අකුරු මැකී නෑ

Friday, January 18, 2019

සැවුළු සංහාරය - තෙවෙනි කොටස

කොටහළු මංගල්ලය ලොකුවට ගන්නවාය කියලා...........
පසුවදා හිමිදිරිය වෙද්දීම, අපේ අම්මා ලොකු දෝණියන්දෑගේ වැඩිවිය පත්වීමේ විත්තිය අච්චු නොගහන ‘ගමේ විත්ති’ පත්තරේටත් දාලා, හතර වටේටත් පතුරවලාය. ඒ විතරක් නොවේ. “ඉස්සෙල්ලාම වැඩේනේ. හැමෝටම කියලා ලොකුවට ගන්නවා!” කියා නුගේගොඩ ඇන්ටිත් එක්ක ලොකු පම්පෝරි කතාවකුත් කියලාය. කට-පට්ට ඇදලාය.

ඩබ්ලිව්.ඒ. සිල්වා මහත්තයාගේ ‘කැලෑහඳ’ නවකතාවේ හිටියේ ‘නිකිණියානේ විදුලි කම්බිය’ නේද? ඒ වාගේ පමුණුවේ අපේ ගෙවල් ඉසව්වේ හිටියේ නුගේගොඩ ඇන්ටිය. 

මගේ හැඟීම නම්, ඇත්තටම ගමක් හැඩවෙන්නේ- පණ ගහලා එන්නේ මේ වගේ උදවියත් එක්කම බවයි. එයාලගෙ ඩියුටිය අද මුල් පිටුවලින්, ගොසිප් තීරුවලින් බාරගෙන තිබුණත් ඒවායින් කෙරෙන්නේ ඒක පාර්ශ්වික සංනිවේදනයක් විතරය. සංනිවේදනයකදී අපේ හිතට දැනෙන්නේ සංනිවේදකයා එක්ක අපේ අදහසුත්; අපේ විවේචනත්; අපේ කයිවාරුත් හුවමාරු කරගන්නට ඉඩ ලැබෙනකොටය.

එතකොට, වමනය ගොඩට වැටුණු කපුටු පිහාටුවේ කතාන්දරය ‘අර මනුස්සයා කපුටෙකු වමනය කළා’ කියන තරමට ප්‍රතිපෝෂණය වෙන එක වෙනම කතාවකි!


එතකොට වමනය ගොඩේ තිබුණු කපුටු පිහාටුව ...........
ජීව විද්‍යානුකූලව නම් ගැහැනු ළමයෙකුගේ සිරුරේ ‘පළමු ඩිම්බය’ මෝචනයවී සති දෙකකට පසුවය, ‘පළමු ඔසප්වීම’ සිදුවන්නේ. 

ඒ ඩිම්බ සෛලයට පුරුෂ බීජයක්; ශුක්‍රාණුවක් හමුවී- සංසේචනයක් සිදු වුණේ නැති නම් ඔසප් වීමට මඟ පෑදෙයි! එහිදී, අර කුළුඳුල් ස්ත්‍රී බීජය මෝචනයවී දින තුනක් විතර ගෙවෙද්දී ඒක අප්‍රාණික වෙන්නේය. එවිට ඊළඟ වතාවටත් ස්ත්‍රී බීජයක් නිකුත් කරන්නට සිරුර සකස් විය යුතුය. ඒ සඳහා ගර්භාෂ බිත්තියත් අලුත් විය යුතුය. 
ඉතින් ඒකෙ ‘පරණ මතුපිට තට්ටුවට යන්නම යන්නැයි’ සිරුර කියන්නේ අලුත්ම-අලුත් මතුපිටක් හදා ගන්නටය.

පළමු මාස් ශුද්ධිය වෙනවාය කියන්නේ, ශුක්‍රාණුවක් හා එක්වූ කුළුඳුල් ඩිම්බය තැන්පත් වෙන්නට සැකැසුණු ගර්භාෂ බිත්තියේ මතුපිට ස්ථරය එහෙම සිරුරෙන් ඉවත්වෙන එකටය.

