අකුරු මැකී නෑ

Sunday, January 13, 2019

සැවුළු සංහාරය - දෙවෙනි කොටස

“නරකද මානෙල්ව ඉක්මනින් කසාද බන්දලා දුන්නොත්! මල්ලී කැමතියි නම් මටත් පුළුවනි හොඳ කෙනෙක්ව හොයන්න!” ඊවා අක්කා කීවාය. මානෙල් නංගි ඉගෙන ගැනීමට එතරම් උනන්දුවක් තිබුණු කෙනෙක් වගේ මට දැනුණේ නැත. එයා ඉගෙන ගැනිල්ලට දක්ෂ බවක් එතෙක් පෙන්නලා තිබුණේත් නැත. ඔයින්-මෙයින් මට හිතුණේ ඊවා අක්කාගේ යෝජනාව කාලෝචිත බවයි.

මානෙල් නංගිට ඉක්මනින් කසාදයක්...............
මගේ කැමැත්ත කිව්වා විතරය. කෙහෙල් කැන වැට පැන්නේය. ඇයගේ කතාවෙන් පෙනුණේ ඒ වෙනකොටත් මානිට සුදුසු මනාලයෙක් ඊවක්කාගේ හිතේ හිටි බවයි. 
“කොට්ටාවේ ඉන්නවා මං දන්නා පවුලක්. පවුලේ කොල්ලොම හතර දෙනෙක් විතරයි ඉන්නේ. අපි කතා කරලා බලමුකෝ!”

කොට්ටාවේ, කුලසෙවන පාරේ හිටි ‘ගාමිණී පණ්ඩිතගේ’ එයාගේ තාත්තලාත් එක්ක අපේ ගෙදරට ගොඩ වුණේ ඊට පස්සෙය. සතියක්- හමාරක් යන්නට කලින් තීන්දුවත් ගැනිණි. එහෙම වුණේ අපේ අම්මාට තිබුණු තදියම හින්දාය. 
ඒ දිනවල අම්මාත් ලංකාවට ඇවිත්ය හිටියේ. “මං යන්න කලින්ම තීන්දුවක් කරලා යන එක හොඳයිනේ.” අම්මා කිව්වේ පවුලේ සේරම බර අම්මාගේ කර පිට තියාගෙන හිටියා වගේය!

“තීන්දු කළාට කමක් නැහැ. මානි, උඹ ඒවා ඔළුවට නොගෙන හිටහං. ඊවා අක්කා කැරැක්ටර් සැටිෆිකට් එකක් දුන්නටම මදිනේ. හොයලා බලන එක අපේත් යුතුකමක්නේ.” 
මං එහෙම කිව්වේ වැඩි පරෙස්සමටය.

සමහරුන් බලන් ඉන්නේ කාට හරි මොනම හරි උදව්වක් කරන්නටය. 

ඒ උදව්ව කිරීම හොඳද, නරකද කියලාවත් හිතන්නට එයාලා සුනංගු වන්නේ නැත. මං දන්නා දෙන්නෙකුම ඔය ටයිප් එකට අයිතිය. පළමුවෙනියා අපේ අජිත් මල්ලීය. දෙවෙනියා සුමිතුරු මර්වින්ය. තව එක්කෙනෙකුත් තීරණාත්මක නිමේෂයකදී, අහම්බෙන් වාගේ ඒ ගොඩට වැටුණේය! ඒකත් අමතක කරන්නටම බැරි කතාවකි.

 බොක්කෙන්ම අනුන්ට  උදව් කරන්නට සැරසී ඉන්නා............
උන්නැහේ සුපර්මෑන් වුණේ ගොඩකවෙලදීය. 2015 දෙසැම්බර් 27 වෙනිදා 2.44 ට පස්සෙය. මෙච්චර නිවැරැදිව වෙලාවත් ටක්කෙටම කියන්නේ මගේ IPad එකෙන් හිර කරගත්තු දර්ශන නිසාය. 

