අකුරු මැකී නෑ

Monday, November 19, 2018

මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස

1970 දී මාව දේශපාලනයට ඈඳාගත් mpm මාමා 77 වෙද්දී unp එකේ නොහිටියා වාගෙය, මට නම් මතක. කොයි කාලේ ඔහුගේ සංක්‍රාන්තිය වුණාද කියලා නොදන්නවා වුණත්, දැන් නම් ඔහු slfp එකේය.


ඉතිහාසය දැනගෙන ඉඳීම .............
මා මේ බ්ලොග් රචනාව ලියන්නට ගනිද්දී හිතේ තිබුණේ මගේ සැබෑ ජීවනාන්දරය හිතාදර රසික ඔබ හා බෙදාගැනීමේ අරමුණ විතරය. එහෙත් ලියාගෙන යද්දී, රසික ප්‍රතිචාර ලැබෙද්දී තේරුම් ගියේ මා ඉතිහාසයෙන් පෙත්තකුත් ලියා තබන බවයි. මහරගම ඉතිහාසයෙන් ටිකක්! එහෙම වුණේ අඩසියවසකටත් වඩා මා පය ගසා ඉන්නේ මහරගම නිසාය. 

ඒ ගැනත් තව-තවත් ලියන්නැයි ප්‍රදීප් ජයතුංග රසිකයා දිගටම ඉල්ලයි. අසංග රණසිංහ ආරච්චිත්, මධුශංඛ විතානගේත්, චමින්ද දිසානායකත් ඒ ඉල්ලීමම කළා වගේ මට මතකය.

ඉතිහාසය දැනගෙන හිඳීම වැදගත්ය. ලෝකය වෙනස් වුණු හැටි, වෙනස් වෙන හැටි තේරුම් ගන්නට එය ප්‍රයෝජනවත් වෙයි. 

ඒවා ඇහේ ඇනෙද්දීත් සමහරුන්ට වගේ-වගක් නැති හැටි! ඉතිහාසය වාර්තා කර තැබීමේදීත්, සටහන් කර තැබීමේදීත් අප කෙතරම් අගතිගාමීද, පක්ෂග්‍රාහීද, අසමත්ද කියා හොයන්නට නම් අන්තර්ජාලයෙන් මෑත වකවානු පිරික්සා බලන්න. හිනාවී තර වෙන්නට වෙනත් විහිලු අවශ්‍ය නොවේ, ඒ ටිකම ඇතිය! 

මගේ ගැන විස්තර ටක්කෙටම තහවුරු කරගන්නට ගියාමත්, පරණ ෆොටෝ හොයන්නට ගියාමත්ය, තේරුණේ. හුඟක් අය ළඟ මගේ ළඟ තරම්වත් තොරතුරු නැත. මතකයේත් නැත. ඉතින් මංවත් දන්නා දේ ලිවිය යුතුය! 

ඒ පදනමේදී mpm ගැන මේ ටිකත් ලියන්නම වෙයි! මං දන්නා හරිය හෝ සටහන් කර තැබීම මගේ යුතුකමකි. ඔහු මහරගම යුගයක් නියෝජනය කළ අයෙකි.

mpm මාමා ඒ දවස්වල ‘මිස්ටර් ක්ලීන්’ කෙනෙකි. ඇන්දේ සුදු සරමය. මහරගම ප්‍රසිද්ධ චණ්ඩියෙක්වී හිටි නිසාදෝ කට්ස් පෙනෙන්නට හිරටය උඩු කයට ඇන්දේ! අනෙක් චණ්ඩි වගේම. සුරාවෙන්, සූදුවෙන් තොරය. වලියට බරත් නැත. සාධාරණ මනුස්සයාය. පගා ගත්තේ, කොමිස් ගත්තේ නැත! මං ඔහොම කියද්දී ඔයාලගේ හිතට ප්‍රශ්නයක් එයි! ඒ ප්‍රශ්නය ඉන්තේරුවෙන්ම සාධාරණ එකකි. ‘මොන හුxxxxද එහෙනම් ඔය යකා චණ්ඩියෙක් වුණේ?’ ඒකට උත්තරයක් නම් මා ළඟ නැත.

