අකුරු මැකී නෑ

Thursday, November 15, 2018

වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - එකොළොස්වෙනි කොටස

“ආ ඒකයි මේ ඩොක්ටර්ස්ලයි යාළුවොයි නිමල්ට මෙච්චර කරුණාව.” ඩොක්ටර් රොහාන් අත්පොඩියකුත් ගහලා හිනා වුණා! “So, next week we’ll meet again!” අන්තිමට ඩොක්ටර් රොහාන් එහෙම කියලා තව චූට්ටකුත් එතුමගෙ කතාවට එකතු කළා.

“හැබැයි මිස්ටර් නිමල්, ට්‍රීට්මන්ට්ස් පටන් ගන්න කලින් ඔයාට මෙන්න මේ ෆෝම් එක ෆිල් කරලා, අත්සන් කරල දෙන්න වෙනවා! අද ඉන්න මිනිස්සු බලාගෙන ඉන්නේ අපෙන්ම බෙහෙත් අරන්, අපටම නඩු දාලා, සල්ලිත් කඩා ගන්නනේ පුළුවන් නම්. ප්ලීස්, මාව මිස්අන්ඩර්ස්ටෑන්ඩ් කරන්න එපා. මගේ නිදහසටත් සාක්කි තියෙන්න ඕනෙනේ. මේ ෆෝම් එකේ තියෙන්නේ මං ඔයාට කරන ට්‍රීට්මන්ට්ස් මොනවද කියන එකයි, ඔයා ඒකට එකඟ වෙනවා කියන එකයි.”

රොහාන් පුල්ලෙපෙරුම දොස්තර මහත්තයාගේ කතාවෙන් මම නම් තවත් ඔහු ගැන පැහැදුණෙමි. විය යුත්තේත් මෙයම නොවේද?

සැවොම සතුටු කිරීම අප‍ට හැකි දෙයක්...............
ජාතියක් වශයෙන්ම අප තවමත් අඳුරේ ඉන්නේ අන්ධ විශ්වාසයන් කර පින්නාගෙනය. 

අපි උදේ හවස පන්සිල් ගන්නෙමු; බණ-පිරිත් ශ්‍රවණය කරන්නෙමු. එහෙත් ඒවායේ සැබෑ අරුත දන්නේ කීයෙන් කී දෙනෙක්ද? ඒ නිසාම අපේ හදවතේ ඒවා ගැන හැඟීමක් නැත. ගිරව් මෙන් යළි පුනරුච්ඡාරණය කරනවා මිස!

අපට සියලු දෙනාම සතුටු කළ නොහැකිය. එහෙත් සියලු දෙනා සමඟම සතුටෙන් සිටීමට හැකිය! එහෙම වෙනවා නම් ලෝකය මෙයටත් වඩා සොඳුරු වෙනවා නිසැකය.

ඉතින් හොඳටම සිත පැහැදී, දැඩි ඕනෑකමකින් ප්‍රතිකාර ගන්නටය, මගේ සූදානම. 

“අයියේ, රොහාන් කිව්වා මේ සිකුරාදාම හම්බන්තොට එන්න කියලා. එයාගේ ක්ලිනික් එක තියෙන්නේ සිකුරාදාට. ඒක අපිටත් ලේසියි. අයියා තව කවුරු හරි එක්ක මහරගමින් හයිවේ බස් එකේ මාතරට ඇවිත්, තිස්ස බස් එකක එහාට එන්න. අයියලා හම්බන්තොටට එනකොට මට පුළුවන් අසංග අතේ හරි නසාර් අතේ හරි වාහනේ එවලා තියන්න, කෝල් එකක් දුන්න ගමන්. එදා හවස මාත් ගෙදර එන නිසා නිමල් අයියලාට මගෙත් එක්කම ආපහු එන්න පුළුවන්!” 

අයස්මන්ත දොස්තර මහත්තයා ඒක කිව්වේ ඉඟි මරමින්, පුපුරන්නට කිට්ටු හිනාවක් මුවේ හිර කරගෙනය. නෙවිල් දිහා බලමින්ය!

නෙවිල් දෙවරක් නොහිතාම තොප්පිය හිසේ දමා ගත්තේය. “ඉතින් උඹ මොකටද මගේ දිහා බලන්නේ.... මේකා කවුරු හරි එක්ක එන්නේ නැතැයි!”

මහ වරුසාවට පසුව නැඟෙන සඳ වෙනදාටත් වැඩියෙන්..........
“එහෙමම කරන්න එපා මචං. පව්! අසරණයනේ. අපිට පොඩි සොමියකුත් අරන් හීන් සීරුවේ ගෙදර එතහැකිනේ බං.” 

