මොකක්දෝ සැර ඔසුවක්................... |
මහේන්ද්‍ර පෙරේරා දොස්තර මහතා මට ප්‍රතිකාර
කිරීම පටන් ගත්තේය.
මුලින්ම කෙරුණේ ‘කීමෝතෙරපි’ ප්‍රතිකාරයි. එහිදී මොකක්දෝ සැර
ඔසුවක් සේලයින් දියරයත් සමඟ මගේ සිරුරුගත කෙරිණි. එය කෙරෙන්නේ රෝහලට නේවාසික
රෝගියෙක් ලෙස ඇතුළත් කළ පසුවය. බෙහෙත ශරීරගත වීමට පැය එකහමාරක්, දෙකක් විතර ගත
වෙයි. ඊටත් ටිකකට පසුය ටිකට් කපා රෝගියා
ගෙදර යන්නට නිදහස් කරන්නේ.
අවුරුදු ගණනාවක්ම මල්ලිකාත් සමඟ ‘අපේක්ෂා
රෝහලේ’ කරක් ගැසූ නිසා සුනිලුත් ඒකෙම කෙනෙකු තරමට එහේ කටයුතු කෙරෙන විදිහ දැනගෙන
උන්නේය. එබැවින් මට බෙහෙත් දෙන අතරේ, ගෙදරදී නිතිපතා ගන්නට ලබාදෙන ඖෂධ ටික ගන්නට
ගියේ සුනිල්ය. ඒ වෙලාව ඉතිරි කරගන්නටය.
කීමෝතෙරපි දෙන වාට්ටුවේ සේවය කරන හැමෝම ඉන්නේ
අත්වැසුම්, මුවවැසුම් දමාගෙනය. ඒ විකිරණශීලී බවෙන් ආරක්ෂා වීමට වෙන්නැතිය. පිටස්තර
අයට වාට්ටුවේ රැඳෙන්නට ඉඩ නොදුන්නත්, අයස්මන්ත දොස්තර මහත්තයාට ඒ තහනම බලපෑවේ නැත.
විකිරණශීලී අවදානම ගණන් නොගෙනම ඔහු මගේ ගිලන් ඇඳ ළඟ උන්නේය. අදත් මා හරිම
ලජ්ජාවෙන් මතක් කරන දෙයක් සිදු වුණේ එහෙම වෙලාවකය.
වෙනදා වාගේම එදාත් වාට්ටුවට ඇතුළු වුණාට
පස්සේ මට බෙහෙත එන්නත් කිරීම පටන් ගත්තේය. පීරිස් මගේ ලෙඩ ඇඳ ළඟය. වෙනදාට නම් මිසී
කෙනෙක් අයස්මන්ත දොස්තර මහත්තයාට කොහෙන් හරි පුටුවක් හොයා දෙයි. එදා ඒකත් නැත.
“පීරිස්...” මං බැරි-බැරි ගාතේ කතා කළෙමි. “මේක දීලා ඉවර වෙන්න වෙලා යනවනේ... ඔයා
යන්න.... සුනිලුත් ඉන්නවනේ, මං සුනිල් එක්ක ගෙදර යන්නං. ඔයාට වැඩ තියෙනවනේ
මහත්තයෝ.”
බිතු සිතුවම් රූ මෙන්...... |
මා පීරිස්ගේ තැන හිටියා නම් කරන්නේ එහෙමය.
ආයේ කියන තුරු ඉන්නෙත් නැත. මමම අහලා යනවා මිස. කාලය අපතේ යැවිල්ල මට පෙනෙන්න
බැරිය. ඒත් මගේ කෝණයට වඩා වෙනස් පැත්තකින්ය ‘අයස්මන්ත පීරිස් දොස්තර මහත්තයා’
බලන්නේ!
“මට කොච්චර වැඩ තිබුණත් කමක් නැහැ නිමල්
අයියේ. එව්වා දාලා මං මෙහෙම ඉන්නේ යාළුකම හින්දා. මෙහෙම වෙලාවක ටිකක් ළඟින්
ඉන්නවත් බැරි නම් අපේ යාළුකමෙන් ඇති වැඩේ මොකක්ද?” ඒ ඔහුය.
සැළලිහිණි සංදේශයේ සුප්‍රසිද්ධ කවියෙන්
කියන්නේ මෙවැනි මිතුරන් ගැන විය යුතුය.
