රේල් පාර අයිනේ..... |
පාලි කියලා විතරක් කිව්වම ඔයාල දන්නවයැ. ඔන්න ස්වර්ණපාලි කිව්වා නම් ඉතිහාසය කියවපු අය දන්නවා පණ්ඩුකාභයගේ පෙම්වතී බව. සංඛපාලි කිව්වා නම් චිත්‍රපට බලන ඇය දන්නවා සරත් රූපසිංහගේ චිත්‍රපටය බව. නිකම්ම පාලි කිව්වම? ඒ හිංදා චුට්ටක් විතර කියන්නම්කො විස්තර.
පාලි කියන්නේ මෙයාගේ නමෙන් කෑල්ලක් විතරයි. එයාව හරියටම
අඳුනාගන්න විදියට වංහුං කියන එකත් හොඳ නැහැනේ. මගේ ඒ නිගමනය සාධාරණද කියලා
කියන්නකෝ පෝස්ට් එක කියවලා අහවර වුණාම. මේ පාලි කෙල්ලෙක් නෙවෙයි. තරුණ හාදයෙක්,
එතකොට නම්. ඉතින් එදා පාලි හිටියේ රේල්පාර අද්දර හිටගෙන.
මාව දැක්ක ගමන් චූටි හිනාවක් ඒ මුහුණේ ඇඳුණේ, හරියට මං එනතුරු බලා හිටියා
වගෙයි. ගොම්මන් වෙලාව පහුවෙලා වුණත් මට ඒ හිනාව විශේෂ වුණේ පාලි වැඩියෙන් හිනා
නොවෙන කෙනෙක් නිසා. හිනාව පෙනුණෙත් එතනම තිබ්බ ලයිට් කණුවේ පිහිටෙන්. ඒක නාඬා පාන
හිනාවක් වගේ. “දිසානායක ගෙදරද යන්නේ?”
ඇත්තම කියන්න එපැයි! මං ඔළුව වැනුවේ ‘එපා වාහෙට හොදි
බෙදන්නා වගේ’ ඕනවට-එපාවට. කරන්නං වාලේ. මොන? මගේ ඉඟිය ඒ හාදයාට තේරුණු පාටක් නෑ. පාලිත්
මගෙත් එක්කම පියවර මනින්නට වුණා. “යං. මාත් මේ බල-බලා හිටියේ කතා කර-කර යන්න කවුරු
හරි එනකල්!”
අහන් ඉන්න ඕනේ නම්...... |
දැන් මට තරහයි. දන්නවනේ, ඒ කාලේ මං මිස්ටර් කලබල. යන්නේ
කඟවේනා වගේ, කඩාගෙන. හෙමින් ගමන් ‘වානා’. ඉතින් පලයල්ලකෝ මේ මනුස්සයාත් එක්ක එයාගේ
වේගෙන්!
අනෙක කාටවත් තනි රකින්න.... පාලු කපන්න... කාගේවත්
කතාවලට හූමිටි තියමින් කල් මරන්න ඒ දවස්වල නිමල් දිසානායක සූදානම් නැහැ. ඒකට ඉතින්
බල්ලෙක්, බළලෙක් වගේ හුරතලෙක් අල්ලගන්න එපැයි. ඔහොම හිතුණට ඒවා හයියෙන් කියන්න
තරමට මේ පුතයා එතකොටත් මෝඩ නැහැ.
අනෙක මට නම් පාලි හොඳ කොල්ලෙක්. මිනීමරුවෙකුත් වුණාට!
දවසක් තවත් එයාගෙම යාළුවො වගයක් සම්බන්ධ කාරණයකදී පාලි
මට රහසක් කිව්වා. “දිසානායක, උන් මගෙත් යාළුවො නං තමයි. ඒ වුණාට අපතයෝ. අතේ දුරින්
ආස්සරේ කරලා බලන්න. ඔයාටම තේරෙයි, එතකොට.” එහෙම කතා කරපු හින්දම නෙවෙයි, මං එහෙම
කිව්වේ. පාලි අවංකවම මට හිතවත් බව එයා කරපු වැඩවලිනුත් පෙනුණු නිසයි.
