අකුරු මැකී නෑ

Sunday, September 16, 2018

වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - සිව්වෙනි කොටස

බිල විතරක් නොවේ, තව ලැයිස්තුවකුත් මිනිහා මට දික් කළේය. “මේ ටෙස්ට් ටිකත් මිස්ටර් නිමල්ට කරවාගන්න වෙනවා... වැඩිය ලේසියි නේද එව්වාත් අදම කරගෙන යන එක.” ඒ සත් ගුණවතුන් මට තවත් පරීක්ෂණ හත අටක් නිර්දේශ කරලාය.

ඒ වෙලාවේ එව්වා කළා නම් ලැබෙන ප්‍රතිඵල වරදිනවා සිකුරුය. ඒ තරම් තරහකින් දැවෙමිනි මා උන්නේ! ලේ කෝපවීලාය.

කවටයාමුණ පන්සලේ.........
කවටයාමුණේ පන්සලේ අපායක් ඇත්තේය. එක එක වර්ගයේ වැරදිවලට හිමිවෙන දඬුවමුත් ඒකෙ අඹලා තිබෙයි. අද ඒක යාවත්කාලීන කරනවා නම් මේ ‘යක්කුන්වත්’ එයට දමන්නට වෙනවාමය.

එදා එහෙම මට නිර්දේශ කර තිබුණු සමහරක් පරීක්ෂණ ඊට දින දෙක-තුනකට කලින් ඒ රෝහලේදීම සිදු කර, ඒවායේ වාර්තාත් මගේ ලිපි ගොනුවේ තිබියදීමය මේ!

මටත් ඉස්සර පෙරට පැන්නේ හිතවත් මර්වින්ය. “නිමලො, මෙව්වාත් කරගෙනම යං. එතකොට ආයේ රස්තියාදු වෙන්න ඕනේ නැහැනේ. සේරම රිපෝට්ස් ටික එක සැරේම අතට එනවාත් එක්කනේ....” මර්වින් ඉතිරි ටික කිව්වේ වඩාත් පරෙස්සමිනි. “මං සල්ලි ගෙවලා එන්නද?”

මට උන්නා-මළා පේන්නෙ නැතිව යන්නේ එහෙම වෙලාවටය.

අදටත් මගේ වෛද්‍ය වාර්තා ආදිය මා කියවන්නේ නැත. මොකටද? දොස්තර මහත්වරු එව්වා බලපුවාවේ. ඒ අනුව තීරණ ගත්තාවේ. සුදුසු අයට ඒ ඒ රාජකාරි පවරන්නේ නැතිව අපිම සේරම කරට ගන්නේ ඇයි? 

එහෙම වුණත් අර පරීක්ෂණ ලැයිස්තුවේ සමහර නම් පුරුදුයි වගේ මට දැනුණේය. මට ඒක සහසුද්දය.

“යකෝ, කහන සල්ලි තියෙනවටද එකම ටෙස්ට් දෙතුන් පාර කරවගන්න ඕනේ?” මා මර්වින්ට කීවේ මගේ අමනාපය, අර ‘උපකාරී වෙන්නට ආ මනුස්ස ප්‍රාණියාටත්’ ඇඟෙන්නටය. මගේ ‘ටෝන්’ එකෙන්ම උන්නැහේට යමක් තේරුණා වාගේය. “....මේ සමහර එව්වා කරලා රිපොට්ස්සුත් අර ෆයිල් එකේ තියෙනවනේ”.

“සොරි, ඩොක්ටර් ඒක දකින්න නැතිව ඇති. ඒවා නැතිව අනිත් ටික කරගනිමුද?” ඔහුත් අතාරින්න සූදානමක් නැත.

......කණ්ඩායම් හැඟීම ඉස්තරම්ය!
අපරාදේ කියන්නට බැරිය. ඒ ඉස්පිරිතාලේ ‘ටීම් වර්ක්’ එක ‘එක්සලන්ට්’ය. සේරෝම එකා වාගේ ‘ඉස්පිරිතාලයටම යහපතක් වෙන්නට, රෝගීන්ගේ පොකැට්ටුවට විදලා හෝ සල්ලි කඩාගන්නට’ කැපවී වැඩ කරති. 

යහපාලනේ උදවියවත් ඒ ප්‍රයිවට් හොස්පිට්ල් එකට යවා, ඒ ‘team work’ පාඩම ඉගෙන ගන්නට සැලැස්විය හැකි නම්.....

