අකුරු මැකී නෑ

Friday, November 9, 2018

වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහවෙනි කොටස


කවුද හිතුවේ ඒ කෝල් එක වෙනම පාරකට මාව ඇදගෙන යන බව? ඒ විතරක් නෙවෙයි, ඒ වෙද්දී මගෙම හේතුවට වගේ ඩොක්ටර් අයස්මන්තටත් මාරුවක් ඇවිත්. හම්බන්තොටට.

ජරමර ගොඩයි! හැබැයි මට නෙවෙයි.......
ජරමර ගොඩයි. හැබැයි මට නෙවෙයි. වෙන-වෙන අයට. ඒ වුණාට ඒ සේරම මට බලපෑවා! කීව විදියටම ඩොනල්ඩ් දොස්තර මහත්තයා ආවා. මං මගේ වෛද්‍ය වාර්තාවල ෆොටෝ කොපි ටික එයාට දුන්නා. “හරිම ෂෝක්. මුල ඉඳලා සේරම මෙතන තියනවානේ. නිමල් අයියා කොහොමද මෙව්වා ෆොටෝ කොපි කරගත්තේ?”

මා අපේක්ෂා රෝහල් වාට්ටුවේ නැවතී ප්‍රතිකාර ගත්තාට පස්සේ, ඊළඟ මාසයේ ක්ලිනික් යනවිටත් මගේ ෆයිල් එක තිබිය යුතු තැනට ඇවිත් තිබුණේ නැත. එය හොයන්නට වාට්ටුවට යන්නට අපට සිදු විණි. වාර්තා ගොන්න අවැසි තැනට අරගෙන ආවෙත් අපමය. 

“අයියේ මෙහෙ මෙහෙම තමයි. දැන් එයාලට වෙච්ච වැරැද්දෙනුත් අපිට චාන්ස් එකක් ආවා. එනවකො යන්න.”

සුනිල් ඉතිරි හරිය කිව්වේ, මාවත් ඇදගෙන ෆොටෝ කොපි ගහන තැනට යද්දීය. “මල්ලිකාට බෙහෙත් ගනිද්දී එක්කෙනෙකුට සල්ලිත් දීලයි මං ෆයිල් එක පන්නාගෙන එළියට අරන් ගිහින් ෆොටෝ කොපි කරගත්තේ. ගානක් ගියත් මේක වටිනවා. දන්නවද? හරි නම් මේ ෆයිල් එක ඉස්පිරිතාලෙන් එළියට ගෙනියන්න බැහැ.” 

එදා ඒ ‘බැරි’කම නොතකා වෛද්‍ය වාර්තා ගොනුවේ ෆොටෝ කොපි ගසාගෙන තිබීමත් ‘අහඹු වාසියකට’ හැරුණු හැටි නම් මට තවමත් පුදුමය.
ෆොටෝ කොපි වාසිය............
“නිමල් අයියේ, ඔයාට තියෙන්නේ ලේ පිළිකා වර්ගයක්. පිටරටවල නම් දැන් කැන්සර් හොස්පිටල්ස් වෙනමයි, හීමොටොලොජි හොස්පිටල්ස් වෙනමයි තියෙන්නේ. අවුරුදු විස්සකට විතර ඉස්සර ඉඳලමයි එහෙම සෙක්ෂන්ස් දෙකකට වෙන් කරලා තියෙන්නේ. මෙහෙ ඉතින් තව අවුරුදු පනහකටවත් එහෙම වෙන් කෙරෙන එකක් නෑ වගෙයි. ඒ අතින් අපේ රට මේ තරම්ම පසුගාමී ඇයි කියලා හිතාගන්නවත් බැහැ...... 

