පුංචි ගොදුරක් හිර වෙන්නම අල්ලා ගත්.................. |
වැඩි වෙලාවක් යන්නට කලින්ම එයිනුත් දෙන්නෙක් තරගය අත් හැරියෝය. එයාලාගේ පිඟන්වල පාන් බාගයකටත් වඩා ඉතිරිවීලාත්ය.
දැන් සේරම බලාපොරොත්තු
රැඳී ඇත්තේ දෙදෙනෙකු උඩය.
“අනේ වජිරෝ.... නවත්තන්න නම් එපා....” “අයියෝ ස්වර්ණෝ,
ඉක්මන් කරපන්.... පරදින්න හෙම එපා.” කෙල්ලෝ මුළු වීරියෙන්ම කෑ ගහන්නට ගත්හ.
ස්වර්ණා වැඩියෙන් සෝෂල්ය. වීරියවන්තකම අතිනුත් එහෙමය. එයාට
තිබුණේත් කෙට්ටු සිරුරකි. ඕනෑම දේකදී ඉස්සරහට එයි.
වජිරා ඊට හාත්පසින්ම වෙනස්ය. (අනේ කුරුළු
කූඩුවලට.... පෝස්ටුවලදී කියැවුණු බාස් උන්නැහේ ඇගේ තාත්තාය.)
හරිම ලජ්ජාශීලී, කණට
ඇහෙන්නට කතා නොකරන වජිරා පාඩුවේ වැඩ කරගෙන හිටියා මිස වැඩපොළේ කැපී පෙනෙන්නියක්වත්
වුණේ නැත. මගේ විදියට කියනවා නම් වජිරා තටු පොරවාගෙන ඉන්නා කිකිළියක් වගේය.
“අනේ වජිරෝ... අනේ වජිරෝ...” “ස්වර්ණෝ ස්වර්ණෝ” “වජිරෝ....
ස්වර්ණාගෙ පැත්ත බලන්න යන්න එපා. එයා හරි.... උඹලා දෙන්නා විතරයි ඉතිරි. පරදින්න
නම් බෑ කෙල්ලේ.” හැමෝම උපදෙස් දෙති. හිටි හැටියේ කෙල්ලෝ ඉහළට ඇදගත් හුස්ම පහතට
නොහෙළා ගල් ගැහුණෝය.
ස්වර්ණාගේ ඇස්ගෙඩි දෙක ඉලිප්පිලාය. පුපුරන්නට එනවා
වාගෙය.
එදා සෝමවීර දිනන්නට යන බව දුටු ස්වර්ණා පාන් කැබැලි විකන්නටවත් වෙලාව නාස්ති
නොකළාය. පාන් කෑලි කට ඇතුළට ඔබා, ඇය ඒවා ගිරියෙන් පහළට තල්ලු කළේ ඇඟිලිවලිනි. සාමාන්‍යයෙන්
පාන් වියළිය. පෙත්තක් දෙකක් නිකම්ම කත හැකි වෙතත් පාන් ගෙඩියක්ම නම් ගිලින්නට පෙර
උගුර වේලෙනවාය.
ස්වර්ණාට වුණේ ඒකය. “හිරවෙලා, හිරවෙලා. උගුරෙ පාන් හිරවෙලා වෙන්නැති! වතුර ටිකක් බීලා ඉඳපන්
කෙල්ලේ, වතුර ටිකක්....” ගැහැනු ළමුන් දෙතුන් දෙනෙක්ම කියද්දී; ස්වර්ණාට වතුර දෙද්දී, අනෙක් අය ඒ පැත්ත
වජිරාට නොපෙනෙනසේ මුවාවට හිට ගත්තෝය.
එතකොටම වජිරා කළේ යකාගේ වැඩකි! |
පාන් කෑම නවත්තා වතුර බොන්නට ගිය නිසා දැන් ස්වර්ණාත්
පස්සට වැටී අහවරය. දැන් වැඩිමනත් කෙල්ලන් රොක්වී ඉන්නේ වජිරා අසලින්ය.
“අනේ වජිරෝ, අරයා දිනයි බං.” කවුදෝ කියද්දී වජිරා කළේ අමුතු;
යක්ෂ වැඩකි.
ඇගේ ඉස්සරහින්ම තිබුණු වතුර වීදුරුව අතට ගත් වජිරා ඒක පිඟානට හැළුවාය.
වජිරාත් තරගය දමා ගසා නැඟිටින්නට හදනවාය කියා අප හැමෝටම හිතෙද්දී එයා යක්ෂ වැඩේ
දෙවෙනි පියවරත් තිබ්බාය. අපි පුදුමයෙන් ගල් ගැහුණෙමු!
