අකුරු මැකී නෑ

Wednesday, August 8, 2018

මගෙන් මංගල යෝජනාවක් - දෙවෙනි කොටස



ඉතින් හිමිදිරි පාන්දරින් අවදිවී, ගමනට සූදානම්වී මම අනූලා ඉන්නා කාමරයේ  දොරට තට්ටු කළෙමි. දොර ඇරියේ ජයායි. එතකොටත් එයා උන්නේ නයිටියට උඩින් හවුස්කෝට් එක දාගත් ගමන්. (විවර කෙරුවා මනස් සලෙළුන් - උමතුවූ දෙනුවන් රැහැන් ඇද- හෙම නෙවෙයි ඕං.)

එතැනින්නේ මං එදා නැවැත්තුවේ. ඔන්න ඊළඟට....

“good morning! නිමල් අයියේ!” එතකොටත් අනූ විතරක් නෙවෙයි, රංජිත් දොර ළඟමය. කෙල්ලෝ දෙදෙනාම මට සුබ පැතූහ. "ඇයි නිමල් අයියේ?" ප්‍රශ්නය ඊළඟට ආවේය. පෙනෙන්නට නොහිටියේ අනූ විතරය. මගේ උත්තරය වුණේත් ප්‍රශ්නයකි. “කෝ අනූ?”

ඒ අනූත් දර්ශන පථයට ප්‍රවිෂ්ඨ වුණු මොහොතය. “ඇයි නිමල් අයියේ?”

"අනූ, මට ඔයා එක්ක පුංචි පෞද්ගලික කතාවක් තියෙනවා. මං තව විනාඩි පහකින් එන්නම්. කෑම ශාලාවට එනවද තරහ නැතිව?

මම ගොනාසේ කියා දැම්මෙමි; අර නෑම්බියන් දෙන්නා ඉස්සරහම. එහෙම කියද්දීම අනූ ඇඹරුණත් මට ඒක මීටර් නොවිණි. හරකා! මොට්ටයා!! මෝලා!!! මී හරක් බූරුවා!!!! මා ගැන කියන්නට වචන මදිය! හොඳටෝම මදිය.


දමයන්තිය
ඔන්න විනාඩි පහෙන් පස්සේ අනූ ආවාය! හරියට විදර්භ දේශාධිපති භීම රජ්ජුරුවන්ගේ දූ කුමාරි දමයන්ති වාගේ.... නිෂාධයෙ අධිපති නල කුමාරයා ඉදිරියට ආව විදියට.... ඇයි දමයන්ති කුමරියත් මනෝමය ප්‍රේම ලෝකයක අබිසෙස් ලබාගෙනනේ හිටියේ.

අනූත් ආවේ මුහුණ රතු කරගෙන. කන් පෙතිවලට ලේ පුරාගෙන. ඇස් දිලිසෙද්දී...හීනි දාඩිය බිඳුවලින් නැහැවිලා!  අනූ කෑම මේසය ළඟට ආවාම මං එයාට වාඩිවෙන්න කිව්වා. එයාත් වාඩි වුණා. එයාගෙ ඉස්සරහින්ම මාත් වාඩි වුණා. දන්නවනේ මට වැඩි වෙලාවකුත් නෑ. ඉක්මනට මං කොළඹ යන්න පිටත් වෙන්නත් ඕනේ. කල් නොමරා මං මගේ වැඩේට බැස්සා.

"අනූ මට ඇත්තම කියන්න ඕනේ. හරිද? හැබැයි මං අහන්නේ ඔයා ගැන පුද්ගලික දෙයක්. තරහ නැහැනේ....අහනවට." no කතා; no සිනා. "මට දැනගන්න ඕනේ ඔයාට boy කෙනෙක් ඉන්නවද කියලා..... ම්ම්ම්ම්ම් මෙහෙම ඇහුවොත්.... ඔයාගේ එෆෙයාර් එකක් එහෙම තියෙනවද?"

එෆෙයාර් එකක් එහෙම තියෙනවද?
මට ඕනේ වුණේ පුළුවන් තරම් ඉක්මනින් කතාව කෙළවරක් කරලා පිටත් වෙන්න. එයාට ලේසි කරන්නයි මං වැඩි විස්තර කිව්වේ.

