අකුරු මැකී නෑ

Sunday, October 7, 2018

මඩ ගොහොරුවක පචවී - සිව්වෙනි කොටස

කවුරුනුත් උන්නේ හිත කරදරයෙනි........
දවස පුරා රැස්වීම් ගණනාවක් පවත්තා, කාගේදෝ ගෙදරකින් රෑ කෑමත් කා අපි ආපහු එන්නට පිටත් වීමු. එහෙම එද්දී සිදු වුණු කතාබහෙන් පෙනුණේ කවුරු-කවුරුත් හේන් ආසානාසි කිරිල්ලට මං බසින බොටකඳාලා ගැන හිත් කරදරයෙන් ඉන්නා බවයි. 

ගෙයක්-දොරක් නැති ලඳු කැළේ මණ්ඩියේ, කෑලි කැපෙන  ගනාන්ධකාරයේ මුවාවේ සැරිසරන්නට අලි බොටාලාට කාගෙන් තහංචියක්ද? අපි ආවේ උන්ගේ අඩවි මැදිනි. උන්ගේ මංකඩවල් අතරිනි.

එහෙම එද්දී හිටි ගමන් අපේ වාහනය හිට්ටේය. ජංජාලයකි. ඉස්සරහින් ගිය වාහනයත් නැවතිණි. පිටිපස්සෙන් ආ එකටත් නවතන්නට සිදු විණි. ඇයි? අපේ වාහනය පාර මැද්දේ එරිලාය.

හැමෝම එළියට බැහැගත්තත් මට එහෙම  කරන්නට දුන්නේ නැත. වාහන තුනේම පොඩි එකෙකුට හිටියේ මං විතරනේ. 

ගිනි හුලවල් හදාගන්නට, ලී කොට හොයන්නට, ගල්ගෙඩි හොයන්නට, ළඟපාත ගෙයක් හොයා යන්නට පැය ගණනක් ගත විණි. ඒ අස්සේ අන්තිමට වාහනය මඩ වළෙන් ගොඩ ගත්තේ කට්ටියම එකතුවී තල්ලු කිරීමෙනුත් පස්සේය. තල්ලු කිරීමේ මහිමය පෙනුණේ තල්ලු කළ කට්ටිය ආපහු නැංගාමය!

මුළු වාහනයම ජරා ගඳය. අපේ ට්‍රිප්වලදී ඊට පස්සෙත් කිහිප සැරයක්ම වාහන මඩේ, වගුරුවල, දියේ එරුණු තැන් තිබුණත් මේ විදියට පලේ-පල් දහජරා ගඳක් නම් මට දැනිලා නැත.

ඊට පස්සේත් කිහිප සැරයක්ම...
“මෙව්වයේ ඔහොම තමයි මහත්තයෝ, පාරේ වළවල් කවුරුවත් හදල දෙන එකක්යැ. ගමේ මිනිස්සුම හදාගන්නවා, පුළු-පුළුවන් විදියට. ආයේ පස් කපලා ගේන්නය. ඊට වැඩිය ලේසියට තමා ඔය දහයියා දමල තිබ්බේ.” ඒ මණ්ඩිය දන්නා ඇත්තෙක් පැහැදුවේය.

පාරේ මඩ වළවලට දහයියා දැමූ විට ඒවා ලෙහෙසියෙන් දිරාපත් වෙන්නේ නැතිලු, පල් වෙනවා මිස. මඩ වළේ එරී තිබුණු රෝදය එක තැන කැරකෙද්දී විසිවෙන මඩෙන් අපේ ගොයියෝ නෑවිලාය. ජරා ගන්දස්සාරය එන්නේ ඔවුන්ගෙනි. මොනවා කරන්නද? මට තාමත් එදා දැනුණු පල් ගඳ දැනෙනවා-දැනෙනවා වගේය.

නන්දක්කා; නන්දා මලවිසූරිය හිටියේ නැන්සි ආච්චිලාගේ ගෙදර කිට්ටුවය. (ජුලි මාසයේ 'මගේ චූස්- මටම චූස්' පෝස්ටුවෙදීත් ඔබට නැන්සි ආච්චී හමුවිණි).

