අකුරු මැකී නෑ

Sunday, September 30, 2018

මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස


මා දෙවෙනි කොටස අන්තිමට කිව්වේ මට පලදුන් දිට්ඨධම්මවේදනීය කර්මය ගැනයි. ජයන්ති ෆාමසිය වත්තේ රැස්වීමට පහුවදා දවල් වෙද්දීම mpm මාමා තඩි කාර් එකකින් අපේ ගෙදරට ආවේය. ගෙදරට කිව්වාට සිල්ලප්පු වත්තටය. (සිඳු දකින සඳ පෝස්ටුවලදීත් සිල්ලප්පු වත්ත ගැන කීමි.) සිල්ලප්පු වත්තේත් උඩහටය. පාර ඉවර වුණේ එතැනිනි.


තඩි කාර් එකකින්.....
කාර් එක mpm මාමාගේ නොවේ. එයා ඇවිත් තිබුණේ පාර පෙන්වන්නටය, නියතපාල මහත්තයාගේ පයින්ඩකාරයා හැටියටය.

සුදු සරමක් හා කමිසයක්, කෝට් එකක් ඇඳගත්, රැස් විහිදෙන තලත්තෑනි කෙනෙක් කැටුවය mpm මාමා ඇවිත් තිබ්බේ. “රංජිල තාත්තේ, මේ රණසිංහ මුදලාලි. මොනරාගල..... ලොකූ ලී මෝලක් අයිති මහත්තයෙක්.” මගේ ජීවිතයේ අලුත් පරිච්ඡේදයේ දෙවෙනි පිටුව පෙරැළෙන්නට පටන් ගත්තේ එහෙමය.

රණසිංහ මුදලාලි මහත්තයා ඇවිත් තිබුණේ ‘කථික දඩයමේය’.

ඒ ඉලෙක්ෂන් එකේදී යූ.ඇන්.පියෙන් මොනරාගලට තරග කළේ ඒ.බී. තලගුණේ මහත්තයාය. ඒ පැත්ත කංසා වැවිල්ලට වගේම තලවලටත් ගුණය. තලගුණේ මහත්තයාවත් එහෙ මිනිසුන්ට ගුණ වෙලා හිටියා වගෙය. 

මගේ මතකයේ හැටියට නම් එතකොට තලගුණේ මහතා මොනරාගල දිසාපතිය. ඔහු මැතිවරණයට තරග කරන්නට ආවේ දිසාපති තනතුරෙනුත් ඉල්ලා අස්වෙලාය. අහිතක් හිතන්න එපා, හොඳේ. රණසිංහ ලී මුදලාලි මහත්තයා ඇත දිගහැර හිටපු දිසාපතිතුමාට සලකන්නට ඇවිත් තිබ්බේ ‘කළගුණ සැලකීමේ’ පරම පවිත්‍ර චේතනාවෙනි.

අනිමිස ලෝචන පූජාව කළේ ....
සමහරුන්ට නම් ‘කෙළෙහි ගුණ’ තියෙන්නේ පඩික්කමේය. එහෙම හිතන්නේ කළගුණ නොදන්නා අසමජ්ජාතියෝ විතරය. 

අපේ බුදුහාමුදුරුවොත් ‘අනිමිස ලෝචන පූජාව’ කළේ ඇසතු බෝධියට කළගුණ සලකන්නටය. හැබැයි දිසාපතිතුමාත් ලී මුදලාලි කෙනෙකුත් අතර තිබුණු සම්බන්ධය වෘක්ෂ දේවතාවරුන්ට නම් හිතකර වෙන්නට නැතුවා නිසැකය. එදා නම් මට ඕවා තේරුණේ නැත.

“මේ මුදලාලි මහත්තයා නියතපාල මහත්තයාගේත් හිතවතෙක්... රණසිංහ මුදලාලිට රංජි ගැන කියලා තියෙන්නෙත් නියතපාල මහත්තයාමයි. මේ සැරේ මොනරාගලට යූ.ඇන්.පීයෙන් ඉල්ලන මහත්තයාගේ රැස්වීම්වලට කතා කරන්න රංජිව එක්ක යන්න ඕනිලු.” mpm මාමා සේරම කියන්නට ලෑස්තිපිටම ආවා වගෙය. “....... රංජිට එහෙම පිට ගිහිල්ලා ඉන්න බැරි විත්තියත් නියතපාල මහත්තයා මුදලාලිට කිව්වා.... කවි පොත් විකුණන්න යන්නත් එපැයි.”