එහෙම බලද්දී මේ මංගල්ලය උත්සවාකාරයෙන් ගන්නේ අහවල් එකකටද? මට නම් ලොකුම ප්‍රශ්නයකි. 

බටහිරින් එන නරක පුරුදු ඉසමුදුනෙන් පිළිගන්නා අපි මෙතැනදී නම් ඔවුන්ගේ ක්‍රම පිළිගන්නට සූදානම් නැත! 
එයාලා දැරියක දැනමුතු වුණාම අමුතුවෙන් කරන්නේ ‘ආරක්‍ෂිත ලිංගික ඇසුරකට අවැසි උපදෙස් ලබා දීම’ විතරය. 
(සමහර වෙලාවට ගෙදර ඉස්සරහ දොරේ අමතර යතුරකුත් දැනමුතු වුණු දුවට දෙන්නට වෙයි. ඒ යුරෝපා රටවල දෙමව්පියන් වයස සපිරුණු දූ-දරුවන් වැඩිහිටියන් ලෙස ගණන් ගන්නා නිසාය.)  

පළමුවරට ගර්භාෂ බිත්තියේ මතුපිට ස්ථරය ඉවත්වීම.....
“ආ රංජී, තමුසෙල ගෙදර ලොකු උත්සවයක් ගන්න ලෑස්තිලු නේද?” නුගේගොඩ ඇන්ටි හැරෙන තැපෑලෙන්ම ‘කින්ඩි’ ස්වරයෙන්, අපේ අම්මාගේ පම්පෝරි කතාව ගැන ඔත්තුව මට  දුන්නේ එහෙමය. 
කාටම හරි ඇනුම් පදයක් කියන්නට තියෙනවා නම් ඒ මනුස්ස දෝණියට ඊට වඩා දෙයක් නැත. මට පෙනුණේ අතරමඟදීම මාව අල්ලාගන්නට ඇය මඟ රැකගෙන හිටි බවයි. ඒ කතාව කණට වැටී ගෙදරට පය ගහද්දීමය, තාත්තාගේ මැසිවිල්ල ඇසුණේ.

“ලීලා, මං උඹට හැමදාම කියනවා හිතලා බලලා කතා කරපන් කියලා. කොහෙද අහනවයැ. උඹේ මොළේ තියෙන්නෙ දිවේ. උදේ උඹම නේද කිව්වේ අර ගෑනිත් එක්ක, ලොකුවට උත්සවයක් ගන්න ඕනේ කියලා. දැන් පස්ස ගහලා කොහොමද රෙද්දක් ඇඳන් පාරෙ යන්නේ. ඊටත් ඒ විත්තිය තව දෙතුන් දෙනෙකුට කිව්වටත් පස්සේ.” 
තාත්තා කතා කරමින් උන්නේ නෝක්කාඩු ස්වරයකිනි.

අම්මා කතා කරන්නෙත් නොරිස්සීමක් පෙන්නාගෙනය. බුම්මාගෙනය. 

“ඔව්, මං එහෙම කිව්වා තමයි..... දැන් ඔයාම නේද ගණන් හදලා කිව්වේ රුපියල් තුන්-හාරසීයක්වත් යයි කියලා. මොකටද එච්චර නාස්ති කරන්නේ? අපි ඒ වැඩේ අතෑරලා දාමු. මොකෝ, ගස්වලින් කඩන සල්ලියැ? මිනිස්සු කියන දේවල් සේරම කරනවයැ?”

ඒක තාත්තාගේ රේස් දැමිල්ලටත් සිගරැට් බීමටත් .......
 තාත්තා නිහඬ වෙන්නේ කරකියා ගන්නට දෙයක් නැතිකම නිසාය. ඒ වෙද්දී අපේ ගෙදර සල්ලි හම්බ කරන්නේ අම්මාත් මාත්ය. තාත්තාට පෙන්ෂන් එකක් ලැබුණත් නොලැබුණු ගාණය. ඒක එයාගේ සිගරැට්වලටත්, රේස්වලටත් මදිය. 

