අකුරු මැකී නෑ

Sunday, November 11, 2018

රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස

ආච්චිලා සිල්ලප්පු වත්තේ ගෙය කුලියට අරන් ආවේ ඒකේම පැළපදියන් වෙන්නට හිතාගෙන නොවේ. ගෙය කුලියට දුන්නේ එළිසාච්චීය. ඇයට හිටි එකම දුවත් අකාලයේ මිය ගොසිනි. ඇගේ දියණිය විවාහ කරදී හිටියේ සිල්ලප්පුටය.

“රතනවතී, දැන් මේවා බෙදලා ඉවරයක් කරන්න කාලේ හරි. තමුසේ මගේ කොටහ ගන්නවා. මං අඩුවට දෙන්නං. නැතිනං ඉතින් පිනටම තමයි මගේ ඈයොන්ට ඔව්වා දෙන්න වෙන්නේ.” 60 දශකයේ මැද හරියේ පර්චස් 34ක ඉඩම රුපියල් 6000.00කට, අවුරුදු හයකදී මුදල් ගෙවා අහවර කරන පොරොන්දුවෙන් ආච්චී ගත්තේ එහෙමය. ඒත් වසර දහයක් ගෙවිලාත් ගෙවා තිබුණේ 3000ටත් අඩුවෙනි.....

දැන් බලද්දී ආච්චී රේස් දාන්නේ ඉඩමට ගෙවන්නට සල්ලි හොයන්නටය. ඉංගිරිස්වලින් විතරක් පළ වෙන රේස් කොළ බල-බලා, නොදන්නා ඉංගිරිස්වලින් කුරුටු ගාන්නේ.... ඉඩමේ කතන්දරය ඉවරයක් කරගන්නටය.

කණ අස්සන ගැහුව කෙනා.............
“මං කැන්දන් එන දවසේ  - කණ අස්සන ගැහුව කෙනා
පුංචි පුංචි තුණ්ඩු කෑලි එකට තියනවා
මෙන්න බොලේ ඉංගිරීසි අකුරු ලියනවා”

දෙල්තොට චන්ද්‍රපාල තම ගීතයේ ලියා ඇත්තේ පිරිමියෙකු ගැනයි. එහෙත් අරුත අපේ ආච්චීටත් වලංගු නැතිද? (අජාසත්ත-1 අප්‍රේල් පෝස්ටුවෙදී මා කිව්වේ අපේ ආච්චී ‘රන්මුතු දූවේ’ බන්දුට; ගාමිනී ෆොන්සේකාට රහසින් බැඳි පෙම පිළිබඳවය. දැන් ඊළඟ ප්‍රේමය ගැනත් කිව යුතුය.) ලෙස්ලි පිගොට්!

ලෙස්ලි නිකම්ම නිකං එක්කෙනෙක් නොවේ. එංගලන්ත මහ රැජිණගෙන් නම්බු නාම පවා ගත්තෙකි. මං හිතන්නේ ඒ කාලයේ ලංකාවේ වැඩි දෙනා දැනගෙන හිටියේ ලෙස්ලිලා දෙන්නෙක් ගැන විතරය. එක්කෙනෙක් ලෙස්ලි ගුණවර්ධනය. අනෙකා ලෙස්ලි පිගොට්ය. හැබැයි ඔහුගේ නම ලෙස්ලි නොවේ. ලෙස්ටර්ය. ලෙස්ටර් පිගොට්ය.

තවත් ලොවම පසිඳු ශ්‍රී ලාංකිකයෙක් සිනමා කලාවෙන් සිය නම අමරණීය කර ගත්තේය. ඒ ලෙස්ටර් ජේම්ස් පීරිස්ය. Lester Piggott ඉංග්‍රීසින් අතර Long Fellowය. ඒ ඔහු අඩි 5 අඟල් 8ක් උස, කෙට්ටු හාදයෙක් හින්දාය. රුව නොදැක, හඬ නොඅසා, මේ විස්තර කිසිවක්ම නොදැන වාගෙය අපේ ආච්චී ලෙස්ලි පිගොට්ට වහ වැටී හිටියේ.

2018 නොවැම්බර් 5 වෙනිදාට........
දැන් ඔහු ප්‍රසිද්ධිය මඟ හැර සිටී. මේ නොවැම්බර් 5 වෙනිදාට ඔහුට අවුරුදු 83කි. මං ගණන් හැදුවා හරි නේද?

