අකුරු මැකී නෑ

Thursday, September 13, 2018

රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස

අනේ, හංගන්නේ මොකටද? මම නම් ‘ශෘංගාර රසය’ට කැමතිය. ඒ වගේම ‘බීභත්ස රසයත්’ විඳින්නට මට පුළුවන්ය. ‘පිළිකුලත්’ රහක්දැයි කවුරුන් හෝ අහන්නට හැකිය. එහෙම නොවේදැයි නිවිහැනහිල්ලේ හිතා බලන්න. ඒත් මදි නම් ‘නව නළු රසය’ ගැනත් හොයා බලන්නකෝ!

ඇගේ යටිබඩ සිය තුංග තෝමර.......
'ඒ සමඟම වියරු ලෙස සිනාවෙමින් හිස් මධු බඳුන ඈතට වීසි කර ඈ සිය අත් බාහු දෙකෙන් ඉහළට ඔසවාගත් රජු මඩ කලල් පිරුණු පොකුණ මැද්දට ඈ විසි කළේය. පොකුණ මැද මඩ කලල් පිරි වතුරට ඒ තුන් පැයක සාත්තුවෙන් සන්තර්පණය කළ .....

ඊළඟට ඈ පොකුණට විසි කළ වියරුවෙන්ම හැඳ සිටි සළුපිළි දරාගෙනම රජුද පොකුණටම පැන්නේය. පොකුණ මැදදී සළුපිළි උනා දමා අමු නිරුවතින් ඇය තරව බදා වැලඳගත් හෙතෙම ඉක්බිතිව පොකුණ තුළ මඩ කලල් පහුරු ගාමින් ඒ කාරිය කරන්ට පටන් ගත්තේය. සෙම පිරුණ උගුරින් ගොර ගොර හඬ නංවමින්, සැර මත් වාෂ්ප ඇගේ මුහුණට පිඹිමින්, ඇගේ යටිබඩ සිය තුංග තෝමර පලිහෙන් ඔහු සුන්නද්දූලි කර දැම්මේය.’ (ලොවීනා-59 පිටුව)

ඒ ටික උපුටා දැම්මේ තමන් ගැනම පුංචි ‘ලිට්මස් පරීක්ෂාවක්’ කර ගන්නට දයාබර පාඨක ඔබට සහාය වෙන්නටය. ඔබට මැවුණු චිත්ත රූපය දනවන්නේ කුමන රසයක්ද?

(පසු සටහන: සුපුරුදු පරිදි ‘රැජින COLOMBO එයි - පළමු කොටස’ පිළිබඳවත් මගේ fb එකේ සටහනක් දමන්නට ගිය විටය ‘පණ්ඩිත’ මටත් වුණු ලොකුම වැරැද්දක් අහු වුණේ. ‘තුංග තෝමර පලිහකින් යටිබඩක් සිදුරු කරන්නට’ පුළුවන්ද? මොහාන්, සමා වෙන්න, මේ වාගේ තවත් මා’තින් මඟ හැරුණු තව වැරැදි කොච්චර ඇතිද?) 

අනේ මං වගේ මොට්ටයෙක්! ලස්සන තියෙන්නේ යම් දෙයක නොව, ඒ වස්තුව දෙස බලන කෙනාගේ ඇස් දෙකේ යැයි කතාවක් ඇත. ඇත්තය. මට හිතුණු දෙයම ඔබටත් හිතේවි කියා කොහොම හිතන්නද? පොකුණු පතුලේ මඩ කැලැත්තෙද්දී දැනෙන අජූව ගන්දස්සාරය මට දැනිණි. බේබදු  නරේන්ද්‍රසිංහ රජ්ජුරුවන්ගේ මුඛ දුර්ගන්ධය මට දැනිණි. පිළිකුල් සහගතකම මට දැනිණි. සංසාරයම එපා කරවන එහෙම ජරා කුණු ගොඩක් සමඟ තම මංගල රමණය සිද්ධ කරන්නට වෙද්දී පුන්නාට මොනවා හිතෙන්නට ඇත්ද?

ජරා කුණපයක් එක්ක.....
මතුපිටින් බලද්දී ‘කාම රසය’ වගේ පෙනුණත් මෙසේ වෙනස්ම ‘දහමක්’ කියන තැන් මොහාන්ගේ පොත්වල එමටය. බොහෝ විට ඒවා අතිශය දුක්ඛදායකය. බොහොමයක් ජාතක කතා වැනිය.