තාත්තාගේ ළඟවත්, මගේ ළඟවත් ඉතිරි කරගත් මුදල් සංචිතයක් නැත. තියෙන්නේ අම්මා ළඟ විතරය. ඒවා තියන්නේ කොහෙද කියලාවත්, ඒවායේ දිගක්-පළලක්-මහතක්වත් මා නම් දැනගෙන උන්නේ නැත. ඒත් අම්මා පස්ස ගහන්නේ ඒක හොල්ලන්නට අකැමැත්තෙන් බව නම් සහසුද්දෙන්ම දැනගත්තෙමි.

“හරි, මගේ සීට්ටුව තියෙනවානේ. දැනුත් නුගේගොඩ ඇන්ටි මගෙන් ඇහුවා විතරයි කොටහළු මංගල්ලේ ගැන. ඒ අම්මණ්ඩි දැනටත් ඕක  කියලා ඇති වටේම. අපි මේක නොකර හිටියොත් ලෝබ කුණාලා කියලා ලජ්ජාවේ පණ යයි!” මම කීවෙමි.

“පුළුවන් කෙනෙක් කරගන්න එකයි ඇත්තේ. මං මොකටද එපැයි කියන්නේ?” අම්මා තීන්දුව කැපුවේ එහෙමය.

කොටහළු මඟුල් ගැන විතරක් නොවේ, විවාහ මංගල්‍යයන් ගැන වුවද මට ඇත්තේ රින ආකල්පයකි. මට හිතෙන විදියට නම් විවාහ මඟුලක් වුණත් ගත යුත්තේ දෙදෙනෙකු විවාහ වන දවසේ නොවේ. දෙන්නා එකට එක්වී වසර පහක්වත් සතුටින් දිවි ගෙවූ පසුවය! 

සිරි ලංකාවේ ජයටම ගත්තු මඟුල්වලින් වැඩි හරියක් කැඩී ගියේ බඳින පමාවෙන්මය! ඒවා කැඩිලාය කියා අපට තේරෙන්නේ එයාලා ඊළඟටත් කසාද බඳින්නට යන විත්තිය කියවුණාමය. අපේ ජනමාධ්‍යවලටත් ලොකුම නිව්ස් එව්වාය!

පළමු කසාදය ඉහළින්ම ගත් නිළියක් (එයාගෙ අම්මා, තාත්තා, සහෝදරයන් සේරමත් රටම දන්නා; කලාවට සම්බන්ධ අයයි.) දෙවෙනි කසාදයට සැරසෙන පුවතක් උදේ දකින්නට ලැබිණි. මේ මංගල්ලයේදී මනාලියට පලඳන්නට යන සම්ප්‍රදායික උඩරට ආභරණ කට්ටලයේ වටිනාකම මිලියන 7 ක්ලු! (අන්දවන කෙනා ගැන විස්තර තිබුණත් ඒවා දෙන්නේ කුලියටද කියලා නම් කියා නොතිබිණි.)

මගේ සිත පහන් කරවන මංගල ඡායාරූප පෙළක්.......
ඒත් මගේ හිත නම් පහන් කරවන මංගල ඡායාරූප පෙළක් ඊයේ පෙරේදාවක දකින්නට වාසනාව ලැබිණි. 

දෙන්නාම නළු-නිළියන්ය. එයාලාත් ‘කසාද බැඳගන්නා පමාවෙන් කඩාගන්නා වංශේ’ නිසා අවුරුදු 35ක් පවුල් කෑම විශේෂය. ආනන්ද වික්‍රමගේ හා මානෙල් වානගුරු ඔවුනගේ 35 වෙනි විවාහ සංවත්සරය සැමරුවේ නැවතත් විවාහ වීමෙනි. අනේ, මං මෙහෙම ලිව්වාට ඒ දෙන්නා හැබැහින් දැකලාවත්, වචනයක් හෝ කතා කරලාවත් නැත! මං කරන්නේ යහපත් දෙයක් අගය කිරීම විතරය.

