අකුරු මැකී නෑ

Friday, December 21, 2018

මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස

“ඕකෙ වැඩේ කියන්නේ ලොකූ, චානිගෙ අයියත් අත උස්සලානේ එහෙ හිටියේ.” අපේ කොල්ලා කිව්වේය.
අත උස්සලා තමයි චානිගේ අයියත්.............
මේ පෝස්ටුවෙදීත් කියන්නට යන සේරම හැබෑවටම සිදු වුණු; මාත් සම්බන්ධ වුණු ඒවා වුණත් නම්-වනම් නම් කියන්නට බැරිය. 

ඒ මේක එහෙම පිටින්ම මරිසියක් හින්දාය. අනේ ඇත්තටම, මාත් මොන තරම් මරිසිවලට හවුල්ද? හැබැයි ඒවා එකක්වත් කාටවත් ගිනි ගෙඩි දුන් එව්වා නොවේ. කාට හරි සෙතක්-ශාන්තියක් සිද්ද කළ ඒවායි. යහපතක් උදා කළ ඒවායි.

දැන් ඉතින් කතාව කියන්නට කලින්ම ‘අත උස්සලා’ යන යෙදුමේ තේරුම කියා දෙන්නට එපැයි.

70, 80, 90 දශක තුනේදී ශ්‍රී ලංකාවෙන් එංගලන්තයට පනින බොහෝ දෙනෙක් එහි දේශපාලන රැකවරණ පැතුවෝය. ලංකාවේදී දේශපාලන වැඩවලට සම්බන්ධ වෙනවා තියා, හීනෙකින්වත් එවැන්නක් කරන්නට නොහිතූ අයත් ඒ වකවානුවේ රටේ තිබුණු තත්ත්වය දඩමීමා කරගත්හ.

රටේ තිබුණු තත්ත්වය දඩ මීමා කරගත්...........
දඩ මීමුන් ඕනෑ වෙන්නේ ‘කුළු හරක්’ අල්ලා ගැනීමට යාමේදීය. කුළු හරක් කියන්නේ කැලයේ ඉන්නා මී හරකුන්ටය. වනාන්තරේ ඉන්නා සතුන්ගෙන් ‘අන්විශ්වාසබල්ම’ තිරිසනෙක් හැටියට කුළු හරකාව ගණන් ගන්නේ නිකම්ම නොවේ. ගම්තුලාන්වල උදවියගේ අත්දැකීම් එක්කය.

උන් ඉන්නේ රංචු පිටින්ය. තැනින් තැනට යමින්, කැලේ-කොළේ කමින්, මඩේ-වතුරේ ලගිමින් ඉන්නා ඔවුහු හිටි ගමන් වැව් පිටියක් වගේ තැනකට සේන්දු වෙති. 

අන්න එතකොට ගංගොඩේ ඉන්නා විසේකාර නාම්බන්ටත්, මරිකාරයන්ටත් රජ මඟුල්ය. එයාලා බලා ඉන්නෙත් එහෙම කුළාලා රංචුවක් කිට්ටුව ඉසව්වකට කඩා පාත් වෙන තුරුය.

ආරංචිය ලැබුණු විගසම ඉක්මන් වෙන්නට වෙයි. මොකද කියනවා නම් ගමේ මරිකාරයන් කිහිප දෙනෙක්ම ඉන්නා බැවිනි. ඒ හැමෝටම එක-එක ගෝල-බාලයන්ද ඉන්නා බැවිනි. දිනන්නේ ඉස්සර වෙච්ච නඩයයි.

නියමිත වතාවත්, කෙම්-පහන්, පුද-පූජා, චාරිත්තර සේරම කරන නඩේ ගුරා; මරිකාරයා දඩ මීමාට මුවාවී කුළු හරක් රංචුවට කිට්ටු කරයි. 

එතකොටත් හරක් රංචුව ආපහු කැලයට දුවතැයි පෙනෙන මංකඩවල් සේරගේම මදු ගහලාය. උගුල් අටවලාය. දඩ මීමා කුළාට ළං වෙන්නට; කුළාට මද්ද ගහන්නට මරිකාරයාට මුවාව හරි-කර දෙයි. වෙන එකක් තියා වැඩේ වැරැදිලා කුළා මරිකාරයාට අනින්නට එනවා නම් හෙම ඌටත් මුහුණ පායි! ඒ හාම්පුතා බේරාගන්නටය.

