උගුර බැරැන්ඩිය!
එක සයිඩ් ඉෆෙක්ට් එකක්.... |
ඉතින් අද පටන්
ගන්න වෙන්නේ ලෙඩකින් නෙවෙයි, අතුරු ආබාධයකින්. මගේ සරීර කූඩුවේ වඩාත්ම සංවේදී
කෑල්ල මගේ උගුර වෙන්නැති. කතාවට හපන් වෙන්න නම් උගුර හොඳට තියෙන්නත් එපැයි!
දන්නවනේ, දිසා කතාවට දෙයියාය කියලා. එක දිගට පැයක්-දෙකක් කතාවක් පැවැත්තුවත් උගුරේ
අවුලක් වෙන්නේ නෑ. ඉස්සර එහෙම වුණාට දැන්..... කීමෝතෙරපි ප්‍රතිකාර ගන්න පටන් ගන්නකොටම මගේ
උගුර යකාට යනවා. බැරැන්ඩි වෙනවා.
ඒ දවස්වලට නම් නෙවිල්, පීරිස්, මර්වින් වගේ හැමෝටම හරිම
ජොලි. එහෙම වෙලාවට තමයි එයාලා මට කියන තරමක් කතන්දර කියන්නේ. බල්ලෝ කාපු උගුරක්
එක්ක කතා කරන්නයැ? ගොරවන්නයැ? මං මුවින් නොබැණ මෞනවෘතය රකිනවා, දත් මිටි කකා.
“කෝ... කෝ දැන් තමුසෙගෙ මහ ලොකු කට? දැන් තමයි වෙලාව මූට ඕනේ දෙයක් කියලා දාන්න.”
හැබැයි, යන්තමට කට පණ ගහලා එද්දී.... මං ඇරියස් කවර්
කරගන්නවා. මොකද මේ හැම සයිඩ් ඉෆෙක්ට් එකක්ම දවස් තුන හතරකින් පස්සේ තුනී වෙලා
යනවා. එන්නේ වෙනින් එකක්.
හෙළ ඔසුවක් විදිහට........ |
“අයියේ, උඹට හොඳයි ‘ෂර්ෂපාදී තෙල්’ ඩිංගක් ගාගන්න එක.”
අපේ සුනිල් මගේ උගුරේ සෙම ගතියට ගොඩ වෙදකමක් අරගෙන ආවා! පිටින් ගාන්න තියෙන්නේ.
කපුරු සුවඳ ගහන තෙලක්. “මල්ලිකාට නම් මේ තෙල ගොඩක් හරි ගියා. හුස්ම ගන්නත් ලේසි
වෙනවා. උගුරේ සෙම ගතියත් අඩු වුණා.” සුනිල් රෙක්මන්ඩ් කළා. ඇත්ත. ඒක ගෑවාම මටත්
පහසුවක් දැනුණා.
හුස්ම ගැනිල්ල හොඳටම අමාරු වෙනවා නම් ගන්න ‘ඉන්හේලර්’ එකකුත් මට
දීලයි තිබුණේ. ඔන්න ඕක විතරමයි මං සිංහල, ඉංග්‍රීසි ක්‍රම දෙකෙන්ම ගත්තු ප්‍රතිකාරය.
හරියට ‘රාජා හෝ මා හෝ ගංගා හෝ’ කියලා අරිට්ඨකීවෙණ්ඩු
කිව්වා වගේ! උගුර බැරැන්ඩිය ගැන කොටන වෙලාවේ ඉඳලා ‘සීතාවක බැරැන්ඩි කෝවිලත්’ හරි
පොරයක. මතකයේ ඉස්සරහටම ඇවිත්.
පුදුමය කියන්නේ කොළඹට මෙච්චර ළඟින් තිබිලත්;
අවිස්සාවේල්ලේ තිබිලත් හුඟ දෙනා මෙතනට ගිහිල්ලා නැති එක. ඇයි ඒ?
සීතාවක කියන්නෙත් ලංකාවේ එක රාජධානියක්. සිංහල, ඉංග්‍රීසි,
පෘතුගීසි, ලන්දේසි කියන හතර වරිගෙම අතින් පාලනය වුණු එකම රාජධානිය. බිහිවුණේ
අවුරුදු 467කට විතර ඉස්සර. ඩබ්ලිව්.ඒ. සිල්වා මහත්තයාගේ ‘විජයබා කොල්ලය’ කියවලා
තියෙනවා නම් ඔයාලට ආයේ අමුතුවෙන් විස්තර කියන්න ඕනෙත් නැහැ.