ඉතින් මගේ මුල්ම වෙන්දේසි සීට්ටුවෙන් මගේ අතට ලැබුණේ රුපියල් හාරසිය විසිපහකි. ලොකු නංගි සීට්ටුව ඉල්ලලා තිබුණේ 75/- ටය. ඒක 500/- න් අඩු කෙරෙයි! ඉතිරි 425/- මට ලැබෙන්නෙත් ඒ මාසයේ එක්කෙනෙකුගේ මාසික වාරිකය වුණු රුපියල් 21.25 මාත් ගෙව්වාට පස්සෙය. (වෙන්දේසි සීට්ටුව ගැන විස්තර මධුශංඛ විතානගේ සහෘදයා පසුගිය කොටසේ කමෙන්ටුවකින් විමසා තිබිණි. සීට්ටුවක අග-මුල සේරම මා දුන් පිළිතුරු කමෙන්ටුවේ තිබේ!)

නෝනෙ අක්කා මට දුන් මුළු මුදලම තාත්තා අතට ගියේ කොටහළු මංගල්ලය ජයට ගන්නටය.

ඒකට එන අයගෙනුත් රුපියල-දෙක ලැබිලා තිබුණත් ඒවා ගැන අහන්නටවත් මට උවමනාවක් තිබුණේ නැත. එහෙම වුණේ පුරුද්දක් නැතිකම නිසාය.

“රංජිට කවදාවත් සල්ලි ඉතිරි කරගන්න බැහැ.” මගේ අත බැලූ-බැලූ අය සේරම කිව්වෝය. එහෙම කීවේ මගේ අත්ලේ ඇඟිලි අල්ලට යාවෙන තැන ඇති කුහර දෙස බලමිනි. එහෙම ඉඩක් තියෙන අයගේ අතේ සල්ලි ඉතිරි වෙන්නේ නැතිලු. වතුර වැනි දියරයක් නම් ඒ සිදුරු අතරින් ඉවතට යනවා විය හැකිය. ඒත් කාසි-නෝට්ටු වැනි ගැන දෙයක්? 

මගේ ගැන කියනවා නම්, 1985 වෙනතුරුම ඒ අනාවැකි හරියටම හරි ගිහින් තිබිණි.

වමේ සිට- දීපාල්, අනිල් හා නිදි පිටිපස පේළියේත්, දීපානි, අම්මා, ඩැඩා, සමන්ති ඉදිරි පෙළේ (1985 දී)
ඒත් (රේස්වලින් රේස් එකට පිම්මක් -3 පෝස්ට් එකේදී කියූ විදියට) එංගලන්තයේදී අපේ ඩැඩා දුන් අවවාදයෙන් පසු ‘මට මොළේ පෑදුණු නිසා’ අර අනාවැකි සුන්නද්දූලිවී ගිහින්ය.   
හොඳ වෙලාවටය එහෙම වුණේ. 
නැති නම් මල්ටිපල් මයෙලොමාව හැදී ගතවුණු මේ අවුරුදු හයම ගෙවන්නට වෙන්නේ අනුන්ගේ පිහිටෙනි!

මට මෙහෙම ස්වාධීනව ඉන්නට, අපේ අම්මාගේ ලෝබකමින් ඉතිරි කරන පුරුද්දත් උදව් වුණු බව නම් අමතක කරලා බැරිය. 