මෙන්න වදේ මේ ළමිස්සි ඇඹරෙනවා, කෙලෝරක් නැතිව. එතකොටවත් මං හරකාට තේරුණේ නැති හැටි මං යන්නේ වැරැදි පාරක බව! ඒත් මං ඒකත් එච්චර ගණනකට නොගෙනම ඊළඟ පියවරත් තිබ්බා. "...... තියෙනවා නම් දැන්ම මට කියන්න අනූ. ඒ රහස මගෙන් පිට යන්නේ නැති බවට මං පොරොන්දු වෙන්නම්. සත්තයි." ඔන්න කෙල්ල තව ටිකක් රතු වුණා. අමාරුවෙන් වචන හොය-හොයා ඉන්න ඇති.

මෙහෙම අවස්ථාවකට මුහුණ දීලද දන්නේ නැහැ ප්‍රේමකීර්ති ද අල්විස් වික්ටර් රත්නායකට මේ පද ලියා දුන්නේ. 

"ඔබ හඬනා හඬ - මට ඇසුණේ නැත
ඔබ හිනැහෙන හඬ - මට ඇසුණේ නැත
ඔබ නිහඬව සිටිනා හඬ පමණක්
සවන් යොමා සිටි මට ඇසුණා.....


ප්‍රේම්  හා වික්ටර් 
මං හිතන්නේ මටත් එහෙම ඇහෙන්නැති. "අනූ, මං කියන්න යන දේට තීරණයක් ගන්න ඔයාට සම්පූර්ණ අයිතිය තියෙනවා. හැබැයි මට ඔයාගේ අවංක අදහස කියන්න ඕනේ. හරිනේ......."

චිඃ! පස්සෙයි මට තේරුණේ මං කතා කරලා තිබුණු රළුකම. මගේ හිතේ තිබුණේ එකක්. අනූගේ හිතේ තියෙන්න ඇත්තේ තව එකක්. මං පොල්ලෙන් ගහන්නා වගේ; ඊ ගහ වගේ කෙළින්ම කියාගෙන යද්දී කෙල්ලට මොනවා හිතෙන්න ඇද්ද?

".....මේක මංගල යෝජනාවක් අනූ...." මං වචන ගොනු කර ගනිද්දී එයා ඉන්න ඇත්තේ කොහෙද?

ඊටත්  එවෙලෙ මං නොදැන හිටියාට, පස්සෙයි දැනගත්තේ - අර නෑම්බියෝ දෙන්නත්; ජයායි රංජියි දෙන්නත් දොරට මුවා වෙලා අහගෙන ඉඳලා. ඒක දන්න නිසා කෙල්ල වැඩියෙනුත් ගොළු වෙලා හිටියලු. ඕනෙම ජගතෙකුට වුණත් වැරැදියට තේරුම් යන විදියට සේරම කියලා දාලා තමයි මං ගැටය ලෙහලා තියෙන්නේ.

"මේක මංගල යෝජනාවක් අනූ, හැබැයි මට නෙවෙයි. මගේ යාළුවෙකුට......" අන්තිමටයි  මං කිව්වේ. නරකද මං අනාගත්ත තරමක්.

ඊළඟට මං මගේ ප්ලෑන ගැන සේරම හෙළි කරලා කොළඹ ආවා.

කවුද දන්නේ වසන්ත විජය බණ්ඩාරත් හරියට එදාම, මං නැති වෙලාවේම එහාට කඩා පහත්වෙන වග? දැන් ඉතින් වසන්ත ගැනත් කියලම ඉන්න වෙනවා.

එයාත් තජකයේ උඩවැඩියා පන්තිවලට ආ විජිත කිත්සිරි බණ්ඩාර ජයසුන්දර මඟින් අපට සම්බන්ධ වුණු කෙනෙක්. මං කියලා තියෙනවනේ, මගේ PR එක තමා වැඩියම වැඩ කළේ. අපට හමුවෙන හැමෝම වගේ වැඩියෙන්ම හමු වුණේ, ලිපි ගනු-දෙනු කළේ (ඒ දවස්වල මෝබයිල් නෑනේ.) මගෙත් එක්ක. 

මං වසන්තට යවපු ලියුමක අපි මීගමුවට එන එක ගැනත් ලියවිලා. අපරාදේ කියන්න බැහැ, වසන්තලගේ ගෙදර හැමෝමත් ඒ වෙද්දී මට සැලකුවේ පවුලේම කෙනෙකුට වගෙයි. 

