අකුරු මැකී නෑ

Tuesday, January 29, 2019

දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස

“බැහැ, බැහැ ගුණේ. ඔහොම කළු හාදයෙක්ව විධුර පණ්ඩිතයන්ට? ඒක හරියන්නෙ නැහැ බං. විධුර පණ්ඩිතයන් වහන්සේ කියන්නේ අපේ බෝසතාණන් වහන්සේ. ඒ කැරැක්ටර් එකට දාන්න ඕනේ පිං පාට උතුරණ හාදයෙක්ව බං. මේකා නිකං කාපිරි කුමාරයා වගේනේ.” අබරන් මාස්ටර් එහෙම කිව්වාම නම් අපේ තාත්තාටත් කේන්ති ගිහින්ය. ඒත් එව්වාට වග-උත්තර කිව්වේ මගෙත් එක්කය.

“එයා කියන විදියට නළුවෝ හොයන්න නම් ඉතින් අලුතින්ම ජාතක කරලා උපද්දන්නයි වෙන්නේ!
අලුතින්ම ජාතක කරලා උපද්දන්න..................
තාත්තා එදා කීවේය. එහෙත් එදා තබා අදවත්, තවම නම් එහෙම ක්‍රමයක් හොයාගෙන නැත. තමන්ට ඕනෑ කරන විදියේ දූ-දරුවන් ජනිත කරවාගන්නට හැකියාවක් මෙතරම් විද්‍යාව දියුණු යුගයක වුවත්, තවමත් ඇත්තේ නැත! 
එහෙම ක්‍රමයක් තියනවා නම් මෙලහකටත් අපේ 225 උදවියගේ දූලා-පුතාලටම මිස වෙනින් කිසිවෙකුටත් දියවන්නා මන්දිරය පැත්ත-පළාතේ පස් පාගන්නට බැරි තැනට වැඩ සිද්ධ වෙනවා සිකුරුය.

අනෙක තමුන්ට කැමැති විදියේ ළමයි උපද්දන්නට ඇහැකියි නම්, පිරිමි ගණන නහුතෙටම වැඩිවෙන එකත් ෂුවර්ය! 
තවමත් බොහෝ දෙනා හිතන්නේ ‘පිරිමි ජාතිය උතුම් ජාතිය - කන්ට දීලා මල් පුදාපිය - ගැහැනු ජාතිය ජරා ජාතිය - ගලේ ගහලා මරා දාපිය’ කියලා කියූ කාලයේ වගේමය. ඒ නිසාදෝ පුතාලා උපද්දා ගැනීමට එක්-එක් කෑම වර්ග ගන්නා සිරිත් සමහර රටවල ඇත.

පුතාලාටත් වැඩි දෙයක් වුණත් හදාගත හැකි පිළිවෙලක් ගැන පුවතක් 2018 ජනවාරි 26  වෙනිදා Lanka Hot News අඩවියේ තිබිණි.
ඒ නිවුන් දරුවන් උපද්දවා ගැනීම ගැනයි. කිරි ආහාර වැඩියෙන් ගත්තාම නිවුන් දරුවන් ලැබීමේ සම්භාවිතාව 5 ගුණයකින් වැඩි වෙනවලු. “එමෙන්ම නොයෙකුත් කැලෑවල සෑදෙන අල වර්ග (අර්තාපල් හැර) පරිභෝජනය කිරීම නිසා ඩිම්බ කෝෂයේ සිදුවන උත්තේජනයන් ඉහළ යාම නිසාද නිවුන් දරුවන් බිහිවීම සිදුවිය හැකියි.” කියලාත් ඒ පුවත කියනවා.

