අකුරු මැකී නෑ

Friday, October 26, 2018

වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - අටවෙනි කොටස

සුනිල්, බඩා මල්ලා දීපාල්, මල්ලිකා, රජිත්, උත්පලා සහ සිඟිති ඇනා
මං මුලදීත් කීවානේ, අපේ ලොකු නෑනණ්ඩි ජීවිතේට හරීම තණ්හාවෙන් උන්නේ. එයාට පිළිකාවක්ය කියලා, නව රෝහලෙන් පිළිකා රෝහලට මාරු කරලා යැව්වාමත් කතන්දර ගොඩාරියක් ගෙතුවා. 

‘දොස්තරලට වැරදිලා.’ ‘දැන් පිළිකා රෝහල නෙවෙයි. ඒකත් අනිත් එව්වා වගේම ඉස්පිරිතාලයක්. නමත් අපේක්ෂානේ.’ ඔහොමයි එයා කීවේ.

අපරාදෙ කියන්න බැහැ, එයාලගෙ ලොකු පුතා රජිත් එංගලන්තේ ඉඳගෙන හැම මාසෙම අපේ සුනිල්ට සල්ලි එව්වා. ටිකකුත් නෙවෙයි. හතලිස්දාහ ගානේ. මට වගේ නෙවෙයි, මල්ලිකාට හැම වෙලේම ආවතේවෙටත් කාව හරි ඕනෙ වුණා. 

ඉතින් සුනිල්ට රස්සාවක් කරන්න වෙලාවක් ඉතිරි වුණෙත් නෑ. රජිත් අම්මලාට එවූ සල්ලිවලින් බෙහෙත්වලට, ගෙදර-දොරේ වියදම්වලට සෑහෙන්න වියදම් වුණා.

වැඩිම වියදම ගියේ මල්ලිකා වටේ රොක් වුණු උපාසිකාවන් එක්කයි, දසසිල් මෑණිවරුන් එක්කයි දුරකථන සංවාදවලට. එයාලා ටෙලිෆෝන් එකෙන් ‘දම් සභා මණ්ඩප’ පැවැත්තුවා. ලෑන්ඩ් ෆෝන් එකේ මාසෙක ටෙලිෆෝන් බිල දහදාහ පැන්නුවයි කිව්වම තේරෙනවනේ!

ඊළඟට මල්ලිකාගේ දස පිං කිරියවත්වලටත්..... කරපු පින්කම්වල හැටියට නම් මල්ලිකා මහෝපාසිකාව දැන් සක්කර දෙයියන්ගේ මහේශිකාවක් වෙලා ඉන්නවා ඇති. එහෙට සිග්නල් නැතිව ඇති. නැත්තං මෙලහටත් අපේ නෑනා ඒක අපට කියලා!

පිළිකාවට කටුපිල........
මං මෙව්වා කීවේ එයාලගෙන් කාව හරි උඩ දාන්න නෙවෙයි. ලේසියෙන් හම්බවෙන සල්ලි ලේසියෙන් වියදම් කරන හැටි පෙන්වන්නයි.

ඔන්න කටුපිල පිළිකාවට හොඳයි කියලා ආරංචි වුණා විතරයි සුනිල්ට සිද්ධ වුණේ කටුපිල හොයන්න. මඤ්ඤොක්කා හොඳයි කීව ගමන් හැමදාම එව්වා තම්බන්න. ‘පොළොස් කැඳවලින් විතරක් ඔය ලෙඩේ සනීප කරන එක්කෙනෙක් ඉන්නවා’ කියපු ගමන් එහෙ යන්න. බලංගොඩ, නුවර, අනුරාධපුරේ... අවිස්සාවේල්ලේ.... මං හිතන්නේ එයාලා නොගිය තැනක් නැතිව ඇති. 