ගිහින් බලන්නට වටිනා............ |
දන්ත ධාතුන් වහන්සේත් සීතාවක වැඩ හිටියා.
කෝට්ටේ රජ වුණු
ධර්මපාල කුමාරයා ‘දොන් ජුවන් ධර්මපාල’ නමින් කතෝලිකයෙක් විදියට බෞතීස්ම වෙනකොට
හිරිපිටිය නිලමේට විචිකිච්ඡාවක් ඇතිවෙනවා. ඊට පස්සේ දළදා වහන්සේ නොතකා හරීවි
කියලා. මනුස්සයා තමයි දළදාව බාරව හිටියේ. ඉතින් උන්නැහේ ‘කරඬුව’ ඇතුළෙන් බොරු දතක්
තියලා, හැබෑ දළදාව මායාදුන්නේ රජ්ජුරුවොන්ට ගෙනිහින් දෙනවා. ඊට පස්සේ දළදා වහන්සේ
හංගලා තිබ්බේ කුරහන් ගලක.
බල අරගල සිදුවෙද්දී ඔහොම දේවල්; රජවරුන් ගොනාට ඇන්දීම්
අමුතු දේවල් නෙවෙයිනේ. ඒවා කවදත් වෙනවා.
ගෑනියෙක්ව මිනිහෙක් කිරීම විතරක් කරන්නට
බැරි, මහා බල පරාක්‍රමයෙන් යුතු ‘ජයවෝඩන ජනාධිපතිතුමාවත්’ අපේ උන්නාන්සේ කෙනෙක් යස
රඟට අන්දලා තියෙන්නේ, ඇමතිතුමෙකුත් හවුල් කරගෙනම.
මහාවැලි ව්‍යාපාරය නිසා පන්සල් ගොඩක් වතුරට බිලිවුණානේ.
ඒ ගැන ගාමිණී දිසානායක ඇමැතිතුමාත් එක්ක කතා කළ හුණුපිටිය ගංගාරාමයේ ඇල්ලේ ගුණවංශ
හාමුදුරුවෝ යෝජනාවක් කළාලු. “ඒ පව් හේදෙන්නත් එක්ක අපි චෛත්‍යයක් හදමු!” කියලා.
ඔහොම
මහවැලි මහා සෑය හදන්න යෝජනා වුණාට තව ප්‍රශ්නයක්; සෑහෙන බරපතළ ප්‍රශ්නයක් මතු
වෙච්චි.
මහවැලි මහා සෑය හදන්න යද්දී........ |
“දුටුගැමුණු මිනීමරුවෙක් කියලා කියපු අයෙකු අතින් මුල්ගල
තියන්න බෑ කියලා මම තරයේම කීවා. ජේ.ආර්. උත්සවයට ආවට නම් කමක් නෑ, හැබැයි මුල්ගල
තියන්න නම් දෙන්න බෑ කියලා මම දිගින් දිගටම විරුද්ධ වුණා. ඒත් ජේ.ආර්. ඉන්නකොට
ගාමිණීට මුල්ගල තියන්න බැහැනේ. ඒ නිසා අපි උපක්‍රමයක් භාවිත කළා....... අපි දෙන්නා
නැකත් දවසේ ජේ.ආර්.ට හොරෙන් ගිහින් මහවැලි මහා සෑයට මුල්ගල තබලා පස්වලින් වහලා
දැමුවා. ඊට පස්සේ ජේ.ආර්.ගේ ප්‍රධානත්වයෙන් විශාල උත්සවයක් පවත්වලා යළිත් වරක්
මුල්ගල තැබුණා....”. කොහොමද ඒ ඇන්දිල්ල?
ඔය වගේම, පහුගිය ටිකේ කවුරු කාව කොහොම රැවැට්ටුවද කියන
කතාවල් තව පස්සේ එළිවෙයි, නේද?
කවුරු කාව කොහොම කොහේදී රැවට්ටුවත් අපේම සරීර කූඩුව
රවට්ටන්නයැ? ඒ වැඩේ නම් බැහැ රජෝ!