ඉතින් අපේ පවුලේ ට්‍රිබල නිතර මැතිරූ නම්වලින් මට මතක පිගොට්ගේ නමත්, හචින්සන්ගේ නමත් විතරය. ඒ වගේම මතක දෙයකි රැජිණට අයිති අශ්වයනුත් හිටිය බව.

“අරහේ රැජිණටත් අශ්වයෝ ඉන්නවා. හැබැයි උනුත් රේස් දුවලා පරදිනවා. අපිත් හැමදාම පරාදයි. මොකා පැරදුණත් සුමතිපාල මුදලාලිලා නම් හැමදාම දිනුම්.” එහෙම කියමින්, නහයෙන් අඬමින් වුණත් තාත්තලා රේස් දැමිල්ල අත හැරියේ නැත. අපේ තාත්තාගේ රේස් දැමිල්ලේ හරිම රඟ එළි වුණේ අපේ ගෙදර පිටිපස කෑල්ල කඩා වැටුණු විටය.

එතකොට අපේ ගෙදර තිබුණේ හොඳටම අබලන්වය. පිටිපස්සේ කෑල්ලට හෙවිල්ලා තිබ්බේ තාර ෂීට්ය. ඒවා හෙවිල්ලන්නේ ලී රීප්ප ගසා, ඊට උඩින්ය. මහා වැස්සක් දවසේ අර රීප්ප දිරා තිබුණු වහලය කඩාගෙන වැටුණේය. එවෙලේ තාත්තා ගෙදර හිටියේ නැත. 

වැස්සේ තෙමෙමින් වෙච්ච විනම්බෑසිය මනින්නට ගිය අපට හමු වුණේ, වහලේ තැනින් තැන හංගා තුබුණු රේස් තුණ්ඩුය. ඒ සියල්ල එකතු කරගත් සුනිල් මල්ලී ඒවායේ එකතුව ගණන් බැලුවේය. ලොකු ගණනක් නොවේ. 18,000/ ට අඩුය. 17,500/ ට වැඩිය. ඔය 1970 විතරය.

සුනිලුන් ගැයුවේ අපේ තාත්තා...........
‘ඉරණම විසඳුම සතෙකුට දෙනවා - තිරිසනෙකුට මිනිසෙකු පරදිනවා
දරුවන් බිරිඳත් දුක උහුලනවා - හීනෙන් නුඹ තව ගෙවල් හදනවා’

සුනිල් එදිරිසිංහ ගැයුවේ අපේ තාත්තා මිය ගොසිනුත් කාලයකට පස්සෙය. 

එදා, තාත්තාගේ තුණ්ඩු දැකලා පපුව පත්තු කර ගත්තේ අපේ ආච්චීය. “හපොයි පජාති වසලයා. ආදෙන්කෝ අද ගෙදර. සරම ගැලවෙන්න දෙකක් කතා කරන්න. අම්මාපල් මගේ බඩෙන් වැදුවනෙ මෙහෙම අසමජ්ජාතියෙක්. මූට හෙණ ගහනවද ඉඩම බේරලා ඉවරයක් කරන්න මට ණයට හරි සල්ලි ටිකක් දුන්නා නම්... එකත් එකටම තවම හම්බ වුණේ නෑ කිව්වට CGR එකෙන් තමයි මේකට වන්දියක් හම්බ වෙන්න ඇත්තේ.”

පස්සේ හෙළි වුණේ ආච්චිගේ ‘ගෙස්’ කෙරිල්ල හරියටම හරි බවයි. තාත්තාව විශ්‍රාම ගන්වන්නට පෙර හිඟ වැටුප් ලෙස ඒ මුදල දී ඇති බවයි කියැවුණේ. 

කීයක්ද ලැබුණේ කියා කවුරුන්වත්ම, කවදාවත්ම දැනගත්තේ නැත. හැබැයි පොඩිකමට වුණත් අපේ සුනිලා නම් එකක් අනුමාන කළේය. “ලොකයියාට මතකද තාත්තා අපි දෙන්නට කොට කලිසං දෙකක් මස්සල දුන්නා, කවදාවත් නැතිව. ඔය සල්ලිවලින් තමයි ඒ.”

අපේ තාත්තාගේ දරු හැවිකාරය එහෙව් එකකි!