හනිහැම්ම වුණු අපේ දේශපාළුවෝ ...............
අපරාදේ කියන්නට බැරිය. අපේ 225 ත් එහෙම හැනිහැම්ම වෙලා; හෙම්බත් වෙලා හරි ලොක්කාව රකින අයත් ඉන්නවාය.

වැරැද්ද එවුන්ගේ පරමාර්ථයේය. උන්ට ඕනෑ ලොක්කා රකින්නට නොවේ. ලොක්කාව රකින මුවාවෙන් තමන් රැකෙන්නටය. ඊළඟ ආණ්ඩුවේ ඇමැතිකමක් ලබා ගන්නටය. ඒ වෙනුවෙන් පට්ට බොරු කියන්නත්; ඇට නැති දිව ඔහේ හරවමින් වාචාල කතා කියන්නටත් පුළුවන් එයාලාටම විතරය! මොකුත් නොදන්නා බබා හුකුන්ලා ගානට රඟපාන්නත් උන්නැහේලාට පුළුවනිය.

විලි ලැජ්ජාවක් නැතිව බොරු තර්ක-විතර්ක ඉදිරිපත් කරමින් ගොන්කම ප්‍රදර්ශනය කරන්නටත් පුළුවන් එයාලාටම විතරය. හැබැයි උන්නැහේලාත් වැඩි දෙනෙකුම නීති+අඥානයන්ය. හුදී ජනතාව තරම්වත් නීතිය නොදන්නවා වගේය.

ඉස්සර නම්, ඒ කිව්වේ රජ කාලේ නම් හිටිය ලොක්කන් ජාම බේරාගත්තේ වටේ ඉන්නා හෙන්චයියන්ගේ උදව්වෙන්ම විතරක් නොවේ. තමන්ගේම වීරිය, බලය, සූර වීර පරාක්‍රමය වුණත් ඕනෑ තැනදී පාවිච්චි කරමිනි. රාජසිංහ රජ්ජුරුවෝ එහෙම වේලාවකදී කුළු හරකෙකුට නොබියව මුහුණ දුන් වීරයෙකි. තනි කුළෙකුට මුහුණදී පණ බේරාගත් රාසිං දෙයියන්ට රට්ටු ගරු කළේ ඒ එඩිතරකම හින්දාය. 

එහෙව් එඩිතර ගතියක් ගෑවිලාවත් නැති දැන් ඉන්නා ගොඩ දෙනාට නම් දඩ මීමෙක් නැතිවම බැරි, උගේ මුවාවෙන් පණ කෙන්ද බේරාගත හැකි නිසාය.

කුළාට මුහුණ පෑ රාසිං දෙයියෝ..................
අර කී එංගලන්තයේදී ‘අත ඉස්සූ’ උදවියත් කිසිම පැකිළීමක් නැතිව, බය නැතිව දඩ මීමා කර ගත්තේ දේශපාලනයයි. එයාලා කිව්වේ සිරි ලංකාද්වීපයේ දේශපාලන වැඩ කළ හිංදා තමුන්ට මරණ තර්ජන එල්ලවී ඇති බවයි!

දේශපාලනය කරන නිසා තමනට ජීවිත තර්ජන ඇතැයි කියා යුරෝපා රටවල ආරස්සාව ඉල්ලූ අයට, එහෙම රැකවරණය නොලැබුණත් පාඩුවක් වුණේ නැත. කේස් එක විභාග කර අවසන් වෙනතුරු තාවකාලිකව එරටේ වසන්නට ඉඩ ලැබුණේය. තාවකාලිකව වැඩ කරන්නටත් අවසර ලැබුණේය. යැපුම් දීමනාවකුත් ලැබුණේය. එහෙම බැලුවාම ‘කල්ල මරේය!’. 

චානිගේ අයියාත් එහෙම රැකවරණ ලබාගත්; අත ඉස්සූ හාදයෙකි. එංගලන්තයේ ඉන්නා සිංහලයන් දේශපාලන රැකවරණ පතන්නන්ට කිව්වේ ‘අත උස්සපු අය’ කියලාය.

ඔහොම අය ගැන කියද්දී නම්-ගම් කිව්වොත් එයාලාට සෝලි වැටෙන්නටත් ඉඩ තියෙයි. ඉතින්, සූදානම් ශරීරෙ කියා නං නැතිව කියමුකෝ, බොරු නම්වලින්. චානි එංගලන්තෙට ආවේ අයියාට පස්සේ, ‘කෝස් එකක්’ කරන්න. ඒ තවත් මරිසියක්.

