මේ පින්තූරය මා ගත්තේ අන්තර්ජාලයෙනි. 60
දශකයේ දෙහිවල පින්තූර මට හමු වුණේ නැත. මේ ඇත්තන්ව කාචයකින් රීල් එහෙක හිර කරගෙන
ඇත්තේ 1911-1913 අතර කාලයේ, දෙහිවල ආසන්නයේදීලු.
ඒ වැඩිහිටියන් දකිද්දී මට අපේ සීයාවත්,
හිතවත් මර්වින්ගේ තාත්තාවත් නිකම්ම සිහියට එයි.
සීයා තරම් මර්වින්ලගෙ තාත්තා උස
නැතත් දෙන්නාගේම කනේ මයිල් නම් සරුවටම තිබිණි. දෙවෙනියාව පාමංකඩ පැත්තේ උදවිය
අඳුන්නලා තියෙන්නෙත් ‘කනේ මයිල්’ නමෙන්මය. මර්වින්ගේ අම්මා තාත්තා දෙන්නාම එකම
පුතණ්ඩියාට සැලකුවේ කියන්නට බැරි තරම් සෙනෙහසකිනි. එහෙම ආදරයක්....
ඒක කොච්චරද කියා හිතාගන්නට මේකම ප්‍රමාණවත්ය.
එතකොට මර්වියා වැඩ කළේ BCC එකේය. ඒ දවස්වලත් මර්වින්ගේ අම්මා පුතාගෙ බත් එකට පොඩි
මාළු නම් තියන්නේ නැත. කුට්ටි මාළු නැතිම වෙලාවක පොඩි මාළු ඉව්වත්, බත් එකට උන්ව
බෙදන්නේ කටු සේරම අයින් කරලාය.
මර්වින්ගේ තාත්තයි, අම්මයි.... |
දෙවෙනි මනමාලයන් වෙන්නට හිටි ගාමිණීත්, තිස්සත් දාහක් දේවල් කරමින් උන්හ.
එතකොට කතා-බතාවෙන් වෙලාව යනවා දැනෙන්නෙම නැහැනේ! වැඩ අහවර වුණේ පාන්දරය. අපි ෆුට්
සයිකල්වල ගෙදර ගිහින්, ලෑස්තිවී ආපහු එනකොටත් මනමාලයා සූදානම්වී ඉවර නැත.
‘පුතා, දැන් නැකත ළඟයි නේද?’ අම්මා අහයි. “තව
වෙලා තියෙනවා.” තාත්තා උත්තර දෙයි. දීලා පුතාට කොඳුරයි. “ඉක්මනට ලෑස්ති වෙනවා.
හොඳ වෙලාවට මං නැකත් කොළේ සාක්කුවේ
දාගත්තේ. අර මනුස්සයට අහු වුණොත් නම් ඉවරයි.”
කිසිම නැවතිල්ලක් නැතිව එකක් පිටිපස්සේ එකක්
පෙරළීගෙන එන රැළි මාලාව.... වැල්ළේ තුනීවී, බල බිඳී පැරදී යන හැටි අපි කෙළවරක්
නැතිව බලා උන්නෙමු. කරිජ්ජ පිසගෙන එන හුළඟ
දෙතොල් ලුණු රස ගන්වද්දී අතොරක් නැතිව දෙතොල් ලෙව කෑවෙමු.
මං ඔය කතාව සහසුද්දෙටම දන්නේ එවෙලේ
මාත් එතන හිටි හින්දාය. කොහොමින් හරි මනමාලයා සූදානම්වී ඉවර වුණාමය ඒ තාත්තා,
පුතාගෙනුත් අහලා ඉවරවී ‘ඔන්න නැකතට විනාඩියයි’ කියලා කිව්වේ.
විනාඩිය ගෙවී මනාලයා දොරට බහිද්දී අම්මා සමන්
පිච්ච මල් මල් දැමූ වතුර වීදුරුවක් අරන් පෙරමඟට ඇවිත් සුබ පැතුවාය. ඒ පුතාගේ සිරස
ඉඹලාය.