මගේ මල්ලි තමයි, හැබැයි සුනිලුත් ‘අඹුසොඬ බමුණා’ වගෙයි. නෝනා මහත්තයා කියන-කියන හැම තැනටම එක්කං ගියා. කියන-කියන බේත් හදලා දුන්නා. පුතා එවපු සල්ලි මාසේ ඉවර වෙන්නත් කලින්ම වියදම් වෙලා ඉවර වුණා.

එක සැරයක් මල්ලිකාගේ ඉඩමක් විකුණලා ලක්ෂ දොළහක්ද කොහෙද අතට ආව ගමන්ම එයින් අටක් විතරම වියදම් කළේ බෙහෙත් බෝතල් අටක් බොන්න. එකක් ලක්ෂේකටත් වැඩියි. ඔන්න එච්චර කරලත් උන්දෑට චිරජීවනේ ලැබුණද? නෑනේ! නෑනට යන්න වුණා.

මට මයෙලොමාව කියලා දැනගත්තේ එයා අන්තරා වෙලා මාස තුනෙන්. මුල ඉඳලාම මං තීරණේකට එළැඹිලා හිටියා.


නෑනේ. නෑනට යන්න වුණා!
තියෙන දේවල් ඔක්කොම විය පැහැදම් කරගෙන, අනෙක් මිනිස්සුත් හිඟමනට දාලා සනීප වෙන්න හදන්නේ නැහැ; යන්න තියෙනවා නම් යනවා මිස බලෙන් ඉන්න ඕනෙත් නැහැ; සදාකල්ම ඉන්නයැ? දුක් විඳ-විඳ ඉන්න ඕනෙත් නැහැ. මැරි-මැරී ජීවත් වෙන්නේ නැතිව ජීවත් වෙලා මැරුණාවේ! ඒ මගේ හිතිවිල්ල.

ඒත් හුඟක් අයට කොච්චර තිබ්බ්බත් මදි, මදි, මදි! සල්ලි, බලය, කීර්තිය කොයිවා ගැන වුණත් එහෙමයි. එහෙම ලෝකෙක මං දැක්ක ලොකුම පුදුමයක් තමා ‘කුමාර තිරිමාදුර’.

2018 ජුනි 27 දේශය පත්තරේට කියලා තිබුණු කතාවක් මේ මනුස්සයා ආයෙමත් 2018 ඔක්තෝබර් 14 වෙනිදත් කියා තිබුණා. “මට ඇති!”. ඒක තිබුණේ කුමාරගේ ජීවිත කතාවේ; ‘මගේ ජීවිතේ’ පොත ගැන තිබුණු ලිපියේ.

මොන මිනිහද ඔහොම ඇතියි කියන්නේ? ‘අත්තානං උපමං කත්වා’- තමන් උපමා කොට සිතන්න! ඒ පදනමේ ඉඳන් බලද්දී, සත්තකින්ම මේ කොටන මං වුණත්, තවමත් සමහර දේවලට පුදුම විදියට තණ්හාවයි. ඒක නිසාමද මන්දා මට තිරිමාදුරගේ මේ කතාව තදින්ම හිතට වැදුණේ. මෙහෙමයි කලින් වතාවේ එයා කියලා තිබ්බේ.

තිරිමාදුර කියලා තිබ්බේ....
“ඔව්... අද මට මගේ ජීවිතේ ගැන සතුටුයි. මම විශ්වාස කරන දෙයක් තමයි මේ සොබාදහම මට ඕන කරන හැම දේම මේ වෙද්දී දීලා ඉවරයි.මම සොබාදහමට ආදරේ කරන කෙනෙක්. ගොඩක් අය කියන දෙයක් තමයි මට නැහැ.... මට මොනවද ලැබුණේ කියලා. ඒත්.... මම කියන්නෙ නම් මට හැමදේම ලැබුණා කියලා. මට පිටකොටුවෙන් ගේ කෑල්ලක්වත්, නුගේගොඩින් ගෙයක්වත් ඕනේ නැහැ. මම මගේ ගේ ඉස්සරහ ළඟදීම දැන් මට ඇති කියලා තමයි ගහන්නේ. මේ රටේ බොහෝ ජනතාවක් දුක් විඳිනවා.ඒත්.... අද මට යමක් ලැබිලා තියෙනවා. ................. මම ලෝකාන්තයට ගිහින් තියෙන්නේ දෙපාරයි. හැබැයි ඔස්ට්‍රේලියාවට නවපාරක් ගිහින් තියෙනවා. ඉතින් මම මගේ රටත් දැක්කා. ලෝකෙත් දැක්කා......”

