. දැන් තට ආර්ය නම් ජාතියෙක් ඇති. එසෙ බැවින් තො ‘මා උපන් තැන් පටන්-ගෙනැ යැ’යි කියන තැනැ කුකුස් ඇති විහි නම්, ආර්ය ජාතිය උපන් තැන් පටන්-ගෙනයැ’ කියා යි’ නඟා යවූහු.”- මං හරියට උපුටලා කිව්වා ඔන්න!”

“අනේ ලොකා... ඒ භාෂාව නම් මට හරියට තේරුණේ නැහැ.” එහෙම කිව්වේ නෝනා.

‘මේකයි! එතකොට අංගුලිමාල බුදුහාමුදුරුවොන්ට කිව්වාලු ‘මං එහෙම කිව්වොත් ඒක බොරුවක් වෙයි. මං ගොඩක් මිනිස්සු මරලා තියෙනවානෙ’ කියලා. මොකක්ද එතනදී බුදුහාමුදුරුවෝ පැහැදිලි කළේ?’ මම අහිංසකගේ පැත්තට හැරුණා.

“ඒ ඔබ ගිහි කාලෙදි තමා මිනිස් ඝාතන කළේ. දැන් ඔබ යළිත් ඉපදිලයි ඉන්නේ. ඔබ දැන් ආර්ය ජාතියේ කෙනෙක්. බුද්ධ ශ්‍රාවක සංඝයා වහන්සේ කෙනෙක් වුණු ගමන් මම ආර්ය ජාතියට මිසක් වෙන ජාතියකට අයිති නැහැ කියලයි උන්වහන්සේ මට පහදලා දුන්නේ....”

 “ඒක මෙතනට ඇදගෙන ලොකා මොකාටද එන්න හදන්නේ?”

වියරු හාමුදුරුවරු.......
එන්න හැදුවේ මොකාටද කියලා එයාට කියලා තේරුම් කරලා දෙන්න බැහැ. 

අතීතයේ හිච්චි කෙල්ලෙක් දන්නා වර්තමානය මොකක්ද? අද ඉන්නා ගෞරවනීය සංඝ රත්නය ඇත්තටම ආර්ය ශ්‍රාවකයන් වහන්සේලාද? මං දන්නවා, වර්තමානයේ තියෙන; ඇතිවෙන ප්‍රශ්න එක්ක අසූහාරකෝටියක් සංවර ශීලය රකිමින් ඉන්න අමාරු තමයි. 

ඒත් සිවුරට නොගැළපෙන තරමට කුලප්පු වෙන්න උන්නාන්සෙලාට පුළුවන්ද? එහෙම වෙලාවට කරන්න දේවල් නැතිද? .... රට බේරාගන්න සටනට යන්න ඕනෙයි කියලා හිතාපු ථෙරපුත්තාභය හාමුදුරුවෝ යුද්ධෙට ගියේ සිවුර ගලවලා පැත්තකින් තියලයි. එව්වා අපූරු පූර්වාදර්ශ නෙවෙයිද? 

ඒත් මං ඒවා මොකුත් නොකියා, නෝනා අහපු ප්‍රශ්නයට උත්තරේකුත් දුන්නා.

‘මෙන්න මේකයි. කවුරු හරි මහණ වෙනවා කියන්නේ ආර්ය ජාතියේ උත්පත්තිය ලබනවා කියන එකයි. ඊට පස්සේ උන්නාන්සෙලාට තියෙන්නේ ආර්ය ජාතිය විතරයි! සිංහල, දෙමළ, මුස්ලිම්, ක්‍රිස්තියානි භේදයක් නෑ, හරිද?’

ඒ කතාවට අහිංසකයි, නෝනායි දෙන්නාම දාපු හිනාව දැක්කාම මටත් අංගුලිමාලයෙක් වෙන්න හිතුණා! (මේ බුදුන් උපන් දේශයයි කියලා ත්‍රී වීල්වලත් ගහගෙන යන තරම් බුද්ධාගම්කාරයෝ ඉන්න රටක බොදු නායකයෝ ගැන එයාලට මතක් වෙන්න ඇති මයෙ හිතේ.)