ඊළඟ තත්පරයේ අම්මා ගෙට ගොඩවෙන්නටත් කලින් මනමාලයා, ගෙට දකුණු පැත්තේ තිබුණු
ටොයිලට් එකට රිංගලාය! එහෙම ගියත් ඒ ජෝඩුවට වැරදුණේ නැත. මේං සාක්කි! මේ ඉන්නේ
මර්වින්-ලලිතා දෙන්නා නොවේ. එයාලගේ එකම පුතණු මාධව හා එරංගාය. ඒ මංගල්ලය තිබ්බෙ
මැයි 24 වෙනිදාය.
මගේ මිම්මෙන් නම් ‘කනේ මයිල්’ වාගේම පුතාත්,
පුතාගේ පුතාත් එකෙකුට එකෙක් දෙවෙනි නැති සමයංකාරයෝය! වටේ ඉන්නා අයව ‘entertain’
කරන්නට උපන් හපන්නුය!!
ඔය ටික කිව්වේ පොඩි රහසකුත් එළියට දාන්නටය.
මාත් කනේ මයිල්කාරයෙකි. ඒත් දවස් තුන-හතරකට වතාවක් එව්වා ගලවන හින්දා කාටවත්
පෙනෙන්නේ නැත! මට නම් ඒවා මදිකමක් වගේ වුණත් මර්වින්ලගේ තාත්තා නම් එව්වා පෙන්නුවේ
හරි උජාරුවෙනි!
සරු කනේ මයිලෙක්..... |
ඔන්න කනේ මයිල්වල ඉඳන් දෙහිවලට. ඒක මහ ලොකූ
පිම්මක් නොවේ නේද, දැන් ඉන්නා දේශපාලුවන් පනින පිමිවල හැටියට! මමත් අහන්නෙමි, ‘කොහොමද මගේ පිම්ම?”. ඉස්සර හිටි
ආරියාවකුත් චණ්ඩි රැජින වාගේ රෙද්දත් උස්සාගෙන වක්කඩකට උඩින් පැනලා ඇහුවාලු.
නියරේ
ඉඳන් එයා පනිනවා බලාගෙන උන් ගැමියා ඒ උත්තමාවිය ඔය ප්‍රශ්නය ඇහූ විඩේ බොහොම බය
පස්සපාතව, ඔලුවත් කස-කසා කිව්වයි කියන්නේ මේකය. “අනේ රත්තරන් නෝනා මහත්තයෝ, අපේ
පැත්තේ ඕකට කියන්නේ පිම්ම කියලා නෙවෙයිනෙ. කිම්x කියල නොවැ.”
ඉතින් දෙහිවල ඉස්ටේසම ළඟදී ඉස්සෙල්ලාම බස්
එකෙන් බහින සීයා අපි දෙන්නාව ‘හස්තග්‍රහණයට’ ගනී. ඒ පරෙස්සමටය. රේල් පාර පැන අනෙක්
පැත්තට යන තුරුමත් එහෙමය. “කොයි වෙලාවේ කෝච්චියක් එනවද කියලා කවුද ළමයො දන්නේ?”
සීයා කියයි.
මගේ අම්මෝ මෙච්චර වතුර කන්දරාවක්! නිල්ම නිල්
පාටට....
මේ මෑතකදී මම ‘හෝ ගානා පොකුණ’ චිත්‍රපටය
නැරඹුවෙමි. කොලු සංදියේ උන් මා එදා ගොළු මුහුද; ඉන්දියන් සාගරය මුලින්ම දුටු දවසේ
දැනුණු චමත්කාරය- හැඟීම් සියල්ල යළිත් ආවර්ජනා කරන්නේ කොහොමද? ඒ ගැන කියන්නට යාමක්
පිළිබඳව හිතන්නටත් බැරිය.
ඒත් ඒ දස්කම ඉන්දික නම් කර තිබිණි. මං එහෙම කියන්නේ ඉන්දික
ෆර්ඩිනැන්ඩු ඒ තරම් අපූරුවට එයාගේ ෆිල්ම් එකේදී ‘සිඳු දකින සඳ’ අසිරිය පෙන්නා
තිබුණු බැවිනි. කරදඬු උස්මහත්වී, මෝරලා ආවාට පස්සේ ළමා වියේ අසිරිය අපෙන් දුරස්
වෙනවා නේද? ඒත් ඉන්දිකට ඒක අපූරුවට මතක තිබුණා වගෙය!
