අකුරු මැකී නෑ

Thursday, September 20, 2018

රැජින COLOMBO එයි - තෙවෙනි කොටස

බිංදුගේ සිරුර වැඩෙන වේගය මෙන් දෙගුණයක වේගයෙන් ඔහුගේ පුරුෂ නිමිත්ත...
‘මාගම් සෝලියෙදී’ සුදු බණ්ඩා වතුර කළගෙඩි දහඅටහමාරක් එක හුස්මට බොයි. බිංදු මාස දෙකෙන් කතා කරන්නට පටන් ගනියි. බිංදුගේ සිරුර වැඩෙන වේගය මෙන් දෙගුණයක වේගයෙන් ඔහුගේ පුරුෂ නිමිත්ත වර්ධනය වෙයි. ඇබිත්ත උන්නාන්සේගේ සත්‍යක්‍රියා මහිමයෙන් වැහි නැති අකුණු දෙකක් සොබනිගේ නැන්දම්මාටත්, හීන් අම්මාටත් වදියි......

දෙවෙනි කොටස අවසානයේදී මම එහෙම කිව්වෙමි. ඒ මොහාන්ගේ අද්භූත සංකල්පනාවල දිග-පළල පෙන්වන්නටය. මේ බලන්න. මේ ‘ලොවීනා’ එකේ එව්වාය.

1. පුන්නා වැඩිවිය පත් වන්නේ ළිඳේ වතුර යට නිදාගෙන සිටියදීය. (වතුර යටදී හුස්ම ගන්න නම් පුන්නාටත් කරමල් තිබුණා විය යුතුය.)
2. ලෙයින් මසින් හැදුනු පෙද්රෝ ගැස්කොන්, පුන්නාගේ දුම් කබලෙන් නඟින ධූම වලාව මැද්දෙන් මතුවී ඇය හා සමහන් සුව විඳියි. එච්චර විතරක් නොවේ. පුන්නාව බඩ ගැබ්බරත් කරයි. (ජීව විද්‍යාත්මකව නම් ගැබක් පිහිටන්නේ ඩිම්බය හා ශුක්‍රාණුවක් සංසේචනය වීමෙනි. එතකොට මේ ශුකාණුව ආවෙත් දුමාරය මැදින් මායාවක් ලෙසද?)

පෙද්රෝ ගැස්කොන් පුන්නාගේ දුම් කබලෙන්......
3. උක්කු මැණිකාගේ කුකුළු කොටුවේ කිකිළියෝ පුන්නාගේ කටහඬින් දොඩන්නට පටන් ගනිති.
4. වශී බන්ධනයකින් වසඟ කරගන්නවා වගේම, ලොවීනා අකැමැති අග්‍රාණ්ඩුකාරයා දුරස් කරන්නට පුන්නී වශී මන්තර අග සිට මුලට මතුරයි. - ඔය අතලොස්සක් පමණි.

‘රැජින’ පොතේත් මේ මායාවන් ගොඩකි. 

කුඩාතිස්ස රජ්ජුරුවන්ගේ ඇඟේ දුවන්නේ කොළපාට රුධිරයයි. කුදිරමලේදී මහ පොළොවේ වැළලී හිඳ මරණයෙන් උත්ථාන වෙන මිසර නාවිකයන් දෙන්නා ගලේ ගැහුවත් මැරෙන්නෝ නොවෙති. රජ පොකුණේ මාළු අනුලා රාජිනිය එක්ක උන්ගේ රහස් බෙදා ගනිති; ඇගේ පෙම් පට්ටන්දරවලට හූමිටි තියති. දරකැටිතිස්ස මියගියත් ආදරයෙන් ගැහෙන හදවත නවතින්නේ නැත...... රැජින කියවද්දී ඔහොම තැන් එමට හමු වෙයි.

ඔයාලා හිතන්නේ COLOMBO, ආදරණීය වික්ටෝරියා පොත් ඒවායින් තොරය කියලද? අනේ නැත. ගොඩාක් ඇත, මදිය නොකියන්නම.