යුරෝපා රටවල තියෙන හුඟක් පුද්ගලික අධ්‍යාපන ආයතන පවත්වාගෙන යන්නෙම නොදියුණු රටවල තරුණ කොල්ලන්-කෙල්ලන්ව ඉලක්ක කරගෙන. එයාලට ඕනේ සල්ලි. අපේ අයට ඕනේ ඒ රටවලට පනින්න චාන්ස් එකක්. දෙගොල්ලන්ගේම ඉල්ලුමට සැපයුම දෙන ක්‍රමවේදයක් තමයි ‘උසස් අධ්‍යාපන පාඨමාලා’.

ඔව්වා ගැන ලොකු විස්තරයක් තියෙන පොතකුත් මේ ළඟදී මං කියෙව්වා. ශමෙල් ජයකොඩිගේ ‘ප්‍රංශ පෙම්වතා’. සරසවි ප්‍රකාශනයක්. 2017 රාජ්‍ය සාහිත්‍ය සම්මානයත්, 2017 ස්වර්ණ පුස්තක සම්මානයත් ලැබුණේ ප්‍රංශ පෙම්වතාටයි. මේක 2017 ගොඩගේ සාහිත්‍ය සම්මානයටත් නිර්දේශ වුණා. කැමැතියි නම් කියවලා බලන්න.

ශමෙල් ජයකොඩිගේ ප්‍රංශ පෙම්වතා.....
මං මුලින් කිව්වා 70,80,90 දශකවල පිටරටකට පනින්න දඟලපු කට්ටිය ගැන. දැන් ඒක ඊට වැඩියි. 2018 දෙසැම්බර් 16 ‘රාවය’ පත්තරේ 6 පිටුවේ, නුවන් උදය වික්‍රමසිංහ ලියන ‘6 වැනි මහලේ සිට’ තීරු ලිපියේ මෙහෙමයි ඒ ගැන තිබ්බේ.

“.............. මේ සියල්ලේ අවසන් ප්‍රතිඵලය වී ඇත්තේ ලංකාවේ දේශපාලන පක්ෂ සියල්ලම පාහේ අර්බුදයට යාම පමණක් නොවේ. මුළු රටම දීර්ඝකාලීන අර්බුදයකට යාමයි. ජනතාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය කෙරේ වූ විශ්වාසය නැවත පිරියම් කළ නොහැකි තරමට පළුදු වී යාමයි. ලංකාව ජීවත් වීමට සුදුසු රටක් වශයෙන් එහි වැසියන් තුළ වූ විශ්වාසය බිඳී යාමයි.
මෙහි ඇති අවාසනාවන්ත තත්ත්වය වටහා ගැනීමට හැකිවන්නා වූ ආකාරයේ උදාහරණයක් පසුගිය සති අන්තයේ දී මට සපයන ලද්දේ උසස් පෙළ සිසුනට ආර්ථික විද්‍යාව උගන්වන ගුරුවරයකු විසිනි. ඔහු වසරක් ගානේ විශාල ශිෂ්‍ය සංඛ්‍යාවකට ආර්ථික විද්‍යාව උගන්වන ගුරුවරයෙකි.  

-පසුගිය වසර කිහිපයේම තම සිසුන් උසස් පෙළ විභාගයට පෙනී සිටීමෙන් පසුව ඔවුන්ගේ අනාගත අපේක්ෂාව කුමක්දැයි ඇසූ විට තමන් ලද පිළිතුර ඔහු මා හා පවසා සිටියේ වේදනාබර හඬිනි. ...... සිසුන්ගෙන් 80%කට වැඩි පිරිසකගේ පිළිතුර වී ඇත්තේ තමන් විභාගය හමාර වූ වහාම රට හැර යාමට දැරිය හැකි හැම උත්සාහයක්ම දරන බවයි.” 

ඇයි මේ? මෙහෙම වෙද්දී අපේ රට හැදෙයිද? උගතුන්; බුද්ධිමතුන්; තරුණයන් රට හැර ගියාම වැඩක් කරන්නට ඉතිරි වෙන්නේ නාකි පප්පලා විතරය. අපේ තරුණයන්ට රට හැර යන්න එපාය කියා කටක් ඇර කියන්නට පුළුවන් කාටද?   

