ගිය වතාවේ පෝස්ටුව නැවැත්තුවේ ‘වසන්තාගේ වාසනාව’ ගැන කියූ තැනින්ය. ඇයි
වසන්තාගේ වාසනාව විතරක්. රසික ඔයාලා?
ඔයාලා හැමෝමත් වාසනාවන්තයෝය. මනුස්සාත්ම භවයක් ලැබීම වාසනාවකි. හොඳ සිහි
බුද්ධිය ඇතිව, ඇසීම- දැකීම- කතාබහ කිරීම- අදහස් ප්‍රකාශ කිරීම වගේ හැම දෙයක්ම කළ
හැකිව හිඳීම කොයි තරම් වාසනාවන්තකමක්ද? ඒ නිසා නේද මෙහෙම මා ලියන එව්වා කියවන්නට
හැකිවී තියෙන්නෙත්.
කියවීම...... |
දැනට දෙතුන් වතාවක්ම මා එකම දෙයක් කියලා අහවරය. ‘අපේ
ශරීර කූඩුව වැඩ කරන යාන්ත්‍රණය හරියටම තේරුම් ගැනීම හොඳය’. එහෙම තේරුම් ගත්තාමය
අපට ඕනෑ හැටියට සෙල්ලම් දාන්නට පුළුවන් වෙන්නේ. (ඒ මං කරන හැටිය!).
හුඟ දෙනා සෙල්ලම් සේරම දාන්නට යන්නේ බාගෙට ඉගෙනගෙනය.
එතකොට වැඩේ චොර වෙයි.
සිංහල හරියට නොදන්නා අය භාෂාවකට වියරණ ඕනෑ නැතැයි කියමින්
හඩු සිංහලෙන් ලියති; ලියන්නට ගිහින් නාගනිති. හොඳට බාසාව දන්නා උදවිය බස ලෙළවති;
නළවති; ඇති පමණ ශිල්ප දක්වති! හැබැයි සිංහලයට නීති එපා කියන උදවිය අම්මෙ-මුත්තෙ
කිව්වත් ඉංගිරිස් නම් වරද්දන්නේ නැත. ඒකට පස්ස ගහති.
මොකට පස්ස ගැහුවත් අප හැමෝම කන්නට- බොන්නට නම් පස්ස
ගහන්නේ නැත. මිනිස්සු දෙවිදියකට ජීවත් වෙති. 1- පළමු කොටසේ අය කන්නටම ජීවත් වෙන
අයයි. 2- දෙවන කොටසේ උදවිය ජීවත් වෙන්නට විතරක් කන ඇත්තන්ය. ඔබ අයිති කොයි කොටසටද?
අද අප වටේ ඉන්නා උදවියට ඒ තියරිය දාලා බලන්නකෝ, කොහොමද කියලා!
කන්නටම ජීවත් වෙන්නෝ............... |
1. පිෂ්ඨය - කාබෝහයිඩ්රේට කියලත් කියන්නේ මේකටමයි. බත්, පාන්, අල වර්ග, පිටි එළවලු, සීනි වගේ දේවල්...... 2. ප්‍රෝටීන - ධාන්‍ය වර්ග, මස්, මාළු, කරවල, බිත්තර වගේ දේවල්...... 3. මේදය - මස්, බටර්, තෙල් වර්ග .... 4. ඛනිජ වර්ග, විටමින් හා අංශු මාත්‍ර මූල ද්‍රව්‍ය
කන්න ගියාම ඉතින් මේ කොටස් ගැන නෙවෙයිනේ අපි හොයන්නේ. කාගෙන,
කාගෙන යනවා මිසක්. පුදුමේ කියන්නේ කොයි ‘කන’ එකටත් ඒ තියරි එක පොදුයි කියලා මට නම්
හිතෙන එක! කොහෙද, මගේ නුහුගුණ ගතියත් හිටි ගමන් මතු වෙනවා නේද? නැතිනම් මොකටද
මෙතනට වෙන-වෙන ‘කන’ එව්වා ඇදගන්නේ.