අපි වෙරළට ගිහින් නවතින්නේ හොඳට හෙවණ ඇති
පොල් ගහක් යටය. පොල් ගහේ වේලිච්ච පොල්, පොල් අතු තියෙනවාද කියලා බලන්නෙත් සීයාමය.
“මෙතන හොඳයි.”
ඔන්න කඩදාසි මල්ල ඇරෙයි. අපේ ජංගි දෙක එළියට
වඩියි. සීයා අමුඩය ගහ ගන්නා අතරේ අපි දෙන්නා හරිම සහෝදරත්වයෙන් ජංගිවලට බහිමු.
එච්චර පුංචි සංදියේ වුණත් අපේ ‘පරම්පරා කුට්ටම්’ කාටවත් නොපෙනෙන්නට ජංගි මාරු
කරගත් හැටි මතක් වෙද්දී තවමත් හිනා යයි!
එතකොටය මතක් වුණේ! අපේ සීයාගේ ඉණේ permanent
දිය ලණුවක් තිබුණේය. ඒ අමුඩය ගසා ගන්නටය. ඒත් සීයා නෑවේ හාවා හඳ දකින්නැහේය;
කලාතුරකිනි. ඒ වෙද්දී සීයා අබිං කෑමට පුරුදුවී හිටි නිසා විය යුතුය.
ඒ කාලයේ නම්
‘දෙට්ටම් තක’ පේන්නට අමුඩය ගහගෙන කුඹුරේ, ඕවිටේ වැඩ කරන අය මහරගම පමුණුවෙත්
හිටියෝය. දැන් නම් එයාලා ‘රතු දත්ත පොතට’ ඇතුළත් වුණු සත්ව කොට්ඨාශයකි. හැබැයි
මොඩ් එකට ‘පෙක පූන්න’ කලිසම් අඳින අය තවමත් ඉන්නවාය. (ඒ ගැන ‘අපේ කුණු අපට එපාවී’
පෝස්ටුවක ලියූ බව මතකය.)
දැන් අමුඩය ගහන්නේ විරෝධතා වියාපාරයකදීය.
අමුඩ ගහලා පුරුදු අයත් නෙවේ. මං හිතන්නේ කුලියට ගෙනෙන ‘ආධුනික ගොවි මහත්තැන්ලා
වෙන්ට ඕනෑය.
දැන් අමුඩය ගහන්නේ...... |
ආපහු යන රැල්ලත් එක්කම
චණ්ඩි පාට් එකෙන් මුහුදට දුවන්නට ගිහින් ඊළඟ තත්පරයේ තවත් රැල්ලක් එද්දී, කෑ
ගසාගෙන පොල්ගස් මණ්ඩියටම දුවගෙන ආවෙමු.
දිසානායක හේවගේ චාර්ල්ස් තම සහජාත පුතණුවන්ගේ
වැඩිමල් පුතුන් දෙන්නාගේ දඟ බලා හිටියේ සමාපත්තියකට සම වැදුණ තරම් ඉවසීමෙනි.
සැනසීමෙනි. අපට ඇති තරම් දඟලා ඉවර වුණාමය සීයා සුනිල්ව කර තියාගෙන මුහුදේ
පිහිනුවේ. ඔහු මුලින්ම කතා කළේ මටය.
අපේ ගමනට ගොඩ කලින්, දවස් දෙක තුනක්ම අපේ
සීයා මුතු බෙල්ලන් ගෝනි කීපයක්ම ගෙදර ගෙනාවේය. සීයාත්, ආච්චීත්, අපේ තාත්තාත්
එකතුවී අර බෙල්ලන් විවර කරමින්, සීරුවෙන් මුතු සෙවූහ.
“අනේ, මට බයයි සීයේ.”
“මං එන්නං සීයේ.” සුනිල් ගෝඨාභය දිසානායක එදා
ඉඳලාමත් මැරෑටිකමෙන් මට වඩා වැඩිය. ඒත් හිත ළාමකය. ගෝඨාලා ඔක්කොම නම් ඒ ජාතියේ
වෙන්නට බැරිය. මං මුහුදට බැස්සේ සුනිල්ට පස්සේය.
“සීයේ, කෝ මෙහෙ එක මුතු බෙල්ලෙක්වත් නැහැනේ!”