මට මේ කතාව විශ්වාස කරන්න පුළුවන්. කුමාරගේ ‘කරළියේ රසකතා’ පොත අච්චු ගැහුවෙත් මං වැඩ කළ මුද්‍රණාලයේ. ඒත් කුමාර ඒ ගැන හොයන්න එකම එක වතාවක්වත් ප්‍රෙස් එකට ආවේ නැහැ. සේරම හෙව්වේ මහින්ද කුමාර දළුපොත මහත්තයා. 

මට හිතෙන්නේ ඒක අනුන්ව විශ්වාස කිරීමේ ලකුණක් විදියටයි. එහෙම මිනිස්සුන්ගේ ඔළුව උඩ මුළු ලෝකෙම නෑ. කුමාරට කුමාරයෙකුටත් වැඩිය හොඳට නින්ද යනවත් ඇති, මගෙ හිතේ.

ප්‍රධාන කතාවෙන් පීලි පැනලා ගොඩ දුර ආවද මන්දා. 

අනේ සමාවෙන්නෝනේ. මං තවමත් ජීවිතේට යම්-යම් දේවල් එකතු කරගන්නේ කලින් කීවා වගේ අහන-දකින-කෙරෙන දේවල්වලින්. වටේ-පිටේ කාරණාවලින්. ඉතින් ඒවා සහෘද ඔයාලටත් කමක්-පලක් ඇති දෙයක් වේය කියලයි පෝස්ට් එකට එකතු කරන්නේ, මතකෙට ආවාම.

චතුර කනිෂ්ක ෂෙයාර් කරගෙන තිබුණු....
මෙන්න මට කෙලින්ම අදාළ වුණු; අදාළ වෙන දේකුත්. මල්ලිකාගෙ ලක්ස ගණන් වටිනා බෙහෙත් බෝතල් විත්තිය හින්දා විහිළුවක් වගේ පෙනුණත් කෑම-බීමෙන් ලෙඩවෙන එක කන්ට්‍රෝල් වෙනවය කියලා මං දැන් හොඳටම විශ්වාස කරනවා. 

ඒ වගේමයි අපේ ‘මිහිතල මාතාව’ අපට තිළිණ කරලා තියෙන දේශීය තුරුලතා. හැම එකක්ම බෙහෙතක්; ඖෂධයක්. එහෙම වෙද්දීත්, හෙළ වෙදකම ගැන අවිශ්වාසයකින් නෙවෙයි මං ඉංගිරිසි ප්‍රතිකාර තෝරාගත්තේ. අපේ අයගේ දැනීම යාවත්කාලීන; update වෙන්නේ හෙමින් නිසා.

“නිමල් අයියේ, ආයුර්වේදෙයි ඉංග්‍රීසි බෙහෙතුයි දෙකෙන් කොයි එකද ඔයා කරගන්න යන්නේ කියලා තීරණේ කරන්න ඉස්සෙල්ලම.” තරයේම මට උපදෙස් දුන්නේ ඩොක්ටර් ශිරන්තයි. එයාගේ FB එකේ ෂෙයාර් කරගෙන තිබුණු චතුර කනිෂ්කගේ පෝස්ට් එකක පින්තූරේ තමයි, කෑම-බීම ගැන අපූරු අදහසක් තිබුණේ! කාගෙන් වුණාම මොකද හොඳ දෙයක් නම්?

