නිවන් දකින් අම්මා........... |
පෙම්මා සුරතල් කියමින් දෙතනේ කිරි බොම්මා
වම්මා කඳුළැලි ඉස ඉස ඇවිදින් දැයි අම්මා
අම්මා අප නොදැක ඉතින් කෙලෙසක වෑවෙම්මා
සම්මා සම්බුදු වෙන දා නිවන් දකින් අම්මා
අවුරුදු හැට-හැත්තෑවකට ඉස්සරත් මහ රෑ මැද්දේ ඔහොම කවියක්
බරසාර හඬින්, අසන්නාගේ නෙතට කඳුළක් මෝදු කරවන තරම් ශෝකී ලයකින් යුතුව ගයනවා හෙම
අහලා තියෙනවද?
“ඔන්න වෙස්සන්තරේ කියෝනවා.... ඇයි, උඹ බය වුණාද?” මං
නින්දෙන් ඇහැරිලා පැදුරේ වාඩි වෙනවත් එක්කම අපේ ආච්චිත් ඔළුව උස්සලා මගෙන් ඇහුවා.
ආච්චිට තිබුණේ කුකුළු නින්දක්. මං ඒකේ අනෙක් පැත්තනෙ. නිදා ගත්තම කුම්භකර්ණයා
තමයි. ඒ නමත් මට නම් බාගෙට අර්ථාන්විතයි. මගේ ලග්නය ‘කුම්භ’නෙ!
“ඉතින් ආච්චියෙ පන්සිය පනස් ජාතකේ තියෙන්නේ කවියෙන් නෙවෙයිනේ.” මං ආච්චිගෙන්ම
ඉගෙනගෙන තිබුණු අවියකින් පහර දුන්නා. එතකොටත් ආච්චිම අපිට වෙස්සන්තර ජාතකය පණ
පිහිටෝලා, බාගෙට රඟපාලා කියා දීලා ගොඩ කල්. වෙස්සන්තර ජාතකය තමයිලු ජාතක පොතේ
අන්තිම එක.
වෙස්සන්තර ජාතක කාව්‍යය පුස්කොළ පොත.......... |
“හරි බං. ඒ ඒක. මේ මේක. වෙස්සන්තරේ කියන්නේ කවි පොතක්.
අපි පුංචි කාලේ හැම ගෙදරම වගේ බුද්ධ ගජ්ජය, සකස්කඩේ, ලෝ වැඩ සඟරාව, තුන්සරණේ වගේම
මේකත් තිබුණා. ඔය අර එගොඩහ ගොඩේ මළගෙදර මළ පොත කියෝනවා....” ආච්චිට එහෙම කියලා කට ගන්නට ලැබුණේ නැත.
“දැන් ආච්චි ඉස්සරලා කිව්වේ වෙස්සන්තර කවි පොත කියවනවා
කියලානේ. දැන් කියනවා කියවන්නේ මළ පොතලු...” එදත් මට ඔහොම එව්වා පට ගාලා මීටර්
වෙයි. මං එහෙම ඇහුවත් ආච්චී මට උත්තර දුන්නේ නැත.
“යකෝ මුගෙන් තියන මළ වදයක්. රෑ තිස්සේ
නිදි මරලා උඹ ඉස්කෝලේ යන්න නැඟිටින්නේ කීයටද? පස්සේ කියන්නං. දැන් නිදාගනින්, කට
වහගෙන.”
‘මළ පොත’ කියවනවා කිව්වාම ඒ කාලේ අදහස් වුණේ ‘වෙස්සන්තර
ජාතක කාව්‍යය’ කියෝන එකයි. එහෙම කියව්වේ හඬ නඟලා. අඬා වැලපිලා අඳෝනා නඟනවා වගෙයි,
ඇදලා..... මළ ගෙදරක පාළු කපන්න.
දැන් තරම් ගෙවල් නොතිබුණු ඒ සන්දියේ මහා
රාත්තිරියේ, එහෙම සද්දෙට කවි කියවද්දී සතෙක් පැත්ත පළාතේ ආවේ නෑ. මරණයක් වුණාම හත්
දොහේ දානෙ දෙනකල් ගෙදර දොර-ජනෙල් වහන්නෙත් නැහැනේ. ඒකට දැන්! ඉලව් ගෙදරත් මඟුල්
ගෙදරක් වගෙම තමා. ඛජ්ජ-භොජ්ජ නැතිනම් දුක තුනී වෙන්නේත් නැහැල්ලු!
