අකුරු මැකී නෑ

Wednesday, January 2, 2019

කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස

වෙනදාට හැමදාම වගේ පරක්කු වෙන සෝමවීර පහුවදා උදේම වැඩපොළට ආවේය; කට පිරෙන්නම බුලත් විටකුත් ඒදාගෙන උජාරුවෙන් හිටියේය. ඒ ගැහැනු ළමයින් එන්නත් කලින්ය. 
බතික් බිත්ති සැරසිල්ලක ඉන්නා අලියෙක් ලෙසින්.....
මිනිහා බතික් බිත්ති සැරසිල්ලක ඉන්න අලියෙක් වගේ ආඩම්බරෙන් වටපිට බල-බලා හිටිය හැටි දැක්කාම නම්..... මටත් ලජ්ජා හිතිණි. සෝමේ ඉවසිල්ලක් නැතිව උන්නේ එයාගෙ ‘දිනුම’ හැමෝටම නිවේදනය කරනතුරුයි.

අප දෙන්නා චිත්‍රපටය බලන්න වැල්ලම්පිටියේ ගියේ 2.30 show එකටය. ඉතින් ඒක ඉවරවෙලා, දෙමටගොඩට ඇවිත් 131 බස් එකේ මහරගමට එද්දී බතික් වැඩපොළේ ගැහැනු ළමයි ගෙවල්වලටත් ගිහිල්ලාය. “ලොකාලා එනකම් කියලා බල-බලා ඉඳලා තමයි එයාලා ගෙදර ගියෙත්, රෑ වෙලා.” ලොකු නංගී කිව්වා. 
එයාලා පහුවදා උදේ වැඩට ආවාම මටත් වැඩියෙන් මගේ පරාජය ගැන විස්සෝප වුණේ ඒ ළමුන්ය! හරියට එයාලට වෙච්ච විපත්තියක් වගේ.

ඔන්න මගේ පරාජය නිල වශයෙන් බාරගත්තා විතරයි සෝමෙගෙන් ප්‍රශ්නය ආවා. “මචං, උඹ කවදද ඉතින් මේවා කරන්නේ?”

කවදාද එව්වා කළේ කියලා නම් මතක නැතත්, ඉස්-ඉස්සෙල්ලාම මං කළේ කාල සටහනක් හදාගැනීම කියලා නම් මතකය. ලෙහෙසි එකේ ඉඳලා අමාරු දේවල්වලට.... විභාගෙකදී උත්තර ලියන්නට කියන්නෙත් එහෙමනෙ. දැනුත් ඒ උපදේශය වලංගුයි වෙන්නැති, අපට නම් කියා දුන්නේ එහෙමය.

විභාගයකට උත්තර ලියද්දී......
“ඉස්සෙල්ලාම සිංදු 50 කියනවා. ඊළඟට ළමා නිවාසේ පිට්ටනිය වටේ රවුම් පනහ. ඊට පස්සේ පාන් රාත්තල කන එක. අන්තිමට කොහොඹ!” මං කිව්වා. “කෝ උඹේ සිංදු ටික?”

“හෙට ගේනවා මචං!” මිනිහා කිව්වා.
සෝමයා කිව්වා වගේම ගෙනාවා. ඇත්තමයි, ඒකා නම් නරුමයන්ගෙනුත් හොඳම එකෙක්! උස්සාගෙන ආව සිංදු පොත් ගොන්නයි, පත්තර කෑලි ගොඩයි දැක්කම මට හිතුණේ එහෙමයි. මිනිහා මං ලවා කියවන්න තෝරාගෙන තිබ්බ සමහර සිංදු මං ජීවිතේට අහලවත් නැහැ. 

සේරම වගේ පරණම පරණ, කියන්නත් අමාරු සිංදු. සමහර ඒවා ග්‍රැමෆෝන් යුගයේ. තව සමහරක් ස්වදේශීය සේවයේ මහ රෑට යන ශාස්ත්‍රීය ගීත!

“මේ සෝමේ, මෙව්වා නම් මං අහලවත් නැහැ. උඹට ඕනෙම නම් මට මේවා කියන්න වෙන්නේ තාලෙකට නෙවෙයි, පොතක් කියවනවා වගෙයි. එහෙම නැතිනම් උඹ ඉස්සෙල්ලා මේවා කියලා පෙන්නපං. ඊට පස්සේ මට ඒ විදියට කියන්න බැරියැ.” 
මට ඒ බ්‍රිලියන්ට් අයිඩියා එක ආවේ ඒ වෙලාවේ. සෝමවීරට හරියකට තාලෙට අත්පුඩියක්වත් ගහගන්න බැහැ. ඉතින් කොහෙද මට සිංදු කියලා පෙන්නන්නේ. එතැනදී නම් මට පුංචි පහේ ජයක් ලැබුණා වගෙයි.