-ඒකට කමක් නැහැ. හම්බන්තොට හොස්පිටල් එකේ ඉන්නවා මගේ යාළු ඩොක්ටර් කෙනෙක්. රොහාන් පුල්ලෙපෙරුම. මනුස්සයා හීමොටොලොජි ස්පෙෂියලිස්ට් කෙනෙක්. ඔයාට එහාට යන්න පුළුවනි නම් මං එයාව අල්ලලා දෙන්නම්. දැන් අපේ ශ්‍රියා වැඩ කරන්නෙත් ඒකේ. මං තංගල්ල හොස්පිටල් එකේ.” ඩොනල්ඩ් කිව්වේය.

ලොකු වෙනසකට මුල පිරුණේ එහෙමය. එදා පීරිසුත් අප ළඟ උන්නේය. 

“ඩොනා, මචං මටත් ආයෙම හම්බන්තොටට ට්‍රාන්සර් එකක් හම්බ වෙලා තියෙන්නේ. දැන් නාවලපිටියෙත් හිටියා මදැයි. හම්බන්තොට කලිනුත් හිටි නිසා දන්නා හැමෝමත් කියනවා ආයෙම එහාට එන්න කියලා. මේකත් මුගේම ලක් එකටම කැරකෙනවා වගේ. මං එහාට ගියොත් මටත් පුළුවන් සේරම ඇරෙන්ජ් කරලා දෙන්න.”

අන්තිමට අයස්මන්ත පීරිස් අක්ෂි වෛද්‍ය විශේෂඥතුමාත් යළි හම්බන්තොට රෝහලට ගියේය.

අන්තිමේදී අයස්මන්ත මහත්තයාත්................
“නිකන්ම නෙවෙයි පීරා. මං මේ සේරම රිපෝර්ට්ස් අපේ සර්ලා දෙන්නට ෆැක්ස් කරනවා රොහානුත් එක්ක ඩිස්කස් කරලා. අපේ සර්ලා දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් ඉන්දියාවේ. අනෙක් එක්කෙනා එංගලන්තේ. එයාලගෙ සජෙෂනුත් ටැලි කරලා බලමු අපේ යෝජනාත් එක්ක. එතකොට වඩාත් හොඳයිනේ.” කටයුතු සිදු වුණෙත් දොස්තර ඩොනල්ඩ් මහතා කී විදියටමය.

ලංකාවේ සිට ඔවුන් දෙදෙනා නිර්දේශ කළ ප්‍රතිකාරමය ඉන්දියාවේත්, එංගලන්තයේත් සිටි විශේෂඥයන් දෙදෙනා නිර්දේශ කර තිබුණේ. මේවා අහඹු සිදුවීම්ද? එහෙමත් නැතිනම් මගේ ඉරණමේ; මගේ දෛවයේ ලියැවී තිබෙන දේවල්ද?

දිගු පුළුලින් සක්වළ වන් සිඳු      කුස
සිය වසකින් උඩ එන කැස්බා     හිස
විය සිදුරෙන් නැගෙතත් දුගතිය බැස
තව උපදින්නට බැරි මෙමිනිස්   කුස

ලෝ වැඩ සඟරාවේ 18 වෙනි කවිය. දුගතියේ ඉපදුනු කෙනෙකුට ආයෙමත් මනුස්සාත්ම භවයක් ලැබීම කොච්චර අසීරුද කියන අදහස ඔය කවියෙන් අරන් අපූරු සරල ගීයක ගැයෙනවා, වික්ටර් රත්නායකයන්ගේ සුමියුරු හඬින්.

කණ කැස්බෑ නෙත බලා සිටිනවා........
‘කණ කැස්බෑ නෙත බලා සිටිනවා - අහස දකින්නට විය සිදුරෙන්
පෙරුම් පුරා හිඳ - අහස බැලූදා -සඳ නැත අහසේ අමාවකයි’

එහෙම දුලබ ලෝකෙක මෙහෙම සුලබ වාසනාවන්ත දේවල් ලබන්නට මං කොතරම් පිං කොට ඇත්ද? මේ පිනද?

