දොස්තර මහත්තයාත් මා වාගේමය. කුණුහරුපෙන්
බැන්නත් ගණනක් නැත.
“මොකක්ද හලෝ ඔය xxx වැඩේ?” කියලා නෙවිල්ට කියවුණාම අපි බඩ
අල්ලාගෙන හිනා වුණෙමු! නෙවිල් එහෙම ඇහුවේ, ‘මං හෙට උදේ දහය වෙද්දී කොළඹ ඉන්න ඕනේ
මචං.’ කියලා අයස්මන්ත කී වෙලාවේය. මට බෙහෙතුත් අරගෙන, සුජානි නංගිලාගේ ගෙදරින්
අවේලාවේ සප්පායම්වී ආපසු එන්නට සැරසෙන විටය අයස්මන්ත ‘කඩි ගුලට උණු අළු දැම්මේ’. (එතැනින්ය
කලින් පෝස්ට් එක නැවැත්තුවේ.)
ඕකට ඉතින් හොඬවැලෙන් ගහන්න ඕන නැහැනේ... ෂේප් ෂේප්.. |
“දැන් කොහෙද අපි යන්නේ?” ගවීන් ඇහුවේය.
“ඒක රහසක්. ටිං ටිං. අද සාදර අනුග්‍රහය
අයස්මන්තගෙන්....” හික්කඩුවට එන තුරුමත් ගමනාන්තය කොහේදැයි අප දැන හිටියේ නැත.
මට
තේරුණු විදියට නම් පීරිස් වුණත් ඒක ටක්කෙටම දැනගෙන හිටියේ නැත.
ගිනි කලබලයෙන්,
සුදුසු තැනක් හොයා, වෙන් කරවීම වැනිදේ ඉටු කර තිබුණේ පීරිස් මහතා දන්නා ගයිඩ්
කෙනෙකි. අපි ‘මමාස්’ එකට ආවේ එහෙමය. ඒ එද්දී මමාස් එකේ රෙපෙයාර් වැඩ වගයකුත් කෙරෙන
පාටටය තිබුණේ.
අපට ලැබුණු කාමර දෙක 329 හා 330 ය. හතර
දෙනාගේම බෑග 329ට දමා අපි 330ටත් ගියෙමු.
ගියා විතරය. නෙවිල් ‘චාං-චඃ’ වෙලා යන දෙයක් හොයා ගත්තේය! ඒ චාං-චඃ වෙන ආරංචිය
පීරිස්ට අරං එද්දී මා උන්නේ මමාස් එකට හිරු අස්තංගත වෙන හැටි මගේ I pad එකේ හිර කර
ගනිමිනි.
“මචං පීරා, අපි දෙන්නට කෙළවෙයි වගේ! අර කාමරේ
AC වැඩ කරන්නෙ නෑ. මදුරුවොත් ඉන්නවා වගේ.”
හිරු අස්තංගත වෙද්දී........... |
“උඹ දැන්මම එකෙක්ට කියහං. එතකොට හදයිනෙ!”
පීරිස් කිව්වේය. නෙවිල්ම ‘මමාස් හාදයෙකුට’ ඒ පණිවිඩය දුන්නේය. ‘හරි සර්, හදන්නම්’
කියලා උත්තරයත් ලැබිණි. ඒත් අප වැල්ලට යන අදහසින් පහළට බහින තුරුමත්, කවුරුන්වත්
උඩට ආවේ නැත. අම්මගෙ රෙද්දෙ සර්විස් එකක්නේ! මට හිතිණි. යට තට්ටුවේ හිටි තවත්
කෙනෙකුටත් ඒ.සී. එකේ ප්‍රශ්නය දැනුම් දුන්නෙමු.
“අපි පණිවිඩේ යවලා තියෙන්නේ සර්. රෙපෙයාර්
කරන එක්කෙනා මඟ එනවා!” හරිම විනීතව උත්තර ලැබුණේ අප සැනසෙන විදියටය. “මෙහෙම තැන්වල
ඔහොම්මමයි. හරි කිව්වට හෙට උදේ අපි යනකල්ම හදවයිද විශ්වාස නෑ.”