පාලි මිනීමරුවෙක් වුණාට....... |
මට වගේ නෙවෙයි, පාලිට අයියලා- අක්කලා- මල්ලිලා- නංගිලා
හතර පංගුවම හිටියා, මදි නොකියන්නම.
එයයි, එයාලගෙ ලොකු අයියයි දෙන්නම එකතුවෙලා තමයි, එයාලගෙ
ගෙවල් අසලම හිටිය පවුලක අයිය-මලෝ දෙන්නෙකුව පිහිවලින් ඇනලා
මරලා තිබුණේ. පුංචි වචන හුටපටයක් දුරදිග ගිහින්. දෙන්නම අවුරුදු පහක්ද කොහෙද හිරෙත්
හිටියා. ඊටත් ඒ දෙගොල්ල නෑදෑයෝ. ඉවසිල්ල නැති වුණාම ඔහොම තමා, නේද?
එහෙම වුණාට ඒ දෙන්නම දුෂ්ට, නපුරු, කුඩුකේඩු කොල්ලෝ
නෙවෙයි කියලයි මට නම් තේරුණේ. (දැන් අපේ ගෙදර තියෙන්නේ ඒ දෙගොල්ලන්ගේ ගෙවල් තිබුණු
හරියට මැද්දස්සේ).
එදා මං හිටියේ කොහෙ හරි ගමනක් ගිහින් එන ගමන්. එහෙම
ගියාම මට ඉස්පාසුවක් නැහැ ආයෙම ගෙදර එනකල්. මගේ ඒ පුරුද්ද නම් තාමත් එහෙමමයි.
අතහැරිලා නැහැ.
එන්ජෝයි කරනවා කියන්නේ........... |
හම්බන්තොට ගියාමත්, හැමදාම වගේ නෙවිල් ඔය මගේ පුරුද්ද
ගැන කියලා කන්කෙඳිරි ගෑවා. “බලපංකො පීරා, කොහේ හරි යන්න තියෙනවා නං මුගෙ වැඩේ
යං-යං-යං පරක්කු වෙනවා නේද කියලා අඬනවා. ගිය මොහොතේ ඉඳලා මේකගෙ කල්පනාව කොයි
මොහොතේද ආයේ යන්නේ කියන එක. ටිකක් රිලැක්ස් වෙලා, ගමනින් පොඩ්ඩක් එන්ජෝයි වෙන්නවත්
මූ ඉඩක් දෙනවද බලපංකො, මචං.”
“බලපංකො, අපේම කරුමෙට අද මේකගෙ කට මැහුවෙත් නැහැනේ!”
පීරිස් දොස්තර මහත්තයත් අලගු තිබ්බා. මට ඕනේ ආපහු ගෙදර ගිහින්, නිවිහැනේ ඇඳුම්
මාරු කරලා, නා-කියාගෙන මගේම ලෝකේ රජවෙන්න. ඊට වැඩි සනීපයක් තියෙනවද?
හුඟක් අයට නම් සනීපයක් දැනිලා ජොලි කරනවා කියන්නෙ,
එන්ජෝයි කරනවා කියන්නෙ මධුවිත එක්කම යන දෙයක්.
enjoy කොහොම වෙතත් 2016 අවුරුද්දේ විතරක් ලෝකයේ සිදු
වුණු මරණවලින් මිලියන තුනකට (තිස් ලක්ෂයකට) හේතු වෙලා තියෙන්නෙ ඇල්කොහොල්ය කියලා
ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තාවකින් කියනවා. දුක, සතුට, තනිය, එකමුතුකම, උපත, විපත,
මඟුල, අවමඟුල, සීතල, උණුහුම සේරටම එකම බෝතලේ වෙනස්-වෙනස්ව ප්‍රතිචාර දක්වන විදිය
ගැන නම්, තවමත් මට තර්කානුකූලව හිතාගන්න බැහැ. කවුරුන් හරි එහෙම වෙන ක්‍රමේ
විදුහුරු විදියට පෙන්නලා දුන් දවසට තමයි මේ නිමලුත් ‘එයාලගෙ විදියට එන්ජෝයි’
වෙන්නේ!
