අකුරු මැකී නෑ

Friday, January 4, 2019

වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහසයවෙනි කොටස

දොස්තරකමක් නොව කොන්දොස්තරකමක්වත් නැති මට........
සෝමවීර චන්ද්‍රසිරි මහතා මෙන් කවියකු නොව කුකවියකු වන මට සමහර විටෙක කවි කියන්නට වෙයි. ඒ වාගේම දොස්තරකමක් නොව කොන්දොස්තරකමක්වත් නැති මට මල්ටිපල් මයෙලොමාව ගැනත් රසික ඔයාලාට කියන්නට වෙයි. 

එහෙම කියද්දී වැරැද්දක් නොවෙන්නට පරෙස්සම් විය යුතුය. ඒ කොටස් අකුරු කළාට පස්සෙත් ඒවා හරිදැයි; නිවැරැදිදැයි සොයා; තහවුරු කරගෙන මිස පෝස්ටුව ‘පබ්ලිෂ්’ නොකිරීම මගේ සිරිතය. ඉතින් සමහර විටෙක ටිකක් පමා වීමට සිදු වෙයි. 
ඒ ගැන මට සමාව දෙනවා නේද?    

“ඒ එක්කම අපේ කෑමවල තියෙන ප්‍රෝටීන කොටසුත් ජීරණය වෙලා amino acid; ඇමයිනෝ ඇසිඩ්වලට හැරවුණාම ලේවලට එකතු වෙනවා. ඒවා වැඩිපුර තියෙනවා නම් අන්න එතනදිත් ඉන්සියුලින් මැදිහත් වෙනවා. වැඩිපුර තියෙන ඇමයිනෝ ඇසිඩ් ග්ලූකෝස්වලට හරවලා අක්මාවේම ග්ලයිකොජන් හැටියට ගබඩා කරන්න පටන් ගන්නවා....... 
හරිම වැදගත් කාරණය තමයි අක්මාවේ වුණත් එහෙම ගබඩා කරන්න පුළුවන් සීමාවක් තියෙනවා කියන එක. අපි මජරකමට කොච්චර බඩට දාගත්තත් අක්මාවේ ඉඩ තියෙන්නේ ටිකකට විතරයි!”

කරුමේ! කරුමේ!! කරුමේ!!! බඩ පිරුණත් හුඟක් අයගේ හිතය පිරෙන්නේ නැත්තේ! 
අපේ බඩට වැඩිය හිත පුංචිද?

කොච්චර කෑවත් මොකෝ ව්‍යායාම කරනවා නං කියලා හිතුවට ............
“ඉතින් අක්මාවේ ගබඩා කරන්න පුළුවන් තරමට වැඩියෙන් ‘බඩු’ ආවාම මොකාක් හරි කෙරෙන්නත් ඕනනේ. දැන් ග්ලූකෝස් ග්ලයිකොජන්වලට හැරවිලා වැඩිපුරත් එක්ක තියෙනවා. ඔන්න එහෙම සංතෘප්ත වෙලා තියෙද්දී වැඩිපුර තියෙන කොටස ‘ෆැට්’ බවට හරවලා (liver) අක්මාවෙයි; අපේ ඇඟ පුරාම තියෙන මාංශ පේශිවලයි ගබඩා කරන්න පටන් ගන්නවා. 
ඉස්සෙල්ලාම මේද තට්ටු තැන්පත් වෙන්න ගන්නේ අපේ හමට යටින්. ඒකට සීමාවක් නැහැ. ඉතින් අපි වැඩි-වැඩියෙන් කන තරමට තව-තවත් මහත් වෙන්න ගන්නවා. 
කන්න-කන්න ගබඩා කෙරෙන තරම වැඩිවෙනවා. මහත් වෙන්න ගන්නවා. දිගට-හරහට ආරන්න පටන් ගන්නවා.” පීරිස් කියාගෙන යයි.

“කොච්චර කෑවත් කමක් නැහැ ව්‍යායාම කරනවා නම් කියලානේ හුඟක් අය හිතන්නේ.” 
මම උදැල්ල දැම්මෙමි. “එක වැරැදිද?”