එහෙනම් මොන හුxxxxද ...............
හැබැයි ඒ කාලයේ හිටි ගොඩ දෙනා එහෙම සාධාරණ චණ්ඩි වගේ පෙනෙයි. ඒ කාලයේ හිටි බොහොමයක් චණ්ඩි ප්‍රසිද්ධවී උන්නේ අවි-ආයුධවලින්, මිනීමැරීම්වලින් නොවේ! 

චීනඩි සටන්, ගුස්ති පොර වගේ ඇඟ-පතේ හයියෙන් කළ දේවලින්ය. ප්‍රගුණ කළ සටන් අභ්‍යාසවලින්ය. අසාධාරණයට විරුද්ධව නැඟී හිටීම තුළින්ය.

පේව්මන්ට් රස්සාව කරද්දී නම් මට එහෙම චණ්ඩියෙකුවූ මරදානේ චොප්පේ අයියා ගැන නොයෙක් කතන්දර විටින්-විට අහන්නට ලැබිණි. ඔහු කෙරෙහි කා තුළත් තිබුණේ බිය මුසු ගෞරවයකි. චොප්පේ මරා දමා තිබුණේ 1968 ඔක්තෝබරයේය. අදට වසර පනහකට එපිටදීය.

වරක් එක්තරා ස්වාමීන්වහන්සේ නමක් චොප්පේගේ අනුගාමිකයන් පිරිසක් සමඟ අරෝවක් ඇති කරගත්හ. “මං චොප්පෙව චප්ප කරනවා!” හාමුදුරුවෝ කීවේලු. 

චොප්පේ අයියා උන්වහන්සේ හොයාගෙන ගියේය. ගිහින් කියා තිබුණේ වචන පහකි. “සඟ, මාත් එක්ක බැහැ දඟ!” දෙන්නාගේ විරසකය එතැනින්ම ඉවර වුණිලු.

සඟ, මාත් එක්ක බැහැ දඟ!
mpm මාමාගේ කතා ශෛලියත් ඒ වගේම එකකි. කෙටිය; සරලය; විධානාත්මකය. 

මෙහෙම කියද්දී mpm උත්තරීතර මනුස්සයෙකු විදියටත් කාට හරි පෙනෙන්නට ඉඩ තිබේ. ඔහු එහෙමත් නැත. මා දන්නා පරිද්දෙන් නම් ඔහුගේ බලය අයුතු ලෙස පාවිච්චියට ගත්තේ එකම අවස්ථාවකය. ඒක නම් හරිම පීචං විදියටය. සක්විති රජ වෙලා හිටියත් සමහරු වෙලාවකදී බලු වෙන්නේ. mpm මාමාටත් එහෙම වෙන්නට ඇතිය.

අපේ අසල්වැසියෙක්ට රූබර දූලා තුන්දෙනෙකුම හිටියේය. සමහරු ඔවුන්ට කීවේ තණ්හා, රතී, රඟා කියලාය. අක්ක-නඟාලා තුන් දෙනාම එකට එක්ව පනින්නට තිබුණු හැම කඩුල්ලක්ම සමඟියෙන් පැන්න බවත් ගමම දැනගෙන හිටියේය.

ඔහොම යද්දී දවසක හවස හතට විතර mpm මාමා තවත් ගැටවරයන් තුන්-හතර දෙනෙක් එක්ක අපේ තාත්තා හමුවන්නට ආවේය. සතරකන් මන්ත්‍රණයකත් යෙදුණේය. අපේ තාත්තාත් එක්කම පිටත්ව ගියේය. සේරම විස්තර දැනගන්නට ලැබුණේ ටිකෙන්-ටිකය.

mpm මාමාගේ ගෝලයන් සමඟත් අර මාර දූලා හුටපට හදාගෙනය. ඒ ගැටිස්සියෝ සුපුරුදු විදියට කුට්ටම අනන්නට ගියාම එකම කල්ලියේ කොල්ලන් අතරත් ගෝරි වැටිලාය. උන්ගේ කාකොටා ගැනිලි mpmට දිරෙව්වේ නැත. 