දැන් වෙන රටකට පැනගන්නා හැටි කියා දෙන්නට නම් ලංකාවේ වෘත්තීය වීසා උපදේශකයනුත් ඉන්නවාය. ඕනේ සල්ලි විතරය. අය කිරීම පොඩිත් නැහැ, වැඩිත් නැහැ. එහෙම තැනකට යන්න ලියකියවිලි හදා දීලා, වීසාත් අරන් දෙන්න ලක්ෂ ගානයි එයාලා ගන්නේ! ඒත් මොකෝ, ‘ඉන්දියන් සාගරේ මුතු ඇටය’ අතෑරලා පැනගන්න පුළුවනි නම්!

තදම යහළුවන්ට උදව් කරලා 
චානිට ශිෂ්‍ය වීසා තිබුණට මොකද, ඒ යටතේ ලැබෙන වරප්‍රසාදයක් නැතිම තරම්. ඒ ජරමරාස්සේ චානිගේ ගෑනු ළමයාව පරක්කු නොකර කසාද බන්දවන්නත් එයාලගෙ අම්මලට ඕනේ වෙලා. 

සංසාරේ තියෙනකල්ම නැති නොවෙන ප්‍රශ්නය. කෙල්ලට ඕනේ වුණේ අවංක ප්‍රේමයම ජය ගන්න. චානිට ඕනේ වුණෙත් ඒකම තමයි. හැබැයි, එංගලන්තෙ පුරවැසිකම අරගන්නට පෙරුම් පුරමින් ඉන්න නිසා, ඒක බේරාගන්නත් ඕනේ. 
එච්චරකල් කරලා තිබුණු දේවල් වතුරේ යවන්නයැ? කසාදෙත් ඕනේ, එංගලන්තයේම රැඳෙන්නත් ඕනේ!

ඉතින්, චානි අපේ කොල්ලාගේ හොඳම යාළුවෙක් හිංදා මිනිහාගෙන් උදව් ඉල්ලුවා.
“මචං, මට සුජාව මෙහාට ගෙන්න ගන්න ඕනේ. ඒත් නිකම්ම නෙවෙයි. බැඳලා!” චානි කොල්ලාට කිව්වාලු. 

“උඹට විතරයි මචං, මේ වෙලාවේ මට උදව් කරන්න පුළුවන්!” එංගලන්තෙට යන්න කලින්ම චානි සුජාට booked! 
හුඟක් අය නුපුරුදු දේශයකට ගියාම අලුත් දේවල් ගොඩාරියක් බදා ගන්නවානේ, පරණ දේවල් අතෑරලා. චානි එහෙමය කියලාවත් සුජාව හලන්න හිතුවේ නැහැ.


හරි, දැන් මං මොකක්ද කරන්න ඕනේ?
“හරි චානි, දැන් මං මොකක්ද කරන්න ඕනේ?”
“උඹ සුජාව කසාද බඳින්න ඕනේ!”

“Me? You must be kidding.” 
චානිගේ කතාවෙන් අන්ද-මන්ද වුණු අපේ කොල්ලාට එහෙමලු කියැවුණේ.

“ටිකක් හිටපන්කෝ මචං. ප්ලීස්. මට මේ ෆේවර් එක කරපන්. උඹ දැන් බ්‍රිටිෂ් සිටිසන් කෙනෙක්නෙ. උඹ සුජාව බැන්දොත් කිසිම ප්‍රශ්නයක් නැතිව එයාට මෙහෙට එන්න පුළුවන්. උඹේ wife හැටියට. එතකොට සුජාට වීසා ගැනිල්ලේදී කිසිම ප්‍රශ්නයක් එන්නේ නැහැ. මෙහෙ අවුරුදු කීපයක් හිටියම එයාටත් සිටිසන්කම ලැබෙනවා! එතකොට එයා උඹව ඩිවෝස් කරලා මාව බඳිනවා.”
අවුරුදු කීපයක්! පොඩි පහේ උදව්වක් නෙවෙයිනේ.

ඉතිහාසය පුරාමත් යහළුකම් ගැන කතන්දර තිබේ. තිත්තිර ජාතකය එහෙම එකකි. 
සුබ යස කතාන්දරය තවත් එකකි. 
කාලිදාස- කුමාරදාස කතාවත් ඒ වගේම අනුවේදනීය එකකි.