ඒ යෝජනාව නම් සභා සම්මත වුණේ කිසිදු විරෝධතාවයකින් තොරවය. පීරිස් ඊළඟට තවත් ටිකක් ඔහුගේ කතාවට එකතු කර නෙවිල්ව ඇවිස්සුවේය. “නසාර්ට දෙන ගානකුත් උඹ හිංදා මට ඉතිරි වෙනවනේ මචං.”

කියෙව්වේ කොතනදීද කියා මතකයේ නැතත් මගේ හිතේ නොමැකී තිබෙන යෙදුමකි ‘ප්‍රණය කලහ’. ඒ කියන්නේ හිතවත්කමට ඇති කර ගන්නා දබරය. එවැනි කලහයන් සොඳුරුය. විශේෂයෙන් අඹු-සැමියන් අතර ඇති වන එවැනි දබරවලින් පසුව ඔවුනගේ සෙනෙහස තවත් දැඩි වෙන්නේලු!

‘මහා වරුසාවට පසුව නැඟෙන සඳ - වෙනදාටත් වැඩියෙන් එළියයි
නෝක්කාඩුවට  පසුව ඔබේ වත - ඒ එළියට වැඩියෙන් එළියයි” කියා ගයන්නේ ගායක සෝමතිලක ජයමහයි. 

ප්‍රවීන ගීත රචක සුනිල් සරත් පෙරේරා මහත්තයා  මේ සොඳුරු පදවැල් ගොතන්නට ඇත්තෙත් ප්‍රණය කලහයකින් පස්සෙවත්ද? 

සෝමතිලක ජයමහ, සුනිල් සරත් පෙරේරා.........
එහෙම ප්‍රණය කලහ අප අතරේ එමටය. ඒකකින් අනතුරුව, මගේ හම්බන්තොට ගමන එක විදියක සංචාරයකුත් බවට පත් වුණේ ඔන්න ඔහොමය.

මෙතනදී සුමිතුරු ප්‍රියන්ත ගැන විශේෂයෙන් කිව යුතුය. නෙවිල් සේවය කරන්නේ ප්‍රියන්තගේ ‘වල් කන්ස්ට්‍රුක්ෂන්ස්’ ආයතනයේය. වල් කියලා  කිව්වාට ඒක W.A.L. Constructions ය. දැන් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කවුරුනුත් ඒ සමාගම දන්නේ ‘වල්’ නමෙන්ය. එයාලට හදිස්සි වැඩ ගොඩ ගැහිලාය. 

කොච්චර හදිසි වැඩ ගොඩ ගැහිලා තිබුණත් මාත් එක්ක හම්බන්තොට යන්නට නෙවිල්ට නිවාඩු අනුමත වෙයි; අහන පමාව විතරය. මේ අවුරුදු හතරටම නෙවිල් ඒ ගමන නොයැවුණේ හතර-පස් වතාවක් පමණය. ඒවාත් කරන්නම ඕනෑ වැඩ තිබුණු නිසා, බොසාගෙන් අහන්නෙත් නැතිවම-නෙවිල් නිවාඩු නොගත් දවස්ය.

ඒ අඩුව පුරවන්නට එක සැරයක් ප්‍රියන්තම ඔහුගේ වාහනයෙන්, මාව එක්කං ගියේ සේරම වැඩ පසෙකින් තියලාය. මර්වින් එක වතාවකුත්, අපේ බඩා මල්ලා තෙවතාවකුත් ඒ අඩුව පිරවූහ.

මෙච්චර විස්තර කියන්නේ ‘නයෙක් එළවන්නට’ හෙම නොවේ. තිස්සෙම ‘ඔයාලට ස්තුතියි’ කියන පුරුද්දක් මට නැත. 

එහෙත් මා ඔවුන් අගය කරන බව කිවයුතු තැනදී කියන්නටත් පසුබට නොවන්නෙමි. තවමත් අපි ‘විවේචනය රාත්තලකට වඩා ප්‍රශංසාව අවුන්සයක් වටී’ කියන යෙදුම අදහන්නට පුරුදුවී නැත!

රාමායණයේ, දේවධර්ම ජාතකයේ වගේම තවත් නොයෙක් තැන්වලත් රජවරුන් තම ප්‍රියම්බිකාවන්ට ලබා දුන් ‘වර’ ගැන කියැවෙයි. 