   “එදා ඒ එළිසබෙත්ගේ ‘මධු සමය’ දවසේ සිදු වූ සිදු වීමට වෙනස් සිදු වීමක්, ඉන්පසු කිසි දිනෙක සිදු වූයේ නැත. හැමදාම එකම දේ එකම විදියට සිදු වුණේය. ඔහු ඇගේ දොරට තට්ටු කර, ‘එන්න මගේ කාමරේට’ යැයි කියන විට ඇය ඔහුගේ කුටියට ගියාය. ‘ගලවන්න ඇඳුම්’ යැයි කියන විට ඇය ඇඳුම් උනා දැම්මාය. ‘නිදාගන්න ඇඳ උඩ’ යැයි කියන විට ඇය සයනය මත වැතිරී ඇස් පියා ගත්තාය.

   තවත් කල් යන විට ඔහුට කරන්නට තිබුණේ ඇගේ දොරට තට්ටු කිරීම පමණය. ඇය ඔහුගේ පසුපසින් පැමිණ ඇඳුම් උනා නිරුවත් වී, අර උස් සයනය මත වැතිරී ඇස් පියා ගත්තේ හැඟීම් දැනීම් නැතිවය. ඒ අනුව මාස කීපයක් යන විට ඔහු බලාපොරොත්තුවූ පරිදිම, නැතිනම් ඔහුට ඔහුගේ රාජකාරි ජීවිතයේ නිතර හමු වන මියගිය සිරුරු පරිදිම, ඇය හැඟීම් දැනීම් නැති මළමිනියක් බවට......” (COLOMBO- 251, 252 පිටු)  

මේ කියන්නේ අනිත්‍යය පිළිබඳවද? මොහාන් එහෙම කියන තැන වුණත් හිතට වැදෙයි; රහට දැනෙයි! මේ පොත් සේරම ඒ විදිහය. සැප්තැම්බරයේ පැවැත්වෙන ‘ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී’ විතරක් නොව, වසර පුරාම විකිණෙන පොත් අතළොස්සට මොහාන්ගේ පොතුත් වැටෙන්නේ ඒ නිසාම විය යුතුය.

පොත් සල්පිලේදී.....
  “මාස ගණනාවකට පසු එකක් පසුපස එකක් ලෙස පැමිණි දීර්ඝ වසංගත කාල නිමා වීමෙන් පසු ලෙනින් නැවත කාපිරි මුඩුක්කුවට පැමිණියේය. පරණ හුරුපුරුදු මුහුණු කිසිවක් ඔහුට දැකගත හැකි නොවීය. අලුත් මුහුණු කිසිවක් ඔහු හඳුනන බවක්ද නොපෙන්වීය. සාංකාවෙන් හා තෝන්තුවාවෙන් ඔහු දවස් කීපයක් ගත කළේය. සියල්ල නීරස ලෙස හැඟුණු සිතිවිල්ලත් සමඟ, වෙනදා ඇඟිලි තුඩු ගෙන යමින් අඟලෙන් අඟල ගවේෂණය කළ ගැහැනු සිරුර තවදුරටත් ඔහු තුළ ප්‍රබෝධවත් සිතුවිලි ඇති නොකළේය.

  ඒ ගැහැනු සිරුරු හරහා ඔහු කිමිදුණු භාවනාවෙන් ඔහු අවබෝධ කරගත් නිස්සාරත්වයද, නොපැවැත්ම හා අනිත්‍යයද දැන් සංකල්පයක් ලෙස නොව සැබෑවක් ලෙස ඔහු අබියස දෘශ්‍යමාන වී තිබුණේය.” (COLOMBO- 215-216 පිටු)

පෙනෙන්නේ අනිත්‍ය දහම දේශනා කරනවා වාගෙය. එහෙත් ඔහු ඔබට සියල්ල එපා කරවන්නට හදන්නේ නැත. මොහාන් මවන චරිතත්  නිකම්ම වීතරාගී වන්නේ නැත. නික්ලේශී වන්නේ නැත. ඔවුහු ඇතිපදම් කාමභෝගී වෙති; කාමසුඛල්ලිඛානුයෝගයේ යෙදෙති. ඒවා අතිශය ශෘංගාරාත්මකය. ඒ සමඟම ආදරණීයය.

