අකුරු මැකී නෑ

Monday, November 12, 2018

මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස

මඩ ගොහොරුවක පචවී - 8 පෝස්ටුව කොටා අහවරවී, අවසන් වරටත් නිවැරැදි කිරීම් කරමින් ඉඳිද්දී 2018.11.6 වෙනිදා රාත්‍රී 8.49 ට ලැබුණු දුරකථන පණිවුඩය ගැන කලින් කොටසේ අවසානයට කිව්වෙමි. 

සූරයෙකුවූ ඔහු දේශපාලඥයන් ඇසුරු කළ, ඔවුන් හා සබඳකම් පැවැත්වූ අයෙකි. එක විදියක ඩීල්කාරයෙකි. මා දන්නා තරමින් ඔහුට පක්ෂයක් නොවිණි. එහෙත් හැම පක්ෂයේම කිහිප දෙනෙකු සමඟ හෝ සබඳතා තබාගන්නට තරම් ඔහු පරෙස්සම් විය. පසුගිය දින කිහිපයේ ජනමාධ්‍ය ඇසුරු කළ අයට නම් මෙවන් ඩීල්කාරයන් කොතරම් ප්‍රමාණයක් පැටවු ගසා ඇත්දැයි පෙනෙන්නට ඇත.
අපෙන්ම අසාගත යුතු ප්‍රශ්නයක් නේද?
අද ඩොලර් කෝටි ගණනින් ගනුදෙනු වෙවී, පිල් මාරු කරන්නට යන්නන්- පැති මාරු කරන්නට යන්නන් එහෙම කරන්නේ රටේ යහපත; පොදු ජනතා සුබ සිද්ධිය දඩ මීමා කරගනිමිනි. මේ අවස්ථාවාදීන්ගේ, කාලකන්ණි නරුමයන්ගේ නිරුවත හොඳටම හෙළිවෙද්දීත්, යළි යළිත් ඔවුන්වම බලයට පත් කරන්නේ අපම නේද? අපට තැලිය යුත්තේ මොකෙන්ද?

ඉතින් .............. මහත්තයා මොන දහම්ගැට ගැහුවත් අද අවසන් නින්දේ සැතපිලාය. බ්‍රහස්පතින්දා ඔහුගේ දේහය මිහිදන් කරනු ඇත. අප කාටත් දිනෙක මරණය උරුම බව අමතක නොවෙනවා නම්...... නිතර ඒ බව කල්පනා වෙනවා නම්, අප මෙතරම් දහ බලුකම් කරනු ඇතිද?

77 මැතිවරණයෙදී මා වේදිකාවට නැංගේ නැත. එහෙත් unp ශාඛා සමිතියේ වැඩවලට උදව් කළෙමි. ගමේ බොහෝ දෙනා හඳුනන බැවින් ‘පෝලිම් ඒජන්ත’ කෙනෙකු ලෙසත් වැඩ කළෙමි.

එවර මැතිවරණයට දින කිහිපයකට පෙර අපූරු වැඩකටත් කර ගහන්නට මට සිදු විණි.. “දිසා, අද රෑට කොල්ලෝ ටික දෙනෙක්ව ඕනේ, මේ ඒරියා එකේ පෝස්ටර් ටිකක් ගස්සවන්න. දිසාට පුළුවන් නේද තුන්-හතර දෙනෙක් අල්ලගන්න. හවසට පෝස්ටර් ටික හම්බ වෙයි!” පියදාස අයියා කිව්වේය. ‘සමිතියෙන් කට්ටිය දානවා තව පැත්තකට.”

ඊට ටික වෙලාවකට පස්සේ කළු අයියාත් අපේ ගෙදරට ආවේය. (දියවිනි ඉනාව- පෝස්ටුවලදී ඔහු මා සමඟ මැණික් ගරන්නට ගිය හැටි කීවා මතකද?) ඒ ආවෙත් උදව්වක් ඉල්ලාගෙනය. “නිමල් අයියේ, අද අපිට පෝස්ටර් ටිකක් ගහන්න වෙලා තියෙනවා. තරහ නැතිව පාප්ප බාල්දි දෙක තුනක් හදලා දෙන්නකෝ, එදා වගේ!”කළු අයියා කීවේය.

වමේ සිට: රෝහිත, කළු අයියා, මං, කිංස්ලි කට්ටිය......
පෝස්ටර් අලවන්නට පාප්ප හැදිය යුත්තේ පදමටය. ඕනෑවට වඩා උකු වුණොත් ගාන්නට අමාරුය. දිය වුණොත් වේලෙන්නත් පෙර පෝස්ටරය ගැලවෙයි. පාන්පිටි මඳ පමණට තැම්බෙන්නට ගත යුතුය. තැම්බිලා මදි නම් පෝස්ටරය වේලෙනකොට මතුපිට තුනී සුදුපාට පටලයක් බැඳලා වගේ පෙනෙයි! ඔය කිව්වේ මතක හරියයි.