වැල්ල පුරාම බලලා, බැරිම තැන මම සීයාගෙන් ඇහුවෙමි. ගෙදර ඉඳන් එද්දීම මං හිතාගෙන
උන්නේ මුතු බෙල්ලන් ගොඩක් කඩාගෙන යන්නටය. එක මුතු ඇටයක් හරි හොයාගෙන පොහොසත්
වෙන්නටය.
මුතු හෙවීම.... |
හොඳටම කුණු ගඳ ගහද්දී,
ගන්දකේ ඉවසාගෙන අපිත් බලා හිටියේ එයාලට වාසනාව පෑදෙන තුරුය. ම්හු! ඉතිරි වුණේ
ජරාවයි, ගඳයි විතරය. දවස් ගණනාවක් යනතුරුම වත්ත පහළ අහලගම් පලාතකටවත් අපි
කවුරුවත්ම නොගියේ ඒ ගන්දස්සාරය හින්දාය.
ජෝ අබේවික්‍රම නම් දක්ෂ නළුවා ඉපදී තිබුණේ
ලෙල්ලෝපිටියේදීය. මා මුලින්ම ඒ ගමේ නම දැනගත්තේ ‘රොඩ්නි ජොන්ක්ලාස්ගේ’ ‘වාලම්පුරි’
නවකතාව කියවද්දීය.
දෙහිවලදී මුහුද දැක්කත්, මුහුදෙ නෑවත්, සීයලාගේ මුතු හෙවිල්ල
දැක්කත් මුතු බෙල්ලන් ගැන දැනගත්තේ ‘වාලම්පුරි’ කියවද්දීය. වැඩි විස්තර උගත්තේ
ඊටත් ගොඩ කාලයකට පස්සේය.
වාලම්පුරි ‘සීමාසහිත හංස ප්‍රකාශකයෝ’
ආයතනයෙන් පළ කළ පොතකි. පරිවර්තනයකි.
පරිවර්තක ඒ.පී. ගුණරත්න මහත්මාය. පොත කොපමණ රසවත් වුණාද කියතොත් ඒ පොත මිලදී ගත්
තැනට මම ආපසු ගියෙමි.
තිඹිරිගස්යායේ පොත් සාප්පුවකට. ඒ වතාවේ මාර්ග ප්‍රකාශන
ආයතනයේ ‘මහාමාරිය’ අරගෙනය ආවේ. දැන් මාර්ග, හංස සේරම හංස ගීතය ගයලාත් ගොඩාරියක්
කල් ගිහින් වාගෙය. දෙවියන් වහන්සේත් ඉස්සෙල්ලාම තමන්ගේ ළඟට කැන්දාගන්නේ හොඳ අයවලු.
හොඳ ප්‍රකාශන ආයතනත් කැන්දාගන්නවාද මන්දා!
ඊට කාලෙකට පස්සේ ‘වාලම්පුරි’ චිත්‍රපටයත් ආවේය.
ඒක නම් මට ඇල්ලුවේ නැත.
වැරැද්ද මගේ වෙන්නට හැකිය. පොතක් කියවා අපේ හිතේ මැවෙන
දේමය, අප ෆිල්ම් එකකිනුත් දකින්නට පතන්නේ. ඒක නැති වුණාම ඉතින් කියන්නේ චිත්‍රපටය
නරකයි කියලාය. කොහොමත් අපි කලින්ම පාට කන්නාඩි දාගෙනය එක-එක දේවල් දිහා බලන්නේ.
නේද?
‘කෙනෙකුට වස කෙනෙකුට රස’ කියන්නා වාගේ
බෙල්ලෙකුගේ වේදනාවක් අගනා වස්තුවක් වෙයි.
මුතු ඇටයක් හැදෙන්නේ බෙල්ලෙකුගේ සිරුරට
වැලි කැටයක් වැනි ඉතා කුඩා දෙයක් ඇතුළු වුණාමලු. ඒක බෙල්ලාට වේදනාත්මක කිතියක්
දෙද්දී, උගේ සිරුරෙන් වැහෙන ශ්‍රාවයක් අර ආගන්තුක වස්තුව වටා ඝනීභවනයවී මුතු හැදෙයි.
උගේ දුක ඌටය.