“ඒක හරිද වැරැදිද කියලා අයියාම හිතාගන්න, මේ ෆැක්ට්ස් ඇනලයිස් කරලා. 
ප්‍රසිද්ධ බිස්කට් ජාතියක් තියෙනවා Oreo කියලා. චොක්ලට් බිස්කට් ජාතියක්. ඒ ඕරියෝ බිස්කට් දෙකක් කන කෙනෙක්ගේ ඇඟට ලැබෙන කැලරි ප්‍රමාණය දහනය කරන්න නම් 
තට්ටු 26ක් පඩිපෙළ දිගේ නඟින්න ඕනේ! 

මේ තව විදියකට. ඔය අපේ මිනිස්සු කන විදිහේ කොත ගහපු බත් එකක්; 
ඉස්මුරුත්තා වෙන සයිස් වේලක් කෑවොත් ඒ කැලරි ටික බර්න් කරන්න නම් 
හැතපුම් 20 ක් ඇවිදින්න ඕනේ!”

“ඒ කියන්නේ කිලෝ මීටර් 32 ක්?” 
මගේ පුදුමයත් ඉස්මුරුත්තා වෙන තරමටම ඇවිත්ය. “ප්‍රැක්ටිකලි ඕක කරන්න පුළුවනිද? එතකොට කනවායි, එක්සසයිස් කරනවයි ඇරෙන්න වෙන වැඩක් කරන්න අපට වෙලාවක් නැති වෙනව නේද?"

ගෙවල් ළඟම ඉන්නා ජිනදාස අයියා............
“ආන්න පොයින්ට් එකට ආවා. කොච්චර ව්‍යායාම කළත් වැඩක් වෙන්නේ නැහැ ‘ඩයට්’ එකත් වෙනස් කරන්නේ නැතිව.” අයස්මන්ත මහත්තයා කීවේය.
                     
අපේ ගෙවල් ළඟම ඉන්නා ජිනදාස අයියා හරි-හතර රියන් පුරුෂයෙකි. 
වැඩ කළේ රාජ්‍ය බැංකුවකය. දැන් විශ්‍රාමිකය. හිත හොඳ මනුස්සයෙක් වුණත් කට පාලනය කරගන්නට නම් නොදන්නා ඇත්තෙකි.

“මිස්ටර් නිමල්, අපිත් යංකො ඇවිදින්න. ඔයාටත් හොඳයි, මටත් හොඳයි. 
මගේ බරත් අඩු කරගන්න කියලයි උපදෙස් දීලා තියෙන්නේ. මාත් එක්ක මෝටර් බයිසිකලෙන්ම පාර්ලිමන්ට් ට්‍රැක් එකට ගිහින් ඇවිදලා එමු!” 
ජිනදාස අයියා යෝජනා කළේය. 
ඒ මීට අවුරුදු දෙකකට විතර කලින්ය.

එහෙම පටන් ගෙන අපි දෙන්නාම තලවතුගොඩ ජොගින් ට්‍රැක් එකේ ඇවිද්දෙමු. 
හැමදාම කිලෝ මීටර 3.175 ක් බැගින්. අවුරුදු එකහමාරක්.

මං ගැන දැන් ඔයාලා දන්නවානේ. 

ඇවිදින ගමනුත් මං කළේ හැමදාම වගේ හමුවෙන අයගේ වගතුග එකතු කිරීමය. 
වගතුග කිව්වේ ව්‍යායාමවලින් එයාලට සුගතියක් අත් වෙනවාද කියා සෝදිසි කිරීමය. 
මොන? පෙනුණු විදියට නම් එහෙම නැත. අපටත් ඒ සංතෑසියමය.

කය වෙහෙසවන ක්‍රීඩාවක නිරත වුණා වගේ ඇඟට පහසුවක්; fit ගතියක් දැනුණු බව ඇත්තය. ඒත් කිලෝ දෙක තුනකට වඩා බර නම් අඩු වුණේ නැත. 
සතියක්-හමාරක් ඇවිදින්නට නොගියොත් අඩු වුණු ටිකත් ආපහු ආවේ පොළියත් එක්කමය. අන්තිමේදී අපි ඇවිදින වැඩේ අල්ලලා දැම්මෙමු!

පැයක්-එකහමාරක් ගත කරනවා නම් ඒකට සෑහෙන ප්‍රතිලාභයකුත් තියන්න එපැයි. අතින් කාලා, දිගටම අනුන්ගේ හරක් බලන්නේ මොකටද?