කොච්චර අරුම-පුදුම දේවල් ලිව්වත් මොහාන්ගේ ‘භද්‍ර ඝටයේ’ එව්වා ඕනෑ තරම් තියෙනවා වගේය. (දෙව් ලොව තිබෙතැයි කියැවෙන, සිතූ පැතූ සම්පත් ලබා දෙන ඒ ‘කළගෙඩිය’ ගැන මා ‘නීල බිඟු කැල’ පෝස්ටුවෙදී ලියා ඇත.)

ඉසබෙල් අයියන්දෙගේ පොත් රැසක්මත්......
ඉසබෙල් අයියන්දේගෙ පොත් රැසක්මත් ‘ඉන්ද්‍රජාලික යථාර්ථවාදය’ අනුව යමින් ලියැවී තියෙනවා යැයි විචාරකයෝ කියති. 

ඒත් එව්වා විවරණය කරන්නේ හැබෑ ජීවිතයයි. ඒ ඒ රටවල පවතින නීති-රීති-බාධකවලින් පැනගන්නට ඇයත් මේ උපාමාරුව යොදාගෙනද? කොයි රටෙත් බලයට පත් වෙන්නේ එකම වරිගයේ මිනිසුන්ය; වැරදි පෙන්වාදීම් නුරුස්සන්නන්ය; විවේචන දරාගන්නට කොන්දක් නැති එවුන්ය; පරාර්ථය පතන බව කියමින් ස්වාර්ථය තකන්නන්ය; නිර්මාණකරුවකුට ඔවුන්ගෙන් බේරෙන්නට ලෙහෙසිම ක්‍රමයකි, අතීතයට රිංගීම.

අප හැම දෙනාම අතීතකාමියන් බව මගේ විශ්වාසයයි. ඒ නිසාම අප අතීත විත්ති, ජනප්‍රවාද, ජනශ්‍රුති ආදියට කැමැතිය. අපි අතීතයට පෙම් කරන්නෙමු.

1994 දෙසැම්බර් 25 වෙනිදා; නත්තල් දවස මට සදානුස්මරණීය දවසකි. එදා මා උන්නේ එංගලන්තයේ, සවුත් හෝල් පෙදෙසේ බස් නැවතුමක, ‘black ice’ මිදෙන සීතලෙන් ගල් වෙමිනි. 

එංගලන්තය වැනි රටවල නත්තල් දවසේ පාර හොඳටම පාලුය, බස් ගමනත් අඩුය. අර පට්ට සීතලේ ගැහෙමින් හිටි මා උණුසුම් කළේ ‘රීඩර්ස් ඩයිජස්ට්’ සඟරාවේ තිබුණු ලිපියකි. ‘සතුට කියන්නේ කුමකටද?’ වැනි මාතෘකාවකිනි, ඒ ලිපිය තිබ්බේ.

ඒ ලිපියේ අරටුව; හරය මට ජීවිත කාලයටම අමතක නොවන්නකි. එය එතරම්ම අරුත්බරය.

1994 දෙසැම්බර් 25 වෙනිදා මා උන්නේ....
රසම කෑමක් ගන්න. නැරඹූ චිත්‍රපටයක්, තැනක් ගන්න. කියවූ පොතක්, බැලූ නාට්‍යයක්..... ඒ හැම විටකම අපි යම් තෘප්තියක් ලබමු. එහෙත් පසුව ඒ ගැන මෙනෙහි කිරීමේදී පළමු සතුටට වැඩි යමක් නොවිඳිමුද? හැම අත්දැකීමක්ම පසුව මතක් කරද්දී මිහිරක් දනවයි. 

කොතරම් කටුක අත්දැකීමකදී වුණත් මේ ධර්මතාව පොදු බව ඒ ලිපියෙන් කියැවිණි. ඒ අත්දැකීම කටුක නම්, දුෂ්කර නම්, අමිහිරි නම් එය සිහි කිරීම වඩාත් ආනන්දජනකය. මා ගැන නම් එය ඇත්තකි. අතීතය මෙනෙහි කිරීම කොතරම් චමත්කාරජනකද; විස්මිතද; සදානුස්මරණීයද? සතුට යනු එය නොවේද?