වතුරෙන් පෙඟී තිබුණු පාන් කෑලි එක මිටට එකතු කරගත් වජිරා
ඒවා මිරිකුවේ පොල් මිරිකන්නාක් වගේය. එතකොට ඇගේ අතේ ඉතිරි වුණේ පාන් ගුළියක් නොවේ.
මැටි වැනි පිටි ගුළියකි. වජිරා ඒවා මුවට දමාගෙන ගිලිද්දී මට දැනුණේ ඔක්කාරයට එනවා
වගේය. කොයිකටත් කියා මං ඈතට ගියේ තවත් ඒ දිහා බලා ඉන්නට බැරිකමටය.
එහෙම දේවල් මට
නම් හරිම හිරිකිතය.
ඈතින් හිටියත් වෙන්නට යන දේ දැන් මට දැනෙයි. වැඩපොළේ
ගැහැනු ළමුන් දැන් ඉන්නේ අකනිටා බ්‍රහ්ම ලෝකයටත් උඩින්ය. එයාලාගේ ඔල්වරසන් නාදයට
වැඩපොළේ වහලේ පොල් අතුත් උඩ ගියා වෙන්නැතිය.
ගල් ඉබ්බියක් වගේ කාගේවත් අවධානයට ලක්
නොවන විදියට උන් වජිරා එදා අපේ බතික් වැඩපොළේ දිදුලන තාරකාව; කඩුපුල් මල; එකම
වීරවරිය වුණාය. ඒ සෝමවීර පරාජය කරමිනි. (කලාතුරකින් පිපෙන කඩුපුල් මලක් දැකගන්නට
නම් මහ රෑ දොළහ වෙනතුරු බලා හිඳින්නට වෙයි. එය පිපෙන්නේ ඒ වෙලාවටය.)
මහා රෑ දොළහ වෙනතුරු බලා හිඳ බලාගත හැකි........... |
“වජිරා මහ යක්ෂ වැඩක් කළේ මචං, මටවත් එහෙම දෙයක් කරන්න
බැහැ.” පස්සේ සෝමවීර කිව්වේය. මගේ වචනවලින් කියනවා නම් ඒ ස්ථානෝචිත ප්‍රඥාවයි. තැනේ හැටියට ඇණේ
ගැහීමයි. මිනිසුන්ට විතරක් නොවේ. සමහර සතුන්ටත් ඒක පුළුවන්ය.
විද්‍යාගාර තටාකයක ඩොල්ෆින් මාළුවොත් එක්ක පර්යේෂණයක්
කෙරුණා.
ඒ ඩොල්ෆින්ලාට සන්තෝසමක් විදියට මාළු ලබා දුන්නා, තටාකයට දමන කුණු අහුලලා
දුන්නාම. ටික දවසකින්ම පර්යේෂකයන් පුදුමයට පත් වුණේ එයාලා තටාකයට දමන කුණු කැබැලි
ප්‍රමාණයට වඩා වැඩියෙන් ගණනක් ඩොල්ෆින්ලා ගෙනෙන බව දැක්කාමයි.
හොයා බලද්දී හෙළිවුණේ
අපූරු දෙයක්. ඩොල්ෆින්ලා තටාකයට වැටෙන කුණු කෑලිවලට කඩලා. වැඩියෙන් තෑගි ගන්න! ඇයි
එක කෑල්ලකට එක සන්තෝසම ගණනේ දෙනවනෙ.
ඩොල්ෆින්ලා ගණන් ගැනෙන්නේ බොහොම බුද්ධිමත් ජීවී විශේෂයක්
හැටියටයි.
ආතර් සී. ක්ලාර්ක් මහත්තයා 1962 දී ලියූ Dolphin Island පොත ජේ.සී. සළුවඩන
මහත්තයා අතින් පරිවර්තනය කෙරිලා ‘මාර්ග ප්‍රකාශනයක්’ විදියට ආවේ 70 ගණන්වලදියි.
පොතේ නම ‘ඩොල්ෆින් දූපත’යි. තවමත් මට ඒ පොත කියවද්දී මනසේ සිතුවම් ඇඳෙනවා.
ඒ තරම්
රසවත්. මාත් ඩොල්ෆින්ලා රෑනක් එක්ක නිල්වන් සයුරු ගැඹරේ කිමිදෙනවා වගේ තවම දැනෙනවා.
ඒ වගේ හොඳම පොත් ගොඩක් මාර්ග එකෙන් පළ කෙරුණා. ශ්‍රී
ලංකේය පාඨකයන්ගේ අවාසනාවට ‘මාර්ග’ එක ඉක්මනින් නොඑන මාර්ගයක නොපෙනී ගියා.