කය වෙහෙසවන ක්‍රීඩාවක යෙදුණා වගේ .................
“ඔන්න ඔතැනදී තමයි නිමල් අයියේ ‘ෆාස්ටින් කිරීම’ වැදගත් වෙන්නේ. අමතක කරන්න එපා, ෆාස්ටින් කියන්නේ මෙතඩ්ස් ගොඩක්. එකක් විතරක් නෙවෙයි. තම-තමන්ට ඕනේ කරන ටාගට් එකට යන්න පුළුවන් පාරවල් ගොඩක් වගෙයි ෆාස්ටිනුත්. 
එක-එක්කෙනාට ගැළපෙන ක්‍රමය තෝරාගන්න වෙනවා. 
ඇඟේ, වයසේ හැටියට; තියෙන ලෙඩ රෝගවල හැටියට බලලායි මොන විදියටද ෆාස්ටින් කරන්න ඕනේ කියලා තෝරාගන්න වෙන්නේ. දැක්කනේ නෙවිල් අයියයි, ගවීනුයි.”

අයස්මන්ත මහත්තයා කීවේ ඇත්තය. 
නෙවිල්ට වඩා අඩු කාලයකදී; මාස හයකදී කිලෝ 35 ක් අඩු කරගන්නට ගවීන්ට පුළුවන් වුණේය! කිලෝ 98 සිට 63 ට. ඒ ගවීන් හරියටම උපදෙස් පිළිපැද්ද හින්දාය. 
කැපවීම උපරිමයෙන්ම කළ හින්දාය. 
මං වහන්සේ වාගේ තමන්ම තමාව රවටා නොගත් හින්දාය!

60 පැන්න කෝටිපතියෙක් සුරූපී 25 ගැටිස්සියෙකුව විවාහ කරගෙන ක්ලබ් එකකට ගියේය. 
ඒ මිතුරන් හමු වෙන්නටය. “කොහොමද උඹ එයාව කැමති කරවාගත්තේ?” මිතුරෝ ඇසූහ.

“මං එයාට මගේ වයස ගැන බොරු කිව්වා!”
“ඒ කිව්වේ උඹට 45 කියලා කිව්වද?”
“පිස්සුද? මං කිව්වා මට අනූවයි කියලා.”

මං එයාට බොරු කිව්වා!
ඒ කෝටිපතියා වගේ බොරු කියන්නට මට නම් බැරිය. 
මං කියන්නේ ඇත්ත ඇති හැටියෙන්ය. ෆාස්ටින්; උපවාසය කරනවා නම්, ඉක්මනින් හොඳ ප්‍රතිඵල ලබාගන්නටත් ඕනෑ නම් හරියටම, නිවැරැදිව උපදෙස් ලබාගන්න. 
අරයා-මෙයා කියන දේවල්වලට කන් දෙන්නට යාම ගුණ නැත. සුදුසු කෙනෙකුගෙන් උපදෙස් ගන්න. ඒවා අනුගමනය කරන්න, නිවැරැදිවම! 
එහෙම කරන්නට ඕනෑ වෙන්නේ ඔබේම යහපත වෙනුවෙනි!

බුදුහාමුදුරුවන් වහන්සේ කමටහන් දුන්නෙත් ඒ ඒ පුද්ගලයාට ගැළපෙන පරිද්දෙන් මිස පොදුවේ නොවේ.

අමතක නොකරනු මැනවි! මෙතැනදී මා වුවද කරන්නේ හඳුන්වා දීමක් පමණි.

“එතකොට ෆාස්ටින් කරද්දී ඇඟ ඇතුළේ මොනවද වෙන්නේ?”

“ෆාස්ටින් කරද්දී; එහෙමත් නැතිනම් කෑම නොකා ඉඳිද්දී අපේ ඇඟේ ඉන්සියුලින් මට්ටම පහළ බහිනවා. එහෙමය කියලා අපේ සිරුර වැඩ කරන එක නවතින්නේ නැහැනේ. 
අපි හුස්ම ගන්නවා. ඇඟේ ලේ ගමනාගමනය වෙනවා... 
ඉබේම වගේ කෙරුණත් ඒවාටත් යම්කිසි ශක්තියක් වැයවෙනවා. 
ඒකට ග්ලූකෝස් ඕනේ. එතකොට අපේ ඇඟේ ගබඩා වෙලා තියෙන ග්ලයිකොජන්  ආයෙම පාවිච්චියට ගැනෙනවා. වැඩියෙන් ශක්තිය ඕනේ නම්, 
ඊළඟට සිරුරේ පටක වටේට වගේම පුළු-පුළුවන් හැම තැනකම ගබඩා කෙරිලා තියෙන මේදයත් පාවිච්චියට ගැනීම පටන් ගන්නවා. 
ගොඩක් දිගට එහෙම වෙද්දී අපේ බර අඩුවෙලා, කෙට්ටු වෙනවා.”