ගබ්රියෙල් ගාර්සියා මාර්කෙස්ගේ නවකතාත් අපට අල්ලා යන්නේ මේ අතීතයට ඇති ඇල්ම නිසාද? එයට උත්තරය ‘ඔව්’ නම් මොහාන්ගේ ‘ඉන්ද්‍රජාලික යථාර්ථවාදී කතන්දර’ ශ්‍රී ලංකේය පාඨකයන්ගේ ප්‍රසාදයට පාත්‍ර වීමේ අරුමයක් නැත.

මෙතැනදී නම් හීනියට මගෙම හොරණෑව මටම පිඹගන්නට හිතෙයි. විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රයේ, විදර්ශන ප්‍රකාශකයන්ගේ, චන්දන මෙන්ඩිස් මහතාගේ මෙන්ම තවත් බොහෝ පොත් ප්‍රකාශකයන්ගේ  මුල් කාලීන සියලුම ප්‍රකාශන මුද්‍රණය කෙරෙද්දී ‘පියසිරියේ’ මුද්‍රණ කළමනාකරු වුණේ ‘මං වහන්සේය’. ශ්‍රී ලංකේය නවකතා ක්ෂේත්‍රයේ නව නැම්මක් ඇති කළ එවන් පොත් මුද්‍රණයට දායක වීම ආඩම්බරයක් නොවේද?

මාර්කේස්ගේ නවකතාත්.....
ඉතින්, මුද්‍රණ කළමනාකරුවකු විදියට වැඩ කරද්දී බොහොමයක් ලේඛකයන්ගේ අත් අකුරු දැක ඇති මට මොහාන්ගේ අත් අකුරු ගැන ඉරිසියා හිතෙන තරම්ය. ඔහු අර විච්චූරණ ආරළු-බූරළු ගොතා ලියන්නේ කදිම, හැඩ, කලාත්මක අකුරුවලින්ය.

ඒත් එහෙම ලස්සන අකුරුවලින් වුණත් මොහාන් ගිනි පුපුරන්නා වගේ ලියයි.

   ‘තෝ මං හිතුවටත් වැඩිය අලුගුත්තේරු බැල්ලිගෙ පුතෙක්නෙ බොල.... තෝ මගෙන්ම අහගෙන අරක්කු පෙරන්ඩ.... දැන් එනව මටම හමන්නන්ඩ.’ (ආදරණීය වික්ටෝරියා - 127 පිටුව)

   ‘බොල බොණ්ඩියේ.... තෝ කළ වරදට ගෑනියෙක් වුණත් තෝව උල තියන්ඩ පුළුවන් බව තෝ දන්නවද?’(රැජින - 201 පිටුව)

   ‘අග්‍රාණ්ඩුකාර උත්තමයෙක්ගෙ උනත් හොර ගෑනි වෙන්ඩ මට බැහැ...’
   පිංචි ප්‍රථම වතාවට මේ කතාබහ මැදට පැන්නේ එවිටය. ඈ සිය දෝණියන්දෑගේ මාන්නක්කාරකමට රවමින් මෙසේ කීවාය.
   ‘යකෝ... මේ රටේ අනික් ගෑනුත් එක්ක බලද්දි අපි ගෑනුද... අපි අපිටවත් වැඩක් නැති සත්තු... ඉතිං එහෙව් අපි, ඒ වගේ තේජවන්ත මිනිහෙක්ගේ හොර ගෑනියෙක් වුණත් මොකද...” (ලොවීනා - 242 පිටුව)

   “යකෝ ... රජෙක් හොරෙක් වෙන එක මොන තරම් ආඩම්බර වෙන්ඩ පුළුවන් කාරණාවක්ද?” (රැජින - 34 පිටුව)

අපි පාද යාත්‍රාවේ යද්දී බාගුරේ කලපුවෙන් එගොඩ වෙමින්......
වසර සිය ගණනාවක් තිස්සේ, ස්කන්ධ කුමාර බැතිමතුන් ‘පාද යාත්‍රාවේ’ යති. විශේෂයෙන් දමිළ බැතිමතුන්. ඉතින් අපටත් එහෙම යන්නට ඕනෑ විණි. 