හොඳම හරිය මේකය! කළු අයියලා උදව් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටය. කළු අයියාට මට වඩා පරිවාර සම්පත්තිය වැඩිය. ඒකෙන් මටත් වැඩක් ගත හැකි බව මට මතක් වුණේ එවිටය.

“හරි. මං පාප්ප ටික හදලා දෙන්නම්. පෝස්ටර් අලවන්න යන අයට රෑට කන්න දේකුත් ලෑස්ති කරලා දෙන්නම්. හැබැයි, මටත් උදව්වක් ඕනේ. unp පෝස්ටර් වගයකුත් අලවන්න තියෙනවා, අද රෑට. දන්නවනේ, කළු අයියට තරම් බජාර් එකක් මට නැහැ කියලා. ඔයාලගේ දෙතුන් දෙනෙක් අපිටත් දෙන්න.”

“ඕක මොකද්ද නිමල් අයියේ, සිම්පල්නේ. එහෙම කරමු!” කළු අයියා එක පයින්ම කැමැත්ත දුන්නේය. 

එදා රාත්තිරියේ unp, slfp පක්ෂ දෙකේම පෝස්ටර් ගහන්නට දෙපිරිසම ගියේ එකටය; අපේ ගෙදරින් රෑට කාලාය; එකම හැළියේ ඉවූ පාප්ප බාල්දි අරගෙනය. රෝහිත, කිංස්ලි, අජිත්, තිලක්, තිස්ස, උපාලි එහෙම ගිය අයගෙන් කොටසකි. (අද ඒ සමහරුන් ජීවිතයෙනුත් සමුගෙන අහවරය.)

අප අතින් කාලා අනුන්ගේ හරක් බැලුවේ.....
එදා අප කවුරුනුත් එව්වා කළේ වාසි බලාගෙන නොවේ. ඇම්මටය. අපි අනුන්ට කඩේ ගියේ අපට තිබුණු ඇම්මටය; ගායටය. අතින් කාලා අනුන්ගේ හරක් බලාගත්තේ අපේම ගොන්කමටය!

“ඊයේ පුදුම සෙනඟ කන්දරාවක්නේ කොළඹට ගෙන්නලා තියෙන්නේ!” අද දහවල් මා හමුවන්නට පැමිණි මිතුරෙක් කිව්වේය. 

“....පාරේ වාහන බ්ලොක් එක නිසා කොට්ටාවේ ඉඳලා මහරගමට එන්න පැය එකහමාරකට වැඩිය ගියා.” ඒ බහුතරය පෙන්වන්නට දුර-බැහැරින් ගෙන්නූ උදවිය ගැනයි. 

අල්ලපු ගෙදර දේවිකා නංගීත් මට ඒ ගැන කියා තිබිණි. “අපේ දුවලට ගෙදර එන්න බස් නැතිව පන්නිපිටියේ ඉඳන් පයින් ඇවිත් තිබුණේ. ඒ තරමට බස් ඇවිත්. පාරවල් හොඳටම බ්ලොක් වෙලා තිබිලා!”

මගේ මිත්තරයා ඊට පස්සේ ඌන පූරණයකුත් කළේය. 

“අපේ සමන් පාරේ බ්ලොක් එකට අහුවෙලා ඉඳිද්දී සොමියට අර බස් එකකට ඔළුව දමලා. ඌ කිව්වලු අපිත් ඔයාලගේ පැත්තේ තමයි කියලත්. එතකොටත් බස් එකේ හිටි මිනිස්සු නද වෙන්න දාලාලු හිටියේ. ‘ආ එන්න මල්ලී, එන්න මල්ලී’ කියලා අර මිනිස්සු සමනයාටත් බොන්න කතා කරලා. බස් එක උතුරන්න බොන්න තිබ්බලු. මුරුක්කු බයිට් තිබිලා තියෙන්නේ කොහොමද දන්නවද? කඩවල විකුණන්න තියෙන්නේ ලොකු පොලිතින් උරවල, බැරල් වගේ ලොකුවට. එව්වා පිරෙන්න තිබුණලු. කොහොම සල්ලියක්ද වියදම් කරන්න ඇත්තේ?”