දැන් අපි කෘත්‍රිම ක්‍රම මඟින් උන්ගේ සිරුරට ‘රොඩු’ ඇතුළු කර, දිගටම කිති කැවෙමින් රිදි-රිදී ඉන්නට සලස්වා උන්ව ආපහු කූඩුවල ගාල් කොට මුහුදට දමා මුතු වගා කරන්නෙමු.
දිගටම රිදි-රිදී ඉන්නට සලස්වා... |
ඒ අනුන්ගේ දුක අපට නොතේරෙන හින්දාය. ‘මුහුදම
කැඳ වුණත් කෑදරයාට මදිය’ කියන්නට ඇත්තේ ඒ නිසා වෙන්නට ඇත. සයුරේ චමත්කාරය කොතෙක්
අත් වින්දත් මඳිය. ඒ එහි ඒකාකාරී බවක් ඇත්තේ නැති හින්දාය. හැබැයි එතනදී නම් මට
පුදුමත් හිතෙන දෙයක් තිබේ.
එච්චරට ඒකාකාරී බව ප්‍රිය නොකරන මනුස්ස ජාතිය
‘ආදරයෙදී’ නම් වෙනස් වීම ඉවසන්නේ නැත. ඇත්තටම ඇයි ඒ? ඒක විතරක් ඒකාකාරී වීම
රසවත්ද?
රසවත්ම ආහාර වේලක් ලෙස අපේ චිත්ත සන්තානයේ
රැඳී තිබෙන පරිප්පු, පොල් මැල්ලුම්, තක්කාලි තෙම්පරාදුව හා බත්....... කොතරම්
සරලද? අපේ මානි ඒකම හදමුයි කියා කියුමෙන් පෙනෙන්නෙත් විවිධත්වයේ රහස් රසය නෙවෙයිද?
දැන් අප කවුරුනුත් පුරුදුව ඉන්නේ සරලකමේ රසය විඳින්නට නොවේ. සංකීර්ණත්වයේ රසය
හොයන්නටය. ඔන්න දැන්මම කියන්නෙමි. මට නම් ඒකාකාරී බව අරහංය. ඒත් අල්පයකින් වුව
සෑහීමට පත් වෙන්නටත් දන්නෙමි!
එදා දෙහිවලදී මුහුදෙන් නාලා, වෙරළේ තිබුණු
පැල්පත් මණ්ඩිය අසල පයිප්පයකින් ලුණු වතුර සෝදාගෙන .... පොල් රුප්පාවේ හෙවණටවී රස
විඳි දුප්පත් කෑම වේලේ රස මටත්, සුනිල්ටත්, මානෙල්ටත් දීපාල්ලාගේ ගෙදරදී යළි විඳගත
හැකි විය.
දැන් නම් ඒ පොල් රුප්පාව අන්තිම ගමන් ගිහින්ය. ඉතිරිව තියෙන්නේ පොදු පොල් රුප්පාවල් නොවේ! ඒක තිබිච්චාවෙකෝ, මේක ඊට
හපන්ය.
ඉතිරිව තියෙන්නේ පොදු පොල් රුප්පාවල්.... |
මං ගෙදර ආවේ නෙවිල්ගේ කාර් එකේය. “මොකද කතා
නැත්තේ!” මම ඇසීමි. මිනිහාව දන්නා හින්දාය. මං බෝලය උඩ දැම්මා විතරය. මෙන්න බොලේ
තද ‘ඩෑෂ්’ පාරක්!
“අපරාදේ හලෝ, තමුසෙලාට ගල්කිස්සේ යන්න කියලා
මං ගෙදර ගියා නම් ඉවරයි. වියදම් වෙච්ච පෙට්‍රල් ටිකටත් ණයයිනෙ ඕයි! මොනවද නංගිත්
එක්ක එකතුවෙලා මහ ලොකුවට ඩිනර් එකට හදාගෙන ආවේ? මසක් මාළුවක් නෑ. ඒ මදිවට බොන්නත්
නෑ!” පුළුටු - රීරි නැතිවම බැරි ඒ මහසෝනා කිව්වේය෴
දෙහිවල දැන් දෙහි ගහක් හොයා ගන්න නැහැ ... තනිකරම කොන්ක්‍රීට් ගොඩක් !
ReplyDeleteඒ වුණාට කණ්ඩො, දෙහිවල තවම ඇඹුල් නම් තියෙනවා!
Delete