යන්තර මන්තර, වත්-පිළිවෙත් ආදියෙන්ම සේරම ජයගන්නට...............
තවත් අය කියන්නේ කාන්තාවකගේ මාසික ඔසප් චක්‍රයේ යම්-යම් දවස්වල රමණයේ යෙදීම මඟින් අවශ්‍ය පිරිමි දරුවන් පිළිසිඳවාගත හැකි බවයි. එහෙම වත්-පිළිවෙත් ගැන කියද්දී, මා අසා ඇති හොඳම කතාව විහිළුවකටත් වඩා විහිළුවකි. 
ඒකට අනුව නම් නිශ්චිත දවසේ සංසර්ගය සඳහා ඇඳට නඟින්නට පැත්තක් ඇත! ඒ පොතේ ඒ පිළිවෙත පැදුරටත් වලංගුයිද කියලා නම් සඳහන් වෙලා තිබ්බේ නැතිකමය, ලොකුම අඩුව! අවිදු අඳුරක තරම.

ඉන්දියන් සාගරයේ (අ)මුතු ඇටේ එහෙම ‘අවිද්‍යාව’ රජ කරන්නේ  නැත්තං වාලම්පුරි, ගජමුතු වගේ විකෘතිවලට ලක්ෂ ගණන් වියදම් කරන්නට ඒකෙ ජහමනයන් අනුවණ වේවිද? වත්-පිළිවෙත්වලින්ම, යන්තර-මන්තරවලින්ම, හදි-හූනියම්වලින්ම ජය ගන්නට හිතාවිද?    

ඉතින්, එදා එහෙම ‘නොකෙරෙන කතන්දර’ කිව්වාට පහුවදා වෙනකොටම ඒ කතා අපේ තාත්තාට අමතකය. 

එයාට ඒවා අමතක කරන්නට ඕනෑ වුණත් එහෙම කරන්නට ඉඩ ලැබෙන්නෙත්  නැත. ගෙදරට එන කවුරුන්ම හරි නාට්‍ය කතාවක් ඇදලා ගනියි. එතකොට තාත්තාත් ‘ෆෝම්’ වෙයි. “බලනවකො, මේ සැරේ අපි නටන්න යන්නේ ලොකුම ජාතක කතාවක්; විධුර. මරුවට තියෙයි. ටවර් එකෙත් පෙන්නපු ටීටර් එකක්! මට නිකං මැවිලා පේනවා අපේ බන්දුල පූර්ණක යක්ෂ සේනාධිපතියා වෙලා ස්ටේජ් එක දෙදරවන හැටි!”

තාත්තා එහෙම කියන වෙලාවට නම් මටත් ඉරිසියාවක් නොහිතුණා නොවේ. ඇයි බන්දුල විතරක්? කොහොමත් අපේ තාත්තා පිට අයගේ ගුණ වැනුවත්; හොඳ කිව්වත් ගෙදර අපට නම් හොඳක් කිව්වෙම නැහැ වගේය.

අපේ බන්දුල පූර්ණක යක්ෂ සේනාධිපතියා වෙලා..........
ඒත් එව්වා සේරම පැත්තකින් තියා මාත් සිහින දකිමින් හිටියේ මහරගම පුරවරයේ දෙවෙනි වරටත් නාට්‍යයක් පෙන්වන්නටය. එහෙම හිතුවේ ආසාවට මිස ඒකෙන් අපට ලැබෙන නම්බුවක් ගැන හිතලා නම් නොවේ.

1966 දී පළමුවරට මහරගමදී නාට්‍යයක් පෙන්නුවේ අප වුණත් නාවින්නේ ඊටත් කලින්ම නාට්‍ය පෙන්නා තිබිණි. 

ඒ නාට්‍ය බලන්නට අපිත් ගියෙමු. ඒත් තාත්තාට එහෙම ගමන් බැරිය. අසනීප නිසාය. නැතිනම් ඒ කණ්ඩායම මෙහෙයෙව්වෙත් තාත්තාගේ යහළුවෙකු බව කලින්ම දැනගන්නට තිබිණි. තාත්තගෙ මිත්තරයා ලියනෝරිස් මාමාය! 
ඒ විස්තර දැනගන්නට ලැබුණේත් අහම්බෙනි. එතකොට අප ‘විධුර නාට්‍යයට’ ආධාර එකතු කිරීම පටන් ගෙනය.
  