ආත්මාර්ථකාමී ඒ බිසෝවරුන් ඒ වරප්‍රසාදය ‘පස්සේ ලබා ගන්නට’ ගිහින් මැවූ අලකලංචි වගේ දේවල්, මෙගා නාට්ටි බලන අයට නම් අමුතු නැත. මටත් එහෙම වරදාන දෙක තුනක්ම ලැබී තිබෙයි. හැබැයි තවමත් ඒවා ‘ප්‍රයෝජනයට ගන්නට අවස්ථාවක්’ උදා වුණේ නැත.

හක්ස්ලි, ප්‍රභාත්, නදී, මංජු හතර දෙනාත්............
හක්ස්ලි, ප්‍රභාත්, නදී, මංජු ....  ඒ හතර දෙනාම දැනට ‘විවෘත වරදාන’ මට ප්‍රදානය කර තිබෙයි! “හදිසියේ හරි නිමල් අයියට හම්බන්තොට යන්න කෙනෙක් නැතිනම් මං එනවා! නොකියා ඉන්න එපා!” ඔවුන් කියා තිබෙන්නේ ගොඩ කලක හිටන්ය. ඒ මගේ ආරස්සාවට, එයාලගෙ වාහනවලින්, එයාලගෙ වියදමෙන්ය! කොහොමද නිදිගෙ ලැබීම?

සමහර දේවල් බැලූ බැල්මට පෙනෙන්නේ ගණන් නොගත යුතු තරමේ හින්නිකිතර දේවල් විදියටය. ඒවායේ බැරෑරුම්කම අපට වැටහෙන්නේ කවුරුන් හරි ඒක පෙන්වා දුන්නාමය. එතෙක් හිතලාවත් නොතිබුණු කුඩා- නමුත් ඉතා වැදගත් කාරණයකුත් ඉලිප්පී, ඉස්මත්තට ආවේ අහම්බෙනි.

“දැන් මිස්ටර් නිමල්ට මං ලියලා දෙනවා ටෙස්ට් ටිකක්. ක්ලිනික් එන දවසේ උදෙන් ඇවිත් ලේ සාම්පල්ස් දෙන්න. ඒවායේ රිපොර්ට්ස් එන්න නම් ටිකක් වෙලා යයි. What to do? ඒ අමාරුව විඳගෙන අපි වැඩේ කරමු!” රොහාන් මහත්තයා යෝජනා කළේය. 

දන්නවානේ මට තියෙන කඩි කුලප්පුව. පොරොත්තු වීම මට අරහංය. එතනදීත් ඒක ඉස්මත්තට ආවේය.


එදා උදෙන්ම ඇවිත් ලේ දුන්නම ..........
“එක්ස්කියුස් මී ඩොක්ටර්. මං කලින් දවසේ මහරගමින් ඒ ටෙස්ට් ටික කරවාගෙන එන්නම්. එතකොට ලේසියිනෙ.” මං ඒක කිව්වාම නම් රොහාන් මහත්තයාගේ මුහුණ හොඳ වුණේ නැත. “මිස්ටර් නිමල් එහෙමද කළේ මහරගමදී?”
“ඔව් ඩොක්ටර්!”
“මාත් එක්ක එව්වා බැහැ. කලින් දවසේ උදේ ඔයා ටෙස්ට් එක කරලා රිපෝර්ට්ස් ගත්තාම එව්වයේ තියෙන්නේ කලින් දවසේ උදේ ඔයාගේ තත්වේ. ඊට පැය විසිහතරකටත් පස්සේ කොච්චර දේවල් වෙනස් වෙන්න පුළුවන්ද? අපි බෙහෙත් දෙන්න ඕනේ එවෙලේ තියෙන තත්වය බලලා නේද?” 
ඉතින් රොහාන් පුල්ලෙපෙරුම දොස්තර මහත්තයා කොපමණ සැලකිලිමත්දැයි වටහා ගන්නට වෙනින් උදාහරණ ඕනෑද?

“ඕක මොකක්ද? මේ එක ස්ට්‍රෝ එකක් විතරනේ.” සිසිල් බීමක් පානය කරන කෙනෙක් කිසිම වග-විභාගයක් නැතිව කියයි. බීම බටය විසි කරලාත් දමයි. ඒත් එහෙම එකේ ඒවා එකතුවෙන විට නම් දවසකදී අප පරිසරයට එකතු කරන බීම බට ගණන හිතාගත හැකිද? 

ඇමෙරිකාවේ පමණක් දිනයකදී ප්ලාස්ටික් බීම බට මිලියන 500 ක් පාවිච්චි කොට ඉවත දමනවාලු! පෙනෙන්නේ නැති තරම් පුංචි කාරණාවකි; රොහාන් මහත්තයා පෙන්නා දුන්නෙත් එහෙම පුංචි; එහෙත් සැලකිල්ලට ගත යුතුම දෙයකි.