එදා අපේ දවස් හතරක සංචාරයක අන්තිම දවසයි. මොණරාගල හුලංදාව පාරේ ‘ලකිඳු ගෙස්ට්’ එකේ කලින් දවසේ රාත්‍රිය ගත කළ අපි, දවල් කෑමත් පිළියෙළ කරවාගෙන පිටත්වී ආවේ, මඟදී නාලා-කාලා එන්නටය. නඩයේ 30 ක් විතර හිටියත්, සුදුසු තැනක් තේරීම බාර වුණේ මටය.

උඩවලව ජලාශය ළඟත් එදා හරියට සෙනඟය. එතැනින් කොළඹට එන පාරේ ටික දුරක් එද්දී පාරට වම් පැත්තෙන්, පාරට සමාන්තරවම වාගේ ගඟක් ගලයි. ඊට කලිනුත් අප නාලා ඇති තැනකය වාහන නැවැත්තුවේ. ඒත් කරුමෙට වගේ ගඟේ වතුර අඩුය. 
ඒ මදිවාට සිරි ලංකාවේ ඇත්තන්ගේ හැදියාවේ අසිරිය පෙන්නමින් ගල් ගොඩවල් හැම එකකම වාගේ අශූචි ගොඩවල්ය. නහයක් ඇති එකෙකුටවත් එතැනින් නාන්නට හිතෙන්නේ නැත. “අපෝ නිමල් අයියේ මෙතැනින් නම් නාන්න බැහැ. ගඳේ බැහැ.” 
ඉස්සෙල්ලාම කොක්ක ඇද්දේ මළාට වතුරකට නොබහින මාලිකාය.

“මටත් බැහැ තමයි හලෝ!” මම කිව්වෙමි. “හැබැයි මීට පස්සේ මෙහෙම තැනක්වත් අහුවෙන්නේ  නැහැ. දැන් කට්ටියට බඩගිනියි කියලත් කෙඳිරි ගගානෙ ආවේ. අපි උඩහට ගිහින් කාලා යමු.”

එහෙම බැරි කිහිප දෙනෙක්ද නඩේ හිටියෝය. බොනපාට්ලා! එයාලට ගඳ-සුවඳ දැනෙන්නෙ නැතිවා වෙන්නැතිය. “අපි නම් මෙතැනින් නාලයි කන්න එන්නේ. ඔයාලා පාර ළඟට ගිහින් කන්න පටන් ගන්න. අපිත් ඉක්මනට එන්නම්!” උන්නැහේලා කීහ.

අපි නාලා ඉක්මනටම එන්නං!
ටික වෙන්න නාලා, ගඟේත් එබිලා අපේ මිත්තරයන් බත් කන්නට ආවේ වීර ප්‍රයාමයක විස්තර කතාවකුත් අරගෙනය. “උඩහින් නනා ඉඳලා ගඟේ ගහගෙන ආව කෙල්ලෝ දෙන්නෙක්වත් මෙයා බේරාගත්තා. අපිත් සපෝර්ට් එක දුන්නා, එහෙනං!” අපට පුදුමය. ගඟේ එච්චර වතුර පාරක් තිබුණේ නැත. එහෙත් හතර දෙනෙක්ම දිවුර-දිවුරා කතාව ඇත්ත බව කියා සිටියෝය.

ඒ ගමනට සහභාගී වුණු අයගෙන් දෙන්නෙකුට ඊට දවස් තුනකට පස්සෙත් තව ගමනක් යන්නට තිබිණි. ඒ ඕස්ට්‍රේලියාවේ සිට කෙටි නිවාඩුවකට ලංකාවට ඇවිත් හිටි තුවාන් මිස්කින් හින්දාය. තුවාන් රට ගිහින් දැන් අවුරුදු විස්සකටත් වැඩිය. ලංකාවට ආවොත් අපේ සෙට් එක අමතක කරන්නෙත් නැතිය. ඉස්සර පුරුද්දට කොහේ හරි යමු කියලාත් කියනවාය.
ඒ හින්දාම අපේ සුමිතුරු වල් (W.A.L.) ප්‍රියන්ත හදිසියේම වනජීවියේ මහකනදරාව බංගලාව තෙදිනකට අප සඳහා වෙන් කරවාගෙන තිබිණි.