රණසිංහ මුදලාලි කතා කළේ එවිටය. “ඒකෙන් කිසිම පාඩුවක් වෙන්න මං ඉඩ තියන්නේ නැහැ. මේ ළමයා ගැන සේරම විස්තර මං එන්න කලින්ම මට කිව්වා.... මේක තියාගන්නකෝ දැනට. මං මේ ළමයව එක්ක යන්නේ සුමානෙකට විතරයි.”

ඒ කීයක්දැයි.............
ඔහු තාත්තා අතට මුදල් නෝට්ටු කිහිපයක් දුන්නේය. තවමත් ඒ කීයක්දැයි මා දන්නේ නැත. හැබැයි ඒකෙන් අපේ තාත්තා ‘බැහැයි කියන්නට බැරි’ තත්වයකට වැටුණු බව නම් පෙනිණි. එවෙලේ තාත්තා හිතන්නට ඇත්තේ මොනවාද? මොනවා හිතුවත් mpm මාමාගේ කතාවෙන් සේරම තීන්දු විණි.

“රංජිල තාත්තා බය වෙන්න එපා. මං රංජිව තනියම යවන්නේ නැහැ. අද හවසට මං ගෝලයෝ දෙන්නෙක් මෙහාට එවනවා, අපේ තරුණ සමිතියේ. එයින් ඔයාලා කැමති කෙනෙක් එක්ක රංජිව මොනරාගල යවමු. යන එක්කෙනාගෙයි, රංජිගෙයි කෑම-බීම, ඉඳුම්-හිටුම්, වියදම් සේරම මේ මුදලාලි බලා ගනීවි.” mpm කිව්වේය.

අදටත් ඉලෙක්ෂන් කාලෙට පක්ෂ කාර්යාල, ශාඛා සමිති, තරුණ සමිති අරවා-මෙව්වා ගොඩාක් හතු පිපෙන්නාසේ මතු වෙයි. පළාතේ රස්සා නැති තරුණ උදවිය උදේ හිට හවස් වෙනතුරු එතනය. කාඩ් සෙල්ලම්, කැරම් ගැහිලිවලට එතන පහසුකම් හැදෙයි. රෑට-රෑට පෝස්ටර් ගහන්නේ, කටවුට් එල්ලන්නට යන්නේ අර සමිතිවල උදවියයි.

කැරට් අලය පස්සෙන් යන......
අසරණ එයාලා කැරට් අලය පස්සෙන් යන බූරුවන් වගේය. පක්ෂය වෙනුවෙන් ගම්කාරයන් එක්කම වලි දාගන්නේ, මරාගන්නේ, මේ සපෝටර්ලාය. එහෙම කැපී පෙනෙන විදියට වැඩ කළාමය දිනන කෙනාගෙන් favours ඉල්ලිය හැක්කේ. එහෙම කරලාත් උදව්වක් ඉල්ලුවාට ලැබෙන්නෙත් දාහකින් එකෙකුටය.

ඡන්දය ඉවර වුණු ගමන්ම අර කාර්යාල වැහිලා යයි. මන්ත්‍රී වෙන එකා උඩ යයි. ගමේ පක්ෂ, විපක්ෂ සේරටම කෙළවෙයි, රට අගාධයටම වැටෙයි! දුප්පතුන් තව-තවත් බිහිවෙයි.......  

දැන් මට හිතෙන්නේ එදා මා විකිණුනා නොවේද කියලාය. කිසිම කෙනෙකුට මගේ පාසල් ගමන කඩාකප්පල් වෙනවා නේද කියලාවත් මතක් වුණේ නැත. එහෙම එදා නම් මා විකුණුනේ අපේ දුප්පත්කම නිසාය; නොතේරුම්කම නිසාය.  කොතරම් කයිවාරු ගැහුවත් හැම කෙනෙක්ම විකිණෙතැයි කියමනක් තිබේ. සමහරු විකිණෙන්නේ රහමෙරවලටය. තව සමහරු ස්ත්‍රී පරාණවලට විකිණෙති. වස්තුව-වලඳුවට, පට්ටම්-තානාන්තරවලට, කීර්තියට.... තවත් කොච්චරක් නම් දේවල්වලට මිනිස්සු විකිණෙනවාද? ප්‍රශ්නය නොවිකිණෙනවායැයි කියන උදවියගේ මිල හොයාගැනීම තරමක අමාරු දෙයක් වීමය.