මං දැන් හැමදාම වගේ උදේට කොළකැඳ මග්ස් දෙකක් විතර බොනවා. “බිව්වට කමක් නැහැ නිමලෝ, බත් නොදා!” ඔහොමයි ඩොක්ටර් අයස්මන්ත නීතිය පැනෙව්වේ. මතකයිනේ? දිගටම සීනි- පිටි නැති කෑම-බීම ගනිද්දී පිළිකා සෛල අඩපණ වෙනවා. ඒවාට පැවතෙන්න නම්, ශක්තිය ලැබෙන්න නම් අපි අර වගේ ආහාර ගන්න ඕනෙමයි.

ඒත් දෙයියනේ නිකම්ම නිකම් කැඳ? ඔන්න දිසානායක පරම්පරාවේ ජාන උඩට ආවා.

(මතකයි නේද අප්‍රේල්, මැයි වගේ මාසවල ලියූ පෝස්ට්වලදී මං කිව්වනේ අපේ සීයාගේ, තාත්තගේ, මගේ අයිඩියානන්ද කෙරුවාවල්!) පීරිස් මහත්තයා කියලා තිබුණනෙ ‘පොල් කෑම ඔට්ටුයි’ කියලා. අනෙක ‘තන්තු වැඩි ජාති හොඳයි’. ඔන්න මං ‘ටක් ගාලා’ කොළ කැඳ රෙසිපිය වෙනස් කරගත්තා.

කොළ කැඳවලට අපේ ගේත් තියෙන, පර්චස් නවයහමාරේ වත්තෙන්.....
කොළ ජාතිය බ්ලෙන්ඩර් කරලා ඉස්ම ටික පෙරලා තියනවා. ගන්නවා පොල් ටිකකුයි, කොහිල අල කෑල්ලකුයි. ඒ දෙවගේ එකට, හොඳට බ්ලෙන්ඩර් කරගන්නවා. පෙරලා කුඩු අයින් කරන්නෙ නැහැ. කොළ යුෂත් එක්ක ඒවා කවලම් කරලමයි ළිපේ තියලා නටවා ගන්නේ. කැඳ එක උකුවටත් හැදෙනවා, යාන්තමට හැපෙන්න දේකුත් තියෙනවා. 

ළූණු, සුදුළූනුත් හීනියට කපලා, දියලුනුත්  දමාගන්නවා. ඒවා දාන්නේ ළිපෙන් බාලා ඉවර වෙලා. ටිකක් නිවෙන්න ඇරලා තමයි දෙහි බින්දු කීපය දාන්නේ. එතකොටනේ සිරුරට යකඩ උරාගැනීම පහසුවෙන්නේ.

තවත් වැදගත් කාරණයක්. අපේ ඉඩම පර්චස් නවයහමාරයි. ඉඩ නැහැ කියලා කන්කෙඳිරි නොගා මං ඉඩ තියෙන විදියට මට ඕනේ කරන කොළ පලා ජාති ටික ඒකේ වවාගන්නවා.

ෆොටෝ කෑල්ලේ දාලා තියෙන මොනර කුඩුම්බිය, පැණි තෝර, මුකුණුවැන්න, සුදු කටරොළු,කෝවක්කා, හාතාවාරිය, කරපිංචා සේරම දැනුයි වත්තෙන් කඩාගත්තේ. ඒ වගේම කුරිඤ්ඤං, අඟුණ, තෙබු, වැල් කොහිල, ගොඩ කොහිල, කර, හීන් බෝවිටියා, සිංගප්පූරු, ගොනිකා, ගැට තුඹ, හීන් නාරං, තිබ්බටු, තලන බටු, කොච්චි එහෙමත් තියෙනවා.

ලොකුවෙන්න නොදෙන මුරුංගා අතු ටිකකුත් තැනින් තැන වවනවා. ඒවා කඩෙන් ගන්නේ මොකටද වස-විස-බෙහෙතුත් එක්ක! සීනි බස්සන ‘කිරාත’ පැළත් අතරින් පතර.... ඕනේ වෙලාවට කඩාගන්න. හිත ඇති නම් පත කුඩාද?