පොරෝඩාතන්තරේ රකින්න කොළඹට එන රටහිතකාමියෝ.....
ඩොලර් නෝට්ටුවලින්ම ගනුදෙනු කෙරෙන තරමට ප්‍රජාතන්ත්‍රවාදය දියුණුවී ඇති යුගයක, මෙහෙම සොච්චමක් වියදම් කරන්නට හැකියාව නැත්තේ කාටද? අනෙක් අතට අපේ බහුතර ඡන්දදායක ‘පුංචි සිංඤ්ඤෝලා’ තුට්ටු දෙකට මේ තරම් බාල්දු වෙන්නේ ඇයි? මට නම් හිතාගන්නටවත් බැරිය.

බණ්ඩාරනායක මැතිණියගේ සභාග ආණ්ඩුව හොඳටම තිත්තවී හිටි මිනිස්සු unp එකට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට වැඩි බලයක් දුන්හ! වැඩි බලය වැඩි-වැඩියෙන් දූෂණයට මඟ පාදන බව ඒ කාලයේ මා දැනගෙන හිටියේ නැත.

පොත-පත කියවන අය නම් එක ග්‍රීක දේව කතාවක් හරි කියවා තිබෙනවාට සැකයක් නැත. ඒ ග්‍රීක පුරාණවලට අනුව වීරයන් විනාශ කරන්නට ඕනෑ වුණු විට දෙවියන් කරන්නේ එකම එක දෙයකි. පමණටත් වඩා බලයක් වීරයාට ලබා දීමයි. එතකොට වීරයාගේ ඔළුව ඉදිමෙයි; කළ යුතු-නොයුතු දේවල් නොපෙනී යන්නේ ඊට පහුය. 

එතැනින් පස්සේ තියෙන්නේ පල්ලම් බැහීම විතරය. ග්‍රීක මහ දෙවියා සියුස් තවමත් ඉන්නවාද මන්දා. ඒත් ඒ තියරිය නම් තවමත් වැඩ කෙරෙයි.

මහ දෙවිඳු සියුස්..........
ඇත්තම කිව්වොත් 77දී unp එක හිටු කියා දිනද්දී මේ ලියන මැට්ටාත් උඩ පැන්නේය. 70වේදී පමණටත් වඩා උඩ පැනපු ඇත්තන්ට 77දී  හැංගෙන්නට තැන් හොයන්නට වෙන හැටි මා බලා උන්නේ සතුටින් ඔකඳ වෙමිනි. මේ චක්කරයම ආපිට කැරකෙන්නට ඉඩ තිබෙතැයි මෝඩ මට එදා අමතක විණි.

මහරගමින්, පමුණුව පාර දිගේ එද්දී ඔබට එක්සත් සුබ සාධක මාවත හමු වෙයි. ඒකේ වමට ඇති දෙවෙනි පාරේ ටිකාක් පහළට බහින විට ඇති ගෙදරකය වී.ජී. පියදාස අයියා හිටියේ. ඒ දවස්වල පියදාස අයියාගේ ගෙදරත් unp පක්ෂ කාර්යාලයක් වාගෙය. ගුණසේකර මහත්තයා දිනුවා විතරය. එතැන ‘මහා පිළිගැනීමේ උත්සවයක්’ සංවිධානය කෙරිණි.

“දිසා, මල්ලියේ උඹ පිළිගැනීමේ කතාව කරන්න ඕනේ!” පියදාස අයියාම යෝජනාව ගෙනාවේය. “දිසා තමා ඒකට හොඳම මිනිහා.” ඔහුම ඔහුගේ යෝජනාව ස්ථිරත් කළේය. කවුරුවත් ඔහුට විරුද්ධ වුණෙත් නැත. ප්‍රජාතන්තරේ රැකෙන්නේ එහෙමය. මට ‘බැහැ’ කියන්නට විදියක් තිබුණේ නැත. ඒ කටයුතුවල නිසි බලධරයා වුණේ ඔහුය. 

හැන්දෑවක පිළිගැනීමේ උත්සවය ජයට පැවැත්විණි. මගේ කතාවත් රැස්ව හිටි අයට අල්ලලා ගියේය.

පහුවදා උදෙන්ම සෝමවීර කලබලයෙන් අපේ ගෙදරට කඩාගෙන වැදුණේය. “යකෝ, හෙන ගින්නක්. අන්න අර යකා උඹව හොයනවා! යකා නැඟලා.”
“මොන යකාද?”
“බාල්දියා..... බාල්දි xx.”