නන්දක්කා මට වඩා වැඩිමල් අවුරුදු හතරකිනි. ඒ බව මා දැනගත්තේ ගිය සතියේ ඇය සොයාගෙන ගිය ගමනේදීය. ඒ නන්දක්කාගේ ෆොටෝ එකක් ඉල්ලා ගන්නටය. “අනේ රංජි.... අපේ ලේලි කිව්වාම නිමල් දිසානායක කියල කෙනෙක් ඇවිත් ඉන්නවය කියලා මට නිච්චි වුණේ නැහැ, ඒ ඔයයි කියලා. ඉතින්, ඉතින්...” නන්දක්කා මා සාදරයෙන් පිළිගත්තාය.

එයා ගියෙත් විද්‍යාකර විද්‍යාලයටමය. මාත් සුනිලුත් ඉස්කෝලේ යද්දී සමහර දාට නන්දක්කාට එකතු වුණෙමු. “නන්දක්කට මතකයිද මන්දා, එහෙම යන දවසක ඔයා මට අවවාදයක් දුන්නා?” මම ඇසුවෙමි.

අපි බැන්දේ....
පංච තන්තරේ ලියන්නට පටන් ගත් දවසේ ඉඳලාම මට මේ විස්තරය කොටන්නට ඕනෑ විණි. නන්දක්කාගේ ෆොටෝ එකකුත් ඒකට ඇතුළු කළ යුතුමයැයි හිතුණේත් මුලින්මය. “අනේ මල්ලී, දැන් අවුරුදු පනහකටත් වැඩිය දෙයක්නේ. කොහොමද මතක හිටින්නේ. කීර්ති නැති වුණාට පස්සේ මගේ තිබුණු කල්පනාවත් නැතිවෙලා වගෙයි!” නන්දක්කා කීවාය.

ඒ දෙන්නාගේ ‘පෙම් කතාව’ ගැන නම් මා දන්නේ නැත. කොපමණ සංවරව, විනීතව ගලා ගියත් ඉස්කෝලේ, මහරගම ගැමුණු රිවිදින දහම් පාසලේ, පමුණුවේ කාටත් ඒ ප්‍රේම කතාව රහසක් නොවීය. මෙදා සැරේ මට ඒ කතාවෙනුත් ටිකක් අහුලාගන්නට ඉඩ ලැබිණි. 

“.... ඔව් රංජි මල්ලී, මං කීර්ති එක්ක යාලු වෙනකොට මට දාසයයි. අවුරුදු හයකට පස්සේ නවසිය හැත්තැදෙකේ අපි බැන්දේ....” නන්දක්කාගේ ගේහසිත ප්‍රේමයේ මහිමය තවමත් තුනීවෙලා නැත.

ඒ දෙන්නාම නිවුණු අයයි. ආදර්ශවත් අයයි. 

“මල්ලි දන්නවද, මං අවුරුදු 23ක් දහම් පාසලේ ඉගැන්නුවා....” නන්දක්කා විතරක් නොවේ. කීර්තිපාල සර්ත් එහි ඉගැන්නුවේය. 

බුවෙනකබා විදුහලේ ඉරිදාට පැවැත්වුණු ගැමුණු දහම් පාසලට මා ගියේ දෙමාසයක් විතරය. කීර්තිපාල සර් හරියටම මගේ හිතට වැදුණේත් එහෙදීය. අපේ ඒ හැඳිනුම්කම දිගටමත් තිබුණේය. හැමදාමත් මා ඔහුට කීවේ ‘සර්’ කියලාය. ඒ බොක්කෙන්මය. ඒ තරමටම මම ඔහුට ගරු කළෙමි.

“හරි ළමයෝ, ඔයා අපිට ගරුසරුවෙන් හිටිය බව අපි දන්නවා. ඉතින් තවමත් ඔයා කිව්වේ නැහැනේ අර අපි ඉස්කෝලේ යද්දී වෙච්ච කතාව...”

එකක් ඇඳලා කිලුටු වුණු ගමන්ම......
ඒ 1968ය. තියෙන ඇඳුමක් ඔහේ ඇන්දා මිස පිරිසුදුකමක් ගැන වගේ-වගක් අපට තිබුණේ නැත. එව්වා නම් අපට උගන්වන්නට තාත්තා, අම්මා දෙන්නාටම වෙලාවක් නැති වුණා වගෙය. එදාත් මා පාසලට ඇඳගෙන ගියේ කිලිටි කමිසයකි. නන්දක්කා ඒක දැක්කාය. “රංජි මල්ලිට කමිස කීයක් තියෙනවද?”