ඒ දවස්වල මානව හිමිකම් ගැන ලංකාවේ නම් කතාබහක් තිබ්බෙම නැත! (මේ මං දැනගෙන හිටි තරමයි.) ළමා ශ්‍රමිකයන් ගැන නීති-රීතිත් තියෙන්නට ඇතත් එව්වා ක්‍රියාත්මක වුණු බවක් නම් පෙනුණේ නැත. හැම පොහොසත් ගෙදරකම වාගේ දුප්පත් පිරිමි ළමයෙක්, ගැහැනු  ළමයෙක් කඹුරමින් හිටීම සුළු දෙයක් විය.

දුප්පත්කම ගැන......
‘සැපට හදයි බලු පැටියෙක් හරි සැරයි - නෝන ඌට මට වැඩියෙන් ආදරෙයි’ කියලා ජේ.ඒ. මිල්ටන් පෙරේරා දුක්බර හඬින් ගයා තියෙන්නෙත් එහෙම’කොල්ලෙක්’ ගැනය. සුනේත්‍රා රාජකරුණානායක ‘සඳුන්ගිර ගිනි ගනී’ පොතෙන් ලියා තියන්නෙත් එහෙම’ කෙල්ලක්’ ගැනය. ඔය නිර්මාණ දෙකටම කලින් ටී.බී. ඉලංගරත්න මහත්තයාත් අන්ත දුප්පත් ‘කොල්ලෙක්’ ගැන අමරණීය පොතක් ලිව්වේය. ‘අඹ යහළුවෝ’!

දැන් එහෙම අන්ත දුප්පතුන් ඇත්තෙම නැති උතුරුකුරු දිවයිනක් පහළ වෙලාද? එහෙමත් නැති නම් එහෙම දුප්පතුන් ඉන්නා බව නොදන්නා සමාජයක් බිහිවෙලාද කියා මට නම් වැටහෙන්නේ නැත. හැබැයි වෙන මොනවා නැතත් අපට හැටහුටහමාරක් නීති නම් ඇත. එව්වා රකින්නේ නැති එක ප්‍රශ්නයක් නොවේ.

දැන් මට හිතෙන්නේ එහෙම තද නීති, ඒ කාලයේ නොතිබුණු එකත් හොඳය. එහෙම තිබුණා නම් මට ‘පේව්මන්ට් එකේ රජ වෙන්නට’ ලැබෙන්නේ නැත. බැරි වෙලාවත් එහෙම වුණා නම්? අපේ ගෙදර සේරෝම සහගින්දරේම මැරිලා ගිහින්ය. අනෙක් අතට දැන් මා කොටාගෙන යන ‘මඩ ගොහොරුවක පච වුණු’ අත්දැකීම් ලබන්නටත් මට ඉඩ ලැබෙන්නේ නැත.

ඒ කාලයේ අංගාරක්ෂකයන් බුරුතු පිටින්.....
mpm මාමා කියූ විදියටම එදා හවස unp තරුණ සමිතියේ දෙන්නෙකු අපේ ගෙදරට එව්වේය. දෙන්නාම මා කලින් දන්නා අයයි, ලක්ෂ්මන් හා පෝල්. ලකීලා හිටියේ දැන් පමුණුවේ 'සී.අයි.බී. ඇක්සෙසරීස්'  එක තිබෙන තැන වූ ගෙදරකය. මගේ බොඩිගාඩ් වැඩේට තාත්තා තෝරාගත්තේ ලකීවය. ඒ අපි එයාලාගේ මුළු පවුලම අඳුනන නිසාය.  

මට බොඩිගාඩ් කෙනෙකු එව්වාට ඒ කාලයේ ‘අංගාරක්ෂකයන්’ බුරුතු පිටින් හිටියේ නැත. මන්ත්‍රී, මැති-ඇමතිවරුන්ට වුණත් එහෙමය. කාගෙන් පරෙස්සම් වෙන්නද? අද වාගේ ඒ උත්තමයන් වහන්සේලා මහජනතාවගේ වෛරයට, අප්‍රසාදයට, පිළිකුලට බඳුන් වෙලා නොහිටි නිසාය ඒ. ඒ සේරම වෙනස් වුණේ නම් 1977න් පස්සේය. ‘ජයවෝඩන යුගය’ එළඹුණාට පස්සේය. උන්නැහේලා මහජන මුදල් කාබාසිනියා කරන්නටත්, ‘ජරාව කා’ හිටු කියලා හරහට ආරන්නටත් පටන් ගත්තේ ඊට පස්සේය. එතකොට ආරක්ෂකයෝ නැතිව පුළුවනැයි. නේද?