හොඳටම කේන්ති ගත් mpm කොලු නඩයත්, අපේ තාත්තාත් එක්ක ඒ ගෙදරට කඩා වැදුණේය. නඩුත් ඇහුවේය. එවෙලේම තීන්දුවත් දුන්නේලු. කෙල්ලන්ට නොවේ. කොල්ලන්ටය. අර ගැටිස්සියන්ගේ  මහ දෙන්නා ඉදිරිපිටදීමය. 

“තොපිට ඕනේ මෙහෙම එවුන්ට කර ගහලා කාලකන්නි වෙන්නද? ගෙරි මස් කන එවුන් ඒවා කරේ එල්ලාගෙනද කන්නෙ? එහෙනම් දැන්ම තෝරා ගනියව් තොපි එක-එකාට ඕනෙ එකීව!”.

තණ්හා රතී රඟා ...........
එදා කතාව එතනින් අවසන් කරන්නට සාම දූතයාවී තිබුණේ අපේ තාත්තාය. “පව් ඕයි, අර මනුස්සයායි ගෑනියි දෙන්නා හොඳටම බය වෙලා අඬා වැටුණා. අඬ-අඬා mpm ඉස්සරහා වැඳ වැටුණා. දරුවෝ හොඳට හදාගන්න බැරි වුණාම දෙමව්පියන්ට වෙන දේවල්!” තාත්තා අම්මාට ඔය විස්තර කියද්දී මාත් එතැනය. (දැන් ඒ අංගනාවන් තිදෙනාම deposit ආච්චිලාය.)    

හිටිගමන් ආලවකයාට ඇන්දත්, කිසිම නගරයක නොකෙරෙන්නට ඇතැයි හිතෙන විදියේ සංවිධානයකින් යුතුව mpm මාමා ඒ කාලයේ ‘මහරගම සංගීත සංදර්ශන’ මාලාවක්ම මෙහෙයෙව්වේය. අන්න එතැනදී නම් ඔහුගේ ‘චණ්ඩි පාට්’ එකෙනුත් ලොකු හයියක් ලැබුණු පාටය.

මුලින්ම සංගීතයට ගෙන්වන්නට අදහස් කෙරෙන ගායක-ගායිකා ලැයිස්තුව හැදෙයි.

ජෝතිපාල මුදුනේමය. බෙග් මාස්ටර්, මිල්ටන් පෙරේරා, එම්.එස්. ප්‍රනාන්දු ....... තව ගොඩ දෙනෙක් ඒ ලිස්ට් එකේය. එයාලගෙ අය කිරීමත් ඒකෙම සටහන් වෙයි. mpm මාමාගේ සහපිරිවරත් කැටුව වැඩේට හරියටම එන්ටර් වෙන්නේ ඊළඟටය. මේ පිරිවර මහරගම ප්‍රධාන ව්‍යාපාරිකයන් හොයාගෙන එන්නටත් කලින්ම, එයාලා එන ආරංචිය මුදලාලිලා හොයාගෙන ඇවිත්ය.

ජෝතිපාල මුදුනේමය......
mpm මාමා ඔවුන්ගේ අනුග්‍රහය ගත්තේ සල්ලිවලින් නොවේ. “ඔන්න මුදලාලිට කැමති එක්කෙනෙක් අපේ සංගීතෙට ගෙන්නලා දෙන්න පුළුවන්. හැබැයි එයාගේ ගාස්තුව ගෙවන එක, කෑම-බීම සප්ලයි කරන එක, ගමන්-බිමන් කරෝන එක සේරම මුදලාලිම බාරගන්න වෙනවා. ලොකු මුදලාලිලා ලොකු ආර්ටිස්ට්ලව ගෙන්නලා දෙන බවත් මං දන්නවා ....”