“අපි හදන්නේ සර්ලට උපරිමයෙන් ලේසි කරන්නයි. ඉස්සෙල්ලා කරපු ටෙස්ට් ටික මං මාක් කරලා දෙන්නම්, සර්ලට ඕනි නම්.” මිනිහා ඒ පාර එල්ලෙන්නට  හදන්නේ මර්වින්ගේ බෙල්ලේය. 

මම ඉස්සර වීමි. “අද උදේ ඉඳලා මේකෙ ලැගලා මට දැන් හොඳටම ඇති වෙලා තියෙන්නේ. දැන් මට ඕනි ගෙදර යන්න.” ඒ වෙනතුරුත් මගේ ‘tone’ එක නොතේරුණා වාගේ හිටි මනුස්සයා අඩියක් පස්සට ගත්තේ එතකොටය.

ඉස්සර නම් අපේ ආච්චිලා නෝක්කාඩු කිව්වේ ‘බල්ලො මරලා හරි සල්ලි හොයලා මොටද?’ කියලාය. මෙයාලා සල්ලි හොයන්නේ ලෙඩුන් මරලාය; සම්පූර්ණයෙන්ම මරලා නොවේ, බාගෙටය. ‘සල්ලි දෙයියන්ගේ මල්ලිය’ කියලාත් කියමනක් ඇත. එයාලා දන්නේ ඒක විතරක් වෙන්නැතිය, පව්! 

මට මෙහෙමවත් කරගන්නට ලැබුණේ සල්ලි තිබුණු හින්දාය. මිල-මුදල් නැති රෝගියෙකුට කාගේ පිළිසරණද?

රීරි යකුන් මැද හිපොක්‍රටීස්ලාත්......
මෙවන් රීරි යක්ෂයන් මැද ‘හිපොක්‍රටීස් දිවුරුම’ අකුරටම පිළිපදින වෛද්‍යවරුන්ද එමටය. ඒ ඇත්තෝ අපේ වාසනාවට මේ ක්ෂේත්‍රයට පැමිණි උදවියයි.

ලොකුම වාසනාව ඉබේටම මෙන් අපේ සිරුර තුළ සිදු වන මහා මෙහෙයුමයි. ඒකටත් සල්ලි ගෙවන්නට වෙනවා නම්!

එකම එක පිරිමි බීජයක්; ශුක්‍රාණුවක්, එකම එක ස්ත්‍රී බීජයක්; ඩිම්බයක් සමඟ එකතුවී සෑදෙන එකම එක සෛලය; යුක්තාණුව විස්මිත මිනිස් ජීවයක් ලෙස වර්ධනය වීම පුදුමයක් නොවේද? විස්මිත වේගයකින් බෙදෙමින්, එක් එක් කාර්යයන්ට හැඩ ගැහෙමින් මිනිස් සිරුරේ ඇති වෙන සෛල කෝටි-ප්‍රකෝටි ගණනකි. 

එහෙම වෙන්නේ කාගේවත් විධානයක් අනුව නොවේ. කුලියක්, තෑග්ගක් හෝ නම්බුවක් පතාගෙනත් නොවේ. සොබා දහමේ නියමයට අනුවය.

ඒ සෛලවලින් එක එක වර්ගයේ මෙහෙයයන් ඉටුවෙයි. සමහර සෛල කෙටිකාලීන දිවියකට සීමා වෙයි. සමහරක් එහෙම නැත. 

අපේ ලේවල ඇති රතු රුධිරාණුවක ජීවිත කාලය දින 120 ක් පමණි. පිළිකා සෛල එහෙම ඉක්මනින් මිය යන්නේ නැත. ඒ මදිවාට වේගයෙන් සංඛ්‍යාත්මකවත් වර්ධන වෙයි. සොබා දහමේ අරුමය එහෙමය. වල් පැළ ඉක්මනින් වැඩෙයි, කොයි දේටත් ඔරොත්තු දෙයි. පලදායී ගස් එහෙම නැත!

පිළිකාව හැදෙන්නට, තවමත් හරිහමන් හේතුවක් හොයාගෙන නැතත් පිළිකා වර්ග 100ක් විතර තියෙයි. 