ආධාර එකතු කරන්නට ගියේ දෙන්න-දෙන්නාය. වැඩිම දෙනෙකු කැමැති වුණේ මාත් එක්ක යන්නටය. එහෙම ගියාම වැඩිපුරම කතා කරන්නේ මාය. අනෙකාට කට මහන්සි කරවාගන්නටවත් වෙන්නේ නැත. හැරත් මගේ ඇඹිටිල්ලන්; අහිංසක පෙනුම හිංදා වැඩියෙන් ආධාරත් ලැබිණි. අපේ සුනිල් පවා මට වඩා වයසින් බාල වුණත් අහිංසක පාටක් නොවේ කොල්ලාටත් තිබුණේ. ඇට්ටර ගතියකි. ඉතින් ආධාර එකතු කෙරිල්ලට වැඩියත්ම එකට වැටුණු යුගලය මාත් සමරසිරිත්ය. (සමරේ එක්කය  නිදි ‘මීන සංහාරයකළේ.)

ඒ ගමන්වලදී අපට තේ එකක් බොන්නට, යමක්  කන්නට ලැබුණු සීමිත අවසරය ගැන ‘අජාසත්ත’ පෝස්ටුවලදී මම කිව්වෙමි.
එහෙම දවසක දවල්ට යමක් කාලා තේ බොන්නට මාත්, සමරෙත් ගොඩ වැදුණේ නාවින්නේ කන්ද උඩම තිබුණු තේ කඩයකටය. 

කඩය තිබුණේ රජමහ විහාර පාරට හැරෙනවාත් එක්කම වම් පැත්තේය. (දැන් ඒ තේ කඩය නැත. එහෙත් කඩ පේළියක්ම ඇත. ලියනෝරිස් මාමාගේ කඩය තිබුණේ ෆොටෝ එකේ මැද, නිල් පාට වහළයක් ඇති කඩය හරියේය!) අප හිටියේ තේ බොමින්ය. කවුදෝ කඩයට ගොඩ වැදුණේ අප දෙසත් බලමිනි.

ලියනෝරිස් මාමාගේ තේ කඩය තිබුණේ රජමහා විහාරයට............. 
“ලියනෝරිස් අයියේ, මෙයාලත් මහරගම ටීටර් එකක් නැටුවලු ගිය අවුරුද්දේ. මේ සැරෙත් විධුර නාට්ටිය නටනවලු පොසොන් පෝයට. මෙයාලා අපේ දිහාටත් ආවනේ ආධාර එකතු කරන්න. දන්නවද ළමයිනේ, මෙහෙම මුදලාලි වගේ හිටියට මේ ලියනෝරිස් අයියා තමා නාවින්නේ නම් දරාපු නාට්‍යකාරයා!” අමුත්තා කියාගෙන ගියේ විරාමයක්වත් නැතිවය.

ඉතින් ලියනෝරිස් මාමා අපෙන් තේවලට සල්ලි ගත්තේ නැත. ඒ හිලව්වට වගේ අපව නවත්තාගෙන සේරම විස්තර අහගත්තේය. 

“ඔය කියන ගුණපාල මගෙත් යාළුවෙක් නොවැ. පුතේ, උඹ තාත්තට කියහං නාවින්නේ ලියනොරිස් මාමා එයාව මතක් කළාය කියලත්. පුළුවන් නම් වෙලාවක මෙහාට ගොඩ වැදිලා යන්න කිව්වාය කියලත් කියාපං. පුළුවන්කමක් තියේ නං මං එනවා ගුණේව බලලා යන්න. කෝ ඒකට ඉඩක්. මේ කඩේ වහල දමලා ඒ පැතිවල යාම බොරුනේ.”