යාළු-මිත්තරයො ඒ වගේ
තැන්වලට සම්ප්‍රාප්ත වෙන්නෙම ‘පිදේනි තටුව’ බලාගෙන.
පස්සේ කාලෙක නම් ‘තිබ්බත මළ පොත’ ගැනත් වංහුං වැඩියෙන්
එළියට ආවා. ඒක ආරස්සා වෙලා තිබ්බේ තිබ්බතයේ උසම උස කඳුකර ආරාමවල. ඔයාලටත් ඒක
කියවන්න පුළුවනි දැන් සිංහලෙන්ම. ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා ඒක ‘තිබ්බත මළ පොත’
නමින් සිංහලටත් පරිවර්තනය කරලා තිබෙනවා.
මාලිනී බුලත්සිංහල, දෙල්තොට චන්ද්‍රපාල සහ එච්.එම. ජයවර්ධන..... |
“මළ පොතේ අකුරු බෑ කී මිනිහා - ඉංගිරීසි පත්තරයක් මුල
ඉඳලා අගට බලනවා
අග ඉඳලා මුලට බලනවා - කොහෙන් ඉගෙන ගත්තද මංදා’
විශාරද මාලිනි බුලත්සිංහල සිංහල හඬින් ගැයුවා. එතැනදී මළ
පොත කියලා කියන්න ඇත්තේ ‘වෙස්සන්තර ජාතක කාව්‍යයට’ වෙන්නැති.
හරියටම ගීත රචකයාගේ
අදහස දැනගන්න නම් ගීතයේ රචකයාව හොයාගන්න වෙනවා. ඒක කොහේ හොයන්නද. දෙපැයක් තිස්සේ අන්තර්ජාලයේ කරක්
ගහලාත් හොයාගන්න බැරිවුණු කොට. වැඩි තැනක තියෙන්නේ රචකයා unknown කියලයි. බලන්න
ඕනේ පොත්, පත්තර කෑලි එහෙම අවුස්සලා.
ම්හු! පොතකත් නැහැනේ. ඊළඟට බලන්න වෙන්නේ පත්තර කෑලි.
නරක නෑ.
පැය දෙකක් විතර, දූවිලි කකා අවුස්සලා හොයාගත්තා. දෙල්තොට චන්ද්‍රපාල මහත්තයා තමා
‘මළ පොතේ අකුරු’ ගීය ලියලා තියෙන්නේ. ඒ විස්තරේ 2006 ඔක්තෝබර් 15 ඉරිදා
‘රිවිසරසි’ අතිරේකයේ 16 පිටුවෙයි තිබුණේ. සංගීතය එච්.එම්. ජයවර්ධනගේ.
අමිතා දළුගමට ‘පින්න මල් පිපී’, සනත් නන්දසිරිට ‘රත්ති
අරන් උදැනැක්කේ’ වගේ ජනප්‍රිය, හොඳ ගීත ගණනාවක්මත් දෙල්තොට මහත්තය ලියා
තිබෙනවා.
මං ඒ ගීතය මෙතනට ගත්තේ දසනායක රත්නවතීව කැන්දන් එන්නයි.
ඔයාලට මගේ පෝස්ටු ගොඩාරියකින් එයාව හමුවෙලා තියෙනවා. ඒ අපේ ආච්චී; තාත්තගේ අම්මා.
එයාට නම් මළපොතේ අකුරු පුළුවන්. හැබැයි ඉංගිරිස් බැහැ.
1973 දී අපේ තාත්තා සහ 1983 දී සීයා, ආච්චී, සුනිල්, මල්ලිකා..... |
පාන්දරින් පැරදුණු ඒ මිනිහා - හැන්දෑවෙත් අසු පිටට නඟී’
ඒක ගයන්නෙත් විශාරද ගායකයෙක්; සුනිල් එදිරිසිංහ. ඒ ගීතය
නම් ප්‍රේමකීර්ති ද අල්විස්ගේ පබැඳුමක්.
