අකුරු මැකී නෑ

Thursday, November 1, 2018

වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - නවවෙනි කොටස

බෝන් මැරෝ ටෙස්ට් එක වෙලාවේ.....
කලින් වතාවේ බෝන් මැරෝ ටෙස්ට් එක වෙලාවේ දැනුණු අතිශය වේදනාකාරී හිරිය එවේලේත් මගේ කොඳු නාරටිය දිගේ දිව්වා. ඇඟේ මයිල් ඉස්මයිල් වුණා! ඒක මතක් වෙද්දීත්.......එහෙම කියලා තමා මං කලින් කොටසින් සමු ගත්තේ.

අර අලුත් දොස්තර නෝනා එයාගේ ෆෝන් එකෙන්ම කාටද කතා කළා. ඊට පස්සේ ‘මෙන්න සර්’ කියලා සවනාව දොස්තර අයස්මන්ත අතට දුන්නා. ඉංග්‍රීසි කඩුයි, සිංහල අසිපතුයි පට-පට ගාලා හැප්පුනා වගෙයි මට දැනුණේ. අනෙක් පැත්තේ හිටිය නෝනා මහත්තයාට ෂුවර් එකටම දෙමළ බැහැ වෙන්ටෑ. නැත්තං අපේ මිනිහා දෙමළෙනුත් ටෝක දානවා. 

පීරිස්ට දෙමළත්; හොඳ දෙමළත් පුළුවනිය කියලා සහතිකයක් දුන්නෙ මඩකලපුවේ වෛද්‍ය මනෝහරරාජන් මහත්තයා, මගේ ඉස්සරහම. කොච්චිපතානේ ගණදෙවි කෝවිල් බිමේදී. පාද යාත්‍රාවේ ගියාම.

පළමුවෙනි වතාවට අපි කතරගම පාද යාත්‍රාවේ ගියේ 2013දී. ගමන ගැන තොරතුරු හොයලා ප්ලෑන් කිරීම බාර වුණේ මටයි. අපේ මිතුරු උදේනි අල්විස් මට කියලයි තිබුණේ 2010 දී එයාලා පාද යාත්‍රාවේ ගිය බව. ඉතින් මං උදේනිට කිව්වා ඇවිත් ඒ ගැන විස්තර අපටත් කියන්න. උදේනි ආවේ එයාලගෙ ගමන සංවිධානය කළ ඩෙවොන් නිරංජන් එක්ක.

අපරාදේ කියන්න බැහැ, එයාලා දන්නා තොරතුරු සේරම අපට කිව්වා. ගමනේ වගතුග දාලා හදපු වීඩියෝ එකකුත් දුන්නා. 

“නිමල් අයියේ, ඔය ගමනට මඩකලපුවේ ඉඳලා එනවා දෙමළ මනුස්සයෙක්. මාර ලීඩර්. පනහකටත් වැඩිය කට්ටිය එක්කයි එන්නේ. පටන් ගන්න දවසෙම එන නිසා ඔයාලත් එයාට සෙට් වෙනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ!” ඩෙවොන් කිව්වා.

පාද යාත්‍රාකරුවන් සේරම වාඩිලන්නේ ......
පාද යාත්‍රාවට යන උදවියට ‘කුමන ජාතික වනෝද්‍යානයට’ ඇතුළු වෙන්න අවසර දෙන්නේ සති දෙකකට විතරයි. හරියටම කතරගම පෙරහරට සති දෙකකට කලින් ඉඳලා. කුමනට ඇතුළු වෙන්න දෙන දවසට කලින්දා හවස අපි ඔකඳ දේවාල බිමට ගියා. පාද යාත්‍රාකරුවන් සේරම වාඩිලන්නේ එතන. එතනට ගිය ගමන් මං බැලුවේ මගේ ඉලක්කය. හරිනේ! අර ඉන්නේ!! දඩිබිඩියේ මං ගිහින් එයාට කතා කළා.

“මං නිමල්. ගමන එන්න කලින්ම මට ඔයාව අඳුන්නලා දුන්නේ මගේ යාළුවෙක්. උදේනි අල්විස්.... අර ඇක්ටර් කෙනෙක් ඉන්නේ. එයාලටත් ඔයාලා ගොඩක් උදව් කළාලු. එයා තමයි මට කිව්වේ ඔබතුමා ‘නිව් කමර්ස්ල’ට ලෝබ නැතිව උදව් කරනවා කියලා....” මං හුස්මක් ගන්නවත් නවතින්නේ නැතිව කියාගෙන ගියා.