අපේ කියමනක් තියෙනවානේ, ‘ඉස්සෙල්ලාම කන්නෙ ඇහෙන්!’.
ලස්සනට, ප්‍රියමනාප විදියට තියෙනවා නම් ok. දෙවෙනියට කන්නෙ නහයෙන්. නෑ! එහෙම නැහැ
කියලද හිතුවේ? නිකමට හිතන්නකෝ හොඳටම රොස් ගඳ ගහන කිරිබතක් ගැන. කත හැකිද? නියම
ගණනට ලුණු-ඇඹුල් වැටිච්ච කිරි හොද්දක්.... සුවඳ මේ දැනුත් දැනෙනවා වගෙයිද?
කන්න ගියාම කොච්චර ජාති තියෙනවාද? |
එහෙම ශරීරගත වෙන දේවල් සේරම ගබඩා කරන්නෙත්; ශරීරයට බෙදා හරින්නෙත් අක්මාවෙන්. එහෙම ලේවලට උරාගෙන ඇඟේම ගබඩා කරලා තියාගන්න සීනි දහනය කරලා තමයි ඇඟට ක්‍රියාකාරී වෙන්න ඕනේ කරන ශක්තිය ලබා ගන්නේ.
ඒක දැන් හැමෝම දන්නවානේ. කොච්චරද කියනවා නම්, අපිට හුස්ම ගන්න වුණත් ශක්තියක් ඕනේ. ඇඟ පුරා රුධිරය දුවන්නෙත් යම්කිසි ශක්තියක් වැය කරමින්........”
එදා පීරිස් මුල පිරුවේ ලොකු-දිග-බරපතළ කතාවකටය.
“නිමල් අයියේ, මිනිස්සු බඩට දාගන්න දේවල් සේරම දිරවන
නිසා වෙන්නැති ආහාර ගැන වැරැදි මත ගණනාවක්ම තදින්ම සමාජයේ මුල් බැහැගෙන තියෙනවා. -ඉස්සරත්
අපි ඕනේ තරම් බත්, අල, බතල, කොස්, දෙල් කෑවා. සීනි එක්ක තේ බිව්වා. ඒ වුණාට අපේ
උදවියට ලෙඩ හැදුණේ නැහැනේ- ඒක තමයි වැඩිම
දෙනෙක් නඟන තර්කය.”
“එතකොට අයස්මන්ත මහත්තයෝ, ඔයා කියන්නේ ඒක බොරුය කියලද?”
“හැබෑ බොරු තීරණය කරවාගන්න නම් ඉතින් ශ්‍රේෂ්ඨාධිකරණයට
යන්න වෙයි.”
මට එක වතාවටම හිතුණේ ‘මගේ අම්මෝ’ කියලාය.
නීතිය ගැන තිබුණු විශ්වාසය නම් නැත්තටම නැතිවී..... |
ඇත්තම කිව්වොත් නීතිය ගැන මගේ හිතේ යාන්තමින්වත් ඉතිරිවී
තුබුණු ගෞරවය; විශ්වාසය පහුගිය සති කීපයේදී නැත්තටම නැතිවී ගියේය.
එහෙම වුණේ අපේ
නීති පප්පලා දෙපිළට බෙදී ඉතාම හරබර විදියට දෙසා වදාළ අර්ථකථනවලට කන් දුන්නාමය. එකම
නීතිය මෙච්චරටම වෙනස් විදියට තේරුම් කරන ඒ උත්තමයන් තරම් ‘උත්තම පුතාලා’ මළාම
වළලන්න හොඳ නැතිය.
අනාගත පරම්පරාවලටත් දැක බලාගන්නට හැකිවෙන්නට කරෝල කරලා තියන්නට
වටිනවාය.