පූර්වාපර සන්ධි ගලපනවා නම් ලියනෝරිස් මාමලාගේ නාට්‍ය අපේ ඒවාට වඩා ගම්භීරය; විභූතිමත්ය; අලංකාරය. ඒවා පෙන්නුවේ නාවින්න දුම්රියපොළ අසල (දැන් සනාතන මන්දිරය ඇති හරියට පිටුපසින්) තිබුණු හිස් පිට්ටනියේය. 

නැති නම් මහරගම සිට නාවින්නට යන ගමනේදී; කන්ද පටන් ගන්නා ඉසව්වේම (දැන්) වදුල ගාර්ඩ්න් තිබෙන තැනම පාර අයිනේය.

දැන් 'වදුල ගාර්ඩ්න්' තියෙන හරියේ ...............
ලියනෝරිස් මාමලා stage එක ගහලා තිබුණේ ‘වදුල ගාර්ඩ්න්’ බෝඩ් එකට පිටුපාලාය. නාවින්න පැත්තට මුහුණ පාලා එදා වේදිකාව හදා තිබුණා නම් කියලා, අද මට හිතෙයි. එහෙනම් වැඩි පිරිසකට ඈතින් හිටගෙන වුණත්, පහසුවෙන් නාට්‍යය බලන්නට තිබිණි.

ඒ කාලේත් එතන තිබුණේ වදුලකි. ඒ හරියේ විශාල හබරල ගාලකුත්, එපිටින් පුවක් අරඹකුත් තිබුණේය. වදුල හැදී තිබ්බේ පුවක් අරඹත්, රූස්ස ගස් මණ්ඩියකුත් නිසාය. 

ඒ මදිවාට එතැනින් ලොකු කානුවකුත් ගලාගෙන ගියේය. 

ඒ කාලේ කුප්‍රසිද්ධ හයිලෙවල් රෙස්ට් හවුසිය තිබුණේ කන්ද උඩම සුදු අරලිය ගස්වලට මුවා වෙමිනි. (තවමත් විරාජමාන ඒ සුදු අරලිය ගොන්න, රජමහා විහාරයට ෆොටෝ එකේ වම් පැත්තෙන් පෙනෙනවා නේද?)     

නාවින්නේ හැම නාට්‍යයකම පාහේ ප්‍රධාන රජ චරිතයට ප්‍රේමදාස (මට නම මතක එහෙමය.) කියා කෙනෙක් රඟපෑවේය. ප්‍රධාන නිළිය වුණේ ‘සීතා’ය. (නාවින්න පැත්තේ විස්තර දන්නා කෙනෙක් වෙතොත් තවත් විස්තර එකතු කරනු මැනවි!) ඒ නාට්‍යවල තිබුණු ලොකුම දුර්වලකම ගැනත් මෙහිදී නොකියාම බැරිය!

ඒ නාට්‍යවල තිබුණු ලොකුම දුබලතාව........
ඒකේ එක ජවනිකාවක් අවසන්වී තිරය වැහුණාම ආපහු තිරය ඇරෙන්නේ කල්ප-කාලාන්තරයක් ගිහින්ය. එතකොට බලා ඉන්නා උදවිය ඉන්නේ හොඳටම කේන්තියෙනි. සෙනඟ අස්සේ පොදි කකා, තෙරපි-තෙරපී, හිටගෙන ඉඳිල්ල ලේසි වැඩක්ද? 
එහෙව් මිනිසුන් පස්-පඩංගුවේ බැණ වදින හැටි දැක තිබුණු නිසාම අජාසත්ත එකේදී අප ඒ මෝඩකම කළේ නැත. මට මතක හැටියට නම් පැයක් යද්දී අප අජාසත්ත එකේ නාට්‍ය දර්ශනයක් පෙන්නලාත් ඉවරය.