‘රිවිරැස’ පත්තරේ පුංචි දැන්වීමක් දැකලා ‘උඩවැඩියා වගා පාඨමාලාවක්’ හදාරන්න ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයට නොගිය නම් මට තජකයේ කවුරුන්වත් හමු වෙන්නේ නැහැ. ලාල් අයියා, මර්වින්, අනුර ජිනදාස, අසෝක කපුරුගේ, ඩී.ඩී. පද්මසිරි, ඉන්දිරා, ගීතා, සුනීතා, නන්දනී, අරුණ දිසානායක, උදේනි අල්විස් වගේ කොච්චරක් දෙනා එතනදී අඳුනා ගත්තාද? 

ඇයි, මහාචාර්ය නන්දදාස කෝදාගොඩ, එඩ්වින් ආරියදාස, දයා අබේවික්‍රම, වෛද්‍ය ශ්‍රියානි බස්නායක..... එහෙදී හඳුනාගත් ලැයිස්තුව තව දිගයි.

එතනින් ලාල් අයියා හරහා සමස්ත ලංකා අමද්‍යප තරුණ සංවිධානයට. ප්‍රෙස් එකට. මුද්‍රණ ක්ෂේත්‍රයට.... මාදුළුවාවේ සෝභිත, වතුරුවිල සිරි සුජාත, උඩුවේ ධම්මාලෝක වගේ හිමිවරුන්, වෛද්‍ය දියනාත් සමරසිංහ, නලින් ද සිල්වා, ගෙවිඳු කුමාරතුංග, ජී.අයි.ඩී. ධර්මසේකර, ගුණදාස අමරසේකර, සමන්ත හේරත්, උපුල් ශාන්ත සන්නස්ගල වැනි විවිධ පිරිසක් ..... නාග විහාරයෙ අමද්‍යප තරුණ පුහුණු මුද්‍රණාලය හරහා දැනගත් උදවිය.

කුමුදුලාල්, ඒකනායක, විජිත්, නෙවිල් මගේ වැඩ සගයෝ. එයාලා හරහා ප්‍රියන්තලගේ පරම්පරාවමයි, යාළුවො කන්දරාවකුයි මගෙ ජීවිතේට එකතු වුණා. ප්‍රියන්තගෙ මල්ලී වෛද්‍ය විද්‍යාලයට නොගියා නම් පීරිස්, පෝල්, ශිරන්ත, ලාල්, ඩොනල්ඩ්, ශ්‍රියා වගේ අයව මට මුණ ගැහේවිද?

වෛද්‍ය නලින් ප්‍රියදර්ශනයි, චමනියි, දූලා තුන් දෙනයි.........
කුමුදුලාල් නොවේ නම් මං ‘පියසිරි ප්‍රින්ටින් ප්‍රෙස්’ එකට යැවෙන්නේ නැහැ. 

එහෙනම් කොහොමද සරත් විජේසූරිය, සුනිල් ආරියරත්න, ජේ.බී. දිසානායක, ප්‍රනීත් අභයසුන්දර, කේ. ජයතිලක, අජන්තා විජේසේන, ජනක ඉණිමංකඩ, චන්දන මෙන්ඩිස්, ඩී.බී. කුරුප්පු, කේ.එම්.අයි. ස්වර්ණසිංහ, මහින්ද කුමාර දළුපොත, තිඹිරියාගම බණ්ඩාර, මංජුල වෙඩිවර්ධන, කේ.ඩබ්ලිව්. ජනරංජන, ප්‍රියන්ජන් සුරේෂ්, ගුණසිරි කොළඹගේ සහ සිරිසුමන ගොඩගේ වගේ පිරිසකගේ ඇසුරට වැටෙන්නේ?