ඔය ‘කොළ-පලා පරිභෝජන’ පුරුද්ද හින්දාද මන්දා දැන් මගේ blood count එක බහින්නේ නැහැ. ඉස්සර නම් තුන්-හතර වතාවක්ම මට ලේ දෙන්න වුණානේ. අනෙක යාන්තම් හරි හතිය, මහන්සිය, පණ නැති ගතිය එනකොටම දැන් මං දන්නවා, රතු රුධිරාණු අඩු වේගෙන එනවා තමයි කියලා.

සේරම බෙහෙත්වලටම බාර දීලා......
එතකොට ‘පීකුදු’ ටිකක් උයලා කනවා. දවස් දෙකෙන් සේරම හරි යනවා. බෙහෙත්-හේත්වලට විතරක් සේරම බාර දීලා හරි යනවයැ. අපිත් දැනගන්න ඕනේ පාවිච්චි වෙන විදිය.

එහෙම බෙහෙත් කරලා, පාවිච්චි වෙලා ඉන්න අතරේ මාසෙකට සැරයක් අපි ‘අපේක්ෂා රෝහලේ’ ක්ලිනික් එකටත් ගියා. එදා ආයෙමත් ‘ටර්නින් පොයින්ට්’ එකක් ආවා, දන්නෙම නැතිව. 2016 ජනවාරි අටවෙනිදා. ආආආ yes, yes. යසපාලනේට අවුරුද්ද පිරිච්ච දවසේ තමයි මේක වුණේ. (මේ පෝස්ට් එක  හදද්දී ආරංචිය ආවා, ඔන්න දැන් අංශක 360කම පෙරළියක් වේගෙන යනවා කියලා. 2018.10.26! දැන් එන්න යන්නේ වස පාලනයක්ද?)

හැම ක්ලිනික් දවසකම අපව මහේන්ද්‍ර පෙරේරා මහත්තයා ළඟට යවන්නේ නැහැ. වෙන දොස්තර කෙනෙක් ළඟට යවන්නේ. ඕනෙම නම් විතරයි, එයා තීරණය කළාට පස්සේ මහේන්ද්‍ර මහත්තයා ගාවට දාන්නේ. 

අපි පුරුදු වෙලා හිටියේ දොස්තර ජගත් ළඟට යන්නයි. එතන ඉන්න මිසීලාත් ඒ වෙද්දී අයස්මන්ත දොස්තර මහත්තයාව අඳුනාගෙනයි හිටියේ. “අනේ සර්, ජගත් මහත්තය ට්‍රාන්සර් වෙලා ගිහිල්ලනේ.” එදාත් අපි දෙන්නා ඇතුළට ගිය ගමන් මිසී කෙනෙක් කිව්වා.

මිසී කෙනෙක්......
“ඩොක්ටර් මටවත් කිව්වේ නැහැනේ!...” පීරිස්ට කියවුණා. “...එතකොට අද බෙහෙත් ගන්න වෙන්නේ.....” මට කල්පනා වුණේ පීරිස් නිවාඩුත් දාලා ආව එක ගැන. අපට ආයෙම දවසක එන්නද වෙන්නේ?

“ඩොක්ටර් ජගත් හදිසියේ ගියේ. ඒකට කමක් නැහැ සර්, බෙහෙත් ගන්න ලොකු මහත්තයා එනකල් ඉන්න ඕනේ නැතිනම් තව නෝනා කෙනෙක් ඉන්නවා. සර්ලව එයා ගාවට දාන්නං.” ඊළඟ විකල්පය යෝජනා වුණේ එහෙමයි.
“යමු!”