සකුවෙන් රචනා කෙරුණු ‘ජානකීහරණය’ කතුවර කුමාරදාස නව අවුරුද්දක පාලනයක් ගෙනගිය රජෙක්. 

ඒ රජතුමා පුරුදු වෙලා හිටියා බොහොම ලස්සන ගණිකාවක් ළඟට යන්න. බිසෝවරු නැතිවාට නෙවෙයි, ඉතින්. බිසෝවරුන්ට වැඩිය හොඳට අර මාගමට රජතුමාගේ නාඩි වැටෙන හැටි තේරුම් ගිහිල්ලා තියෙන්න ඇති. කවුද දන්නේ එතැනදිත් ‘පොරමෝන’ කොයි තරම් කොටසකට වග කිව්වාද කියලා. (හයටත් කලින් - 3 පෝස්ටුවෙදී මං කිව්වා වගේ.)

කුමාරදාස රජ්ජුරුවෝ පුරුදු වෙලා හිටියා  ගණිකාවක්......
ඉතින් කුමාරදාස ඔහොම අර පුරඟන හමුවෙන්න ගිය වෙලාවක දැක්කා ලස්සන දසුනක්. පොකුණක පිපී තිබුණු නෙළුම් මලක කෙමියට බඹරෙකු රිංගනවා. රොන් ගන්න. වෙලාව ගත වෙද්දී මලේ පෙති හැකිලෙනවා. බඹරා මල් කෙමිය ඇතුළෙම හිර වෙනවා. 

ඔන්න රජතුමාට කවි හිතිවිල්ලක් පහළ වෙනවා. ලියනවා කවි දෙපදයක් අර අංගනාවගෙ ගෙදර බිත්තියේ.

‘වන බඹරා    මල නොතළා රොනට      වනී
මල  දෙදරා    පණ ගලවා ගියසෙ         වැනී’
එහෙම ලියලා නිකම් හිටියෙත් නැහැ.

“සොඳුරිය, කවුරුන් හෝ ඉතිරි කවි දෙපදය පූරණය කළොත් ඔහුට දහසින් බැඳි පියල්ලක් මා  තිලිණ කරන බවත් දන්වනු.” කියලා ගැහැනියට කිව්වා.

කුමාරදාස රජතුමාගේ හොඳම මිතුරාත් කවියෙක්. රසවතෙක්. ඒ වගේම ස්ත්‍රී ලෝලියෙක්. එයාත් රහසින් අර ගුබ්බෑයමටම රිංගන්න පුරුදු වෙලයි හිටියේ. රජ්ජුරුවෝ කන කෑමම කන්න බලාගෙන. එහෙම හොර ගමනක් ආව වෙලාවක කාලිදාස කවියා අනෙක් කවි දෙපදය ලිව්වා!


‘සිය තඹරා   සිය තඹරා සිය      සෙවෙනී
සියැස පුරා   නිදි නොලබා උන් සෙ වැනී”

සිය තඹරා සිය තඹරා.............
අනේ, කාලිදාසගේ අවාසනාව! 
පුරංගනාවට මතක් වුණේ දහසින් බැඳි පියල්ල. එයා කාලිදාසව මරා දැම්මා. 

රජතුමාට කිව්වා තමුන් කවිය සම්පූර්ණ කළ බව. ඒත් රජ්ජුරුවෝ දැනගත්තා ඒ කවි දෙපදය කාලිදාසගේ බව. ඇත්ත හෙළි වුණත් මොකටද, මැරුණු කෙනෙකුට ආයෙම පණ දෙන්න ජගතෙක් ඉන්නවායැ. 

කාලිදාස කිවිඳුගේ දේහය ආදාහනය කෙරෙද්දී පසුතැවිල්ල උහුලාගන්න බැරිව කුමාරදාස රජතුමාත් දරසෑයට පැන්නය කියලයි පුරාවෘත කියන්නේ.

යාළුකම නිසා ඔහොම ආපත්ති-විපත්ති සිද්ද වෙලා තියෙන බව දැනගෙන හිටියත් අපේ කොල්ලාට චානිගෙ ඉල්ලීමට පිටුපාන්න බැරි වුණා. 

දෙන්නාම එක්ක එකතු වෙලා මරිසි මංගල්ලය සූදානම් කෙරුණේ ඊට පස්සෙයි. 