වන ජීවියේ මහකනදරාව බංගලාවට ගිහින් තියෙනවාද? 
ඒක එහෙම පිටින්ම නාස්තියකි! එහි ගිය අපේ දහදෙනාගේම මතය එය හදන්නට ඇත්තේ ලොකු මුදලක් යටිමඩි ගහගන්නට බවයි.

දැන් ඕස්ට්‍රේලියාවේ ඉන්නා තුවාන් මිස්කින් නිසා ..............
ඒ මදිවාට එදා බංගලාවේ වැඩ කරන අයත් නිවාඩු ගිහින්ය. මොකුත්ම නොදන්නා හාදයෙක් විතරක් අප එහි ගිහින් ටිකකට පසු ආවේය. බංගලාව දූවිලි ගොඩකි. කුස්සිය කුණු වෙලාය. සත්තය! කුණු වෙලාය. හිරමණය සතියකට-දෙකකටවත් ඉස්සර ගෑ පොල්වල ඉතිරිවාත් සමඟ කළු පුස් පිටින්ය. ඉඳුල් පිඟන් සින්ක් එකේ ගොඩ ගහලාය. ඒවාත් දින ගණනකට කලින් ඒකට එබුව එව්වාය. බත්, මාළුපිනි උයාපු සාස්පානුත් ඒ ගොඩේමය. නොසෝදාම ඉතිරි කරලාය. 
“මං මහත්තයලට ඉක්මනින් මෙව්වා හෝදලා තේ එහෙකට වතුර රත් කරන්නම්!” අලුතින් ආ හාදයා කිව්වේය.

“මේවා හෝදලා ගත්තත් කොහොමද මේවයේ උයන්නේ? නිකම්ම බඩ ලෙඩ වෙයි.” 

ගෙදරදී අද උයන භාජනවල හෙටවත් නොඋයන මට කියැවිණි. ඒ අතරේ අයස්මන්ත පීරිස්, ලලිත් ප්‍රියන්ත දෙන්නාම හතර අතට ටෙලිෆෝන් කරමිනි. වාසනාවට අපට පොටක් පෑදිණි. පිටත් වී එන්නට පෙර ‘සටහන් පොතේ නෝක්කාඩුවක් ලියන්නට ගියත්’ අර හාදයා කීවේ පොත තියෙන තැන නොදන්නා බවයි. ප්‍රියන්තගේ රුපියල් හත්-අට දාහක් වතුරේ යවා, අපි එවෙලේම මහකනදරාව බංගලාවෙන් පිටත් වීමු.

‘ආලම්පිල් නිවහන’ට එදා රාත්තිරියේම අප ආවේ එහෙමය. 

ඒ එනකොටත් අපට රෑ  කෑම විතරක් නොවේ, ඉඳුම්-හිටුම් සියල්ලමත් සූදානම් කරලාය. ඒ සේරම මේජර් නිශාන්තගේ සත් ක්‍රියාවන්ය. ඔහු අයස්මන්ත, ප්‍රියන්ත දෙන්නාගෙම හිතවතෙකි. 

පහුවදා හිමිදිරියේය, සුපර්මෑන් කතාව කරළියට ගත්තේ. නිමල් දිසානායක ඔහොම දේවල්වලදී කරන්නේ සේව නූල අටවලා, ගින්දරත් අතපොව්වන මානයෙන් තියලා ඕනා කරන පරිසරය හදලා දෙන එක විතරය. ඒ ජොලියටය. අම්මා-මුත්තා-සක්කරයා ඇවිදින් කිව්වත් මං ඊට එහා යන්නේ නැත. මංතුමා ඒ තරමටම අහිංසකය.