ඒ පොතක්
හොයාගන්නවත් නැති කාලයේ සිරිසුමන ගොඩගේ මහත්තයා සිරිමත් වැඩකට අත ගැහුවා. ආපහු
මාර්ග ප්‍රකාශන ගොඩගේ ආයතනයෙන් පළ කරන්න ගත්තා, ඒකාබද්ධ ව්‍යාපෘතියක් විදියට. ඩොල්ෆින්
දූපතත් 2004 දී ඒ විදියට යළි මුද්‍රණය වුණා, නිදි මුද්‍රණ කළමනාකරු ලෙස සේවය කළ
තැනින්.
ආතර් සී. ක්ලාර්ක් මහත්තයාගේ 'ඩොල්ෆින් දූපත' මාර්ග පොතක් විදියට..... |
සාහිත්‍ය කටයුතුවලට සම්බන්ධ ප්‍රබුද්ධ මහත්තයෙක් නිදි ළඟ
පරණ පොත් සෑහෙන ගණනක් තියෙන බව දැනගත්තෙත් ඒ කාලේ. එයා තවත් ආයතන ලොක්කෙකුට කොක්ක
ගහලා එයින් පොතක් මුද්‍රණයට කූත්තු කළා. එකකුත් ගැහුණා.
මට අලුත් පොතෙන් පිටපතක්
තියා, මගේ පරණ පිටපතවත් ආපහු ලැබුණේ නැහැ.
ඒක මට අමතක වෙන්න ඇති කියලා හිතලද කොහෙද
උන්නැහේ දෙවෙනි වතාවටත් ලජ්ජා නැතිව ආවා තව පොතක් ගෙනියන්න. (මං ඒවා දුන්නේ සත පහකවත්
ආර්ථික ලාභයක් නැතිව. හැබැයි උන්නැහේ ඒ හැම එකකින්ම ගානක් කපාගන්න බවත් දැනගෙන.)
සිරිකොතෙන් ආව නියෝජිතයන්ට මං දාපු කොන්දේසි ගැන ‘මඩ
ගොහොරුවක පචවී’ පෝස්ට්වලදී කිව්වා මතකයිනේ.
ඒ වගේ නොකෙරෙන කොන්දේසි ටිකක් දැම්මාම ඒ
project එක නිකම්ම නැවතුණා!
ඔය දෙවෙනි ආයතනයේ නමවත් නොකියන්නේ, සාහිත්‍ය ප්‍රබුද්ධයා
ගැන හඳුනා ගනීවි කියලයි. එයාලා වපුරණ ඒවා එයාලම කපාගත්තාවේ!
මටත් සිද්ධවෙලා තිබුණා අමාරුවෙන් හරි අස්වැන්න කපාගෙන
ඉවරයක් කරන්න. ඔට්ටුවේ අන්තිම කොන්දේසිය. කොහොඹ කිනිති 50 ක් කෑම.
මං කලිනුත් කියලා තිබ්බනේ, මාත් ටිකක් රූපමානය තියෙන
මොට්ටයෙක්. අපේ අම්මගෙන් උරුම වුණු පෙනීමනේ තියෙන්නෙත්. ඒ විතරක්ද? තව ඩිංගෙන් මාව
තවත් ලස්සන කරන්න කියලා අපේ අම්මා මට වදකහ සුදියත් පොවනවාලු. තාත්තාගෙන්
කුණුහරුපත් අහගෙන තමයි ඒ සද්ව්‍යායාමය නැවතිලා තියෙන්නේ. (අම්මාගෙයි මගෙයි ෆොටෝ එක
දකිද්දී නම් මට හිතෙන්නේ නැහැ අපි දෙනාගෙන් කවුරුන්වත් ලස්සන මදි බවක්. මමායනේ තමා!)
අම්මයි මමයි.......... |
ඇයි අතීත කාලෙන් විතරක්? වර්තමාන කාලෙදිත් එහෙමම තමයි. දැන් ඉන්නෙත් තව ටිකක් හරි ලස්සන වෙනවා නම් කියන බලාපොරොත්තුවෙන්!
මාත් සේරම වගේ අත්හදා බලන
පුත්තරයානේ. ඒකට සූදානම් වුණා. “නිකම්ම නම් කොහොඹ ඉස්ම බොන්න අමාරුයි ළමයෝ. කිරි කාලක් ගෙන්නාගෙන, ඒකත්
එක්ක බීහං.” එහෙම ටිකකුත් එකතු කළේ ආච්චීය. උහුලන්නට අමාරු වුණේ කොහොඹ කොළ
යුෂවලින් එන ගන්ධයයි. ඒත් මංතුමා ඒ හැම ප්‍රශ්නයකටම උත්තරත් හොයාගන්නට තරම්
බුඩ්ඩිමතෙකි.