ඒ හිංදා මං මට කියන වෙලාවට, කියාපු විදියට ප්‍රතිකාර
ටික ගත්තා. ඇත්තටම ඊට පස්සේ කිහිප වතාවක්ම MRI එකෙන් මගේ තත්ත්වය ගැන පරීක්ෂණත්
කෙරුණා. ලැබුණු වාර්තාවලට අනුව නම් පිළිකා රෝගී මට්ටම ‘zero’ ලෙවල් එකට ඉතා
ළඟයිලු.
එහෙම කිව්වට ඇතැයි? තවම අනෙක් සයිඩ් ඉෆෙක්ට්ස් ගැන එහෙමත්
කියන්න වුණේ නැහැනේ.
උගුර බැරැන්ඩියට අමතරව ඔන්න හිටි ගමන් මස්පිඬු පෙරළෙන්න
ගන්නවා. කෙණ්ඩ පෙරළෙනවාට වැඩියෙන් ඒක වේදනාකාරියි. මාංශ පේශි පැතලි වෙලා, ලෑල්ලක්
වගේ වෙද්දී එලොව පොල් පේනවා! ගොඩක් දවසට පැය දෙක-තුනකට වැඩිය නින්ද යන්නෙත් නැහැ.
එතකොට නම් මාව මත් වෙලා වගෙයි. ඔහේ පාවෙනවා. එලෝ විකාරෙන් මෙලෝ අත ගගා ඉන්නේ.
අන්තඃකල්පය නස්නට පළමු සත්දවසක් තිබියදී............... |
මං මේ සේරම කියන්නේ එකම එක ප්‍රධාන අරමුණකුත් ඇතිව. සකල
මහා පතළ කරුණාවෙන්! අහලා තියේද කාමාවචර දේවතාවෝ ගැන එහෙම?
“අන්තඃකල්පය නස්නට පළමු සත්දවසක් තිබියදී කාමාවචර දේවතා
කෙනෙක් අවමඟුල් වෙස් ගෙන මිනිස් ලොවැ ඇවිද, සත්ත්වයෙනි මෙයින් සත්දවසක් ගිය කලැ
මෘගසංවරුසාව යයි යන විනාශකරවූ මහා වර්ෂාවෙක් සත්දවසක් මුළුල්ලෙහි ධාරානිපාතයෙන්
වස්නේය. එහි තෙමුණු කෙනෙක් ඔවුනොවුන් ඇසට මුවන්සේ පෙනෙති. උනුන්ගේ ජීවිත විනාශ
කෙරෙති.......” ඔහොමයි ‘සද්ධර්මාලංකාරයේ’ අනාගතවංශ දේශනාවේ තියෙන්නේ.
කාමාවචර දේවතාවා කෙළලක්ෂයක් සක්වළටම ඇහෙන්න අනතුරු ඇඟෙව්වත්
වැඩි දෙනෙක් ඒකට කන් දෙන්නේ නැහැලු.
මුරුගසන් වරුසාවට තෙමුණාම අනෙකාව හතුරෙක්
විදියට පෙනෙන නිසා එක-එකා කා-කොටාගෙන මිනිස්සු විනාශ වෙන්න ගන්නවාලු. වැස්සට
තෙමුණු තණකොළයක් වුණත් ආයුධයක් බවට පත් වෙනවාලු. ඒකද මේ වේගෙන යන්නේ?
අපි ගන්න හුස්ම ඩිංගිත්ත විෂ වෙලා. බොන වතුර බිඳ විෂ
වෙලා. කන කෑම-බීම........ හැමදේම විෂ වෙලා. අනාගතවංශ දේශනාව
දැන්මම හරියටම හරි ගිහින්ද?
දැන් අපේ සමන්ති නංගී රැකියාවෙන් අස්වීලා ගෙදරය. ඒ
රස්සාව එපාවෙලා එහෙම නොවේ. මහත්තයාට සාත්තු කරන්නටය. බිමල්, ඇගේ සැමියා පහුගිය දස
මාසය මුළුල්ලේ කිසිම කෑමක් හෝ බීමක් ‘මුඛයෙන්’ සරීරයට ඇතුළු කරගෙන නැත. බඩට බටයක්
දමා එතුළින් යවන දේවල්වලිනි බිමල්ගේ පණ අල්ලාගෙන ඉන්නේ. ඔහුටත් පිළිකාවකි. මුඛ
පිළිකාවකි.