අම්මා කන-බොන-අඳින දේවලට වියදම් නොකළත් ඉඩකඩම්-ගෙවල් වැනි දේට වියදම් කරයි. මටත් මේ නිවස හදලා දුන්නේ ඇයගේ වියදමිනි. හරියටම කියනවා නම් මුළු වියදමෙන් 1/11 ක් විතරය මට වැය වුණේ. තිස් ලක්ෂයක්ම අම්මාගේ සල්ලිය! 
එහෙම හදා දුන් නිවසේ උඩ තට්ටුව කුලියට දී ඇති නිසා, දැන් මට මාසය පිරිමසා ගන්නට හැකිය! 

ඔන්න, අපේ අම්මාටත් ලොකු ස්තුතියක්!! 

හැබැයි, හිතවත් නෙවිල් අනුරසිරි වගේම අපේ අම්මාත් බ්ලොග් කියවන කෙනෙක් නොවේ. අම්මා පත්තරයක වුණත් උවමනාවෙන් බලන්නේ ‘පලාපල තීරුව’ විතරක්ය!!!

ඉතින් නෝනාගේ කොටහළුවෙදී වුණු සංතෑසියමය මානෙල් නංගිගේ විවාහයේදී වුණෙත්! අපේ අම්මා මුලින් කට-පට්ට ඇදලා පස්සේ පස්ස ගැහුවාය. හැබැයි කොටසකට නම් සම්මාදම් වුණේ ‘රෝහිණී අක්කලාත්’ ඉදිරිපත් වුණාමය. එයාලට පෙනෙන්නට වෙන්නැතිය! 

ඒ අතින් නම් රෝහිණී අක්කා මසුරන්ය. අනේ, එයාව බාල්දු කරන්නට කියනවා නොවේ. 
ඒ මනුස්ස දුව නෑදෑයෙකු වුණු මට විතරක් නොවේ, යන්තමට හඳුනන කෙනෙකුට වුණත් කන්නට ඇති බත්පත දෙන පන්නයේ  ඇත්තියකි. හිත හොඳ අම්මණ්ඩියෙකි.

ඒ අතින් නම් දැන් ඉතාලියේ ඉන්නා රෝහිණී අක්කාත්, ලොකු ජයසූරිය අයියාත් දෙන්නාම............
රෝහිණී අක්කා අපේ මල්ලිකාගේ දෙවෙනි වැඩුමල් සොහොයුරියයි. ලොකු අක්කා චන්ද්‍රානිය. රෝහිණී අක්කා විවාහවී ඉන්නේ ලොකු ජයසූරිය අයියා එක්කය. ඒ මනුස්සයාගේ ඇති කිසිම ලොකුකමක් නැත. ‘ලොකු’ කෑල්ල එන්නේ වැඩිමල්කම නිසාය. අන්තිම නිරහංකාරය. සිම්පල්ය. 

කොච්චර simple ද කියනවා නම් ‘නෝනෙ’ කියන ඕනෙම දෙයකට එකඟ වෙයි. ජයසූරිය අයියා බිරියට ඇමතුවේ ‘නෝනෙ’ නමිනි. (දැන් දිගු කාලයක සිට ඒ පවුලම ඉන්නේ ඉතාලියේය!)

“නිමල් මල්ලී, ඔයාලගේ ගෙදර මඟුලක් ගන්න තරමට එකක් නෙවෙයිනේ. අපි ඒක අපේ ගෙදර ගනිමු. මගේ ගණනේ කෑම ටික හදලා දෙන්නම්. ඔයාගේ යාළුවොත් එක්කං ඇවිත් මඟුල් මඩුවක් ගහන එකයි, ගෙදර සරසන වැඩෙයි නම් ඔයාට කරවන්න වෙයි. අපේ ගෙදර ඉතින් ඉන්නේ කෙල්ලොනේ. උනුත් තවම පුංචියිනේ ලොකු මල්ලී.” රෝහිණී අක්කා මුල පිරුවේ එහෙමය.