එහෙම වෙද්දී අපේ බර අඩුවෙලා...........
දැන් පැහැදිලිය. මට නම් එහෙමය. ඒත් මේවා මට විතරක් පැහැදිලි වෙලා මදිය. 
හිතවත් පාඨක ඔබ සැම දෙනාටමත් මේ ටික වැටහෙන්නේ නැති නම් ඒකේ වැරැද්ද සහමුලින්ම මගේ අතේය! මා කියූ විදිය හරි නැතිවාවත්ද? 
එහෙම හිතුණත් මට දැනෙන්නේ ඔයාලා මටත් වැඩියෙන් බුද්ධිමත් නිසා, මෙතෙක් කියූ දේවල් වටහා ගෙන ඇතිය කියලාය.

හැබැයි රජෝ, කොච්චර තේරුම් ගත්තත් ෆාස්ටින් කරද්දී නම් පනින්නට අමාරුම කඩුල්ල එන්නේ මෙන්න මේ වංගියේදීය. 
මෙතෙක් අපේ මිතුරු-මිතුරියන්ගේ, හිතවතුන්-හිතවතියන්ගේ අත්දැකීම් මතය මා කතා කරන්නේ. සමහරවිට මේවා ඔබලාට අදාළ නොවෙන්නටත් ඉඩ තිබේ!

අපේ හිතවතුන්ගෙන් වැඩියෙන්ම උපවාස කරන්නට පෙළඹුණේ නිඳි යහනේ දෙපැත්තෙන්ම බිමට බහින්නට බැරි උදවියයි. 
මුලදී නම් එයාලගෙ නෝනා මහත්තැන්ලා වැඩේට full suport එක දුන්නෝය. මහත්තුරුන්ගේ ආරා තිබුණු කඳ-බඩ අඩුවෙද්දී, බර අඩුවෙද්දී නෝනලා වැඩි දෙනෙක් ‘රතු එළි’ දල්වා තිබිණි. 
“දැන් ඇති වගේ නේද”,
“ඔයිට වැඩිය බර අඩු කරගන්න එපා!”, 
“ඔයාව ඇදිලා ගිහිල්ලද කියලා මිනිස්සු අහනවා”,
“ඔයාට ලෙඩක්ද කියලා කීප දෙනෙක්ම ඇහුවා” වගේ ප්‍රකාශ ඇහෙන්නට ගත්තාලු. 
                
ඉංගිරිසියෙන් නම් ‘අන්ඩර් ද පෙටිකෝට් ගවන්මන්ට්’ කියා යෙදුමක් තිබේ. ඒක ගෙඩි පිටින්ම සිංහලයට පෙරළුවොත් ‘යට ගවුම යට ආණ්ඩුව’ කියලා කියන්නට වෙයි. 
ඕකට යටින් ‘ආණ්ඩුව’ වගේ ලොකු දෙයක්? 
මං දන්නා තරමින් නම් සිංහලෙන් ඊට වඩා අපූරු යෙදුමක් තිබේ. 
“මෝඩයාට xම්බ රත්තරන්”. මීටත් වඩා හොඳ කියමනුත් තියෙනවා වෙන්න ඕනෑය. 
දන්නා ඒවා මටත් කියන්න, හොඳ අය වාගේ.
මේ ගාථාව නොදන්නා අයගේ................
උපවාසය අතරමඟදී අතහැරි මගේ හිතවතුන් නම් උඩින් තියෙන ගාථාවත් නොදන්නා උදවියයි. ඒත් ‘ගෘහස්ත සාමය’ වඩා වැදගත් නිසා එයාලත් සරීර සෞඛ්‍යය බල්ලාට දැම්මා වෙන්නට පුළුවනිය. 
(මා දන්නා සංඛ්‍යා ලේඛන නොකියන්නේ නෝනලා තරහ කරගන්නට අකැමැති නිසාමය. ඒත්, තවමත් මහත්තුරුන්ට ඇඟ බස්සාගන්නට උඩගෙඩි දෙන wife ලා තුන් දෙනෙක් නම් ඉන්නා බව විතරක් ආඩම්බරෙන් කියන්නෙමි.)  නෝනලා විතරක් නොවේ, ගොඩක් මහත්තුරුන්ට වුණත් කවුරුන් හරි ටිකක් කෙට්ටු වුණත් පෙනෙන්නේ ‘ලෙඩක්’ හැටියටය.