ඩී.එච්.චාර්ල්ස්; අපේ සීයාත්, ඔහුගේ එකම පුත්තර රත්නය වූ
දිසානායක හේවගේ ගුණපාලත් සුනිලුන්ගේ ගීතයේ කියැවුණු වංශයේ මිනිසුන්ය. මිනිසුන්ය
කියද්දී අදහස් වන්නේ පිරිමින් විතරක් නොවෙයි නම්, ඒ ගොඩට ඩී. රත්නවතීවත් දාන්නට පුළුවන්ය.
එහෙම පුළුවන් වන්නේ ඒ තුන් දෙනාම; අම්මයි තාත්තයි පුතයි තුන් දෙනාම රේස් සූදුවට
ඇබ්බැහිවී හිටි නිසාය.
කාගෙන් කාට බෝ වුණාදැයි කියලා නම් මා දන්නේ නැත. අප
බදුල්ලේ ඉන්නා කාලයේ නම් තාත්තා බූරු කප්පිත්තෙක්වී උන් හැටිත්, මාව ලැබෙන්නට
අම්මාව රෝහලට ඇතුළු කරද්දීත් තාත්තා බූරු පිටියක රජවී උන් හැටිත් නම් අප්‍රේල්
මාසයේ ‘නොදෙන්න හිටි රන් පදක්කම’ පෝස්ටුවෙදී ලිව්වෙමි.
මහරගමට සංක්‍රමණය වුණු පසුව
බූරු පිටි හොයාගෙන යන්නට ඔහුට ඉඩ ලැබුණේ නැත්තේ අසනීපය නිසාය. ඒ හිලව්වට තාත්තාත්
රේස් දාන්නට පටන් ගත්තා විය යුතුය.
යුරෝපයේ එදා හවස පැවැත්වෙන............. |
තරගය, එයට සහභාගී වන අශ්වයන්, උන් පදවන ජොකියන්, ඔවුන් උසුලාගෙන යන බර වැනි ගොඩාක් විස්තර එහි සටහන්ව තිබුණි.
“ඔන්න තාත්තේ අද ඩාර්බිෂයර්
කප් එක.....අද කෙන්ටකි රේස් එක.... අද පිගොට් තමා කප් එක ගන්නේ...” වැනි අනාවැකි
තාත්තා අපේ ගෙදරම සිට හයියෙන් කියයි. ඒ සීයාට වක්‍රව කෙරෙන ආරාධනයයි. සද්දෙන් කතා
නැති සීයා ගෙදර හිටන්ම උත්තර නොදී, එයාගේ රේස් කොළයත් උස්සාගෙන අපේ ගෙදරට එයි. ඒක
හරිම ලෙහෙසිය. ඒ අපේ ගෙවල් දෙකම එකම මිදුලේ තිබුණු නිසාය.
එතකොටත් තාත්තා ඔහුගේ ‘මහාර්ඝ ලේකම් මිටිය’ ලැස්ති කරගෙන
ඉවරය. කාශ්‍යප බුදුන්ගේ කාලයේ හිට අච්චු ගහන්නට ඇතැයි කියතෑකි තරමේ රේස් කොළ
එකතුවක් තාත්තා පරෙස්සමින් තියාගෙන හිටියේය.
ඔන්න, දෙන්නා එක්කම නොකා-නොබී ඒ කොළ මිටියෙන් පරණ
පැටිකිරි හොයන්නට පටන් ගනිති. ආච්චී side සපෝර්ට් එක දෙන්නීය. ඒ රේස් කොළ පෙරළන්නට
නොවේ. පෙරළන අයට තේ හදාගෙන ඒමෙනි. “ඒයි, ඔහෙට තේ එක බොන්න අමතක වෙයි. ඕක නිවෙන්න
ඉසෙල්ලා බීලා හිටිය නම්. ඉඳා ගුණේ, මං උඹටත් තේ එකක් ගෙනාවා.” ඒ රූටින් එක හැමදාම
වුණේ එහෙමය.