මෙහෙම බ්ලොගයක් ලියවේයයි ඒ දවස්වල මගේ තුන් හිතකවත් තිබුණේ නැත. එහෙම හිතුණා නම් විස්තර ටිකක් එකතු කරගෙන තියාගන්නට තිබුණි. කොම්පියුටර් තියා TVවත් ලංකාවේ නොතිබුණු සමයකි; ඒ.

ඒ පහසුකම් නැති වුණත් ගොඩක් දේවල් නිසි සැලසුමක් අනුව වුණා වගේය, මට පෙනුණේ. කඩදාසිවල පෑනෙන්, පැන්සලෙන් සටහන් කර ගත්තාට සේරම තිතට කෙරුණේය! හුඟාක් දේවල් තිබ්බේ පණ නැති කඩදාසි කොළවල නොවේ, පණ ඇති අයගේ මොළවලය. එහෙම මොළකාරයෙකි ජිනදාස නියතපාල මහත්තයා. ඒ දවස්වල යූ.ඇන්.පී.  තරුණ බල මණ්ඩලයේ (මට මතක විදිහට නම ඒකය.) මොළකාරයාත්, වැඩකාරයාත් වුණේ ඔහු බවයි මට පෙනුණේ.

ලී වාඩිය තිබ්බේ..........
ඉතින්, අපි මොනරාගල ගියෙමු. මායි, ලකීයි. රණසිංහ මුදලාලිත් එක්ක, එයාගේ තඩි කාර් එකේ. මට මතක විදියට නම් ඒ වැල්ලවාය විය යුතුය. මුදලාලිගේ ලී වාඩිය තිබ්බේ එහේය. වාඩිය කිව්වාට ඒක ගෙදරකි. හැබැයි හතර වටේම දැවැන්ත ලී කොටන්ය! ‘ලොකු වුණාම අපිත් ඔබට’ කියමින් වාගෙය, වාඩිය වටේ පැළ ගසුත් හුළඟට වැනුණේ.

වාඩියේ කෑම උයන්නට වෙනම කෙනෙක් හිටියේය. හොඳ රසට ඉව්වේය. කෑමෙන් නම් කිසිම අඩුවක් අපට කෙරුණේ නැත. හැබැයි උදෙන්ම නැඟිට, කා-බී, සූදානම්වී පිටත් වෙන්නට වෙයි. ඒ පැත්තේ වැඩිපුරම රැස්වීම් තිබුණේ දහවල් කාලයේය. රැස්වීම කිව්වාට මහ ලොකූ එව්වා නොවේ. පොඩි-පොඩි එව්වාය. සීයක්වත් හිටියේ එහෙමත් එකකය.

මගේ කතාව පැවත්තුවාට පස්සේ මට නම් හරි සැලකිලිය. මට විතරක් නෙවේ, ලකීටත්. තලගුණේ මහත්තයාත් මා දුටු හැම තැනදීම වචනයක් දෙකක් කතා කරන තරමට හිතවත් වුණේය.

ඒ ගොල්ලන්ගෙ කතා ...........
හැම රැස්වීමකම පාහේ කතා පැවැත්තුවේ එකම පිරිසක් වාගේය. ඒ හුඟක් අය ඒ පැත්තේම උදවියයි. ඒ ගොල්ලන්ගේ කතා අහගෙන ඉන්නට නොහිතෙන එව්වාය. නමුත් නගරයක තිබෙන රැස්වීමක තත්වය ඊට වෙනස්ය. එව්වාට ආවේ සුපිරි කථිකයන්ය. දැවමොට්ටාවේ අමරවංස හිමි, මීටියාගොඩ ගුණරතන හිමි, ජේ.ආර්.පී. සූරියප්පෙරුම, මහාචාර්ය ඩබ්ලිව්.එස්. කරුණාරත්න යන හතර දෙනාය වැඩියෙන්ම මගේ හිත් ගත්තේ. එයාලාට හොඳ ඉල්ලීමකුත් තිබිණි.