දවසකදී 20,000ක් විතර මේ රෝගය නිසා මැරෙන බවත් වාර්තා කියයි. මං මැරෙන දවස එද්දී මේ ගණන තවත් ඉහළ ගිහින් තියෙන්නට ලොකූ ඉඩක් තිබේ. ඒ තරමටම දැන් පිළිකාව සුලබය.

ඒ තරමටම දැන් පිළිකාව ......
පිළිකාව හැදෙන්නේ ඇයි? විද්‍යාව කොච්චර දියුණු වුණත්; තාක්ෂණය කොතරම් නවීන වුණත් ඒ ප්‍රශ්නයට නම් තවමත් නිශ්චිත උත්තරයක් නැත. අපේ ජීවන රටාවන්, කෑම-බීම රටාවන් විතරක් නොවේ සිතුම්-පැතුම් පවා රෝගකාරකවී ඇතැයි දැන්-දැන් කියවෙයි. අප යළිත් අතීත සරල ජීවිතයටම යා යුතුද?

පහුගිය කාලයේ මා කියවූ පොත්, පත්තර, සඟරා ආදියට අනුව නම් හැම සොබාවික ආහාරයක්ම පිළිකාවට ගුණය. පලාකොළ ජාති කොයිවාත් හොඳය. පිෂ්ඨය රහිත එළවලු, තුනපහ වර්ග, කුරුඳු ගොරකා වැනි රසකාරකත් හොඳය .... හොඳ නැත්තේ සීනි, කුරුට්ට ඉවත් කළ ධාන්‍ය, පැණිරස දැනෙන තරමට ඉදුණු පළතුරු, දැන් අපට නැතිවම බැරි 'ස්නැක්ස්' වගේ ජාතිය.

“අයියේ, කෑම රටාව වෙනස් කිරිල්ලෙන් විතරක් ගොඩක් ලෙඩ අඩු කරගන්න පුළුවන්. දෙවෙනි ගණයේ දියවැඩියාවත් එයින් එකක්” අයස්මන්ත නිතරම මට කිව්වේය.

විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර පෙරේරා මහත්මා පිළිකා ප්‍රතිකාර පටන් ගන්නට කලින්ම මට අනතුරු ඇඟෙව්වේය. “මේ ට්‍රීට්මන්ට්ස් කරද්දී  ඩයබිටීස් එයි. ඒකටත් බෙහෙත් ගන්න වෙයි.”

පිළිකාවට ගන්න බෙහෙත්වලට....
ඔහු කිව්වා හරිය. දිනපතාම උදේටත්, හවසටත් බෙහෙත් වර්ග දෙකක් ගන්නට නියම කෙරිණි. ටොල්බියුටමයිඩ් හා මෙට්ෆොමින්. ඒ පිළිකාවට ගන්නා ප්‍රතිකාරවලට අමතරවය. අවුරුදු හතරක්ම මම ඒවා ගත්තෙමි.

දැන් හය මාසයකටත් වඩා කාලයක් මං ඒවා ගන්නේ නැත. හැබැයි දැන් දියවැඩියාවකුත් නැත. එහෙම වුණේ කෑම රටාව වෙනස් කළ පසුය; ෆාස්ටින් කරන්නට පටන් ගත් පසුවය. එයට මුල පිරුණේ ගිය අවුරුද්දෙය.

වැඩි දෙනෙකුට පිළිකාව නැතත්, දියවැඩියාව ඇත, කොලෙස්ටරෝල් ඇත. ඒ උදවියටත් උදව්වක් විදියට මෙතනදී පුදුම හිතෙන දෙයක් කියන්නම ඕනෑය.

“නෙවිල් අයියේ, කොලෙස්ටරෝල් ගැන බය වෙන්න එපා බං, මාසයක් මෙහෙම කාලා චෙක් කරමු!” අයස්මන්ත කිව්වේය. ඒ මට ගත යුතු කෑම ගැන නිර්දේශ කිරීමෙන් පස්සේය. ඒ අනුව කෙඳි සහිත එළවලු, පලා වර්ග, ධාන්‍ය වර්ග හා මස්,මාළු, බිත්තර ආදිය මට අනුමතය. “ඔන්න මාත් මේ ඩයට් එකම අරන් බැලුවා. ඒක වැඩ කරනවා මචං.”

පීරිස්ට එහෙම කියන්නට වුණේ මාව පොළඹවා ගැනීමේදීය. “මචං, අපිත් මේකාට ගැලපෙන විදියට කමු! උඹටත් හොඳයි. බර අඩු වෙයි. කොලෙස්ටරෝලුත් අඩු වෙනවා ෂුවර්!”.