හදාගෙන ආවා කිව්වාට වඩා ගැළපෙන්නේ වක්කරගෙන ආවා කියන
එකය. අපේ ගෙවල් දෙකේම වැඩිම වෙලාවකට තේ බිව්වේ අල්ලේ කකාය. බෙලෙක් කෝප්පයට දැමූ තේ
කහටත් එක්ක සීනි ඇට ටිකක් අල්ලට වැටෙයි. දිවගින් සීනි ඇට දෙක තුනක් තවරාගෙන විකා,
තේ උගුරක්.....
ඒකට කුඩු වැනි සීනි පිරිමැහෙන්නේ නැති නිසා ඒ දිනවල හොඳටම සිහින්
කැට සහිත සීනි විකිණුණේත් නැත. අපේ මණ්ඩියේ එව්වා විකුණන්නට තිබ්බෙත් නැත.
දැන් නම් තේ වර්ග................ |
තේ, පිරමිඩ ඉදිවෙන්නටත් පෙර සිටම පාවිච්චි කර තිබෙතැයි දැන් හෙළිවී ඇත. ලෝකයට තේ පානය හොයා දීම වෙනුවෙන් අප චීනයට ණයගැතිය.
ඉතිහාස කතාවලට අනුව තේ හොයාගෙන තිබෙන්නේත් අහම්බෙනි. ඒ
චීන ශාඛ විශේෂඥයෙකු විසිනියි තැනෙක කියයි. අධිරාජයෙකු විසිනියි තව තැනෙක ඇත. හැබැයි
මේ දෙන්නාම එක්කෙනෙක් විය යුතුය. දෙතැනම තිබෙන නම එකම නිසාය මං ඒ නිගමනයට එන්නේ.
Shen Nung!
ක්‍රිස්තු පූර්ව 2737ට කලින් සමයෙක ෂෙන් නුන් උන්නැහේ
දුර ගමනක් ගිහින් විඩා නිවන්නට ගහක් යට වාඩිවී හිටියේලු. සුළඟට අර ගහෙන් ගිලිහී,
පහතට වැටුණු කොළ කිහිපයක් ඔහු බොන්නට ගත් උණුවතුර භාජනයට වැටී තියෙන්නේ එවිටය.
කොළ
ටික තැම්බෙමින් ප්‍රනීත සුවඳක් වහනය වෙන්නට පටන් ගත්තාම ෂෙන් උන්නැහේට උන්හිටි
තැන් අමතක වෙලා ගිහින්ය.
ෂෙන් නුන් දුර ගමනක් ගිහින්............ |
බීලා බැලුවාම ටොපේ topය. මුලින්ම ලොකු අය අතරට... ඊළඟට
තරමක් පෝසතුන්ට... ඔහොම ඔහොම ගිහින් ක්‍රි.වර්ෂ 1700දී විතර තේ පානය චීනයෙන්
යුරෝපයටත් ඇබ්බැහි වුණේය.
රටින් රටට ගිහින් මෙහාටත් ආ තේ බිබී අපේ තාත්තාත්, එයාගේ
තාත්තාත් අස්සයොන්ගේ ඉතිහාසය කාල් ගාමින් ‘එදා දිනයි කියා හිතෙන’ අස්සයන් තේරූහ.
‘හෙට මම නිවසට සුර සැප දෙනවා - අද රෑ ලුනුමිරිසෙන් ගත
වෙනවා
කාසි මල්ල සතෙකුගෙ පිට යනවා - දූ දරුවන් පැදුරේ
නිදියනවා’
අස්සයා ගැලොප් එකේ යන හැටි අපට ගීතයේ අතුරු වාද්‍ය ඛණ්ඩ
අතරේ ඇහෙයි. රේස් දමන්නා නම් යන්නට ඇත්තේ හිටි පිම්මේය. මට හිතෙන්නේ අපේ රටේ ඔට්ටු
අල්ලන්නන්ට තිබුණු රුදාව රේස් අශ්වයන් එළවූ මිනිසුන්ටවත්, උන්ගේ අයිතිකාරයන්ටවත්
නොතිබෙන්නට ඇත.