ඒ වෙනුවෙන් අපත් මස්, මාළු, පිලිහුඩුවලින් වැළකී පේවෙමින් ඉඳිද්දී අයස්මන්ත දවසක් අපේ ගෙදර ආවේය. “නිමල් අයියේ, මං පාද යාත්‍රාවේ යනවා කිව්වම ‘වාසන්’ එකේ දෙමළ කෙල්ලෙක් රතු වේට්ටියක් ගෙනත් දුන්නා. මේ...” ඔජ වඩා එහෙම කියා දොස්තර මහතා කමිසය ගැලෙව්වේය. කලිසමේ කකුල් උඩට නවා වේට්ටිය ඇඳ හැඩ බලන්නට ගත්තේය.

“පූන නූලක් විතරයි අඩු!” මා ඔච්චම් කරද්දී, වාහනයක නළා හඬක් ඇසිණි. පීරිස් වාහනය නවතා තිබුණේ බාගයක් පාරට වෙන්නටය. (අපේ ඉඩමත් පර්චස් දහයක්වත් නැති පුංචි හුණ්ඩුවකි. වාහනයක් නැවැත්විය යුත්තේ හොඳ පරීක්ෂාවෙනි.)

වාහනය වත්තේ ඇතුළට ගන්නට පීරිස් එළියට බැස්සේ පච්චවඩම් රතු වේට්ටිය පිටින්මය.

කොයි වේලේත් පාරේම ඉන්නා අල්ලපු ගෙදර දැරිය උඩ පැනලා ගෙට දිව්වේ පීරිස්ව දුටු ගමන්මය. නිකම්මත් නෙවේ; කෑ ගසාගෙනය. “අම්මේ...... මෙන්න බුදු සාදු කෙනෙක් ඇවිල්ලා...”

ඊට ටික දවසකට පස්සේ මොහාන්ගේ වාහනය අපේ ගේට්ටුව ළඟට ආවා විතරය. අර දැරිය එවෙලේ උන්නෙත් පාරේය. “මෙන්න බුදු සාදුගේ කාර් එක එනවා!” ඇය මොරදී කිව්වාය. අයස්මන්තත් මොහානුත් දෙන්නාටම තියෙන්නේ එකම වර්ගයේ, එකම පාට වාහනය. අර පුංචි කෙල්ලටත් පෙනුණු දේ මට නම් අදත් පෙනෙන්නේ නැත. ඒ පොත් වැනි දේවල්වල මිස වාහන වගේ දේවල් ගැන මා උනන්දුවෙන් නොබලන බැවිනි. 

එහෙම බලන නිසාදෝ කෙනෙකුගේ අත් අකුරුත් මට විශේෂය!

මොහාන්ගේ අත් අකුරුත්.......
මේ අතරේම මගේ හිතේ කැකෑරෙන ගැටළුවක් ගැනත් කිව යුතුය. මොහානුත් එක්තරා වට්ටෝරුවකට හිර වෙලාවත්ද? 1. අනපේක්ෂිත සිදුවීමක්.   2. අතිශය විශ්වාසවන්ත සගයෙක්, සේවකයෙක් හෝ මෙහෙකාරියෙක්.  3. ඉතාම තීරණාත්මක අද්භූත සිද්ධියක්.   4. විශ්වාස ඝාතකයෙක්.  5. යම් ඓතිහාසීය සිදුවීමක්. 6. කරුණු වසංගා කියන දේශපාලනික අර්ථ ගැන්වීමක්, මා දකින වට්ටෝරුවයි.

මොහාන්ගේ නවකතා පහෙන්ම මේ පොදු සාධක හමු වෙයි. සමහර වෙලාවට එක පොතක එකම වර්ගයේ සිද්ධි එකකට වැඩියත්.... පුදුමය ඒ සේරම තියෙද්දීත්, මේ පොත් පහම එකකට එකක් වෙනස්වීමය; එකසේම රසවත් වීමය; අරුත්බර වීමය. පාඨක රසිකයා ඇද-බැඳ ග්‍රහණයට ගැනීමට සමත් වීමය.