“දෙකක් නන්දක්කේ.”

“එහෙනං මල්ලී, හොඳට මතක තියාගෙන එකක් ඇඳලා කිලුටු වුණු ගමන්ම ඒක හෝදන්න ඕනේ. අපි දුප්පත් වුණාට අපිට පුළුවනිනේ පිරිසුදුව ඉන්න.” මම අතීතය වැමෑරුවෙමි.

“අනේ, මං මල්ලිට එහෙම කිව්වද?” නන්දක්කා විස්මයෙන් ඇහුවාය. ඇයට නම් ඒක තමා හඳුනන පැඟිරෙකුට දුන් පුංචි අවවාදයක් විතරය.

විශ්වාස කරන්න. එයින් මනත මා කවම-කවරදාකවත් කිලිටි ඇඳුමක් ඇඳලා නැත. 

දෙහිවල පාරේ, නැෂනල් හෝල් එක හරියේදී නන්දක්කා එය කියූ හැටි තවම මගේ ඇස් කෙවෙණි ඇතුලේ නිධන් වෙලා තිබෙයි. ඉතින් මෙහෙම ඒ ගැන ලියා ‘නන්දා මලවිසූරියට’ පූජාවක් කරන්නෙමි. 1968 දී පිරිසුදුකම ගැන පාඩම ඉගෙනගත් මා ‘පිළිවෙල’ ගැන ඉගෙන ගත්තේ ඊට අවුරුදු 11කට පස්සේය. ඒක පසුවම කියන්නම්, හොඳේ.

අපි මේ කතාවට ඇදිලා ආවේ මොනරාගල කඳු පාරක අප ගිය ජීප් රිය එරී, එය මඩ වළෙන් ගොඩගෙන එන තැනින්ය. වාහනය තල්ලු කර, එයට ගොඩවූ ලකීගේ ඇඳුම්වලත් මඩ තලි පිටින්ය. මගේ ළඟින්ම වාඩිවූ ලකී නිදි කිරන්නට විණි. අපි ලී වාඩියට එද්දී මගේ ඇඳුම්වලත් මඩය; ගන්දස්සාරේත් බැරිය. එදා රාත්තිරියේ මට හරි නින්දකුත් නැත. රැය පහන්වූ විගස මට ඇඳුම් හෝදන්නට ඇති බව සිහියේ තියෙද්දී මොන නිදාගැනිල්ලක්ද?


ලී වාඩියට නුදුරෙන්ම ගඟක්.......
ලී වාඩියට නුදුරෙන්ම ගඟක් ගලාගෙන ගියේය. ඒ දවස්වල නම් වතුර තිබුණේ අඩුවෙනි. ඒ නිසාම බයක් නැතිව එහි ගිලී නාන්නට හැකි විය. දැන් චුට්ටක් විතර පීනන්නට හැකි වුවත් ඒ කාලයේ පුළුවන් වුණේ ඕනෑම ගැඹුරු වතුරක පතුල දක්වාම කිඳා බහින්නට විතරය. පසුවදා උදෙන්ම ඒ ගඟට ගිය මගේ පළමු රාජකාරිය වුණේ ඇඳුම් ටික ‘වෙල්ලාවේ දාන’ එකය.

ඒ දවස්වල ඩඩ්ලි සේනානායක මහත්තයා ‘වගා සංග්‍රාමය’ කරමින් හිටියේය. වැල්ලවායේ තිබුණු විශාල රැස්වීමකදී මට පළමුවරට ඩඩ්ලි මහතා සමඟ එකම වේදිකාවේ හිටීමේ පින ලැබුණේය. ඒත් කතා කරන්නට අවස්ථාවක් නොලැබිණි. කැමරාවත්, වතුර බෝතලයත් උරයේ එල්ලාගත්  (මට මතක ඒ විදියටය.) ඩඩ්ලි මහත්තයාව රවටන්නට, කඩිමුඩියේ ලොකු ගෝවා ගෙඩි පිටින් ගෙනැවිත් ගොවිපළක හිටවූ කතාවකුත් මගේ කනට වැටුණේ එහෙදීය. ඇත්තමද කියලා නම්, මා දන්නේ නැත.