වස කියන්නේ......
උඩින් තියෙන්නේ මගේ මිතුරෙකුගේ බුකියෙන් දුටු එකකි. “වස කියන්නේ මොනවාටද? කෙනෙක් බුදුන්ගෙන් විමසීය. එතුමෝ මහඟු පිළිතුරක් දුන්හ. -කෙනෙකුට ප්‍රමාණයට වඩා ඇති හැම දේමය.”

blue filmsවලත්, වැඩිහිටියන්ට සීමාවූ චිත්‍රපටවලත් වෙනස මොකක්ද? මගේ අර්ථ කථනයට අනුව නම් නිල් චිත්‍රපටවල කලාත්මක බවක් ඇත්තෙම නැත. ඒවා හදන්නේ හැඟීම් කුප්පන්නටය. සමහර ‘ඇඩල්ට්ස් ඔන්ලි’ එව්වාත් ඒ ගොඩේමය. එහෙත් කලාත්මක එවන් ෆිල්ම්ස් බොහොමයක ලිංගික, චණ්ඩ දර්ශන පවා සංයමයකින් යුතුව ඉදිරිපත් කෙරෙයි. එව්වා ‘මස් මඩු’ නොවේ!

මොහානුත් මේවා හොඳටම තේරුම් අරගෙන ඉන්නවා වගේය, මට පෙනෙන්නේ. ඔහු පමණට හෙළි කරයි; පමණට පමණක් හංගයි.


   “ඒ අග්‍රාණ්ඩුකාරය මාව උස්සගෙන ගියොත් මොකද කරන්නෙ...’
   ඔහු කිසිත් කීවේ නැත. නිහඬව ඒ දඟකාර ඇස් දිහා බලාගෙන සිටියේය. එවිට ලොවීනා ඔහු ළඟට ඇවිත් ඔහුගේ ගෙල බදාගෙන ඔහුගේ කණට කොඳුරා මෙසේ කීවාය.
   ‘ඊට කලින් මාව උස්සගෙන ගිහිං කැමැති දෙයක් කරන්ඩ...’
   ............. ඒ සමඟම වෙරළ මත වැතිරුණ ඇගේ ඇඟ උඩට ඔහු ඇදගෙන වැටුණේය.
   එය සිද්ධ වුණේ කොහොම දැයි දෙදෙනාටම තේරුමක් තිබුණේ නැත. ඔහු ඇය මතත් ඇය ඔහු මතත් සිටියදී අතොරක් නැතිව මුහුදු රළ ඔවුන්ගේ නිරුවත් සිරුරු මතින් නැඟී ගිය බව.....” (ලොවීනා- 250 පිටුව)

ඔහු ඇය මතත්.....
මට මොහාන්ගේ පොත් ඉමිහිරි සිහිනයක් බඳුය. හැබැයි උපමාව 100% ක් හරි නැත. 

සිහින පිළිබඳ විද්වත් මත ගොඩකි. ඒවාට අනුව නම් හීන දකින්නේ මනුසතා පමණක් නොවේ. තිරිසන්නුද සිහින දකින්නෝය. කොටින්ම අන්ධයනුත් හීන දකිනවා නම්! ඒ හැමෝම දකින හීනවලින් 90%ක්ම අවදි වෙන්නටත් මත්තෙන් ඔවුන්ට අමතකලු. 

වැදගත්ම දේ; හීන කළු සුදුලු. අනෙක නින්දෙන් ගොරවන වෙලාවට ඔබට සිහින දැකීමේ භාග්‍යය අහිමි වෙන එකය. (සිහින ගැන මේ විද්වත් මත සමහරක් මා පළමුවරට දැනගත්තේ ‘අසිත යොමාල්ගෙ ‘ටක බුං’ - හැම රෙද්දම (ඉතා කෙටියෙන්) වනන බ්ලොගයෙනි. මෙතැනින් ගිහින් බලන්න, කැමැතියි නම්. https://takabung.blogspot.com).

මර්වින් මගේ නම කෙටි කොට ‘නිදි’ කියා කිව්වේ මගේ ආශ්චර්යවත් නිදාගැනීමේ හැකියාව දැකලා වෙන්නට ඕනෑය. ඒ දවස්වල මා තජක වැඩවලට යන වාහනයට නැඟගත් වෙලේ හිට නිදිය. නවාතැනට ගිය වෙලේ හිට නිදිය. කොටින්ම 1983 කළු ජූලියේ කලබල මැද්දේ, රටම ගිනි ඇවිලෙද්දී, ඇඳිරි නීතිය දමා තියෙද්දී අනුරාධපුරේ සිට කොළඹට එද්දීත් මං නින්දේය. හැමෝම මට බැන්නෝය.