කතාව පටන් ගනිද්දීම අපි ගැඹුර දුන්නෙමු!
කතාව පටන් ගනිද්දීම අපි ගැඹුර දුන්නෙමු. ‘නවක වීරයා’ ඇම කෑවේය.

“..... අන්තිමට එතැන බොන්න ඉතිරි වුණේ විජේසිරියි, සිසිරයි, ජනකයි, මමයි හතර දෙනා. ඒ අස්සේ ගඟ දිගේ උඩුබැලි අතට පාවෙලා ආව කෙල්ලෝ දෙන්නෙක්. පව්නේ කියලා මං ගඟට පැන්නා උන් දෙන්නව ගොඩට ගන්න. අම්මට සිරි, කෙල්ලන්ගේ නෑදෑයෝ මට වැන්දේ නැතිවා විතරයි.....” වීරයාට කියන්නට ලැබුණේ එච්චරය. "අම්මට සිරි. පොඩ්ඩක් හෝව්!" 
හරස් ප්‍රශ්න ඇසීමේ කාලය උදා වුණේය. ප්‍රශ්න ඇහුවේ ශ්‍රේෂ්ඨාධිකරණයේවත් නොදකින තරමේ සීරුවකිනි.

“එතකොට කෙල්ලො දෙන්නා ආවේ උඩුබැලි අතට පාවෙලා? දැඟලුවේ නැහැ?”
“නෑදෑයෝ කවුරුවත් වතුරට පැනලා හිටියේ නැද්ද, එයාලව බේරාගන්න?”
“මේ නිමල් කියනවනේ ගඟේ දණහිස තරම්වත් උසට වතුර තිබ්බේ නැහැ කියලා! ඔන්නම් හුජ්ජ පාරකට වැඩිය චුට්ටයි ලොකු....”

වීරයාට මළ පැන්නේ එතකොටය. “හුජ්ජ පාරකට වැඩිය ලොකු? අනේ, මේ මැට්ටා දන්නවද ඕවා. මූ එතන හිටියෙත් නැහැ. මේකා හිටියේ ඈත, කට්ටියත් එක්කලා බත් කකා. ඕනේ නං විජේසිරිගෙන් හරි ජනකගෙන් හරි අහලා බලහල්ලකෝ!”

එවෙලේම මං අභියෝගය භාර ගත්තේ ජනකට ඇමතුමක් ගැනීමෙනි. 
අපේ නඩු විභාගය ගැන මොකුත් නොදන්නා ජනකත් ගිරවෙක් වුණේය. ඒකෙන් අපේ වීරයා තවත් හිර වුණේය.
“යකෝ, වතුරේ ගිලෙන කෙනෙක් නිකම්ම පාවෙලා එනවද, දඟලන්නෙවත් නැතිව? දර කොටයක් වගේ?” වෛද්‍ය මතය වීරයාට එරෙහිවය. “එතකොට උඹම වතුරට පැනලා කෙල්ලෝ දෙන්නම ගොඩට අරන් එනකල් අනෙක් යාළුවො තුන්දෙනාත් ඔහේ බලාගෙන හිටියා?” ඒකටත් උත්තරයක් නැත.

..... කතාවට සම්මාදම්වූ සංජීව, ජනක හා දයානන්ද මුදලාලි.....
තුන්වෙනි තර්කය සනාථ කළෙත් මං වහන්සේමය. “ඔය කතාව මං පෙරේදා බොරලැස්ගමුවේ සංජීවයි, තිසරියි අපේ ගෙදර ආ වෙලාවේ කිව්වා. සංජීව ගූගල් එකේ බලලා කිව්වනේ නමක් තියෙන ලොකු ගඟක්වත් ඒ හරියේ නැහැ කියලා. පොඩ්ඩක් පෑව්වත් හිඳෙන කානුවක් වෙන්නැති.....”