‘මිතුරුතුමෝ දුක සැප දෙකෙහිම පැවැතී
බිතු
සිතුවම් රූ මෙන් පිටු නොපාවිතී’
යළිදු කියන්නෙමි. පීරිස් විතරක් නොවේ! ජීවිතය
මට දී තිබෙන ලොකුම තිළිණය මගේ හිතමිතුරු කැලය. දැනුදු ඔවුහු නිබඳව මා වටා සිටිති.
මට දිරි දෙති. අඩුම තරමින් අවුරුද්දකට සංචාර දුසිමකවත් යෙදෙන්නට මට වාසනාව
ලැබෙන්නෙත් එයාලා නිසාමය. මේ සමහර මිතුදම් වසර 40ත් ඉක්මවූ ඒවා බවත් මෙතනදී
කියන්නේ සාඩම්බරයෙනි!
එහෙම වාසනාව තිබිලාත් මෙහෙම ලෙඩ හැදෙනවාද?
මොකද නැත්තේ.
ඔයාලට සරලා කාරියවසම් දැරිය මතකද? නැති නම්
චුයියා.... කල්‍යාණි.... නාරායන්.....? චුයියා අට හැවිරිදි වැන්දඹුවකි. ඒ ‘වෝටර්’
චිත්‍රපටයේය. චුයියාට රඟපෑවේ ශ්‍රී ලාංකික සරලා කාරියවසම් දැරියයි. කල්‍යාණිට ලීසා
රේ නිළියත්, නාරයන්ට ජෝන් ඒබ්‍රහම් නළුවාත් පණ පෙවූහ. ලීසාටත් මල්ටිපල් මයෙලෝමා
වැලඳුණු පසුව ගත් ඡායාරූපයකි දකුණු කෙළවරේ තිබෙන්නේ.
පිළිකාවට වයස් භේදයක්, ජාති භේදයක් හෝ පන්ති
භේදයක් හෝ වෙනත් කිසිම භේදයක් අදාළ නැත. කොටින්ම ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙක්
වන ජිමී කාටර්ටත් පිළිකා රෝගය වැලඳුණි. ඔහුගේ දෙමාපියන්, සොහොයුරියන් දෙදෙනෙකු හා
සොහොයුරෙකුද පිළිකාවට බිලි වූවන්ය. මේ තරමට මේ රෝගය බහුල වන්නේ වැරැදි ආහාර
රටාවනුත්, ආහාර වර්ගත් නිසා බව දැන් කියවෙයි.
1992 සිට ජාන විකරණය කළ ආහාර වර්ග වාණිජ
මට්ටමෙන් නිපදවෙන්නට විය. ඒවා රෝග ගොඩකටම හේතු වෙතැයි දැන් සැක පහළ වීලාය. අද අප
ආහාරයට ගන්නා දේවල්වල පැටිකිරිය නම් හොයන්නට පුළුවන්කමක් ඇත්තෙම නැත. ඒත් එහෙමය
කියා ඒවා නොතකා ඉන්නටත් බැරිය.
අපට හැදෙන රෝගවලින් 60%කටම හේතුවන්නේ අපේ ආහාර බව
විශේෂඥයන් කියද්දී..... මේ ඇස් පනාපිටම පෙනෙන දෙයකි. දැන් ඉස්සරට වඩා ‘ඇලජික්’ වෙන
අය හොඳටම වැඩිය.
අද ජාන විකරණිත ආහාර එමටය............. |
මිනිසුන්ව ඇලජික් වීම වෙනම කතාවකි. මේ
කියන්නේ මිනිසුන්ව ඇලජික් වීම ගැන නොවේ. ‘අසාත්මිකතා’ ගැනයි. මේ විදියට හුඟක් අයට,
ගොඩක් දේවලට අසාත්මිකතාව ඇතිවන්නට හේතුව ජාන වෙනස් කළ බෝග වර්ග කෑමට ගැනීමලු!
එව්වා ගැන හරිහමන් පර්යේෂණ කරලා, 100%ක්ම නිවැරදිදැයි හොයාගන්නට තව කල්පයක් යනවා
ඇත. නොදැනුවත්වම වුණත් දැන් අප ලොකු සමාගම්වල ‘ප්‍රාණ ඇපකාරයන්ය.