“මූ නිදි. අපි මෙහෙ මර බයේ ගෙවල්වලට යන්න වෙයිද දන්නේ නැතිව, ගෙවල් දොරවල්වල මොනවා වෙලාද දන්නෙ නැතිව තැවි-තැවී යද්දිත් මූ නිදි. නැඟිටපං යකෝ!” මර්සුක් සහීඩ් අයියා මට කූද්දා කිව්වේය. ඔහුගේ ගෙවල් තිබ්බෙ වැල්ලවත්තේය. ෆරානා අක්කාත්, දුවත් විතරය එදා ගෙදර ඉන්නවාය කිව්වේ. (තජක වැඩ ගැන ‘නැණ ලැබ ගත්තෙමි’, ‘මගෙන් මංගල යෝජනාවක්’ වැනි පෝස්ටුවලදී ටිකක් කියැවී ඇත.තව ගොඩක් කියන්නටත් ඇත.)

මෙවන් විපත් අපෙ දෑසට නොපෑ යුතු!
එදා රාත්‍රී නවය වෙද්දීත් අපට එන්නට හැකිවුණේ මිනුවන්ගොඩට පමණි. ඒ අත්දැකීම් වෙනම ලියමි. එහෙත් එදායින් පසු මා වාහනයක යද්දී වැඩිපුර නිදාගැනීමෙන් වැළකෙන පුරුද්දක් ඇති කර ගතිමි!

හැබැයි තවමත් ඕනෑම දුකක්, වේදනාවක්, සතුටක්... මේ මොන විදියේ හැඟීම් වැස්සක තෙමෙමින් හිටියත් මට සුවසේ නිදාගත හැකිය. එහෙම නිදාගන්නවා වගේම හීනත් දකින්නට පුළුවනිය.

උඩින් ‘ඉමිහිරි සිහින’ කියලා මා කිව්වේ මගේ හීන ගැනය. විද්වතුන් මොනවා කිව්වත් මා දකින හීන බොහොමයක් වෛවර්ණ ඒවාය. හැබැයි ඒ ‘ඊස්ට්මන් කලර්ද, ටෙක්නිකලර්ද’ කියලා  නම් මා දන්නේ නැත! අනෙක, මට තවත් ලොකූ වරප්‍රසාදයකුත් හිමිය. හිතන්නකෝ හීනයක් දකිමින් ඉඳිද්දී හදිසියෙන් හෝ මා ඇහැරුණාය කියලා. සිහිනය හොඳ, ලස්සන එකක් නම් මං කරන්නේ ‘ටක් ගාලා’ ආපහු නිදා ගන්නා එකය. මට කිසි පමාවක් නැතිවම හීනයේ ඉතිරි කොටස බලා ගන්නට ලැබෙයි! මේ වාසනාව හිමි වෙන කිසිවෙකු තවම මට හමුවී නැති එකය පුදුමේ.
වෛවර්ණ විසිතුරු පියකරු සිහිනය.....
මගෙම වාසනාවට වගේ මා දකින්නේ ඉතාම පියකරු, ළගන්නා, සොඳුරු දසුන් සහිත සිහිනය. ඉතාම කලාතුරකිනි මා අප්‍රසන්න හීනයක් දකින්නේ. හැබැයි ඇත්ත ජීවිතයේදී නම් වටපිටාවේ දකින බොහෝ දේවල් ඒ සිහිනවලටත් වඩා ජුගුප්සාජනකය. මායා ලෝකයක වුණත් එතරම් නරක මායාවන් නැත!

පොත් කියවද්දී මට විශේෂත්වයක් නැත. රසවත්, හරවත්, කුතුහලය දනවන පොත්.... ඇයි හඬවන එව්වා. හිනස්සන ඒවා. කුප්පන..... කැටගරිය මොක වුණත් මට කමක් නැත. බණ පොත් වුණත් මා කියවන්නේ එහෙයිනි.

මොහාන් සේම සූර නිර්මාණකරුවෙකු ගැනත් මෙතැන කරුණු කියන්නට යෙදුණේ අහම්බෙනි. ඊයේ හවස මට බ්ලොගයේ එක අකුරක්වත් කොටන්නට වෙලාවක් තිබුණේ නැත. මාත් නෙවිලුත් හිටියේ මහරගම අනුෂා සිනමා ශාලාවේය. ‘ඝරසරප’ බලන්නට ගිහින්ය.