“හරි, උඹට බැරි එව්වා නොකියා හිටපන්. ඒවා වෙනුවට මං වෙන සිංදු තෝරලා දෙන්නම්.” ඉතින් මං කිව්වේ මිනිහා තේරූ සිංදු වුණත්, මට ඕනේ ඒවා විතරයි.

මිනිහා තේරූ සිංදු සේරම ග්‍රැමෆෝන් යුගයේ, පරණම පරණ..............
දැනටත්; තවමත් සෝමවීර වගේ මිත්තරයන් ගොඩක් මට ඉන්නවා. 
සිංදුවක් කියන්න, අත්පුඩියක් ගහගන්න බැරි සංගීතකාමියෝ. කරුමේ කියන්නේ එයාලට පුළුවන් තරම; එයාලගෙ තරම එයාලා දන්නේ නැහැ. 
විශාරද වැඩ කියලා කරන්නේ ‘සංගීත විකාරද’ වැඩ!

අනේ මාත් සංගීත විශාරදයෙක් හෙම නෙවෙයි. හැබැයි තාලය නොවරද්දා සිංදුවක් කියාගන්න පුළුවනි. ඒ වගේමයි මටම තේරෙනවා මගේ ශ්රුතිය; pitch එක out යනවා නම්. හදාගන්න තමා බැරි! 

හැබැයි ඔහොම ටිකක් හරි දැනගෙන ඉන්න එකත් වෙලාවකට වදයක් වෙනවා. කට්ටිය එකතු වෙලා සිංදුවක් කියද්දී කොහොමද පිච් එක හොඳටම වරද්දන එක්කෙනෙක් කන ළඟින්ම ඉඳන් ගායනා කරනවා නම්. මං නම් එහෙම වෙලාවට කරන්නේ නිහඬ වෙන එකයි. 
මොකටද ඒ මනුස්සයට තවත් වරද්දන්නෙ? මට වැරැදෙන තරම හොඳටම ඇතිනේ! 
ආයේ ඒකට දෙන්නෙක් ඕනැයි.

අනෙක තමයි හුඟක් අය කාලා, 'කාලාට වැඩිය බීලා' සින්දු කියන්න ආවාම කරන දේ! 
එයාලා හිතන්නේ අනෙක් අය සේරටම වැඩියෙන් බෑඟිරි දීලා, මහා සද්දෙට කියන එක තමයි හපන්කම කියලා. බිව්වට පස්සේ ඕවා අමතක වෙනවද දන්නෙත් නැහැනේ! 
මිහිරක් ඇත්තෙම නැතිකමේත් මිහිරක් තියෙනවා වෙන්නත් ඇති, මං නොදන්නවාට.

මිහිරක් නැතිකමේත් මිහිරක් තියෙනවා වෙන්නැති.........
මට හිතෙන්නේ කාලෙන්-කාලෙට මිහිර කියන එක වුණත් වෙනස් වෙනවා කියලයි. 

‘රාම් පූර් කා ලක්ෂ්මන්’ ලංකාවට ආව කාලේ ලංකාවේ වගේම ඉන්දියාවේත් වැඩියෙන්ම තිබුණු සිංදු මිහිරි හඬවල්වලින් ගැයුණු ඒවායි. විශේෂයෙන් හින්දි ගීත. ඊට පස්සේ එහෙම මිහිරි ගායක-ගායිකා හඬවල් ගොරෝසු ඒවා බවටත් පත් වුණා. 

‘අප්නා දේශ්’ චිත්‍රපටයේ ‘දුනියා මේ ලෝගෝ ඛෝ’ ගීතයේ කිෂෝර් ගිරිය යටින් කියන කොටස මතක්  කරලා බලන්නකෝ. ඊටත් පස්සේ ‘කල්නායක්’ එකේ ‘චෝලි කි පීචේ කාහේ’ ගීතය ගයන ‘ඉලා අරුන්’ ගායිකාවගේ හඬ..... දැන් එහෙම වෙනස් විදියේ කටහඬවල් වුණත් ප්‍රේක්ෂකයන්ට ගෝචරයි! අනෙක ෆිල්ම් එකේ අවස්ථාවට ගැළපෙනවා වෙන්නත් එපැයි.