“ හැබෑ බොරු කොහොම වුණත්, මට කියන්න පුළුවන් මං පිළිගන්න
කාරණා ටිකක්. එක. ඉස්සර කාපු දේවල් නෙවෙයි අපි දැන් කන්නෙ. බත්ම ගනිමුකෝ. හීනටි,
සුවඳැල්, කුරුලුතුඩ, මාවී වගේ හාල් ජාතිවලින්ද අපි අද බත් උයන්නේ?
දැන් තියන වී
ජාති සේරම දෙමුහුන් කරපුවා, ජාන වෙනස් කරපුවා. ඒ හාල් හොඳට පෑහැලා, ඒ මදිවට
පොලිෂුත් කරලයි මාකට් එකට දාන්නේ.
ඉස්සර මිනිස්සු කැකුළෙන් හාල් කෙටුවේ
කලාතුරකින්. කෑවේ තම්බපු හාල්වලින් උයපු බත්. දැන් වගේ තේවලට සීනි පුරෝගෙනද තේ
බිව්වේ?
අල්ලට සීනි කැට දෙක-තුනක් අරන් කාලා. පිඟානේ බත් එක්කම එළවලු මාළුපිනිත්
හරි-හරියට තිබුණා. අද?”
ඒකට විරුද්ධව නම් මටත් කියන්නට දේවල් තිබ්බේ නැත.
“නිමල් අයියේ, ඉස්සර මිනිස්සු කොච්චර මහන්සි වුණාද?
ගෑනු
කට්ටිය ගෙදර වංගෙඩියේ වී කෙටුවා. කුරහන් ගලේ කුරහන් ඇඹරුවා. දුරු-මිරිස් ටික
මිරිස් ගලේ අඹරාගත්තා. ළිඳෙන් වතුර ඇද්දා.
පිරිමිත් කුඹුරේ, ඕවිටේ, හේනේ කොයි තරම්
වැඩ කළාද?
දැන් කවුද ඒ වගේ ඇඟ වෙහෙසවලා වැඩ කරන්නේ? එහෙම මහන්සි වෙද්දී කෑව
බිව්වෙත් ඔරොත්තු දෙන දේවල්.
ඔයා දන්නවද? දැන් අපිට මුහුදු මාළු කන එකත් නවත්තන්න
වේගෙනයි එන්නේ. දැන් උන්ගේ ඇඟේත් ප්ලාස්ටික් අංශු!
එහෙන් කෘමිනාශක, මෙහෙන්
ප්ලාස්ටික්. ඒ අතරට එක-එක කලරින්ස්, කෙමිකල්ස්.....”
පීරිස් කියාගෙන ගියේ හරියට මං
කරපු දෙයක් නිසා මේ විනම්බෑසි සේරම සිද්ධ වෙනවා වගේය.
කුරහන් ගලේ කුරහන් ඇඹරුවා............ |
“ඒක නම් ඇත්තයි පීරිස්. ඒත් මිනිස්සු දැනුවත් වුණාමනෙ
එයාලටම තීරණයක් ගන්න ලෙහෙසි. මං හිතුවේ අද ඉන්සියුලින් ගැන වැඩියෙන් කියන්න.
මොකද,
ඔයාම කියනවනේ කෑමක් ගැන හිතනකොටත් ඉන්සියුලින් ශ්‍රාවය වෙන්න පටන් ගන්නවා කියලා.”
කතාව මට ඕනෑ පැත්තට හරවා ගන්නට හැකි වුණේ ඔන්න එහෙම ඇහුවාට පස්සෙය.
“අපේ ඇඟ දන්නේ නැහැ අපි කන්නෙ ගැළපෙන දේවල් විතරද වගේ
කිසිම දෙයක්.
ආමාශය පුරුදු වෙලා තියෙන්නේ ඒකට වැටෙන ආහාර සේරම ජීර්ණය කරලා දෙන්න.