වේයොයි, මීයොයි, නෑයොයි ඕනෑවට වඩා කිට්ටු කරගත්තොත් විනාශයි! ඉස්සර උදවිය කීවෝය. එහෙත් රෝහිණී අක්කලා සම්බන්ධයෙන් නම් අපට එහෙම වුණේ නැත. මානෙල් නංගිගේ විවාහයේදී ඇය අවංකවම; උපරිමයෙන්ම; බොක්කෙන්ම අපට උදව් වුණාය!

අපේ අම්මාට උවමනා වුණේ මානෙල් නංගිගේ මංගල්ලේ ඉහළින්ම කරන්නටය. 

හැබැයි අඩුම වියදමින්ය. ඒක තුට්ටු දෙකේ අශ්වයා වැටට උඩින් පන්නවන්න හදනවා වගේ වැඩකි. එහෙම වෙලාවට ඉවසිල්ලෙන් වැඩ කරන පුරුද්දක් මට ඇත්තෙම නැත.

කට වහගෙන ඉවසිල්ලෙන් ඉන්නා පුරුද්දක් නම්.....
කොහොමත් අම්මාත් මාත් අතර නිතරම සටන් ඇවිළෙන ගතියකුත් තියෙයි. “අනේ මල්ලී, ඔන්න ඔහේ ඉවසලා ඉන්න. ඔයා හිතන විදියටම අම්මාත් වැඩ කරන්න ඕනේ නැහැනේ. අම්මටත් සතුටු ඇති. එයාගේ දරුවෙකුගේ ඉස්සෙල්ලාම මංගල්ලෙනේ!” 
නිතරම ඇවිළෙන මට ඔවැනි දෙයක් කියමින් සනසන්නට මැදිහත් වුණේත් රෝහිණී අක්කාමය.
එයාටවත් විසඳන්නට බැරි තත්වයකුත් ඒ අතරේම ලියලමින් තිබුණේ රහසෙන්ම වාගෙය!

කළු අක්කා! 
දියවිනි ඉනාව පෝස්ටු’ කියෙව්වා නම් රසික ඔයාලාට ඇය අමුත්තියක් නොවේ. ඉදිරියේදී ඇය ගැන තවත් ලියවෙන්නටත් තිබෙයි. 

ඇයට දරුවන් සිව් දෙනෙකි. ලොකුම දියණිය; සෝමලතාත් ඒ කාලයේ අපේ බතික් වැඩපොළේ සේවය කරන්නියකි. ඒ ස්වාමි-සේවක සබඳතාව වෙනම තිබියදී, හැමදාම වාගේ හවසට කළු අක්කලාගේ ගෙදරට යාම මගේ පුරුද්දක් විණි.

හවස හත වෙද්දී මං එහේය. තනියමත් නොවේ. පොඩි මාමාත් එක්කය.

(පොඩි මාමා ගැන නම් කියවුණේ ගොඩ ඈතකය. ‘නිල්බෘන්ගයන්ගේ වස වැරැද්දක් පෝස්ටුවේදීය.) ‘කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන්’ එකේදී ‘දුෂ්ටයා’ වුණු සෝමවීරත් එහාට එයි. අප එනතුරු බලා හිඳින්නේ සෝමේ අයියාය. සෝමේ අයියා කළු අක්කාගේ ස්වාමි පුරුෂයාය. 

දැන් අපි හතර දෙනෙකි. තව දෙන්නෙක් අඩුය. කළු අක්කාගේ සොහොයුරු කළු අයියාත්, ලාල් අයියාත් බොහෝ දවසට ඒ අඩුව පුරවන්නට බලා හිඳිති. (ලාල් අයියා කිව්වේ ‘නැණ ලැබ ගත්තෙමි....’ පෝස්ටු පෙළේදී කියූ ලාල් හේවාපතිරණ අයියා නොවේ.) හේමලාල් ජයසිරිය. සෝමලතාගෙ අනාගත සැමියා වෙන්නට වරම් ලබා හිටියේ ඔහුයි.