නම් ලැයිස්තුව සේරම ලියන්න ගියොත් ඔයාලා ආයෙම පංච තන්තරේ පෙරළන්න එන එකකුත් නැහැ. අනුපිළිවෙලකටත් නෙවෙයි නම් ටික කෙටුවේ, ඔළුවට එන-එන විදියට. කාවවත් හිතලා හැලුවේ නැහැ, හොඳේ!

අනේ සමාවෙන්න. මට මේ බ්ලොගයේ ලියන්න තරම් දේවල් එකතු-පහදු වුණේ මේ වගේ තවත් ගොඩ දෙනෙක් නිසයි. 

පෝස්ට්ස් 90ක් විතර ලියවිලාත් මේ සමහර අයගේ නමවත් පළමු වතාවට ලියැවුණේ අදයි. මට අනුව නම් ඒ හැම කෙනෙක් ගැනම unic; සුවිශේෂ අත්දැකීම් මට ලැබුණා. වාසනාවට එව්වා සේරම මට මතකත් එක්ක. එහෙම මතක කන්දක් මට තිළිණ කළ සේරටම මං ණයයි හිමාලය තරමට!

දන්නවද? මං මල්ටිපල් මයෙලොමාව ගැන පණ්ඩිතය වගේ ලියන්නේත් නලින් මුලින්ම  ඕස්ට්‍රේලියාවේ ඉඳලා එවපු ඊමේල් එකෙන් උපුටලා අරන්. නැත්තං මං මගේ වෛද්‍ය වාර්තාවල්වත් කියවන්නේ නැති තරම් මොට්ටයෙක්නේ, තවමත්!

හැබැයි මෙතනදීම කියන්න ඕනේ. මට මේ සජ්ජන ඇසුර දිගටම ලැබෙන්නේ මං ඒ හැමෝටම මට පුළුවන් උපරිම ආකාරයෙන් ගරු කළ; කරන නිසා වෙන්නැති. මූනිච්චාවට නම් නෙවෙයි. නිවට විදියටත් නෙවෙයි. මගේම ක්‍රමයට; කශේරුකාව කෙළින් තියාගෙන.

දොස්තර නලින් මුලින්ම එවූ...........
ඉතින් ඔන්න ආයෙම හැරී පාර හොයාගෙන, වල් වැදුණු තැනටම එනවා! 

අයස්මන්ත මහත්තය හම්බන්තොට ඉස්පිරිතාලෙට ආවා. ඩොනල්ඩ්, ශ්‍රියා, පීරිස්, නෙවිල්, මං කියන පස්දෙනා තමා මුලින්ම රොහාන් පුල්ලෙපෙරුම මහත්තයා එක්ක සාකච්ඡාවට ගියේ. රොහාන් මහත්තයාත් හරිම උණුසුම්, කලාකාමී, විවෘත මනුස්සයෙක්. ඒ මදිවට නහරකාරයෙකුත් නෙවෙයි, මිත්‍රශීලියි.

අපේ කතාබහ පටන් අරන් විනාඩි දහයක් යන්න කලින් ඩොක්ටර් රොහාන් මගෙන් ඇහුවා මරු ප්‍රශ්නයක්. 

“මිස්ටර් නිමල් මැරීඩ්ද?” මං නැහැ කිව්වා. “කිව්වට තරහ වෙන්න එපා. බැඳලා හරි නැතිව හරි අනාගතේදීවත් දරුවෙක් හදන්න අදහසක් හෙම නිමල්ගේ හිතේ තියෙනවද දන්නෙත් නැහැනේ! පරම්පරාව ගෙනියන්න. මට ඉස්සෙල්ලම දැනගන්න ඕනේ ඒකයි.” රොහාන් ඒක අහපු සැහැල්ලුව, විදිය මට තවම මැවිලා පෙනෙනවා. අපේ හිනාවට එයාත් මදිය නොකියන්නම හවුල් වුණා.