මම නම් විශ්වාස කළෙමි. මට මතක් වුණේ දිවියට
වැදගත් කරුණු හයක් ගැන ලැබුණු ඊ මේල් එකකි.
ජීවිතයට වැදගත්...... |
ඒකට නිමිති වුණේ මොකක්ද කියලා නම් මතක නැතත්
ලාල් අයියා කියපු ටික නම් මතකය. “නිමල්, කාට හරි දොස් පවරනවා නම්, විවේචනය කරනවා
නම් ඒක ලියන්න ඉස්සෙල්ලා දෙපාරක් හිතන්න ඕනේ. කටින් කියන එක එච්චරයි. ලියපු දේ
එහෙම නෙවෙයිනේ! දිග කාලයක් වුණත් තියා ගන්න පුළුවන්.”
දැන් ඒ අවවාදයත් update කරගන්නට ඕනෑය. අප කියන
එව්වාත් කෙනෙකුට ගබඩා කර ගන්නට පුළුවන් නිසාය.
ඒ උපදේශය අකුරටම පිළිපැද්දත් මෙතැනදී, ඒ
කියන්නේ බ්ලොගයට කොටද්දී මට හිත-හිතා ඒ රාජකාරිය කරන්නට බැරිය. නිර්මාණයක්
කරද්දීත් එහෙමය. මගේ හිතේ තියෙන්නේ පුංචි සැකිල්ලක් විතරය. කොටාගෙන යද්දී වචන ගලා
එයි. ඒ අනුව කාරණාත් සිහියට එයි. මුලින්ම අහවල්-අහවල් කරුණු ලිපියට එකතු කරන්නට
ඕනේ කියලා නම් හිතෙන්නෙම නැත. (මේක මගේම තකතිරු ක්‍රමයක් වෙන්නටත් ඉඩ ඇත!)
නිර්මාණයක් කරද්දීත්........... |
හැබැයි, ඔළුවේ ගබඩාව ලොකු නිසාද මන්දා ගොඩක්
දේවල් පිරී තියෙයි. ඒ හුඟාක් දේවල් පත්තර කෑලි විදියටත්, පොත් විදියටත්, සටහන්
විදියටත් .... මෑතක සිට ෆොටෝ, වීඩියෝ හා pdf files විදියටත් ඇත. ඒකක් ‘සිහි පරාද’
වුණාම ඉතිං, වරුවක් ඉවරය.
කියවන ඔයාලාට අසාධාරණයක් වෙන්නට ඉඩ දිය නොහැකිය... ඒක
හොයාගෙන, හරියටම තහවුරු කරගෙන මිස එතනින් ඉස්සරහට යන්නට හිත නොදෙයි! මගේ හැටි
එහෙමය.
ආයෙමත් මමාස් එකට යන්නට කලින් ඉතිරි කරුණු
දෙකත් කොටලා හිටියාම ඉවරය. යමක් බැහැයි කියා අතහරින්නට පෙර උත්සාහ කරන්න! මැරෙන්නට
කලින් ජීවත්වී හිඳින්න!!
මගේ ෆේවරිට්ම චොයිස් එක ඒකය. වැඩි දෙනා ජීවත්
වෙන්නෙත් ‘මැරිලා’ වගෙය!
“ඕයි, මෙච්චර ලස්සන තැනකට ඇවිල්ලත් නාන්නේ
නැද්ද?” කියාගෙන නෙවිල් ඇඳුම් මාරු කරගත්තේය. ගවීනුත් එහෙමය.
අසනීප වෙන්නට කලින්
නම් මාත් අරින්නේ නැත. එහෙත් දැනුත් වීරයා වෙන්නට ගිහින් අනුන් අමාරුවේ දාන්නට
බැරිය. “මගේ කකුල්වලින් නෙවෙයිනේ තමුසෙලා මූදට බහින්නේ!” මගේ බැරිකම ඇඟේ විතරය.
කටේ නැත.