ඔය මගේ පරාජයට හේතුභූතවූ ‘සවල රඟ හෙයි මෙරා’ ගීතය ගයපු ආශා භෝස්ලේ තමයි බොහෝ වෙලාවට ෆිල්ම්වල නාටිකාංගනාවට, දුෂ්ට චරිතයට ගී ගැයුවේ. 
මං දන්නා තරමට නම් ආශාගේ අක්කා; ලතා මංගේෂ්කාර් නිතරම ගැයුවේ සුදු චරිතය වෙනුවෙන්. කෙනෙකුගේ කටහඬ වුණත් ප්‍රේමණීය, ශෝකී, උදාරම්, දුෂ්ට, කාමුක වගේ ගොඩක් වර්ගවලට වෙන් කරතහැකිය කියලයි මට හිතෙන්නේ.

අපි කාගේත් කටහඬ කොහොමද කියලා තීරණය වෙන්නේ සාධක කිහිපයක්ම උඩ. නාසයේ පිහිටීම, දිව, උගුරේ මාංශ පේශි, ස්වර තන්තු වගේ දේවල් අනුව කටහඬ වෙනස් වෙනවා.

මට තියෙන්නේ හාත්පස සිසාරා දෙදරන; පැතිරෙන කටහඬක් නෙවෙයි. තරමක තීව්රතාවක් තියෙන, ‘නහයෙන් කතා කරන’; නාසිඛ්‍ය හඬක් කියලයි මට තේරෙන්නේ. ටිකාක් විතර සෞම්‍ය, ලාලිත්‍යවත්.... සමහරුන්ට නම් මගේ හඬේ මිහිරකුත් තියෙනවලු. 

ජන්මයෙන් හම්බ වුණු හඬ මොක වුණත් මං දන්නවා කෙනෙකුගේ හිත ගන්නට කතා කළ යුතු ලතාව වගේම හඬ පරාසය ගැනත්. ඒවා ගැන දැනගෙන ඉඳීම සමහර වෙලාවට බොහොම ප්‍රයෝජනවත් වෙනවා. (ඔය දැනීමෙන් ප්‍රයෝජන අරන් කරපු කුපාඩි වැඩක් ගැනත් පස්සේ පෝස්ටුවක ලියන්නයි ඉන්නේ.)

බෑඟිරි දීලා කෑ ගහලා සිංදු කියන අය හිතන්නේ......
ඉතින් අද මේ හරිය කොටන්නේ ලෑලි කෑලි කාලා වගේ ටිකක් ඈලි-මෑළි දුබල ගතියෙන්. 2018 අන්තිම දවසේ, 31 වෙනිදා පාන්දර 3.45 යි ගෙදර එද්දී. හම්බන්තොට ඉස්පිරිතාලේ ‘අක්ෂි වෛද්‍ය අංශයේ’ කට්ටියගේ දෙදින වාර්ෂික සංචාරයට ගිහින් ආවේ. මාත් ඒකේ වැඩ නොවුණාට දැන් එයාලා සේරම මගෙත් මිත්‍රයෝනේ, අයස්මන්ත මහත්තයා හරහා.

“නිමල් කොලුවෝ. මං ස්ටාෆ් එකේ අයට කියලා තියෙන්නේ එයාලා මොන අලුත් සින්දු කිව්වත් ලතා වල්පොල, සුජාතා, ඇන්ජලින්, බෙග්, මිල්ටන්, ජී.එස්.බී.රාණිගේ සින්දු එහෙමත් ඔයාලට කියලා කියවනවා කියලා. සේරම මට ඇටැක් කරලයි තියෙන්නේ - පරණ සින්දු නම් එපා කියලා. ඔන්න තමුසෙලා තමයි ඒකට හරියන්න රිටර්න් එක දෙන්න ඕනේ!”  පොළොන්නරු ගමනේ ලොක්කා: අයස්මන්ත දොස්තර මහත්තයා මට කිව්වේය.