ඒ සැහැල්ලුව මටත් බෝවෙලා තිබ්බ නිසා මාත් කෙළින්ම උත්තර බැන්දා. “දැන් ඉතින් දරුවෙක් හැදුවොත්, ලබන ආත්මෙදි තමයි ඩොක්ටර්! පරම්පරාව ගෙනියන්න මල්ලිලා දෙන්නෙක්, පුත්තු හතර දෙනෙක් හදලා තියෙනවනෙ!”

ලබන ආත්මයේදී තමයි.........
“Then it’s easy! නැතිනම් අපට මේ වැඩේ අල්ලලා දාන්න වෙනවා, මුලදීම. මම අද මිස්ටර් නිමල්ට මොකුත්ම බෙහෙතක් දෙන්න නෙවෙයි එන්න කිව්වේ. මගේ විදිය තමයි පේෂන්ට්ට ඉස්සෙල්ලාම කියලා දෙන එක මං කරන්න යන ට්‍රීට්මන්ට්ස් ගැන. අපි මිස්ටර් නිමල්ට දෙන්න යන්නේ සැර බෙහෙතක්. ඒක විෂයි. විසෙන් විස නසනවා කියලා කියන විදියේ වැඩක් තමයි අපි කරන්න යන්නේ. මේ ඩ්රග්ස් සමහර යුරෝපියන් කන්ට්‍රීස්වල නම් බෑන් කරලයි තියන්නෙත්.” 

“ඇයි ඩොක්ටර් ඒ?”

“මේකයි. මේවා ඉස්සරම ඒ රටවල්වලත් පාවිච්චි කළා. මේවා කොච්චර ස්ට්‍රොන්ග්ද කියනවා නම් පාවිච්චි කරපු අයට දිගින් දිගටම වගේ ලැබුණේ අංගවිකල ළමයි. පස්සේ තමයි මේ බෙහෙත් නිසා එහෙම වෙනවා කියලා හොයාගත්තේ. බෙහෙත් නැවත්තුවත් එව්වයේ සැර ගතිය බොඩි එකේ පවතිනවා. 

-අපි කියමුකෝ, මේ බෙහෙත්වලට මිස්ටර් නිමල්ගේ ලෙඩේ සනීප වෙලා කසාදයක් කාරිය බැඳගන්න හිතුණා කියලා. නැද්ද ඩොනා. එහෙම කරගත්තත් දරුවෙක් හදන්න යන්න බැහැ. ඔට්ටුයිද? එහෙම හැදුවොත් ලොකු පොසිබිලිටි එකක් තියෙනවා දරුවා හැන්ඩිකැප්ඩ් වෙන්න.”

ඊළඟට දොස්තර මහත්තය එයාගේ ලැප්ටොප් එක ක්‍රියා කරවලා මට පෙන්නුවා දෙන්න යන බෙහෙත්, එව්වයේ ක්‍රියාකාරිත්වය, පැටිකිරිය සේරම.   

දෙන්න යන්නේ තැලිඩොමයිඩ් ෆැමිලි එකේ........
“අපි මිස්ටර් නිමල්ට දෙන්න යන්නේ තැලිඩොමයිඩ් ෆැමිලි එකේ ඩ්රග් එකක්. ‘ලෙනිඩ්’. මේක ගනිද්දී ටිකක් අමාරුයි. එක එක සයිඩ් ඉෆෙක්ට්ස් වුණත් එන්න බලනවා. සේරම නම් එන එකක් නැහැ. කීපයක් ඇති වෙයි. නිමල් දන්නවනේ.... අපි එක එක්කෙනාගේ ශරීරය එක එක විදියයි. එකම බෙහෙතට වුණත් එක එක්කෙනා රියැක්ට් කරන්නේ එක එක විදියට .... පොඩ්ඩ-පොඩ්ඩ වෙනස් වෙන්න පුළුවන්!”

ඩොක්ටර් ඩොනල්ඩ්ඩුත් ඩොක්ටර් රොහාන් පුල්ලෙපෙරුමට සපෝර්ට් එකක් දුන්නා. 