“ආ ඒම දන්නේ නැතිවට කමක් නැහැ. අපි මනුස්සයොනේ. ඔයා එක පාරටම ඇවිදින් මට හිනා වුණා, කතා කළා. කොච්චර හොඳද? අපිට එකට වාගෙ තමා යන්න වෙනවා. By the way. මං මනොහරරාජන්.” එයා මට අතට අත දුන්නා. 

දවස් පහක් තිස්සේ වරින් වර අපි කතා කළා. හිතවත් වුණා. 

හැබැයි මං උදේනිලා ගැන කිව්ව එක වතාවකවත් එයාගෙන් කෙළින් උත්තරයක් නම් ලැබුණෙ නෑ. මඟ ඇරියා. එයා කිව්වෙම මං ඉදිරිපත් වෙලා කතා කරපු විදියට වෙන කෙනෙක් කතාවට එන්නැති වග. අනේ එතකොටවත් මේ මැටි හරකට මොකක් හරි අප්සෙට් කියලා නොතේරුණු හැටි.

මනෝහරරාජන් මහත්තයා සහ ඇඹේණියයි අපියි...........
ඔහොම ගිහින් අන්තිම දවසේ කොච්චිපතානේ ගණදෙවි කෝවිල් බිමේ මනෝහර මහත්තයාලා නැවතී හිටි තැනට අපි ගියා. සමු ගන්න. 

එවෙලේ නිදහස්ව කතා කරද්දී තමා අපේ අයස්මන්ත මහත්තයා ‘කණ් චෛත්තියර්’ කියන දමිල වදන් පාවිච්චි කළේ. එයාලා දෙමළෙන් කතා වුණු දේවල් මටත් සිංහලෙන් කිව්වේ මනෝහර මහත්තයාමයි. “මිස්ටර් නිමල්ගේ ෆ්‍රෙන්ඩ්, අපේ අයි ස්පෙෂලිස්ට් මහත්තයා කතා කරන්නේ හොඳ  දෙමළෙන්...... ඒකයි කණ් චෛත්තියර් කියලා කිව්වේ....” එහෙම සුහද වුණු අපි සමුගත්තේ දුරකථන අංකත් හුවමාරු කරගෙනයි.

ගමන ඉවර කරලා ගෙදර ඇවිත් ආයෙම උදේනි අල්විස්ලගේ වීඩියෝව බලද්දීයි වැඩේ පත්තු වුණේ! මං හොඳටම පොට පටලවාගෙන, වල්ගය පාගාගෙන. 

අර මඩකලපුවේ ඉඳන් ඇවිත්, උදේනිලට උදව් කළ කෙනා මනෝහර මහත්තයා වගේ කෙනෙක් විතරයි. අනේ, ඒ රත්තරන් මනුස්සයා මගේ හිත රිදෙයි කියලා, මට වැරැදිලා බව ඇඟෙව්වේ නැහැ. මං එවෙලේම මඩකලපුවට කතා කළා. මනෝහර මහත්තයාගෙන් සමාව ඉල්ලුවා වෙච්ච පැටලිල්ල කියලා.

“චේ, චේ, සමාව ඉල්ලන්න ඕනේ නෑ. ඔයා මනුස්සයා වගේ ඇවිත් මට කතා කළා මිස්ටර් නිමල්. ඩිරෙක්ට්.... කොච්චර හොඳද? මට කොච්චර සතුටුද.” එවෙලේත් මනොහරරාජන් මහත්තයා කිව්වෙ පරණ කතාවමයි. මටත් කට පියාගෙන ඉන්න බැහැනේ. මමම වෙච්චි අලකලංචිය අපේ කට්ටියට කිව්වා. මොකටද හංගන්නේ?

ඉතින්, හරිම නිර්මාණාත්මක කතාවක් අපේ කට්ටියම එකතු වෙලා හැදුවා.

බාගෙට පිස්සෙක්...........
‘ඔකඳදී නිමල් ගිහින් කතා කළ විදියෙන්ම ඔහුට ටිකක් පිස්සු බව මනොහරරාජන් මහතාට වැටහිණි. මනෝ වෛද්‍යවරයෙකු වන ඔහු පිස්සන් ගැන හොඳින් දන්නා බැවින්, නිමල්ව කෝප නොවෙනසේ හැසිරී තිබේ! නිමල් සමඟ දිගටම සිනාසුණේත් කාරුණිකව කතා කළෙත් ඒ බිය නිසාය.’

පිස්සු කතාව පැත්තකට දමා, මල්ටිපල් මයෙලොමා පිළිකා රෝගියෙකු පිළිබඳව කියද්දී නම් සඳහන් කරන්නට වෙන්නේ, බෝන් මැරෝ පරීක්ෂණය අනිවාර්ය වන බවයි. මොකද ඒක ලේ පිළිකාවක් නිසා!