ඒ කාලයේ සිරි ලංකාවේ නම් රේස් අශ්වයන් අයිති අය හිටියේ
නැත. මට ඇසී තිබෙන කටකතාවකට අනුව නම් 80 ගණන්වලදී ලංකාවේ උන් ලොකුම පොහොසතෙකු වුණු
උපාලි විජේවර්ධන මහත්තයාත් රේස් අශ්වයන්ගේ හිමිකාරයෙක් වුණේලු.
මක් වුණාදැයි නොදන්නා කෝටිපතියා උපාලි............ |
ඉතින් උයා-පිහා ඉවර වුණාම විතර ආච්චී සීන් එකට එන්ටර්
වෙයි.
එතකොට එක රේස් කොළයකට හෝ නිවනක් ලැබී තිබේ. ඔන්න ඒ වෙලාවේ ඉංගිරීසි නොදන්නා
ආච්චී යස රඟේට රේස් කොළයේ ඉංගිරිසි අකුරු ඇහිඳින්නට පටන් ගනියි.
කොච්චර දත කාගෙන තේරුවත්, අපේ දැනුමැත්තන් තුන් දෙනාටම
එකම දවසක නම් දිනුමක් නොලැබෙන බව මම සහසුද්දෙන්ම දැනගෙන සිටියෙමි. ඒ දිවියඥ්ඥානය
තිබිලා හෙම නොවේ.
තුන්දෙනාම හැමදාම වාගේ විශ්වාසය තිබ්බේ වෙන-වෙන අස්සයන් කෙරෙහිය.
“මේකා හොඳයි. රැජිනිගේ අශ්වයා. අද මූ වින් කරනවා කරනවාමයි.” කියලා අනෙකෙකු කැට තියා කිව්වත් එයාලා
තේරුවේ තම-තමන්ට ඕනෑ එවුන් විතරය.
රැජිනිගේ අශ්වයා, මේකා හොඳයි....... |
ආච්චීගේ සිලෙක්ෂන් එයාම ලියාගත්තත්, අන්තිමට පැහැදිලි අකුරෙන් තුණ්ඩුව ලියා දෙන්නේ අපේ තාත්තාය. ඒ වෙලාවට හරිම ලස්සන කතා ඇහෙයි. “මොකද්ද අම්මේ මේ හිඟන වැඩේ? ඔහොම ඉච්චිකමට තුට්ටු දෙකක් දාලා කවදා දිනන්නද? එක්කෝ නොදා ඉන්න. නැත්තං කීයක් හරි සෑහෙන ගානක් දාන්න.”
එහෙනං අපිත් දැනට මේක නවත්තලා, තේ එකක් කාරිය බීලා ඊළඟ
කොටස කියවමු, නේද?
අස්සයෝ කර තියාගෙන යන මිනිස්සු එමට ලංකාවෙ ටවුන් වල දැකල තිබ්බත් එක පාරක් ආසාවටවත් ඔය වැඩේ කරල නැහැනෙ. දැනට ලෝකෙ තියන විශාලම තෑගි මුදලක් දෙන (USD මිලියනයක්) අශ්ව රේස් එකක් තමයි Dubai World Cup. ඒකේ ප්‍රධාන තරඟයට එන්න කලින් තරඟ ජහමනයාට නරඹන්න සහ නොමිලේ ඔට්ටු අල්ලන්නත් අවස්ථාව ලැබෙනව. ඒ අස්ස රේස් නම් සැරයක් දෙසැරයක් මේදාන් - Meydan රේස් කෝස් එකේ බලල තියනව. ප්‍රධාන තරඟ තියෙන දවසට බවලත් උදවියගෙ ඇඳුම් පැළඳුම් වල උජාරුව බලන්න එපායැ.
ReplyDeleteමට දැනුණු විදිහට නම් රේස් අන්තුවෝ, බූරු කප්පිත්තෝ වැඩියම ඉන්නේ අපේ රටවල්වල. බේබද්දොත්.
Deleteයුරෝපා රටවල වැඩි දෙනා ඒවා කරන්නේ enjoy කරමින්.
ඔයා කියනවා වගේ කණ්ඩො ඒ රටවල ගෑනුන්ගේ fashion පෙන්වන එක වෙලාවක් තමයි රේස් පිටිය.