“නැහැනේ නිමල් ...... මට්ටකුණ්ඩලී එකෙන්ම මහරගම හන්දියේ තොරණ නැවතුණානේ. හැබැයි ඊට අවුරුදු දෙකකට පස්සේ මට මට්ටක්කුලියේ තොරණක් අඳින්න හම්බ වුණා!” ඩබ්ලිව්.ජේ. සෝමදාස ගෝමස් මහත්තයා කිව්වේය. ඒ ගිය සතියේ අපේ ගෙදරදීමය.

නුවන් නයනජිත් කුමාරගේ ‘ශ්‍රී ලාංකේය සිනමා වංශය’පොතේ 74 පිටුවේ උඩින්ම තියන්නේ අපේ 291 වෙනි චිත්‍රපටය ගැනයි. 

‘වස්තුව’. සිරි කුලරත්නගේ අධ්‍යක්ෂණයකි. ප්‍රධාන චරිත රඟපෑවේ නීටා ප්‍රනාන්දුත් වොලී නානායක්කාරත්ය. 
ජනකාන්ත ‘මුවන්පැලැස්ස’ ගුවන් විදුලි නාට්‍යයේ ‘නාහෙට නාහන පෙම්වතා’ වුණේ වොලීය. පෙම්වතිය වුණේ වොලීගේ බිරින්දෑ නෙතලි නානායක්කාරය. 
හඬින් වැඩ පෙන්නුවාට වොලීට රිදී තිරය මත වැඩ පෙන්වීමට එතරම් අවස්ථා ලැබුණේ නැත. කලාතුරකින් වුවද එහෙම ලැබුණු chance එකකි; වස්තුව! මං කියන්නට හදන්නේ ඒ ෆිල්ම් එකේ තිබුණු ගීතයක් ගැනයි.

හඬින් වැඩ පෙන්නුවාට රිදී තිරය මතත් එතරම් වැඩ පෙන්නන්නට වොලීට.....
‘තට්ටු කළාමලු දොරත් ඇරෙන්නේ - ඇඬු ඇඬු තරමට කිරිත් එරෙන්නේ
ඇවිද්ද පා දෙක දහස් වටින්නේ - සොයන්නාට නෑ හම්බ නොවෙන්නේ’

ගීතය ලිව්වේ, ගීයට රැඟුවේ කවුද කියා නම්වලින් කියන්නට ඕනෑ නිසා හොයාගන්නට වලි කෑවෙමි. ම්හු, බැරි විණි. 
මතක හැටියට නම් ගායනයට රූපා ඉන්දුමතීත්, ෆ්‍රෙඩී සිල්වාත් හවුල් වුණෝය. 
ඒත් ජාලයේ කොහේවත් සින්දුව නැත. ඒත් මොකෝ? මගේ මතකයෙන් මං කියාගෙන ආවේ ‘සොයන්නාට නෑ හම්බ නොවෙන්නේ’ කෑල්ල ගැනයි.

‘මහරගම ඉතිහාසය ලියන්නැයි’ ප්‍රදීප්, අසංග, මධූ, ප්‍රසන්න, චමින්ද ඇතුළු රසිකයන් කිහිප පොළක්ම මට කියා තිබිණි. 

මමත් එයට උත්සාහ ගත්තෙමි. තකහනියේ ගිහිල්ලාම හම්බ වුණු හුඟක් වයසක අයට මහරගම ඉතිහාසය එහෙමට මතක නැත; නිච්චිත් නැත. ඒත් මං දඩයම් අතෑරියේ නැත. 

දෙසතියකට කලින් දවසක මහරගම පොළට ගිහින්, නවරෝහල බස් එකේ ඇවිත් පමුණුව දේවාල පාර ළඟින් බසයෙන් බහිද්දී ගෝමස් මහත්තයාත් බසයෙන් බැස්සේය. මං හිතා හිටියෙම එයාව අල්ලා ගන්නය. දේවාල පාරට හැරෙන්නට ඉඩ නොදී ඔහු නවත්තා ගන්නට මට ඉඩ ලැබිණි.