ඉතිරි හරිය කියන්නටත් කලින් වීරයා මගේ ඇඟට කඩා පැන්නේය. “තමුසේ සංජීවටත් කිව්වද? මූව තියන්න වටිනවද හලෝ?”

“එච්චර නෙවෙයි. කෝල් එකක් ගත්තොත් දයානන්දත් කියාවි තලපත්පිටියේ උපහාර උත්සවයකුත් ඕගනයිස් කරනවා කියලා.”

එතකොටම කවුදෝ දයානන්ද මුදලාලිට කෝල් එකක් අරන් ෆෝනය ‘ස්පීකර් මෝඩ්’ එකට දාලාය.  “දයා, මොකක්ද මචං මේ අනුරසිරි   ගිලෙන්න ගිය කෙල්ලෝ දෙන්නෙක් ගොඩ ගත්තාය කියන්නේ?”

“පට්ට ආඩම්බරයි මචං. කොල්ලා තලපත්පිටියටම ආඩම්බරයක් වෙලා. දැන් මෙහෙ ගෑනු එක්කෙනෙක්වත් තෙත චීත්තයක් වැලක වනන්නෙ නැහැ; ළිඳක් ළඟ කාටවත් පේන්න නාන්නෙ නැහැ. බයේ! ඇයි බං, බාල්දියෙන් නාද්දී වුණත් මේකා ඇවිත් උස්සාගෙන ගිහින් බේරා ගනියි කියලා බයේ!!”  

අපේ අජිතුත් එහෙම වීරයා වෙලා බව මට ආරංචි වුණේ පසුවය. මානිගේ මංගල්ලය කතා කළා විතරය. මිනිහා කොට්ටාවේ ගාමිණීලගේ ගෙදර හොයාගෙන ගිහින්ය. 

ඊට පස්සේ දවසක අපේ ගෙදර කට්ටිය චිත්‍රපටයක් බලන්නට යද්දී ගාමිණීටත් එන්න කියලාය. “කියන දෙයක් අහන්න බැරි නම් උඹලා ඕන කුදයක් ගහ ගනිල්ලා!” මම පැත්තකට වුණෙමි. එහෙම වෙලාවට ඕනවට වඩා මැදිහත් වෙන්නට ගියාම පෙනෙන්නේ හතුරෙකු විදියටය. මං හිතන්නේ එහෙමය.

අපේ අජිත් මල්ලී හා මානෙල් නංගි.......
ප්‍රපෝසල් එකක් වුණාට, මානෙල්ගේ කටයුත්ත love marriage එකක් වගේ වුණේ එහෙමය. දින නියම විණි. “ලොකුවට මංගල්ලේ ගන්න ඕනේ!” අපේ අම්මා ඔජ වඩා තිබිණි. ඒත් කරන්නට ඇති කටයුතුවල ලැයිස්තුවක් සකස් කර, වැය ලේඛනයක් හැදුවාම අම්මා කිව්වේ ‘එච්චර ලොකුවට නැතත් කමක් නැහැනේ’ කියලාය. ආලවකයා මගේ ඔළුවට ආවේය.

“අම්මා එක සැරේකුත් ඔය වගේම කරලා මං බිල්ලට අහු වුණා. මේ සැරෙත් ඒකමද කරන්න යන්නේ!” මං එහෙම ඇහුවත් අම්මා හිටියේ නෑහුණු ගණනටය.

පරණ කතාවක් වුණත් මේකත් මගේ ජීවිතයේ වැදගත්ම එකකි. 

මගේ කුළුඳුල් වෙන්දේසි සීට්ටුව! එහෙම කිව්වාට සීට්ටුව දැම්මේ මං නොවේ. නෝනෙ අක්කාය. එක්සත් සුභසාධක මාවතට හැරුණ විට වම් පැත්තේ පළමුවෙන්ම හමුවන්නේ සමිති ගොඩනැඟිල්ලයි. ඊළඟට තියෙන්නේ නෝනෙ අක්කලාගේ ගෙදරයි. 
ඒත් ඒ දවස්වල ඒ ගෙදර ප්‍රසිද්ධවී තිබ්බේ ‘කුමාරලගේ ගෙදර’ නමිනි. එහේ පුතාලා තුන් දෙනෙකි. දුවලාත් තුන් දෙනෙකි.