වසන්ත වාරියපොළ 'ප්‍රියංකා මල් ශාලාවේ' හිමිකරුවායි. ඒ දවස්වල අපේ හිතවත්කම කොච්චරද කියනවා නම් වසන්ත මෙහෙමත් කිව්වා.

"නිමල් අයියේ, ඔයාලගේ ගෙදර අයට මං ගැන කියලා තියන්න. හදිසියේ හරි ඔයා මට ඉස්සෙල්ලා මළොත් මං එම්බාම් එක කරනවා. මිනී පෙට්ටියයි අනෙක් වැඩ සේරමයි  
මගේ ගණනේ කරනවා."

ඉංග්‍රීසි කියමනක් තියෙනවානේ "Out of sight, out of mind" කියලා. දැන් වසන්තලා වගේ පරණ යාළුවන් ටිකෙන් ටික ඈත් වෙලා. අලුත් මිතුරන් ළඟට ඇවිත්. ඒක වැරැද්දක් නෙවෙයිනේ, සොබාදහමට අනුව බලද්දී.

මිත්‍ර සම්පත්තිය 
කෙනෙකුට කොච්චර විතර යාළු-මිත්‍රයෝ ප්‍රමාණයක් ආශ්‍රය කරන්න පුළුවනිද? මානව විද්‍යාඥයන් කියන විදියට නම් 150 ක් තමා උපරිමය. අලුතෙන් ඒකට කෙනෙක් ඇතුළුවෙද්දී අපිවත් දන්නේ නැතිව අර 150 න්  එක්කෙනෙක් හැලෙනවාලු. අමතක කරන්න එපා ඒ 150 නුත් 50 යි සමීප අය. ඒ 50 නුත් 15 ක් විතරයි අති සමීප; එහෙමත් නැතිනම් කුළුපග ගොන්නට වැටෙන්නේ කියන එකත්! මේ අධ්‍යයනයේදී තවත් රසවත් කාරණයකුත් එළිදරව් වෙලා තියෙනවා. ඈත, නියෝලිතික යුගයේ ගොවි ගම්මානවලත්; රෝමන් හමුදා ඛණ්ඩවලත් ඉඳලා තියෙන්නේ 150 බැගින්! තියරිය හොයාගන්නත් කලින්ම සොබාදහම වැඩේ පටන් අරන්.

 
ඒකෙන්-මේකෙන් කතාව අමතක වෙන්න දෙන්න බැහැනේ. මං ආපහු එනකොට එකහමාර විතර වෙලා. "අන්න, වාරියපොළ වසන්ත ඇවිත් ගියා. යන්න කලින් ආයෙම එනවයි කිව්වා, උඹව හම්බ වෙන්නම ඕනෙකමක් තියෙනවා කියලා." බඩගින්නේ බැරිව හිටි මං කෑම කන අතරේ මර්වින් කිව්වා. මෙන්න බොලේ එතකොටම වසන්ත එනවා.

"නිමල් අයියේ,මට පරක්කු වෙනවත් එක්ක. මිනී පෙට්ටි ටිකක් අරන් යන්න ආවා, සාප්පුවට. එහෙම්මම නොයා ආවේ විශේෂ කාරණාවක් අහගන්නත් ඕනේ නිසා." වසන්ත එහෙම කියද්දී මර්වින් අපට ඉඩ දීලා ඈතට ගියා.

...මිනී පෙට්ටි ටිකක් අරන් යන්න....

"මොකක්ද අප්පේ ඔය තරම් විශේෂෙ?"

"ඇයි මනුස්සයෝ, උදේ මං මෙහෙට ආව  විතරයි, උඹලගේ නෑම්බියෝ එක-එකා ගානේ ඇවිත්-ඇවිත් එබි-එබී යන්න පටන් ගත්තා. මට නම් එක එච්චර ඇල්ලුවේ නෑ. මගේ ගැන මොකුත් වරදක්වත්......."

"පිස්සුද මනුස්සයෝ. එහෙම දෙයක් තියෙනවා නම් මං ඔයාට නොකියා ඉන්නවද. හැබැයි, එහෙම දෙයක් වුණා නම්, මං හෙමීට හොයලා බලන්නම්කෝ මොකද කියලා." 