නමුත් මේ හතරදෙනාම සූරයන් වැඩියෙන්ම මට හමුවුණේ ඌව වෙල්ලස්සේදී නොවේ. අත්තනගල්ල, ගම්පහ, කුරුණෑගල, මිනුවන්ගොඩ, කුලියාපිටිය, ජාඇල, මීගමුව වගේ ආසනවලදීය. ඒ හරියට ඉක්මනින්ම එනතුරු ඔන්න ආයෙම මොනරාගලට. මගේ කථික වීරයන් ළඟට......

එයාලගේ කතා නිසා මගේ කතාවත් තව-තව හැඩ වෙන්නට විණි. ඒ එයාලා මට ඉගැන්වූ හින්දා නම් නෙවේ. මා ඉගෙනගත් හින්දාය; හරියටම කියනවා නම් එයාලාගේ කතාවල හොඳ-හොඳ කෑලි මං අහුලාගත් හින්දාය. ටිකෙන් ටික මගේ කතාවලට වැටෙන  ‘හුරේ’ වැඩිවෙන විට, අත්පුඩි ගැහිල්ල වැඩිවෙන විට, මුහුණු හිනාවෙන්-ආසාවෙන් ඔප වැටෙන විට... මම ඒ මොන වාගේ තැන්වලදීදැයි නිරීක්ෂණය කළෙමි. ඒවා වැඩියෙන් කතාවලට එකතු කරගත්තෙමි. මේ හොඳ කථිකයකුගේ ලක්ෂණයක් බව මා ඉගෙන ගත්තේ නම් පසු කාලයකය!

මගේ මතකය නිවැරදි නම්, ඩබ්ලිව්.එස්. කරුණාරත්න මහාචාර්යතුමා කතා කරද්දී චිත්‍රපටවල නම් ඈඳාගත් විත්තියකුත් තිබෙයි. ඒ කාලයේ මිනිසුන්ගේ ලොකුම විනෝදාංශය වී තිබුණෙත් චිත්‍රපටයක් බලන්නට යාමය. ඒ නිසාදෝ අර ‘ෆිල්ම්ස්වල නම් එක්ක කරන කතාවට’ ලොකු ගැම්මක් ලැබුණේය.

කුඩා රැස්වීමක් අමතන w s කරුණාරත්න.....
සූරියප්පෙරුම මහත්තයාත් මිනිස්සුන්ව හිනස්සන්නට සමතෙකි. බොහොම සීරියස් විදියට යමක් කියාගෙන ගිහින් ඒ බැරෑරුම්කමෙන්ම හාස්‍යය වැගිරෙන දෙයක් කියයි. ඒ තමුන් හිනාවෙන්නේ නැතිවය, අර බරපතළ කටහඬින්මය.

වාදීභසිංහ දැවමොට්ටාවේ හාමුදුරුවන්ටත් වඩා මීටියාගොඩ හාමුදුරුවෝ වේගවත්ය, රැස්වීම දෙදරවන්නට කතා කළේය. මං හිතන්නේ ඒ දවස්වල උන්නාන්සේ වඩා තරුණ නිසා ඒ ජවයත් කතාවලට එකතු වුණා කියලාය.

කොහෙදෝ ලොකු කන්දක තිබුණු ගම්මාන ගොඩකටම ගිය ගමනකදී අපූරු දෙයක් සිදු වුණේය. ඒ පාරවල් වාහනයකට යාහැකි තරමේ ඒවා නොවේ. තලගුණේ මහත්තයා ඒ ගමනට ජීප් රථ කීපයක් සූදානම් කරවා තිබුණේ ඒ හින්දා විය යුතුය. යන්නට හිටි පිරිස වැඩි නිසා රණසිංහ මුදලාලි නැවතුණේය. “ඔය ළමයත් නැවතුණා නම් තව එක්කෙනෙකුට ඉඩ හම්බ වෙනවා!” ඔහු ලකීටත් කිව්වේය.