ගියා! අයස්මන්තව දැක්ක ගමන් අර දොස්තර නෝනා නැඟිට්ටා. “සර්.... මෙහෙ....?” එයාට කියවුණා! එයා පීරිස් මහත්තයාට වඩා කනිෂ්ට එක්කෙනෙක්. දෙන්නා ආගිය කතාවලට පස්සේ මගේ ළඟට ආවා. දොස්තර නෝනා මුල ඉඳලම මගේ වෛද්‍ය වාර්තා කියෙව්වා.

“සර්. දැන් සෑහෙන දවසක් මේ ට්‍රීට්මන්ට්ස්ම කන්ටිනිව් කරලා තියෙනවනෙ. මං හිතන්නේ දැන් බෝන් මැරෝ ටෙස්ට් එකක් කරලා බලන එක හොඳයි. මට ලියන්න නම් පුළුවනි.... හැබැයි වේටින් ලිස්ට් එකේ ඉන්න වෙනවා.”

“It’s OK. මෙහෙන්ම නේද බෝන් මැරෝ ටෙස්ට් එක කරවාගන්න වෙන්නේ?” පීරිස් ඇහුවා. ලේඩි ඩොක්ටර් විනීතව පීරිස්ට බාධා කළා. “මං හිතන්නේ එතන ඉන්චාර්ජ් ඩොක්ටර්ව ඩොක්ටර් අයස්මන්තත් දන්නවා!” එයා නමක් කිව්වා.

“මං දන්නවා නේන්නං. අපේ බබාලා එක්කමයි එයාගේ බබාලා ක්ලාසස් යන්නෙත්..... මටත් වඩා මගේ වයිෆ් එක්ක පෑල්.”

සෝප් ඔපෙරාවක වගෙයි දේවල්.............
දැන් නම් මට පෙනෙනවා තවත් මාරකයක් අත ළඟ වගේ. දේවල් සිද්ධ වෙන්නේ හරියට ඉංග්‍රීසි ‘සෝප් ඔපෙරාවක’ වගෙයි. ඉක්මනින්! 

ඉස්සරම යුරෝපා රටවල වැල් ඇදුණු ගුවන් විදුලි; ටෙලි නාටක එව්වායි. (අපි දැන් මෙගා කියන්නේ.) ඒ නාට්‍ය අතරේ වැඩියෙන්ම විකාශය වුණේ; ප්‍රදර්ශනය වුණේ සබන් වර්ගවල දැන්වීම්. ඉතින් ඒ නාට්‍ය නිකම්ම ‘soap opera’ වුණා. 

හැබැයි ඒවායේ ගලා යෑම වේගවත්. ආසියාවේ හැදෙන ‘බඩවැල් වගේ දිග’ ටෙලි ඇදෙන්නේ ඒ බොහොමයක තියෙන මන්දගාමී රිද්මය හින්දයි. සීන්ස්වල වැඩිකමක් නිසා නෙවෙයි. හරියට එඩිට් කළොත් එහෙම ඒවා ‘පත අට එකට හින්දවාගත් එකක්’ වගේ වෙනවාට මෙන්න කැට!

කලින් වතාවේ බෝන් මැරෝ ටෙස්ට් එක වෙලාවේ දැනුණු අතිශය වේදනාකාරී හිරිය එවේලේත් මගේ කොඳු නාරටිය දිගේ දිව්වා. ඇඟේ මයිල් ඉස්මයිල් වුණා! ඒක මතක් වෙද්දීත්.......

එව්වා ඊළඟ කෑල්ලේදීම කිව්වට කමක් නැහැනේ!  

2 comments:

  1. "මටත් දැන් ඇති" ... ඒ නිසා අ(න)පේක්ෂා රෝහලට ටිකට් එකක් හම්බ උනොත් ඒක සතුටින් මාරු කරගන්නව වැලිගම්පිටි දිහාට :-D

    ReplyDelete
    Replies
    1. ඉස්සෙල්ලාම ඒ චැලේන්ජ් එකත් බාරගෙන බලන්න ඕනේ නේද කණ්ඩො?

      Delete