ඔන්න එතැනදී තමයි මේ කොටන මැට්ටාටත් ලොකු වැඩ කොටසක් පැවරුණේ. මොකද එතකොට චානියි, අපේ කොල්ලයි දෙන්නම හිටියේ එංගලන්තේ.

“ලොකූ, මේ වෙඩින් එක ඇත්තටමයි කෙරෙන්නේ. චානිට ඩොකියුමන්ට්ස් හදාගන්න. රෙජිස්ටර් කරනවා. ෆොටෝ ගන්නවා. සේරම! හැබැයි මේකේ රහස ලීක් වෙන්න දෙන්නත් බැහැ. දන්නවනේ නෑදෑයෝ ගැන. චානි බයයි එයාලගෙ අයට හරි, ගර්ල්ගේ අයට හරි මේ වෙඩින් එකට ඉන්වයිට් කරන්න. ඉතින් ලොකූ, මේකට බොරු නෑදෑයෝ ටිකක් හොයා ගන්න ඕනේ. හොඳ විශ්වාසවන්ත අය.” අපේ කොල්ලා කිව්වේ එහෙමය. 

අලුතින් නෑදෑයෝ පනහක් හැටක් හොයාගන්න......
“චානිගෙන් දහයක් විතර එයි. ලොකූට පුළුවන් වෙයිද පනහක්-හැටක් ලැස්ති කරගන්න?” ඔහොම ඒවාට බෙල්ල තියන්නට මං එක පයින්ය. 

ඒක ලෙහෙසි නැත. තෝරාගත යුත්තේ හොඳටම විශ්වාසවන්ත අයයි; ගැළපෙන පෙනුමත් තියෙන අයයි. ෆොටෝ, වීඩියෝ ආදියෙදී එයාලා ඇත්තම නෑදෑයන් විදියට පෙනෙන්නත් එපැයි. 

මොකෝ? පෙළපාලි යන්න නම්; විරෝධතාවලට නම් මොක්කු හරි කැන්දන් එතෑකි සල්ලියි, බීමයි, ට්‍රාන්ස්පෝටුයි දෙනවා නම්. මඟුලකට එහෙම මිනිසුන් කුලියට ගන්න ඇහැකිද? මම ලැයිස්තුවක් හදන්නට පටන් ගත්තෙමි.

“ලොකූ, ඔයා සේරමලාව හොයාගන්න. ලැහැස්ති කරවාගන්න. ට්‍රාන්ස්පෝර්ට් දෙන්නත් අපිට පුළුවනි. ඔයාට වැඩේ කරන්න පුළුවන් නම් අපි හෝටලයක් බුක් කරලා අනෙක් වැඩ ටික පටන් ගන්නවා!” 

කොල්ලා කිව්වේ මං කොන්තරාත්තුව බාරගත් ගණනටය. කොන්තරාත්තුව කියද්දී පෙනෙන්නේ මේකෙන් මටත් වාසියක් වෙනවා වගේ කතාවකි.

නැත. මටවත්, හතරවරිගේ ඇත්තන්ට රඟපාන අයටවත් එහෙම කිසිම වාසියක් නැත.


එකම දේ කිසිම වියදමක් නැතිව ....
එකම දේ මගේ හිතවතුන් 50-60ක් එක්ක, සත පහකවත් වියදමක් නොදරා මඟුල් ගෙදරකට සහභාගිවීමට අවස්ථාව ලැබීමයි. නොමිලේ මඟුල් කෑමක්! ඒ කාලයේ හැටියට නම් ඒකත් ජග වාසියකි. තෑගි-බෝග ගෙනියන්න ඕනෑ නැති මරිසි මංගල්ලයක්නේ!

ඉතින්, තව කොටසකිනුත් මඟුල් කමු, නේද? මරිසි වුණත් මොකෝ?     

4 comments:

  1. අප්පට සිරි මේක ජෙහාන් ගහපු මිෂන් ඉම්පොසිබල් ගේමක් වගේ !

    ReplyDelete
    Replies
    1. ඔයා කිව්වමයි ක්ලික් වුණේ. හැබෑම නේන්නං. මටම පුදුමයි අද වෙනකල් ඒ ගැන මීටර් නොවුණු එක ගැන. ස්තුතියි කණ්ඩා!

      Delete
  2. මෙහෙම් ගේමක් ගහපු කෙනෙක් මම දන්නවා. හැබැයි පව් වැඩක් වුනේ කෙල්ල ඌ එක්ක සෙට් වුනා

    ReplyDelete