ඉතින් ඒ ටෙස්ට් එක එදාම කරවාගන්නට, ඊළඟ විනාඩි පහ යන්න ඉස්සෙල්ලා අපි දෙන්නා අපේක්ෂා රෝහලේ වංකගිරියේ. ඇත්තටම අතරමං වුණා වගෙයි අපි දුවමින් හිටියේ.... 

ඒ දවස්වල ඉස්පිරිතාලේ මොනවාදෝ ලොකු ඉදිකිරීම් ටිකක් කෙරෙමින් තිබුණේ. එහෙන් වහලා, මෙහෙන් වහලා. ටකරන් තාප්ප අස්සෙන් අතනින්-මෙතනින් හැරි-හැරී අපි දිව්වේ. 

ඒ මැඩම් අපට පුළුවන් තරම් ඉක්මනින් එන්න කියලා. එයා යන්න කලින් එවෙලෙම  මගේ බෝන් මැරෝ ටෙස්ට් එක කරන්නයි හදන්නේ.

මල්ටිපල් මයෙලොමාවේ තත්වය තහවුරු කරගන්න..... 
ඔයාලට මතක ඇති මේ පෝස්ටු මාලාවේ මුලදීම මං කිව්වා පෞද්ගලික රෝහලකදී මේ ටෙස්ට් එක කෙරුණු විදිය. සල්ලි කඩා ගැනීමේ අරමුණම ඉස්සරහට දමාගෙන. ඒ විදියට බලද්දී රජයේ ඉස්පිරිතාලවලින් කෙරෙන්නේ මොන තරම් සේවයක්ද? අඩුපාඩු හිටිනවා වුණත්.

මේ පරීක්ෂණයේදී කොන්දේ පහළ කොටස හිරි වට්ටන්නම වෙනවා. මොකෝ දන්නවද? කෙටි වුණත් දැඩි වේදනාවක් දැනෙන හින්දා. අනෙක් අයට කොහොම දැනුණාද මන්දා, හිරි වට්ටලා තියෙද්දිත් මට නම් උහුලගන්න අමාරු තරම් කැක්කුමක් දැනුණා; කෙඳිරි ගෑවුණා. මොකක්දෝ එකකින් ඇට කටු හූරනවා හොඳට තේරුණා. 

කියන්න ලජ්ජා වෙලා බැහැනේ, මට නම් හුලිජ්ජ බරකුත් හැදෙන තරම් කැක්කුමක් ඒ.

තියටර් එකේදී ඇඳගෙන ඉන්න ඇඳුම් ලිහිල් කරලා, තට්ටම් පෙදෙස නිරාවරණය කරගන්න වෙනවා. ගිලන් ඇඳේ ලෙඩාව හාන්සි කරවන්නෙත් දෙකකුල් නවලා. පැත්තකට හැරෙන ඉරියවුවෙන්. එතකොටයි එන්නත් කටුව හරිම තැනට ඇතුළු කරවන්න පහසු. 

එන්නත් කටුව කිව්වාම හිතෙන්නේ හොඳටම හීනි එකක් කියලනේ. මෙතැනදී නම් ඒක වැරැදියි. ගන්නේ ලොකු ඉන්ජෙක්ෂන් කටුවක්. එහෙම එකක් අවශ්‍ය වෙන්නේ ඇටකටු මැද්දේ තියෙන පටකවලින් ටිකක් එකතු කරගත යුතු නිසයි.

මට දිවුරලා කියතෑකි, මාව හිරි වට්ටලා තිබුණාට, දෙපාරම මට දැනුණා ඇටකටු හූරද්දී..... අම්මේ, එහෙම වේදනාවක්!


ඇටකටු හුරද්දී.....
එහෙම එකතු කරගන්න බෝන් මැරෝ තරල ටික පරීක්ෂණයට බඳුන් කෙරෙනවා. එයින් හොයා ගන්නා තොරතුරු විශ්ලේෂණය කරමින් රෝගියාගේ තත්වය ගැන ගොඩක් දේ දැනගන්න පුළුවනිලු. ඒවා අනුව තමා කළ යුතු බෙහෙත්; දිය යුතු මාත්‍රාව ආදියත් තීරණය කරන්නේ. වචන දහයකින්, දොළහකින් කියන්න නම් අමාරු නැහැ. හරියට කරන එකනේ අමාරු. වැරැදුණොත්?