මං කොහොඹ කොළ කොටවාගෙන, ඉස්ම ටික පෙරවාගත්තේ ගෙදර
කවුරුන් හරි ලව්වාය. ඒක බිව්වේ ගඳ නොදැනෙන්නට නහය මිරිකාගෙනය. ඒ එක්කමය, එළකිරි
ටික බිව්වේ. කොහොඹ ඉස්මවලට කලවම් කරලා නොවේ. දෙවර්ගය මිශ්‍ර කළාම අමාරුවෙන් බොන්නට තියෙන ප්‍රමාණය වැඩි වෙනවා නෙවේද?
එහෙම
කීප වතාවක්ම කොහොඹ කොළ ඉස්ම බීලා තිබුණු
නිසා වැඩේ ගොඩ දාගැනීම අමාරු වෙන එකක් නැති බවක් මට හිතිලා තිබිණි. ඒත් කිනිති 50
ක්? කන්න? හපලා එපැයි කන්න. නැතිනං හිරවෙයි, එතකොට තිත්ත.......
ඔහොම දුරදිග නොබලා මරුමූස් වැඩවලට අත ගහන්නේ මදාවියෝයි.
මදාවියා කියන්නේ චණ්ඩියෙකුම නොවේ. ‘මඳ ආවිස’ ඇත්තෙකුට; මන්දායුෂ්ක තැනැත්තෙකුටය.
බුද්ධකාලයේ ඡත්ත මානවකයා වගේ කෙනෙකුටය.
මෑත කාලයේදී නම් ‘සෑම් බෙලාර්ඩ් -Sam
Bellard’ රගර් ක්‍රීඩකයා වගේ කෙනෙකුට.
දහනව වියැති සෑම්, හන්ගොල්ලෝ හා 28 වියැති සෑම් අම්මාත් එක්ක.............. |
සෑම් හිටියේ ඕස්ට්‍රේලියාවේ. රගර් ක්‍රීඩකයෙක්. එයාට
දහනව අවුරුද්දයි. දවසක් යහළුවන් රොත්තක් එක්ක සාදයකට සහභාගී වෙලා ඉඳිද්දී සෑම් දැක්කා
එතැන බිත්තියක් දිගේ බඩගාගෙන යන අපේ හංගොල්ලා වගේ සතෙක්!
“මොකද කියන්නේ මං මේකව
කෑවොත්?” සෑම් යහළුවන්ගෙන් ඇහුවා. එක-එක උත්තර ලැබෙන්න ඇති. වැඩේ කෙළවර වුණේ
‘හංගොල්ලා’ සෑම්ගේ බඩට ගිහින්.
පැය කිහිපයකින්ම සෑම්ට අසනීප වුණා. කොච්චර ප්‍රතිකාර
කෙරුණත් පලක් වුණේ නැහැ. දවස් 420 ක්ම සෑම් හිටියේ සිහියක්-පතක් නැතිව; කෝමා එකක.
සිහිය
ආවට පස්සෙත් නිකම්ම-නිකමෙකු වගේ අවුරුදු අටක් විඳෙව්වා. අවුරුදු 28 දී සෑම්ට
ජීවිතය අහිමි වුණෙත් තරුණ මදයෙන් කළ අහිංසක; නොනිසි වැඩක් නිසා.
සෑම්ගෙ සිරුරට රෝගකාරක විෂබීජයක් ඇතුළු වෙලා තිබුණේ අර
හංගොල්ලාගේ මාර්ගයෙන්. එයාට වැළඳිලා තිබුණේ Rat Lungworm කියන රෝගය. පෙනහළු
රෝගයක්. මාත් ඔව්වා-මෙව්වා ගැන දැනුම්වත් වෙන්නේ දැන්. අනෙක මං ඉස්සර දැනටත් වඩා
මෝඩයිනේ.
ඉතින් කැඩෙව්වා ලොකු කොහොඹ අත්තක්. ගැනලා කඩා ගත්තා
කොහොඹ කිනිති පනහක්, කොළ අඩු පුංචි එව්වයින්. පුදුමේ, එතැනදී සෝමයට ඒක නිච්චි වුණේ
නැති එක.
ඒ කිනිති 50 මේසයක තියාගෙන ඉස්සරහින් වාඩි වුණා.