එකින් එක එකතුවෙද්දී ඒක චුට්ටක් නොවේ! හිමාලයකි!!
අපේ වෙලාව ගතවෙන බව හැබෑය. එහෙත් අපි දැන් blood reports ටික ලැබෙන තුරු ඉවසාගෙන ඉන්නෙමු. 

අයස්මන්ත මහත්තයා එක්ක, එකම ස්ටාෆ් එකේ, එකට වැඩ කරනකමට සලකලාවත් දොස්තර මහත්තයා වාර්තා ටික ලැබෙනතුරු නම් අපට බෙහෙත් නියම කරන්නේ නැත! එතෙක්-මෙතෙක් රිපොර්ට්ස් නැතිව අප එකම වතාවක්වත් රොහාන් මහත්තයා හමුවට ගිහිනුත් නැත. විය යුත්තේ ඒකය!! කළ යුත්තේ එහෙමය!!!

ලේ පරීක්ෂණ සඳහා රුධිරය ලබාදීමට සැරසෙද්දී තවත් කාරණයක් හෙළිදරව් විණි. 

මගේ දකුණතේ නහරවැල් වේළිලා ගිහින්ද කොහෙදය. එන්නත් කටුව හතර-පස් පොළකට ඇනලාත් ලේ ගන්නට බැරි වෙයි. ඒ නිසාම දැන් මා ලේ සාම්පල් ගන්නට කියන්නේ වමතෙන්ය. කොහොමත් වම රතු පාටටම තියෙන්නේත් ඒ නිසාම; ලේ වැඩි නිසාම විය යුතුය.

මේ වතාවේ මට දිගටම කීමෝතෙරපි ප්‍රතිකාර ලබාදුන්නේ මුඛ මාර්ගයෙනි. ගිලින බෙහෙත් වශයෙනි. “ඔන්න මිස්ටර් නිමල්, දැන් තමයි මං කියාපු විදියට සයිඩ් ඉෆෙක්ට්ස් එන්න ඉඩ තියෙන්නේ.” රොහාන් මහත්තයා කීවා හරියටම හරිය.

වම කොහොමත් රතුයිනෙ.........
මා බෙහෙත් ගත යුත්තේ දින 28 චක්‍රයකට අනුවය. ඒ කියන්නේ සති හතරකි. 

1,2,3,4 හා 15,16,17,18 දිනවලදී උදේට ‘ඩෙක්සා’ පෙති හතළිහ බැගින් ගත යුතුය. ඊට අමතරව ‘ලෙනිඩ් පෙත්තක්’, ඔම්ප්‍රෙසෝල් දෙකක්, ඩොම්පෙරිඩන් එකක්, මෙට්ෆොමින්, ටොල්බියුටමයිඩ්, ඇස්ප්‍රින්..... ඔය මට මතක ලැයිස්තුවය. උඩින් කියූ දින අටේදී විතරය ‘ඩෙක්සා’ ගන්නට තිබුණේ. ඒ පෙති හතළිහත් අනෙක් පෙතිත් ගත්තාම බඩත් බාගෙට පිරිලා ඉවරය.

මට තියෙන්නේ උෂ්ණාධික සිරුරකි. අම්මාගෙන් ආ උරුමයක් වාගෙය. මේ තරම් බෙහෙත් කන්දක් ගිල දැමුවාට පසු, මට දැනුණේ ‘යමා මහ පෙළහර’ පාන්නට සැරසෙනවා මෙන්ය.

අපේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ යමක මහා ප්‍රාතිහාර්යය පෑවේ කිඹුල්වත් නුවරවාසී වැඩිමහල් නෑයන්ගේ මානය මඬින්නටය.  බුද්ධත්වයෙන් පස්සේ උන්වහන්සේ පළමු වතාවට ජාත භූමියට වඩින වෙලේ, උද්ධච්ඡ ශාක්‍ය වංශේ නෑදෑයෝ කුමන්ත්‍රණයකයි හිටියේ. 

“බුදු වුණාය කියලා අපි මොකටද එයාට වඳින්නේ? එයා අපට වඩා බාලයිනෙ. අපි පොඩි එවුන් ටික ලවා විතරක් බුදුන් වන්දවමු!” එයාලා තීරණය කළා. 