“අනේ මුදලාලි, එහෙනම් රංජි මල්ලිවත් නවත්තා ගනිමු. රංජිව විතරක් තනියෙන් කොහේටවත් යවන්න එපා කියලයි මට mpm කියලා එව්වේ. අන්තිමට මට ගුටි කන්නයි වෙන්නේ මුදලාලි කියන දේවල් කළොත්.” ලක්ෂ්මන් ගත් කටටම කිව්වේය. රණසිංහ මුදලාලි ඊට එහා මොකුත් නොකියා නිශ්ශබ්ද වුණේය.

සූරියප්පෙරුම මහත්තයාත්......
ඉතින් අපි රැස්වීම් ගණනාවකටම ගියෙමු. කට්ටිය වාහනවලට බෙදා තිබුණේ පිළිවෙලක් ඇතිවය. රැස්වීමේදී පළමුව කතා කරන අය පළමු වාහනයේය. මං හිටියේ දෙවෙනි එකේය. ඒ මට කතා කරන්නට වුණේ දෙතුන් දෙනෙකුට පස්සේ නිසාය. තුන්වෙනි වාහනයේ තලගුණේ මහතා ඇතුළු පිරිසය.

එකටම ගියත් පළමු රැස්වීමේදී, පළමු කථිකයන් කතා කරලා ඉවර වුණු වහාම, පළමු වාහනය එයාලාව රැගෙන පිටත් වෙයි. ඒ දෙවෙනි රැස්වීම තිබෙන තැනටය. එතනට ගිය ගමන්ම එයාලා දෙවෙනි රැස්වීම පටන් ගනිති. පළමු රැස්වීමේ දෙවෙනි කථිකයන්ගේ කතා ඉවර කරනවාත් එක්කම ඒ වාහනයත් පිටත් වෙයි. හරියටම ‘රිලේ’ එකක් දුවනවා මෙනි. වෙලාව ඉතිරි කරගෙන, ටික දෙනෙකු යොදාගෙන  පොඩි රැස්වීම් ගොඩක් තියන්නට ඒ ක්‍රමය උදව්වකි.

ඉස්සර චිත්‍රපට පෙන්නද්දීත් ඔහොම වැඩක් කෙරුණේය. මට හොඳටම මතක ‘මාතලන්’ යළිත් ප්‍රදර්ශනය කරද්දීය. ඒ වතාවේ ඒක බොරැල්ල රිට්ස් එකේ පැල් බැඳගෙන දිව්වේය. අවුරුද්දකටත් වඩා කාලයක්ම. කොළඹම තවත් හෝල් එකකත් ඒකම ප්‍රදර්ශනය කෙරුණත් තිබුණේ එකම පිටපතකි. රිට්ස් එකේ ෆිල්ම් එක පටන් ගෙන පළමු රීලය දුවලා ඉවර වුණු වහාම ඒක දෙවෙනි ශාලාවට රැගෙන යයි. වාහනය ආපහු රිට්ස් එකට ඇවිත් දෙවෙනි රීලය පෙන්නා ඉවර වෙනතුරු බලා ඉඳියි. දෙවෙනි හෝල් එකේ ‘මාතලන්’ පටන් ගත්තේ වෙනදා වෙලාවට නොවේ. පරක්කු කරලාය!

ග්රාපාලීස්.......
‘ග්රාපාලීස් ලපාන්ත කුශාම් ශාන්ත ප්‍රාන්ත වීම්!’ මාතලන් එකේ චිත්‍රවල්ලි (ක්ලැරිස් ද සිල්වා) කියූ ඒ දෙබස් තවමත් මට මතක් වෙයි. ෂා, මරුනේ!

ඉතින්, අපේ රැස්වීම්වලට දුවපු රිලේ එකේ ඉතිරි හරිය කියන්නේ, ආපහු මනසින් ‘මාතලන්’ බලලා හෙම අහකවෙලාය!

2 comments:

  1. හැම කෙනෙක්ම විකිණෙව ... විකිණෙන විදිහ සහ ගෙවන තරම විතරයි වෙනස් !

    ළමා ශ්‍රමිකයන් ගැන කිව්වම මතක් උනේ අපි පොඩි දවස් වල ගෙදර දොර වැඩට ළමයි ඉන්න එක බොහොම සුලභ දෙයක්, නමුත් දැන් තත්වය එයිට වඩා සෑහෙන වෙනස් වීම සතුටක්.

    ReplyDelete
    Replies
    1. කණ්ඩා, මතකයිනේ 'අඹ යහළුවෝ' පොත?

      Delete