එයාට ඕනේ වෙලා තියෙන්න ඇත්තේ .......... |
ඉතින් මං ඉක්මනට ගෙදර දුවන මානසිකත්වයෙන් බාගෙට දුව-දුවා
ආවා. පාලිත් මගෙත් එක්කම..... මහරගම රේල් පාර ළඟ ඉඳන් එක්සත් සුබ සාධක මාවත ගාවට
එතෑකි විනාඩි පහෙන්. පාලි මොනවා කියවමින් ආවද මන්දා. පස්සෙයි මට තේරුණේ, පාලිට ඕන
වෙලා තියෙන්න ඇත්තෙ තනි නොවෙන්නයි. හුදෙකලා නොවෙන්නයි.
ඒකට එයා මට කියපු වචන හුළඟෙ යන්නැති. මගේ කනට නම් වැටුණේ
නෑ. කල්පයක් වගේ දැනුණු වෙලාවක් ගෙවුණේ. අපි සුබ සාධක මාවත ළඟදි නැවතුණා. මං
එතනින් වමට හැරෙන්න ඕනේ. පාලිල ගෙවල් තිබ්බේ ඊට චුට්ටකට එහායින්, පමුණුව පාර අයිනේම.
‘තීන්දු වචනේ’ පාලිගෙන් කියවුණේ එතකොට!
“දිසානායකට හදිස්සිද? පොඩ්ඩක් කතා කරලා යනවද?”
‘ඇයි මනුස්සයෝ කතා කරන්න ගෙදර අය ඕනේ තරම් ඉන්නේ’. මං
හිතුවා.
පාලිලගේ දෙමව්පියො පවුල් සැලසුම් ක්‍රම ගැන අදෝසංසාරයක්
දැනගෙන උන් අය නෙවෙයි. මං එහෙම කියන්නේ ඒ මිනිසුන්ගේ ඇඳ යට රිංගලා හිටි නිසා
නෙවෙයි. පවුලේ දරු කැලත දිහා බලලා. කොටින්ම අපේ අම්ම-තාත්තා එයාලට පරාදයි!
ඒ දෙන්නා මාතෘ සායනවලට ගියේ................ |
ඊළඟ වැදගත් කාරණාව තමයි, ඒ ගෙදර අම්මයි-දුවලයි ලයින්
හෝම් හරි කාසල් හරි ගිය හැටි. මං කිව්වේ එක්කෙනෙක්ගේ තනියට අනෙකා ගියා කියලා හෙම
නෙවෙයි. දෙන්නම එකිනෙකාගේ තනිය මකන්නත් ඇති. හැබැයි, දෙන්නම ඉස්පිරිතාලේ ගියේ බඩේ
ඩෝල බැඳන්. අපරාදෙ, ඒ කාලෙත් දැන් වගේ අනුන් ලවා ජාතිය වැඩි කරවන්න වලිකන උදවිය
හිටියේ නැහැනේ. හිටියා නම් බුදු ෂුවර්, පාලිල අම්මටත් ‘වීර මාතා’ සම්මානයක් දෙනවා.
(ඇයි, අපේ අම්මටත්!).
පාලිල තාත්තා හොඳ වැඩකාරයා වුණේ ගෙදරට-යහනට විතරක්
නෙවෙයි. කරුමාන්තවලටත්. ‘මිනිහා හරිම සීග්ගර වැඩ කරන්නට හපනා’ කියලා පමුණුවේ
කොච්චරවත් අය කියනවා මටම ඇහිලා තියෙනවා. ඇත්තම කියනවා නම් එතැනදී පොඩි ‘කුල’
කතන්දරයකුත් එයාලා එළියට ඇද්දා. ඉස්සර උදවිය එහෙමනේ.