වසන්තව අස්වසන්නට එහෙම කිව්වාට මොකද මටත් අමුත්තක් දැනිලයි තිබුණේ, ඒ වෙද්දිත්. එවේලේත් එකා දෙන්නා එතනින් එහා-මෙහා යනවා කටාක්ෂ නිරීක්ෂණ දාගෙන. වසන්ත ගියේ හිතේ කහටක් ඇතිව බව නං හොඳටම පෙනුණා.

අන්තිම තත්පරේ විජේ ආවා. "කෝ බං නිමල් අයියේ, උඹේ මනමාල කිරිල්ලි එන්නේ නැද්ද එළියට." විජේගේ විහිළු කතා එහෙම තමයි. මං ගියා අනූව කැන්දන් එන්න. 

"අනූ, අන්න අරයා ඇවිත්....."

...අරයා ඇවිත්....
"එයා උදෙත් ඇවිත් ගියා නිමල් අයියේ." අනූට කලින් ජයා පැනල උත්තර දුන්නා.

සේරම හෙළිදරව් වුණේ ටිකෙන්-ටික. මං කොළඹ ගියා විතරයි ජයායි, රංජියි අනූට වදේ ගහන්න පටන් අරන්. ඒක අනෙක් කෙල්ලන්ටත් ඇහිලා. මං අනූට විජේගේ නම කිව්වේ නැහැනේ. කිව්වේ කෙනෙක් එයි කියලා විතරයි. කවුද හිතුවේ කොහෙවත් හිටි වසන්ත ඒවි කියලා. වසන්ත ආවා විතරයි කෙල්ලෝ ටික හිතලා මනමාලයා එයයි කියලා!

ඒකයි ඒ හැමෝම අනූට උදා වෙන්නට යන වසන්තය බලාගන්න පෝලිමේ ඇවිත් තියෙන්නේ. 

ඉතින්.... ඔහොම අනූව බලාගෙන, අනූටත් බලාගන්න ඇරලා විජේ ආපහු ගියා.

මාලියි, රංජියි දෙන්නා ඕන්නැති මඟුලකට අත දාලා, අහිංසක කෙල්ලෙකුට ලජ්ජා කළා කියලමයි මට හිතුණේ. ඒකට ඒ දෙන්නාට මගෙන් කවදාවත් සමාවක් ලැබුණේ නැහැ.


සමාප්ති කතාව
විජේ අනූටත්, අනූ විජේටත් කැමති වුණා. ටික දවසකට පස්සේ විජේ පළමුවරට අනූලගේ ගෙදර ගියෙත් මා එක්කමයි. අනූලගේ ගෙදරිනුත් කැමැත්ත ලැබුණා. ගමේ කෑමත්  එක්ක, රසම- රස දිවා භෝජන සංග්‍රහයකටත් සම්මාදම් වෙලා අපි ආපහු ආවේ. ඒත් ටික කාලයක් යද්දී මොකක් හරි ගැටළුවක් මතුවෙලා තිබුණා. මං එව්වාට  මැදිහත් වෙන්න ගියේ නෑ. කොහොමින් හරි මංගල්ලේ  කෙරුණෙත් නෑ. 

මං මැදිහත් වුණු එව්වයින් නොකෙරුණු මඟුල් තුනයි තියෙන්නේ. මේ එකක්!

දැන් විජේ අද-හෙට දීග දෙන වයසේ දුවෙක් ඉන්න තාත්තෙක්!

වසන්තගේ මංගල්‍යයටත් මං සහභාගි වුණා, වාරියපොළට ගිහින්. ඒ ගමනත් ඉතිහාසගත එකක්. පස්සේ කියන්නම්කො.

අනූ, දැන් ඔයා කොහෙද කියලා නම් මං දන්නේ නෑ. මං හිතනවා ඔයා ඉතා වාසනාවන්ත ජීවිතයක් ගත කරනවයි කියලා. මේක දැකලා කියෙව්වොත් මට කතා කරන්න! 

තරහ නැහැනේ මම කරපු සංගදිය මෙහෙම එළියට දැම්මට! ඒ වගේමයි අදත් මං තැවෙනවා, එදා මොට්ට විදියට ‘මංගල යෝජනාවක්’ ඉදිරිපත් කරලා ඔයාව ටික මොහොතකට හරි අපහසුතාවකට ගොදුරු කළාට. ඒකට සමා වෙන්න!


2 comments: