අකුරු මැකී නෑ

Wednesday, January 16, 2019

වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දාහත්වෙනි කොටස

නිදි යහනේ ඛේදවාචකය!
නිදිගෙ පංච තන්තරේ කියවන දයාබර රසික ඔයාලා දන්නා විදියටම, මොන අමාරුකම් තිබුණත් සතියකදී පෝස්ට්ස් තුනක් පළ කරන්නටය මං උත්සාහ ගන්නේ. ඒත් ඒක එහෙමය කියා මොනවාම හෝ කොටා පළ කරන්නටත් බැරිය. 

සමහර වෙලාවට හොඳ ආරම්භයක් ගන්නට නිර්මාණාත්මක දෙයක් හිතට එන්න නැත්තේ කරුමෙකට වගේය. ඉතින් පරක්කු වුණත් ඔහේ බලා හිඳින්නට වෙයි. පුදුමය කියන්නේ මේ පෝස්ටුව කොටන්නට; මුල පුරාගන්නට වැකියක් හෝ ඉඟියක් හෝ හිතට එන්නෙම නැතිව දෙදිනක් ගතවුණු එකය. 
එහෙම තිබියදී අද උදේ ලසිත නුවන් එවා තිබුණු ෆොටෝ එකක් ඇස ගැටිණි. මේ පෝස්ටුවේදී උඩින්ම දැම්මේ ඒකය.

එය දකිද්දී මට දැනුණේ මහා දුකකි!

පොඩිහිටියන්ට නුසුදුසු යයි හුඟ දෙනා අදහන වර්ගයේ එකක්වූ මේ ෆොටෝ එක මගේ ෆේස්බුක් මිතුරු-මිතුරියන්ගෙන් 20 කට එවෙලේම යැව්වෙමි. 

චලන සුධීර නිසඳැසක් ලියා ඒ පින්තූරයත් සමඟ ඔහුගේ මුහුණු පොතේ පෝස්ට් එකක් ලෙස පළ කර තිබිණි. මටත් සෑහෙන ප්‍රතිචාර එක-එක්කෙනා එවා තිබිණි. චලනගෙ පෝස්ටුවටත්, මටත් ලැබී තිබුණු ප්‍රතිචාර සියල්ලම පාහේ එක කැටගරියකට වැටෙයි. විශ්මය-අරුමය-වාව් වැනි අදහසක්.... මේ පින්තූරයෙන් කියවෙන ‘ඛේදවාචකය’ ගැන කිසිවෙක්, කිසිවක් කියා නොතිබිණි!

ෆොටෝ එක එවූ ලසිතත්, ඒකත් එක්ක නිසඳැසක් fb එකේ දැමූ චලනත් ....
මට හිතුණේ ‘අනේ’ කියලාය. ඒ උදේය! දහවල් මගේ පැය දෙකක් ගෙවුණේ ‘සර්කාර්’ දමිල චිත්‍රපටය බලන්නටය. එහිදී වීරයා තම දේශපාලන ව්‍යාපාරය කරන්නේ; අලුත් පරම්පරාව අමතන්නේ නව තාක්ෂණික මෙවලම් හරහාය. ජංගම දුරකථන හරහාය. ආන්න එතකොටය මට පත්තු වුණේ! මට හේතුව Klick වුණේ!!

උදේ මං යැවූ ෆොටෝ එක මගේ මිතුරු-මිතුරියන් බලන්නට ඇත්තේ ෆෝන් එකෙනි; සුපුරුදු කලබලයෙනි! 2018 ත්‍යාග දිනූ ඒ ඡායාරූපය ගත් ශිල්පියා මේ ගැන හිතන්නට නැතිවා නිසැකය. මෝබයිලයකින් දකිද්දී ඡායාරූපයේ ඉන්නා දෙන්නාගේ ඉරියව්ව මිස අත්වල ඇති පුංචි දේවල් කැපී පේන්නේ නැත. එහෙම වෙද්දී ඔහු ඡායාරූපයෙන් කියන්නට හැදූ අදහස කියවෙයිද?

ලසිතට කොහෙන්, කොහොම ෆොටෝ එක ලැබුණත් මට කමක් නැත. FB එකේ පළ නොවුණු ප්‍රතිචාරත් තිබුණාදැයි චලනගෙන් නම් පස්සේ අහගන්නට ඕනෑය.

ඔය කතන්දරය මගේ පෝස්ටුවට සම්බන්ධ වෙන්නේ කොහොමද? දැන් ඔයාලා හිතනවා ඇත.

මල්ටිපල් මයෙලොමාව වැනි පිළිකා රෝගයක් ගැන දැනුම්වත් කරන්නට බ්ලොගයක් සුදුසුද? මෙලෝ රහක් නැති; හුඟ දෙනෙකුට එක එල්ලයේම අදාළ වෙන්නෙත් නැති මෙහෙම කාරණයක් රීඩර්ස්ලා දිගින්-දිගටම කියවාවිද? ඒ ප්‍රශ්නවලට උත්තර දීගෙන, ඒ අභියෝගය ජය ගන්නට නම් ගොඩක් මහන්සි වෙන්නට වෙයි. 

කොච්චර මහන්සි වුණත් මං කොටන විදිය, ඉදිරිපත් කරන කරුණු, පාවිච්චි කරන ෆොටෝ විතරක් නොවේ, තිතක් කොමාවක් ගැන පවා මට හිතන්නට වෙයි. ලියන මට එහෙම නම් මෙවැනි සංකීර්ණ රෝගයකට  ප්‍රතිකාර කරන දොස්තර මහත්ම-මහත්මීන්ගේ ඔළුවලට කොහොම බරක් දැනෙනවා ඇතිද? 

හම්බන්තොට රෝහලේදී මට ප්‍රතිකාර කළ රොහාන් පුල්ලෙපෙරුම, තනුජි සෝමරත්න වෙද ඉසිවරු 
හම්බන්තොටදී මට ප්‍රතිකාර කරන්නට පටන් ගත් ‘(හීමොටොලොජි)-රක්තවේදී වෛද්‍ය විශේෂඥ’ රොහාන් පුල්ලෙපෙරුම මහත්තයා දැන්  ඉන්නේ කරාපිටිය රෝහලේය. එතුමාට මාරුවක් ලැබී එහෙ ගිහින්ය. ඒත් යන්නට කලින්ම එතුමා ගියේ මං වැනි රෝගීන් ගැන, වෛද්‍ය තනුජි සෝමරත්න මැඩම්ව දැනුවත් කරලාය. තනුජි සෝමරත්න මහත්මියත් රක්තවේදිනියකි.

රොහාන් මහත්තයා නම් අපේ අයස්මන්ත පීරිස් හිතවතාට මාව කරාපිටියට එවන්නැයි කියලාත් කියා තිබිණි. 

“රොහා, මං හම්බන්තොටින් ට්‍රාන්සර් වෙච්ච ගමන්ම නිමල් අයියව කරාපිටියට එක්කගෙන එන්න පටන් ගන්නවා!” අයස්මන්ත කියා තිබුණේ එහෙමය. දෙසැම්බර් 29-30 ගිය ට්‍රිප් එකෙන් පස්සේ නම් ඒකට ඉඩ ලැබෙන එකක් නැහැ වගේය. 
ඒ තරමටම හිතවත් වුණු අක්ෂි වෛද්‍ය වාට්ටුවේ උදවිය දැන් බලාගෙන  ඉන්නේ අප හා එකවී ‘පැදුරක් දාන්නටය’. දැන් ඒ හැමෝම මට ‘ෆුල් සපෝට්’ය. මාසයකට වතාවක් එයාලාව මුණ ගැහෙන chance එක මඟ හරවා ගන්නටත් මට දැන් ලෝබය!

ඒ වගේම ලෝබකමක් මනුස්ස පරාණකාරයන් අතරේ ‘පැණි රහට’ තිබේ. හරියටම කියනවා නම් බොහොමයක් සතුනුත් එහෙමය. මං ඒ බව හරියටම දැනගත්තේ පන්සිය පනස් ජාතක පොතෙනි; වාතමිග ජාතකයෙනි.


දැන් ඒ හැමෝම මට ෆුල් සපෝට්ය.....................
පෙර බරණැස් නුවර බඹදත් නම් රජෙකුට ‘සංජය’ නම්වූ දක්ෂ, නැණවත් උයන් පල්ලෙක් විය. නිතිපතා ඒ උයනට එන මුවෙකි. එහෙත් ඌ උයන්පල්ලා දකින හැම විටම පලා යන්නට පුරුදුවී සිටියේය. රජතුමාත් දිනක් මේ බව දුටුවේය. “මේ මුවා රජගෙදරට ගෙන්වා ගනු රිසියෙමි. තට එය කළ හැකිද?” රජතුමා උයන්පල්ලාගෙන් විමසීය.

“එසේය දේවයන් වහන්ස. ඇති පමණ මී පැණි ලබා දෙන්නේ නම් මම ඔබ වහන්සේගේ අභිප්‍රාව ඉෂ්ට කර දෙන්නෙමි.” සංජය පිළිවදන් දුන්නේය. ඔහුට ඇති තරම් මී පැණි සපයනු ලැබිණි.

එදින පටන් සංජය මුවාට ඈතින් සිට තණ පත්වල මී පැණි තවරා ඒවා බිම හෙළා ඈතට යයි. මුවා පැමිණ ඒ තණ පත් අනුභව කරයි. මී පැණි රසයට ලොල්වූ මුවා ක්‍රමයෙන් උයන්පල්ලාට හුරුවී ළඟටම පැමිණෙන්නට විය; ඉන්පසු උයන්පල්ලා බිම හෙළූ තණපත් කමින් රජ මැඳුර තුළටම වන්නේය. එසේමය! වාතමිගයෝ පවා පැණි රසයට ලොල් වෙත්!

ඉතින් එහෙම ලොල් වෙන අපිත් ඉඩක් ලැබෙනවා නම් පැණි රසට වහ වැටෙන්නෙමු. ඉවක්-බවක් නැතිවම වුණත්...... කලින් පෝස්ටුවේදී මං කිව්වා මතක ඇති වැඩි-වැඩියෙන් සීනි සහිත ආහාර ගන්නා විටදී සිරුර ඇතුළේ වැඩි-වැඩියෙන් ඉන්සියුලින් නිපදවෙන බව. ඒකෙන් වෙන්නේ අපේ ශරීරයේ ඉන්සියුලින්වලට තියෙන සංවේදීතාව අඩුවෙන්නට පටන් ගැනීමයි. එතකොට අපේ ශරීර කූඩුව කරන්නේ වැඩි-වැඩියෙන් ඉන්සියුලින් නිපදවන එකය.

එසේමය. වාතමිගයෝ පවා පැණි රසයට .............
ඒ කියන්නේ type 2 දියවැඩියාවට මුල පිරෙනවා කියන එකය!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 
හුඟාක් ප්‍රසිද්ධ ඉංගිරිසි කියමනක් තිබේ! Pevention is better than Cure. ඒක කොතරම් ඇත්තක්දැයි වැටහෙන්නේ දියවැඩියාව ගැන හිතා බලද්දීය.

අපේ මානෙල් නංගිට දියවැඩියාව හැදුණේ අවුරුදු දාහතේදීය. දැන් එයාට අවුරුදු 53 කි. 
එයින් අවුරුදු 35 ½ ක්ම මානෙල් බෙහෙත් ගත්තාය. මුලදී බොන බෙහෙත්. ඊළඟට ඉන්ජෙක්ෂන්. හැමදාම බෙහෙත් විදගන්නට දොස්තර කෙනෙක් ළඟට යාහැකිද? සුදුසුකම් තියෙන කෙනෙක් ළඟට වුණත් යන්නට ගියාම මහම වදයකි. අන්තිමේදී ගෑනිම බෙහෙත් විදගන්නට පුරුදු වුණාය. 

එහෙම බෙහෙත් විදගත්තාම ටික වෙලාවකට මානිගේ මූඩ් එක බහියි. එතකොට කාවවත් පෙනෙන්නට බැරිය. කා එක්කවත් කතා-බතා බැරිය. ඉන්නේ කාට වුණත් හොම්බට හැටක් විතර අනින විදියටය. ඒ වෙලාවට නම් මානිව දකින අයටත් හිතෙන්නේ ‘හැටක් නොව එකසිය විස්සක් විතර’ එයාගේ හොම්බට අනින්නටය.

සිඳු දකින සඳ’, ‘අම්මගෙ රෙද්දෙ මමාස්’ වැනි පෝස්ටුවලදී කොට්ටාවේ හොරහේන පාරේ, මානෙල් ඇන්ටිගෙ කඩේ ගැන මගෙන් කියැවිණි. ජයට කරගෙන ගිය ඒ කඩේ වහලා දැන් මාස දෙකකට වැඩිය. පාඩු නිසා නොවේ. මානෙල් අසනීප වුණු නිසාය. හදවතට ලේ සපයන නහර තුනක්ම block වෙලාලු. සැත්කමක් කරන්නට වෙන තරමටම තත්වය සීරියස්ය. දැන් මානි සැත්කමට පොරොත්තු ලැයිස්තුවේය.

තාර පීප්පයක් වගේ ඉඳගෙන නටනකොට කට්තේ බැරි බව ................
“නිමල් අයියේ, ඔපරේෂන් කරනකල් හරි අපි නංගිට ෆාස්ටින් කරන්න කියමු! මට නම් ෂුවර් ඒකෙන් හොඳක් මිස නරකක් වෙන්නේ නැති බව!” මානිගේ වෛද්‍ය වාර්තා පිරික්සා බැලූ පීරිස් මහත්තයා එයාලගෙ ගෙදරදී කිව්වේය. 

“ගෙදර ඉන්න අනෙක් අයත් එයාට සපෝර්ට් කළාට වැරැද්දක් නැහැ වගේ!” අයස්මන්ත කීවේ මානෙල්ගේ දුව රෝසිත්, බෑනා සමිතුත් දිහා හොරැහින් බලමිනි.

දැන් මානිගේ සැමියා ගාමිණීත් දියවැඩියා රෝගියෙකි. අපේ පවුලේ වගේ නොවේ. ගාමිණීලාගේ තාත්තාටත් මේ ලෙඩේ තිබිණි. 
පරම්පරාවෙන් ආවේ නැතත් දැන් අපේ අම්මාත් මේ අසනීපයටම නිතිපතා බෙහෙත් ගනියි. මහා ලෙඩ පවුලක්! එහෙම හිතුණාද? පාඨක ඔයාලට එහෙම හිතුණත් පුදුම නැත. 
ඒක සාධාරණය. ඇත්තම ඇත්ත නම් naughty forty පැන්නාට පස්සේ අපෙන් වැඩි දෙනෙක් ලෙඩ වෙන සම්භාවිතාව වැඩි බවය. ඔන්න හතළිහ පැනපු උදවිය පරෙස්සමින්!

ඉතින්, එදා දොස්තර අයස්මන්ත මහත්තයා මානෙල්ලගේ ගෙදරදී ‘හොර බැල්මක්’ දැම්මේ නිකම්ම නොවේ! ‘නීච කුමන්ත්‍රණේ’ පෝස්ටුව කියවද්දී ‘සිසිසි’ නැටුම් කණ්ඩායමේ ඡායාරූපයක් තිබුණා මතකයිද? 


රෝසි නැටුම්වලටත් වඩා එක්ස්පර්ට් වෙලා ඉන්නේ ............
ඒකෙ ලස්සනට, ගණනට-මිම්මට හිටි උපේඛා කෞෂිනී පණ්ඩිතගේ මෑතක කාලයක්ම නැටිල්ල නවත්වා දමලා හිටියාය. නැටුම් ඉදිරිපත් කරන්නට ලැබෙන ඇණවුම්වලට එයාගේ කණ්ඩායම නම් එක්කන් යයි. එහෙම කරන්නට වුණේ කසාද බැන්ද හින්දා නොවේ. 
ඒ තරමටම ලස්සනට කඳ-බඩ ආරපු නිසාය. තාර පීප්පයක් වගේ ඉඳගෙන නටනකොට කැතේ බැරි බව ඒකිටම තේරෙන්නට ඇත.

නුගේගොඩ ලයිසියම් එකේ ඩාන්සින් ටීචර් කෙනෙකු විදියට වැඩ කරද්දීමය රෝසි ආරන්නට පටන් ගත්තේ. දවසකට පැය හත-අටක් විතරම ළමුනට නැටුම් පුහුණු කරද්දීත්, නටලා පෙන්වද්දීත් කෙල්ල මහත් වුණේ ව්‍යායාම මදි හිංදා හෙම නොවේ. කන තරම වැඩි හින්දාය.

දැන් කොට්ටාවේම පාසලක ඉගැන්නුවත්, රෝසි නැටුම්වලටත් වඩා expert වෙලා ඉන්නේ කොට්ටාවේ සිට නුගේගොඩ දක්වා ඇති පේස්ට්‍රි ෂොප්ස්, අයිස්ක්‍රීම් පාර්ලර්ස්, ටේක් අවේ කඩ ගැනය. “ලොකු මාමෙ, අර අයිස්ක්‍රීම් නම් මරු අනේ. අපෝ xxxxxගෙ නම් නම විතරයි. අජපල්. අතන පේස්ට්‍රිත් මාර රහයි. ලොකු මාමටත් ගේන්නද?”

රෝසි එහෙම අහලා තෑග්ගක් විදියට ගෙනෙන්නට හදන්නේ විශාල හූනියමකි!

තෑග්ගක් විදියට ගෙනෙන්නට හදන්නේ......
එවැනි වෙලාවට මං එපා කියන්නේ හිතකින් නොවේ. පීරිස් නිතර මතුරණ මන්තරයක් සිහිවෙන හින්දාය. “යකෝ, තොගේ යාළුවොයි, නංගිලාගේ ගෙදර අයයි, තෝව බලන්න එන අයයි සේරම තමයි තොගේ හතුරෝ!” ඒ මන්තරය ඇත්තකි.

මානෙල්ගේ අසනීප වීම ඒ ගෙදර හැමෝටම වෙස්වළාගෙන ආ ආශීර්වාදයක් විණි. 

මානෙල්ට නිර්දේශ කෙරුණු ආහාර පාලන රටාව පවුලේ අනෙක් අයත් අනුගමනය කරන්නට පටන් ගත්තෝය. මුලින්ම ප්‍රතිඵලය ලැබුණේ මානිටයි. අවුරුදු 35 ½ ක් තිස්සේ ගත් දියවැඩියා බෙහෙත් ප්‍රමාණය, එක සතියකදීම හරි අඩකින් අඩු කරන්නට හැකිවිණි. 

කිලෝ 91 හිටි සමිත් දැන් කිලෝ 81 ට බැහැලාය. ගිය සතියේ තිබුණු මඟුල් ගෙදරකදී උපේඛා; අපේ රෝසි එයාගේ ‘සිසිසි නැටුම් කණ්ඩායම’ත් එක්ක ආපහු නටන්නට පටන් ගත්තාය. මාස තුනකදී රෝසිත් කිලෝ 73 සිට කිලෝ 65 ට බැහැලාය. මානෙල්ගේ ගණන් නොලියන්නේ ෆාස්ටින් පටන් ගනිද්දී බර කිරාගෙන නොතිබුණු නිසාය! මේ සේරගේම credit එක යා යුත්තේ අක්ෂි වෛද්‍ය විශේෂඥ අයස්මන්ත පීරිස් මහත්තයාටය. 

නරක නැත! ඇස් දොස්තර මහත්තයා ෆාස්ටින් ගැනත් උපදෙස් දෙයි!!


අපේ ශරීරය කොටස්වලට බෙදාගෙන..........
ලේසියට, පහසුවට අපේ ශරීරය බෙදාගෙන- කොටස් වෙන් කරගෙන- එකඑක්කෙනා එකඑක කොටස් ගැන විශේෂඥයන් වුණාට මේ ‘දෙතිස් කුණපය’ තවම ඒ බව දැනගෙන නැත. ඒත් ඉස්සර හිටි අපේ වෙද මහත්තුරු නම් ඒ බව දැනගෙන උන්හ. උන්නැහේලා අතේ ඇඟිල්ලක ඇනුණු ඉඳිකටුව අද්දවාගන්නට කකුලේ මහපටඟිල්ල සිදුරු කර බෙහෙත් බැන්දාය කියන්නේ ඒ නිසාය!

මේ තරම් දිගට අටුවාවක් කිව්වේ “රෝගයක් වැළඳීමට පෙර එය වළක්වා ගැනීම” වැදගත් බවත්, පහසු බවත්, ප්‍රායෝගික බවත් පෙන්නා දෙන්නටය. “දියවැඩියාව එක ලෙඩක් වුණාට ලෙඩ ගොඩකට මුල පුරන වසංගතයක් වගේ!”ය.

මගේ අතින් දැන-දැනම කෙරුණු වැරැද්දකුත් මේ දැන් වැටහුණත්, ඒක එහෙම්මම තියෙන්නට හරින්නේ අප බිලිගන්නා මාෆියාවක් ගැනත් කියන්නට එයින් පොටක් පෑදෙන නිසාය. අයිස්ක්‍රීම්, බර්ගර් ඇතුළු කෑමවල ෆොටෝ එකක් ඉහළින් යොදා ඇතත් එය මේ බ්ලොගයෙන් කියන දේවලට නම් නොගැලපෙයි. මා කියන්නේ ඒවායේ නුගුණය; ඒවායෙන් කෙරෙන විපත්තිය ගැනය. එහෙම කියද්දී මෙහෙම ෆොටෝ එකක් යොදාගැනීම නරකය! එවැනි ඡායාරූප පවා ඔබ වරදට පොළඹවයි!

එක ෆොටෝ එකක් එහෙම නම් දවසකදී පැය හත-අටක් tv බලන අයගේ ඔළුවට මෙවැනි ෆොටෝ නොව අත්‍යලංකාර දැන්වීම් කොච්චරක් නොදැනුවත්වම රිංගනවා ඇතිද? මකුළුවෙකු ගොදුරක් අල්ලා ගන්නට දැලක් වියන්නාක් මෙන් අප පොළඹවාගන්නට විවිධ නිෂ්පාදකයෝ ලස්සන දැන්වීම් වැස්සක් වස්සවති. ඒවා දැක්කාම......... ඒවා ගන්නට, අරගෙන ඇවිත් කන්නට හිතෙනවාය.

මකුළුවෙකු ගොදුරක් අල්ලාගන්නට දැලක් වියන්නාක් ...........
ඔයාලට එහෙම වෙන්නේ නැතිද? මට නම් එහෙමය. දැන් ඇත්ත දන්නා නිසා වුණත්, එහෙම වෙලාවට ඉවසන්නේ බොහොම අමාරුවෙන්, දත කාගෙනය. දත කාගෙන වුණත් අදට නවතින්නට වෙලාව හරිය!

2 comments:

  1. නිමල් අයියෙ ගොඩ දෙනෙක් නොපිළිගත්තට හරියට හදාපු බර්ගර් එකක් කියන්නෙ බොහොම සම්බල ආහාරයක් ... මං මේ කියන්නෙ මැක්ඩොනල්ඩ්ස් වගේ කල් තියාගෙන දෙන වහතු මළ ජරාව නෙමෙයි ... එදිනෙදා ෆ්‍රෙෂ් බඩු දාල එවෙලෙට හදන ඒව. ඒක ඇතැම් විට අපි කන බත් වේලකට වඩා හොඳයි ගැලපෙන අඩු කැලරි බන් ඒකක් එහෙම දාගත්තොත්.

    ReplyDelete
    Replies
    1. ඔයා හරි. නමුත් කණ්ඩා- ආහාර විශේෂඥයන් හැමෝම පිලිගන්නවා නේද පිටි-සීනි දෙකම අපට හිතකර නොවෙන බව. සැකසූ ආහාර.... මට මේ මොහොතේ සුදුසුම වචනය මතක් වෙන්නේ නැහැ. සොරි!

      Delete