ඩබ්ලිව්.ජේ. සෝමදාස ගෝමස් මහත්තයාත් බසයෙන් බැස්සේය!
“මේ ගෝමස් මහත්තයා නේද?” ඔහු පුදුම වුණේය. මීට කලින් අප කතාකොට තිබුණේ නැත. යන්තම් හිනාවක් හුවමාරු කරගෙන තියෙනවා මිස. 

“කරදරයක් කරනවා නම් අනේ සමාවෙන්න. ඩිංගක් නවතින්න පුළුවන්ද? මට ගෝමස් මහත්තයාගෙන් තොරතුරක් දැනගන්නයි ඕනේ.....”
“ඒ මොකක්ද ඒ?”

“මං දන්න තරමට නං 1966 මහරගම තොරණ ඇන්දේ ගෝමස් මහත්තයයි. ඒ විස්තර......”
“ඔයාට තවම මතකයිද ඒක?” ලොකු හිනාවකින් මුහුණ පිබිදෙද්දී උත්තරයක් නොව ප්‍රශ්නයක්ම නැඟිණි. 
අපේ කතාවට මුල පිරුණේ එහෙමය. තමන්ගේ තරුණ කාලේ වික්‍රමයක් ගැන අවුරුදු 53 කට පස්සේ අහද්දී සතුටෙන් හිනහ නොයන්නේ කාටද?

අන්තිමේදී ගෝමස් මහත්තයා මට කොයි තරම් කරුණාවන්ත වුණාද කියනවා නම් ඊළඟ ඉරිදා හවස අපේ ගෙදරටම ඇවිත් විස්තර කියන්නට කැමැති වුණේය; එහෙම ආවේය. එද්දීත් හිස් අතින් නොවේ ආවේ. 
මගේ ඉල්ලීම ඉටු කරමින් සහතික-ලිපි ගොන්නක්මත් අරගෙනය. ගෝමස් මහතාත් ඉතිහාසයේ අගය දන්නා කෙනෙකි. මතක කෙනෙකි. පුංචි ඉඟියක් දුන්නාම, ප්‍රශ්නයක් ඇහුවාම ‘පටස්’ ගාලා එයාගේ මතක සංචිතයේ switch එක on වෙයි.

ඉතිහාසයේ අගය දන්නා කෙනෙකි. මතක...........
හැබැයි, ගෝමස් මහත්තයාගෙන් දැනගත් විස්තර සේරම එකෑවර, එකම තැන ඇදබාන්නට මං සූදානම් නැත. මගේ මතක ගබඩාවෙනුත් තුන්කාලක් විතර තවම ඉතිරිය. 
ඉතින් මහරගම ඉතිහාසය එහෙම එකවර කියන්නට ගියොත් පෝස්ටුව බෝරින් වෙයි. 

සමාවෙන්න ගෝමස් මහත්තයෝ, තැනින් තැන-ටිකෙන් ටිකය ඔබතුමාගෙන් අහගත් කරුණුත් ‘මගේ වගේ’ ලියන්නේ! පේනවා නේද? හොයන්නාට නෑ හම්බ නොවන්නේ!
හෙවූ නිසාය මට ඔබ වැනි ‘මහරගම ඉතිහාස කෝෂ්ඨාගාරයක් හම්බ වුණේ’.

දැනටමත් එහෙම දැන-කියාගත් තොරතුරක් මං රසික ඔබ හැමට හෙළිදරව් කරලාත් අහවරය. මහරගමට මුලින්ම කිව්වේ ‘හික්ගස් හන්දිය’ කියලා බව මං දැනගත්තේ ගෝමස් මහතාගෙනි! ඒ බව බ්ලොගය කියවන දයාබර රසික ඔබට හෙළි කළේ ‘දිව්‍ය අංගනි සේ - පළමු පොස්ටුවේ’දීය!
“එතකොට හැටහයේ තොරණ ගහන්න මුල් වුණේ සයිකල් වින්කලේ විල්මන් අයියා?” ඒ මං.