සුනිල්ගේ දෙවෙනි පුතා ජයශංඛ, සමන්ති, සුනිල්, මං, බිමල්, දීපාල්, අනිල් හා දියණිය සිඟිති |
සසර කලකිරවන්නට නොවේ, මං මේවා කියන්නේ. ඇතිවී තිබෙන
තත්වය පහදා දෙන්නටය. එහෙම නැතිව මටත් කාමාවචර දේවතාවෙකු වෙන්නට හිතිලා හෙම නොවේ!
අනිල් මල්ලීටත් පෙනහළු පිළිකාවක් බව දැනගෙන තවම
පස්මාසයක්වත් නැත.
ඔහු වතුර පොදක් බොන්නේත් බැරිම තැනදී විතරය. ගිලගන්නට අමාරු
නිසාය. එයාගේ බඩටත් දැන් බටයක් දාලා ඉවරය. පුදුමය කියන්නේ මටත් පස්සේ ඒ රෝගයට
ගොදුරු වුණු ඒ දෙන්නාම දැන් මටත් වඩා අසාධ්‍ය තත්වයේ ඉන්නා එකය.
මුලදී පවුලේ අය මට
මේවා දැනෙන්නට ඉඩ තිබ්බෙත් නැත. “ලොකාට අප්සෙට් වෙයි කියලයි නොකියා හිටියේ.” ඔවුහු
කීහ.
ඇත්තම කියනවා නම් මට ඇත්තේ අවුල් හැඟීමක් නොවේ. තරහකි.
මගේ දෛවය මට කියන්නේ නෑ-හිතවතුන් සේරටම පස්සේ යන්න කියලාද? මෙය ගොඩක්-ගොඩාක්ම සැර
වැඩි දඬුවමක් නෙවෙයිද? කොපමණ බරපතළ වුණත් දෛවය
එය නම් මා ඊට මුහුණ පෑ යුතුය.
දැන් පිළිකාව කියන්නේ කාගේත් ප්‍රශ්නයක්
බවට පත් වුණු දෙයකි. පොදු ප්රශ්නයකි. ඒක
වසංගතයක් වගේ මිනිස් සංහතිය වෙළාගන්නට පටන්
අරන්ද? අපි කවුරුනුත් මේ ගැන අවදියෙන් හිටියොත්....
පිළිකාව වසංගතයක්ම වගේ......... |
ඇමෙරිකාවේ ටෙලිනාටක නිළි හොලී කිචන් 2015 ජුනි 4
වෙනිදා යූ ටියුබ් එකට වීඩියෝවක් upload
කළේ ලෝකෙටම ඍනාත්මක පණිවිඩයක් දෙමින්. “මගේ පියයුරු පිළිකාව කවදාවත් සනීප කරන්න
පුළුවන් එකක් නෙවෙයි.” හොලී කිව්වා. 2016 ජනවාරි 12 වෙනිදා හොලී මියගියා. ඒත්
දැන්..... පියයුරු පිළිකාව බොහෝ දුරට මැඩලන්නට වෛද්‍ය විද්‍යාවට හැකියි. ඒක තමයි ලෝකේ හැටි.
සොබාදහමත් ලේසියෙන් යමක් අත අරින්නේ නැහැ වගෙයි.
මෙහෙන්
බෙහෙත් හොයාගනිද්දී, එහෙන් රෝගය බෝවෙන අයගේ සංඛ්‍යාව හිතන්නවත් බැරි තරමින් ඉහළ
යනවා. දන්නවාද, 2018 වෛද්‍ය විද්‍යාව සඳහා නොබෙල් තෑග්ග ලැබුණේත් අවුරුදු 28ක්
තිස්සේ පිළිකා මර්දන ක්‍රම; බෙහෙත් ගැන පර්යේෂණ කළ වෛද්‍යවරුන් දෙන්නෙකුට. මං ඒ
ටික කිව්වේ ‘යකා කියන තරම්ම කළු නැහැ’ කියන පණිවිඩය දෙන්නත් එක්කයි.
නමුත් අමතක නොකළ යුතු වේගයකින් පිළිකාව පැතිරෙන්නේ ඇයි
කියන ප්‍රශ්නයට නම් තවමත් ඍජු පිළිතුරක් නෑ!
“නිමල් අයියේ, ඒ නිසා තමයි හොඳ සැලකිල්ලෙන් අපි හැමෝටම
කෑම ගන්න වෙලා තියෙන්නේ. පේනවනේ, xxxx අයියලාගේ අම්මට වෙලා තියෙන දේ. එයාටත්
පිළිකාවක්.” පීරිස් කිව්වා. ඒ සති දෙකකට කලින්. “අම්මා දුර්වල වුණත් ඔපරේෂන් එකක්
කරන්නම වෙන තැනට ඇවිත්. ඒකත් ලේසි නැහැ, තියෙන තැන නිසා. හ්ම්හ්, මේක දැන්
වසංගතයක්ම වෙලා.”