අන්තිමට පරණම පරණ වුණත් නැඟලා යන සින්දු කියද්දී ඒ හැමෝමත් අත්වැල් ඇල්ලූහ; නැටූහ. මං කළේ ඔවුන්ට ඔබින; ඔවුන් කැමති බව පෙනෙන රිද්මය සහිත ගීතවලට මුල පිරීමත්, අමතක වෙන තැන්වලදී මැදිහත් වීමත් විතරය. 
ඇත්තම කියතොත් ඒ ගමන පුරාවටම; දෙදවසක් තිස්සේ මගේ ප්‍රියතම ගීත දහයක්වත් කියන්නට මං මුල පිරුවේ නැත. (ඒ තරමට ලොකු ගීත ගණනක් මගේ මතක ගබඩාවේ තිබෙන්නේ සෝමවීර වගේ අයටත් පින් සිදු වෙන්නටය.) 
රහස තිබුණේ එතනය, මං තේරුවේ තැනට ගැලපෙන ඒවා මිස මං ආසා කරන සින්දුම නොවේ!

පොළොන්නරු ට්‍රිප් එකේ ඇත්තන්ගේ පින්තූරය ගැනිල්ලත්, මෙතනට එබිල්ලත් ලේසි නැත. ඒ තරමට විශාලනේ... තව කට්ටිය අඩුත් එක්කය!
එදා මං සිංදු පනහ කිව්වාට පස්සේ අපි ළමා නිවාසයේ පිට්ටනියට ගියෙමු. 
බතික් වැඩපොළේ පිරිවරත් පස්සෙන් ආවෝය. මහරගම බුවෙනකබා විදුහලේ ක්‍රීඩා උත්සවයක ධාවන තරග සඳහා පිටිය වටා කර තිබුණු සලකුණු වගයකුත් ඒ වනවිට 
පිට්ටනියේ ඉතිරිව තිබිණි. මා දුවන්නට ගත්තා පමණි.

“බෑ, බෑ, මචං. ඔය රවුම පොඩියි. මෙහෙන් වරෙන්, මෙහෙන් වරෙන්!” කියමින් සෝමවීර පිට්ටනියේ මායිමෙන්ම මාව දුවවන්නට හැදුවේය. ඒ මිනිහාගේ හැටිය.

“එහෙම ලොකු රවුමක උඹට ඕනේ  නම් දුවපන්! මට බැහැ. එහෙම එපා නම් දැන්ම කියපං, මං දිවිල්ල නවත්තන්නම්.” කියා මං මගේ පාඩුවේ පිටිය වටේ රවුම් පනහක් දිව්වෙමි. 

මගේ තිරසාර හඬ සෝමවීර ඉවසුවේ දත් මිටි කන අතරේය. මිනිහා කොච්චර දේවල් දැනගෙන උන්නත් එකක් නම් දැනගෙන හිටියේ නැත. මං වගේ පෙන්දෙකු වුණත් වෙලාවක ශක්තිවන්තයෙකු බවට පත් වෙන්නට පුළුවන් බවය. හරියට රණතුංග කරුණානන්ද වගේ!

ජපානයේ පාඩම් පොත්වලටත් ඇතුළත් වුණු කරුණානන්ද ගැන මාත් මුලින්ම දැනගත්තේ මිතුරෙකු එවූ ඊමේල් එකකිනි. (මේ එක්ක තියෙන ෆොටෝ-විස්තර නම් අරගත්තේ ‘www.yamu.lk/blog’ එකෙන්ය.)

1964 ඔලිම්පික් තරග පැවැත්වුණේ ජපානයේ, ටෝකියෝ නුවරයි. 

ඔන්න මීටර් 10,000 ධාවන තරගය පටන් ගත්තා. තරගය සම්පූර්ණ කරන්න නම් පිට්ටනිය වටේ රවුම් 25 ක් දුවන්න ඕනේ. පළමු වටය ඉවර වෙද්දී කරුණානන්ද මීටර 200 ක් විතර පහුවෙලයි හිටියේ. 

රවුම් 20 ක් යද්දී එයා අන්තිමයා වෙලා. ඇමෙරිකාවේ, ටියුනීසියාවේ, ජපානේ ක්‍රීඩකයන් තිදෙනෙක් රන්, රිදී, ලෝකඩ පදක්කම්වලට හිමිකම් කියමින් තරගය අවසන් කරද්දී අපේ කරූ හිටියේ මීටර් 1600 ක් පිටිපස්සෙන්..........

ජපානයේ පෙළ පොත්වලට ගිය අපේ කරූ අන්තිමට අම්පාරේ නාමල් ඔයේ...........
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සේවය කළ කරුණානන්ද ඒ කාලය වෙද්දී රටේ දක්ෂතම දිග දුර ධාවකයා! කරූ එක්ක තව හය දෙනෙක් ඔලිම්පික් තරගවලට සහභාගී වෙන්න ජපානයට ගියා. එතකොට කරූට වයස අවුරුදු 28 යි.