එච්.ආර්. ජෝතිපාල මහරගම රත්නපාල අයියාගේ ගජයෙක් බවත්, ඉඳහිට එයාලගෙ ගෙදරට යන-එන බවත් මුළු මහරගමටම රහසක් නොවිණි. ඒ ගැන කඩුලු කතාවලුත් නොතිබුණා නොවේ! එව්වා කොහොම වෙතත් එච්.ආර්. ජෝතිපාලව sponsor කෙරුණේ රත්නපාලයියා අතින්ය. එතකොට මහරගම ලංකා ධීවර සංස්ථාවේ සිල්ලර අලෙවි සල පවත්වාගෙන ගියේ ඔහුය.

රත්නපාල මුදලාලි වගේම මහරගම කිරුළු දැරූ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක් වූහ. දැඩිගම මුදලාලි, වටරැක මුදලාලි, පමුණුගම මුදලාලි, රාජා ලොජ් හා රාජා ජුවෙලරි- ස්ටෝර්ස් මුදලාලි එහෙම කිහිප දෙනෙකි.

මහරගමට තිබුණු එකම එක තෝසේ කඩය රාජා ලොජ් එකය. ඒ දවස්වල ලාබෙටම කෑම වේලක් කන්නට නම් කවුරුනුත් ගියේ තෝසේ කඩයකටය. 

අවුරුදු ගණනාවක් තිස්සේ, කෝච්චරවත් රාජා එකෙන්ම ලාබෙට කාලා, කර දඬු උස්මහත් වුණු ‘මහරගම ජාති ආල කොල්ලෝ රැළක්’ 1983 දී ජාත්‍යානුරාගයෙන් ඔද වැඩී රාජා ලොජ් එකත්, ජුවෙලරි එකත් ස්ටෝර්ස් එකත් කඩා බිඳ දැමූහ. ජුවෙලරි එකේ රත්තරන් බඩුත්, ස්ටෝර්ස් එකේ tv හා විදුලි ආම්පන්නත් එයාලාගේ ගෙවල්වලට උස්සාගෙන ගියහ. ඒ කොල්ලකෑමක් විදියට හිතලා නොවේ. වැඩි පරෙස්සමටය! කෙලෙහිගුණ දැක්වීමටය.

ජාති ආලකාරයෝ ටිකක්........
mpm මාමාගේ සංගීත සංදර්ශන අතිසාර්ථක ඒවා විණි. ඒවාට ආ කවුරුනුත් ආවේ සංගීත අහන්නටය; බලන්නටය. තමන්ටත් සෝයුරියන් ඉන්නා බව අමතක නොකරමින්, ඉලන්දාරිකම් පාන්නටය; ‘මිරිකන්නට’ ‘තැල්මට්’ දමන්නට බලාගෙන නෙවේය. එහෙම කළා නම් mpm මාමලාගෙන් අම්බානක කන්නට වෙන නිසා නාම්බන් එහෙම චරිතවත්ව හිටියා වෙන්නටත් ඇත.

ඉතින්, ඔහොම කෙනෙකුගේ ඇරයුමෙන් දේශපාලන ගොහොරුවට පිවිසීම නිසා මට ලොකුම වාසියකුත් ලැබුණේය. ඒ හිතාගන්නවත් බැරි තරම් පිරිසක් හඳුනා ගන්නට ඉඩ ලැබීමයි. ඇත්තටම එදා මං දැනගෙන උන් දේශපාලනයක් නොවීය. නමුත් මගේ මුඛරිකමක් තිබිණි. යම්කිසි නායකත්ව ලක්ෂණ කිහිපයකුත් මට තිබුණා විය යුතුය. අනෙක් අයව නම්මා ගන්නටත් පුළුවන් ගතියක්..... ඒකත් තිබිණි.