1998 දී ආචාර්ය Arpad Pusztai ජාන වෙනස් කළ
කෑම දෙමින් පර්යේෂණයක් කළා, මීයන් යොදාගෙන. ඒ වාර්තාවලින් කියැවුණේ මීයන්ට ආහාර
ජීරණ පද්ධතියේ පිළිකා වැලඳුණු බව. මේ ගැන තවත් පර්යේෂණ වාර්තාත් කියන්නේ දුක
හිතෙන, භයානක කතාවකි!
මේ තවත් විදියක කතාවක්!
එතකොට මං ප්‍රෙස් එකක ප්‍රින්ටින් මැනේජර්.
එක සේවාදායක මහත්තයෙක් ලොකූ කොම්පැණි ගොඩකින්ම එක-එක පන්නේ ප්‍රින්ටින් ඕඩර්ස්
ගේන්න පුරුදු වෙලා හිටියා. මාස කිහිපයකට වතාවක් එයා ගෙනෙනවා ස්ටිකර් ඇණවුමක්. එක
ස්ටිකරයක් අඟලයි අඟලටත් වැඩිය කුඩායි. එක වර්ගයකින් උවමනා කරන ප්‍රමාණය නෙවෙයි තව
වර්ගයකින් ඕනෑ වුණේ.... ඕඩරයට ස්ටිකර් වර්ග 25ක්-30ක් විතර අඩංගුයි. එක-එක
වර්ගවලින් එක-එක කොන්ටිටීස් තමා ඕනෙ වුණෙත්.... දන්නවාද එව්වා මොනවටද කියලා?
චොක්ලට් වර්ගවලට..... ඕෆ්සෙට් ප්‍රින්ටින්
මැෂිමක කාර්යක්ෂමව අච්චු ගහන්නට හා කඩදාසි
වර්ගය අපතේ නොයන්නට අර ඕඩරය ප්‍රින්ට් කරන හැටි ප්ලෑන් කළේ මං. අර සේවාදායක
මහත්තයාත් ඔය නිසාම මගෙත් එක්ක නිතර කතාවට වැටුණා.
“මොකක්ද මිස්ටර් .......... මේ වැඩේ? ඇයි මේ
චොක්ලට් ගෙන්නන කොට අලුතින් ස්ටිකර් අලවන්නේ? ඒවායේ ගහලා තියෙනවානේ එක්ස්පයර් ඩේට්
එක. ඒකම ආයේ ගහන්නේ මොකටද....” මං ඇහුවා.
“නිමලෝ.... උඹ දන්නේ මොනවද මචං. ඔහොම
ගෙන්නන්නේ කල් පනින්න ඔන්න-මෙන්න තියෙන බඩු. මේ කොම්පැණිය අර එක්ස්පයර් ඩේට් එක
වැහෙන්නයි මේ ස්ටිකර් අලවන්නේ.... සුද්දෝ වගේ මෙහෙ එච්චර ඔව්වා ගැන බලන්නේ නෑනේ
මචං. මේවා එක්ස්පයර් වෙනවා කිව්වට අපි මාස හයක් විතර තමා දිනේ වැඩි කරලා දාන්නේ.”
මිස්ටර් ........... මට රහස කිව්වේ එහෙමය. මා තක්බීර් වුණු හැටි ඔහු දකින්නට ඇත.
“උඹ බය වුණාද මචං.... ඔව්වා වහ වෙන්නේ නැහැ
බං. මටත් ඕනේ තරම් හම්බ වෙනවා. හිටපන්කෝ, උඹලගේ ඇනුවල් ට්‍රිප් එකටත් මං චොක්ලට්
බාර් ටිකක් ගෙනත් දෙන්න. උඹ මගේ හරහා රික්වෙස්ට් කරනවා කියල ලියුමක් විතරක් ලියලා
දීපන්කො.”
මම ලිපිය ලිව්වෙමි. ඔහු එසේම වචනය රැක්කේය. සුපර්
මාර්කට්වලත් විකුණන ඒ චොක්ලට් වර්ග මල්ලක්ම අපේ වාර්ෂික චාරිකාව යද්දී ලැබිණි. ප්‍රෙස්
එකේ කට්ටියත් එක්ක මමත් ඒවා කෑවෙමි.(පේව්මන්ට් එකේ රජවී - 5 පෝස්ටුවේදී ලින්ටන්
දුන් චොක්ලට් ගැන කිව්වා වගේමය. වෙන දෙයක් හැමෝටමනේ.) අත්දැකීමෙන් කියමි. අපි
කාටත් එව්වා හොඳින් දිරෙව්වේය! එකම එක නොදිරවන දෙයක් විතරක් සිද්ධ වුණේය.