පළමු, දෙවන, තෙවන ක්‍රීඩකයන් දිවිල්ල ඉවර කළාට පස්සෙත් ධාවන පථය දිගේ දිගටම දුවමින් හිටි රණතුංග කරුණානන්ද දිහා 60,000 ක් විතර නරඹන්නන් බලන් හිටියේ ‘මේ යකාට පිස්සුද?’ කියන්නා වගෙයි. 
තවත් වට තුනක් ඉතිරියි! කරූ ඒක පටන් ගනිද්දී හිටි ගමන් මතුවෙමින් තිබුණු ‘හූව’ නතර වුණා. 
එහෙන්-මෙහෙන් අත්පොඩි හඬ, චියර් කරන හඬ ඇහෙන්න ගත්තා. 

කරූ අන්තිම වටයත් නිමා  කරන වෙලාවේ පිට්ටනිය දෙදරවමින් ඇහුණේ ‘කරූ සිලෝන්’ කියලා කෑගහලා කියන හඬයි. විනාඩි 34 තත්පර 21.6 කදී රවුම් 25 ම දුවපු කරුණානන්දගෙ ‘අයෝමය ආත්ම ශක්තිය’ ගැන හැමෝම කතා කරන්න ගත්තා. එදා රන් පදක්කම දිනූ ඇමෙරිකාවේ විලියම් මිලාස්ටවත් එච්චර ප්‍රසිද්ධියක් ලැබුණේ නැහැ කියන එකයි ඇත්ත.

‘කරුණානන්ද නමින් ක්‍රීඩා පිටියක් ඉදි කරනවා’ කියලා ඒ කාලේ දේශපාලුවන් පොරොන්දු දුන්නත් තවම ඒ පිට්ටනිය හැදෙන නැකත ඇවිත් නැහැ. 

ඔහොම පොරොන්දු දෙන හුඟක් උත්තමයන් ‘නැකත් පති’ වංශේ නිසා අරුමයකුත් නැහැ. ඔන්න දැනුත්, පරක්කු වෙලා හරි උන්නැහේලාට ලොකු කොමිස් කුට්ටියක් ගහගන්න ඇහැකි පොටක් මේ!  

75 අවුරුද්දේ ජපානයෙන් කරූට ආරාධනාවක් ලැබුණා. විශේෂ ගෞරව සම්මානයක් ලබාගන්නට, පවුලේ හැමෝම එක්ක ඒ රටට එන්නැයි කියලා. 
අම්පාරේ යුද හමුදා කඳවුරේ සේවය කරමින් උන් කරුණානන්ද ඒ ගමනට සුමාන දෙකක් තියෙද්දී ‘නාමල් ඔය’ ජලාශයේ ඔරු පදිද්දී වතුරේ ගිලිලා මැරුණා. 
කරූට ජපානයෙන් තිබ්බ පිළිගැනීම කොච්චරද කියනවා නම් මිනිය ගොඩ ගත්තෙත් එහෙන් ආව කිමිදුම්කරුවන්.

කරු වතුරේ ගිලුණාද ගිල්ලුවාද? ඒ වෙලාවේ නාමල් ඔයේ ගිලෙන කරූව බේරාගන්න කවුරුවත්ම හිටියේ නැද්ද? ඒ මරණය ගැන මලල ක්‍රීඩා සංගමයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වුණේ නැත්තේ ඇයි? මේ ප්‍රශ්න එකකටවත් අදටත් උත්තර නැහැ. 

ඕක මොකක්ද? පේනවානේ වසීම් තාජුඩීන්, ප්‍රදීප් එක්නැළිගොඩ පරීක්ෂණ  ඇදෙන ලස්සන?
ඕක මොකක්ද? පේනවනෙ තාජුඩීන් ගැන පරීක්ෂණේ කල්ප විනාශය තෙක්ම ඇදෙන හැටි! ප්‍රදීප් එක්නැළිගොඩ ගැන පරීක්ෂණයට වුණත් ......!

එදත් අදත් අපේ රටේ තියෙන සමානකම ඒකයි. ‘මැරුණ එකාගේ කටේ පස් - ඉන්න එකාගේ කටේ බත්’ කියන සිංහල කියමන කිව්ව කෙනාගේ කටේ මසුරන් දාන්න වටින්නේ නැද්ද මං අහන්නේ?  