එහෙම ජීරණය වෙවී ආහාරවල අඩංගු වෙලා තියෙන පෝෂක ද්‍රව්‍ය අපේ ලේවලට එකතුවෙනවා.
ඉස්සෙල්ලාම එහෙම එකතු වෙන්නේ ග්ලූකෝස්.
මොකද ඉක්මනින්ම දිරවන ආහාර කොටසට වැටෙන්නේ
පිටි; පිෂ්ඨය; සීනි වැඩි කෑම වගේ ඒවා නිසා. ඔන්න එතකොට තමා ඉන්සියුලින් ඕනේ
වෙන්නේ!
මොකටද ඉන්සියුලින් ඕනේ? මොකක්ද ඉන්සියුලින්වලින් කෙරෙන්නේ?”
දැන් නම් මටත් ඔය ටික දොස්තර මහත්තයා තරම්ම අපූරුවට
නැතත්, ඒ කිට්ටුවට පහදලා දෙන්නට හැකිය.
දිගට කළේ නැතත් අපේ නෑදෑ-හිතමිතුරු, අසල්වැසි
ගොඩ දෙනෙකුට පීරිස් තෙල බෙදුවේය. හුඟ වෙලාවට මාත් ඉස්සරහදීමය. මට හිතෙන්නේ දොස්තර
මහත්තයා එහෙම කළේ මාව ඒ ගොඩට තල්ලු කරන්නටමය.
තල්ලු වෙන්නට ඉස්සෙල්ලම මට එව්වා
පාඩම් හිටලා වගේය.
ඉන්සියුලින්වලින් කෙරෙන්නේ........... |
“.....ඉන්සියුලින්වලින් තමයි ලේවල තියෙන ග්ලූකෝස් සිරුරේ
පටකවල සෛලවලට තල්ලු කරන්නේ. ඔන්න වැදගත්ම point එකක්.
සීනි වැඩි ආහාර ගන්න තරමට
ඉන්සියුලින් වැඩියෙන් නිපදවෙන්න ඕනේ එහෙම තල්ලු කරන්න! මොකද, එහෙම දිගින් දිගටම
වැඩියෙන් ඉන්සියුලින් එකතු වෙද්දීත් ලොකු වෙනසක් වෙනවා. ඉන්සියුලින්වලට ඇති සංවේදී
බව අඩුවෙන්න පටන් ගන්නවා.
ඉතින් අග්න්‍යාශයට දිගටම බර වැඩ කරන්න වෙනවා. ඒක දිගටම
කරන්න බැරි වුණොත්......?”
ඔච්චර සිම්පල් ප්‍රශ්නයක් අහද්දී නම් මගෙත් පඩික්කන් කට
ටක් ගාලා ඇරෙයි. “දියවැඩියාවට මුල පිරෙනවා!”
“හරියටම කියනවා
නම් type 2 දියවැඩියාවට.”
“දැන් පැහැදිලියි!” මම කිව්වෙමි.
“ඒත් මැට්ටෝ, තමුසෙ ගිය සතියෙත් උඳු වළලුයි, රෝස් පානුයි,
කිරිබතුයි..... ජාති තුනම කෙළලා ඇරියා නේද?”
“ඒකෙනුත් එකක් පැහැදිලි වෙනවානේ මහත්තයෝ........” මං බැරෑරුම්
විදියට කියද්දී පීරිසුත් මට ඉඩ දුන්නේය. “අපේ නෙවිල් අනුරසිරි උන්නැහෙත් ඒකට
සම්මාදම් වෙලා, කේළමත් කිව්වා කියලා.”
“මොනවා? ඌත් කෑවද?” දැන් දොස්තර මහත්තයාට මාව අමතකය.
පරුෂ වචන මාලාවකින්ම ලෝබ නැතිව සංග්‍රහ කරන්නේ කොහේවත් ඉන්නා නෙවිල්ටය.