අර පිහි ඇනුමට පාලිට හවුල් වුණේ එයාගෙම ලොකු අයියා. මං
එයාගේ නම නොකියා u කියන්නම්. මොකද u තවමත් යහතින් මහරගම ත්‍රී වීල් එකක් එලවමින්
ජීවිකාව කරගන්නවා. මනුස්සයා මගෙත් එක්කම, ‘ගැමුණු රිවිදින දහම් පාසලේ’ත් එකම
පන්තියේ උන්නා. (මඩ ගොහොරුවක පචවී 4 පෝස්ටුවේ නන්දක්කා ගැන කියද්දී කීවේ ඒ ඉරිදා
ඉස්කෝලේ ගැනයි.) හැබැයි මං වගේම uත් දිගට දහම් පාසල් ගියේ නැහැ.
පාලිලා පරම්පරාවම හොඳ වැඩකාරයෝ..... |
ප්‍රමාණවත් පරතරයක් නැතිව දරුවන් බිහි කළාම අම්මාව
දුර්වල වෙනවා. එහෙමයි අපි පවුල් සංවිධාන සංගමේ, තරුණ ජනගහන කමිටුවේ වැඩ සටහන්වලදී කිව්වේ. ඒ වගේම දරුවන්
ගැන නිසි අවධානයෙන් ඉන්නත්, ඔවුන් හොඳ පුරවැසියන් ලෙස හදන්නත් වෙලාව නැති වෙනවා
නේද? අපි ඇහුවා.
එව්වයේ ඇත්ත-නැත්ත කොහොම වුණත් පාලිලගේ ගෙදර සියදිවි
නසාගැනීම් හයයි! තුනක්ම සහෝදරයෝ. අනෙක් තුන්දෙනා එයාලගේ සොහොයුරියන් විවාහ කරගත්
අය; මස්සිනාලා. පාලිගේ එක සහෝදරයෙකුගෙයි, සහෝදරියෙකුගෙයි විතරයි කසාද කඩාකප්පල්
නොවී බේරුණේ. ඇයි මෙහෙම වෙන්නේ? මෙහෙම දේකුත් තියෙනවා. එහෙ එකම එක දරුවෙක්වත් ඉහළට
ඉගෙන ගත්තෙත් නැහැ.
තව ඩිංගෙන් අමතක වෙනවා. එදා පාලි මාත් එක්ක බජනෙට එද්දී,
එයාගේ මංගල්ලෙට තිබුණෙත් මාසයක් විතර. රජරට පැත්තේ ගෑනු ළමයෙක් එක්ක තමා කසාදෙ
තීන්දු වෙලා තිබුණේ. ඒකත් ගමේ හැමෝම දැනගෙන හිටියා.
මංගල්ලේත් තීන්දු වෙලා.......... |
අනේ, ඒ වෙලාවේ මං පාලිට පොඩ්ඩක් හරි කරුණාවන්ත වුණා
නම්.... චුට්ටක් හරි අනුන් වෙනුවෙන් ඉවසලා ඉන්න පුළුවන් වුණා නම්..... මේ
පශ්චාත්තාපය, මේ වරදකාරී හැඟීම දරා ගන්න වෙන්නේ නැහැ නේද කියලා හිතෙද්දී.....
මොනවා කරන්නද? පාලි, ඔයා මට කියා දුන්නේ අමතක නොවෙන පාඩමක්.
“දිසානායකට හදිස්සිද? පොඩ්ඩක් කතා කරලා යනවද?” පාලි
ඇහුවා. තකතීරු මං. හිතක් පපුවක් නොතිබුණු මං. තව මනුස්සයෙකුගේ අසරණකම තේරුම්
නොගත්ත මොට්ටම මොට්ට නිමල්!
“මං යන්නං පාලි.” කියාගෙනම මං පියවර එසෙව්වා. එහෙම වැඩ
මගේ ළඟ එමටයි. ආයේ තව කෙනෙකුට තීන්දු ගන්න ඉඩ නොතියා මං ඉස්සර වෙනවා.
ගොඩ දෙනා නැහැ-බැහැ කියන්න අකැමැතියි. එපා කියන්න
පැකිළෙනවා. ඉතින් ඔය සත්‍යය තේරුම් ගත්තාම, තමනුත් එඩිතර නම් හුඟ දෙනාව නටවන එක
පුංචි දෙයක් කියලයි, මගේ අවබෝධය. ‘උපාය දන්නෝ අපායේ නොවැටෙති’ කියන්නේ ඔහොම වෙලාවට
වෙන්නැති. ඒත්.....