“බාල්දියා මොකටද මාව හොයන්නේ. ඊයේ හවස පිළිගැනීමේ උත්සවයටත් ඇවිත් හිටියේ ගුණසේකර මහත්තයාත් එක්ක.” මං කිව්වේ ඇත්තය. “ඉතින් එතැනදී හම්බ වෙන්න තිබුණනේ!”
බාල්දියාට යක්‍ෂාවේශවෙලා......
“ඒක තමයි යකෝ! ඌට හොඳටම තදවෙලා උඹ ගුණසේකර මහත්තයාට පොල්කටු මාලයක් දානවයි කිව්ව කතාවට.”

අලුතෙන් මන්තිරිවරු පත් වෙනවිටම ආවතේවකාරයොත්, පන්දම්කාරයොත්, කේළාම්කාරයොත්, උපදේශකයොත්, හත්මුතු පරම්පරාවක නෑදෑයෝත් පේවෙලා අහවරය. කුණු මාළු කෑල්ලට නිලමැස්සන් රොක් වෙනවාටත් වඩා ඉක්මනින් ඔවුහු ‘නව මන්තිරිතුමා’ වටා රොද බැඳ ගනිති. ස්වභාවය ඒකය. 

හැබැයි, බාල්දි xxට සාධාරණය පිණිස කිව යුත්තේ මිනිහා ඉලෙක්ෂන් එකටත් කලින් ඉඳලාම ගුණසේකර මහත්තයාගේ ‘බොඩිගාඩ් වැඩේ’ ස්වේච්ඡාවෙන්ම කරට අරන් හිටි බවයි. මට මතක හැටියට නම් ඉඳහිට ඩ්‍රයිවර් වැඩෙත් කළාද කොහෙදය.

මගේ කතාවකදී අමුතුම දෙයක් කියන්නට මා කවදාත් කැමැතිය. එදත් මා කළේ ඒ ටික විතරය.

“අද අපි හැම දෙනාම එකතු වෙලා, බුලත් දීලා- මල්මාලා පලන්දලා ඔබතුමාව සාදරයෙන් පිළිගන්නවා. ඒ මහරගම ආසනයේ නව මන්ත්‍රීතුමා විදියට ඔබතුමාගෙන් ගමටත්, රටටත්, අපටත් නිසියාකාර සේවයක් වෙයි කියන බලාපොරොත්තුවෙන්. 

-හුඟාක් අයට බලයට ආවට පස්සේ මුල අමතක වෙනවා. ගම අමතක වෙනවා. තමන්ගෙන් කෙරෙන්නට ඕනේ සේවා අමතක වෙනවා. ඔබතුමාටත් ඒ අසනීපය නොහැදේවා කියලා මේ මොහොතේදී අපි හැමෝම, එකාවන්ව ප්‍රාර්ථනා කරනවා. අවාසනාවට හරි ඔබතුමාටත් ඒ අසනීපය හැදුණොත් නම්.... 

-අද මේ මල්මාලා දමන අත්වලින්ම ඔබතුමාට පොල්කටු මාලයක් දාන්න මමයි ඉස්සරහටම එන්නේ! මට කිසිම සැකයක් නැහැ, මේ හැමෝමත් එදාට මට එකතු වෙයි” මං කිව්වේ එහෙම දෙයකි!

වටේට රොක්වෙන පන්දම්කාරයෝ කැකිල්ලෙලා දුටුගැමුණුලා කරවති! 
බාල්දියා මගේ කතාව මුළුමනින්ම අහගෙන ඉඳලා නැත. වටේට උන් පන්දම්කාරයන් ඒ මිනිහාට කියා තියෙන්නේ ‘මහත්තයාට පොල්කටු මාල දානවා’යි කියන ටික විතරය. මිනිහා යක්ෂාවේශවී තිබුණේ ඒකටය. “හරි අමාරුවෙන් දිසා ඒ මෝඩයාට තේරුම් කරලා දුන්නේ.” පියදාස අයියා පස්සේ මගෙත් එක්ක කිව්වේය.

බාල්දි xx වැනි අන්තේවාසිකයන්ය ‘කබ්බන් ෆෝම් කරන්නේ’. අමන, මරි-මෝඩ කැකිල්ලේලා ‘දුටුගැමුණුවරුන්ට අන්දන්නේ’. එව්වාට රැවටී අමුතුම චරිතවලට ඇඳගන්නා අය ටික දවසකදී තමන්ගේම බොරුව අදහන්නට පටන් ගනිති. තමාම තමන්ගේ බොරුවට රැවටෙන්නට පටන් ගනිති.

ගුණසේකර මහත්තයා දිනූ අලුත පියදාස අයියාත්, සෝමවීරත් දත කෑවේ මටත් මොකක් හෝ වාසියක් කර දෙන්නටය. 