මස්, බිත්තර............
මා නම් අසා තිබුණේ මස්, බිත්තර සීමාසහිතව ආහාරයට ගත යුතු බවයි. “ඒ වුණාට අයස්මන්ත මහත්තයෝ, හැම තැනම තියෙන්නේ මෙහෙමනේ.” මං දන්නා තරම කිව්වේ පරෙස්සමිනි. ඒත් පීරිස්ට ‘මළ පැන්නේය’.

“යකෝ, මෙතන දොස්තර උඹද, මමද?” ඒකත් ඇත්තය. 

ඔහු මහ රාත්තිරියේත් නිදි වරාගෙන අලුත් දැනුම හොයයි. දසදහස් ගණනින් වියදම් කරමින් විදෙස් වෛද්‍ය පත-පොත ගෙන්වා ගනියි. දැනීම ‘update’ කරගනියි. “නිමල් අයියෙ මං ඇස් දොස්තර කෙනෙක් විත්තිය ඇත්ත. ඒත් මේවා එකක්වත් බොරු නෙවෙයි. අලුත්ම දැනීම අපේ රටවල්වලට එන්න තව අවුරුදු ගාණක් යයි. ඒකයි ප්‍රශ්නේ....”

නෙවිල්ට ‘උයනු යයනු නුයනු’ බැරිය. අම්මා ඉන්නේ ‘ඩිමෙන්ෂියාවේ’ මුල හරියේය. වැඩිපුරම කෑම ගන්නට සිදුවී තිබුණේ හෝටලවලින්ය. ඒ දවස්වල නෙවිල් හරහට ආරා ‘පුස් ඌරා’වෙන්නට ඔන්න-මෙන්නය. 

ඒ මදිවාට කොලෙස්ටරෝල් වැඩිය. ගැස්ට්‍රයිටිසුත් තිබුණේය. කඩ කෑම නැති ලෙඩත් ඇති කරවයි; ඇති ලෙඩ වැඩි කරවයි! සේරෝටම විසඳුම උයන්න දන්නා මා ළඟය.... මම පටන් ගත්තෙමි.

බත්, අල වර්ග, පිෂ්ඨය සහිත එළවලු, සීනි, කිරිපිටි, පලතුරු වර්ග හා පාන් පිටි කෑම අපි සහමුලින්ම පැත්තකට දැම්මෙමු. 

“වැඩියම හොඳ තෙලුත් එක්ක ඌරු මස්. කුකුල් මස්වල කෙමිකල්ස් ගොඩයි. හරක් මසුත් ok. හැබැයි මචෝ, උඹට ඩ්‍රින්ක්ස් ගන්නත් බැහැ. සුමානෙකට එක දවසක් ‘චීටි ඩේ’ එකේදී කැමති දෙයක් කතහැකි, බොතහැකි. හරිද?” නෙවිල්ට අමතර උපදෙසුත් ලැබිණි.

මාසය ගිය පසු..........
මාසය ගිය පසු අයස්මන්ත මහත්තයාගේම වියදමෙන් අපි දෙන්නාවම ඇදගෙන ගිහින්  පරීක්ෂණ ගණනාවකට ලක් කෙරිණි. එතකොට නෙවිල්ට ගැස්ට්‍රයිටිස් නැත. කොලෙස්ටරෝල් වැඩිත් නැත. බරත් අඩුවෙලාය. 

ඒ ක්‍රමය කොච්චර අපූරුද කියතොත්, අපට අලුතෙන්ම එකතු වුණු 'ඇට කන සාමාජිකයා'; ගවීන් මාස හයක් ඇතුළත බර කිලෝ 98 සිට 63ට, ඒ කියන්නේ කිලෝ 35ක් බස්සවා ගත්තේය! දැන් මගේ ටෙස්ට්ස්වල රිසල්ට්ස්සුත් හොඳවීලාය.

මයෙලොමා ගැන කියද්දී මා මේවාත් කියන්නේ කියවන ඕනෑම කෙනෙකුට ප්‍රයෝජන ගන්නටය. හැබැයි, නිකම්ම මේවා පටන්ගන්නා එක හොඳ මදිය. විධිමත් උපදෙස් අරන් ඉන්න. 