රණසිංහ මුදලාලි කිව්වා වාගේම කළේය. සතියකින් අපත් කැටිව කොළඹ ආවේය. ඒ එනතුරාමත් තවත් කෙනෙක් මඟ බලාගෙන ඉන්නා බව අප දැනගෙන හිටියේ නැත. එහෙම බලාගෙන හිටියේ ‘ගුරුලාය’.

විෂ්ණු රකියි...........
හින්දු දේව පුරාණයට අනුව බ්‍රහ්ම මවයි. විෂ්ණු රකියි. ඊශ්වර හෙවත් ශිව වනසයි. 

පුහුදුන් පුඟුලන් වන අප දෙවියන්ට කියනදේ කිව යුත්තේ කපුවන් හරහාය. පුද පූජා කළ යුත්තේත් කපුවන් හරහාය. ඒ කියන්නේ දෙවියන්ගේත් මිනිසුන්ගේත් අතරමැදියෝ කපුවෝය. 

ඉස්සර කපුවන් වාගේ නොව දැන් ඉන්නා කපුවන්, දෙවියන්ගේ වාසස්ථාන භාරකාර නිලමේවරුන් ආදී කොයි කවුරුනුත් 225 පන්නයේ හයිකාරයන්ය. ගමන-බිමන posh වාහනවලින්ය. ඒත් දෙයියන්ට දෙයියන්නේ හාල් කැවිලාද කොහෙද දෙවිවරු තවමත් යන්නේ පරණම පරණ වාහනවලය!

ලංකාවේ උදවිය අලුතෙන් වාහනයක් ගත් ගමන්, නමෝවිත්තියෙන්ම යන්නේ කතරගම දේවාලයටය. ඒ වාහනය පරෙස්සම් කර දෙන්නැයි ස්කන්ධ කුමාර දෙවිඳුන්ට කියන්නටය. ඒත් එච්චර බලවත් කතරගම දෙවියන්ගේ මයූර වාහනය පරෙස්සම් කරගන්නට, මාතර හයිවේ එකේ බෝඩ් ගහන්නටත් සිදුවෙලාය. 

එහෙව් එකේ තවමත් විෂ්ණුන්නාන්සේගේ වාහනයට නම් ඒ වාගේ ආපත්තියක්- විපත්තියක් කැටෙන බවක් මේ ලියන මැට්ටාට ආරංචිවී නැත. විෂ්ණු දෙවියන්ගේ වාහනය ගුරුලාය. ඒ ගුරුලා කුරුල්ලෙකි. මේ ගුරුලා; අප මොනරාගල හිට එනතුරු කල් බලමින් උන් ගුරුලා මුදලාලි කෙනෙකි!

එයාත් ජිනදාස නියතපාල මහත්තයාගෙන් අයුරු අසාගෙන, mpm මාමාත් එක්කම අපේ ගෙදරට ගොඩ වුණේය. ඒත් කාර් එකකින්ය. mpm මාමා පැත්තක ඉඳිද්දී ‘ගුරුලා මුදලාලිම’ අපේ තාත්තා එක්ක බජනෙට වැටුණේය. මට මතක හැටියට නම් ගුරුලා මුදලාලිත් මුලින් වාමාංශිකයෙකි. සමාජවාදියෙකි; නිර්ධන පාංතිකයෙකි!

අන්තිමට නතරවී තිබුණේ..............
හැබැයි, එයාත් හති දාගෙන ඇවිත්, ඇවිත් අන්තිමට නතරවී තිබුණේ ධනපති unp අලි කඳවුරේය. අපේ තාත්තාත් එහෙමය. දැන් බලද්දී වාමාංශික වැඩි දෙනා එහෙම වාගේය. ඉතින් ඒ දෙන්නාට; අපේ තාත්තාට හා ගුරුලා මුදලාලිට කතාබහ කරන්නට ගොඩ දේවල් තිබිණි. ඒ කතා මැලය කෝච්චරක් ඇවිළුණාද කියතොත් අපේ තාත්තා හොඳටම හීලෑ වුණේය.

“එක්ක යන්න මුදලාලි රංජිව. එක්ක යන්න. මට තමුන්නැහෙව විශ්වාසයි. තව අමතර වියදමක්නේ තනියට කෙනෙකුත් එක්කං යනේක. ඕනි නෑ, එහෙම කමක් නැහැනේ mpm මල්ලී.....?”

mpm මාමාට ඉතිරිවී තිබුණේ හූමිටි තැබිල්ල විතරය. ඒකෙන් වුණේ ‘ලකී’ට තවත් පොට්ට චාන්ස් එකක් වැදෙන්නට තිබුණු ඉඩ ඇහිරී යාමය. 