වහ බීලා කියලා දැන ගත්තාම.... |
ඉතින් මං ගියා. ඊට පැය බාගෙකට පස්සේ ආරංචියක් ආවා. පාලි
වහ බීලා!
වහ බීලා බව දැනගත්තු ගමන් ගෙදර අය ඉක්මනට පොල්කිරි
මිරිකලා ගෙනත් පාලිට පොවන්න. ‘වහ බිව්වේ මැරෙන්නයි!’ කියලා පාලි පොල්කිරි කෝප්පෙට
පයින් ගහලා.
අනේ පාලි, පාර ළඟදී තව චුට්ටක් බල කරලා මාව නවත්තාගෙන
කතා කරන්නනේ තිබුණේ! හිතේ බර නිදහස් කර ගන්නනේ තිබුණේ. ඇයි එහෙම නොකළේ? ඉතින්.... පාලි මෙලොව අතෑරලා ගියා. ඇයි එයා වහ
බීවේ කියලා කාටවත්ම කියලා තිබුණේ නැහැ. සටහනක්, ලියුමක් ලියලා තිබුණෙත් නැහැ. කසාද
බඳින්න ඔන්න-මෙන්න තියෙද්දී, එහෙම වහ බොන්න තරම් හේතුවක් තිබුණය කියලා කාටවත්ම
හිතා ගන්නවත් බැරි වුණා.
දැන් අවුරුදු තිහකටත් වැඩියි. තවමත් මට හිටිගමන්
පෙනෙනවා, එදා පාලිගේ මුහුණ. දැනුයි මට පේන්නේ එදා එයා කොච්චර තනිකමකින් පීඩා
විඳින්න ඇතිද කියලා. මේක මගේම හිතලුවක් වෙන්නත් පුළුවන්. ඒත් මට දැනෙනවා, හොඳටම
දැනෙනවා; මං එදා චුට්ටක් නැවතිලා එයාට කන් දුන්නා නම්..... සමහර විට තරුණ ජීවිතයක්
බේරෙන්නට ඉඩ තිබුණා කියලා.
ඔව් පාලි, ඔයා ගියේ මට ගොඩක් වටිනා පාඩමක් කියා දීලා. ඒ
මෝඩකම මං ඊට පස්සේ කළේ නැහැ. තව ඒ වගේම පසුතැවෙන්න වෙන දෙකින් මං නූලෙන් බේරුණේත්
මේ අත්දැකීම හින්දාමයි.
බුලත් දීලා ඉල්ලන්නේ.......... |
ඒක වෙනම පෝස්ටුවකින්.....
දැන් මං දයාබර ඔයාලට බුලත් අතක් දීලා ඉල්ලන්නේ ‘කවුරු
හරි කතා කරන්න කෙනෙක්ව හොයමින් ඉන්නවාද?’ කියලා විමසිලිමත් වෙන්න! ඉන්නවා නම් අනේ
please, ඉවසිල්ලෙන් එයාට කන්දෙන්න! කියාය.
මාස ගණනාවකට පසු පාලිගේ හොඳම යහළුවෙක් ඇයව විවාහ කර ගත්තේය.
ඒ යුවළගේ පුතාත් දැන් මගේ යහළුවෙකි. ඔහුගේ බිරිය කුළුඳුල් දරුවා කුස දරන අවධියේ මම ඇයට බත් මුලකුත් සකසා යැව්වෙමි ෴
මොහොතක හදිසි තීරණයක් පසු තැවීමක් ඉතිරි කරාට .. ඒක නිමල් අයිය දැනගෙන උන දෙයක් නොවෙයිනෙ. :0
ReplyDeleteඒක නම් එහෙම තමයි කණ්ඩා. ඒ වුණාට හිතෙන්නෙම එදා මං පාලි එක්ක කතා කළා නං ඒ මරණෙ නැවත්තෙයි කියලනේ.
Delete