“එයාගේ තමයි සංකල්පේ. අදහස. තරුණ කට්ටිය උදව් වෙලා වැඩේ පටන් ගත්තා; දිගටම  ඇදගෙනත් ගියා.” මේ ගෝමස් මහත්තයා.

එහෙත් ඒ පිරිසගේ ව්‍යායාමය එකෙන්ම නැවතුණත්, පසුකාලීනව වෙනත් පිරිසක් මහරගම තොරණ ගහන්නට කර ගැහුවෝය. ඊට කලින් අපේ ‘විධුර නාට්‍යය’ට මුල් තැන දෙන්නට ඕනෑය.
මහරගම හතර දිග්-භාගයේම උදවියට අපේ අජාසත්තව .........
ගමේ-ගොඩේ කාටත් අපේ ‘අජාසත්ත’ව හොඳට මතක තිබිණි. හිතටත් අල්ලලා තිබිණි. ඒ නිසාම ඒ වාරයේ ආධාර වශයෙන් අපට රුපියල් තුන්සිය ගණනක් ලැබී තිබිණි. මුල් වතාවේ වගේ පස්ගුණයකට කිට්ටුය! එදා එහෙම ලැබුණත් මදැයි. ඉතින් අදටත් මේ මදැයි, නේද?

6 comments:

  1. // කුප්‍රසිද්ධ හයිලෙවල් රෙස්ට් හවුසිය
    නිදි මේක සුද්දන්ගේ කාලේ ඉඳන් තිබුණු එකක්ද?
    කුප්‍රසිද්ධ වුනේ ඇයි?

    ReplyDelete
    Replies
    1. සිරිබිරිස් උන්නැහෙත් අහන්නේ නඩු යන කතන්දර. සුප්‍රසිද්ධ නැතිව කුප්‍රසිද්ධ කියලා කිව්වේ නයා මරන්නෙත් නැතිව, පොල්ල කඩා ගන්නෙත් නැතිව බේරෙන්නයි.
      එහෙම ඇහුවට ස්තුතියි, හොඳේ. කියවන ගමන් ගැඹුරට කිමිදෙන එක කොච්චර හොඳද?
      මේක සුද්දගේ කාලේ ඉඳලා තිබුණ වෙන්න බැහැ. මොකද ඒ කාලේ හයිලෙවල් එක නෙවෙයි පරණ පාරනේ ප්රධාන පාර වුණේ.
      තිස්ස අබේසේකර මහත්තයාගෙ ලියවිලි අනුවත්, අපේ ආච්චිලා නාවින්නේ හිටි අවදිය ගැන කියාපු කරුණු (තුම්පනේ, මාතර, බදුල්ල කියල වෙනස්යැ - 2018 ජුනි පෝස්ටුව) ලියද්දිත් ටිකක් කිව්වේ නාවින්න එච්චර දියුණු නැති එක ගැනයි.

      Delete
    2. කොයිතරම් නම් ඕක පහු කරගෙන ගොහින් ඇද්ද ... ඔය තරම්ම නොටෝරියස් තැනක්ද මේක ?

      Delete
    3. හැබෑට කණ්ඩො, මාව යාලුවෙක් එක්ක තරහ කරවන්න හදනවාවත්ද?

      Delete
  2. කොනක හිට මහරගම පරණ කතා එළියට අදින්න වගේ මෙදා පොටේ සුදානම ... ඔහොම යන්

    ReplyDelete
    Replies
    1. කොඤ්ඤං කොඤ්ඤං. එක සැරේම සේරම එළියට දැම්මම අගයක් නැහැනේ කණ්ඩා.

      Delete