මහබඹා  ඒ ගැන හිතුවේ නැත්තේ...........
ඇත්තටම ඒ අකාරුණිකකම් ගැන සිහිවෙද්දී මා නැවතත් මෙනෙහි කරන්නේ පීතෘ පදවිය දරන්නට නුසුදුසු නමුත් දරුවන් ජනිත කරවීමේ හැකියාව ලබන පිරිමින් ගැනය. මව්වත්කමක් නැති අම්මලාට වුණත් ඒ කාරණය අදාළය. මහබඹා ඒ ගැන හිතුවේ නැත්තේ ඇයි? 

නොහිතූ එකත් හොඳය. මහබඹා එහෙම ප්‍රතිපත්තියක් ගැන හිතුවා නම් අද මේ බ්ලොගය කොටන්නට නිමල් කෙනෙකුත් නැත. හැම හොඳකම නරකකුත්, හැම නරකකම හොඳකුත් ඇතිවා වගේය. ලෝකය පවතින්නේත් ඒ නියදම මතම නේද?

අපේ තාත්තලාගේ රේස් දැමිල්ලෙනුත් හොඳක් වුණේය. 

මුලදී රේස් චිට් එක ලියා ඉවර වුණු පසු එය මහරගම හන්දියේ ‘ලියනගේ මාමා’ ළඟට යවන්නේ අපේ සුනිල් අතේය. අජාසත්ත නටන්නට මහරගම හයිලෙවල් පාරේම වේදිකාව හදන්නට තැන හොයා දුන්නේ; නාට්‍යය දැක සතුටෙන් ඉපිලී අපට ඔරේන්ජ් බාර්ලි ගෙනත් දුන්නේ මේ ලියනගේ මාමාය. (අමතක නම් ආයෙම ‘අජාසත්ත පෝස්ට්’ ටික කියවත හැකියි නෙව!)  

ඒ කාලේ රේස් තුණ්ඩු ලිව්වේ පිටපත් තුනක් හිටින විදියටය. කාබන් කොළ තියලාය. චිට් එකතු කරන්නා මුදල් ගෙවූ බව සනාථ කර, සීල් ගසා එක පිටපතක් අපට දෙයි. එකක් ඔහු ළඟ තියා ගන්නටය. අනෙක හැන්දෑවේ මුදලුත් සමඟ ප්‍රධාන බුකි මධ්‍යස්ථානයට යවන්නටය.

ගණිතයට දක්ෂ, රෑට නිදි මරන්නට හැකි අයට ඒ මධ්‍යස්ථානවල හොඳ වැටුප් ගෙව්වේලු. කොම්පියුටර් තියා ඒ කාලේ කැල්කියුලේටර්වත් තුබුණු බවක් මා නම් දැනගෙන උන්නේ නැත! දිනන ඔට්ටුකරුවන්ගේ චිට්වල ගණන් හදා, පසුවදා දහවල් වෙන්නට පෙර ඒවා කස්ටර්මල්ලාට ගෙවන්නට තරම් ඒ දිනවල බුකි කෙරුවාව කාර්යක්ෂම වුණු බව නම් දැනගෙන උන්නෙමි.

කැල්කියුලේටර්, කොම්පියුටර් නැති............
හේතුව මා නොදන්නා නමුත් ටික කාලෙකට පස්සේ තාත්තා ලියනගේ මාමා ළඟ රේස් දැමිල්ල නතර කළේය. ඒ වෙනුවට SU අපේ ගෙදරටම ඇවිත් තුණ්ඩු එකතු කරන්නට පටන් ගත්තේය.

එයාලා හිටියේ නැන්සි අක්කලාගේ වත්තේ ගෙදරක කුලියටය. (නැන්සි අක්කා ගැන විස්තර ‘මගේ චූස් මටම චූස්- පෝස්ටුවේ ලීවෙමි.) රේස් තුණ්ඩු එකතු කරන්නට මුලින් ආවේ SUය. ඒ ඔස්සේ ඔහුගේ බිරියත් අපේ අම්මා සමඟ දැනහැඳුනුම්කම් වගා-දිගා කර ගත්තාය. SU අක්කා හරිම ප්‍රියමනාප කරුණාවන්ත ගැහැනියකි. හැබැයි එයාටත් අපේ අම්මලාගේ පාරම්පරික ලෙඩේ තිබිණි.