උඳු වළලුයි රෝස්පානුයි කිරිබතුයි ජාති තුනම.......... |
“ඔච්චර කේන්ති ගන්න එපා මහත්තයෝ. ටිකක් ඉවසලා කියන්නකෝ
ටයිප් 2 දියවැඩියාව ගැන ඔයා කියන්න හදපු
දේ.”
“මේකයි. දැන් තමුසේ බඩජහරිකමට ඉඳහිටලා ගිලිනවා වගේ
නෙවෙයි, අපේ මිනිස්සු දිගට-හරහට කොච්චර නම් දිරවන්න ලේසි දේවල් දවසකදි ගිල දානවද?
පාන්, බනිස්, කේක්, අයිස්ක්‍රීම්, බිස්කට්, චොක්ලට්, ආප්ප, පිට්ටු, තෝසේ,
ස්වීට්ස්..... කෙළවරක් නැහැනේ. ඒ මදිවට තේ එකක්, කෝපි එකක් බොද්දිත් එකේ වැඩියෙන්
තියෙන්නේ මොනවද? සීනි.
පැණි බීම? බත් කනකොටත් කන්නෙ ඉක්මනින්ම දිරවන්න පුළුවන්
විදියේ පෑහැපු- පොලිෂ් කරපු හාල්වලින් උයපු බත්. එහෙම කරනකොට කෑම ඉක්මනින්
දිරවනවා.
ලේවලට සීනි එකතු වීමත් ඉක්මනින් වෙනවා.
එතකොට ලේවල සීනි ගබඩා කිරීමත් ඉක්මනින්ම
කෙරෙන්න වෙනවා.”
හරියටම චක්‍රයක් වගේය.
“ඔව්, ඒක චක්‍රයක් වගේ තමයි. දිගටම වැඩියෙන් ඉන්සියුලින්
වැඩියෙන් ලේවලට එකතු වෙද්දී අපේ ඇඟ ඒවාට ප්‍රතිචාර දක්වන එක slow වෙනවා.
දිගටම
දකින කුකුලාගේ කරමලේ සුදුවට පෙනෙන්න ගන්නවා වගේ.
එතකොට මොකද වෙන්නේ? තව වැඩියෙන්
ඉන්සියුලින් හදන්න වෙනවා...... ටයිප් 2 දියවැඩියාව හැදෙන්න තවත් හේතුවක්!”
දැන් ඔයාලට දැනෙන්නෙ කොහොමද?
මං මේ බ්ලොගය කියවමින්
ඉන්නවා නම් ඔන්න ටිකාක් හරි ඇති කියලා හිතනවාමය.
ඒ මගේ හිත එක අරමුණක තියා ගැනීමේ
හැකියාව චුට්ටං නිසා වෙන්නටත් හැකිය.
මෙච්චර දවසක් මේ කාරණා මල්ල ලෙහන්නට පරක්කු
කළෙත් මේ නිසාමය.
ඇතා ලොකුය. එහෙව් සතා කොච්චර වැහැරුණත් කොරහේ දමා නාවන්නට බැරිය.
අනෙක මා මේ ලියන්නේ මට ලැබුණු ‘වැරැදි බෝනස් එක’ ගැනනේ.
එහෙම වුණත් ඒක කාටවත් කියවන්නට එපා නොවෙන විදියට ලියන්නත් ඕනෑය.
ඇතා කොච්චර වැහරුණත් කොරහේ නාවන්නට බැරුවා වාගේ....... |
අපේ පළමුවෙනි විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහත්තයා
කවියෙක්ද?
මෙච්චර කාලෙකට නම් මං ඒ බවක් දැනගෙන හිටියේ නැත. ඒත් එතුමාත් කවියක්
ලියා ඇත. සමහර විට එයා වෙනුවෙන් වෙන කවුරුන් හරි ඒක ලිව්වාත් විය හැකිය.