පීරිස් කැමරාවත් එක්ක ඔට්ටු වෙමින්.... |
“ඒක නම් මටත් හිතිලයි තියෙන්නේ. පොඩ්ඩක් පණ ගහල එනකොටම මුගෙ කටේ සද්දේ වැඩි වෙනවා!” නෙවිල්ට අලගු තියමින් කියන අතරෙත් පීරිස් කැමරාවත් එක්ක ඔරොට්ටු අල්ලයි. එදා පීරිස්ට ෆොටෝ ගන්නට වුණේ නැත. ඒක හදා ගන්නම නැහෙමින් ඉඳිද්දී රෑ වුණේය!
නෙවිලුයි
ගවීනුයි ඈතට ගියේ එතැන වැල්ලක් නැතිම ගණනට ‘සිඳු දෙවියා’ පෙරට ඇවිත් හින්දාද
කොහෙදය. මං ෆොටෝ දෙක තුනක් ගන්නට පටන් ගත්තා විතරය. මෙන්න බොලේ ලසිත්ලා!
ලසිත්ව මා හඳුනා ගත්තේ චරිත්ගේ හරහාය. ඒ
දෙන්නාම ඒ දවස්වල එකම බෝඩිමක උන්හ. (චරිත් ඔබට හමු වුණේ ‘අකල් මරණෙකට හවුල්වී
පෝස්ටුවේදීය.)
ලසිත්ටත් එක රස්සාවක දිග කාලයක් ඉන්නට බැරි ලෙඩක් තියෙනවා වාගෙය. එහෙව් ලසිත්, අක්ශිලාත් එක්ක හුටපටය පටන් ගත්
අලුතම ඇයවත් අපේ ට්‍රිප් එකකට එක්කං ආවේය. දෙන්නාම ගමන් රුසියෝය.
දෙන්නාට දෙන්නාගේ
වගකීම බාර ගන්නවා යැයි පොතේ ලිව්වේ පහුගිය ජුලි 19 වෙනිදාය. අපේ හතර දෙනෙකුටමත්
මංගල්ලෙට එන්නැයි එයාලා ආරාධනාත් කළේය.
ලසිත්, අක්ශිලා දෙන්නාට සුබ මංගලම්! |
ඒත් මගේ clinic දවස 20 වෙනිදාට වැටී තිබුණු
නිසා කෑගලු ගිහින් එන්නට අදිමදි කළෙමි. මං නොයන නිසාම අනෙක් තුන් දෙනාත් නැවතුණෝය.
“ලසිත්ලා ජෝඩුවම පස්සේ වෙලාවක අපේ ගෙදර එන්න. අපි සේරම එකතු වෙලා පොඩි පාටියක්
දාමු!’’ මා කියා තිබිණි.
මට හිතා ගන්නටත් බැරිය. ලසිත්ලා දෙනියායේය.
අක්ශිලා නුවරය. මඟුල ගත්තේ කෑගල්ලේය. හතර පැත්තක ඉඳන් මඟුල් ගෙදරට එද්දී.....
අන්දවන්න තියෙද්දී.... එහෙව් ජරමර ගොඩකට මුහුණ දීලාත් මේ දෙන්නා honey-moon එකට රට
වටේ යයි.
“අපිත් අද හික්කඩුවේ ඉන්නේ. එහා පැත්තෙමයි ...
හෝටලේ ....” මධුසමයෙන් පැයක් විතර අප සමඟ ගෙවලාය එයාලා ගියේ. ‘චිරං ජයතු’ කියා ඒ
අලුත් ජෝඩුවට මගේ ‘පංච තන්තරේ- වියුණුවෙනුත්’ සුබ පතන්නට ඉඩ ලැබුණේ එහෙම අහම්බෙන්
හමු වුණු හින්දාය. ඉතින් ඔයාලාත් මගෙත්තෙක්ක එකතු වෙනවා නේද පරක්කු වෙලා හරි, අලුත්
ජෝඩුවට එහෙම සුබ පතන්න!