මට නම් 'ඝරසරප' හොදටම.....
මා ‘පික්චර් පිස්සෙකු’ මිස විදග්ධ සිනමා විචාරකයෙක් නොවේ. එහෙත් එවන් විචාර පවා  කියවා යමක් උගන්නට තැත් කරන්නෙමි. මට නම් ඝරසරප හොඳටම හොඳය. ජයන්ත චන්ද්‍රසිරි හැදූ චිත්‍රපට, ටෙලි නාටකවලින් මා අකැමැති ‘මහරජ ගැමුණු’ටය. මට අනුව එය ‘වියළිය’. කෘත්‍රිම රෝස මලක් බඳුය. සුවඳින් තොරය. එහෙත් ‘ඝරසරප’ත් මොහාන්ගේ පොත් වාගේ රසිකයන් ‘සහකම්පනය’ කරවයි. සංවේදී කරවයි.

නෙවිලුත් මාත් මඟ දිගට වැඩියත්ම කතා වෙමින් ආවේ ජයන්ත යොවුන් නළු-නිළියන් තෝරාගන්නා හැටි හා ඔවුන් හසුරුවන හැටි ගැනය. එක හා සමාන කෘතහස්ත බවකින් යුතුව ‘සමනල සන්ධ්වනියේදී’ සූර්යාවත්, මෙහිදී ‘දෙව්නක’ හා ‘කවින්ධ්‍යා’වත් හසුරුවා තිබීම පමණක් වුව විශිෂ්ටය.

නිර්මාණකරුවකුගේ නිමවුමක් සාර්ථකවූ විට ඊළඟ කටයුත්ත එතරම් ලේසි වෙන්නේ නැත. ඒක අරිට වඩා හොඳ විය යුතුය කියලාය අප සිතන්නේ. මොහාන් ඒ කඩුල්ලත් මේ දක්වාම නම් සාර්ථකව පැනලාය.

COLOMBO දෙවැනි සෝදුපත බලද්දී මොහාන් මගෙන් ප්‍රශ්නයක් ඇහුවේය. “දැන් නිමල් අයියා මගේ නවකතා සේරම  කියවලා තියෙනවනේ. කොයිකටද වැඩිය කැමැති?”.
සුදු බණ්ඩා වතුර කළගෙඩි දහඅටහමාරක් එක හුස්මට....
මට නම් එහෙම තෝරන්නට බැරිය. එක-එකක් තේමාවන්ගෙන් වෙනස්ය, කාල වකවනුවලින් වෙනස්ය, පරිසරවලින් වෙනස්ය, චරිත හා සිදුවීම්වලින් වෙනස්ය. “හැබැයි මොහාන්, ඒවා කොච්චර වෙනස් වුණත් මේ පොත් හැම එකකම අද්භූත දේවල්  නම් පිරිලා! මට හිතාගන්න බැහැ ඊළඟ පොතේදී තවත් පුදුම හිතෙන දේවල් ගොතාගන්න ඔයාට පුළුවන් වෙයිද කියලා!” මම කීමි.

‘මාගම් සෝලියෙදී’ සුදු බණ්ඩා වතුර කළගෙඩි දහඅටහමාරක් එක හුස්මට බොයි. බිංදු මාස දෙකෙන් කතා කරන්නට පටන් ගනියි. බිංදුගේ සිරුර වැඩෙන වේගය මෙන් දෙගුණයක වේගයෙන් ඔහුගේ පුරුෂ නිමිත්ත වර්ධනය වෙයි. ඇබිත්ත උන්නාන්සේගේ සත්‍යක්‍රියා මහිමයෙන් වැහි නැති අකුණු දෙකක් සොබනිගේ නැන්දම්මාටත්, හීන් අම්මාටත් වදියි......

දැන් නම් මටත් අකුණක් වැදුණා වගෙය. හොඳටම හෙම්බත්ය. අකුරු කෙටුණාත් වැඩියි වාගෙය. කොහෙද, හිතකවත් නොතිබුණු දේවල් කෙටිලාය. ‘පංච තන්තරේ’ හින්දාම ඔයාලා ඉවසනවාය කියලාත් විශ්වාසය. ඉතිරි කොටස කොටනකලුත් ඉවසනවානේ?

No comments:

Post a Comment