පිපිරෙන්නට ඔන්න-මෙන්න බැලුමක් තරමට මහත් වෙලා හිටියත් ඒකෙ වැරැද්ද නොපෙනෙයි. ඒ මනුස්සයා ලෙඩ ගොඩකට වැටෙන්නට නියමිතව ඉන්නා අසරණයෙකු බව නොපෙනෙයි!

කොච්චර මහත් වුණත් ඒක ලෙඩ ගොඩකට මුල බව හිතන්නේ නැත්තේ..............
“නිමල් අයියේ, ඕක අපේ රටේ ගොඩක් දෙනාට තියන වැරැදි වැටහීමක්! ඕනවට වඩා මහත් වුණොත් ලෙහෙසියෙන්ම දියවැඩියාව හැදෙන්න තියෙන ඉඩ වැඩියි. ඒ වගේමයි පපුවේ අමාරු, හාට් ඇටැක්, කොලෙස්ටරෝල්, ප්‍රෙෂර්, ෆැටි ලිවර් වගේ ලෙඩ ගොඩකුත් හැදෙන්න තියෙන ඉඩ වැඩිවෙනවා. ඇයි අල්ෂයිමර් ලෙඩේ; අමතක වීම.” පීරිස් කිව්වේය.

 
ඊළඟට නම් කීවේ හිතා බලන්නට වටිනා තවත් කාරණයකි. “කවුරු හරි ෆාස්ටින් කරනවා නම් අනිවාර්යයෙන් ageing රිවර්ස් වෙනවා!”

“තරුණ වෙනවා? අනේ එහෙනම් මාත් ඩයටින් කරන්නම්. මටත් ඕනේ ආපහු ටිකක් හරි තරුණ වෙන්න.”

“විහිලු නෙවෙයි යකෝ! ඇත්ත. ඇත්තටම වියපත් වෙන එක; වයසට යන එක පාලනය වෙනවා. ඔය ඉන්දියාවේ යෝගිවරු අවුරුදු සිය ගණන් ඉන්නවා කියන එකටත් විද්‍යාත්මක පදනමක් තියෙනවා වෙන්න බැරිද, ඔය කාරණේ? 
ඒ යෝගිවරුන් වැඩි හරියක් ඉන්නේ මොකුත්ම නොකා, භාවනා කර-කර.”

මට කල්පනා වුණේ මහා අලුකුත්තේරු කාරණයකි. 

ඔයාලා මං මහා වනචරයෙකියි හිතන්නට ඉඩ ඇතත් මට හිතෙන දේ නොකියා කොහොමද? හැබැයි කාගෙන් ඇහුවත් එයාලා මේ ප්‍රශ්නයට නම් අවංකවම උත්තර දෙතියි මට නොසිතේ. ‘ෆාස්ටින් කරද්දී ආයෙම තරුණ ජවය ලැබෙනවා නම් එයාලාගෙන් හාමිනේලාට නොසෑහෙන්න කරදර වුණාවත්ද? මං අහන්නේ ‘නිඳි යහනේදී’?

අඩුවෙන්ම කෑම කන යෝගිවරු අවුරුදු සිය ගණන් ඉන්නේ...........
ඔන්න කඩි ගුලට උණු අළු ටිකක් දමපු නිසා අදට නවතිනවා!  

2 comments:

  1. මටත් පෙටි කෝට් ගවන්මන්ට් එකෙන් බලපෑම් සෑහෙන්න තියනව කෑම අඩු කරලා එක්සසයිස් කරන්න කියල ... කොහෙද කටේ පරිස්සමකුත් නෑ කම්මැලිකමේ අඩුවකුත් නැහැ !

    ReplyDelete
    Replies
    1. හිත ඇති නම් පත කුඩා නැහැ කියලා කියන්නේ අද ඊයෙක ඉඳලා නෙවෙයි කණ්ඩො!

      Delete