වෙරළ දිගේ ඇවිදගෙන ආ ජෝඩුවත් එක්ක කතාව පැයක්
විතර දිගට ඇදුණේ නෙවිල්ලා හීතලේ ගැහෙමින් ආපහු එනතුරුය.
මට තියෙන්නේ රබර් ඇහැකි. අලි කනකි. වටපිටේ
තියෙන, සිද්දවෙන දේවල් මා උවමනාවෙන් නොබැලුවත් මට පෙනෙයි. මොළයේත් ගබඩා වෙයි.
අලියාට සියඹලා කොළයක් වැටෙන සද්දයත් ඇහෙනවාලු. මටත් එහෙමය. මගේ ශ්‍රවණේන්ද්‍රිය
නියමෙට වැඩ කරයි. ඇහෙන, දකින දේවල් මගේ මොළයේ ගබඩා වෙනවා වගේම, ඉබේම වාගේ විශ්ලේෂණයකුත්
වෙනවාද කොහෙදය.
පෙරහරේ ඇතා වගේ..................... |
ලසිත්ලා එක්ක කතා කරමින් ඉඳිද්දී වුණෙත්
ඒකමය. මමාස් එකේ කෙනෙක් මේසයක් සූදානම් කරන්නට විය. පෙනුණේ දෙන්නෙකුට වාගේය. පුංචි
මල් සැරසිල්ලක්. පිඟන්, වීදුරු, හැඳි-ගෑරුප්පු, අත් පිස්නා එකින් එක හරිම සීරුවෙන්
ගෙනාවේ ‘දළදා පෙරහරේ කරඬුව වඩම්මන ඇතා වාගේ’ ගම්බීරවය. ඇතාටත් වඩා හෙමින් සැරේය.
සූදානම් කිරීමට පැයකටත් වඩා ගත්තත් ඒකේ
කෙළවරක් තිබ්බෙත් නැත. වීදුරු, පිඟන් පිසදා තැන්පත් කර, ආයෙමත් විනාඩි කීපයකින්
එව්වා පිහ දමයි, තියයි. ආයෙමත් ඒකම කරයි. ඒ චක්කරය හතර පස් වතාවකටත් වැඩියෙන්
කැරකෙද්දී මම නීරස ගණන් තැබීම අත හැරියෙමි. පුදුමය ඒ සේවක මහතාගේ ඇඳුමෙන් නම්
පෙනුණේ ඔහු සැලකිය යුතු නිලයක් දරන්නෙක් බවයි. ඔහු කළේ වැඩක් කිරීමද; නැතිනම් කරන
බව මවා පෑමද?
කෝකියාත් අර මනුස්සයා වාගේම නම් අපට
දෙයියන්ගේම පිහිටය. මට හිතුණේ එහෙමය. උයන්නට කලින් සේරම මස්, මාළු, එළවලු, හාල්
වගේ දේවලුත් සබන් දමා හෝදනවා ඇත! සමහර විටෙක විෂබීජ නාශකත් දමනවා නම්......
“කොහෙන්ද ලසිත්ලා ඩිනර් එක ගන්න යන්නේ?” මං
ඇහුවේ ‘අම්මගේ කෙරුවාව’ ගැන ඒ වනවිට අවබෝධයක් නැතුව හිටි බැවිනි.
මගේ ග්‍රහයෝ නීචවී...... |
“අපි ඉන්න තැනින්මයි නිමල් අයියේ. ඕඩර්
කරලාත් ආවේ!” ලසිත් කිව්වේය. (ඒ වෙලාවේ මගේ ග්‍රහයෝ නීචවී නොහිටි බව මට තේරුණේ
පස්සේය.) මං ලැහැස්ති වුණේ අපත් එක්ක රෑ කෑමට එයාලාටත් ආරාධනා කරන්නටය.
ලසිත්ලා ජෝඩුව යනතුරුමත්, නෙවිල් හා ගවීන් මුහුදු
වතුර හේදී යනකල් පයිප්පෙන් නාලා ඉවර වෙන තුරුමත් අර මේසය ‘arrange’ කිරිල්ල අහවරක්
වුණේ නැත. අපි ආයෙම කාමරවලට ගියෙමු. ‘විශ්වාසය කඳු සොලවයි’ කියලා කියමනක් තිබ්බත්
කන්ද හෙලවී තිබ්බේ නැත. AC හදන්නට මොකෙක්වත් ඇවිත් නැත!