“රංජි මල්ලී හින්දා මටත් මාර පොට්ට චාන්ස් එකක් වැදුණේ. හොඳට කන්න හම්බ වෙනවා. ෂපාන් එකේ ඉඳලා ගානකුත් අතට එනවා. ඔන්න මල්ලී, ආයෙම පාරක් long ට්‍රිප් එකක් යනවා නම් මමයි බොඩිගාඩ්...හරිද?” කියලා, මොනරාගල සිට එද්දීම ලකී මාව හගිස්සාගෙන තිබුණේය.

මටත් මේ පලේම දරුවෝ.............
“මට හරි සතුටුයි ගුණපාල අයියා වගෙ කෙනෙක් අඳුනාගන්න හම්බ වුණාට. මටත් මේ පලේම දරුවෝ ඉන්නවා! මෙයාට පොඩ්ඩක්වත් තනියක් දැනෙන එකක් නැහැ. එක අතකට තනියක් දැනෙන්න වෙලාවක් හිටින එකක්යැ.... අපට මීටින් තියෙනවනේ ඕනේ තරම්.” ගුරුලා මුදලාලි එහෙම කියන ගමන් සාක්කුවත් ඇද්දේය. තාත්තා අතට සල්ලිත් දුන්නේය. තාත්තා එපා කිව්වත් මුදලාලි ඇහුවේ නැත.

“මං දන්නවා... මේ ළමයා තමයි පවුලම රක්ෂා කරන හපනා කියලා. මොකෝ, මෙයාව රැස්වීම්වලට එක්කං ගිය කියලා ගුණපාල අයියලා බඩගින්නේ ඉන්නය? මෙන්න මේක ගන්න... මං මේක දෙන්නෙත් කුලියක් හැටියට නෙවෙයි. මනුස්සයෙක් තවත් මනුස්සයෙකුට කරන උදව්වක් හැටියට. මට ඒකට හයිය තියෙනවා.....”

ඔහු කියා තිබුණේ සහතික ඇත්තය; පූච්චානම් කතන්දර නොවේ. ඒ වාගේම අත දිගහැර වියදමුත් කරන්නට පුරුදුව හිටියේය. මා ඒවා දැනගත්තේ පස්සෙන් පහුය. “ගුණපාල අයියේ, මං ලොකු බේකරියක් කරන කෙනෙක්. ඒ පැත්තේ කවුරුත් ගුරුලා මුදලාලි කියපු ගමන් මාව දන්නවා. දෙයියෝ මගේ මුහුණ බලනවා....”

රණසිංහ මුදලාලිත් එක්ක ඌව වෙල්ලස්සේ ඉඳලා ආව පමාවෙන්, ගම්පහ මිනුවන්ගොඩ මැඩෑමුල්ලේ ගුරුලා මුදලාලිත් එක්ක යන්නට මේ ලියන්නාට පොට පෑදුණේ ඕං ඔහොමය.

දෙයියෝ බලත්වා!
හෙනං ඒ වංහුං ඊළඟ වංගියේ පංකාදු පහට දිගාරිනකං කියෝන ඔබ තමුන්නාන්සේලා හැමෝටමයි, මේ ලියන මටයි දෙගොල්ලන්ටමත් දෙවියොම බලත්වා!    

2 comments:

  1. නිමල් අයියව එක එක්කෙනාගෙ මඩ හෝදල සුදු හුණු ගාන්න එක්ක යන්න මාර ඩිමාන්ඩ් එකක් තිබිලනෙ :-D

    තාත්ත ඒ ගැන හෙව්වෙ බැලුවෙ නැති එකෙන් කොයිතරම් අගතියක් වෙන්න තිබ්බ වැඩක්ද ?

    ReplyDelete
    Replies
    1. එතකොට මට 16යි. පෙනුමෙන් ගොඩක් පුංචියි. සීදේවි පාටයි කියලත් ගොඩ දෙනා කිව්වා. ඒ නිසා කවුරුත් වටවෙනවා කතා අහන්න. ඉතින් මාත් වැඩ්ඩා වගේ විකිණුනා.

      Delete