10 ගණනේ
කොහොඹ කිනිති ගොඩවල් පහකට බෙදුවා. බතික් වැඩපොළේ ළමයි ඔක්කොමත් වටවෙලා ඉන්නවා.
පැකිළෙන්න බැහැ! සවුත්තුවනේ.
අනේ, පද්මා ඛන්නාත් එතැන හිටියා නම්! කොච්චර ගතිද?
එයා නිසා මං වැටිලා හිටපු අමාරුව එයාටත් පෙනේවිනේ!
අනේ, පද්මා ඛන්නාත් එතැන උන්නා නම්..... |
හරියටම කිනිති දහයක් අතට අරන් ඒවායේ කොහොඹ කොළ සේරම එක
මිටට හිටින විදියට හූරලා ගත්තා. හරි-හමන් හුස්මක්වත් නොගෙන වීරිය පාරමිතාව පුරන
ගමන් ඒ කොළ ටික කාගෙන-කාගෙන ගියා. වතුර උගුරක් බිව්වා.
සෝමෙගේ මූණේ තිබුණු හිනාව
කිව්වේ ‘ඉතිරි ටිකත් කාපන්කෝ’ වගේ දෙයක්. වැඩපොළේ ළමයින්ගේ මුහුණුවල නම් තිබුණේ
‘පව්, නිමල් අයියා’ වගේ වචන.
සෝමවීරත් එක්ක තිබුණු තරහ!
අමාරු දෙයක් කරද්දී පට-පට ගාලා කරලා ඉවර කරන එක තමයි මගේ
පුරුද්ද.
හිත-හිතා ඉන්න ගියොත් පරදිනවා. ගත්තා දෙවෙනි කිනිති ගොඩ. ඒකත් බඩේ!
නැවැත්තුවේ නැහැ. කොහොඹ කිනිති පනහෙම කොළ මගේ බඩට ගියා. පරාද වුණු ඔට්ටුවේ අන්තිම කොන්දේසියත් එහෙම ඉෂ්ට කරලා තමයි මං පස්ස
බැලුවේ. දැන් කවුද කියන්නේ නිමල් දිසානායක සෝමවීර මල්ලිකාරච්චිට පරාදයි කියලා?
ඒක නං එහෙම තමා! ඒත් එදා රෑ! එදා රෑ තමයි මෙතෙක් මං අත් විඳලා තියෙන ලොකුම
බඩේ වේදනාව වින්දේ.
මහ විශාල ගුළියක් මගේ බඩ ඇතුළේ එහාට-මෙහාට පෙරළෙනවා. ඒ මදිවට
කැක්කුම.
මං බිම පෙරළි-පෙරළී කෙඳිරි ගාද්දී අපේ ආච්චී ආයෙමත් වතාවක් මට අර අභිධානය
දුන්නා. “මොට්ට වේසිගෙ පුතෝ, අච්චර කොහොඹ කොළ කාලා කොහොමද යකෝ දිරවා ගන්නේ? දැන්
පලයන්කෝ ඉස්පිරිතාලේ.... බලපං කකුස්සියට ගිහිල්ලාවත්.”
අපේ ආච්චී....................... |
බහුස්රුත අපේ ආච්චීටවත්
නිනව්වක් නැතිවයි හිටියේ කරන්න ඕනේ මොනවද කියලා. ආච්චිත් හිටියේ බිරාන්ත වෙලා.
පැය තුන-හතරක් ගෙවුණා. ඒ අතරේ බඩේ
වේදනාවත් අඩු-වැඩි වෙවී තිබ්බා.
කිහිප සැරයක් බඩ විරේකත් වුණා. මං බයෙන්ම හිටියේ
රෝහලකට යන්න වුණොත් කියලා. මගේ ගොන් කතාව එහෙදි කියන්න වෙනවනේ. ඒකටයි මං වැඩියෙන්ම බය වුණේ. ලජ්ජා නැතිව අපේ පිස්සු ඔට්ටුව ගැන කියන්නය?
ඒත් වාසනාව
තිබුණේ මගේ පැත්තේ. උදේ වෙද්දී සේරම හරි. මගේ බඩේ ඉතිරිවෙලා තිබ්බේ බඩවැල් විතරයි
වෙන්නැති.
ඒත් මොකෝ? කොච්චර ආඩම්බර අත්දැකීමක්ද ‘රාම් පූර් කා
ලක්ෂ්මන්’ මට දුන්නේ෴
මදැයි ඔයින් ගියා :-D
ReplyDeleteකණ්ඩා, මෙහෙම ලියන්න අත්දැකීමක් එකතු වීමම කොච්චර එකක්ද, ගොන් වැඩක් වුණත්!
Delete