“ඔව් මචං, මං නිමල් අයියාට ඔය ගැන කියලා තියෙන්නේ. මෙයාට ඔරොත්තු දෙයි. මහරගම කැන්සර් හොස්පිටල් එකේදී කීමොතෙරපියි, රේඩියෝතෙරපියි දෙකම කරලනේ තියෙන්නෙ. මේක එච්චර අමාරු වෙන එකක් නැහැනේ!”

මූලික සාකච්ඡාව කෙරීගෙන ගියේ එහෙමයි. “හැබැයි මිස්ටර් නිමල්, මුල්ම මාස කීපයේ ඔයාට සතියකට වතාවක් විතර මෙහෙ එන්න වෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් මන්ත්ලි එන තැනට ගෙනෙන්න. ඩොක්ටර් අයස්මන්තටත් තේරෙනවනේ.... මං කැමතියි මිස්ටර් නිමල්ව ක්ලෝස්ලි එක්සැමින් කරන්න.”

මුල් ටිකේ ක්ලෝස්ලි එක්සැමින් කරන්න..........
“එක්සැමින් නෙවෙයි මේකව මැරුවත් කමක් නැහැ, මචං. මූට මැරෙන්නලුනේ ඕනේ. හිටියා ඇති කියලමනේ කියන්නෙ. අපියි මෙයාට මැරෙන්න දෙන්නේ නැත්තේ. මිනිහගේ ගෙදරදිනේ රොහාන් අපි සෙට් වෙන්නේ. මෙයා මළොත් කවුද අපිට බයිට් හදල දෙන්නේ... කොහෙදිද අපි සෙට් වෙන්නේ? ඒකයි නිමල් අයියට දැන්ම මැරෙන්න දෙන්න බැරි.” පීරිසුයි, නෙවිලුයි පොහොර දමමින් කිව්වා!

“ආ ඒකයි මේ ඩොක්ටර්ස්ලයි යාළුවොයි නිමල්ට මෙච්චර කරුණාව.” 

ඩොක්ටර් රොහාන් අත්පොඩියකුත් ගහලා හිනා වුණා! “So, next week we’ll meet again!” අන්තිමට ඩොක්ටර් රොහාන් එදා අපට කියපු වදන්ම මං අද ඔයාලටත් කියලා දැනට විරාමයක් ගන්නම්, හොඳේ.

2 comments:

  1. // මෙයා මළොත් කවුද අපිට බයිට් හදල දෙන්නේ ... // අන්න එහෙමයි හොඳ යාලුවො ... :) මිතුරුතුමෝ දුක සැප දෙකෙහිම පවතී !

    අපි මාර්තු වල මුලින් හම්බ වෙනකොට මේ හුටපට මේ තරම් කිට්ටුව පාත උන දේවල් වග දැනං හිටියේ නැහැ ... එහෙම උනානං ඔයා කොයිතරම් සතුටින් කෑම ලෑස්ති කරපු එක කරත් කවමදාකවත් අර තරම් මහන්සි වෙන්න ඉඩ තියන්නෙ නැහැ :(

    ReplyDelete
    Replies
    1. මහන්සි නොවී, අතපය වැඩ කරවන්නේ නැතිව තිබුණොත් නිකම්ම අත-පය කොරවෙලා යයි මනුස්සයෝ. හැබැයි, එක දිගට වැඩ කළොත් කෙන්ඩ පෙරලෙන, මස් පෙරලෙන කතන්දර සිදුවෙන නිසා එකට විසඳුම විදිහට තමයි, කල් ඇතිව වැඩ කරන්නේ ටිකෙන්-ටික.

      ප්‍රශ්නයක් තියෙනවා නම් විසඳුමකුත් තියෙනවනේ.

      කැමත්තෙන් දෙයක් කරද්දී වෙහෙස දැනෙන්නේ අඩුවෙන්නේ.

      Delete