දොස්තර කෙනෙකුට වැරැදුණොත් ලෙඩා වළට වැටෙනවා. දේශපාලකයන්ට වැරැදුණොත් රටමයි වළට වැටෙන්නේ! දොස්තරලට වැරැදුණාම නඩු දාන්න පුළුවන්. ඒත් ඇයි වරද්දන දේශපාලකයන්ට නඩු දාන්න බැරි? 

මොන නීති හදන්නාද තමුන්ට රිදෙන නීති හදන්නේ? අනෙක දැන් ඉන්නේ රටකට අවශ්‍ය ප්‍රතිපත්ති; නීති හදන්න තරම් බුද්ධිමත් අය නෙවෙයිනේ.... වැසිකිළි හදවන්න, දොරවල් හදවන්න, සූත්තර පාරවන්න හපන් උදවියනේ. එයාලා නීතිය නවන්නේ; නවවන්නේ නෙළුම් දඬු නවනවාටත් වඩා ලෙහෙසියෙන්ය කියලා පහුගිය දොහේ ඔයාලටම පෙනෙන්න ඇතිනේ!

අනෙක ඉතින් ඒ උත්තමයන්ට වරදක් කියන්නත් බැහැ. එයාලා අයිති වෙන්නෙත් සුවිශේෂී ගණයකටනේ. 

කිරි පොවලා පැටවු හදන; හැබැයි ඉගිල්ලෙන; ඒ මදිවට පොට්ට. වවුලෝ! වැම්පයර් වවුලෝ තමයි රීරි බිබී ජීවත් වෙන්නේ.ඉස්සර නම් මෙහෙ උන් හිටියාය කියලා වාර්තා වෙලා නැතත් දැන්.... එයාලා ඕසෙට, හැම තැනම. අපේ රීරි නොබී එයාලගෙ ජීවිතේ රැකගන්නවා බොරු. අඳින්නේ තනිකර සුදු. කෙළි ඔක්කොම කළු! ඉගිල්ලෙන්නේ posh වාහනවල. පුදුම තදියමකින්.

අඳින්නේ තනිකර සුදු.......
එහෙම තදියමේ බෝන් මැරෝ පටක පරීක්ෂාවක ප්‍රතිඵල නම් ගන්න බැහැ. දින කිහිපයක් යනවා. සාමාන්‍යයෙන් නම් සති දෙකක් විතර. මටයි කියලාවත් ඒක නම් වෙනස් වුණේ නැහැ.

මං කලිනුත් කිව්වා මගේ ජීවිතයේ ගොඩාරියක් දේවල් සිදු වෙලා තියෙන්නේ බටහිර සෝප් ඔපෙරාවක වගේ වේගයෙන්. තුන් හිතකවත් නොතිබුණු විදියට. මේ වතාවෙත් ඒක වුණේ එහෙමමයි. බෝන් මැරෝ ටෙස්ට් එක කරලා ගෙදර ඇවිත් මං නිදාගත්තා. 

අඩ නින්දෙන් මට ඇහැරුණේ ටෙලිෆෝන් එක බෑඟිරි දෙන්න ගත්තාම. ලයින් එකේ හිටියේ ඩොනල්ඩ්.

“කොහොමද නිමල් අයියේ?”

“හොඳින් ඉන්නවා ඩොනල්ඩ්. කවදද ආවේ?” මං ඇහුවා. ඩොනල්ඩ්ඩුත් නලින්, පීරිස්, ලාල්, පෝල්, ශිරන්ත එක්ක වෛද්‍ය විද්‍යාලයේ එක බැච් එකක හිටි අය. 

කාලයක් ශ්‍රියා නංගී; ඩොනල්ඩ්ගෙ බිරින්දෑ ජපුර හොස්පිටල් එකේ වැඩ කළා. එයත් වෛද්‍යවරියක්. ඒ සන්දියේ එයාලා හිටියේ අපේ ගෙදර උඩ තට්ටුව කුලියට අරන්. ගෙයක් හදා ගත්තාමයි මෙහෙන් ගියේ. ඊට පස්සේ එංගලන්තෙට ගියා ටික කාලයකට.
ඩොනල්ඩ් ශ්‍රියා හා වැඩුමල් පුතු පාෂ් සමඟ.....
“අයියේ, මගේ යාළුවෙක් පමුණුවෙන් ඉඩමක් ගන්න යනවා. එයාට දැනගන්න ඕනේ ඔය පැත්තේ පර්ච් එකක් දැන් කීයක් විතරද කියලා. රෆ් අයිඩියා එකක් හරි.... ”

“අනේ ඩොනල්ඩ්, ඔයා දන්නවනේ මගේ හැටි. මං ඔය වගේ දේවල මෙලෝ හසරක් දන්නේ නැහැනෙ. මං කියන්නං, ඔයා ප්‍රියන්තට කතා කරන්න..... ඔව්, ඔව්, නලින්ගේ අයියා. එයාට නම් ඔයාට හොඳ ඉන්ෆොමේෂන් එකක් දෙන්න පුළුවන්. එයාගේ ෆීල්ඩ් එකනේ.” එහෙම කියලා මං ප්‍රියන්තගේ මොබයිල් නොම්මරෙත් එයාට දුන්නා.