“මට මොකුත් ඕනේ නෑ. මේ විදිය මට හොඳයි. බතික් වැඩපොළ කරගෙන හිටිය විදියටම ඉන්නවා.” මගේ අදහස වුණේ ඒකය. “පුළුවන් නම් ඉස්සෙල්ලාම ඔය රස්සාවල් හොයන කිහිප දෙනෙකුට රස්සාවල් හොයලා දුන්නොත්.... ඒ කොල්ලෝ මහන්සි වුණානේ...”

එතකොට වැඩිම රස්සා තිබුණේ රාජ්‍ය අංශයේය. පෞද්ගලික අංශයේ රස්සා තිබුණේ අතලොස්සකි.

චලන සුධීර චැට් කරන වෙලාවක............
දැන් පෙරට වඩා රස්සා ඇත. එහෙත් ඒ වැඩි හරියක් හරි-හමන් රස්සා නොවේ. කිසිම නිෂ්පාදනයක් නොකෙරෙන, මානව සංහතියේ දියුණුවට අත-හිත නොදෙන, මිනිසුන් අමාරුවේ දමන වර්ගයේ රැකියාය.

චලන සුධීර මා අඳුනාගන්නේ මුහුණු පොත හරහාය. දියවිනි ඉනාව 4 පෝස්ටුවට එක්ගල් ඔය අසංක ලක්ෂ්මන් ගැන මා කළ සඳහනක් කියැවූ චලන නොපමාව උණුසුම් ප්‍රතිචාර දැක්වීය. තමන් දන්නා මිත්‍රයෙකුට මා ප්‍රශංසා කර තිබීම චලනගේ හිත්ගත්තා වෙන්නැතිය. එයින් පසු ඉඩ ඇති විටෙක අපි chat කරන්නෙමු.

“රස්සාව කරලාත් තේරුමක් නැහැ අයියේ. බෝඩිමටයි, මඟටයි ගියාම ඉතිරියක් නෑ. රටවත් යන්නයි හදන්නේ. මෙහෙ ඉඳලා වගතුවක් වෙන පාටක්වත් නැහැ!” චැට් කරන වෙලාවක චලන කිව්වේය. ඒ චලනගේ විතරක් නොවේ, සමස්ත ශ්‍රී ලංකේය තරුණ පරපුරේ කතාව නේද?

අපේ තරුණ පරම්පරාවෙන් 50% කටත් වැඩි පිරිසකගේ ඒකායන ප්‍රාර්ථනය රට යාමයි; විදෙස් රටකට ගොස්, හොඳ රැකියාවක් ලබා, ඒ රටකම පැළපදියන් වීමයි! ඔවුන් එහෙම හිතන්නේ ඇයි? අවුරුදු හැටකටත් වඩා ඈත අතීතයකදී අපට බ්‍රිතාන්‍ය කිරීටයෙන් නිදහස ලැබුණු දවසේ පටන් අපේ රට දියුණුවී ඇති නිසාද?

රටේ තරුණ සම්පත රට ගියාම.......
අතීසාරයට අමුඩ ගහනවා වගේ කරන ගොඩ වෙදකම් සේරම වතුරේ යද්දීවත් රටේ මිනිසුන්ගේ ඇස් ඇරෙන්නේ නැත. තවමත් අපට ඕනෑ කරන්නේ ජාතික ප්‍රතිපත්ති සැලසුම් කරන පාලකයන් නොවේ. කරට අත දමාගෙන සෙල්ෆියක් ගහන්නට හැකි, බඩට ඇඟිල්ලෙන් ඇන කිතිකවා හිනා ගස්වන පාලකයන්ය.

ඊයේ එකක් කියා, ඒ ප්‍රකාශයම බොරු කෙරෙන එකක් අද කියන, හෙට ඒකටත් සහමුලින්ම විරුද්ධව කතාවක් කිසිම හිරිකිතයක් නැතිව කියන්නට පුළුවන් පාලකයන්ට ‘ඩිමෙන්ෂියාව’ද? ඊළඟ කොටසින් හමු වෙනතුරු අපි ඩිංගක් එව්වා ගැනත් හිතමුද?

2 comments:

  1. දේසපාලුවො දිනපු ගමන් ඔය දෙකයි පනහෙ චණ්ඩි, වවාගෙන කන බිස්නස්කාරයෝ සහ කේලම්කාරයන් උන්ගෙ වටේ එකතු වෙන එක ඉර පායනවා වගේ හැම පාරකම වෙන දෙයක්.

    ReplyDelete
    Replies
    1. දිනන්නම ඕනේ නැහැ කණ්ඩා. දැනටම එක-එකාට හේත්තු වෙලා ඉන්න ගං-කබරයෝ ටික බලන්නකෝ!

      Delete