පිරිමියෙකුට පැදුර පෑගුණත් ගැබ්බර වීමේ අසනීපෙ! ඒ ගෙදරත් අනෙක් සම්පත් අඩු වුණාට, දරු සම්පතින් නම් කිසිම අඩුවක් තිබුණේ නැත.

එතකොට අපේ අම්මා කුලියට ඇඳුම් මහන්නට පටන් අරගෙනය. ගස් නැති රටේ තුත්තිරි ගහත් ගහක් වුණාට නොවේ. අම්මාට ඒ හැකියාව පිහිටලා තිබිණි. “ලීලක්කේ, අපේ අම්මා කොළඹ දෙමළ ගෙදරක වැඩට යනවා. කොල්ලුපිටියේ... යෝගා මිසී කියලා. එයා හොයනවා හොඳට හැට්ට මහන්න පුළුවන් එක්කෙනෙක්ව. නරකද ඒ වැඩේට ගියොත්? හැමදාම යනවා නෙවෙයිනේ. වැඩක් තියෙනකොට විතරයිනේ.”

අම්මා මැහුවේ 'සිංගර්' පාගන මැෂින්  එකකිනි. දැන් වගේ නොවේ.
පුදුමය තාත්තා ඒ යෝජනාවට උදැල්ල නොදැමීමය. ඒ තීරණය අපේ ජීවිත උඩු-යටිකුරු කළ හැටි කියන්නට වෙන්නේ වෙනම පෝස්ටු කිහිපයකිනි. ඒ නිසා දැනට අපි ‘රේස්වලින්...’ කතාවට ගිහින් ඒක අහවරයක් කරගෙන ඉඳිමු නේද?

අපේ ආච්චීත්, සීයාත් දෙන්නම කවදාවත් ලොකු දිනුමක් නම් නොලබන බව තාත්තා දහ අතේ දිවුරා කීවේ ඇත්තටමය. ඒ දෙන්නම ඔට්ටු ඇල්ලුවේ සුළු ගණන්ය. සීයා ඇල්ලුවේම ෆේවරිට් අස්සයන්ය. ආච්චිත් එහෙමය. එහෙම සතුන් ෆේවරිට් වෙන තරමට, උන් දිනුවත් ගෙවන ගණන පහළ වැටෙයි. ප්‍රසිද්ධ නැති, ජනප්‍රිය නැති අශ්වයෙක් දිනුවොත් ගෙවන මිල ඉහළ යයි.

මා දන්නා තරමට නම් තුණ්ඩුවේ අශ්වයන්ගේ නම් ලියා ඒවායේ ‘වින්’ පැත්තේ හෝ, ‘ප්ලේස්’ පැත්තේ හෝ, ‘දෙපැත්තේම’ හෝ ඔට්ටු ලකුණු කළ හැකිය. 

වින් කියන්නේ පළමු තැන දිනන එකටය. දෙවෙනි, තුන්වෙනි තැන් ප්ලේස්ය. 

වින් කරන අශ්වයන් තිදෙනෙකුගේ නම් එකට ලියා, බ්‍රැකට් කර රුපියල් දහයක් ඔට්ටු ඇල්ලුවාය කියමු. තිදෙනාම ‘වින්’ කළොත් උන්ට ගෙවන ගණන් තුන එකින් එක වැඩි කෙරෙයි. 11 X 8 X 12 = 1056 මෙනි. ලොකු මුදලක් දිනන්නට නම් මෙලෙස වැඩි අසුන් ගණනාවකට ඔට්ටු ඇල්ලිය යුතුය. හැබැයි එවිට දිනන්නට තිබෙන ඉඩ අඩු වෙයි.

තාත්තලා වතාවක් දෙකක් මටත් ‘හොඳටම ෂුවර් ටිප් එකක් දෙන්නම්, ගොඩ යන්න’ කියා මාවත් ඔය සෙල්ලමට ඈඳාගත්හ. 

අනුන් දෙන උදව් බාරගැනීම පරෙස්සමින් කළ යුතුය. දෙන පළියට පැනලා ගත යුතු නැත. දුර නොබලා අපේ රට කරවන ඇත්තන් එහෙම බාරගත් දේවල් හිංදා මතු උපදින්නට ඉන්නා එකාලත් දැන්මම ජාති ණයකාරයන්වී හමාරය. ඉතින් තාත්තලාගෙන් ‘ටිප්ස් අරන් රේස් දැමිල්ල’ එක සැරෙන්-දෙකෙන්ම මම අත හැරියෙමි. මා සූදුවට නොයන්නේ පරාජය බාර ගන්නට මට බැරි හින්දාය.