දැන් අපි හතර දෙනෙකි. තවත් දෙන්නෙක් අඩුය. ඒකට............
කළු අක්කාත් 304 ගහන්නට කැමැත්තෙන් හිටියත් සෝමෙ අයියා නම් ඒකට කැමැති වුණේ නැත. “බෑ නිමල් මල්ලී, මෙයා සෙල්ලම් කරන විදියට පිස්සු හැදෙනවා.” ඔහු කිව්වේ එහෙමය. 

මට හිතෙන විදියට; මං දන්නා තරමට 304 හොඳ සිහි බුද්ධියෙන් කළ යුතු ගේම් එකකි. ඒත් කළු අක්කා ‘කොළ අත’ අතේ තියාගෙනත් හිත දහ අතේ දුවවන්නියකි.

හතට විතර ඇරඹෙන අපේ ‘304 ගැහිල්ල’ ලෙහෙසියෙන් නවතින්නේ නැත. හදිසියෙන් හරි කෙනෙකුට එන්නට බැරි වෙලාවක් එනතුරු බලා ඉන්නා තවත් දෙතුන්-දෙනෙකුත් එහේ හිටි නිසා කවදාවත් අපේ සෙල්ලමට ක්‍රීඩකයන් හය දෙනා අඩු වුණේ නැත.
බොහොමයක් දවසට අප රෑ කෑම ගත්තෙත් කළු අක්කලාගේ ගෙදරින්මය.

ඔය රාත්‍රී ගමන නිසාත්, කළු අක්කලා එක්ක තිබුණු දැඩි පයුරු පාසනය නිසාත් අපේ ගෙදර ඇත්තන් හිටියේ විචිකිච්ඡාවකින් දැවෙමිනි. 

“මොකටද හැමදාම එහෙ යන්නේ?” “මොන 304 ක්ද මන්දා. ඒ මිනිස්සුත් උඹලට එන්න එපා කියන්න විදියක් නැතිව ඇත්තේ.” වගේ ‘වහෙන් ඔරෝ’ කතන්දර ඒ දවස්වල අපේ ගෙදරදී නිතර කියැවිණි. ඒ මැසිවිලි සේරම ‘කොළේ හංගා’ ගැහිල්ලකි. 

එයාලා කව්රුන්මවත් ඍජුව කතා කළේ නැත; ඇහුවෙත් නැත. හිටියේ බඩේ බිජු තියාගෙනය. ඉතින් එහෙම වෙලාවට මාත් කරන්නෙම, නොදන්නා තාලෙට; අහිංසක විදිහට තව-තවත් ගැඹුර දෙන එකය. ඒ සේරටම හේතුව ‘ඉන්ද්‍රානි’ය; සෝමලතාගේ නංගිය; කළු අක්කාගේ දෙවෙනි දියණියය.

අපේ ගෙදර උදවිය හිතාගෙන හිටියේ මං එහෙං හිර ගන්නට.......
අපේ කට්ටිය හිතාගෙන හිටියේ මං කළු අක්කලාගේ ගෙදරින් හිරයක් ගන්නට යනවා කියලාය. ඉන්ද්‍රානිව කැන්දන් එන්නට යනවා කියලාය.

ඉතින් ඊට පස්සේ............. ඊළඟ කොටසේ!

3 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. ජම්බු ගහෙන් වැටිලා තුවාල උනහම පාටි දාල හරි යන්නෙ නැහැ ... බෙහෙත් දාලා ගහෙන් වැටුන අයට ගොනා අනින හැටි කියා දීල දැනුවත් කොරන්ට ඕන !

    ReplyDelete
    Replies
    1. මගේ මතයත් එකම තමයි කණ්ඩා! වැඩියත්ම වැදගත් ඩිම්බය නිකුත්වීම මිස ඊට දවස් 14කට පස්සේ වෙන මේ ගර්භාෂ බිත්තියේ මතුපිට බැහැරවීම නෙවෙයිනේ.

      Delete