හැමෝම එකතු වෙලා...... |
මං දොස්තරවරයෙකු නොවේ. කොන්දොස්තරවරයෙක්වත් නොවේ. එහෙම
තියෙද්දීත් මේවා හිතාදර රසික පාඨක ඔබට කියන්නේ අනතුරු අඟවන්නටය!
අප හැම දෙනාගේම සිරුරේ යටපත් වුණු; නිලීන වුණු නොයෙක්
ජාන රැසක්ම තිබේ. ඒවා සමහරක් ක්‍රියාකාරී වෙන්නේ හිටි ගමන්ය. පිළිකාව ඇති කරන
ඒවාත් එහෙමලු.
“නිමල් අයියේ, හොඳම දේ තමයි මේකේ මිකැනිසම් එක තේරුම් ගන්න එක. වැඩේ
කෙරෙන විදිය; යාන්ත්‍රණේ තේරුම් ගත්තාම කන්ට්‍රෝල් කරගන්න එක ලේසියි.” අයස්මන්ත
මහත්තයා කොතෙකුත් කියයි. ඒ මාව දිරිගන්වන්නටය.
“පිළිකා සෛලවලට ජීවත් වෙන්න ග්ලූකෝස් ඕනේ. ලේවල සීනි
නැතිවෙනකොට 90%ක් විතරම පිළිකා සෛල අඩපණ වෙනවා. ඉතින් අපිට පුළුවන් නම් තිස්සෙම ඇඟට ග්ලූකෝස්
නොදී ඉන්න....” මට දැනෙන විදියටත් ඒක ලෙහෙසි උපක්රමයකි. කාටත් හොඳය.
දැනට ලංකාවේ
වසරකට සිදුවෙන මරණවලින් 7%කට හේතුව දියවැඩියාවය. ඒ වසංගතය පාලනය කර ගන්නටත් මේ ක්රමයම
යොදාගත හැකිය.
“අවුරුදු 2500කට ඉස්සෙල්ලාත් බුදුහාමුදුරුවෝ ඔය විත්තිය
දැනගෙන හිටියා. ඒකයි හාමුදුරුවරුන්ට විකාල භෝජන ශික්ෂාපදය පැනෙව්වේ! මුස්ලිම්
ආගමේත් එහෙමයි. ඇයි එයාලටත් මාසයක්ම උපවාසය කරන්න කියලා තියෙන්නේ? බිස්නස්කාරයෝ
සමාගම්කාරයෝ අපිට සේරම අමතක කරවලා. උඩින් නොපෙනුණාට මොකද අපි සේරම උගුලක හිරවෙලා.”
දුෂ්කර මාර්ගයක් වැටී තිබෙන්නේ සුන්දර ගමනාන්තයකටය..... |
දැන් අපට ඉතිරිවී
තිබෙන්නේ දුෂ්කර ගමන් මාර්ගයක යෑම විතරක් වාගෙය. මා හිතන්නේ එසේ යාම විටිනවා
කියලාය. එහෙම හිතන්නේ සුන්දර ගමනාන්තය දෙස මා සුබවාදීව බලන නිසාය!
කලිනුත් මා කියා ඇත. මට කළ හැක්කේ වාර්තා කිරීම පමණි.
‘තම තම නැණ පමණින් විසඳිය යුතු!’ තීරණය කිරීමේ ඔබේ අයිතිය! ඔන්න ඉතින් ඒකට
විවේකයක් දීලා, මාත් විවේකයක් ගන්නවා. කමක් නැහැනේ?
කට පරිස්සම නැති බව, අපේ ජීවන රටාවේ ඇති අලසකම, කෑමට එක්වෙන වස විෂ සහ පරිසර දුෂණය ඔය කොයිකත් පිළිකා සුලභ වෙන්න බලපානවා ඇති !
ReplyDeleteසේරම කණ්ඩා, සේරම.
Deleteඒ වගේම අපි; මනුස්ස වර්ගයා කොච්චර try කළත් අමරණීය වෙන්න බැහැ. සොබාදහම අපව පරද්ද්දන තරම් නිර්මාණශීලී හා ශක්තිමත්!