අපි එක-එක්කෙනා වෙනස් වෙන්නේ රුවෙන් විතරක් නෙවෙයිනේ, සිරුරෙනුත්ය. හැබැයි, එහෙම නඩත්තු කළත් දිනෙක මේ සරීර කූඩුවත් දමා යන්නට වෙයි. “කිරෙන් කා තෙලෙන් අත සෝදා අපේ මේ ජීවිතේ ගෙවනා - දුවම්හයි සිරුරු කූඩුව මෙහි දමාලා ආව කල මරුවා” කියා පරණ සින්දුවකත් ලියැවුණේ ඒ නිසානේ!

ඉතින්, ආයෙම මාතෘකාවේ විදියට කියන්න ගනිමුකො, නේද. 2013 අප්‍රේල් 17 වෙනිදා බෝන් මැරෝ ටෙස්ට් එකේ ප්‍රතිඵල ලැබිණි. මට පිළිකාවක් වැලඳී ඇති බව එයින් තහවුරු විණි. 23 වෙනිදාය, ලොකූ නඩයකුත් කැටිව පළමුවරට මා මහරගම ‘අපේක්ෂා’ රෝහලට ගියේ.

මහරගම අපේක්ෂා රෝහල.....
අපේ ලොකු මල්ලිගේ; සුනිල්ගේ බිරිය මල්ලිකා අවුරුදු හතක්ම ‘පිළිකාවෙන්’ විඳෙව්වාය. 2013 මුලදීය මිය ගියෙත්. 

හැබැයි,මල්ලිකා රෝගයට මුහුණ දුන්නේ මා වාගේ නොවේ. මුලදී අපටත් ‘කොළය’ වැහුවාය. “ඩොක්ටර්ස්ලට වැරදිලා. මාව ජයවර්ධනපුරේටම ආයෙම යවයි ළඟදිම. අනෙක දැන් මේ ඉස්පිරිතාලේ පිළිකා රෝහල නෙවෙයි. අපේක්ෂා! මාව මෙහෙට එවන්න ඇත්තේ කරන්න ඕනේ ටෙස්ට්  ටිකක් නිසා වෙන්නැති”. 

එල්ලෙන්නට පුළුවන් හැම පිදුරු ගහේම ඇය එල්ලුණේ එහෙමය. ඒ ජීවත් වෙන්නට ඇති තණ්හාව හින්දාය.

සමහර අයට ජීවිතයේ අවශ්‍යතාවන්ට ලොකු ඉඩක් ඕනෑය. ඒත් ඇත්තටම නම් කෙනෙකුට ඕනෑ කරන්නේ අඩු අවශ්‍යතාවන්ය. මේ ටික තේරුම් නොගෙන ජීවත් වුණත් මෙලෝ රහක් නැත. මළා වගෙය. 

තව සමහරුන් ජීවත් වෙන්නේ බාගෙටය. මට හිතෙන්නේ හරියට ‘ජීවත් වුණු’ කිසිම කෙනෙකු මැරෙන්නට බය නැති බවයි! ඔයාලා ඒ ගැන මොකද හිතන්නේ? මා ඔබෙන් අසන්නේ ‘සීරියස්වමය’.

ඔන්න, ඔයාලට හිතන්න ඉඩ දීලා ඊළඟ පෝස්ට් එක අරන් එන්නයි යන්නේ!


2 comments:

  1. මට පිළිකාවක් හැදුනොත් ... මම වැඩියෙන් මහන්සි වෙන්නෙ ජිවත් වෙන්න නෙමෙයි ඉක්මනින් යන්න පහසුම විදිහ හොයා ගන්න !!!
    මොකද මැරෙන්න නම් බය නැහැ ... ඒත් අපේ තාත්ත සහ අපේක්ෂා රෝහලේ හිටපු අය දැකල විඳවන්න නම් හිත හදා ගන්න බැහැ !

    ReplyDelete
    Replies
    1. මාත් විඳවන්න නම් අකමැතියි. ඒත් මේ ආත්මෙදිම ගෙවලා ඉවර කරනවා මිස තව එකකට ගෙනියන්න අකමැතියි. පුනර්භවයක් විශ්වාස කරන නිසා. එහෙම වුණත්, සහමුලින්ම අනුන්ට බරක් වෙන තත්වෙකට ආවොත් නං .... අපේ බඩාව මං පොරොන්දු කරවාගෙන ඉන්නේ!

      Delete