විනාඩි දහයකට විතර පස්සේ ආයෙමත් මට ඇඳෙන් නැඟිටින්න වුණා. ෆෝන් එක වැදෙනකොට. ඒ සැරෙත් ඩොනල්ඩ් කතා කරනවා.

“ඇයි නිමල් අයියේ ඔයාට අසනීප වෙච්ච බව ඉස්සෙල්ලා නොකිව්වේ? මට ප්‍රියන්ත අයියා සේරම කිව්වා. මම හෙට හරි අනිද්දා හරි ශ්‍රියාත් එක්කම එනවා ඔයාව බලන්න. ඒ ආවාම මට ඔයාගේ ළඟ තියෙන සේරම රිපොර්ට්ස් බලන්න ඕනේ. කරදරයක් නෙවෙයි නම් එව්වයේ ෆොටෝ කොපි ගහලා තියන්න. මං ආවාම කියන්නම්කො විස්තර.” ඩොනල්ඩ් කිව්වා!


කවුද හිතුවේ ..........
කවුද හිතුවේ ඒ කෝල් එක වෙනම පාරකට මාව ඇදගෙන යන බව? ඒ විතරක් නෙවෙයි, ඒ වෙද්දී මගෙම හේතුවකට වගේ ඩොක්ටර් අයස්මන්තටත් මාරුවක් ඇවිත්.

ජරමර ගොඩයි. හැබැයි මට නෙවෙයි. වෙන-වෙන අයට. ඒ වුණාට ඒ සේරම මට බලපෑවා! ඊළඟ කොටසින් එව්වා.... හොඳේ!  

4 comments:

  1. බෝන් මැරෝ ටෙස්ට් ගැන කතා මතක් වෙනකොටත් ඇඟ හිරි වැටෙනව ... මගේ කන්තෝරු යාළුවා ඕකට යන්න කලින් හෙන අවුලෙන් හිටියෙ .. ඔය ගැන විස්තර ඇහුව ... මං එක ඒතරම් අවුල් නැහැ හිරි වට්ටනවා අවුලක් නැහැ කියල හිත හදල ඇරිය ... ගිහින් ඇවිත් මට වඳුරු කුණු හරුපෙන් බැන්නෙ :)

    ReplyDelete
    Replies
    1. එක නං දරාගන්න හරි අමාරුයි කණ්ඩා.
      අපේක්ෂා එකේදී මට මොකක්ද මන්දා බෙහෙතක් එන්නත් කෙරුණා පල්ලෙහා වෙනම යුනිට් එකකදී. ඒකට පැයක් හමාරක් යනවා. එහෙම වෙලාවක මට එහා පැත්තේ ඇඳක හිටි අවුරුදු 20 ක විතර තරුණයෙකුගේ අත්, කකුල් සේරටම 20 වතාවකට වඩා එන්නත් කටු ගගහා නහරයක් අල්ලා ගන්න හැදුවා. ඒවා වේලිලා කියලයි කියවුනේ. හිතන්නකෝ අමාරුව කොහොමට ඇතිද කියලා.

      මගෙත් දකුණු අතෙන් ලේ ගන්න දෙන්නේ නැහැ මං. එකටත් අර සන්තාසිය වෙලා. කටුවලට නහර අහුවෙන්නේ නැතිද- නහරවල ලේ නැතිද මන්දා!

      Delete
  2. කියන්න වචන නැහ බෝන් මැරෝ ටෙස්ට් එක කරලා දවස් 2 අවිදින්න බැරුවගියා..කරුමේ කියන්නේ ටෙස්ට් එකේ අවශ්‍ය ප්‍ර්‍රමාණයට තොරතුරු නැහ කියලා ආයෙමත් කරන්න කිඋවා..අදික වේදනාවක් ව්දින්න උනා දවස් 7 ඔෆිස් යන්න බැබැරුව ගියා .ආයෙමත් ඒ දුක විදින්න වේලා

    ReplyDelete
    Replies
    1. අනේ! ඔයාට ඉක්මන් සුවය හා සහනය පතන්නම්!!

      Delete