නාකිවෙන්න වෙන්න තකතිරුකමත් ආරනවාද මන්දා? මං කිව්වේ මගේ. හොඳේ! (බ්ලොග් එක කියවන වැඩිහිටි පාඨක ප්‍රජාව තරහ කරගන්නේ මක්කෙයි 'කට පට්ට ඇදලා'. 

කිඹුල්වත් නුවරට වැඩිය බුදු සාදු යමක මහා ප්‍රාතිහාර්යය පාද්දී අර වැඩිමහල් ශාක්‍යයන්ට නොවැඳ ඉන්න බැරිව ගියා!

ලක්දිව මහියංණයේදීත් බුදුහිමි ප්‍රාතිහාර්ය පෑවාලු, යකුන් දමනය කරන්නට.....
යමා මහ පෙළහර පාන වෙලාවට පෙනෙන්නේ එකම සැරේ, බුද්ධ ශරීරයෙන් ගිනි දලුත්- දිය දහරාවනුත් විහිදෙන ආකාරයලු! 

මටත් දැනුණේ ඒ වගෙයි. මුළු ඇඟෙන්ම ගිනි පිටවෙනවා. ඒ මදිවට දහදිය දමනවාත් එක්ක. ඒ දවස්වල මං දවසට තුන්-හතර පාර නෑවා, ටිකක් හරි සහනයක් ලබාගන්න. දිගටම කොළ කැඳ බිව්වා. වැටකොළු, පතෝල වගේ දිය එළවලුයි- කැකිරි, පිපිඤ්ඤා වගේ විස නසන එළවලුයි යහමින් කෑමට එකතු කර ගත්තා.

“ඔයාට හොඳයි පුළුවන් තරම් ලික්විඩ් ජාති බොන එක. එතකොට ඇඟේ තියෙන විස ගතිය අඩු වෙනවා, යූරීන් එක්ක.” මහරගම අපේක්ෂා රෝහලේදී මට උපදෙස් දී තිබුණේ එහෙමය. ප්‍රායෝගිකව බලද්දී ඒක ඇත්තක් බවත් පෙනුණේය. පොඩ්ඩක් අමාරුවකට තිබුණේ එහෙම දියර වර්ග බොන තරමට ‘සුළු දිය පහ කරන්නට’ ඕනෑ වීමය.

වාසනාව කියන්නේ, ටිකෙන්-ටික මං ඒ විපත්තියට මුහුණ දෙන්න හැඩ ගැහුණු එකයි. Get used! ඒත් එකක් ඉවර වෙද්දී තවත් එකක් එන ගතියකුත් සංසාරේ තියෙනවානේ. ඒ වගේම එක අතුරු අබාධයකට සිරුර හැඩ ගැහීගෙන එනකොටම, මෙන්න බොලේ තව මරාලයක්.

උගුර බැරැන්ඩිය!
දයාබර රසිකයන්ට ලෙඩ ගොඩක් එක සැරේ කියලා ලෙඩ දාන්නේ නැතිව.....
ලෙඩ ගොඩක් එක සැරේම කියලා, ඔයාලටත් සසර කලකිරවන්නේ මොකටද? ඊළඟ දවසට ඒ විස්තර කල් දමන්නම්!

2 comments:

  1. // මහා වරුසාවට පසුව නැඟෙන සඳ - වෙනදාටත් වැඩියෙන් එළියයි

    නෝක්කාඩුවට පසුව ඔබේ වත - ඒ එළියට වැඩියෙන් එළියයි” කියා ගයන්නේ ගායක සෝමතිලක ජයමහයි //

    මම කැමතිම ගායකයෙක් සහ හොඳ මහත්මයෙක්. ඉස්සර අපි හෝමාගම ස්කූල් බස් එකේ ඉනකොට සෝමතිලක මහත්මය බස් එකට නගින්න ඉන්නව සමහර දවසට ... A/L කරන කාලෙ දවසක් නුගේගොඩ ඉඳන් එනකොට මට එහා පැත්තෙ සීට් එකේ වාඩි වෙලා ආව .. අනේ මට කතා කරන්න බය හිතුන ... ජනේලෙන් එහා පැත්ත බලාගෙන කොට්ටාවටම ආව ... තාම දුක් වෙනව ඒ ගැන ... පස්සේ දැන ගත්තෙ දාහකින් හොයා ගන්න බැරි තරම් හොඳ නිහතමානී කෙනෙක් කියල ... මටම මං ගැන ලැජ්ජයි !!!

    ReplyDelete
    Replies
    1. කාට වුණත්, කොච්චර ගට්ස් තිබුණත් එහෙම වෙන එක හරි පුදුමයි නේද?

      Delete