“අනේ ලොකූ, මට පරක්කු වෙනවා! එදා මං කළේ නම් වස වැරැද්දක්.” නෝනා කිව්වේ යන්න නැඟිටින ගමන්. දැන් ඉතින් කතාව ඉවර කරමු කියලා එයා යෝජනා කළා වගෙයි මට දැනුණේ.

වෙසක් එකේ, වෙසක් කාඩ් එකට මොකද වුණේ?
“ඇයි, ඔය ළමයට දැනගන්න ඕනි නැද්ද වෙසක් එකේ, වෙසක් කාඩ් එකට මොකද වුණේ කියලා?” අංගුලිමාල එහෙම ඇහුවම කෙල්ලගේ මූණට ආපු ඇට්ටර පෙනුම! ඒකට හීන් හිනාවකුත් එකතු වුණා ටිකකින්.

“මං යන්නම්.... ලොකූ කියයිනේ විස්තර.”

“එතකොට වෙසක් කාඩ් එක හම්බ වුණේ කොහොමද?” අහිංසක ඇහුවා.

“හම්බ වුණේ අළු! ළිප මුල්ලේ තිබිලා.... අපේ තාත්තට තමයි ඔය ප්‍රශ්නේ අත ඇරලා දාන්න අමාරුම වුණේ. එයාටත් මදිකමක් වගේනේ ගෙදර ඇතුළේම මෙහෙම දෙයක් වුණාම. තාත්තා කොනක ඉඳලා මුළු ගේම පෙරළුවා. ළිප් බොක්කේ තමයි අංගුලිමාල හිටියේ අඟුරු වෙලා. ඔයා කියාපු; මේ කිඩෑ කෙලිත්ති ‘අංගුලිමාල දහනය’ කරලා. පිච්චුවාම හොයා ගන්න බැරි වෙයි කියලා මේකි හිතන්න ඇති. ඒත් ඝනකම වෙසක් කාඩ් එකක් පිච්චුණත් කුඩු වෙන්නෙ නෑ... ඒ වගේමයි ඒකෙ තිබ්බෙ මොනවද කියලත් බලා ගන්න පුළුවන්! ඒ දෙකම අපේ නංගි නොදැන හිටි හින්දයි හොරේ එළි වුණේ!”

පසුවදන:




පුංචිම සංදියේදීත් එච්චර තද හිතක් තිබුණු අපේ ලොකු නංගී; පුෂ්පා රංජනී දිසානායකටත්, අංගුලිමාල මහ රහතන් වහන්සේට මෙන්ම නිවන් සැප ලබා ගන්නට වාසනාව උදා වේවා! සසර සැරි සරන තුරු අකල් මරණයක් නොවේවා!!  

4 comments:

  1. දැනුයි තේරුනේ "දහනය"...

    අනේ ඔයාගෙ පොඩි නංගිට සුගතියක්ම අත් වේවා!

    ReplyDelete
    Replies
    1. ඩ්රැකී, ඔයාටත් ගොඩක් පින්!

      Delete
  2. අපිට කියල දීල තියෙන විදිහට "මා උපන් තැන් පටන් දැනගෙන සත්වයෙකුගේ දිවි තොර නොකළ බැවින් ..." දැන් ඒ කියන්නෙ අංගුලිමාල බබා ... ? :-D

    සහෝදරියට නිවන් සුව පතනව ! :(

    ReplyDelete
    Replies
    1. පොත ලියාපු එක්කෙනාගෙන් තමයි අහගන්න වෙන්නේ. මට නං වැදගත් වෙන්නේ ඒකෙන් මතුවන කරුණයි. හාමුදුරු කෙනෙක් වෙන දවසෙන් පස්සේ එයාට ජාතියක්, වංශයක් නැහැ. ආර්ය ජාතිය විතරයි!

      කොහොමද කණ්ඩා ඔය ධර්මේ අපේ හාමුදුරු ගොල්ලන්ට කියලා දෙන්නේ?

      Delete