එතකොට මා කරුගේ විස්තර දැනගෙන හිටියේ නැතත්, මගේ ශරීර ශක්තිය නම් පිරිහුණේ නැත. ඇත්තම  කියතොත් මට තිබුණේත් හිතේ හයියය. රවුම් පනහ දුවන්නට හැකි වුණේ ඒ නිසාය. 

උපන් ගෙයි ශරීර හොරෙක් වෙන මං එදායින්-මෙදා ආයේ නම් එහෙම දුවලා නැත. 
එහෙම වට පනහ දිවූ ගැම්මටම පාන් රාත්තලත් කන්නට වාඩි වුණේ ඒකෙනුත් දිනන බවට එකහිත් හිතාගෙනය. ඒකේදීත් දෙයියෝ බලන්නට ඇතුවා නිසැකය. 
මෙතෙක් මගේ ජීවිතයේදී පාන් රාත්තලක්ම බඩට දමාගත් එකම දවස එදාය. 
ඊටත් හොදි මොකුත් නැතිව! මාස ගණනාවකට මට ආයෙමත් පාන් දිහා බලන්නටවත් එපා වුණෙත් එදා පටන්ය.

ඒ දිනුම ලැබුණා විතරය. වැඩපොළේ ගැහැනු ළමුන් රොත්තක්ම සෝමවීරට ඔච්චම් කරන්නට වූහ. “ඇද්ද දිනුවා? හිතුවේ නිමල් අයියාට බැරි වෙයි කියලනේ.”

ඒ කතාබහ දුර-දිග ගිහින් කෙළවර වුණේ තවත් ඔට්ටුවකට මුල පුරමිනි. 

“පුළුවනි නම් එනවා අපිත් එක්ක ඔට්ටුවට පාන් රාත්තලක් ඉක්මනටම කාලා බලන්න! අපි සෝමේ අයියාව පරද්දනවා” කෙල්ලෝ පාරම් බෑවෝය. “හරි ඔට්ටුයි.” 
සෝමේත් පහුබැස්සේ නැත. 
මට මතක හැටියට නම් ගැහැනු ළමුන් හතර දෙනෙක් තරගයට ඉදිරිපත් වුණෝය. 
දෙන්නෙකු නම් හොඳටම මතකය. ස්වර්ණා හා වජිරා. 

ස්වර්ණා තවමත් ඉන්නේ පමුණුවේ දේවාල පාරේය. මල්ලිකා අක්කාත් එහෙමය. වජිරා දැන් ඉන්නේ පිළියන්දල පැත්තේය.

ඉස්සරහින්ම ඉන්නේ ස්වර්ණාය. මල්ලිකා අක්කා ටිකක් ඈතිනි.
ස්වර්ණාත් මල්ලිකා අක්කාත් දෙන්නාම හොඳට සින්දු කියන්නට පුළුවන් අයයි. අපේ නාට්‍ය දෙක තුනකටම නුවන් ගුණවර්ධන එක්ක ගී ගැයූ අයයි!         

පාන් රාත්තල් පහ මගේ ගණනේය. තෑග්ගේ විත්ති නම් මතක නැත. 
තරග වදින හැමෝම තම-තමන්ගේ පාන් ගෙඩි එක-එක විදිවලට කපා ගත්තෝය. ඒ වතාවෙත් පාන් කෑවේ හොදි මොකුත්ම නැතිවය. පස්දෙනාම මුහුණට මුහුණ බලාගෙන වාඩිවී තරගය පටන් ගත්තෝය. සෝමවීර කරට කර සටනක් දුන්නේය. ඇත්තටම එදා මිනිහාට වචනයකින්වත් සහයෝගයක් දෙන්නට කිසිම කෙනෙකු හිටියේ නැත. ඒත් ස්වර්ණාට, වජිරාට මෙන්ම අනෙක් දෙන්නාටත් මදි නැතිවම චියර් කරන්නට රොත්ත-බුරුත්තක්ම හිටියේය.

එහෙම චියර් කළත්....... කමක් නැහැ නේද මොකද වුණේ කියලා කියන්න ඊළඟ කොටසට ගියාට?

2 comments:

  1. යකඩෝ මේක මාරම පාන් පාටියක්නෙ .. පන් එක්ක මොකවත් තරහක්වත් තිබුණද ? :-D

    ReplyDelete
    Replies
    1. පාන් එක්ක තරහ වෙලා පුළුවනැයි? පුරුතුගීසිකාරයෝ ගෙනා එකක්නේ!

      Delete