කල් ඉකුත්වන චොක්ලට්.... |
ලොකුම, ප්‍රසිද්ධම, reputed සමාගම්වලින්
වුණත් වෙළෙඳපොළට එවන බඩුවල සඳහන් ‘කල් ඉකුත්වීමේ දිනය’ ගැන මගේ තිබුණු විශ්වාසය
නැත්තටම නැතිවී ගියේය! අපි බලන්නේ ළඟ විතරය, ලාභය විතරය. වහ වුණත් කමක් නැත, ලාබ
නම්! එහෙම කෑම බඩට දමාගන්නා අපට පිළිකා නොහැදී තිබුණොත්ය පුදුමය.
ඉතින්, මට කීමෝතෙරපි ප්‍රතිකාර කෙරෙන හැමදාම
පීරිස් ආවේය; මට තනි රැක්කේය.
මගේ මතකය හරි නම් ඔහුට ‘මිස්’ වුණේ එකම දවසක් විතරය.
එදාත් කල් තියාම ‘බොඩිගාඩ්’ වැඩේ සුමිතුරු ‘ඩොක්ටර් පෝල්ට’ පැවරුවේය. ඒත් හිතට
මදිවා වගේ විඩෙන්-විඩේ පෝල්ට ටෙලිෆෝන් කරමින් විස්තර ඇහුවේය.
කීමෝතෙරපි කරද්දී ‘බ්ලඩ් කවුන්ට් එක’
වැටෙන්නට ඉඩ තිබේ. මටත් කිහිප විටක්ම ඒ විපත්තිය සිද්ධ වුණේය.
එහිදී ශරීරගත කරන ඖෂධ ඉතා
බලගතුය; සැරය. විසය කිව්වත් වැරැද්දක් නැත. ඒවායින් සිරුරේ අලුතින් නිපදවෙන සෛල
අඩපණ කෙරෙන හින්දා අලුතින් රුධිර සෛල හැදෙන එකත් අඩාල වෙයි. ඒක තදටම සිද්ධ වුණාම
ලෙඩා ‘හාන්චි පයිස්’ය. කෙලින් හිටගෙන ඉන්නට බැරිය. පණ කඳුළක් නැතිවා වගෙය. කොටින්ම
ඔළුව උස්සාගෙන ඉන්නත් අසීරුය. එහෙම වුණු දවසක හැන්දෑවේ සුනිලුයි මර්විනුයි දෙන්නා,
කපා දැමූ කෙහෙල් කඳක් වගේ හිටි මාව උස්සාගෙන ගිහින් රෝහල්ගත කළහ.
(එවෙලේම, නොපමාවම මට ලේ දෙන්නට පටන් ගත් බව අපේ
සුනිල් මට කිව්වේ පස්සේය.) මා හිටියේ අසිහියෙන් වගේය.... මහ රාත්තිරියේ හිටි ගමන්
මට හැඟුණේ මගේ වටේ තුන් හතර දෙනෙක්ම ඉන්නවා වාගෙය. මා බරට බරේ දැනුණු ඇහිපිය අමාරුවෙන්
විවර කළේ ළඟ ඉන්නේ කවුදැයි දැනගන්නටය.
ප්‍රියන්ත... ඩොක්ටර් ශිරන්ත.... ඩොක්ටර්
පෝල්... ඩොක්ටර් අයස්මන්ත.... හා වාට්ටුවේ දොස්තර මහත්තයාත් මගේ වටේය. ඒ කට්ටියම
මා යටිගම් යන්නට හදනවාය කියා හිතුවාද? එහෙම වෙලත් ‘නිමල් දිසානායක’ ගොඩ ආවේය. එහෙම
සැලකිලි ලැබෙද්දී නිකම්ම දමලා යන්නට පුළුවනිද? බැහැනේ!
එදා සැරේ පණ ගහලා ආවාට මගේ කෑම රුචිය නම් තිබ්බේ නැත්තටම
නැතිවී ගිහිල්ලාය. කිසිවක්ම කන්නට නොහිතෙයි, ගිලින්නත් අමාරුය. ඒ දවස් මතක් වෙද්දී
මගේ අතින් කෙරුණු වස නපුරු හපන්කමක් ගැන මම මට සමාව නොදෙන්නෙමි.