ලොකුම පුතාගෙ නමවත් මට මතක නැත. දෙවෙනියා අපට ලොකු කුමාර අයියාය. අනෙකා පොඩි කුමාරය.

ලොකු කුමාර පත්තරවල පළවූ චිත්‍රකතා කපාගෙන පොත්වල අලවමින් එකතු කළේය. එයා ළඟ එහෙම එකතු කළ පොත් සෑහෙන ගණනක් තිබුණේය. ඔහු ඒවා පිට අයට ගෙනියන්නට දුන්නේ කුලියටය. පොතක් එක සුමානයක් ගෙදර තියාගෙන කියවන්නට කුලිය සත පහකි. කුමාර අයියාගෙන් එහෙම කුලියට අරන් කියැවූ පොතකි ‘රිදී කුමාරි’. කතාව නම් කාගේද කියා මතක නැතත් ඒක ඇන්දේ නම් සුසිල් ප්‍රේමරත්න බව ස්තීරෙටම මතකය. ඒක පළ වුණේ ටෛම්ස් ආයතනයේ ‘වනිතා විත්ති’ පත්තරයේය. 

‘පහන් තරුව’ත්, ‘රන් දූපත’ත් ඒ වාගේම චිත්‍රකතාය.

චිත්‍රකතා අඳින්නට ප්‍රසිද්ධවී හිටි සුසිල් ප්‍රේමරත්න...........
කුමාර අයියලාගේ නිවසේ ඉස්සරහ කාමරයේය, නෝනෙ අක්කා පොඩියට සිල්ලර බඩු කඩයක් පවත්වාගෙන ගියේ.

ඒ දවස්වල පමුණුවේ වෙන්දේසි සීට්ටු එකතු කරන්නට නම් දැරූ කිහිප දෙනෙක්ම වූහ. ඒ සීට්ටු නිසාම හැදුණු අයට වඩා වැඩි නැහුණු අයයි! එයාලගෙ දූ-පුතුන් තවමත් පමුණුවේ ඉන්නා නිසාය නම් නොකියන්නේ. 
සීට්ටුවට දායක වෙන අයට කොමිස් මුදලකුත් ලැබෙන නිසා අනෙක් සීට්ටුවලට වඩා ‘වෙන්දේසි සීට්ටු’ වාසිය. 
“රංජි මල්ලී. මාසෙකටම රුපියල් විසිපහනේ. විසිදෙනයි. ඔක්කොම රුපියල් පන්සීයයි. ඔයාත් එන්න සීට්ටුවට. අන්තිම හරියේදී විතරයි කොමිස් එක අඩුවෙන්නේ. මුල හරියේදී විස්සක්වත් ගෙවන්න වෙන එකක් නැහැ.” නෝනෙ අක්කා මට කීවාය.

එතකොට අපේ ආච්චීත් වෙන්දේසි සීට්ටු තුන-හතරකටම ගිහින් හිටියාය. ඒවා වෙන්දේසි කරන වෙලාවට ආච්චිට යා නොහැකි නම් අඩුව පුරවන්නට ගියේ මාය. ඒ නිසාම මට ඒ වනවිටත් ඒවා ගැන අවබෝධයකුත් තිබිණි. තාත්තාගෙනුත් මනාපය ලබාගෙනය, මාත් සීට්ටුවට ගියේ!

වෙන්දේසි සීට්ටුවල අන්තිම හරියේදී ලන්සුවටම වගේය, සීට්ටුව තීන්දු වෙන්නේ. එහෙම වෙන්නේ සල්ලි හදිසි නැති අය සීට්ටුව ඉල්ලන්නේ නැති නිසාය. අපේ සීට්ටුවෙත් අන්තිම මාස කීපයයි ඒ. ඒ වතාවේ මොකක්දෝ වැඩක් හිංදා මට වෙන්දේසියට යන්නට විදියක් තිබුණේ නැත. 