නායකයෙක්ව වැජඹෙන්නට නම් කෙනෙකුට අනුගාමිකයන් පිරිසක් සිටිය යුතුමය. 

නැතිනම් ඔහුට සිදුවන්නේ ‘ඒකනායක’ කෙනෙකුවී සැනසෙන්නටය. දහනායක, දිසානායක, සේනානායක වගේ මොනම නායකයෙක් වෙන්නට වුණත් උත්පත්තියෙන්මත් පිනක් පිහිටන්නට ඕනෑය.

සත්ත්ව විද්‍යාඥයන්ගේ මතය ඕනෑම ජීවී ගහනයක 5:1 අනුපාතයකට පමණක් නායකයන් බිහිවෙන බවයි. 

හැබැයි, හොඳ නායකයෙකුට විටෙක හොඳ අනුගාමිකයෙකු වෙන්නත් හැකියාව තිබිය යුතුමය. නැතිනම් විනාශ වෙන්නේ රටක්මය; ප්‍රජාවක්මය! ඒකටත් ගොඩාක් ගට්ස් තියෙන්න ඕනෑ බව ඊයේ පෙරේදාත් අපි දැක්කෙමු. ඒ දැක්කේ අපේ උන්නැහේලට එහෙම ගට්ස් නැති හැටිය.

තෙරේසා මේට විරුද්ධව විශ්වාසභංග ...........
පසුගියදා එංගලන්තයේ අග්‍රාමාත්‍ය ‘තෙරේසා මේ’ට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කෙරෙන සූදානමක් තිබිණි. 

‘ඔබතුමිය එයට මුහුණ දෙනවාද?’ මාධ්‍යවේදියෙකු ඇගෙන් අසා තිබිණි. “නායකත්වය කියන්නේ නිවැරදි තීරණ ගැනීමයි. ලෙහෙසි තීරණවලට යාම නෙවෙයි!” අගමැතිනිය කියා තිබිණි. අපේ රටටත් එවන් නැණවත් නායකයන් ලැබෙනවා නම්!

මා දේශපාලන ගොහොරුවෙන් බැහැර වෙන්නට හේතු වුණෙත් ගොබ්බ නායකත්වයකි. ඒ 1978 විතරය.

“දිසා, මේ සැරේ අපේ ආණ්ඩුවකුත් තියෙන එකේ අපි සමුපකාරෙත් බලය අල්ලන්න ඕනේ.” පියදාස අයියාත්, සෝමවීරත් තදින්ම කිව්වෝය. හයෙන් පහක බලය unp එකට ලැබී තියෙද්දීය, ඒ.

“අනේ, මං මොකටද එපැයි කියන්නේ!” මං හැදුවේ ලිස්සා යන්නටය. 

මොන? එහෙම ලෙහෙසියන් ගැලවෙන්නට එයාලා මට ඉඩ තිබ්බේ නැත. අන්තිමට මහරගම සමුපකාර සමිතියේ (අධ්‍යක්ෂ මණ්ඩලයට වෙන්නැතිය) නිලවරණයට අපිත් ඉදිරිපත් වීමු. එහිදී ඡන්දය පාවිච්චි කළ හැකි වන්නේ සාමාජිකයන්ට පමණි. 

මුල හිටම පෙනුණේ අපට අවාසි බවය. හොර ඡන්දත් දමලාවත් අපට දිනන්නට ලැබුණේ නැත. unp කණ්ඩායමේ පරාජය ප්‍රකාශයට පත් කරද්දී අපේ කණ්ඩායමේ වැඩි දෙනෙකු හිටියේ ‘මුඛ පූට්ටු’ වෙලාය.