මොහාන්ගේ පාත්‍රයෝ පැතලි චරිත නොවෙති. තනිකරම කළු හෝ සුදු හෝ නොවෙති. වීරයන්මය දුෂ්ටයන් වන්නේ. දුෂ්ටයන් වීරයන් වීමත් එහෙමමය. මනුෂ්‍යයෝ එසේ වෙති. ඒ මිනිසත් බව අපේ හද බැඳගන්නේ, අපත් පුහුදුන් මිනිසුන් බව හීන්සීරුවේ අපටම තහවුරු කරමිනි.

‘සන්තුට්ඨි පරමං ධනං’; සතුට පරම ධනයයි කියා තියෙන්නේ ‘ධම්මපදයේ’ සුඛ වර්ගයේ ගාථාවකය. මා කලිනුත් කියා ඇති පරිදිම මට හැම දෙයකම හොඳ පැත්තකුත් පෙනෙයි. සතුටකුත් හැංගී ඇති බව දැනෙයි. ඒ නිසාමදෝ මොහාන්ගේ සියුම් හාස්‍යමය ජවනිකා මා වශී කරගනී!

‘රැජින’ - අභය හා නාගවර්ණ දෙන්නාට දාව නිවුන් දරුවෝ 36ක් උපත ලබති. ඔවුහු මාරුවෙන් මාරුවට පන්සලේ, කෝවිලේ හා මිසර දෙවොලේ ඇදහිලි උගනිති. බුදු දහමත්, හින්දු දහමත්, මිසර දේව ඇදහිලිත් පරතෙරට දැනගනිති.... ‘මේ නිසා මාසයෙන් මාසයට ආගම් මාරු කළත් ඔවුන්ට ලොකූ වෙනසක් දැනුණේ නැත. ඒ සමානත්වය නිසා සමහර දේවල් ඔවුන්ට පැටලුණු අවස්ථාද නැතුවා නොවේ. ඇතැම් විටෙක ඔවුහු මහා විහාරයේ දී ඉගෙනගත් පාළි ගාථා, ශිව දේවාලයේදී ගායනා කළහ. තවත් විටෙක මිසර දෙවොලේ ඉගෙනගත් දේව ස්තෝත්‍ර අභයගිරි විහාරයේදී ගායනා කළහ.’(222 පිටුව).

‘COLOMBO’ – ‘චාලි යැයි ඇමතූ විට ඌ හැරී බැලුවද, නගුට වනා සතුට පළ කිරීමට නම් ‘හායි චාලි’ යැයි ඇමතිය යුතු විය. නකුටද වනා කකුල් ලෙවකෑමට නම් ‘හායි මයි ලව්’ යැයි ඌට ඇමතිය යුතු විය. ඒ දෙකටම අමතරව කකුල් දෙකෙන් හිටගෙන අත් උස්සා ආදරය පෑමට නම් ‘මයි ස්වීට් හාට්’ යැයි ඇමතිය යුතු විය. නමුත් ඒ සියල්ලටමත් වඩා පිස්සුවෙන් උගේ ආදරය ලබාගන්නට නම් ඌ ඇමතිය යුතු වූයේ ‘මයි ලිට්ල් ප්‍රින්ස්’ යනුවෙනි.’(281 පිටුව).

මේ සදය උපහාස කවුරුන් ගැනද? 

ඊයේ මගේ සුමිතුරු ‘මිශාන් රන්දික’ගෙ මුහුණු පොතේ අපූරු පෝස්ට් එකක් තිබිණි. මේ ඒකය.

අප වියපත් වෙද්දී අපේ හදවත.....
ඇත්තටම අප වැඩෙන තරමට, වියපත් වෙන තරමට අපේ හදවත පුංචි වෙනවාද? හදවත කෙතරම් කුඩා වුණත් වැරැද්දක් නැත. වැරැද්ද සිතුවිලි කුඩා වීමේය; පටු වීමේය.