අවුරුදු කාලයට ගෙදරදී මා ඔට්ටුවට පංච දමන හැටි බලා උන් තාත්තා මට මහඟු අවවාදයක් දුන්නේය.

අනුන් දෙන උදව් බාරගැනීම........
“රංජි, උඹට මං එක අවවාදයක් දෙන්නම්. උඹ කවදාවත් සූදුවට යන්න එපා. ගියොත් නම් උඹ ලොකුම සූදු අන්තුවෙක් වෙලයි නවතින්නේ.”

“තාත්තා කොහොමද එහෙම කියන්නේ?” මම හරස් ප්‍රශ්නයකුත් ඇහුවෙමි. 

“මෙච්චෙල්ලා මං බලාගෙන හිටියේ උඹලා පංච දාන හැටි. උඹ සතයක් පරාද වෙනකොට දෙකක් ඔට්ටු අල්ලනවා ඊළඟ සැරේ. උඹගෙ ඒ කෙරුවාව තමයි පුතේ ඔය කැසිනෝකාරයො කරනවාය කියන්නේ. කොටින්ම බූරු කැප්ටන්ලා බූරු පිටියේදී කරන්නෙත් ඒකමයි. වාසනාව තිබ්බොත් හොඳයි. නැතිනම් ඉතින් දෙයියන්ගේ පිහිටයි. නට්ටන් වෙලා තමයි ගෙදර යන්න වෙන්නේ.”

මේ සත්‍යය හැබෑම නිරීක්ෂණයකින් පස්සේ කියවුණු බව මට තේරුම් ගියේ ඊටත් කාලයකට පසුය. 

සූදුවට විතරක් නොවේ, යම් වැඩකට බැස්සත් මා එහෙමමය. එයින් පසු මම මටම වාරණ පනවාගෙන ඇත්තෙමි. ඒ ඕනෑම දෙයකට ඇබ්බැහි වීමෙන් මා වළක්වා ගන්නටය. දැනට එකක් විතරක් කියන්නම්කො. මා එක වතාවකදී ලොතරැයි ටිකට් පත් තුනක උපරිමයක් පමණි, මිලට ගන්නේ. ඒකත් සතියකට දෙවතාවක් පමණි.

අනෙක් අතට මා වඩාත් ප්‍රිය කරන්නේ මොළයෙන් ගහන්නට ඕනෑ ගේම්වලටය. ශරීරයෙන් බට්ටෙකු වන මට එහෙම කරන්නට පුරුදුවී හිටීමෙන් වැරැද්දක් සිදුවෙලාත් නැත; අභිමතාර්ථය ඉටු වුණා මිස! ‘වස් කවි කීම- අප්‍රේල් පෝස්ටු’ ටික එහෙම ගැසූ ගේම් එකක් ගැනය.

තව හොඳ හොඳ කෙළි.............
තව හොඳ-හොඳ කෙළි ඉදිරියේදී හෙළි කරන්නට මගේ සිත් ගබඩාවේ එමට ඇත. සමහර විට එතකොට........ මොකටද මංම අනුමාන කරන්නේ? I provide, You decide! ඔව්, දැන් මගේ යුතුකම සියලු දේ නොවලහා, නොසඟවා ඇත්ත ඇති සැටියෙන් කීම පමණි. ඒවා කිරා-මැන බැලීම; විනිශ්චය කිරීම; නිගමනවලට එළඹීම දයාබර පාඨක ඔබටම බාරය. හැබැයි අදට ‘මෙතැනින් මාරුවෙනු!’ කියා ඇඟිලි ටික මට කියයි. ඉතින් කීකරු නොවී කොහොමද?

2 comments:

  1. හප්පට සිරි පවුලෙන් බාගයක් බෞද්ධ සම්මේලනේට ආධාර දීලනෙ !

    ReplyDelete
    Replies
    1. ඒකත් ලොකු පවුල් ජාලයක්නේ, කණ්ඩා! දැන් එයාලගෙත් star එක බහිනවද මන්දා.

      Delete