“එහෙනං රංජි, ගෙදරින් වෙන කාව හරි එවන්න. ඔයා හැමදාම ඇවිත් සීට්ටුව ඉල්ලනවානේ. මේ සැරේ සීට්ටුව ලන්සුවටම වගේ යාවි. ඒක කාටත් පාඩුයි. ඒත් මොනවා  කරන්නද? 
රුපියල් දහයක් විතර වැඩියෙන් ඉල්ලලා එයාට නිකං ඉන්නයි කියලත් එවන කෙනාට කියලා එවන්න.” නෝනෙ අක්කා මට උපදෙස් දුන්නේ මං නොඑන බව කිව්වාමය.

වෙන්දේසි සීට්ටුවකදී බොරුවට එය ඉල්ලීම අනුන් උගුලකට හසු කරන්නට ගන්නා වෑයමකි! 
වෙන්දේසි සීට්ටුව ඉල්ලන එකත් උගුලකට හසු නොවී වෙනින් කෙනෙකු උගුලට හසු කරගන්නවා වගේ වැඩකි!

සුනිල් ඔහොම දේවලට කුලෑටි වැඩිය. මං එතැනට යැව්වේ ලොකු නංගිවය; අපේ නෝනාය. “නෝනෙ අක්කා රුපියල් විසිපහයි කියලා කිව්වාම තමුසේ තිහයි කියනවා. එතකොට කවුරුම හරි තිස්පහට ඉල්ලයි. එහෙම කළොත් තමුසෙත් හතළිහයි කියන්න ඕනේ. තේරුණානේ. එච්චරයි. ඊට වැඩියෙන් මොකුත් කියන්න එපා.”

“අයියෝ රංජි මල්ලී, මොකක්ද ඔයා කරපු ගොන්කම? ඇයි නෝනාව සීට්ටුව ඉල්ලන්න එව්වේ. එයා රුපියල් හැත්තෑපහක් වෙනකල් ඉල්ලලා සීට්ටුව ඔයාට තීන්දු වුණා! අපරාදෙනේ.” ගෙදරට එන ගමන් මං නෝනෙ අක්කාගේ කඩයට ගොඩවුණු විගසම ඇය කිව්වාය. ගෙදර ආවත් මං ලොකු නංගිට දොස් පැවරුවේ නැත්තේ මගේ ගොන්කමට එයා පළි නැති නිසාය.

පහුවදා පාන්දර අපේ ගෙදර ලොකු වෙනසකි! අම්මා, තාත්තා විතරක් නොවේ ආච්චීත් බරපතළ කතාවකය. “රංජි, දැන් උඹත් ලොකු අයියෙක්......... ලොකු නංගියෙකුත් ඉන්න.”

ව්‍යංග්‍යයෙන් කිව්වේ ලොකු නංගි ජම්බු ගහෙන්..............
එහෙම ව්‍යංග්‍යයෙන් කිව්වේ පුෂ්පා රංජනී දිසානායක දැරිය මල්වර වෙලා බවය. කොලු බාසාවෙන් කියනවා නම් ‘ජම්බු ගහෙන් වැටිලා’ කියලාය.
ඊළඟට?

2 comments:

  1. සීට්ටු කියන්නෙ මිනිස්සු ඇති වෙන හෝ නැති බන්ගස්තාන වෙලා යන වැඩක් ... එක මගෝඩියෙක් හරි ඉන්නව කෙළවල දාන :)

    ReplyDelete
    Replies
    1. ඇත්ත. පමුණුවේ සමහරුන්ට ඉඩකඩම් විකුණලයි සීට්ටු ණය ගෙවන්න වුණේ, කණ්ඩා කියන ජාතියේ මගෝඩි නිසා.

      Delete