පොතක් කියවද්දී අපි බොහෝ දෙනෙකු හඳුනාගනිමු. ඔවුන්ගේ සිතුම් පැතුම් හඳුනා ගනිමු. විවිධ පරිසර, විවිධ සංස්කෘතීන්, විවිධ අත්දැකීම් ගැන දැනගන්නෙමු. ඒ පොතේ කතුවරයාගේ අභිමතය පරිදිම නොවේ. අපේම ස්වාධීන කැමැත්ත පරිදිය. යමක් කරන්නට උගෙනීම මෙන්ම යමක් නොකර සිටින්නටත් පොතපතින් අප ඉගෙන ගන්නේ ඒ හින්දාය. ‘කියවීම මිනිසා සම්පූර්ණ කරයි’ කියමන කියන්නට ඇත්තේ එබැවින් විය යුතුය.

කියවීම මිනිසා.....
බොහෝ දෙනාට තනියම බොන්නට බැරිය. හවුලට කෙනෙකු ඕනෑය. ඒ වාගේ හොඳ පොතක් කියෙව්වාමත්, හොඳ චිත්‍රපටයක්- නාට්‍යයක් බැලුවාම ඒ ගැන කාටම හෝ කියන්නට මට හිතෙයි. කතා කරන්නට හිතෙයි. මගේ මිම්මෙන් මොහාන්ගේ පොත් හොඳ නිසා ඒවා ගැන අදහස් බෙදාගන්නට සහෘද පාඨක ඔබ හිඳීම කෙතරම් අගනේද? ඒ වගේම.....

ඕනෑම කලාවක් රස විඳින්නට නම් යම්කිසි පොහොසත්කමක් තිබිය යුතුලු. දුප්පතෙකුට අද පොතක් මිලදී ගැනීමත් ලේසි නැත. චිත්‍රපටයක්, නාට්‍යයක් බලන්නට යෑමත් ලේසි නැත. එහෙත් අටෝරාසියක් දේසපාලුවන්ට ගෙන්වන වාහනවලට බදු ගහන්නේ නැත. අඩු කරනවා වෙන්නුවට උන්ට දෙන ‘පෙරේත ගොටු’ තව-තවත් සාර කරයි! නමුත් කඩදාසිවලට බදු ගහයි!  ඉතින් පුරවැසියාගේ දැනීම වැඩි කරගන්නට තියෙන පොත්-පත්තර මිලය.

“ධනවත් වීම යනු මුදල් යහමින් තිබීමයි. පොහොසත් වීම යනු ඇති තරම් කාලය තිබීමයි!’’ ඒක ඇත්තද? ඔබත් පොහොසතෙක් නම් අමාරුවෙන් උපයාගෙන; සපයාගෙන හෝ පොතක් කියවන්නට ඔබට කාලය තිබෙනවා නියතය. මගේ හැඟීම මොහාන් රාජ් මඩවලගෙ පොතුත් එහෙම කියවන්නට තරම් වටිනවාය කියන එකය.


මට හිතෙන්නේ හැම ධනවතෙකුටම සල්ලි තිබුණත් ‘රසාස්වාදනය’ ලැබීමේ පින නැත. පොතක් කියවා ඒ වින්දනය ලැබීමේ මගඟු  වාසනාව තියෙන්නේත් ඔබ වැනි කෙනෙකුටම විතරය! ෴

4 comments:

  1. රස වින්දනය තිබීම පමණක් මදි එය රස විඳින්න පරිසරයක් තියෙන්නත් ඕන ... එහෙම නැති උනොත් රස වින්දනයක් තිබීමත් දුකක් උදා : අපි බස් එකක යනකොට ඇහෙන කොත්තු සංගීතය ගැන හිතන්න. පොත් ගැනත් එහෙමමයි.

    ReplyDelete
    Replies
    1. රසයක් විඳින්න එක විදිහක පිස්සුවකුත් තියෙන්න ඕනේ නේද? මෝස්‌තර එක්ක පෝස්ට්ස්වල 21 දැම්මාම බලන්නකෝ!

      Delete
  2. සන්තුට්ඨි - 'තෘප්තියට පත්' වාගේ අදහසක් තමා තියෙන්නෙ. එතකොට පේනවා සන්තුට්ඨි කියන්නෙ සතුටටම නෙමේ කියල. හැබැයි සන්තුට්ඨි තුල සතුට තියෙනව.

    ReplyDelete