නැවත වතාවක් ඒ ගැන කිව්වාම වෙනස්ම උත්තරයක්
ලැබිණි. ‘අපි සර්ලට වෙන කාමරයක් දෙන්නම්!’ එහෙම කළෙත් අපේ කරදරයෙන් බේරෙන්නටම විය
යුතුය. පීරිසුත් නෙවිලුත් ස්ථාන මාරුව බාර ගත්තෝය. 130 න් වෙන එකකට. මමාස් එක ගැන
මෙහෙම පෝස්ටුවක් ලියැවේවි යැයි හිතුවා නම් ඒ කාමරයේ වංහුං ගැනත් බලා ගන්නට තිබිණි.
කොහෙද... කවුද එහෙම හිතන්නේ?
ගවීනුයි මායි දෙන්නාට ලැබුණු 329 නම් හොඳය!
ලස්සනට ඇරෙන්ජ් කරලාය. අර මේසය හැදූ හාදයාට කාමරයක් හදන්න දුන්නොත් නම් මේ භද්‍ර
කල්පයේදී ඒක ඉවර නොවෙනවා සිකුරුය.
කාමර අංක 329...... |
අගෝස්තු 8 වෙනිදා සෙනුගි දුවගේ ‘වැඩිවිය
පත්වීමේ මංගල්‍යයට’ ආරාධනා කෙරිණි.
සෙනුගි නදී ප්‍රසන්නගේ දෝණියන්දෑය. (අපේ කුණු
අපට එපාවී පෝස්ටුවේදී ඒ පවුලම ඔබට හමු වුණා මතකද?) නදීලා අලුත් ගෙයක් හදා
ගෙවදින්නට සූදානම් වෙමින් ඉඳිද්දීය, මේ මංගල්ලයත් යෙදුණේ.
“බලන්නකෝ නිමල් අයියේ,
මං සෙනූට කිව්වා දැන් 24 වෙනිදටත් උත්සවයක් ගන්න හින්දා මේකට මොකුත් නොකර ඉමුය
කියලා. මොන. පන්තියේ අනිත් ළමයින්ගේ පාටිත් ගත්ත නිසා එයාගේ උත්සවයත් ගන්නම ඕනි
කිව්වනේ.” නදී කිව්වේය.
“ඉතින් ළඟම ටික දෙනෙකුට කියලා මාලිකා
අක්කලාගේ ගෙදරදී පොඩියට පාටියක් දානවා! ඔයාත් එන්නම ඕනෑ.”
හොඳ පොඩි! සීයකටත් වැඩියෙන් හිටියේය. කෑමබීම
කේටරින් සර්විස් එකකිනි. ඒ විතරද? කැලිප්සෝ බෑන්ඩ් එකකුත් ගෙන්නලාය. “විසිහතර
වෙනිදට DJලයි කැලිප්සෝ එකයි දෙකම ගෙන්නනවා!” නදීම කීවේය.
සෙනුගි ඉපදෙන්නටත් කලින් ඉඳලාම අප එක්ව ‘ට්‍රිප්’
ගිය නිසා සෙනූ අපේම දුවෙකි. කෙල්ලගේ ලස්සනම ලස්සන පින්තූරයක් ප්‍රභාත්ලාගේ ගෙට
ඇතුළු වෙන තැනම බැබලෙමින් තිබුණේය. “හරිම ලස්සනයි” මම කීවෙමි.
සෙනුගි දුව.............. |
එතකොටම..... එතකොටම මොකද වුණේ කියලා තෙවෙනි
කොටසින්. හොඳේ!
අප්පටසිරි රෙද්දේ මමාස් නේන්නං ! :-D
ReplyDeleteඒකයිනේ කණ්ඩා, ස්තුතියි!
Delete