ලෝකයේ ඉන්නා ගොඩක් ලෝකයන්ට, ලෝක දේශපාලකයන්ට කතා ලියන්නට
වෙනම පිරිසක් ඉඳිති. එහෙම නැති අයත් හිටිති.
ඉතින් එහෙම අය අද එකක් කියා, ඒකෙ
රස්නය යන්නටත් කලින් ඊට පටහැණි කතාවක් හෙට කියලා මදිය නොකියන්නම නාගනිති.
ඒ
මොට්ටකම ප්‍රදර්ශනය කරන්නට බය නැති නිසාය. අපේ රටේ නම් වැඩියෙන් කැමැතිත් එහෙම
මරි-මෝඩ උදවියට මනාපය දෙන්නටය.
කැස්බෑව ආසනයෙන් පාර්ලිමේන්තුවට ගිය සෝමවීර චන්ද්‍රසිරි
මහත්තයා හැබෑම කවියෙකි. තැනට ඔබින විදියට හිටිවන කවි කියන්නට හපනෙකි.
දවසක් එතුමාට
‘හූ’ කියූ අයට කියූ කවියක අන්තිම පදයම වුණත් ඔහුගේ නිසග; මුඛරි කවීත්වයට සාක්කිය.
“අම්මලට කියා මකවාගන් හූව!”
එහෙව් සෝමවීර චන්ද්‍රසිරි කවි පොතක් ලිව්වේය. ‘හිර
ගෙදරින් පාර්ලිමේන්තුවට’.
පොතක මිල රුපියලකි. (ඒ ඉස්සර ගණන්වල හැටියටය.)
එයින්
පිටපතක් ජේ.ආර්ටත් යැව්වේය. නිකම්ම නොවේ. කවියකුත් ලියලාය.
‘සිර ගෙදරින් පාර්ලිමේන්තුවට’ යන
මෙම පොත එවමි හිතවත්කම පෙරට ගෙන
කියවා බලා මෙහි ඇති හොඳ නරක ගැන
අදහස තිබේ නම් රුපියල එවනු මැන
සෝමවීර චන්ද්‍රසිරි - ජේ.ආර්. දෙන්නාම........... |
ජේ.ආර්. කවියෙක් වුණේ එතැනදීය. රුපියල් සීයක් එක්කය කවිය
යැවුණේ!
ජීවිත කතාවක් පළ කර තිබුණු පොත
කියවා බැලූවෙමි සතුටින් සුහද මිත
වැදගත් කරුණු මිස කිසි අඩුලුහුඬු නැත
රුපියල මොටද සියයක් මේ සමඟ ඇත
ජේ.ආර්. මහත්තයා වගේ කවියෙන් නොලිව්වත් මල්ටිපල්
මයෙලොමාව ගැනත්,
පිළිකාව ගැනත් මෙතෙක් මා කෙටූ පෝස්ටු කියැවූ රසික ඔයාලා
යම්
දැනුම්වත් වීමක් සිදු විණි නම් මගේ උත්සාහය සාර්ථකය.
ඒ ගැන එහෙම; සුබවාදීව බලමින්
ඉතිරි ටිකත් කොටන්නෙමි!
හැබැයි මේ දැන්ම නොවේ. ඊළඟ පියවරේදීය!
සිංහල හරියට නොදන්නා අය හඩු සිංහලෙන් ලියති; ලියන්නට ගිහින් නාගනිති - මේං අපි ගැනත් ලියල, පිහිදාන්න සාලු මදි වෙයි මේ නාන නෑමට
ReplyDeleteහොඳට බාසාව දන්නා උදවිය බස ලෙළවති; නළවති; ඇති පමණ ශිල්ප දක්වති - අපිට බැරි නිසා අපි ඉතිං කියවනවා අහන් ඉන්නව ඉරිසියාවෙන්
1 - පළමු කොටසේ අය කන්නටම ජීවත් වෙන අයයි - Guilty as Charged !
වාසියටත් පහසුවටත් දැන-දැන වැරදි කරනවා!
Delete