“ලොකා, ඔයාට කන්න හිතෙන දෙයක් කියන්න.... මං
හදාන එන්නම්!” මානෙල් නංගී අමාරුවෙන් කඳුළු වහංගාගෙන කිව්වේ දවල් ඉස්පිරිතාලයට ආ
වේලාවේය. දවස් දෙක තුනක්ම මගේ බඩට යමක් ගිහින් තිබුණේ නැත. මානි එහෙම කිව්වේ
එනිසාය. ඒත් මං කළේ ඔළුව දෙපැත්තට වනන
එකය.
පැළිවළන් පැලිලා වගේ.......... |
“මට ගොඩක් ගේන්න එපා... දකිනකොටම එපා වෙනවා.
තේ හැඳි දෙකකුත් වැඩි තරම්....” මං කිව්වා හොඳටම මතකය.
අනේ, දවල් මාව බලලා කොට්ටාවේ
ගෙදරට ගිය මානෙල්, මහන්සියත් නොතකා නූඩ්ල්ස්සුත් හදාගෙන හවස පහට ආයෙමත් ඉස්පිරිතාලෙට ආවාය. ඒ
එනකොටත් තව කවුරු-කවුරු හරිත් මගේ ඇඳ ළඟය.
එතනට ආ ගමන්ම මානි කළේ කෑම පෙට්ටිය
ඇරලා, හැන්දකුත් එක්ක මට දික් කරන එකය. හැන්ද කෑම පෙට්ටියට ඔබද්දීම නංගිගේ කපටිකම
මට අහුවිණි. මට යකා නැංගේ එතකොටය.....
“ම්හු!” තරහ යට කරගෙන මං කළේ කෑම පෙට්ටියත්
හැන්දත් පැත්තකට කළ එකය. මට වැඩියෙන් කවන්නට හිතලා මානි කෑම පෙට්ටියට නූඩ්ල්ස් දමා
තිබුණේ පෙත්තටම පුරවලාය. හැන්ද ගහන්නටවත් තැනක් නැතිවෙන තරම් තදටය. (ඒ අම්මණ්ඩි ඒක
මට කිව්වේ පස්සේ වෙලාවකය.)
නූඩ්ල්ස් දමා තිබුණේ................ |
මනුසතා කොහොමත් නපුරුය. මාය කියලා වෙනස්
වෙන්නට විදිහක් නැත. ඒ අතින් අප ලජ්ජා විය යුතුය. “වන සතුන් තවත් සතෙකු මරන්නේ
අවශ්‍යතාවක් ඇති විටෙකය. මිනිසා තවත් සතෙකු ඝාතනය කරන්නේ හුදු කෑදරකම නිසාය.” එහෙම
නපුරු අපි....
වන සතෙකු .............. |
ඉතින් නපුරු නොවී ඊළඟ කොටසටත් එන්නට සුහද ඔබට
ආරාධනා කරමින්...... තිත් ගොඩක් තිබ්බා ඔන්න!
කීමෝ කරන කාලෙ අම්බානට තරහ යනව .. ඒ වගේම නිස්කලංක බව තියෙන්න ඕන ... ඉස්සර අපේ තාත්තට අපි කතා බහ කරනවා ඇහුනත් ඌරු ජුවල් යනව ... කෑම වහ , බලා ඉන්දැද්දි ඇඟ වැහැරෙනවා ... මගේ කන්තෝරු සගයටත් තව මාස කිහිපයක කීමෝ ඉතිරි වෙලා තියෙනව .. ඒත් මිනිහ හිනා උන ගමන්මයි .. මේව කොහොම ඉවසගෙන ඉන්නවද කියල තේරෙන්නෙ නැහැ !
ReplyDeleteසමහර අයට එක දැනෙන්නේ වෙනස් විදිහට. අනෙක හුරු වෙද්දී හරියනවත් එක්ක. මේ වතාවේ අපේ සමන්ති නංගී කීමෝ පටන් ගත්තු දවසෙම ලන්ඩන් මැරතන් එකටත් දිව්වා!
Deleteඔයාගේ සගයාටත් කියන්නකෝ 'සීනි-පිටි-කිරි අඩංගු ආහාර නොගෙන මස්-බිත්තර-මාළු-එළවලු-ප්‍රෝටීන විතරක් අඩංගු ධාන්‍ය කෑමට ගන්නවා නං කන්සර් සේල්ස් අඩපන වෙන බව.'