පැරදුණාම මුඛ පූට්ටුවී හිටි...........
“දිසා, අනේ මල්ලියේ පුංචියට හරි කතාවක් කරපං. අපට ඡන්දෙ දුන්නු අයට ස්තුති කරන්නත් ඕනනේ!” දුර්මුඛව හිටි පියදාස අයියා ඒකත් මටම පැවරුවේය.

මගේ කතාව ‘ජුලියස් සීසර්’ගේ අවමංගල්‍යයෙදී මාක් ඇන්ටනි පැවැත්වූ පන්නයේ කතාවක් විණි. 

“... අපි දෙපිළක් වෙලා තරග කළත් එකම ගමේ; මහරගම මිනිස්සු. අපේ තරගය දැන් ඉවරයි. අපි කාටත් ඕනෑ අපේ සමුපකාරය දියුණු කරවලා, ගමටම සෙතක් කරවාගන්න. ඒ නිසා මේ මොහොතේදී මං තමුන්නාන්සේලා හැම දෙනාගෙන්ම ඉල්ලා හිටින්නට කැමැතියි, අපි එකට එකතුවෙලා වැඩ කරමු කියලා.... දැන් ඉඳලාම සියලුම වෙනස්කම් අමතක කරමු කියලා.”

මගේ කතාව ඉවර කළා විතරය. අපේ කණ්ඩායම් නායකයා චූන් වෙලාය. එයාත් මැද්දට පැන්නේය. මුලින්ම කතා කරන්නට පැකිළුණු මිනිහා කට ඇරියේය. 

“ඔව්, ඔව්. මෙතැනදී අපි පරාද වුණාට ඉහළ තැන්වල ඔක්කොම බලය තියෙන්නේ අපේ පැත්තට. අපි ඒවා බලාගන්නම්!” ඔන්න නායකයෙකුගේ තරම!

එතැන මට හැංගෙන්නට බිත්තර කටුවක්වත් තිබුණේ නැත. බල්ලොත් එක්ක ලැග්ගාම මැක්කොත් එක්ක නැඟිටින්නට සිද්ධවෙන නිසා එයින් මතු මා දේශපාලන වැඩවලට එකතු වුණේ පරෙස්සමිනි. එහෙම කළෙත් අපෙන් රටට යමක් විය යුතු බව අමතක නොකරමිනි. බෙල්ල ගහලා ගියත් එහෙම තැනදී කර ඇරිල්ල මට නුහුරුය. 

ඒ අවස්ථාවේදී නිවැරදි යැයි හැඟෙන තීරණ ගන්නටත්, ඒවාට සහාය දෙන්නටත් අදත් මා සූදානම්ය, මා කොපමණ ඇඹිටිල්ලකු වුණත්. ‘රාම සැරයටත් වැඩියෙන් හීන්සැරය වසය!’

හැබෑ නායකයා උදාරය. එඩිතරය.......
ඉතින් එහෙම බෙල්ලම ගහලා යන්නට ඉඩ තිබුණු වතාවක් දෙකකුත් මට උදා වුණු බව විතරක් දැනට කියා ‘මඩ ගොහොරුවක පචවී’ පෝස්ටු පෙළ අවසන් කරන්නට මට අවසර දෙන්න෴

2 comments:

  1. 77 වෙනකොට අපේ හාමිනේගෙ අම්ම එලිෆන්ට් හවුස් එක නියෝජනය කරමින් දෙහිවල ගල්කිස්ස නගරසභා මන්ත්‍රීවරියක් ... හාමිනේට අවුරුද්දක් විතර වයසලු .. ඔයා වගේම සෑහෙන කතා ගොඩක් අහල තියෙනව ඒ කාලෙ උන දේවල් හොඳ, නරක සහ අකටයුතුකම් ගැන :)

    ReplyDelete
    Replies
    1. ඒවා සදාකාලයටම වලංගු කතන්දර වෙන්න ඕනේ. නම්-ගම්-දින වකවානු විතරක් වෙනස් වෙන.

      Delete